19 January 2018
RSS Facebook Twitter   

ඔබාමා අප්‍රිකානු සංචාරය අරඹයි

obama kenyattaඇමරිකානු එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමා අප්‍රිකාවේ සංචාරයක නිරතවෙමින් සිටී. අප්‍රිකානු සංචාරය ආරම්භ කරමින් ඔබාමා සිකුරාදා කෙන්යාවට පැමිණියේය. කෙන්යාව යනු ඔබාමාගේ පියාගේ නිජබිමයි.  
ඇමරිකානු ජනාධිපතිවරයා කෙන්යානු සංචාරයේදි කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාතා සමගින් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. අද (25) කෙන්යාවේ නයිරෝබි නගරයේ ගෝලීය ව්‍යවසායකත්ව සමුළුව විවෘත කිරීමට නියමිත අතර මීට අමතරව ව්‍යාපාරිකයන්ගේ සමුළුවක් ඇතුළු උත්සව කිහිපයකට සහභාගිවීමට නියමිතය. 
 
1998 වසරේදී කෙන්යාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයට එල්ලවූ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිකිරීමේ උත්සවයකටද ඔබාමා සහභාගිවීමට නියමිත වේ. අල්-කයිඩා සංවිධානය එල්ල කළ මෙම ප්‍රහාරයෙන් ඇමරිකානුවන් 12 දෙනෙකු හා තානාපති කාර්යාලයේ සේවය කළ කෙන්යානුවන් ඇතුළු 200 කට අධික පිරිසක් මියගිය අතර තානාපති කාර්යාලයට බරපතල හානි සිදුවිය. ඔබාමාගේ සංචාරය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන අතර 10,000 කට අධික පොලිස් නිළධාරීන් ප්‍රමාණයක් මෙම විශේෂ ආරක්ෂක කටයුතුවලට අනුයුක්ත කර තිබේ. 
 
ඔබාමා කෙන්යාවේ නයිරෝබි ගුවන් තොටුපලේ සිට පැමිණෙන මග දෙපස කෙන්යානුවන් ඔල්වරසන් දෙමින් ඇමරිකානු ජනාධිපතිවරයා පිළිගත් අතර කෙන්යානු ජනමාධ්‍ය සහ කෙන්යානු ජනතාව ඔහුගේ පැමිණීම පිළිබඳව ප්‍රකාශ කරන්නේ ඔහු තමාගේ නිවසට පැමිණීමක් ලෙසයි. නයිරෝබි ගුවන් තොටුපලේදී කෙන්යාවේ සිටින ඔබාමාගේ ඥාති සොයුරියක වන ඔයුමා විසින් ඔබාමා පිළිගත්තේය. ඉන් අනතුරුව සිය ඥාතීන් පිරිසක් සමග ඇමරිකානු ජනාධිපතිවරයා සිය රාත්‍රී ආහාරය ලබාගෙන තිබේ.
 
ඇමරිකානු ජනාධිපතිවරයා සහ කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඉදිරියේදී පැවැත්වීමට නියමිතය. විශේෂයෙන් කෙන්යාවේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සහ සමලිංගික අයිතිවාසිකම් සම්බන්ධයෙන් සාකච්ඡාවලදී වැඩි අවධානයක් යොමුවීමට නියමිතය. මීට අමතරව දෙරටට බලපාන ද්විපාර්ශ්වික ගිවිසුම් කිහිපයකටද අත්සන් කිරීමට නියමිතය. 
 
ඔබාමා සිය අප්‍රිකානු සංචාරයේදී අප්‍රිකානු සංගමය ඇමතීමට නියමිත අතර ඉතියෝපියාවේ සංචාරයක නිරතවීමටද නියමිතය. අප්‍රිකානු සංගමය අමතන පළමු ජනාධිපතිවරයා බැරැක් ඔබාමා වනු ඇත.

 

 

විදෙස්