21 July 2018
RSS Facebook Twitter   

ආණ්ඩුවට විපක්ෂවීම සහ ජනතාවට විපක්ෂවීම

 

court slපූර්විකාව
‘දාහත් වසරක සාපය’ නමින් විරුදාවලි ලත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1994 දී පරාජයට පත්විය. ඒ අහඹු ලෙස නොව එවකට විපක්ෂය ගෙන ගිය විවිධ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ක්‍රියාමාර්ග හේතුවෙනි. එදා විපක්ෂයට ජනතාව වෙතින් විවිධ චෝදනා  එල්ල වූහ. ඒ විපක්ෂයේ අක්‍රීය භාවය හේතුවෙනි. කෙසේ වෙතත් ජනාධිපති ආර්. ප්‍රේමදාස ඝාතනය වීමෙන් පසු පරණ පිනකින් බලයට පත් වූ ඩී. බී. විජේතුංග පසු වුයේ බලයේ සිටිනවාට වඩා බලය අතහැර යාමේ උද්යෝගයෙනි. එසේ නොවන්නට 1994 පොදු පෙරමුණු ආණ්ඩුවක් බිහි නොවන්නට බොහෝ දුරට ඉඩ-කඩ තිබිණි. එමෙන් ම මෙය හේතු කොට ගෙන දිගින් දිගට ම එක්සත් ජාතික පක්ෂය බලයේ රැඳි සිටී යැයි ද මින් ගම්‍ය නොකෙරේ.

 

ඒ වන විට සැබැ ජනතා බලවේගයකට අවශ්‍යය පසුබිම සැකසෙමින් තිබිණ. එහෙත් ලාංකිය දේශපාලන සන්දර්භය තුළ ප්‍රතිපත්තිවලට වඩා ආකර්ෂණය පැවතියේ පුද්ගල ප්‍රතිරූප කෙරෙහි ය. (මෙය අදටත් එලෙස ම වලංගු ය.) රටේ ජනතාවගේ මනස සකස් වි තිබුණේ (මෙය තිබුණාට වඩා සකස් කළේ යැයි යෙදීම වඩාත් අගනේ ය)  ‘ප්‍රේමදාස සාධකය’ අහෝසි වු කල්හි ශ්‍රී ලංකාද්විපය සුරපුරයක් බඳු වේය යන්න ය. මෙම අව මානසිකත්වය වටහා ගත් බාහිර බලවේග ඉන් අනතුරුව කටයුතු කළේ ප්‍රේමදාස වෙනුවට වෙනත් සාධකයක් කරලියට රැගෙන ඒම ය. එය අති සාර්ථක විය. චන්ද්‍රිකා බලයට පත්වන්නේ එහි ප්‍රතිඵලය ලෙස ය.

එහෙත් බාහිර බලවේග බලාපොරොත්තු වු ආකාරයට චන්ද්‍රිකා සිය ගමන් මාර්ගය සකසා නොගත්තී ය. ප්‍රථම වරට ව්‍යවස්ථාදායකය සහ විධායකය පක්ෂ දෙකක් අතට පත් වන්නේ මෙය හේතු කොට ගෙන ය. රනිල් වික්‍රසිංහ භීතිකාවෙන් පෙලුණ: බටහිර බලවේග තම එකම හතුරා බවට මොර ගෑ: ජවිපෙ කෙසේ හෝ රනිල් පලවා හැරීම සඳහා තමන්ට පමණක් නොව රට ම වූ පොරොන්දුව අමු අමුවේ උල්ලංඝනය කළ චන්ද්‍රිකා සමග එක පතේ වලඳන්ට විය. ඒ මොහොතේ ජවිපෙට චන්ද්‍රකාගේ බටහිර සෙවණැල්ල නොපෙනුණි. අවසානයේ ජවිපෙට සිදු වූයේ කුඤ්ඤය ගලවන්නට ගිය වඳුරාට වූ ඇබැද්දිය යි.

පුද්ගල සාධක මත නොව ප්‍රතිපත්ති සාධක මත කටයුතු කරන්නැයි ජනතාවට වැදි බණ දෙසු ජවිපෙ චන්ද්‍රිකා සාධකය අවලංගු කොට මහින්ද සා(ට)ධකය සරණ ගියේ ය.  කොළඹ නගරශාලා පිටියේ පැවති සංධානයේ ප්‍රථම රැස්වීම අමතමින් සෝමවංශ අමරසිංහ පැවසුවේ ‘මහින්ද හොඳ මිනිහ. අපිට මිනිහත් එක්ක කතා කරල ඕන දෙයක් බේරගන්න පුළුවන්. ඒ නිසයි අපි මහින්දට උදවු කරන්නෙ. හැබැයි අද අපි එක දෙයක් කියනව. මහින්දත් වැඩි සෙල්ලන් දාන්න ආවොත් එදාට බලාගන්න පුළුවන් මොකද වෙන්නෙ කියල’ සැබැවින් ම දැන් ජවිපෙ කරමින් සිටින්නේ බලාගෙන සිටීම පමණි.

ජවිපෙ කර මතින් බලයට පැමිණි මහින්ද මේ වන විට එදා ප්‍රේමදාස අභිභවා ඉදිරියට ගොස් ඇත. දැන් විපක්ෂයේ සිටින්නේ මහින්දට බලයට ඒම සඳහා පාර කැපූ එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ යි; පැරණි වාමාංශික නඩය යි. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂයට දොස් පැවරූ ජනතාව අද දොස් පවරන්නේ එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්කි පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයට ය. ජනතාව සිතන්නේ එදා විපක්ෂය මෙන් ම අද විපක්ෂය ද මහින්ද තම බලය බන්දේසියක තබා විපක්ෂයට ප්‍රදානය කරන තුරු බලා සිටින්නේ ද යන්න ය. මන්ද ජේ. ආර්. ජයවර්ධන විපක්ෂ නායකයා ලෙස කළ මෙහෙය මෙන් දහයෙන් පංගුවක් හෝ වර්තමාන විපක්ෂය වෙතින් ඉටු නොවේ. එහෙයින් මෙම ක්‍රමවේදය හඳුන්වනන්ට සුදුසු ම නාමය වන්නේ ‘ආණ්ඩුවට විපක්ෂවීම සහ ජනතාවට විපක්ෂවීම යන්න ය.

අවුරුදු දාහතක් තිස්සේ ජනතාව මත බර පටවමින් ජනතා අයිතීන් උදුරා ගනිමින් කම්කරු, තරුණ සහ ශිෂ්‍ය අරගල පොඩිපට්ටම් කරමින් ආණ්ඩුවට එරෙහිව නැගී සිටි පක්ෂ තහනම් කර ලක්ෂයකට වැඩි පිරිසක් ටයර් සෑයේ යවමින් පාලනය ගෙන ගිය එක්සත් ජාතික පක්ෂය පසුගිය විසි පස්වන දින විපක්ෂයේ අසුන් ගන්නා ලදී. ඉහත කී සියලු ම පීඩනයන්, මර්දනයන් දාහත් වසරක් තිස්සේ පවත්වාගෙන යාමට එජාපයට ඉඩ සලසා දුන් ශ්‍රිලනිප  නිල විපක්ෂය ජනතාවගේ එජාප විරෝධය හරහා ආණ්ඩු පක්ෂය ලෙස අසුන් ගෙ සිටිනු පෙනේ.

අවුරුදු දාහතක් ම විපක්ෂයේ සිටිමින් එජාපය පතුරු ගැසූ තිලක් කරුණාරත්න මහතා,ප්‍රදීප් හපන්ගම මහතා සහ ඔවුන්ගේ නායකයා වූ ඉතා සුළු කලක් එජාපයේ ඇමතිකමක් දැරූ අනුර බණ්ඩාරනායක මහතා ද එජාපය සමග අසුන් ගෙන සිටීම දෛවයේ රුදුරු සරදමක් බඳුය.

පැවති එජාප ආණ්ඩුවේ ඇමතිවරයා සහ නියෝජ්‍ය නායකයාව සිටි විපක්ෂ නායකකමට ‘සාම්ප්‍රදායිකව’ හිමිකම් කියූ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ අභ්‍යන්තර රහස් ඡන්දයකින් නියෝජ්‍ය නායක පදවියෙන් ඇද දැමූ ගාමිණී දිසානායක මහතා විපක්ෂ නායකයා ලෙස පක්ෂය ගොඩනැගීමටත්, ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනී සිට ඔවුන්ගේ අයිතීන්වෙනුවෙන් පෙනී සිටීමටත් දිවුරුම් දී පොදු ජන එක්සත් පෙරමුණට අභියෝග කරනු අසන්නට ලැබේ.

අවුරුදු 46 ක් ඉක්මවා ඇති ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ වැඩි ම කාලයක් විපක්ෂය ලෙස කටයුතු කර ඇත්තේ ශ්‍රිලනිපයත් එජාපයත් බව ප්‍රකට කරුණකි. මුල්ම යුගයේ ලසසප ය විපක්ෂ නායකත්වය දැරූ අතර 1970 – 1977 තුන්හවුල් කෙරුවාවට ජනතාව දුන් කම්මුල් පහරේ වේගවත්කම නිසා 1977 දී එජාපය බලයටපත්වූ විට විපක්ෂ නායකකම ලබාගැනීමට තරම්වත් බලයක් ශ්‍රිලනිප යට ලැබුණේ නැත. එය ලබාගත්තේ ද්‍රවිඩ පෙරමුණ යි.

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට ව්‍යවස්ථාමය ගැටලු මත පාර්ලිමේන්තුවේ දොර වැසුණු පසු ඉතාමත් දුර්වල විපක්ෂයක් ලෙස ශ්‍රිලනිපයට විපක්ෂ නායකකම ලැබිණ. එහෙත් එයට එජාපයේ ජනතා ද්‍රෝහී ක්‍රියාවන්ට එරෙහිව ජනතාව සංවිධානය කරගෙන, ජනතාවගේ විශ්වාසය දිනාගත නොහැකි විය. 1989 පාර්ලිමේන්තු මහා මැතිවරණයේ දී සමානුපාතික නියෝජන ක්‍රමයට පින්සිදුවන්නට තරමක් ශක්තිමත් විපක්ෂ කණ්ඩායමක් ලැබිණ. එහෙත් එජාපයේ ජනතා ද්‍රෝහී කටයුතුවල දී ඔවුන් ජනතාවට විපක්ෂයක්වූවා මිස ජනතාවගේ විපක්ෂය බවට පත්වූයේ නැත. විපක්ෂය ආණ්ඩුවට නොව ජනතාවට විපක්ෂ බවට චෝදනාවක් ද නැගිණ.

ජනතාව වෙනුවෙන් නැගී සිටි, ජනතා විමුක්ති පෙරමුණ ඒ වන විට පාර්ලිමේන්තු නියෝජනයක් නොතිබුණ ද එජාපයට තර්ජනයක් වෙමින් තිබිණ. 1982 නිල විපක්ෂයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අට දෙනාගෙන් දෙදෙනකුත් ශ්‍රිලනිපයේ හිටපු නායකයන් විශාල පිරිසකුත් 1982 ජනමත විචාරණයේ දී ආණ්ඩුවට පක්ෂපාතීව ලාම්පුව ජයග්‍රහණය කරවා ආණ්ඩුවේ ඡන්ද කල්දැමීමේ වුවමනාව වෙනුවෙන් පෙනී සිටින ලදී. ශ්‍රීලනිපයේ ඉතිරි පිරිස් ජනමත විචාරණයේ දී තම වගකීමෙන් කරහැරිය අතර එම වගකීමට කරදෙමින් ජනතාවගේ විපක්ෂයේ කාර්ය භාරය ඉටු කරන ලද්දේ ජවිපෙ විසිනි. ඡන්ද මංකොල්ලයකින් එජාපය ජනමත විචාරණය ජයගත් පසුව ද එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද්දේ ද ජවිපෙ විසිනි. පාර්ලිමේන්තු නිල විපක්ෂය විවාද මණ්ඩප විපක්ෂයක් බවට පත්ව එජාපයේ සියලු මර්දන, භීෂණ, දූෂණ හමුවේ ජනතාව අසරණකර දමා සිටියහ.

දකුණේ අළු ගසා නැගි සිටි විපක්ෂය පොඑපෙ හැටියට දැන් ආණ්ඩු‍ පක්ෂයේ වාඩිවී සිටී. විපක්ෂය ලෙස එජාපයේ මන්ත්‍රීවරු 94 දෙනෙක් ද, ඊපීඩීපී මන්ත්‍රිවරු 9 දෙනෙක් ද, ප්ලොට් සංවිධානයේ මන්ත්‍රිවරු 3 දෙනෙක් ද, ද්‍රවිපයේ මන්ත්‍රීවරු 5 දෙනෙක් ද ජවිපෙ නායකත්වයෙන් තරග වැදි ජාගපෙ මන්ත්‍රීවරයෙක් ද සිටී. මේ අතරින් ඊපීඩීපී, ප්ලොට් සහ ද්‍රඑපෙ මන්ත්‍රීවරු පොඑපෙ පරෙළා දැමීමට එජාපයට සහය නොදෙන බව ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ. කෙසේ වුවත් මන්ත්‍රීවරු 94 දෙනකුට හිමිකම් කියන එජාපයේ ගාමිණී දිසානායක මහතාට විපක්ෂ නායක ධූරය හිමිව තිබේ.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල විපක්ෂයක් පැවතීම දක්නට ලැබේ. ආණ්ඩු පක්ෂය විපක්ෂය බවට පත්වෙද්දී විපක්ෂය ආණ්ඩු පක්ෂය බවට පත්වේ. ආණ්ඩුව ගන්නා ජනතාවට රිදෙන, ජනතාව අපහසුතාවට පත්වෙන රටට හානිකර ක්‍රියාමාර්ගවල දී ජනතාව සමග එක්ව ආණ්ඩුවට විරුද්ධව කටයුතු කර ජනතා විශ්වාසය දිනාගැනීමට සමත්වන විපක්ෂයට ඉක්මණින් යළිත් ආණ්ඩුපක්ෂයේ වාඩිවීමට පිළිවන. එජාපය ඒ අතින් පාර්ලිමේන්තුව නියෝජනය කළ අනෙක් පක්ෂවලට වඩා ඒ සම්බන්ධයෙන් දක්ෂ විය. මෙතෙක් ඉතිහාසයේ ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් නොලැබී ගියේ 1960 -  64 කාලයේ දී ය. ඒ, වාමාංශික එක්සත් පෙරමුණ, ශ්‍රිලනිප ආණ්ඩුවේ පීඩනයට එරෙහිව ජනතාව දැනුවත් කරමින්, කම්කරු පන්ති වෘත්තිය සමිති ඒකාබද්ධ බල මණ්ඩල වටා ඒකාබද්ධ කර ඉල්ලීම් 21 හරහා ආණ්ඩුවට බලපෑම් කරමින් සමාජවාදී ආණ්ඩුවක් පිළිබඳ බලාපොරොත්තුවලින් උණුසුම්කොට තිබූ 1963 – 64 කාලයේ දී  ය.1964 දී වාමාංශික එක්සත් පෙරමුණ කඩාදැමීමෙන් පසු එජාපය යළි සාම්ප්‍රදායික විපක්ෂය ලෙස ඉදිරියට පැමිණියා පමණක් නොව1965  දී ශ්‍රිලනිපය සහ ලසසප ය පරදවා ආණ්ඩුබලය ද ලබා ගත්තේ ය.

දැන් යළිත් ශ්‍රිලනිපයේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවකුත්, එජාපයේ නායකත්වයෙන් යුත් විපක්ෂයකුත් ජනතාවට ලැබී තිබේ. එජාපයට විපක්ෂය ලෙස කටයුතු කිරීමට දේශපාලන සදාචාරය තුළ කිසිඳු ඉඩක් නොමැති බව මැදහත් අයගේ මතය යි. සමහර පිරිස් ශක්තිමත් විපක්ෂයක් ලැබුණා යැයි ද, එය හොඳ යැයි ද කියනු අසන්නට ලැබේ. එයින් අදහස් වන්නේ අසීමිත බලයක් වෙනුවට පොඑපෙට ඉතාමත් සුළු බලයක් ලැබුණා ය යන්න නම් එම අදහසේ වරදක් නොමැත. එහෙත් පොඑපෙට එරෙහිව සැබෑ ජනතා නියෝජිතයෙක් ලෙස කටයුතු කිරීමේ අයිතියක් මෙන්ම හැකියාවක්ද එජාපයට නොමැත.

මේ එජාපය විපක්ෂයේ නායකත්වය ලබාගත් පළමු අවස්ථාව නොවේ. 1970 – 1977කාලයේ මෙරට විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන ලද්දේ එජාපය යි. සාම්ප්‍රදායික ලෙස ඩඩ්ලි සේනානායක මහතාට වික්ෂ නායකකම හිමිවිය යුතුව තිබුණ ද හෙතෙම සිය කැමැත්තෙන් ම එය ජේ. ආර්. ජයවර්ධන මහතාට බාර දුන්නේ ය. 1971 නැගිටීමෙන් සසල වූ ජේ. ආර්. ජයවර්ධන මහතා ධනපති පංතියේ එකමුතුවකට යොමු වෙමින් සමගි පෙරමුණ ආණ්ඩුවට එකතුවීමට පවා සූදානම් වුවත් ඔහු පිළිගත්තේ නැති බැවින් සමගි පෙරමුණු ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් හිමි වී තිබිණ. එජාපය පැවතියේ ඉතාමත් දුර්වල තැනක ය. එහෙත් ජයවර්ධන මහතා පංති අරුතෙන් ක්‍රමානුකූලව සමගි පෙරමුණට එරෙහි දුෂ්කරවූත්, අධිෂ්ඨානශීලිවූත් අරගලයක් ගෙන ගියේ ය. සමගි පෙරමුණු ආණ්ඩු කාලය දික්කර ගැනීමට එරෙහිව සිය අසුනෙන් ඉල්ලා අස් වී අතුරු මැතිවරණයකට යාම, පුවත්පත් වර්ජන, සත්‍යග්‍රහ, පා ගමන් හරහා හෙතෙම එජාපය ශක්තිමත් පක්ෂයක් ලෙස ගොඩනැගුවේ ය. ධනපති විපක්ෂ නායකයකු ලෙස මෙතෙක් ඉතිහාසයේ සාර්ථක ම උපායශීලී පුද්ගලයා ලෙස ජේ. ආර්. ජයවර්ධන හැඳින්වීමට පිළිවන.

1971 නැගිටීම වන විට එජාපය විපක්ෂයේ සිටි අතර එය මර්දනය කිරීමට ඔවුන් කොන්දේසි විරහිත සහයෝගය සමගි පෙරමුණට ලබා දෙන ලදී. 1971 නැගිටීමට එජාපය ආධාර කළ බව පෙන්වීමට ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පුත්‍රයා ද ඇතුළු එජාපයට හිතවත් පිරිසක් අත්අඩංගුවට ගෙන සිටිය දී පවා ධනපති ක්‍රමයට අභියෝග කළ සමාජවාදය වෙනුවෙන් පෙනී සිටි ජවිපෙ මර්දනය කරන්නට හෙතෙම උදව් දුන්නේ ය.

එහෙත් පසුව හෙතෙම 1971 තරුණයන් මරා දැමීම ගැන, ප්‍රේමවතී මනම්පේරි මරා දැමීම ගැන කිඹුල් කඳුළු සලන්නට විය. මනම්පේරි ස්මාරකයක් තනන්නට තරම් ඔවුන් ඉදිරියට ගියහ. තරුණයන් මරා දැමීම ගැන කිඹුල් කඳුළු හෙළමින්, තරුණයන් මැරුවා යැයි සමගි පෙරමුණට චෝදනා කර තරුණයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි එජාපය 1971 දී සමගි පෙරමුණ මැරූ 20,000 මෙන් තුන් ගුණයකටත් වැඩි පිරිසක් ඉතාමත් රුදුරු ම්ලේච්ඡ ඝතනයක් මගින් විනාශ කළ බව ජනතාවට හොඳින් මතක ය.

පේරාදෙණි සිසු අරගලයේ දී පොලිස් වෙඩි පහරින් මිය ගිය වීරසූරිය සිසුවා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළුෑ එජාපය ශිෂ්‍ය අයිතින් ලබා දීමටත්, අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමටත් පොරොන්දු දුන්නේ ය. 1977 බලයට පත්වු සැණින් අධ්‍යාපනය ධනපති පංතියේ වරප්‍රසාදයක් බවට පත්කිරීම සදහා අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙන ආවේ ය. ශිෂ්‍ය විරෝධය හමුවේ එය හකුළා ගැනුණ ද හොර රහසේ එක් එක් අංග ක්‍රියාවට නගන ලදී. රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ඉන් එකකි. එයට එරෙහි අරගලයේ දී පද්මසිරි ත්‍රීමාවිතානගේලාමරා දමන ලද්දේ හිසට පරාල ඇණ ගසා, ජිප් රථයේ ඇදගෙන ගොස් ටයර් මත පුළුස්සා දැමීම මගිනි. විශ්වවිද්‍යාලවල පොලීසි ඇතිකරන ලදී. ශිෂ්‍ය අරගලවල දී පද්මසිරි අබේසේකර, රෝහණ රත්නායක ඇතුළු සරසවි සිසුන් පමණක් නොව ප්‍රදිප් රත්නායක, ප්‍රසන්න ජයවර්ධන ආදි පාසල් සිසුන් ද මරා දමන ලදී. අධ්‍යාපනය මුදලට විකිණීමට ජාත්‍යන්තර පාසල් ඇරඹුණු අතර රජය අධ්‍යාපනයේ වගකීම් අත්හරිමින් තිබිණ. එදා සමගි පෙරමුණෙන් නිදහස් අධ්‍යාපනය රැකගැනීමට පොරොන්දු දුන් එජාපය අධ්‍යාපන අයිතිය ආරක්ෂා කළේ එසේ ය.

සමගි ආණ්ඩුවේ හඳෙන් හාල් ගෙන ඒමේ පොරොන්දුව කැඩීම ගැන, බඩු මිල ඉහළ දැමීම ගැන, කම්කරු මර්දනය ගැන, විපක්ෂයේ සිට හඬා වැටුණු එජාපය තමන් බලයට පත්වී ධාන්‍ය රාත්තල් අටක් දෙන බවටත්, බඩු මිල 50% ක් අඩු කරන බවටත්, කම්කරු අයිතීන් සුරකින බවටත් පොරොන්දු විය. දෙමළ ජනතාවට සාධාරණ දුක්ගැනවිලි ඇති බව සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් කියා සිටි එජාපය එය විසඳීමට පොරොන්දු විය. රෝහල්වලින් බෙහෙත් ගැනීමේ දී ශත 25 ක මුද්දරයක් ගැසීම හෙළා දුටු අතර සෞඛ්‍ය සේවාව නගාසිටුවීමට පොරොන්දු විය. හාල් පොලු, මිරිස් පොලු, පෝලිම් නැති නිවහල් ධර්මිෂ්ට යුගයක් බිහි කරන බවට පොරොන්දු විය. පශ්චාද් මැතිවරණ භීෂණයත් සමග සමහර විරුද්ධ පාක්ෂිකයන්ගේ නිවෙස්වල වහලවල් නැතිවීම මගින් ‘නිවහල් ධර්මිෂ්ට යුගය’ ආරම්භ විය. අධිකරණයට ඇඟිලි ගැසීම ගැන අ. යු. කො. පනත, යුක්තිය පසිඳලීමේ පනත වැනි මර්දන පනත්වලට එරෙහිව අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටි එජාපය ජනතාව මර්දනය කිරීමට පමණක් නොව මිනීමරුවන් ආරක්ෂා කිරිමට පවා පනත් ගෙනාවේ ය. සමගි පෙරමුණු ආණ්ඩුවේ පීඩනය, මර්දනය, අයිතීන් උදුරා ගැනීම වෙනුවෙන් සහ දූෂණය, නාස්තිය වෙනුවෙන් විරෝධය ප්‍රකාශ කළ එජාපය බලයට පත් වී කටයුතු ආකාරය ගැන එකින් එක පැහැදිලි නොකළාට ජනතාවට ඒ පිළිබඳ මනා අවබෝධයක් ඇති බව අපේ විශ්වාසය යි. එවැනි ජන ඝාතක, දූෂණයෙන් වංචාවෙන් යුතු පක්ෂයක් විපක්ෂයේ ඉඳගත් පලියට එයට ජනතාවගේ සැබෑ විපක්ෂය වීමට නුපුළුවන.

එජාපය හඳුන්වා දුන් විවෘත ආර්ථික ක්‍රමය දූෂණයෙන් වංචාවෙන් තොරව අවංකව සහ පිරිසිදුවට පවත්වාගෙන යනවා යැයි කියන එජාපය ක්‍රියාවට නැගූ පුද්ගල්කරණය ඉදිරියට ම ගෙන යනවා යැයි කියන, විදේශ ආයෝජනයන්ට දිරි දෙනවා යැයි කියන පොඑපෙ ආණ්ඩුවකට විපක්ෂයක් වන්නට ජනතාවගේ පැත්තේ සිට පමණක් නොව ධනපති පංතියේ පැත්තේ සිටවත් විපක්ෂයක් වීමට එජාපයට නුපුළුවන් බව පැහැදිලි කරුණකි. 1994 මහා මැතිවරණය සඳහා පොඑපෙ ඉදිරිපත් කළ ඊනියා ආර්ථික ප්‍රතිපත්තිය ගැන වචනයක් කතා නොකර, හාල් පොලු, මිරිස් පොලු, පෝලිම් ගැන කතා කිරිමට එජාපය පෙලඹුණේ තමන්ගේ ම වැඩපිළිවෙළ විවේචනය කිරීමට එජාපයට නුපුළුවන් බැවිනි.

එහෙත් පොඑපෙ ජනතාවට පහර වදින පියවර ගන්නා විට මෙවර ද එජාපය විරුද්ධ වනවාට සැකයක් නැත. ඒ ඔවුන්ට යළිත් වරක් බලය ලබාගැනීමේ මාවත සකස් කර ගැනීමට අවශ්‍ය පදනම සහ ජනතා විශ්වාසය දිනාගනු සඳහා ය. එහෙත් ඔවුන්ට මෙවර පාර්ලිමේන්තුවේ අභියෝගයක් තිබේ. ඒ ජවිපෙ මෙහෙයවන ජාගපෙ එක ම මන්ත්‍රීවරයා ය. පොඑපෙයේ ජනතා ද්‍රෝහි ක්‍රියාවන්ගෙන් බිඳී යන කොටස් යළි එජාපය වෙතට යාමත් එජාපයෙන් බිඳී වෙන්වෙනකොටස් ශ්‍රිලනිපයට යාමත් මේ එකිනෙකා මත රඳාපවතින විකට දේශපාලන සූදුවත් සදාකාලිකව නවතා දැමීමට හැකියාව ඇත්තේ එවැනි නියෝජනයකට පමණි.

පද්මසිරි අගලකුඹුර - 1994 සැප්තැම්බර් 25 හිරු                       

 

 

 

එදා කී කතා