19 January 2018
RSS Facebook Twitter   

විපක්ෂය ගැන ජනතාව

sl parliament insideපූර්විකාව

‘‘එදා කී කතා’’ තීරය යටතේ පසුගිය සතියේ අප පළ කළේ 1992 සිටි විපක්ෂය පිළිබඳ එදා ‘‘ලක්දිව’’ කළ සටහනකි. ඒ, එදා සිදුවීම් කිසිඳු වෙනසක් නොමැතිව ම එදිනටත් වඩා ප්‍රබල අන්දමින් වර්තමානයේ ද සිදුවෙමින් පවතින බව සහ ඉදිරියට ද සිදුවන බව පසක් කරලීම සඳහා ය. අද අප පළ කරන්නේ එදා ‘‘ලක්දිව’’ විපක්ෂය පිළිබඳ කළ මහජන මත විමසුමකි.

මෙහි දී ගොවි, කම්කරු, සඟ, නීතිවේදී, ජනමාධ්‍යය, ආරක්ෂක, සුළු වෙළෙඳ, ලිපිකරු සහ සාහිත්‍යය යනාදි සියලු ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි අදාළ මත විමසුම සිදු කොට ඇත. ඒ සියලුදෙනාගේ මත පිළිබඳ වධානය යොමු කළ විට දක්නට ලැබෙන පැහැදිලි ලක්ෂණය නම් එවකට සිටි විපක්ෂයේ අකාර්යශීලීත්වය යි. එහෙත් ඉන් දෙවසරක් ඉක්ම ගිය මොහොතේ විපක්ෂය තමන්ට එරෙහිව තිබු සියලු බාධක බිඳ දමමින් ජනතා අපේක්ෂා මල් ඵල ගැන්වීමට සමත් විය. එදා විපක්ෂය වුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යි. එහෙත් 1994 දී ඔවුන් බලය අත්පත් කරගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් මැතිවරණයට ඉදිරිපත් වීමෙන් නොව පොදු පෙරමුණක් ගොඩනගා ගැනීමෙනි. එදා බලයට පත් වු විරුද්ධ පක්ෂය අද මෙරටේ පාලනය හොබවති. ඒ පොදු පෙරමුණ ගොඩනගන්ට එදා විපක්ෂයට මග පෙන්වමින්, දිරි දෙමින් ජනතාවගේ යහපත උදෙසා තම තම හැකි පමණින් සටනට දායක වූ ඇතැමුන් වර්තමානයේ ජිවතුන් අතර නොමැත. අතැම්හු වර්තමාන පාලකයන්ගේ අන්තේවාසිකයෝ, වන්දිභට්ටයෝ, මෙන් ම රෙදි අපුල්ලන්නෝ බවට පත්ව සිටිති.

පහත අදහස් දක්වන්නන් අතර ඒ ගනයට අයත් කිහිප දෙනෙක් ද සිටින බව වෙසෙසින් සඳහන් කළයුතුව ඇත. ඔවුන් එදා විපක්ෂය පිළිබඳ අද පවසන්නේ කුමක් ද යන්න දනගැනීමට අපි රිසි වෙමු. ඒ සඳහා ඔවුන්ට ඉඩ-කඩ විවර කිරීමට වුව ද අප සූදානම් ය. මන් ද එදා විපක්ෂය ලෙස කටයුතු කළ දේශපාලකයෝ විසින් හොබවන වර්තමාන පාලනය ද එදාට වඩා දහස් ගුණයකින් ජනතාව පිඩාවට පත්කරමින් සිටින බැවිනි; භිතියට පත්කරමින් සිටින බැවිනි; මර්දනයට ලක්කරමින් සිටින බැවිනි.

අනෙක් කාරණය නම්, වර්තමාන විපක්ෂය ඔවුන්ගේ පාලන කාලය තුළ කළ කී දෑ පිළිබඳ මතකය අවදි කිරිමට ද මෙවැනි ලිපියක් හරහා ඉඩ-කඩ විවර වන බැවිනි; එදා තමන් කළ කී දෑ අනාගතයේ දී තමන් අතින් සිදු නොවීමට වගබලා ගැනීම සඳහා පිටුවහලක් වන බැවිනි. කිසිඳු සිවිල් බලයක් නොමැති, උගත් යයි සම්මත නොවූ, බුද්ධිමත් යැයි සම්මත නොවූ සාමාන්‍යය කම්කරුවකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමු.  ‘‘දැන් විපක්ෂෙ ඉන්න අයත් අපේ දුක ගැන කතා කරයි. බඩු මිල ගැන කියයි. දරුවන් මරන එක ගැන කියයි. එහෙම කියලා ඡන්දෙ ඉල්ලයි. ඔය කෙඳිරිගගා ඉන්න එවුං ඊළඟට ආණ්ඩු හදපුවාම දැන් ඉන්න එවුන්ට හපන් වෙන්න අපිට කෙළිනවා. හැමදාම වුණේ ඒකනෙ. මෙහෙම මිනිස්සුන්ට ඡන්දෙ දීල ඇති වැඩේ මොකක් ද?අපිට නම් මුන් කවුරුත් එකයි.’’
මෙවැනි ප්‍රකාශ පිළිබඳ අවධානය යොමු නොකොට, වත්මන් විපක්ෂය ද, වත්මන් ජනතාව ද සිහි බුද්ධියෙන් කටයුතු නොකළ හොත් අනාගතයේ දී රටටත් රටේ ජනතාවටත් අත්විඳින්නට සිදුවන්නේ ඉතාමත් දුක්ඛදායී ඉරණමකට බව පැහැදිලි ය. එකි ඛේදවාචකයෙන් රටත් ජනතාවත් මුදවා ගැනිමට නම් විපක්ෂය ද ජනතාව ද අතීතයෙන් පාඩම් උගතයුතු නොවේ ද...?

විපක්ෂය ගැන ජනතාව
තව නොබෝ දිනකින් ම විපක්ෂයට ස්වකීය පහළොස්වෙනි ජයන්තිය සැමරීමේ අවස්ථාව උදා වෙයි. මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නට පටන් ගත් දා සිට මෙතෙක් වැඩිම කලක් විපක්ෂයේ ආසන හෙබවූ මහජන නියෝජිතයන් වශයෙන් පාර්ලිමේන්තුව තුළ ස්වකීය නිද්‍රාශීලී සංගීතයෙන් ආණ්ඩු පක්ෂය පිනවූවා වූ ද, ඒ තුළින් ආණ්ඩු පක්ෂයේ සැබෑ සුරතලා වූ ද, ඒ නිසා ම රටේ බහුතරයක් ජනතාවගේ ‘‘අහේතුක ද්වේශයට’’ සහ ‘‘වෛරයට’’ පාත්‍රවූවා වූ ද ආණ්ඩු විරෝධී පක්ෂ නියෝජිතයන්ගෙන් සුසැදි විපක්ෂය පිළිබඳ ජනමත විමසුමක් කිරීම කාලෝචිත යැයි ලක්දිව සිතී ය. මෙම දෙපිටෙහි සඳහන්ව ඇත්තේ එම අදහස් උදහස් ය.

මෑත ආසන්න දශකයක කාලය තුළ තෙවැනි ලොව රටවල් හරහා හඹා ගිය ඒකාධිපති පාලකයන් එළවා දමා විපක්ෂ ප්‍රමුඛ ජනතාව විසින් ප්‍රජාතන්ත්‍රවාදයට නැඹුරු වූ ආණ්ඩු පිහිටුවා ගැනීමේ සැඩ සුළං දහරාවෙන් අංශු මාත්‍රයක් පමණක් මෙ’ලක්බිම මතින් හඹා ගිය සෙයකි. දෝෂාභයෝගයෙන් පසුව පාලක යු එන් පී ය දෙකඩ වීම, මැතිවරණ කොමසාරිස්වරයාගේ වාර්තාව නිකුත් වීම, ප්‍රේමදාස උඩුගම්පලගේ ප්‍රකාශ, රන්ජන් ඝාතනය ඇතුළු අගනුවර බෝම්බ පිපිරවීමේ සිදුවීම් යනාදී කරුණු විපක්ෂයේ හිස් මත අහම්බෙන් කඩාවැටී ඉවතට විසි වී කෙමෙන් අතීතයට එක්වන සැමරුම් බවට පත්වන්නා සේ ය.

පාද යාත්‍රාවත්, පාර්ලිමේන්තුව තුළ එහි සම්ප්‍රදායයන් කැඩීමත්, එකමුතු මැයි රැලියත් ඔස්සේ සිදු වූ නිදි ගැට කඩා වටපිට බැලීම් පමණකින් තෘප්තිමත් වීමට විපක්ෂය සිතන්නේ ද?

නියතවශයෙන් ම විපක්ෂය විසින් තම වගකීම් පැහැර හැර තිබේ. න්‍යායන් සහ ප්‍රායෝගික විසඳුම් අතර ගැටීම්, මව පුතා සහ අක්කා මල්ලී අතර ගැටීම් සහ ප්‍රතිරූපකාමීන් අතර ගැටීම් යනාදී ජවනිකාවලින් පිරි හාස්‍ය ජනක නාටකයක් දෙස වසර පහළොවක් තිස්සේ බලා සිටි ජනතාව විසින් තම වේදිකාව දෙසට කැට මුගුරුවලින් දමා ගසන විට එම පහර කා පාඩම් ඉගෙනගෙන වැරදි නිවැරදි කරගැනීමට විපක්ෂයට අවස්ථාව උදා වී තිබේ.

අතිශයින් ම කෘෘර වූ ද, රුදුර වූ ද මෙම වහල් භාවය තව දුරටත් දරා සිටින්නට කිසිවකුට නොහැකි ය. යක්, බූ, පීසාචයන්ගෙන් පාලන බලය උදුරා ගත යුතු ය. ඒ සඳහා අවසන් වශයෙන් කිරීමට ඉතිරිව ඇත්තේ කුමක් ද? විපක්ෂය ඉල්ලා අස්විම යි; ඒ... ජනතා ඉල්ලීම යි!!!

දේශපාලන විචාරකයන්, ආණ්ඩුක්‍රම විශේෂඥයන්, නීති විශාරදයන් විසින් පුන පුනා තහවුරු කොට ඇති පරිදි විපක්ෂයේ ඉල්ලා අස්වීම, ආණ්ඩුව නියත අර්බුදයක් කරා ගෙනියනවා පමණක් නොව, එය මහා මැතිවරණයක් ලබා දීම සඳහා ආණ්ඩුව බලහත්කාරයෙන් නතු කර ගැනීමක් ද වනු ඇත. ඔව්... විපක්ෂය ඉල්ලා අස්විය යුතුය. ඒ හැර අන් මගක් නොමැත.

පී. ඊබට් මහතා - පදික වේදිකාවේ සුළු වෙළෙන්දෙක්
අපි ආණ්ඩු පක්ෂයටත් බනිනවා. විරුද්ධ පක්ෂයටත් බනිනවා. ඒකෙ තේරුමක් තියෙනව ද? ආණ්ඩුව පරද්දන්න ඕනකමක් විරුද්ධ පක්ෂයට තියෙනවා. ඒක රටේ ඔක්කොගෙම ඕනකම. ඒත් විරුද්ධ පක්ෂයේ කිසිම වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව ඉඩ දෙනව ද? නෑ. ඒක ආණ්ඩුවේ හැටි බව ඇත්ත. ඒත් ඒක එදාට වැඩිය අද හුඟක් දරුණුයි. ආණ්ඩුව හැම වෙලාවෙම කරන්නෙ කුමන්ත්‍රණ. විරුද්ධ පක්ෂ බේද බින්න කරනවා. ඉතින් අපේ පැත්තෙනුත් වැරදි තියෙනවා. නවතිය හැත්තැ හතේ ආසන අටකට බැස්සුවා. ඒකෙ ප්‍රතිඵල අසූව පනිනකොට ම පෙනුණා. ඊට පස්සෙ විරුද්ධ පක්ෂය තරමක් ශක්තිමත් වුණා. ඒත් ඇත්තට ම බලාන ගිහා ම අපි අතරෙ තියෙන බේද බින්න තමයි ඒ අය ළඟත් තියෙන්නෙ.

ගාමිණී ඩයස් මහතා - විශ්‍රාම ලත් නාවික හමුදා භටයෙක්
දැන් තියෙන්නේ සක්කිලි ආණ්ඩුවක්. මේක අනිවාර්යයෙන් ම බිඳ වැටිය යුතුයි. එය සිද්ධ වෙනවා. සියයට ගණනින් බැලුවොත් සියයට අනූවක් ජනතාව ආණ්ඩුවට විරුද්ධයි. මේ විරුද්ධ මතය නිවැරදි ඡන්දයකින් නියෝජනය වෙලා ආවොත් ආණ්ඩුව අතුගෑවිලා යනවා. ඒක ඉරහඳ වගේ විශ්වාස යි. එක්සත් මැයි දිනේ හොඳ උදාහරණයක්. ඒත් ඔය සමගිය කොච්චර කාලයක් තියෙයිද කියන එක ප්‍රශ්නයක්. මෙච්චර කාලයක් ඒ අය කරල තියෙන එව්වගෙ හැටියට අපිට ඒ අය ගැන විශ්වාසයක් තියන්න අමාරුයි.

පී. ඒ. පියදාස මහතා - පදික වෙළෙන්දෙක්
මේ ආණ්ඩුවෙ මිනීමරුවො මගෙ පුතා (නීල් සුසන්ත) මරල දැම්මා. මගෙ වගේ ම තව දෙමව්පියො දහස් ගාණකගෙ ඉරණම වුණේ ඒකයි. ඉතිහාසෙ කවදාවත් මෙච්චර මනුස් ඝාතනයක් වෙංඩ නැතුව ඇති.

මෙහෙම දෙයක් රටේ වෙද්දි විරුද්ධ පක්ෂය මොකක් ද කෙරුවෙ? ආයෙ ඡන්දයක් තිබ්බොත් දැන් බලයෙ ඉන්න අය ආයෙත් දිනුම්. අපි ආණ්ඩු විරෝධියි. ඒත් අපි මොනව කරන්න ද? කළු ගලේ ඔළුව හප්පා ගන්න අපිට බැහැ.

ශාස්ත්‍රපති ඉඳුරාගාරේ ධම්මරතන හිමි - කථිකාචාර්ය හිමි නමක්
මේ විපක්ෂය රජයට ආශිර්වාදයක්. රජයට ආවරණයක්. විපක්ෂයේ උදවිය බලාගෙන ඉන්නෙ ගෙඩිය ඉදිල බිමට වැටෙනකන්. ඒක කඩාගන්න ඒ අයට ඕනකමක් නෑ. විරුද්ධ පක්ෂයේ අය විපක්ෂ නායකකම ආරක්ෂා කරනවා වගේ ආණ්ඩුවත් විපක්ෂය ආරක්ෂා කරනවා.

වත්මන් විපක්ෂය එජාපය විපක්ෂයේ සිටිය දී ගත් ක්‍රියාමාර්ග අධ්‍යනය කළ යුතුයි. දේශපාලන මූලධර්ම සහ න්‍යායවාද එදා වේල කන්න නැති දුප්පතුන්ට අවබෝධ කර ගන්න බැහැ. එජාපය තමයි මේ රටේ ජනතාවගේ ප්‍රමාද දෝෂයන් තේරුම් අරගෙන ඒ තුළින් බලයට පත්වුණේ. විපක්ෂය සතුරාගේ නියම මුහුණුවර නොදැනයි කටයුතු කරන්නේ.

බුද්ධිමය සංවාදයකට එළඹ සිටින්නන්සමග සංවාදයක් කළ හැකියි. ඒත් ත්‍රස්තවාදීන් සමග කවර නම් සංවාද ද? ඒ නිසා පොදු ජනතාවගේ පැවැත්ම වෙනුවෙන් අලුත් තීරණ ගැනීමට විපක්ෂය සූදානම් විය යුතුයි. අද පවතින ඛේද ජනක තත්ත්වයට එජාපය වගේ ම විපක්ෂයත් වගකිව යුතුයි.

මතුගම කාන්ති චන්ද්‍රපාලි මෙනවිය - ලිපිකාරිනියක්
අපේ විරුද්ධ පක්ෂය ගැන අපි මුළුමනින්ම කලකිරිල ඉන්නෙ. සමගි වීමේ සහ ජනතා අරගලය දිනවීමේ නාමයෙන් ඔවුන් කරනා විගඩම් දැන් මිනිස්සුන්ට එපා වෙලා. විපක්ෂයේ බලවත් ම පක්ෂය වන ශ්‍රිලනිප ය අනෙක් කුඩා පක්ෂ සම්බන්ධයෙන් කටයුතු කරන්නෙ කෙසේ ද? ඔවුන්ගේ අදහස්වලට කන් දෙන්නෙ නැහැ. මීට පෙර අවස්ථා කිහිපයක දී ම ඔවුන් කුඩා පක්ෂවල සහයෝගයෙන් බලයට පැමිණ තිබෙනවා. එහෙත් එසේ බලය ලබාගත් පසුව එම කුඩා පක්ෂ සියල්ල තමන්ට ඕනෑ හැටියට ම වැඩ කළ යුතු බවයි ශ්‍රිලනිප ය කල්පනා කළේ. මේ රටේ අන්ත දුගී ජනයාගේ සෞඛය සහ සුබ සාධන කටයුතු මේ තරමින්වත් කෙරෙන්නෙ සභාග ආණ්ඩුවක් තුළ සිටි වාමාංශික පක්ෂවල නියෝජිතයන් විසින් කාලයක් තිස්සේ ගෙන යන ලද අරගල නිසයි. අවසානයේ සිදු වුණේ කුමක් ද?

මෙන්න මේ නිසා අද විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායම වන ශ්‍රිලනිප යට අනෙක් කුඩා කණ්ඩායම්වලින් පෙර මෙන් සහයෝගය ලැබේ යැයි සිතන්න අමාරුයි. විපක්ෂයේ කණ්ඩායම් අතර ගැටුම්වලට ඒකත් එක හේතුවක්. මේ කොයි දේවලිනුත් අමාරුවට පත්වෙන්නෙ කිසිඳු හව්වරණක් නැති අහිංසක ජනතාව.

ඒ. ටී. වික්‍රමරත්න මහතා - ත්‍රී රෝද රියදුරෙක්
ජේ. ආර්. ජයවර්ධන විරුද්ධ පක්ෂයේ නායකත්වය දරන කාලෙ කළ දේවල් කරන්න දැන් ඉන්න විරුද්ධ පක්ෂයේ නායකයන්ට බැහැ. ඒකට හේතුවක් තියෙනවා. දැන් විරුද්ධ පක්ෂයට තියෙන බලතල අඩුයි. මේක සමානුපාත ක්‍රමය හින්දා වෙච්ච දෙයක් ද කියන්න මම දන්නෙ නැහැ. කොහොම වුනත් විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු බොහෝ වෙලාවල්වල ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ කටයුතු ඉදිරියේ රූකඩ බවට පත්වෙන අවස්ථා අපට අහන්නට ලැබෙනවා.

අන්තිමේට බලන කොට ඒ අය කටයුතු කරන්නේ ආණ්ඩුවේ අවශ්‍යතාවලට සරිලන විදියට ම යි. එකමුතු වෙලා ඉදිරියට ආවොත් ආණ්ඩුව පරද්දන්න පුළුවන් බව හැමෝමත් කියනවා. ඒත් මෙම විවිධ අදහස් උදහස් ඇති කණ්ඩායම් නියෝජනය කරන්න ජාතික නායකත්වයක් අවශ්‍යය යි. එහෙම නායකයෙක් පහල වෙන ලකුණක්වත් නැහැ.

කේ. ජයතිලක මහතා - වියත් සාහිත්‍යයධරයෙක්
අද තිබෙන්නේ දුබල විපක්ෂයක්. බලයේ සිටින ආණ්ඩුව බලයෙන් පහකිරීම සඳහා මේ තරම් හොඳ පසුබිමක් තිබූ අවස්ථාවක් තවත් තිබුණෙ නැහැ.

අද ආණ්ඩුව පවත්වාගෙන යන්නෙ කොහොම ද? තක්කඩි මාර්ග, විදේශ රටවල්වලින් එන තොණ්ඩු ආදියෙන්. දුප්පත් මිනිස්සු මැදපෙරදිග රටවල්වලට ගොස් බැල මෙහෙ කර උපදවන සල්ලිවලින්. තමන්ගේ රටේ ඉඩම් කැබලි කර විදේශිකයන්ට විකිණීමෙන්. එසේ උපයන මුදලු සම්භාරයෙන් විශාල ප්‍රමාණයක් වියදම් කරන්නෙ ආණ්ඩුවේ බලවතුන්ගේ උත්සව සහ සම්භාෂණවලට.

රාජ්‍ය නොවන සංවිධානවලට විදේශයන්ගෙන් ලැබෙන මුදල්වලින් සියයට අනු පහකටත් වඩා ප්‍රමාණයක් ගලා යන්නෙ එම සංවිධාන මෙහෙයවන තක්කඩියන්ගේ අතට. දුප්තුන් අතට යන්නේ ඉතා සුළු ප්‍රමාණයක්.

ඉතින් මෙවැනි අවිචාරවත් සමයක. පොඩි පොඩි අමනාපකම් අමතක කර එක්සත් බලවේගයක් හැටියට ඉදිරියට එන්නට විපක්ෂය තීරණය කළ යුතුයි. එසේ ගන්නා තිරණය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක ද කළ යුතුයි. එහෙත් විපක්ෂය එයට සුදානම් බවක් පෙනෙන්නෙ නැහැ. මෙම තත්ත්වය දිගින් දිගට ම පැවතීම රට වඩාත් අරාජිකත්වය කරා යාමට හේතු වෙනවා.

ඒ. ඩබ්ලියු ද සිල්වා මහතා - නීතිඥවරයෙක්

මේ ආණ්ඩුව මහජනයා වෙනුවෙන් පත්කරන ලද ආණ්ඩුවක් නොවන බව අපි හොඳින් ම දන්නවා. එ’නිසා මෙය නිතිවිරෝධී ආණ්ඩුවක්. මෙම කරුණ පැහැදිලිව ම ඔප්පු වෙලා තියෙද්දිත් ආණ්ඩුව ඒක පිළිගන්නෙත් නැත්නම් විවාදයක් සඳහා විපක්ෂයට අවස්ථාවක් දෙන්නෙත් නැත්නම් විපක්ෂය විසින් ඊළඟට අනිවාර්යයෙන් ම කළ යුත්තේ සමුහ වශයෙන් සිවිල් නීති කැඩිම යි. ජේ. ආර්. විපක්ෂ නායකයා වෙලා ඉන්න කාලෙ මේක කරන්න පටන් ගත්තා. නමුත් ඉක්මනට ම ආණ්ඩුව පෙරළුණා. අප අද පාලනය වන්නේ අප විසින් පත්කරනු ලැබූ ආණ්ඩුවකින් නොවේ නම් ඒ ආණ්ඩුවේ නීති රීතිවලින් බැඳී සිටීමට අවශ්‍ය නැහැ.

ආරියනන්ද දොඹගහවත්ත මහතා - ප්‍රවීණ මාධ්‍යයවේදියෙක්
අද විපක්ෂයේ වගකීම ගිලිහෙමින් පවතින ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කරලීම සඳහා අනලස්ව ක්‍රියාත්මක වීම යි. ආණ්ඩු පක්ෂය යි විපක්ෂය යි තුලාවක් විදියට ගත්තොත් ඒකෙ එක පැත්තක ක්‍රියාකිරිත්වය මන්දගාමී වුණාම තුලාවේ සමබරතාවය නැති වෙලා. එක පැත්තක් බර වෙනවා. විපක්ෂයේ නිද්‍රාශීලි පිළිවෙත හින්දා අද ආණ්ඩු පක්ෂය කටයුතු කරන්නෙත් තුලාවේ බර වැඩිවුණ පැත්ත වගේ.

අද ආසියාකරයේ ඇති දුර්වල ම විපක්ෂය තියෙන්නෙ මේ රටේ. බංගලාදේශයේ එර්ෂාඩ් මොන තරම් දරුණු පාලකයෙක් ද? ඒත් ඔහුගේ කෘෘරකම් ඉදිරියේ විපක්ෂය නිහඬව සිටියේ නැහැ. ජනතාව සමග පාරට බැස්සා. එර්ෂාඩ් පැන්නුවා. තායිලන්තයේ සිදුවුණෙත් මෙබඳු ම දෙයක්.

අද ජනතාව මොනතරම් දුෂ්කරතාවලට පත්වෙලා තියෙනව ද? එම නිසා ම ඔවුන් තුළ දැල්වෙන ආණ්ඩු විරෝධය සංවිධානය කර ඉදිරියට ගන්නට විපක්ෂය සමත් වි සිටිනවා ද? මාධ්‍යයවේදීන් හැටියට අපි මුහුණ දෙන දුෂ්කරතාවලට ඔවුන් දක්වන ප්‍රතිචාරය අපි දන්නවා. විපක්ෂයේ නිද්‍රාශීලිත්වය හමුවේ වික්ප ජනමාධ්‍යයන් අද විපක්ෂයේ කාර්යයභාරය සියතට අරගෙන. එහෙම කටයුතු කරනකොට පත්තරවලට නඩු පිට නඩු. සි අයි ඩීයෙන් සොදිස් කිරීම්. ඉතින් එහෙම වෙලාවල්වලදි විපක්ෂයේ ආවරණය මාධ්‍යයවේදීන්ට ලැබෙනවා ද? නැහැ. ඔවුන් පුවත්පත් නිවේදනයක් නිකුත් කර නිකං ඉන්නවා.

අද රට පුරා විවිධ ආයතන ඔස්සේ ඇවිළෙන අරගල සහ උද්ඝෝෂණ සියල්ල හුදෙකලා වෙලා. පොලිසිය යොදවා ඒවා මර්දනය කරන්නේ සාහසික විදියට. විපක්ෂය මෙම ආණ්ඩු වරෝධී කණ්ඩායම්වලට ආවරණයක් වෙනවා ද? නැහැ. මේ සියලු ආණ්ඩු විරෝධීන් සමග වීදි බැසීමට ඔවුන් සූදානම් නැහැ. ඔවුන්ගේ අරමුණ කෙටි යි; පටු යි. ජනතාව ඔවුන්ට පුටු අරන් දෙනතුරු බලාගෙන ඉන්නේ. මේ තත්ත්වය මත කවදා හෝ දවසක ජනතාව තනිව ම වීදි බසීවි; අරගල කරාවි. එදාට විපක්ෂයජනතාව පිටුපසින් ගාටන බව පමණක් අපට පැහැදිලියි.

පෝල් පෙරේරා මහතා - විධායක අධ්‍යක්ෂකවරයෙක්
මේ රටේ ආණ්ඩුවට එරෙහිව නැගී සිටින ජනතා බලවේග අනන්තයි. විකල්ප පත්තර මේ තරම් ව්‍යාප්ත වීමත්, ඒවා ජනප්‍රසාදය දිනාගැනීමත් තුළින් පැහැදිලි වන්නේ කුමක් ද? එහෙත් පීඩනයට සහ මර්දනයට එරෙහිව මතුවෙන ආණ්ඩු විරෝධී කොටස් ඒකරාශී කරගෙන නිවැරදි ඉලක්කයක් කරා මෙහෙය වීමට සමත් කිසිවකු නැහැ. අපේ රටේ හොඳ විපක්ෂයක් නැහැ. අහසින් කඩා වැටුණා වගේ ඉඳහිට ඔවුන් කරන කටයුතු පටන්ගත් තැන ම මියැදෙන බවයි පේන්නෙ.

බස් ජනතාකරණයට විරුද්ධව රැස්වීම් දෙක තුනක් තිබ්බා. දැන් ඒක ඉවරයි. මවු පෙරමුණක් ගොඩනැගුණා. නමුත් එහි නිර්මාතෘවරුන් දැන් නිහඬ යි. සීනි කම්හල් කොම්පැනිවලට දීමට විරුද්ධව ප්‍රකාශ නිකුත් කෙරුවා. දැන් ඒ ගැනත් නිශ්ශබ්දයි. පසුගිය කාලයේ පවත්වපු පාදයාත්‍රාව, විපක්ෂය ජනතාව අතරට ගිය වැදගත් අවස්ථාවක්. ඒත් එහි නියමුවන්ගේ අරමුණ වුණේ කුමක් ද කියල අපි තුළ ඇත්තේ බලවත් සැකයක්. හේතුව... යම් යම් අය පෞද්ගලික වශයෙන් ප්‍රතිරූප ගොඩනගාගන්න උත්සාහ දරන බවක් අපිට පෙනුණ නිසයි.

විරුද්ධ පක්ෂයේ තිබෙන මෙම දුබලකම්වලට හේතුව ජාතික නායකත්වයක් නැතිකම ම නොවේ. ඔවුන් සතුව නිශ්චිත විකල්ප වැඩ පිළිවෙළක් නැහැ. දැන් පවතින ආර්ථික පිළිවෙත්වල නිසරු බව කියන අතර ම එයට පිළිතුරු ලෙස ඔවුන් ඉදිරිපත් කරන ආර්ථික පිළිවෙත කුමක් ද? එවැන්නක් නැහැ. චන්දානන්දගෙන් වාර්තාව පළවුනත් නැතත් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුව තනිවම පනත් සම්මත කරගන්නා ආකාරය ම වුනත් ඇති විපක්ෂයට ඉල්ලා අස් වෙන්න. ඒත් ඔවුන් ඉල්ලා අස් නොවන්නේ ඇයි? ඉහත හේතුව නිසා නොවේ ද? ඔවුන් කර කියාගත හැකි දෙයක් නැතුව තක්කු මුක්කු වෙලා ඉන්නෙ.

ඩි. සැම්සන් මහතා - පදික වේදිකාවේ කම්කරුවෙක්
කලින් විරුද්ධ පක්ෂවල හිටි අය අපේ දුප්පත්කම ගැන කතා කෙරුවා. අපේ දරුවො මරන එක ගැන කතා කෙරුවා. අපේ පැල්පත් ඇතුළට ඇවිත් දුක සැප ඇහුවා. බඩු මිල අඩු කරන හැටි, ධර්මිෂ්ට සමාජයක් හදන හැටි අපිට කියල දීල අපේ ඡන්දෙන් ආණ්ඩු පිහිටෙව්වා.අන්තිමේ මොකද වුණේ? අපි කබලෙන් ලිපට වැටුණ එකයි වුණේ.

මෙහෙන් අවුරුදු දෙදාහෙදි හැමට ම හෙවණ දෙන එක ගැන කියනවා. අපිට පේමන්ට් එකේවත් නිදාගන්න දෙන්නෙ නෑ පොලිසියෙන් ගහනවා. ඉතින් අපිට කවුරුත් එකයි. දැන් විපක්ෂෙ ඉන්න අයත් අපේ දුක ගැන කතා කරයි. බඩු මිල ගැන කියයි. දරුවන් මරන එක ගැන කියයි. එහෙම කියලා ඡන්දෙ ඉල්ලයි. ඒත් මෙහෙම මිනිස්සුන්ට ඡන්දෙ දිල ඇති වැඩේ මොකක් ද?අපිට නම් මුන් කවුරුත් එකයි.දැන් ඔය කෙඳිරිගගා ඉන්න එවුං ඊළඟට ආණ්ඩු හදපුවාම දැන් ඉන්න එවුන්ට හපන් වෙන්න අපිට කෙළිනවා. හැමදාම වුණේ ඒකනෙ. මට නම් ඔය මොකෙක්වත් ඕන් නෑ. ඡන්දෙ දෙන්න ඕනෙත් නෑ. අපි හොයාගත්තු දවසට කනවා. නැතිදාට බඩගින්නෙ ඉන්නවා එච්චරයි.

කේ. ඒ. ප්‍රෙමලාල් මහතා - රාජගිරිය
අපිට පක්ෂයක් නෑ. ඒත් දැන් තියන ආණ්ඩුව පරද්දන්න පුළුවන් ඕනැම කණ්ඩායමකට අපි ඡන්දෙ දෙනවා. මැතිවරණයක් අවශය යි. මැතිවරණයක් බාගන්න නම් විපක්ෂය ඉල්ලා අස්විය යුතුයි.

කේ. දියෝනිස් අප්පුහාමි මහතා - ගොකරැල්ල ගොවි මහත්මයෙක්
ආණ්ඩුවට හැමෝ ම බනිනවා. බලාන ගියාම ඔක්කොම ආණ්ඩුවිරෝධීන්. ඒත් ඡන්දයක් තිබ්බොත් මොකද වෙන්නෙ? යූඇන්පිය දිනුම්. ඒ හින්දා මේ විදියෙ මැතිවරණවලින් අපිට වැඩක් නෑ. සාධාරණ ඡන්දයක් ඕනෑ. සාධාරණ ඉක්මන් මැතිවරණයක් සඳහා විපක්ෂය ඉස්සරහට එනවා නම් පාරට බහින්ඩ අපි ලෑස්තියි. හැබැයි ආණ්ඩුව මැතිවරණයක් දෙන්නෙ නැත්නම් විපක්ෂය ඉල්ලා අස් වී මැතිවරණය දිනාගත යුතුයි.

1992 මැයි 31 ලක්දිව

පිළිසඳර - තිඹිරියාගම බණ්ඩාර

 

 

එදා කී කතා