19 January 2018
RSS Facebook Twitter   

පකිස්ථාන් සුන්නි සටන්කාමී නායකයා මරාදමයි

lazkar e jungviපකිස්ථානයේ රජයට විරුද්ධ ලෂ්කාර්-ඊ-ජන්ග්වි සටන්කාමී සංවිධානයේ නායකයා පොලිස් වෙඩිප්‍රහාරයකින් මියගොස් ඇති බව වාර්තා වේ. පන්ජාබ් ප්‍රාන්තයේ මුසෆර්ගාහ් දිස්ත්‍රික්කයේදී ලෂ්කාර්-ඊ-ජන්ග්වි (LeJ)
නායකයා ඇතුළු පිරිසක් හා පොලීසිය අතර ඇතිවූ වෙඩි හුවමාරුවකදී මලික් ඉෂාක් නැමැති මෙම නායකයා මියගොස් තිබේ. සටන්කාමී LeJ සංවිධානයේ පිරිස අතර මලික් ඉෂාක්ගේ පුතුන් දෙදෙනා සහ තවත් සටන්කාමීන් එකොළොස් දෙනෙකු පැමිණ තිබේ. 
 
මලික් ඉෂාක් සහ පුතුන් දෙදෙනා ඇතුළු පිරිසක් පසුගිය සතියේ පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් මුසෆර්ගාහ් ප්‍රදේශයේ සඟවා ඇති අවිආයුධ පෙන්වීමට රැගෙන ගොස් තිබේ. එම අවස්ථාවේදී මෙම පුද්ගලයන් සඟවා තිබූ ආයුධවලින් පොලිස් නිළධාරීන්ට ප්‍රහාර එල්ලකොට ඇති අතර පොලීසිය ප්‍රතිප්‍රහාර එල්ලකර ඇති බව වාර්තා වේ. ප්‍රහාරය සඳහා LeJ සංවිධානයේ වෙනත් සන්නද්ධ පුද්ගලයන් පිරිසක් ද පැමිණ තිබේ.
 
LeJ සුන්නි සටන්කාමී සංවිධානය පසුගිය සමයේ රජයට සහ ෂියා මුස්ලිම්වරුන්ට එරෙහි තම ප්‍රහාර වඩාත් තීව්‍ර කළේය. 
 
පන්ජාබ් ප්‍රාන්ත අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා මෙම ප්‍රවෘත්තිය තහවුරු කර තිබේ. මුසර්ෆර්ගාහ් දිස්ත්‍රික් රෝහලේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ මළසිරුරු 14 රෝහල වෙත රැගෙන ආ බවයි. මෙම ගැටුමෙන් පොලිස් නිළධාරීන් සයදෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වුවද ඔවුන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත. 
 
LeJ සංවිධානය පකිස්ථානය තුළ 2003 සිට තහනම් සංවිධානයක් වන අතර 2003 දී ඇමරිකාව තම ත්‍රස්තවාදී සංවිධාන ලේඛනයට මෙම සංවිධානය ඇතුළත් කර තිබේ. මලික් ඉෂාක් පුද්ගල ඝාතන 70 ක් සම්බන්ධයෙන් චෝදනා ලබා වසර 13 ක් පමණ පොලිස් අත්අඩංගුවේ පසුවූ අතර පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ලාහෝර් අධිකරණයේ නියෝගයක් මත නිදහස ලැබීය. 

 

 

විදෙස්