21 September 2018
RSS Facebook Twitter   

ජුනි 20: අපි සිරස නමමු !

student heroපූර්විකාව

පාලකයෝ කොමියුනිස්ට්වාදි වුව ද, සමාජවාදි වුව ද, ධනවාදි වුව ද තමන්ගේ බලය පවත්වා ගැනීම සඳහා ඕනැම පුද්ගලයකු හෝ කණ්ඩායමක් මර්දනය කිරීමට පසුබට නොවෙති. එය බියගැන්වීම, පහරදීම හෝ මරා දැමීම විය හැකිය. එකී ඕනැම කටයුත්තක් සාධාරණියකරණය කිරීම සඳහා ඔවුන්ගේ පාර්ශවයෙන් විවිධ හේතු සාධක ඉදිරිපත් කළ හැකි ය. ඔවුන් ක්‍රියාත්මක කරන්නේ ඔවුන්ට අවශ්‍ය ක්‍රියාදාමයන් මිස රටේ සමස්ථ ප්‍රජාවට සුබදායී දේ නොවේ. එහෙත් පාලකයෝ නොසිතූ ආකාරයෙන් නොසිතු මොහොතක පාලිතයෝ පෙළ ගැසෙන බව ඔවුහු නොසිතති; තම දිවි පරදුවට තබා පාලකයන්ට එරෙහි සටන් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව සහ එකී ක්‍රියාමාර්ග ජයග්‍රහණය දක්වා රැගෙන යන බව ද විශ්වාස නොකරති. කිසියම් මොහොතක පාලකයෝ දිය රත්වන තුරු සැළියේ රැඟුම් පානා කකුළුවෝ බවට පත් වෙතියි ඔවුහු නොසිතති. එතෙක් ඔවුහු සිය මර්දන හස්තය ක්‍රියාත්මක කරති. එකී මර්දනයේ දඬුඅඬුවට හසුවන ප්‍රජාව: කම්කරුවෝ, ගොවියෝ, ගුරු වෘත්තිකයෝ, වෛදවරු, ශිෂ්‍යයෝ හෝ වෙනත් ප්‍රජාවක් විය හැකි ය. ඔවුහු සිය දිවි පරදුවට තබා සටන් වදිති, ජයග්‍රහණයන් මෙන් ම පරාජයන් ද අත්විඳිති. අද දිනය ද එවන් පිරිසක් වෙනුවෙන් වෙන් කළ දිනයකි; ඒ රටේ බහුතරයකගේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් අරගල කොට සිය ජීවිතය පරිත්‍යාග කළ පිරිසක් අනුශ්මරණය කරන දිනයකි; එනම් ජාතික සිසු විරු දිනය යි.

1994 ශිෂ්‍යය වීර දිනය වෙනුවෙන් ලක්දිව පුවත්පත පළ කළ මෙම සටහන අප නැවතත් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ එය හුදෙක් විරු සිසු දිනය ම පමණක් ඉලක්ක නොවන සටහනක් වන බැවිනි; එකී සටහන තැබු පුද්ගලයා ද සුවශේෂි පුද්ගලයෙක් වන බැවිනි.

ඔහු මො. ල. සෙනවිරත්න යි.

මීට විසි වසරකට පෙර ශිෂ්‍ය වීර දිනය සමරන දිනයේ ඔහු මතු කරන්නේ එවකට පැවති සමාජ, දේශපාලන සහ ආර්ථික ව්‍යසනය යි. ධර්මිෂ්ට සමාජයක් උදා කරන්නට බලය ලබාගත් පාලකයෝ ද, විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දෙන්නට බලය ලබාගත් පාලකයෝ ද අලුත් රටක් ගොඩනගන්නට බලය ලබාගත් ඇහින්ද චින්තකයෝ ද මෙතෙක් කිසිඳු ආකාරයකින් රටේ සමස්ථ ප්‍රජාවගේ ආර්ථික, සමාජීය, ආගමික සහජීවනය ස්ථාපිත කරන්නට සමත් වී නොමැත. එය දකුණට ද, උතුරට ද, නැගෙනහිරට ද වෙනසක් නැත. සමස්ත ලාංකිය ජනසමාජය එක් ව්‍යසනයකින් අත්මිදෙන විට තවත් ව්‍යසනයක් මුව විටට ළඟා වෙති. සැබැවින් ම නම් ළඟා කරවති. ඒ, හිඟන්නාට තමන්ගේ තුවාලය සුව වුව හොත් ඔහුට සිඟමන් යදින්නට නොහැකිවන හෙයින් තමන්ගේ තුවාලය සුව කරගන්නට වුවමනා නැතුවා සේ ම එදා මෙදා තුර රට පාලනය කළ පාලකයෝ ද ඔවුන්ගේ බලය රඳා පවත්වාගැනීම සඳහා විවිධ ව්‍යසනයන් රට තුළ උත්පාද කරන බැවිනි.

සියලු ප්‍රශ්න විසඳාගැනීම සඳහා සමාවාදී සමාජයක් ගොඩනැගිය යුතු යයි පාරම්බෑ වාමාංශිකයෝ ද අද පත්ව ඇත්තේ ඇටිකෙහෙල් කෑ උගුඩුවන්ගේ තත්ත්වයට ය. මේ ඊනියා මාක්ස්වාදීහු ගොනාට පිදුරු කන්නත් නොදෙන තමනුත් නොකන සුනඛයන්ගේ තත්ත්වයට පත්ව ඇත. අද මො. ල. සෙනවිරත්න ඇතුළු පිරිසක් කල්දේරම් බත බුදින්නේ මේ ඊනියා වම්මුන්ගේ ම්ලේච්ඡ පාවා දීමේ ප්‍රතිඵලයක් හේතුවෙනි. උතුරේ පැවති විමුක්ති අරගලයට සාපේක්ෂව දකුණේ ජතාව පෙළ ගස්වන්නට කැප වූ මො. ල. සෙනවිරත්නලා වැනි පිරිස් පාවා දෙන්නට තරම් මේ ඊනියා වම්මු නපුන්සක වන්නේ තමන්ගේ බලය වෙනකෙකුගේ ග්‍රහණයට නතුවේ ය යන බිය සහ කුහකත්වය හේතුවෙනි. මො. ල. සෙනවිරත්න ඇතුළු පිරිස ‘සිංහල කොටි’ ලෙස නාමකරණය වන්නේ දකුණේ පීඩිත ජනතාව වෙනුවෙන් සැබෑ අරගලයකට මාර්ගය විවෘත කළ බැවිනි; තෙවැනි බලවේගයක් ගොඩනගන්නට වෙහෙස මහන්සි වු බැවිනි.

දුක්විඳින, පීඩනයට පත්ව සිටින ලාංකීය ජනයිනි, දැන් එළඹ තිබෙන්නේ ඊනියා වම්මුන්ගේ, ඊනියා මාක්ස්වාදින්ගේ වෙස්මුහුණ ගලවා දමා, ඔවුන්ගේ නිරුවත හෙළි කොට දුක් විඳින පීඩිත ජනයාගේ ගැලවුම්කරුවකු නිර්මාණය කළ හැකි, අරගල කළ හැකි සැබෑ ජනතා අරගලයක් වෙනුවෙන් පෙළ ගැසීම ය. ඒ සඳහා දිරිය! ශක්තිය!!

ජුනි 20 යනු ජාතික ශිෂ්‍ය වීර දිනය යි. අධ්‍යාපන අයිතියේ සංවර්ධනය සහ පැවැත්ම වෙනුවෙන් ද, ලාංකීය ජනතාවගේ ජීවන අයිතිවාසිකම් වෙනුවෙන් ද සටන් වැද දිවි දුන් බොහෝ වීරවරයෝ, වීරවරියෝ මෙදින දහසක් හදවත් විසින් සමරනු ලබන්නාහ.

‘අකුර’ ද ඒ හදවත් අතරින් පෙරමුණින් ම සිටිමු.

ජුනි 20 සමරා අප වෙත එවූ ලිපියක් මෙසේ පළ කරන්නේ එහි ඇති ඓතිහාසික උරුමය වටහාගනු රිසියෙනි.

ආදරණීය අම්මේ තාත්තේ,

අපි මේ සටන් කරන්නේ අප වෙනුවෙන් නොව, අනාගත පරපුරේ උපන්, නූපන් දස දහස් සංඛ්‍යාත කිරිසප්පයන්ගේ ද අධ්‍යාපන අයිතීන් රැකීම උදෙසා ය. මිනිසුන්ට මිනිසුන් ලෙස ජීවත් විය හැකි සමාජයක් ගොඩනැගීම සඳහා ය. ඒ වෙනුවෙන් සටනේ දී දිවි පිදුමට වුව අපි පසුබට නොවෙමු.

බිත්ති පුරා සටන් පාඨ පිරී ගොස් ඇත. විශ්වවිද්‍යාල, පාසල් සහ පිරිවෙන්හි විරෝධතා ව්‍යාපාරයන් ය. විටෙක මහමගට රැස් වූ සිසුන් පෙළපාලි යති. සොහොයුරෙක් රැස් වූ පිරිස අමතා වේගයෙන් කතා කරනු ඇසේ...

ජුනි මාසයේ වැහි අඳුර මැදින් හිරු පායමින් තිබේ. සිත අලුත් උණුසුමකින් පිරී පවතී. දුක් වේදනා කඳුළු මැදින් අනාගතයේ දීප්තිමත් ආලෝකය දකින්නට අපි වෑයම් කරමින් සිටිමු.

මහා කැළඹිලි සහගත සහ නිශ්ශබ්දතාවයේ පතුලට කිඳා බසින දිනයන් අතුරින් තවත් දිනයක් උදා වෙමින් පවතී.

ජුනි 20 වෙනිදා...

ප්‍රථම කොට අපි සිරස නමා ආචාරය පුද කරමු! ලේ, කඳුළු දහදිය මතින් ගොඩනගා දිවි කුසුමන් ද පුද කරමින් අමරණීය කළ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ පෙරගමන්කරුවන්ගේ දේශයට ආදරය කළ මිනිසුන්ට ආදරය කළ මානවවාදි සොයුරු සොයුරියන්ගෙන් කැටිගැසුණ ඒ වීරෝධාර ශිෂ්‍යපරපුරේ ‘ශිෂ්‍ය වීර දිනය’ ලෙස ජුනි 20 වන දින අපි පිළිගනිමු.

මෙරට පීඩිත ජනතාව ලෙයින් කඳුළින් දිනාගත් අයිතීන් එකින් එක කප්පාදු කරමින් පවතී. ධනපති විවෘත ආර්ථික ක්‍රියාවලියේ අනුහසින් මුළු සමාජය ම කණපිට පෙරළී ඇත. පවතින පාදඩ දුර්දාන්ත පාලනයේ ප්‍රතිඵලයක් ලෙස සරසවි, පාසල්, කම්හල්, ගොවිබිම් මෙන්ම ආගමික සංස්ථා ද නගරය මෙන්ම ගම ද විනාශ වෙමින් පවතී. භීෂණය විසින් නිහඬ කර දැමූ සමාජය මැරයන්ගේ, හොරුන්ගේ සහ දූෂකයන්ගේ කෙළිබිමක් වී ඇත. ජිවත්වීමේ අවම අවශ්‍යතාවයන් පවා අහිමි වී ගිය උතුරේත්, දකුණේත් පීඩිත ජනයා දරාගත නොහැකි පීඩනය අභිමුව අසරණ වී හෙට දවස ගැන නිශ්චිත අරමුණක් නැතිව අසරණව බලා සිටිති.

අපි කුමක් කරමුද...?

යළිත් අපි අපේ සොයුරු සොයුරියන් වෙතට හැරෙමු. අපේ සොයුරු සොයුරියන් දිවි පුදා ගොඩනැංවූ උතුම් ගුණාංග අප රැකගන්නේ කෙසේ ද? ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද? ඔවුන් ස්මරණය කිරීමෙන් සහ ස්මාරක තැනීමෙන් පමණක් ද...? අපි සිතිය යුතු වෙමු. ශිෂ්‍ය වීර දිනය සමරණ මේ මොහොතේ ඔවුන්ගේ උතුම් අරමුණු අපි ඉහළ වාතලයට ඔසවා තබමු. අපි ඔවුන්ව සැබෑ අර්ථයෙන් ම සමරමු. ඔව්! අපට එය කළ හැකි වන්නේ ඔවුන් ප්‍රාර්ථනා කළ සැබෑ මානවවාදි ලෝකය ගොඩනැගීමෙන් පමණි...

අපි එය කරන්නේ කෙසේ ද...?

පළමු කොන්දේසිය වන්නේ පවතින තත්ත්වය නිවැරදිව වටහා ගැනීම ය. ඉන් පසු අපි සටන් බිම මත දෙපා තබාගමු. ශිෂ්‍ය ව්‍යාපාරය වශයෙනුත්, ශිෂ්‍යයා වශයෙනුත් අප වටහාගතයුතු පළමු කාරණය වන්නේ අපි සිටින්නේ කිනම් සමාජයක ද යන්න යි.

පියවරුන් අතින් දියණියන් ද, ගුරුවරුන් අතින් සිදුවියන් ද දූෂණයට ගොදුරු වෙති. මවු කුසින් මෙලොව එළිය දකින ලේ කැටියන් පඳුරු තුළිනුත්, වැසිකිළි කටවල් තුළිනුත් සොයා ගැනේ. තරුණියන් දූෂණය කර මරා දමයි. විභාග අසමත් වීම්, ණය ගෙවාගත නොහැකිව, රැකියාවක් නැති හෙයින් කලකිරී සිය දිවි නසාගනී. අනෙක් අතට කම්කරු අරගලයන්ට මැර ප්‍රහාර එල්ල වෙති. ශිෂ්‍ය උද්ඝෝෂණවලට පහර දෙති. දකුණේ එහෙම වන විට උතුරේ ගුවනින් ගොස් ගම්මානවලට බෝම්බ බැරල් පිටින් අතහරිති. කඳවුරුවල ලෙඩ රෝගවලින්, මන්දපෝෂණයෙන් ළදරුවන් පමණක් නොව වැඩිහියෝ ද මිය යති. තරුණයන් ‘සයනයිඩ්’ කා ජීවිත පුද කරන අතර ම සදහට ම අබ්බගාත වූ තවත් තරුණ පරපුරක් ‘රණවිරු සෙවණ’ නමැති කඳවුරේ ගාල්වෙති.

වෙළෙඳ කලාපය නොහොත් ‘වහල් කලාපය’ තුළ රටේ තරුණ සාරය උරා බොති. දූෂණය සහ සමාජ රෝග වේගයෙන් පැතිර යයි. විවිධ මානසික සහ කායික ආබාධ ඔවුන් වෙළාගෙන ජීවිත බිලි ගනිමින් තිබේ.

පොළොන්නරුවේ අන්ත ද්‍රරිද්‍රතාවයෙන් පෙළුණු පියෙක් තම දරුවන්ට පාන් ගෙඩිය පෙති නවයකට කපා දී දිවි හානි කර ගන්නා අතර ම දිනපතා පාන්දර පැජරෝවලින් එන අධිපෝෂණයෙන් පිරි පුෂ්ටිමත් තරබාරු සිරුරු සමහන් කරගැනීමට කොළඹ ගෝල් ෆේස් පිට්ටනිය වටා දුවන මහත්වරු නෝනලා ය.
අප අවට පරිසරය එසේ ය...

ආණ්ඩු පක්ෂය මෙන් ම විරුද්ධ පක්ෂය ද රටේ ප්‍රශ්න විසඳීමට විසඳුම් ඉදිරිපත් කරමින් සිටිති. දෙපිරිස ම කියන්නේ මේ ප්‍රශ්නය විසඳිය හැක්කේ තමන්ට පමණක් බව ය.

සහෝදරවරුණි,

ඔබ දැන් සිතන්න...මේ ප්‍රශ්න ඇති වූයේ කෙසේ ද...? කවරදාක සිට ද...? කවුරුරුන් විසින් ද...? මේ සියල්ලට වගකිව යුත්තේ කවුද...?

සත්‍යය වශයෙන් ම ඔවුන් පිළිතුරු නොදෙනු ඇත. ඒත් පිළිතුරු අප සතුව ඇත. 48 දී සුද්දාගෙන් බලය හුවමාරු කරගෙන මෙරට පාලනය කළ රොත්ත ම මෙයට වගකිව යුතු ය. මහත්වරුන්ගේ දේශපාලනය කළා යැයි පවසන වුන් ද මහත්වරුන්ගේ දේශපාලනය කිරිමට සූදානම්වන වුන් ද ‘‘මානුෂික මුහුණුවර’’ සපයන්නට ලක කැහැස්ති වන වුන් ද මේ සියල්ලට වගකිව යුතු ය.
දැන් අපි කාරණය සහසුද්දෙන් ම දන්නෙමු.

අවශ්‍ය වන්නේ ඔබේ ක්‍රියාකාරිත්වය යි. ඔව්... ඔබේ දෙපා සටන් බිම මතට ගෙන ඒම යි...

අපි ඉතිහාසයේ තීරණාත්මක අවධියක් වෙත එළඹෙමින් සිටිමු. තවදුරටත් මෙවුන්ගේ තොරොම්බල්, රැවටිලිකාරී, තට්ටුමාරු දේශපාලනයට නො රැවටෙමු... අපි සැබෑ ලෙසින් ම මෙම ව්‍යසනයෙන් ලාංකිය ජනතාව බේරා ගනිමු... ඒ සඳහා දැනුවත් වෙමු... සංවිධානය වෙමු...

අප වෙනුවෙන්, මතු පරපුර වෙනුවෙන් සටන් කොට මියැදුණු විරයන්ගේ වීරවරියන්ගේ සදාතනික ජීව ගුණය අපි අපේ ආත්මය කොට ගනිමු... වර්ගවාදී, ජාතිවාදී, කුලවාදී සිමා පවුරු බිඳලමින් එක්සත්ව, එක්සිත්ව එකම පංතියක් වශයෙන් ගොනු වී ක්‍රියාත්මක වෙමු... ඉන් මෙපිට සැබෑ නිදහසක් ගැන නොසිතමු...

බොහෝ වූ කැපකිරීම් කරන්නට සමත් පරිත්‍යාගශීලීහු අප අතර හිඟ නොවෙති. ක්‍රෑරත්වයේ බැඳි යදම්, මෘග ප්‍රහාර මෙන්ම සිපිරි ගෙවල් ආදියට ගත සිත හුරුකරගත්තෝ බෙහෝ ය. ක්‍රෑරත්වයේ උණ්ඩයට ළය පා දිවි කුසුම් පිදුවන්ගේ, දේශයට ප්‍රේම කිරීමේ වරදට පාළු බඩවැටිවල අළු දූලි බවට පත් වූවන්ගේ ජීවන පුසුඹ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය සදා සුවඳවත් කරයි. බොහෝ දුෂ්කර දෑ කරන්නට මේ සුවඳ විසින් අප පොලඹවනු ලබයි...

ඔව්... බොහෝ දුෂ්කර දෑ කරන්නට!!!

මො. ල. සෙනවිරත්න - 1994 ජුනි 19 හිරු

 

 

එදා කී කතා