19 January 2018
RSS Facebook Twitter   

අධිපති - විකල්ප මතවාද, තහංචි හා වාරණ - මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර

 

sunanda mahendraපූර්විකාව

‘මතවාදය, අධිපති මතවාදය’ මෙම වදන්වල සැබෑ අරුත කුමක්ද යන්න මේ වන විට ලාංකිය පාඨකයාට වෙසෙසින් හඳුන්වා දිය යුතු නැත. නමුත් අප අවධානය යොමු කළ යුත්තේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මෙම සාකච්ඡාවට සහභාගි වන අවධියේ මෙරට පැවති අධිපති මතවාදය, ඊට එරෙහිව පෙළගැසුණු ව්‍යාපාර සහ එම ව්‍යාපාරවල සහයෝගයෙන් බලයට පැමිණි පාලකයෝ වර්තමානයේ තමන්ගේ අධිපති මතවාදය දියත් කරන්නේ කෙසේ ද යන්න ය. මෙම සකච්ඡාවේ දක්නට ලැබෙන අනෙක් විශේෂත්වය නම් අද මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගෙන් මෙම ප්‍රශ්නාවලිය ම ඇසුවොත් ඔහු කුමනාකාරයේ පිළිතුරක් පවසාවිද යන්න ය.

ඔහුට අනුව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සැමට සමානව තිබිය යුතු ය. එහෙත් මෙය රඳා පවතින්නේ එක්තරා වරප්‍රසාදිත පිරිසක් අතර බවත් එය ‘අධිපති සන්නිවේදනය’ බවත් ඔහු පවසනවා. සැබැවින් ම මෙය වර්තමානයට කෙතරම් උචිත ද...?

මේ වන විට රාජ්‍ය නොවන සංවිධාන වෙත ලිපියක් යොමු කරමින් රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ඩී. එම්. එස්. දිසානායකගේ අස්සනින් නිකුත් කරන ලද නියෝගය (මෙය චක්‍රලේඛනයක් ලෙස හැඳින්වුව ද සැබැවින් ම එය නියෝගයකි) මීට කදිම නිදසුනකි. එය මෙතෙක් මෙරට පිහිටි රාජ්‍යය නොවන සංවිධාන මෙන් ම සිවිල් සංවිධාන භුක්ති විඳි මූලික මානව අයිතිවාසිකම් බලහත්කාරයෙන් පැහැර ගැනීමකි.

රාජ්‍ය නොවන සංවිධාන ද, සිවිල් සංවිධාන ද රටක පැවතිය යුතු ය. ඔවුන් කරන්නේ කුමක් ද යන්න සොයා බැලීම රජයේ බුද්ධි අංශයේ වගකිමක් බව සැබැවි. එහෙත් කිසිවක් කරන්නට ඉඩ නොදී මෙබඳු නියෝග නිකුත් කිරීම සැබැවින් ම මානුෂික අයිතිවාසිකම් අදුරා ගැනීමකි; අධිපති මතවාදය විස්තාරණය කිරීම සඳහා ඉඩකඩ ලබාගැනීමකි.

අතීතයේ සිට මේ ආකාරයට අධිපති මතවාද විස්තාරණය කිරීමට පාලකයෝ උත්සුක වූහ. ලෙක්හවුස් ආයතනය වර්තමානයේ රාජ්‍ය ප්‍රචාරක මන්දිරය වී තිබෙන්නේ ද මීට පෙර රට පාලනය කළ එක් පාලක පිරිසකගේ අධිපති මතවාදය විස්තාරණය කිරීම පිණිස කළ බලහත්කාරි ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස ය. මේ වන විට එම ව්‍යසනය නොනිල වශයෙන් තවත් මුද්‍රිත ආයතන බහුතරයකට කාන්දු වී හමාර ය. එම ආයතන නමින් පුද්ගලික වුව ද සියල්ල පාලනය කරන්නේ අධිපතියාගේ සහ ඔහුගේ පරම්පරාවේ අවශ්‍යතාවන් ඉටු කිරීම පිණිස ය. විකල්ප පුවත්පත් ලෙස හඳුන්වා දෙමින් කරළියට පැමිණි අතැම් පුවත්පත් ද මේ වන විට අධිපතියා සහ එකී පරම්පරාවේ අවශ්‍යතාව අනුව කටයුතු කරමින් සිටි. එමතු නොව ස්වාධීන යැයි කියාගන්නා පුවත්පත් මුද්‍රණය කර ප්‍රසිද්ධ කරන දවැන්ත සමාගම් ද ඉහත කී අවශ්‍යතාව ඉටුකිරීම පිණිස නව පුවත්පත් වෙළෙඳපළට නිකුත් කොට ඇත.

මේ වන විට සමාජ වෙබ් අඩවි මෙන් ම විවිධ වෙබ් අඩවි මෙම අධිපතියන්ට හිසරදයක් බවට පත්ව ඇත. ඔවුන් වෙබ් මාධ්‍යයට විවිධාකාරයේ කෙනෙහිලිකම් කරන්නේ එබැවිනි. එදා පාලකයෝ තම තමන්ගේ කුණු වසා ගැනීම සඳහා නිල ප්‍රවෘත්ති බලධාරියෙක් පත්කළේ ය. වර්තමානයේ නිල ප්‍රවෘත්ති බලධාරීන් නොමැති වුව ද අදිසි හස්ත මගින් උපරිම ලෙස මාධ්‍යය පාලනයට, මර්දනයට, බියවැද්දීම්වලට, මාධ්‍ය ආයතන ගිනිතැබීම් මතු නොව මාධ්‍යයකරුවෝ ඝාතනය කිරීමට ද සැදි පැහැදී සිටිති.

එසේ නම් මේ මොහෙතේ රටේ උගත් බුද්ධිමතුන්ගේ සහ ජනතාවගේ වගකීම සහ යුතුකම විය යුත්තේ තොරතුරු දැනගැනීම සඳහා ජනතාවට ඇති අයිතිය ඉල්ලා සටන් වැදීම ය. එසේ නොවන කල්හි ජර්මනියේ නාසිවාදින් වෙනුවෙන් පෙනී සිටි ගොබල්ස් වෙනුවට ගොබෙල්ස්ලා සිය ගණනින් බිහි වෙනු ඇත. අවසානයේ සිදුවන්නේ මාටින් නිලමොරේ කී පරිදි පාලකයන්ගේ අවිය තමන් වෙත එල්ල වන විට ඒ සඳහා පෙනී සිටීමට කිසිවකු ඉතිරි නොවීම ය. මන්ද අන් අය වෙත මර්දනයේ අවිය එල්ල කරන විට එය නොතකා සිටි බැවිනි.

අධිපති මතවාදයත් ඊට එරෙහිව පැනනගින විකල්පයත් නිරතුරුව ම සංවාදයට බඳුන් වන මාතෘකාවන් වෙලා. සැබැවින් විකල්පයේත් ඒවාට එරෙහිව පාලකයන් විසින් පනවනු ලබන වාරණයත් අතර ප්‍රශ්නයක් ඉතිරිවෙලා. අපි, මේ මාතෘකා, ප්‍රශ්න පිළිබඳ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර හා සංවාද ගතවුණා

හිරු:- සන්නිවේදනය සහ එහි ක්‍රමික විකාශනයත් ඊට අදාළ සමාජමය ඉතිහාසයත් හඳුනාගන්නේ කෙසේ ද?

ඔහු:- සන්නිවේදනය තනි වචනයකින් නිර්වචනය කරන්න අපහසුයි. දල වශයෙන් කියනවා නම් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට අදහස් ප්‍රකාශ කිරීම සන්නිවේදනය කියල කියන්න පුළුවන්.

රාමපිතිකස් හෙවත් ප්‍රාග් ඓතිහාසික යුගයේ දී ප්‍රාථමික සන්නිවේදන හැකියාව මේ ආදි මානවයන් සතුව පැවති බවට සාක්ෂි තියෙනවා. පරිසරය හා නිරතුරුව ගැවසීමේ ප්‍රතිඵලයක් ලෙස මේ ආදි මානවයන්ගේ ස්නායු පද්ධතියත්, මොළයත් වර්ධනය වෙන්න පටන්ගත්තා. ඒ හරහා තමන්ට හිතකර සහ අහිතකර අනුභූතීන් අතර වෙනස හඳුනාගන්න ඒ අයට පුළුවන් වුණා. ඒක ම සන්නිවේදනයේ අඩිතාලම බවට පත්වුණා.

කාලයකට පස්සෙ තවත් වර්ධනය වුණ ස්නායු පද්ධතිය නිසා මේ මානවයන් භාෂාවක කළල අවස්ථාව සොයාගත්තා.

ක්‍රි:පූ: 7000 වන විට හෝමෝ සේපියන් (Homo Sapiens) මානවයාගේ නියම ස්වරූපය ඇතිවුණා. ඒ කාලයේ ඔවුන්ගේ සන්නිවේදන මාධ්‍යය බවට පත්වුණේ චිත්‍රාක්ෂර (Pictographia) ක්‍රමය යි. ක්‍රි:පූ: 2000 දී පමණ මේ සන්නිවේදන ක්‍රමය වඩාත් ඉහළින් විකාශනය වෙලා, සංකේතාත්මක සන්නිවේදනයක් (Symbolic Communication) ඇතිවුණා. ඒවා මානවීය ඉතිහාසය ප්‍රාථමික හෝඩිය (Primitiv Alphabat) ලෙසයි අද හඳුන්වන්නේ. එලෙස වර්ධනය වුණ සන්නිවේදනය සහ සන්නිවේදන ක්‍රමය අද වන විට සන්නිවේදන මාධ්‍යය විශාල ගණනක් දක්වා විකාශනය වෙලා තියෙනවා.

අමතක නොකළ යුතු වැදගත් ම දේ පරිසරය හා ඒ සමඟ වූ ගැටුම් හේතුවෙන් වර්ධනය වූ ස්නායු සහ මොළය නිසා සන්නිවේදනයවර්ධනය වූ බවයි.

හිරු:- ඔබ කියු සන්නිවේදන සහ සන්නිවේදන ක්‍රමවල වර්තමාන තත්ත්වය විස්තර කරන්න පුළුවන් ද?

ඔහු:- අද වන විට සන්නිවේදනය මෙහෙයවීමේ වගකීමෙන් විශාල කොටසක් දරන්නේ ඉලෙක්ට්‍රොනික සන්නිවේදන ජාලය යි. ඊට අමතරව මුද්‍රිත ලියවිලි යි.
මුල් කොටසින් රූපවාහිනිය, ගුවන් විදුලිය මුල් තැනක් ගන්නවා. මුද්‍රිත ලියවිලි අතරින් පුවත්පත්, නවකතා, කෙටිකතා, පෝස්ටර් ආදිය වැදගත් තැනක් ගන්නවා.

මීට අමතරව චන්ද්‍රිකා, ලේසර් තාක්ෂණය හරහාත් නව සන්නිවේදන ජාලයක් ඇතිවෙමින් පවතිනවා.

එහෙත් මේ සන්නිවේදන මාධ්‍යය සියල්ලට වැය වෙන විශාල මූල්‍යය සම්භාරය මත මේවායේ වගකීම සහ අයිතිය එක්තරා සිමිත පිරිසක් අතට ගොනු වෙලා.

හිරු:- ඔය කියන ‘‘වගකීම් ගොනු වීම’’ සන්නිවේදන ක්‍රියාවන්ට බලපාන්නේ කොහොම ද?

ඔහු:- සන්නිවේදනය කියන්නෙ අදහස් ප්‍රකාශ කිරිම. අදහස් දැනගැනීමේ සහ ප්‍රකාශ කිරීමේ අයිතිය හැමට ම සමානව තියෙන්න ඕන. ඒත් මුලින් කී තත්ත්වය තුළ ඔය කියන නිදහස අහෝසි වෙනවා. එතනදි මාධ්‍යය හරහා සංසරණය වෙන්නෙ එහි හිමිකරුවන් හෝ ඔවුන්ව මෙහෙය වන සමාජ බලවේගවල අදහස් වෙන්න පුළුවන්. මේක තමයි අපි අධිපති සන්නිවේදනය (Authoritarian Viev) කියල හඳුන්වන්නෙ.

මේක මහා විශාල විදියට සමාජ මානව සංවර්ධනය කෙරෙහි බලපානවා. ඇමරිකාව හරහා කියුබාවට ‘පොම්ප කරනු’ ලබන ජොසේ මාර්ටි ගුවන් විදුලිය එවැනි අධිපති සන්නිවේදනයට උදාහරණයක්.

ඔය කියන දෙය ම තමයි ඉරණවිල තනන ‘ඇමරිකන් හඩ’ (Voice of America) තුළිනුත් සිද්ධ වෙන්නෙ.

එතෙන්දි අපට ආවේණික සන්නිවේදන රාමුව සහ රටාව විනාශ කරනවා. අපේ රටාව කියන්නේ කාලාන්තරයක් පුරා ක්‍රමිකව විකාශනය වන දෙයක් ඊට උත්තරාරෝපණය කරන අධිපති සන්නිවේදනය නිසා විශාල විනාශකාරී ප්‍රතිගාමී ප්‍රතිඵල අත්වෙනවා.

කණ්ඩලම, තාප බලාගාර පිළිබඳ එරෙහි වීම අපේ මාධ්‍යයන් විසින් සන්නිවේදනය කරන්නේ ඒ පිළිබඳව පවතින සමාජමය වටිනාකම හේතුවෙන්. ඒත් ඒවායේ අයිතිකරුවන්ට ඔය කියන සමාජ වටිනාකම් අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා ඔවුන් සතු අධිපති සන්නිවේදනය හරහා එවැනි විනාශකාරි ව්‍යාපාරයන් සම්බන්ධ මූල්‍යමය වටිනාකම් පමණක් දක්වන්න පුළුවන්.(ඒ වගේ දේවල් මෑත කාලය පුරාම සිදුවෙනවා)

මේකට හොඳ ම උදාහරණය තමයි ආඥාදායක ඒකාධිපති හිට්ලර් සහ ඔහුගේ ප්‍රචාරක ඇමතියා ගොබෙල්ස්ගේ සම්බන්ධය. ගොබෙල්ස් වෙතින් සියලු සන්නිවේදන මාධ්‍යය හරහා හිට්ලර් තම යුදෙව් විරෝධී නාසි ව්‍යාපාරය ජර්මනිය පුරා වැපුරුවා. හිට්ලර් විනාශ වුණත් ඔහුගේ මතවාදය හිස උඩ තබාගත්තන් අද පවා ලෝකයේ ඉතිරිවෙලා ඉන්නේ ඒ නිසයි.

හිරු:- අධිපති සන්නිවේදනය අතික්‍රමණය කරන්නෙ කොහොම ද?

ඔහු:- ඇයි විකල්පය...? පවතින සන්නිවේදය මානව අවශ්‍යතාවයන් සපුරන්නේ නැති තැන බිහි වෙන්නෙ විකල්පය! එය අවසානයේ වර්ධනය වෙලා අධිපති සන්නිවේදනයත් ආක්‍රමණය කරනවා. හැබැයි එතන දි සුභවාදි මෙන් ම අසුභවාදි ප්‍රතිඵලත් අපට දක්නට ලැබෙනවා.

විශේෂයෙන් අපේ වගේ රටවල්වලට බලපාන්නේ මූල්‍යමය දුෂ්කරතා. සන්නිවේදන මාධ්‍යයක් පවත්වාගෙන යාමට සහ නඩත්තු කිරිමට විශාල ප්‍රාග් ධනයක් යොදවන්න වෙනවා. ඒ ප්‍රාග්ධන ආධිපත්‍යය හිමිවන්නේ විශාල ව්‍යාපාරිකයන්ට පමණයි. මේ නිසා පවතින සන්නිවේදන ජාලයට එරෙහිව බිහිවෙන විකල්පයේ හිමිකරුවන්ගේ අරමුණත් ඒ විකල්පය හරහා ගලනවා. මේකට හොඳ උදාහරණයක් අපේ රටේ පවතින රූපවාහිනි නාලිකා සංඛ්‍යාව. පැවතුණ ජාතික රූපවාහිනිය රාජාධිපත්‍යය බහුලව යෙදවීම නිසා ඊට විකල්පව තවත් විකාශ ගණනාවක් පටන් ගත්තා. ඒත් මේවායින් කරන්නේ බටහිර ගැති සංස්කෘතීන් සහ දේශපාලන මතිමතාන්තර බෙදාහරින එක නේද? ඒ සඳහා ජනප්‍රිය වර්ගයේ ප්‍රසංග කලාවන් සහ වෙනත් වෛවාර්ණ විජ්ජා ඔවුන් උපයෝගී කර ගන්නවා. ඒක අධිපති සන්නිවේදනයත් අතික්‍රමණය කරල අපේ හරපද්ධතීන් විනාශ කරනව. ඔවැනි ප්‍රාග්ධන මුදලාලිලාට අමතරව විදේශ මූලයන් සහිත ස්වේච්ඡා සංවිධානත් බිහිකරන විකල්ප ව්‍යාපාරිකයන් ද ඉහත ප්‍රශ්නය තුළට ගොනු වෙනවා. ඒ මොක ද එවැනි විකල්පයන්ටත් පුළුවන් වන්නේ සිටින දුරකට පමණක් තව ප්‍රතිගාමි මානවවාදි වුවමනාවන් පවත්වාගෙන යන්න විතරයි. කොයි මොහොතක හරි ඒ සංවිධානවල සිටින අරමුණු කඩතොළු වුණ ගමන් එවැනි ප්‍රකාශනවලට ලැබෙන මුදල් අහිමි වෙනවා.

ඒ නිසා වැදගත් වන්නේ පවතින අධිපති හා ව්‍යාජ විකල්පයන් අභිභවන නිදහස්වාදි සන්නිවේදන ව්‍යුහයක් ඇති කර ගැනීමයි. ඒක පොත්පත්වලට විතරක් අදාළ දෙයක් නෙවෙයි. සංගීතය, නර්තනය, නාට්‍යය, දේශන සහ සම්මන්ත්‍රණ ආදි හැම සන්නිවේදන මාධ්‍යයක් විසින් ම උරා ගතයුතු සහ වර්ධනය කර ගතයුතු තත්ත්වයකට ගොඩනගන්නත් ඕන. එහෙම නැතුව ඔය කියන විකල්පවලින් මේ අධිපතිවාදි සන්නිවේදනය බිඳින්න බැහැ.

හිරු:- ඔබ ඔය කියන නිදහස්වාදි සන්නිවේදනයට එරෙහිව බලධාරින් දමනු ලබන වාරණය ගැන...?

ඔහු:- වාරණය හෙවත් තහංචිය මගින් කෙරෙන්නේ ග්‍රාහකයා(සන්නිවේදනය ලබන්නා) වෙත එන දේ සඳහා බැමි බැඳීම යි. මේ බැමි බැඳීම පිළිබඳව තිබෙන්නේ විද්‍යාත්මක තත්ත්වයක්.

වාරණයේ අයිතිය ලබාගෙන තිබෙන්නේ බලය ඇති පාලකයා යි. ඔවුන් තමයි තිරණය කරන්නේ ජනතාවට අවශ්‍ය දේ මොනවද අනවශ්‍ය දේ මොනවද කියන එක. ඔන්න ඔතනයි ප්‍රශ්නය! ඒ අයගේ අදහස් මතිමතාන්තර වාරණයකින් තොරව මිනිස්සු අහන්න ඕන. ඒවා මොන තරම් විනාශකාරි ප්‍රතිගාමි වුණත් කමක් නැහැ. ඒත් වෙනත් අයගේ දේවල් පාලකයන්ට දිරවන්නේ නැත්නම් ඒවා වාරණය කරනවා.

උදාහරණයක් විදියට යුද්ධයක් පවතින විටදි යුද්ධයට එරෙහිව ලිවීමට වාරණය දමනවා. ඇයි...? මිනිස්සුන්ට යුද්ධයට එරෙහි වෙන්න අයිතියක් නැද්ද...? සීමිත පිරිසක් කොහොමද මිනිස්සුන්ගේ චින්තනයට අවශ්‍ය අනවශ්‍ය දේ තෝරන්නෙ...? මොකක් ද ඒ අයට ඒ සඳහා තියෙන අයිතිය...? ඕක බරපතල ප්‍රශ්නයක්.

හැබැයි මමනම් ඕන දෙයක් ප්‍රචාරණය කරන්න ඉල්ලන ‘වල් බූරු නිදහස’ අනුමත කරන්නෙත් නැහැ. සමහරු කියන්නේ ‘කුණුහරුප’ ලියන්නත් නිදහසක් ඕන කියල. ‘ලිංගික විද්‍යාව’ කියන්නේ වටිනා දෙයක්; ඒක විෂයයක්; විද්‍යාවක්. ඒත් ලිංගික විද්‍යාව මුවාවෙන් කුණුහරුප ප්‍රකාශ කිරීම තවත් දෙයක්. අපි කියන සන්නිවේදන නිදහස නම් ඕක නෙවෙයි.

අනික තවත් කාරණයක්... ඔවැනි අසැබි ප්‍රකාශ කරන්න බලධාරීන් ඉඩ දීමත් එක්තරා සැකයක්. ඒ මොක ද...? ඕවාට එරෙහිව පැන නැගෙන මහජන මතය හරහා පළමුව පාලකයන් එම ප්‍රකාශන තහනම් කරයි. දෙවනුව පුරෝගාමි සැබෑ විකල්පයත් තහනම් කරයි. ඒ නිසා වාරණය පිළිබඳවත් අපි පරිස්සමින් හිතන්න ඕන.

හිරු:- හොඳයි! ඒත්, ඔබ කියන ‘වල්බූරු නිදහස’ වෙනුවට වඩාත් සංවේදී, මානුෂීය නිදහසක් සන්නිවේදන මාධ්‍යය වෙත ලබා දීමටත් ඒ හරහා ප්‍රතිගාමි වුවමනාවන් සඳහා අනවශ්‍ය නිදහසක් ලැබීමත් අතර අර්බුදය අපි කොහොමද සමහන් කරන්නේ...?

ඔහු:- ඕක බොහෝ විට සංකීර්ණ, සංවේදි ප්‍රශ්නයක්. එක් පැත්තකින් ව්‍යුක්ත, තවත් පැත්තකින් සංයුක්ත ප්‍රශ්නයක්. වාරණය කළොත් නිදහස් බව අහෝසි වෙනවා කියන තර්කය යි ඔතන පවතින්නේ. තර්කයක් විදියට ඕක නිවැරදි යි. ඒකයි මම මුලින් ම කිව්වෙ අපිට ඕන ‘වල්බූරු නිදහස’ නෙවෙයි කියන එක.
මේ කියන සංස්කෘතික හා සදාචාරාත්මක වාරණය ඇතිවෙන්න ඕන ජනතාව අතරින්ම යි. ජනතාව තේරුම් ගන්න ඕන තමන්ගෙ ඥාන මණ්ඩලය පුළුල් කරන දේ මොනවද කියන එක. ඒ වගේ ම තමන්ගේ සමාජීය ඉදිරි ගමන වළක්වන දේවල් මොනවද කියන එක. ඒ හරහා තමයි වාරණය සිදුවෙන්න ඕන. මේක එක විදියකට ස්වයං වාරණයක්. ඒත් මේ වගේ තත්ත්වයකට ජනතාවගේ බුද්ධිය ඉහළ නැංවීමේ වගකිම තියෙන්නේ ‘බුද්ධිමතුන්’ කියන කොටසට යි. ඒ අය එක එක දේශපාලන මති මතාන්තරවල සිර නොවි පුළුල්ව ජනතාවට සේවය කරන්න ඕන. අනික් අතට අද ජනතාවටත් සිද්ධ වෙලා තියෙනවා බුද්ධිමතාව හඳුනාගන්න. ඉස්සර අපි හිතුවෙ: උපාධිධාරී, ආචාර්ය, මහාචාර්ය කියන්නෙ සමාජයට ආදරය කරන බුද්ධිමතුන් කියල. පාර්ලිමේන්තුව කියන ගුහාවට කොටුවෙලා ඉන්න සමහර ආචාර්ය මහාචාර්යවරු අපේ ඒ අදහස බිඳල දාල තියෙනවා. ඇත්තට ම... තමන්ගෙ බඩගෝස්තරය රැකගන්න ඕනැම පාහර වැඩක් කරන, දේශපාලනයට නතුවෙච්ච ඒ අයගෙන් ජනතාවට යමක් බලාපොරොත්තු වෙන්න බැහැ.

ඒ අය අපි කියන බුද්ධිමතුන් නෙවෙයි. ඒ නිසා මුලින් ම ජනතාව දැනුවත් කරන බුද්ධිමතුන් හඳුනාගෙන, ආරක්ෂා කරල ඒ හරහා ජන විඥානය පුළුල් කළොත් ජනතාවගෙන් අපි කියන ස්වයං වාරණය මතුවේවි. එහෙම නොවන තාක් ආණ්ඩුවේ වාරණයට අපි හසුවේවි.

එස්. කහටවිල
1994 ජනවාරි 16 හිරු

 

 

 

එදා කී කතා