21 April 2018
RSS Facebook Twitter   

පකිස්ථානු හමුදාව ඉන්දියාවට අයත් ඩ්‍රෝන යානයක් බිම හෙළයි

drone clashඉන්දීය හමුදාවට අයත් ඩ්‍රෝන යාත්‍රවක් පකිස්ථානු හමුදාව විසින් වෙඩිතබා බිමහෙළා තිබේ. පකිස්ථානය හා ඉන්දියාව අතර මතභේදයට තුඩු දී තිබෙන කාශ්මීර ප්‍රාන්තයට අයත් ප්‍රදේශයක මෙම ඩ්‍රෝන යාත්‍රාව ඔත්තු බලමින් තිබියදී පකිස්ථානු හමුදා ප්‍රහාරය එල්ල වී තිබේ. 
 
දෙරට අතර බිඳවැටී තිබූ සාකච්ඡා නැවත ආරම්භ කරමින් තිබියදී මෙම තත්ත්වය ඇතිවී තිබීම දෙරට අතර වර්ධනය වෙමින් තිබෙන හොඳහිත පළුදුවීමට හේතු වියහැකි බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයන්ගේ මතයයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සහ පකිස්ථානු අගමැති නවාස් ෂරීෆ් අතර හමුවක් රුසියාවේදි පසුගියදා සිදුවූ අතර ඔවුන් එහිදී තවදුරටත් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට එකඟ විය.
 
මේ සම්බන්ධයෙන් වාර්තාකරුවන් ඉන්දීය යුද හමුදාවෙන් සහ ගුවන් හමුදාවෙන් තොරතුරු විමසා ඇති අතර ඔවුන් මෙම සිද්ධිය ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ තමන්ට අයත් ඩ්‍රෝන යාත්‍රාවක් අනතුරට පත්ව නොමැති බවයි. 
 
අර්බුදයට පත්ව ඇති කාශ්මීර් ප්‍රදේශය තමන්ට අයත් බව ප්‍රකාශ කරමින් ඉන්දියාව හා පකිස්ථානය වසර හැටක් තිස්සේ ගැටුම් ඇති කරගනිමින් සිටින අතර විටින් විට මේ සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ඡා පැවතියද මේ වනතෙක් එකඟතාවයකට පැමිණීමට අපොහොසත්ව තිබේ. 2003 වසරේ පටන් සටන්විරාම ගිවිසුමක් ක්‍රියාත්මක වුවද විටින් විට දෙරටම චෝදනා කරගන්නේ එකිනෙකා සටන් විරාම ගිවිසුම කඩ කරන බවයි. 
 
ඉන්දීය හමුදාවට අයත් ඩ්‍රෝන යාත්‍රාවක් කාශ්මීරයේ බිම්බර් ප්‍රදේශයේ තම හමුදාවේ කටයුතු සම්බන්ධයෙන් ගුවන් ඡායාරූප ලබාගනිමින් සිටියදී වෙඩිතබා බිම හෙළූ බව පකිස්ථානු හමුදා ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ. 
 
ඉස්ලාමාබාද් නුවර සිටින ඉන්දීය නියෝජිතයෙකු කැඳවා පකිස්ථානු රජය විසින් මේ සම්බන්ධයෙන් ප්‍රශ්නකර තිබේ. 
 
එහෙත් ඉන්දියානු හමුදා ප්‍රකාශකවරයා මේ සිදුවීම ප්‍රතික්ෂේප කරයි. පකිස්ථානු පාලනය යටතේ පවතින කාශ්මීර ප්‍රදේශයට ඩ්‍රෝන යාත්‍රා හෝ නියමුවන් රහිත යානා යවා නොමැති බවත් එවැනි යානාවක පාකිස්ථානු ප්‍රහාරයකින් කඩාවැටී ඇති බවට සඳහන් පුවත ප්‍රතික්ෂේප කරන බවත් එම ප්‍රකාශකයා පවසා ඇත. 

 

 

විදෙස්