15 December 2017
RSS Facebook Twitter   

ඉන්දියානු දුම්රිය අනතුරින් 24 ක් මරුට

indian railwayදුම්රිය දෙකක් එකිනෙක ගැටීම නිසා සිදුවූ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයන් 24 දෙනෙක් පමණ මියගොස් ඇති බව ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වේ. තවත් 25 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. දුම්රිය දෙකෙහි ගමන් කළ ප්‍රමාණය සම්බන්ධයෙන් නිශ්චිත වාර්තා තවමත් සොයාගෙන නොමැති හෙයින් මියගිය ප්‍රමාණය මීටවඩා ඉහළ යාහැකි බව ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
 
මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ හර්දා නගරය සමීපයෙහි පාලමක්
මතදී මෙම අනතුර සිදුව තිබේ. දුම්රිය දෙක පාලම මතින් ගමන් කරමින් සිටියදී පීලිපැනීම නිසා එකිනෙක ගැටී තිබේ. එම අවස්ථාව වනවිට ගංවතුර හේතුවෙන් දුම්රිය මාර්ගය මදක් ජලයෙන් යටවී තිබී ඇත. දුම්රිය එකිනෙක ගැටීමෙන් පසු දුම්රිය මැදිරි කිහිපයක් පාලමෙන් ඉවතට පැන ගඟට වැටී තිබේ. 
 
බරණැස නගරයේ සිට මුම්බායි නගරය වෙත ගමන් කරමින් තිබූ කමයානි අධිවේගී දුම්රිය පළමුව පීලිපැන ඇති අතර ඉන් සුළු වේලාවකට පසු ඊට ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් කරමින් තිබූ ජනතා අධිවේගී දූම්රිය පීලිපැන තිබේ. 
 
ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක අනිල් සක්සේනා පවසන්නේ දුම්රිය මාර්ගය ජලයෙන් යටවී තිබී ඇති අතර මාර්ගය ගිලාබැසීමකට ලක්වී ඇති බවටද වාර්තා වී ඇති බවයි. මේ නිසා කමයානි අධිවේගී දුම්රියේ අවසන් මැදිරි හය පීලිපැනීමට ලක්වී ඇති බව ඔහු පවසයි. ඉන්පසු ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ජනතා අධිවේගී දුම්රියද පීලිපැන ඇති බව ඔහු පවසයි.
 
මේ වනවිට අවම වශයෙන් දුම්රිය මැදිරි දෙකක් ගඟෙහි ගිලී ඇති බව වාර්තා වේ. මෙම අනතුර සම්බන්ධයෙන් ඉන්දීය දුම්රිය ඇමතිවරයා පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා අනතුරට පත්වූවන් වෙත හා මියගිය පුද්ගලයන්ගේ පවුල්වලට සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.
 
indian railway2

 

 

විදෙස්