21 July 2018
RSS Facebook Twitter   

පුළුල් බලය බෙදීමකට මේ ආණ්ඩුව සූදානම් නැහැ - සුචරිත ගම්ලත්


sucharitha 1පූර්විකාව

ජූලි මාසය යනු ලංකාවේ ඓතිහාසික සංසිද්ධීන් කිහිපයක් සනිටුහන් කළ මාසයකි. ඒ අතුරින් නිරන්තරයෙන් මතකයට නැගෙන්නෙ 80 ජූලි වර්ජනය සහ 83 කළු ජූලිය යි. මෙම සිද්ධීන් දෙක අතුරින් වඩාත් අවධානය යොමු වන්නේ 83 කළු ජූලිය වෙත බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ.

2014 වර්ෂය වනවිට 83 කළු ජූලියට වසර 31 කි. මෙම වසර 31 තුළ ලාංකිය ප්‍රජාව ලෙස අප අත්විඳි දුක්ගැහැට අනන්තය; අප්‍රමාණය. 2009 වසරේ නන්දිකඩාල් කලපුවේ මහා මෙහෙයුමෙන් ත්‍රස්තවාදය අතුගා දැමුවේ යැයි පාලකයේ උදම් ඇනූව ද සැබෑ යුද්ධය තවමත් අවසන්ව නැත. මේ වන විට පාලකයෝ වෙනත් වෙනත් යුද ආරම්භ කොට ඇත. එය උතුරේ ද දකුණේ ද යන්න වෙනසක් නොමැත. මන්ද පාලකයෝ තම පැවැත්ම ආරක්ෂා කර ගැනීම සදහා වරින් වර විවිධ යුද මවන්නෝ ය; ජනතාව පාලනය කිරීම සඳහා විවිධ නීති පනවන්නෝ ය.එසේ නොවන්නට පාලකයන්ට එරෙහිව හිස ඔසවන ජනතා බලය පාලනය කළ නොහැකි බව වර්තමානයේ මතු නොව රාජාණ්ඩු සමයේ පාලකයෝ ද දැන සිටියහ. එදා මෙදාතුර පාලකයෝ වරින් වර නීති අණ-පනත් සම්මත කර ගත්තේ එහෙයිනි.

අප අතරින් වියෝ වු මහා පඬිරුවනක් වූ මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා සමග කළ පහත සඳහන් සම්මුඛ සාකච්ඡාවෙන් ගම්‍ය වන්නේ කුමක් ද?

ඔහුට අනුව ධනේශ්වර පාලනයක් පවත්වාගෙන යාමට නම් රටේ ඕනෑම ප්‍රදේශයකට බහුජාතික සමාගම් සහ විදෙස් ආයෝජකයෝ කැඳවිය හැකි තත්ත්වයක් පැවතිය යුතු ය. එහෙත් උතුරු නැගෙනහිර LTTE පාලනයයටතේ පවතින්නේ නම් එය සිහිනයක් ම පමණි. යුද්ධය ආරම්භයේ සිට රට පාලනය කළ පාලකයෝ LTTEයේ යුදමය වාතාවරණය යුද්ධයෙන් හෝ සාමයෙන් නිම කළ යුතු බවට තීරණය කරන්නේ රටේ ජනතාවට ඇති ආදරයකට නොව විදෙස් ආයෝජකයන්ගේ මනදොළ සපුරාලීම පිණිස ය. යුද්ධය අවසන් වු වහාම පළමුව අවධානය යොමු කළ යුතුව තිබුණේ අදාළ ප්‍රදේශයේ අවතැන්ව සිටින අහිංසක සිවිල් ජනතාව වෙත වුව ද පාලකයෝ පළමුවෙන් ම කළේ විදෙස් ආයෝජකයන්ට අත්‍යවශ්‍ය යටිතල පහසුකමක් වූ මහා මාර්ග පද්ධතිය කඩිනමින් නිම කිරීම ය. අවතැන් වු සිවිල් ජනතාවගේ සුබසාධනය සදහා වූ වැඩ පිළිවෙළක් සකසන්නට පාලකයෝ මේ වනතෙක් අසමත්ව සිටින්නේ එය ඉටු කිරීමට වුවමනාවක් නොමැති බැවින් මිස ප්‍රතිපාදන නොමැති බැවින් නොවේ.

මෙම සාකච්ඡාව පවත්වන සමයේ රටේ බලය හෙබවු රනිල් වික්‍රමසිංහට ද ඉහත සඳහන් උගුලෙන් ගැලවීමට නම් කෙසේ හෝ උතුරු නැගෙනහිර දෙපළාතේ සාමය ස්ථාවර කළ යුතුව තිබිණ. ඔහු LTTE සංවිධානය සමග සාම ගිවිසුමකට එළඹෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එදා ඊට ප්‍රබල ලෙස විරුද්ධත්වය පෑවේ ජනතා විමුක්ති පෙරමුණ යි. ඔවුන් එසේ විරුද්ධත්වය පෑවේ මන්ද යන්න ඇතැමෙකුට ගැටලුවක් විය හැකි ය. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ විධායකය හොබවන පිරිස් මෙයට විරුද්ධ වූයේ රනිල් වික්‍රමසිංහගේ දුර දක්නා නුවණ පිළිබඳ අවබෝධයක් නැතිව නොවේ. ඔවුන් එයට විරුද්ධ වන්නේ මෙහි අනාගත වාසිය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සතුවන බව සක් සුදක් සේ පැහැදිලි වූ බැවිනි.

අද යුද්ධයෙන් රට මුදවා ගත්තා යැයි උදම් අනන පාලකයෝ මොහොතක්වත් නොසිතන හෝ සිතූව ද නොසිතුණා සේ සිටින ප්‍රධාන කරුණ නම් LTTE සංවිධානය දෙකඩ කිරීමට, රනිල් වික්‍රමසිංහ සහ LTTE සංවිධානය අතර ඇති කර ගත් සංහිඳියාව ප්‍රමුඛ වු බව යි. කරුණාඅම්මාන් වැනි පිරිස් කැලයෙන් එළියට ගෙන ‘මේ බලාපල්ලා උඹලා නොදන්නා ලෝකයක් තිබෙනවා. ඒ ලෝකයට වරෙල්ලා’ යැයි කළ ආරාධනය පිළිගෙන එළියට පැමිණි LTTE සාමාජිකත්වය එළියේ තිබෙන ලෝකය වැලඳ ගත් බවයි. එසේ නොවන්නට වර්තමානයේ රාජපක්ෂ රෙජිමයට යුද්ධය පිළිබඳ හෝ සාමය පිළිබඳ මෙලෝ දැක්මක් නොතිබිණ.

මහාචාර්යවරයාගේ ප්‍රකාශයෙන් ගම්‍ය වන තවත් ප්‍රධාන කරුණක් නම් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරමින් රට යුද්ධයක් දක්වා තල්ලු කිරීම වෙනුවෙන් දක්ෂිණාශික, අන්ත දක්ෂිණාශික මෙන්ම වාමාංශික පක්ෂ ද ඍජුව ම වගකිව යුතු බවයි. මේ සියලු දේශපාලන පක්ෂ හක්කෙ බුදුරැස් සමගින් ම බොක්කෙ දඩමස් රඳවාගෙන සිටි පිරිස් බව ඔහු වැඩි දුරටත් සනාත කරයි. එපමණක් නොව ස්වයංනීර්ණ අයිතිය යනු කුමක් ද යන්න පවා ඔහු ඉතා නිවැරදි ආකාරයෙන් විග්‍රහ කරයි. එහෙත් අවසානවාවකට අපේ රටේ දක්ෂිනාංශික දේශපාලන පක්ෂ කෙසේ වෙතත් වාමාංශික දේශපාලන පක්ෂ පවා අවස්ථාවාදි මඩ ගොහොරුවේ එරී සිටි බැවින් රටේ පීඩිත ජනතාවගේ විමුක්තිය ගගිලිහි ගිය බව ඔහු මැනවින් පැහැදිලි කරයි.

දැනට ක්‍රියාත්මක වෙන සාකච්ඡාමය ක්‍රියාමාර්ගය තුළ ආණ්ඩුවේ සහ බටහිර රාජ්‍ය තන්ත්‍රයේ උපාය මාර්ගය කුමක්ද?

පසුගිය අවුරුදු 20 ක් පුරා උතුරු නැගෙනහිර මුළුමනින් ම බහුජාතික ආයෝජකයන්ට සහ ශ්‍රම සූරාකෑමේ ක්‍රියාවලියට නතු නොවී වෙන් වී පැවතුණා. දැන් එහෙ ඉන්නේ අන්ත දුගියෝ. ඉතින් ඒ ලාබ ශ්‍රමයත්, වටිනා ස්වාභාවික සම්පත් ප්‍රමාණයකුත් මේ බහුජාතික යාන්ත්‍රනයට ගැටගහගන්න බැරුවයි තියෙන්නේ. අධිරාජ්‍යවාදය ඒ අහිමිවීමත් සැලකිල්ලට ගෙන රනිල් වික්‍රමසිංහට බල කෙරුවා කිසියම් සාකච්ඡාමය ක්‍රියාමාර්ගයකින් සංහිඳියාවකට සමථයකට එන්න කියල. අනෙක් අතින් LTTEයටත් විශාල කාලයක් යුද්ධ කරලත් යුද්ධයෙන් ම අවසාන ජයග්‍රහණයක් ලබාගන්න බැරි බව ඒත්තු ගිහිල්ලා තිබුණා. මේ සාකච්ඡා ක්‍රියාවලිය ඇරඹීමටත් පෙර සිට ම LTTE ය ලංකාණ්ඩුවටත් අධිරාජ්‍යවාදීන්ටත් අඟවලා තිබුණා අපි යම් සාකච්ඡාමය ක්‍රියාමාර්ගයකට එළඹෙන්න සූදානම් කියල. ඉතින් ඒ සන්දර්භය තුළ තමයි ‘සාම සාකච්ඡා’ කියන ක්‍රියාවලිය ආරම්භ වුණේ.

අද ආණ්ඩුව යම් උභතෝකෝටියකට මුහුණපා සිටීද? නැතිනම් මේ සාකච්ඡා ඇනහිටීම නම් කඩුල්ල පැනගැනීමට මේ රටේ ධනේශ්වරයට ගතහැකි උපාය කුමක් විය හැකි ද?

ලෝකයේ යම්කිසි ජාතික විමුක්ති ව්‍යාපාරයක් මර්දනය කරන්න විවෘත ක්‍රම දෙකක් ඉතිහාසය පුරා අනුගමනය කරල තියෙනවා. එකක් යුදමය වශයෙන් එය තලා පෙලා දැමීම. නමුත් ජාතික විමුක්ති ව්‍යාපාරයක් බොහෝ විට ගරිල්ලා සංග්‍රාමෝපායන් අනුගමනය කරන නිසා ඒවා අවසාන වශයෙන් පරාජය කර දැමීම කල්ගත වෙනවා. දැන් අයර්ලන්ත අරගලය අවුරුදු එකසිය ගණනක් තිස්සේ දිගහැරෙමින් පවතිනවා. ඒ නිසා ඊළඟට අනුගමනය කරන ක්‍රමය තමයි ඒ විමුක්ති අරගලයේ නායකත්වය මත කිසියම් පාවාදීමක් පැටවීමේ උපාය.

LTTEයටත් දැන් ප්‍රශ්නයකට මුහුණ පාන්න සිද්ධවෙලා තියෙනවා. එහේ සිටිය යමක්-කමක් තිබුණ උදවිය කැනඩාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව වගේ රටවල්වලට විශාල වශයෙන් සංක්‍රමණය වෙලා තියෙනවා. දැන් උතුරු නැගෙනහිර ඉතුරුවෙලා ඉන්නෙත්, අරගලය පෝෂණය කරන්නෙත් අන්ත දුගී ජන කොටසක්. මේ ජනතාවගේ ප්‍රශ්න විසඳන බවට වන ඒත්තුගැන්වීම උඩයි මේ අරගලයට ඔවුන්ගේ දායකත්වය, කැපවීම් සහ පරිත්‍යාගයන් එකතුකරගෙන තියෙන්නෙ. ඒ නිසා දිගු කාලයක් කැපකිරීම් කරල අපි ලබාගත් දේ මේ යැයි ඒ ජනතාවට පෙන්වීමට දෙයක් LTTEයට අවශ්‍යය යි. ජාතික විමුක්ති ව්‍යාපාරයකට බැහැ පීඩිත ජනතාවගේ ප්‍රශ්න විසඳාලන්න හරි විසඳන පාලන රටාවක් පිහිටුවන්න හරි. පලස්තීන අරගලයේ දී ඒ සාකච්ඡාමය ක්‍රියාවලිය තුළ අර්ෆත් නායකත්වයට පාවාදීමක් පටවනු ලැබුවා. ඒ නිසා නිදහස් අරගලයවත්, පීඩිතයාගේ ප්‍රශ්නවත් විසඳන ජයග්‍රහණයකට ඒමට පලස්තීන ජනතාවට නොහැකි වුණා. LTTE ය යටතේ ධනේශ්වරයේ දේපළ අයිතිය ඔවුන්ගෙන් අස්වාමික කරලා සැලසුම්සහගත ආර්ථික ක්‍රමයකට යාමේ වැඩ පිළිවෙළක් නෑ. එහෙත් ඔවුන්ට පෙන්වන්න දෙයක් LTTEයට ඕනෑ නිසයි වෙනම පරිපාලන ව්‍යුහයක් උතුරු නැගෙනහිර සඳහා ඉල්ලන්නේ. නමුත් ලංකාවේ පාලක පංතියට හැකියාවක් නැහැ විශේෂ බලතල සහිත පාලන ඒකකයක් ඒ දෙපළාතට ලබා දෙන්න. විශේෂයෙන් ඉන්දීය ප්‍රාන්ත රාජ්‍යය බලතල පරයා යන බලතල ඇති පාලන ඒකකයක් ලබා දෙනවාට ඉන්දියාව කොහෙත්ම එකඟ නැහැ. එක හේතුවක්, ඉන්දියාවේ ජාතීන් නවයක් (ඊසාන දිග ඉන්දියාවේත් තමිල්නාඩුවේත්) ස්වයංනීර්ණ අයිතිය ඉල්ලා කැරලි ගසනවා. ඒවා දරුණු ලෙස මැඩපවත්වමින් ඉන්න ඉන්දියාව එහෙ තියෙන ෆෙඩරල් ක්‍රමය ඉක්මවා යන බලතල සහිත උතුරු නැගෙනහිර LTTE පාලනයක් ඇතිවෙනවාට කොහෙත්ම කැමති නෑ. ඊට අමතරව එවැනි ෆෙඩරල් විසඳුමකට යාමට මෙහෙ ඉන්න උග්‍ර වර්ගවාදී පක්ෂ ඉඩ තියන්නේ නෑ. දැන් ජවිපෙයි ශ්‍රිලනිපය යි යම් සන්ධානයකට එකඟ වුණා ම වික්‍රමසිංහට බොහෝ අමාරු වෙනවා LTTEයට විරුද්ධව මේ දෙගොල්ලන් ඇති කරන වර්ගවාදයට මුහුණ දෙන්න.

හැබැයි 1980 ඉඳල දෙමළ විරෝධී ඝෝරතර වර්ගවාදයක විෂ දුමාරයක් හදා වඩා පෝෂණය කළේ එක්සත් ජාතික පක්ෂ රජය විසිනු යි. අද ඒක ඔවුන්ට ම පාරා වළල්ලක් වෙලා තියෙනවා. මේ ආණ්ඩුවට පුළුල් බලය බෙදීමේ විසඳුමකට යන්නත් බෑ. LTTEයට මේ දේ අපට ලැබුණායි දෙමළ ජනතාවට පෙන්නන්න දේකුත් නෑ. ඒකයි දැන් තියෙන හිරවීම.

ලංකාවේ වමේ ව්‍යාපාරයට මේ තිබෙන දේශපාලන අවකාශය තුළ ඇති කාර්ය භාරය කුමක් ද?

මගේ ශබ්ද කෝෂය තුළ මේ වාමාංශික, ප්‍රගතිශීලීත්වය කියන වචන නෑ. මම ඒවා ප්‍රතික්ෂේප කරනවා. මේ වචන පාවිච්චි කරන ආකාරය ගත්තොත් නිදහස් පක්ෂයත් වමේ, ජවිපෙත් වමේ, මහජන එක්සත් පෙරමුණත් වමේ, සම සමාජ කොමියුනිස්ට් පක්ෂත් වමේ. (මම අනික් කුඩා වාමාංශික පක්ෂ ගැන කතා කරන්නෙ නැහැ) ලංකාවේ එක්තරා යුගයක විප්ලවවාදි අසහාය නායකයාව සිටිය සම සමාජ පක්ෂය 1964 දි ලංකාවේ පිඩිත පංතිය බෙල්ල ළඟින් කුදලලා ධනපති පංතියට පාවලා දුන්නා. ජවිපෙ, මඑපෙ වැනි වර්ගවාදී, දෙමළ විරෝධී, දෙමළ අරගලය කුඩුපට්ටම් කරනු කියන මේ රොත්ත ම එකතුවෙලා හැදෙන මේ හැඳින්වීමට මම විරුද්ධයි. සම සමාජ කොපට මීට විකල්පව කියන්න දෙයක් නෑ. ඒ නිසා මීට විකල්පයක් ගෙන ආ හැක්කේ කම්කරු පංතියට පමණයි. කම්කරු පංතිය සංවිධානය වෙලා ආණ්ඩුවට බල කරන්න තියෙන්නේ පීඩිත ජන කොටස්වලට අත තියන්න එපා කියල. ලෝකයේ සියලු පීඩිත ජාතීන්ගේ ස්වයංනීර්ණ අයිතිය පිළිගැනීම කියන එක සමාජ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ දෙවන සමුළුවේ දි පිළිගත් සම්මුතියක්. මෙහි ස්වයංනීර්ණ අයිතිය කියලා ලෙනින් පෙන්වා දුන්නේ වෙනම රාජ්‍යයක් තෙක්ම වෙන්වීම සඳහා වන අනුලංඝනිය අයිතිය යි. අපි ඒක කොන්දේසි විරහිතව ආරක්ෂා කරනවා. ඉන් අදහස් වන්නේ වෙන්වන්නැයි කීම නොවෙයි. වෙන් වීමට අවශ්‍යය නම් ඊට ඇති අයිතිය පිළිගැනීම යි. හැබැයි දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විසඳුම කියන එක මේ පළාතේ (දකුණේ) අයගේ වැඩක් නොවේ. ලෙනින් 1913 දී පමණ පැහැදිලිව ම මේ ගැන කියලා තියෙනවා. ස්වීඩනයෙන් නොර්වේ රාජ්‍යය වෙන්වීම බැලුවහොත් ස්වීඩනය නෝර්වේ ජනතාවට අවස්ථාව ලබා දුන්නා අප සමග එකට ඉන්නව ද? වෙන්වෙනවද කියල තීරණය කරන්න. (1905 දී) ඒක තමයි යුරෝපයේ ජාතික විමුක්ති අරගල ප්‍රජාතන්ත්‍රික ලෙස විසඳාගැනීම අවසන් වන අවස්ථාව.

හැබැයි මෙහෙම නිවැරදි කිරීමකුත් වෙන්න ඕන. මම ඉස්සර විප්ලවවාදි කොමියුනිස්ට් සංගමයේ සාමාජිකයෙක්ව ඉන්න කාලේ රුසියානු දෙවන ජාත්‍යන්තරයේ පීඩිත ජාතීන්ගේ ස්වයංනීර්ණ අයිතිය පිළිගන්නා වකවානුවේ දි මම ඊළාම් ගීතයක් ලිව්වා. මේකට මට හතර අතින් පහර දුන්නා. සිංහල ජාතිය පාවා දෙන LTTEකාරයෙක් ය කියල. මම LTTEකාරයෙකුත් නෙවෙයි. (80 ගණන්වල) මුල් වකවානුවේ පැවති දෙමළ විමුක්ති සංවිධාන පහ අතරින් LTTE එක වඩාත් ස්ථීරසාර සංවිධානය ලෙස මම දැක්කා. ඒ කාලේ අපි හිතුවා LTTE සංවිධානයට සහයෝගය දිය යුතුයි කියල. නමුත් පසුකාලීනව ඒ අය දෙමළ ජනතාවගේ ස්වයංනීර්ණ අයිතියට ම හතුරුකම් කරන්න පටන් ගත්තා. එකක් තමයි මුස්ලිම් ජනතාව එළවලා දාපු එක. දෙවන කාරණය තමයි වමේ කම්කරු පංතියට ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය නැති කරපු එක. මේවා දෙමළ ජාතියේ විමුක්තිය සඳහා කෙරෙන දේවල් නොවේ. පස්සෙ කාලෙක LTTEයේ මේ වැඩ මම විවේචනය කළා.

නමුත් මට හිතෙනවා LTTE ය මේ වැඩවලට පෙලඹුණේ මෙහෙ කම්කරු නායකයෝ ධනපති පාලකයන් එක්ක එකතු වෙලා LTTE යට පහර දීමත් එක්ක ඔවුන් හුදෙකලා වීම නිසා වුණ දේවල් ලෙසට කියල. කොහොම වුණත් ඒ දේවල්වලින් ජාතියේ විමුක්තියට විශාල හානියක් සිදු වුණා.

තාරක වරාපිටිය
හිරු 2003 ජූලි - අගෝස්තු

 

 

එදා කී කතා