21 July 2018
RSS Facebook Twitter   

ඉරාන න්‍යෂ්ටික අර්බුදය ගැන ලෝක බලවතු සාකච්ඡාවක

Iran nuclearඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ලෝක බලවතු අතර ඔස්ට්‍රියාවේ වියානා නුවරදී සාකච්ඡා පවත්වා තිබේ. එසේම මේ වනවිට ඉරානයට පනවා ඇති සම්බාධක ඉදිරියට පවත්වාගෙන යන්නේද සම්බාධක තවදුරටත් ඉහළ දමන්නේද යන්න සම්බන්ධයෙන් ද සාකච්ඡා කරමින් සිටී. 
 
ඉරානයේ න්‍යෂ්ටික කටයුතු නිරීක්ෂණය සම්බන්ධයෙන් ඉරානය හා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය අතර ගිවිසුමක ද මේ වනවිට අත්සන් කර තිබේ.
එසේම ඇමරිකාව, රුසියාව, බ්‍රිතාන්‍යය ඇතුළ බලවත් රටවල් ද වසර කිහිපයක සිට ඉරානයේ න්‍යෂ්ටික කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටී. 
 
තම රට න්‍යෂ්ටික තාක්ෂණය භාවිතා කරන්නේ බලශක්ති මාධ්‍යයක් ලෙස බව ඉරානය කිහිපවරක් ප්‍රකාශ කළද එය ලෝක බලවතුන්ගේ සැකයට භාජනය වී තිබේ. ලෝක බලවතුන් පවසන්නේ ඉරානය සතුව න්‍යෂ්ටික අවි තිබිය හැකි බවයි. ඒ නිසා ඉරානය න්‍යෂ්ටික අවි තමන් සතුව නොමැති බවට සහතිකයක් ලබා දියයුතු බව ලෝක බලවතුන්ගේ අදහසයි. 
 
ඉරානය සහතික ලෙසම පවසන්නේ තම න්‍යෂ්ටික වැඩසටහන් ඉතා සාමකාමී බවත් න්‍යෂ්ටික අවි තමන් සතුව නොමැති බවත්ය. එහෙයින් තම රටට පනවා ඇති ජාත්‍යන්තර සම්බාධක ඉවත් කළයුතු බව ඉරානය පවසයි. 
 
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රධානී යුකියා අමගානෝ වාර්තාකරුවන් වෙත ප්‍රකාශ කර ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම්වල නොවිසඳුනු අතීත හා වර්තමාන ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ වැඩපිළිවෙලකට ඉරානය මේ වනවිට එකඟ වී ඇති බවයි. තවදුරටත් ඔහු ඒ සම්බන්ධයෙන් පවසා ඇත්තේ එය සැළකිය යුතු ඉදිරි පියවරක් වනු ඇති බවයි. 
 
ඉරාන අගමැති හසන් රවුහානි මෙය හොඳ ආරම්භයක් වනු ඇති බව පවසා තිබේ. 
 
මෙම නව එකඟතාවයන් සම්බන්ධයෙන් ඇමරිකාව තුළ ප්‍රබල විරෝධයක් මතුව තිබෙන අතර ඊශ්‍රායල් රජයද මෙම නව එකඟතායන් ගැන අනතුරු අඟවා ඇත. 

 

 

විදෙස්