22 January 2018
RSS Facebook Twitter   

මැයි දිනය හා විපක්ෂය

may-rally-1පූර්විකාව

124 වන ජාත්‍යන්තර මැයි දිනය හෙවත් 81 වන ලාංකීය මැයි දිනය ද අවසන් විය. සුපුරදු පරිදි එදින ද කම්කරුවෝ ද, කම්කරු නායකයෝ ද, කම්කරු මර්දකයෝ ද එක පැහැර සම සමව පෙළපාලි ගියෝ ය. රැස්වීම් තැබුවෝ ය. කම්කරුවන් මර්දනය කළ වුන් ද කම්කරුවන් මරාදැමූවෝ ද විලි ලැජ්ජාවකින් තොරව ම සිය අතීතය අමතක කර දැමූහ. එහි දී සියල්ලෝ සතුටින් විසිර ගියේ අවම වශයෙන් හෙට දිනයේ එළඹෙන කම්කරු මර්දනයට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න හෝ සාකච්ඡා නොකරමිනි; විසඳුමකට නො පැමිණෙමිනි. එසේ නම් කම්කරුවාගේ අනාගතය පිළිබඳ කුමන කතා ද?

මතු දැක්වෙන මැයි දින සටහනින් අනාගතයේ මැයි දිනය පිළිබඳ අනාවැකියක් පවසයි. එම අනාවැකිය නම් එදා මෙන් ම අදත් අද මෙන් ම හෙටත් පාලකයෝ කම්කරුවෝ මර්දනය කරන බව ය. අද මර්දකයා හෙට ඒ මර්දනයට ලක්වුවන් සමඟ ම එදිනට කම්කරුවෝ මර්දනය කරන්නන්ට එරෙහිව වීදි බසින බව ය. එහෙත් කම්කරු මර්දනය සර්වකාලීන ය; විසඳුම් නොමැත.

පීඩිතයාට සහයනයක් නො ලැබෙනතාක් ඔවුහු අරගල කරති. ධනේශ්වර ක්‍රමය තුළින් ඒ පීඩිතයාගේ ප්‍රශ්න නිරාකරණය කළ නොහැකි බැවින් තම බලය රඳා පවත්වා ගැනීමේ ඒකායන පරමාර්ථයෙන් පීඩක පාලකයෝ ද කම්කරුවෝ පමණක් නොව ඔවුනට එරෙහි වන ඕනෑම බලවේගයක් කිසිඳු පැකිලීමකින් තොරව මර්දනය කරති. මෙය රිය සක ලෙස භ්‍රමණය වනවා මිස නතර වීමක් නම් නොවේ.

එසේ නම් මේ පීඩකයෝ කළ යුත්තේ කුමක් ද?

එක් ක්‍රමයක් නම් සියලු පීඩිතයෝ දිවි පරදුවට තබා පීඩකයන්ට විරුද්ධව නැඟි සිටිය යුතු ය. නො එසේ නම් ඊනියා කම්කරු දිනය වර්ජනය කළ යුතු ය. නමුත් සිදුවන්නේ පීඩකයා ද පීඩිතයා ද එක් දිනකට පමණක් තම තමන්ගේ නොපනත්කම් සහ අසරණ භාවයන් අමතක කොට ක්ෂණික තෘප්තියක් ලබාගැනීම ය.

1992 මැයි දිනය වෙනුවෙන් තැබූ ‘‘ලක්දිව’’ දේශපාලන සටහන මෙයට කදිම නිදසුනකි. එහෙයින් නැවතත් එය කියවමු; වටහා ගනිමු; ක්‍රියාත්මක වෙමු. (මෙම සටහනේ එ. ජා. ප. ය වෙනුවට ශ්‍රි. ල. නි. ප. යනුවෙන් සහ ශ්‍රි. ල. නි. ප. වෙනුවට එ. ජා. ප. ය යනුවෙන් යොදා කියවන්නේ නම් මැනවි!!!)

අඛණ්ඩ වසර පහළොවක එක්සත් ජාතික පක්ෂ පාලනය, දෝෂාභියෝගය, මැතිවරණ කොමසාරිස් වාර්තාව, උඩුගම්පොළගේ පාපෝච්ඡාරණය හරහා ප්‍රබල දෙදරුම් කෑමකට මුහුණ පා සිටින මොහොතේ පැවති ‘‘මැයි’’ දිනය ප්‍රේමදාස ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය ලොවට හඬගා කියන්නක් විය.

බලයට ඒම සඳහා කම්කරුවන් ගොවියන් උපයෝගී කොට ගෙන, බලයට පත් වූ පසු ඔවුන්ට අසහනය ගෙන දුන්, පීඩනය වැඩි කර ලූ, රක්ෂණය අහිමි කළ එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ ඔවුන් හා හවුලේ ආණ්ඩු කළ අයට ගොවියාගේ කම්කරුවාගේ උත්තුංග දිනය සැමරීමේ අයිතියක් තිබේ ද යන්නබැහැර කළ නොහැකි ප්‍රශ්නයක් වන මුත්, මැයි දිනයේ නාමයෙන් ඔවුන් සැම කරන්නා වූ දේශපාලන කතා-බහ කොළඹට කැන්දා එන ලක්ෂ සංඛ්‍යාත ජනතාව සහ ලොවට කියන පණිවිඩ පිළිබඳ මුනිවත රැකිය හැකි නොවේ. ඓතිහාසික අර්ථයෙන් ගත්ත ද මේ කිසිඳු දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් ‘‘මැයි සැමරුමක්’’ කළ බව අප විසින් සටහන් කළ යුතු නොවේ.

සැබැවින් ම මැයි 1 වැනි දා කොළඹ වූයේ, ආණ්ඩුව සිය උපරිම රාජ්‍ය බලය ද, බලහත්කාරය ද යොදමින් කොළඹට පොම්ප කළ සෙනඟ සහ විරුද්ධ පක්ෂයන්හි දීර්ඝ උකටලී බව හමුවේ එජාප පාලනය විසින් අත්, පා, මුව බැඳ දමා තිබූ ජනතාව මේ මොහොතේ පාලකයාට සිය කෝපය ප්‍රදර්ශනය කරන ආකාරය පමණි.

ලෝක වැඩ කරන ජනතා දිනයේ දී ශ්‍රී ලාංකික වැඩ කරන ජනතාවගේ ශ්‍රමය, අභිමතය හා ප්‍රතාපවත් බව ප්‍රදර්ශනය කිරීම මැයි 1 වැනිදා මේ කිසිඳු කණ්ඩායමකින් සිදු නොවී ය. මැයි දිනය වෙනුවෙන් කොළඹට වැඩි ම ජනකායක් රැස්වුයේ ද, ආණ්ඩු විරෝධය ප්‍රබල ආකාරයෙන් ඉදිරිපත් කළේ ද ඒකාබද්ධ විපක්ෂය විසින් කැඳවා තිබුණු පෙළපාලිය හා රැලිය බව පොදු පිළිගැනීමයි.

ඉතාම අසංවිධානාත්මක ස්වරූපයක් පෙන්නුම් කළ ද එ. ජා. ප. පාලනය නිරුවත් කළ, උද්ඝෝෂණ හා පෙළගැස්මක් ලෙස මෙම ජනතා එකතුව හැඳින්විය හැකි ය.

ජනතා සහභාගිත්වයෙන් සාර්ථක වුව ද, වත්මන් පාලනය අහෝසි කිරීම වෙනුවෙන් එදා කැම්බල් පෙළපාලියට එකතු කළා වූ පිරිස් පමණක් ප්‍රමාණවත් වේ ද? ප්‍රේමදාස පාලනයේ ප්‍රහාරය එජාපයට විරුද්ධ වූවන්ට පමණක් සීමා නොවී එහි අභ්‍යන්තරිකයන්ට පවා එල්ලවන අවධියක මීට වඩා වැඩි පිරිසක් වැඩි දේශපාලන පක්ෂ ප්‍රමාණයක් ‘‘ඒකාබද්ධ විරුද්ධ පක්ෂ’’ තේමාව වටා එකතු නො කර ගන්නේ ඇයි? එකතු නො කර ගැනීමේ වගකීම භාරගන්නේ කවුද?

‘‘මැයි සමඟියට අපි නැතැ’’ යි ආරම්භයේ දී ම ප්‍රකාශ කළා වූ නව සම සමාජ පක්ෂය ඒ වෙනුවෙන් ඉදිරිපත් කළ තර්කය පිළිගත හැකි ද?

කම්කරුවන්ගේ සමඟිය ප්‍රදර්ශනය කළ යුතු දිනය කම්කරු විරෝධී පක්ෂ සමඟ එකට සමරන්නේ කෙසේ ද? මේ ඔවුන්ගේ බැහැරවීමට ඉදිරිපත් කර තිබූ ප්‍රකාශයේ සාරාංශය යි.මේ සම්බන්ධයෙන් අපගේ කිසිඳු විරෝධයක් නොවේ. එහෙත්, ‘‘කතරගම දෙවියන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම’’ සඳහා කොළඹ සිට කතරගම දක්වා පා ගමනින් ශ්‍රීලනිපය යාමට තීන්දු කරමින් තම දේශපාලන උපායශීලී භාවය ප්‍රදර්ශනය කළ න. ස. ස. ප. ය මැයි දිනය සම්බන්ධයෙන් මෙලෙස තම ප්‍රාථමික බව ප්‍රදර්ශනය කිරීම කනගාටුවට කරුණකි.

නව සම සමාජ පක්ෂය බොහෝ තීරණාත්මක දේශපාලන තීන්දුවල දී ප්‍රදර්ශනය කරන්නා වූ පාණ්ඩිත්‍යය මෙහි දී ද ප්‍රදර්ශනය කිරීම අරුමයක් නොවූව ද, මේ එයට කාලය නොවන බව සිහි කොට යුතු ය.

න. ස. ස. ප. යේ වුවමනාවට පොදු වේදිකාවෙන් බැහැර වුව ද තවත් බොහෝ පක්ෂ හා කණ්ඩායම් ඉන් ඉවත් වීමට බලපෑ හේතු මොනවා ද?

ශ්‍රිලනිපය ප්‍රමුඛ බොහෝ අධිපතිවාදී පිරිස් කුඩා පක්ෂ හා කණ්ඩායම් කෙරෙහි අඩු තක්සේරුවක් දැක්වීම මෙයට හේතුව ද?

ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා ‘‘මැයි දිනය’’ සම්බන්ධයෙන් මෙවර ඉතා අර්ථාන්විත... කාලෝචිත යොජනාවක් කොට තිබිණි.

‘‘පක්ෂ අතර තිබෙන නොයෙකුත් වෙනස්කම් නිසා එක වේදිකාවට නැඟීමට නොහැකි නම්, උදේ වරුවේ වෙන වෙන ම රැස්වීම් පවත්වා සවස් වරුවේ සියලු ම දෙනා එක්ව පෙළපාලියක්’’ යාම එකී යෝජනාව යි.

යෝජනාවේ යථාර්ථය සැලකිල්ල දැක්වීම කෙසේ වෙතත්, ප්‍රගතිශීලී පෙරමුණට පොදු මැයි වේදිකාව ද අහිමි විය.

එකඳු පළාත් පාලන ආයතන නියෝජිතයකු හෝ නැති දේශ විමුක්ති ජනතා පක්ෂයට ලැබෙන අනුග්‍රහය එවැනි නියෝජිතයින් කිහිප දෙනෙකු සිටිනා ඔවුන්ට අහිමි කිරීම සාධාරණ ද? දේශ විමුක්ති පක්ෂයට එකී අවස්ථාවන් අහිමි කළ යුතු යැයි මේ ප්‍රකාශයෙන් මොනම ආකාරයකින් හෝ අපි අදහස් නොකරන්නෙමු.

මහජන පක්ෂයේ කොටසකට ලද වරප්‍රසාදය බ. නි. පෙ. ට නොදීමෙන් ද තේරුම් ගත හැක්කේ පොදු පෙරමුණු නායක නායිකාවන් සතුව ඇති අධිපතිවාදී මානසිකත්වය නොවේ ද?

නමින් සඳහන් නොකළ ද මෙවැනි නව පිරිස් හා කණ්ඩායම්කිහිපයක් ම පොදු වේදිකාව වෙත ළගා නොවූයේ කැඳවුම්කරුවන්ගේ දුර්වලකමිනි. සොච්චම් වැටුප් වැඩිවීමක් ඉල්ලා වර්ජනය කළ විට ඔවුන් වැඩපළින් එළියට ඇද දැමූ එ. ජා. ප. නායකයින්, වැඩ වර්ජනය කළ වරදට සේවාස්ථානය තුළදී ම කම්කරුවන් මරා දැමූ එ. ජා. ප. නායකයින්, මැයි දිනය සැමරීමේ වරදට මැයි පෙළපාලියකදි ම කම්කරුවන් සිසුන් මරා දැමූ එ. ජා. ප. නායකයින්, ජනතාකරණයට පාවාඩ දැමූ නායකයින් තම වර්ණය ‘‘ළා’’ කරගනිමින් පැමිණි විට ඔවුන් කොන්දේසි විරහිතව පොදු වේදිකාවට වඩම්මන ඒකාබද්ධ විපක්ෂ නායකත්වය, රට තුළ ප්‍රබල හඬක් නොතිබුණ ද ආරම්භයේ සිට ම මේ දක්වා ම වරප්‍රසාද නොලද්දවුන් පිළිබඳ කතාකරන කුඩා පක්ෂ හා කණ්ඩායම් දෙස වපරැසින් බැලීම සාධාරණ ද?

ඊ. පි. ආර්. එල්. එෆ්. සංවිධානය වැනි දකුණහා තරමක් දුරට හෝ සමීපව කටයුතු කරන පිරිස් වෙත විපක්ෂයේ ආරාධනා යොමු වීම ද බේරගත හැකි දුෂ්ට ප්‍රයත්නයකි.

ඔවුන් වේදිකාවට නැංවීමේ දී එ. ජා. ප. ප්‍රචාරක යන්ත්‍රය ක්‍රියාත්මක කරන නිවට ජාතිවාදී ප්‍රචාරණය පිළිබඳ බිය හැරෙන්නට අන් හේතුවක් විපක්ෂයේ නායකත්වයට මේ සඳහා සැපයිය හැකි ද?

ප්‍රශ්න විසඳීම සඳහා ප්‍රාථමික ශ්‍රේණියේ හෝ වැඩ පිළිවෙළක් මේ කිසිඳු කණ්ඩායමකට නොමැති බව අපි දනිමු. එහෙත් බලාධික ඒකාධිපතියකු යටතේ රටක ජනතාවට අන් සියලු ප්‍රශ්න අභිභවා නිදහස පිළිබඳ ප්‍රශ්නය මුල් තැනට පැමිණි විට කළයුතු වන්නේ සියලු නිකාය භේදයින්ගෙන් වියෝ වී ප්‍රධාන සතුරා හඳුනා ගැනීම යි. මැයි 1වැනිදා වැනි දිනයක් එයට අනර්ඝ ප්‍රවේශයක් ගෙන දේ.

භාණ්ඩ හා සේවා මිල උසුලාගත නො හැකි ලෙස වැඩි වීමේ සිට පැහැරගෙන ගොස් මරා දැමීම දක්වා වූ වත්මන් ශ්‍රී ලංකාවේ නිධන්ගත ප්‍රශ්නවලට මුල් වූ ඒකාධිපති ව්‍යවස්ථාව වෙනස් කළ හැක්කේ එමඟින් පමණි.

1992 මැයි 10 - ලක්දිව

තරුණ පරපුරේ කෝපය සහ වෛරය

strike slපූර්විකාව

අද අප ඉදිරිපත් කරන්නේ රාවය සඟරාවෙන් උපුටාගත් සංස්කාරක සටහනේ සිව්වැනි පියවර යි. මෙම ලිපිය පළවී දැන් වසර 25 ක් ද ඉක්ම ගොස් අවසාන ය. එහෙත් යථාර්ථය නම් ලාංකේය දෙරණ මත වෙසෙන තරුණ පරපුර පවතින පාලනය කෙරෙහි වුව ද සුබවාදි ආකල්පයක නොසිටින බව යි. වර්තමාන පරපුර තවමත් අවි ආයුදවලින් සිය විමුක්තිය උදා කරගන්නට මෙතෙක් නොපෙළඹුණ ද තමන්ට සහ අනාගත පරපුර වෙනුවෙන් පවතින ක්‍රමය වෙනස් කළ යුතු ය යන මතයේ එල්බ සිටිති. Read more...

ජනමාධ්‍යය: දොරගුළු වසා තිබේ

gate closedඅප මෙතෙක් ඔබ වෙත ඉදිරිපත් කළ ‘‘එදා කී කතා’’ සියල්ලට පූර්විකාවක් සැපයු බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ. මතු දැක්වෙන ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ මීට විසි වසරකට පෙර මෙරට පැවති මාධ්‍යය වාරණයේ එක් පැතිකඩකි. Read more...

පරපුරක් නැති ජාතියක්

war celebrationපූර්විකාව

‘‘මට රකින්නට කුමරෙක්, කුමාරියක් හෝ පරපුරක් නැත’’ යනුවෙන් එදා පැවසුවේ මෙරට ප්‍රථම විධායක ජනාධිපති වූ ජේ. ආර්. ජයවර්ධන ය. ඔහුගේ එම ප්‍රකාශය හුදු පුද්ගලික අර්ථයකින් වියුක්ත කළ විට නිගමනය කළ හැකිවන්නේ එය පරම සත්‍යයක් බව ය. මන්ද අනාගත පරපුර දැවැන්ත ණය බරකට යට කරමින් ඔහුගේ පාලන සමයේ ඇරඹි විවෘත ආර්ථික රටාවේ ආදිනව අද අප අත්වඳිමින් සිටින බැවිනි. Read more...

රජය සහ ප්‍රජාතන්ත්‍රවාදය

army jaffnaඅද අප ඔබට ඉදිරිපත් කරන්නේ ‘‘රාවය’’ සඟරාවේ සකසු සටහනේ තුන්වන අදියර ය. මෙම සටහන තුළින් එදා රාවය සංස්කාරකවරයා ඉදිරිපත් කොට තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම සහ එය පිටුදැක හිතුවක්කාර ලෙස රටක් පාලනය කරන්නා වූ පාලකයන් පිළිබඳ දළ සටහනකි. Read more...

ජීවන බර හෑල්ලු නොකළොත්....!

 

inflationපූර්විකාව
80 දශකයේ අප මහත් රුචිකත්වයෙන් කියැවූ, රාවය සඟරාවේ එකල පළ වූ සංස්කාරක සටහන් කිහිපයක් පසුගිය සතියේ සිට නැවතත් ඉදිරිපත් කිරීමට අප කටයුතු යෙදුවෙමු. අද පළවන්නේ එහි දෙවන සංස්කාරක සටහන යි.

Read more...

කැසිනෝ වසංගතයට තල්ලුවක්

 

casino 1පූර්විකාව
‘‘එදා කී කතා’’ තීරය අප ඔබ වෙතට ගෙන එන්නේ ඉතිහාසයේ සිදුවූ සියල්ල වෙනස් මුහුණුවරකින් වුව නැවත නැවතත් ඒ ආකාරයෙන් ම සිදුවෙමින් පවතින බව ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා ය. එය වඩ වඩාත් ප්‍රත්‍යක්ෂ කරනු වස් අද සිට වරින් වර අප ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නේ 80 දශකයේ මැද භාගයේ ඇරඹි ‘‘රාවය’’ සඟරාවේ ‘‘සංස්කාරක සටහන’’ තීරයේ පළවූ කතු වැකි කිහිපයකි.

Read more...

අපි අපේ යෝධයා ඇහැරවා ගනිමු!

giantපූර්විකාව

මතු දැක්වෙන්නේ මීට විසි වසරකට ඉහත ලියැවුණ ලිපියකි. මෙම ලිපියට ප්‍රස්තුථ වූ නාට්‍යය ද නාට්‍යය නිර්මාකයා ද අද අප අතර නැත. එහෙත් මෙම නාට්‍යය හා සබැඳි කතා වස්තුව වර්තමානයේ ද පාලකයෝ ද පාලිතයෝ ද යෙහෙන් රඟ දක්වමින් සිටිති. Read more...

ජාතික පුවත්පත් කීකරු වෙලා - සොලමන් රණසිංහ

freedom pressපූර්විකාව

වර්තමානයේ මෙරට දේශපාලනය සහ දේශපාලකයා යනු නිරන්තරයෙන් භ්‍රමණය වන්නකි; එය පාථිවිය තමා වටා භ්‍රමණය වනවාටත් වඩා වේගයෙන් සිදු වේ. දේශපාලකයන්ගේ අතවැසියන් ද එසේ ම ය. ඔවුන් ද අදාළ දේශපාලකයා සමඟ ම භ්‍රමණය වෙති. Read more...

පෙරටුගාමී සගයෙක් - විමලසිරි ගම්ලත්

Wimalපූර්විකාව
යහපත් සමාජයක් බිහි කිරීම උදෙසා විවිධ පුවත්පත් හරහා සමාජය දැනුවත් කළ කණ්ඩායමක් ලෙස; සුනිල් මාධව ප්‍රේමතිලක, රෝහිත භාෂණ, විනී හෙට්ටිගොඩ, විමලසිරි ගම්ලත්, උදිත ගයාෂාන්, ලාල් වෙඩික්කාර ඇතුළු තවත් බොහෝ පිරිසක් ‘‘ලක්දිව’’ පුවත්පත අත්හැර මහමඟට පිවිසෙන්නේ තවත් ඉදිරි පියවරක් තැබීමේ අධිඨනෙනි. නොයෙක් දුක් පීඩා විඳිමමින්, කුසට නිසි අහරක් නොගෙන, කයට නිදි සුව නොදී,  එකී අධිඨනන ජයගත් බව සැබවි. එකී ජයග්‍රහණයේ අග්‍ර ඵලය වූයේ ‘‘හිරු’’ පුවත්පත බිහිවීමය. Read more...

දේශපාලන සිරකරුවෝ

prisonersමහනුවර අත්අඩංගුවට ගැනීම්, අතුරුදන්වීම් සහ මරා දැමීම්

දෙරගමුව, දීපදුත්තාරාමයේ වැඩ විසූ තිබ්බටුවාවේ ඥානසාර හිමි 1989 - 03 වන මස දෙවන දින අත්අඩංගුවට ගෙන ඇත. ඒ සඳහා පැමිණ ඇත්තේ වත්තේගම පොලිසිය සහ හමුදාව ය. ඒ වන විට උන්වහන්සේගේ ගුරු හිමියන්  අසාධ්‍යයව සිට ඇත.

Read more...

 

 

එදා කී කතා