21 April 2018
RSS Facebook Twitter   

චීන රජයේ හිටපු ප්‍රබලයෙකුට දූෂණ චෝදනා

china lin jihuaචීනයේ හිටපු ජනාධිපති හූ ජින්තාවෝ මහතාගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුට දූෂණ චෝදනා එල්ල වී තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු වූ ලින් ජිහුවා නමැත්තාට මෙසේ චෝදනා එල්ලවී ඇති අතර ඔහු මේ වනවිට චීන කොමියුනිස්ට් පක්ෂයෙන් ද නෙරපා හැර තිබෙනවා. මීට අමතරව ඔහුට ලිංගික අපචාර චෝදනාවක් ද එල්ලවී ඇත.
 
ලින් ජිහුවාගේ පුත්‍රයා 2012 වසරේදී චීනයේ අධිවේගී මාර්ගයක සිදුවූ ෆෙරාරි රථ අනතුරකින් මියගිය අතර ඉන් අනතුරුව ජිහුවා එතෙක් දැරූ තනතුරුවලින් පහකෙරිණි. පසුගිය දෙසැම්බර් මාසයේදී චීන බලධාරීන් විසින් සිදුකළ පරීක්ෂණයකදී ඔහු බරපතල විනය උල්ලංඝනය කිරීම් සිදුකර ඇති බව අනාවරණය කරගෙන තිබේ. පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා වාර්තාවක් උපුටා දක්වමින් ෂින්හුවා පුවත් සේවය වාර්තා කරන්නේ ඔහු බරපතල ලෙස දේශපාලන විනය සහ කොමියුනිස්ට් පක්ෂයේ නීති-රීති උල්ලංඝනය කර ඇති බවයි. 
 
ලින් ජිහුවා තම හිතවතුන්ට උපරිම ලාභ ලැබෙන ආකාරයෙන් තමාගේ තනතුර භාවිතා කොට ඇති අතර ඒ තුලින් අල්ලස් ලෙස විශාල මුදල් ප්‍රමාණයක් ලබාගෙන තිබේ. එසේම ඔහු තම බිරිඳගේ ව්‍යාපාර කටයුතුවලදී වැඩි වාසි ලබාගැනීම සඳහා තම තනතුර උපයෝගී කරගෙන ඇති බවද තහවුරු කරගෙන ඇත. 
 
චීන කොමියුනිස්ට් පක්ෂය තුළ ජ්‍යෙෂ්ඨ චරිතයක් වූ ජිහුවා වරක් එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ චීන සංචාරයේදී ඔහුගේ ප්‍රධාන සහායකයා වශයෙන් ද කටයුතු කර තිබේ. ඔහුගේ පුත්‍රයා අනතුරට ලක්වන විට මෝටර් රථය තුළ තරුණ කාන්තාවන් දෙදෙනෙක් සිටි අතර මෙම අනතුරින් පසුව ජිහුවා බරපතල ලෙස පිරිහීමට පත්විය. 
 
මීට පෙර ජිහුවාගේ පවුලේ ඥාතීන් කිහිපදෙනෙකුටද අල්ලස් හා දූෂණ චෝදනා එල්ල විය. පසුගිය ජුනි මාසයේදී ඔහුගේ සොයුරු ලී ෂෙන්ග්සි හට එල්ල වූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ මේ වනවිටත් පැවැත්වෙමින් තිබේ. 
 
වත්මන් ජනාධිපති ෂී ජින් පින් බලයට පත්වීමත් සමග චීන රජයේ ප්‍රධානීන් කිහිපදෙනෙකුටම අල්ලස් හා දූෂණ චෝදනා එල්ල විය. එරට හිටපු අභ්‍යන්තර ආරක්ෂක කටයුතු පිළිබඳ ප්‍රධානියා වූ 72 හැවිරිදි යොන්ග් කැංට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ අතර ඉහළ ආර්ථික විශ්ලේෂකයෙකු වූ ටියෙනෑං ඇමරිකානු ඩොලර් මිලියනයක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය.

 

 

විදෙස්