19 January 2018
RSS Facebook Twitter   

සකල කොලම - කව්ඩං කන්නෝ

cowdongපූර්විකාව

සිරිමාවෝ බණ්ඩාරණායක වරක් කීවේ ‘හඳෙන් හරි හාල් ගෙනත් දෙන්නම්’ කියා ය. නමුත් සිදු වුයේ සතියකට දින දෙකක් හෝටලයක, ගෙදරක පමණක් නොව මළ ගෙදරක වුව ද බත් පිසීම තහනම් කිරීම ය. එතෙකින් නොනැවතී හාල් ප්‍රවාහනය කරන්නෝ ද මිරිස් ප්‍රවාහනය කරන්නෝ ද අත්අඩංගුවට ගත්හ. එතරම් දුක් ගැහැට වින්ද ද ‘ඇතැම්හු පෙළපාලි ගියේ සීනි නැතුව තේ බොන්නම් මිරිස් නැතුව හොදි කන්නම්’ කියා ය. අවසානයේ ජනතාවට සිදු වුයේ හබරල, කෙහෙල් අල සහ ලාවලු අනුභව කොට තම සුදහගින්න නිවාගැනීමට ය.

සිරිමාවෝගේ වැරදි කියමින් ජේ. ආර් බලය ලබාගත්තේ ඇට රාත්තල් අටක් දෙන බවට පොරොන්දු වෙමිනි. එහෙත් බලයට පැමිණ වැඩි කලක් නොගොස් තිබුණු ඇටයට ද කෙළෙව්වේ ය. ඒ කූපන් පොත අවලංගු කරමිනි. එකල කූපන් පොත අනවශ්‍ය එකා ද එයට හිමිකම් කියූ බව සැබැවකි. එහෙත් ඒ වන විට කූපන් පොත් එකක් නොව දෙකතුනක් වුව තබාගත්තාට වරදක් නැති ජනතාවක් මේ රටේ විසුවෝ ය. ඔවුන් කල් ගෙවූයේ එතරම් ම දරිද්‍රතාවයෙනි. ඔවුන්ට සහන සලසනවා වෙනුවට ජේ. ආර්. කළේ නැති බැරි එකා වළ පල්ලට ම තල්ලු කිරීම ය.

ඇට රාත්තල් අට වෙනුවට වෙනත් නන් විධ දැ මෙරටට ආනයනය කළ ද ඒ භාණ්ඩ පරිභෝජනය කළ හැකි වූයේ අතළොස්සකට පමණි. ක්‍රම ක්‍රමයෙන් ඒ අතළොස්ස ඉහළ ගිය ද රටේ ජනයාගෙන් 95% ගෙවුයේ අන්ත දුක්ඛිත දිවියකි. තම දරුවන්ගේ සුදහගින්න නිවාලන්නට තරම් වැටුපක් නොලද කම්කරුවෝ දිනකට රුපියල් තුනක් වැඩිපුර ඉල්ලා වීදි බසින්නේ එකී ආනයනික භාණ්ඩ මිල දී ගැනීමට නොව යාන්තමට තුන්වේල මගහරවා ගැනුම පිණිස ය. එහෙත් අවසන සිදු වුයේ ඔවුහු රැකියා අහිමි වුවෝ බවට පත්වීම යො; මර්දනයට ලක්වීම ය; ඝාතනයට ලක්වීම ය; සිය දිවි නසාගන්නෝ බවට පත්වීම ය.

අනතුරුව බලයට පැමිණි චන්ද්‍රිකා කීවේ ‘පාන් නැතිනම් කේක් කාපල්ලා’ කියා ය.

මේ වන විට ජනතාව පාන් ද, කේක් ද පරිප්පු ද හොඳින් ම අනුභව කොට ඇත. එහෙත් ඒ කෑමෙහි කිසිඳු විශේෂත්වයක් නැති බව ජනතාව ම පවසති. එහෙයින් දැන් දැන් ජනතාවට අනුභව කිරීම සඳහා විශේෂ ගනයේ ආහාර අවැසිව ඇත. ඒ සඳහා මේ දිනවල පර්යේෂණ පවත්වන බවට ද රාවයක් පවතී. එකී පර්යේෂකයෝ පවසා සිටින්නේ මේ රටේ ජනතාවට සුදුසු ම ආහාර ය ‘කවුඩං’ යන්න ය. ඒ බව මේ කොලම ලියූ ලේඛකයා දැන සිට තිබෙන්නේ මීට විසි දෙවසරකට පෙරාතුව ය. මෙම කොළම නැවත පළ කරන්නේ ඔහුට උපහාරයක් වශයෙනි.

හැබෑට ම මුදලාලි පොල් බැයක් දැන් කීයක් විතර වෙනව ද? ආරොං බාස් කඩයට ගොඩ වූයේ එසේ අසමිනි.
ඇයි මොකටද අහන්නෙ... සෙක්කුවට දාන්නද...? ඇක්මොන්කාරයා පෙරළා ප්‍රශ්න කළේ ඔරොට්ටුවට මෙනි. ආරොං බාස්ගේ මායියාට ගමේ කවුරුත් කියන්නේ ‘‘සෙක්කුව’’ කියා ය. ඒ නිසා ඇඩ්මොංකාරයාගේ ඇනුම් පදයෙහි සැඟවුණ අරුතක් සහ අපහාසයක් ද විය. එහෙත් ආරොං බාස් පොල් ගැන ඇසුවේ ඇඩ්මොංකාරයාට රිදවීමට නොව එහි සිටි අලි මහත්තයාගේ ගෝලයන් කිහිප දෙනාට වදින්ට ය.

මේ දවස්වල බඩුවල ගණං අහනවට මුදලාලි කැමති නැහැ බාස්උන්නැහෙ...! ඒ ඇරත් පොල් කියන්නෙ බූමරැංගුව වගේ මහ භයානක බඩුවක් නොවැ...! අන්දරේ කීවේ එම දෙදෙනා අතර වචන හුවමාරුව බහින් බස් වීමක් වී, මහා පරිමාණ ගෝරියක් බවට පත්වීම වළක්වාලීමේ අදහස හිතේ ඇතිව ය.

නෑ... මං කියන්නෙ ළමයෝ... බඩු ගණං යන්නෙ අෂ්ට ලෝක ධර්ම චක්කරේ හැටියට නොවැ...! ඒකට අපිවත් රටේ මහතැන්වත් මොකද කරන්නෙ...? පොල් ගෙඩියක් ගන්න වත්කමක් නැත්තං... පොල් බෑයක් ගන්නවත් බැරිනං... ඔය කපාපු පොල් තියෙන්නෙ...! ඒකත් ගන්න බැරිනං අතේ තියන මුදලට හරියන්න පොල් ගාලා හරි දෙන්ඩ බැරියැ...! ඕක ඔය තරමට නාහෙන් අඬන්න දෙයක් ද...?

එහෙම ම කියන්ඩත් එපා මුදලාලි...! පොල් බෑයෙන් ඉලෙක්ෂන් දිනපු කාලෙකුත් තිබුණ නොවැ! ඇයි මතක නැද්ද...? බෑය උස්සලා පෙන්නපු හැටි...? මිලින්දයා එසේ කියමින් කතාව තව අතකට හැරවූ අන්දම මගේ හිතට ඒ තරං ඇල්ලුවේ නැත.

හැබෑටම දැන් කොහේද දන්නෑ ඒක...? ස්පීකරයා කිසිම වග විභාගයක් නැතිව ඒ අතරට ප්‍රශ්නයක් දැමී ය.

මොකක්ද...? බෑය...! ඒකනං ඔය තියෙන්නෙ...! ඇයි ඇහුවෙ...? කටුගෙට යවලයි කියල හිතුව ද...?

ඥානකතා කමින් පිල උඩට වී මේ සංවාදයට සවන් දී සිටි අලි මහත්තයාගේ හෙන්චයියන්ට දත්මිටි ද හැපෙන බව මම හොරැහින් දුටුවෙමි. ඔවුන් අතුරින් මුලින් ම කතාවට හොට දැම්මේ රාජපක්ෂයා ය. අලි මහත්තයාගේ පිහිටෙන් කොළඹ ලොක කන්තෝරුවක පියුං වැඩක් ලබාගෙන, මහ දිසාපතිටත් වඩා හිතටගත් ඔහු ‘බලු කටා’ හෙවත් ‘අලි තැම්බා’ යන නම්වලින් ද හැඳින් වෙයි.

මේ බැද්දට වෙලා ඉන්න ඔය මල්ලිලා මොනවද දන්නෙ...? ගිය සුමානෙ අපේ කන්තෝරුවෙන් සමීක්ෂණයක් කළා... ඒකෙ ප්‍රතිඵල දැකලා අපේ ලොක්කටත් තරු විසි වුණා...!

මොකක්ද සමීක්ෂණේ...?

අන්දරයා ඇසුවේ ඉතා තැන්පත් හඩකින් වුව ද ඒ මොහොතේ මට ඔහු පෙනුණේ පිපිරීමට ළං වූ ගිනි කන්දක් මෙනි.

බඩු මිල ගැන...! ඔය මල්ලිලා හිතන විදියට නෙවෙයි මේ රටේ මිනිස්සු හිතන්නෙ!

ඇත්තට ම රාජපක්ෂ මිනිස්සු මොනවද හිතන්නෙ...? එල්ලෙන්නට වැලක් දුටු ඇඩ්මොංකාරයා විමසුවේ පැණි බේරෙන සකරමොටයි හඩකිනි...!

මිනිස්සු එක පයින් කැමතියි...!

මොහොකට ද...?

බඩු මිල වැඩි කරපු එකට මිසක් වෙන මොහොකට ද...? ආයිත් වැඩි කරන්නෙ කවදද කියලයි ඒ මිනිස්සු බලාගෙන ඉන්නෙ...!

ඔය ඇත්තම ද...? මටනං අදහන්නත් අමාරු තරමයි...!

මේ මොනව කියනව ද මුදලාලි...! මිනිස්සු අතේ සල්ලි ඕසෙට...සල්ලිවලින් කර කියාගන්න දෙයක් නැතුවයි ඉන්නෙ...! බැංකුවල සල්ලි දාල දාල ඒකත් එපා වෙලා...! තියෙන සල්ලි වියදම් කරන්නෙ කොහොමද කියල බල බලා ඉන්නකොට තමයි බඩු මිල වැඩි කරන්න ආණ්ඩුවත් හිතුවෙ...!

ජනසයිය කැන්සල් කළෙත් ඒ හන්දම වෙන්ඩ ඇති... එහෙම නේද රාජපක්ෂ...?

නැතුව... නැතුව... මුදලාලි...! ඒවා දෙන්ඩ ඕනැ හිඟන්නන්ට නොවැ...! මේ රටේ එහෙම ජාතියක් ඉන්නව ද...? ඇඳලා පැලඳලා චිත්‍රපටි බලන්ඩ... සංගීත සංදර්ශනවල නටන්ඩ... එහෙම යන හැටි බලන්ඩකො...! මඟුල් කන හැටි... බර්ත්ඩේ පාර්ටි දාන හැටි බලන්ඩකො...!

ආහාර මුද්දර ආපහු දෙන්ඩ පටන් ගත්තෙත් ඒ හන්දම වෙන්ඩ ඇති...? එහෙම නේද රාජපක්ෂ...? අන්දරේ විමසුවේ ඉතා අහිංසකව ය.

පිස්සු ද අන්දරේ මල්ලි...? ඒක වෙනම ලයින් එකක්...!

නැති බැරි ඇති හැකි ලයින් එක ද...?

අපොයි නෑ...! නැති බැරි අය ඇති හැකි කරලා දැන් කොච්චර කල් ද...? ඇති හැකි අය ඉස්මුරුත්තාවට ම ඇති හැකි අය කරන එක තමයි දැන් කරගෙන යන්නෙ!

හැබෑ ද...? එහෙමනං ඔය ලයින් එක සාසස වෙන්ඩ ඇති... අන්දරේ යළිත් කීවේ රාජපක්ෂයාගේ පමණක් නොව කොළු නඩයේ සෙසු අයගේ ද නළල් තල මත පුරන් කොටමිනි.

මොකක් ද අන්දරේ මල්ලි මමවත් අහල නැති ඒ ලයින් එක...? මියුසික් ලයින් එකක් ද...?

ඒකත් එක විදියක මියුසික් එකක් තමයි...! ඒ කියන්නෙ: සාමය..., සංවරය..., සමෘද්ධිය... කියන ලයින් එක...!

අයියෝ... ඒක මේ ලයින් දෙකක් අතරට යන පොඩි මියුසික් පීස් එකක් විතරයි නෙව...! ඒක කැසට් කරලා දැන් කොච්චර කල් ද...?

එහෙමනං ආහාර මුද්දරේ තියෙන ලයින් එක මොකක් ද...?

ඒකට තමයි මල්ලි ‘ඉමර්ජන්සි ලයින් එක’ කියන්නෙ...! බැරි ම වුනොත් අල්ලාගෙන යන්ඩ ලයින් එකක් තියෙන්ඩත් එපායැ! ඒ මිසක් ඇපල් මුද්දරප්පලං කන මිනිස්සුන්ට ආහාර මුද්දර මොකට ද...?

දැන් සෑහෙන කාලෙක ඉඳලා මිනිස්සු කන්නෙ පරිප්පු විතරක් කියලයි මං හිතාගෙන හිටියෙ...! එසේ කීවේ ස්පීකරයා ය.
ඒක ඇත්ත! ලංකාවේ තරං පරිප්පු කන්ඩ කැමති මිනිස්සු මේ ලෝකෙ කොහේවත් නෑ ස්පීකරේ...! අන්දරේ කීවේ රාජපක්ෂයාට හරස් කපමිනි.

මින් එහාටත් කයි ද...?

මොකද නැත්තෙ...? මිල වැඩිවුණයි කියල නිකා ඉඳියි කියල ද හිතේ...? සල්ලි නැත්තං ඉල්ලාගෙන හරි පරිප්පු කයි...!

හරි... හරි... අන්දරේ මල්ලි...! පරිප්පු මිලනං ටිකක් ඉහළ ගියා තමයි... ඒ වුණාට ඔය ඕන තරං කව්පි තියෙන්නෙ...! රාජපක්ෂයා නැවතත් සංවාදයට එක් වෙමින් කීය.

ඒ විදියට බලනවානං කව්පි නැත්තං ඔය කව්ඩං ඕනෑ තරං තියෙන්නෙ...! අන්දරයා ඊට පිළිතුරු දුන්නේ ඉතා අහිංසක විලාසයකින් නිසා රාජපක්ෂයාට එය එක්වර තේරුම් ගැනීමට දුෂ්කර විය.

ඒකත් හැබෑ...හ්...හ්...! ඇයි මල්ලි කව්ඩං කියන්නෙ ගොමවලට නොවැ...? ඒක වෙන කවුරු නැතත් මම දන්නෙ නැද්ද...?

ඔව් රාජපක්සේ...! ඉල්ල ඉල්ලා පරිප්පු කන අයියලා ඒවා දුන්නත් නොකා ඉඳී ද...?

දවසේ සංවාදය අන්දරේගේ එම ප්‍රශ්නයත් සමග ම නිමා වූයේ කාගෙ කාගෙත් කටට කවුඩං රසය දැනුණ නිසා විය හැකි ය.

1992-ජූනි-07 - ලක්දිව

 

 

එදා කී කතා