21 July 2018
RSS Facebook Twitter   

විපක්ෂය ඉල්ලා අස්වෙනු!

sl parliamentපූර්විකාව

ඕනෑම රටක ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයක් ද සිටිති. විපක්ෂයේ වගකීම සහ යුතුකම වන්නේ පවතින ආණ්ඩුවේ සියලු ක්‍රියාදාමයන්වලට විරුද්ධ වීම, පක්ෂ වීම හෝ නෑසූකන්ව සිටීම නොව දේශපාලනික වශයෙන් තමන්ට අවාසි වුව ද ජනතාවගේ සුබ සිද්ධිය සඳහා කෙරෙන වැඩකටයුතු සඳහා සහයෝගය ලබා දීම ය; ජනතාවට අහිතකර යෝජනා සහ ක්‍රියාදාමයන් වැළැක්වීම ය. එහෙත් අවාසනාවකට ඊනියා නිදහසින් පසු පැවති කිසිඳු ආණ්ඩුවක් ජනතාවට යමක් ලබා දුන්නාට වඩා කළේ ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමය; මුලිනුපුටා දැමී ම ය.

කිසියම් හෝ සංවර්ධන ක්‍රියාදාමයක් සිදු වූයේ නම් එය ද වූයේ අදාළ සංවර්ධන කටයුත්තට වැය කළ මුදලට වඩා වැඩි මුදලක් අදාළ ඇමතිවරයා ප්‍රමුඛ නිලධාරීන් අතට පත්වීම සහ එකී සංවර්ධන කටයුත්තේ ප්‍රචාරක සහ ආරම්භක අවස්ථාවන් සඳහා වියදම් කිරීම ය. එමෙන් ම මෙතෙක් පැවති බොහොමයක් විපක්ෂ කටයුතු කළේ ද තම තමන්ගේ පුද්ගලික හෝ පාක්ෂික වාසිය සඳහා වූ ව්‍යාපෘතීන් වෙනුවෙන් ඇප-කැප වීම මිස පවතින ආණ්ඩුව ජනතාව තලා පෙළා දමන මොහොතේ ඊට එරෙහිව ජනතාව පෙළ ගැස්වීම නොවේ.

මොනයම් ම හෝ ආකාරයකින් පවතින ආණ්ඩුව පලවා හැරීමෙන් අනතුරුව විපක්ෂය බවට පත්වන්නේ පැවති ආණ්ඩු පක්ෂය යි. (එසේ නොවු අවස්ථා ද ලංකා දේශපාලන ඉතිහාසයේ දක්නට ලැබිණ.)ඊළඟට පත්වන ආණ්ඩුව ද ටික කලක් යද්දී පරණ ආණ්ඩුවේ තත්ත්වයට ම පත්වේ. එවිට නැවතත් පරණ ආණ්ඩුව තම තමන්ගේ ව්‍යාපෘතිවල දියුණුව උදෙසා යම් යම් ක්‍රියාමාර්ගවලට පෙළඹෙති. වර්තමාන තත්ත්වය ඒ සඳහා හොඳම උදාහරණය ලෙස ගත හැකි ය.

පහත සඳහන් ලිපිය පළ වන්නේ 1992 වසරේ දී ය. අප එම ලිපිය නැවත පළ කිරිමට හේතු වූයේ ද එදා පැවති විපක්ෂය සහ මෙදා පවතින විපක්ෂය අතර අබමල් රේණුවක තරම් හෝ වෙනසක් නොමැති බව රටේ ජනතාවට පහදා දීම සඳහා ය. එහි අන්තර්ගත කරුණු එකින් එක විස්තර නොකළ ද යථාවබෝධයකින් යුක්තව මෙම ලිපිය කියැවීමෙ දි එය වඩාත් තිව්‍ර වනු ඇති බවට සහතික ය. ඔබ කළ යුතතේ මෙම ලිපියේ සඳහන් පුද්ගල නාම, පක්ෂ නාම සහ සිදුවීම් වෙනස් කොට කියැවීම පමණි.

මෙම ලිපියේ ආරම්භක වාක්‍යයේ සිට අවසානය දක්වා අන්තර්ගත සියලු කරුණු අද විපක්ෂයට ද ඒ ආකාරයෙන් ම නොව ඊටත් වඩා ප්‍රබල අන්දමින් සමපාත ය. එදා පවුල් ප්‍රශ්න විපක්ෂයේ ය: අද පවුල් ප්‍රශ්න (පිටතට නොපෙනුණ ද) ආණ්ඩුවේ ය. එදා බල අරගලය ආණ්ඩුවේ මෙන් ම විපක්ෂයට ද අදාළ වූවා සේ වර්තමානයේ ද බල අරගලය ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයට ද ඒ ආකාරයෙන් ම වලංගු ය.

මේ සෑම අබග්ගයකින් ම පීඩාවට පත්වන්නේ රටේ බහුතර ජනතාව ය. එසේ නම් විපක්ෂය අවදිවනතුරු නොසිට සතුරා පලවා හැරීමට ජනතාව ඒකරාශී විය යුතු ය; අපි උත්සාහ කරන්නේ ඒ කාර්යය සඳහා ය; ඒ සඳහා අපිට අවශ්‍යය වන්නේ ජනතා සහයෝගය යි; ජනතාවගේ කැපවීම යි. එහෙත් එබඳු ජනතාවක් මේ ආශ්චර්යමත් දේශයේ සිටී ද යන්න සැක සහිත ය...

එය අපේ අවාසනාව නොව අනාගත පරපුරේ අවාසනාව ය... එහෙත් ඒ සියල්ල දෛවයට බාර දී කුම්භකර්ණ වෘතය රැකීම අපගේ මෙන් ම ඔබගේ කාර්යය නොවන බව පසක් කර ගන්නේ නම් මැනවි!!!


වර්තමාන පාලනය වෙනස් කිරීමට විපක්ෂයට හැකියාවක් ඇත්ද? විපක්ෂයට එවැනි හැකියාවක් නොමැති නම් රටේ ඉරණම කුමක් වේ ද? මේ ප්‍රශ්න දෙක ම ජනතාවගේ තුඩග රැව් පිළිරැව් දෙයි.

1989 වර්ෂයේ පැවති මහ මැතිවරණය පිළිබඳමැතිවරණ කොමසාරිස්ගේ නිල වාර්තාපමා වී හෝ නිකුත් වී ඇත. ජනාධිපති මැතිවරණය පිළිබඳව මැතිවරණ පෙත්සමක් ද විභාග වෙමින් ඇත. 1989 පටන් ම විපක්ෂය ප්‍රමුඛ මහජනතාව මහා මැතිවරණයේ ක්‍රියා කලාපය ප්‍රජාතන්ත්‍රවාදයට ගෝචර නොවන බැව් තරයේ ම කියා සිටිය හ. ජනාධිපතිවරයා සහභාගි වන උත්සවවලට සහභාගී වීම විපක්ෂය වරින් වර වර්ජනය කරන බව ජනතාවට කීහ. විපක්ෂයේ තර්ක පදනම අනුව ජනාධිපතිවරණය සහ මැතිවරණය දේශපාලනිකව වලංගු සහ නිත්‍යානුකූල නොවන බව එදා පටන් ම ප්‍රකාශ කළහ. විපක්ෂයේ තර්ක තහවුරු කරන සමහර කරුණු මැතිවරන කොමසාරිස් වාර්තාවේ ඇති බව ද විපක්ෂය කියති. මේ කිසිත් නොතකා මැතිවරණයෙන් පසුව එසේ ම පවත්වාගෙන යයි.

මෙවැනි ම තත්ත්වයක් බංගලිදේශයෙහි ඇතිවුණ කල්හි එහි විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කර ජනතාව අතරට වී කළ උද්ඝෝෂණය නිසා ම එර්ෂාඩ් රජයට ජාතිකව මෙන් ම ජාත්‍යන්තරව එක්තරා මට්ටමකින් දේශපාලන වලංගුභාවය දිය වී ගියේ ය.1977 දී අලි භූතෝ රජය පැවැත් වූ මැතිවරණය දූෂිත යැයි එවකට වූ පකිස්තාන විපක්ෂය ජනතාව සමග කළ උද්ඝෝෂණයෙන් අලි භූතෝ රජයේ දේශපාලන වලංගුභාවය නටබුන් වී ගියේ ය. ඉන්දියාවේ මැතිවරණයක් ඉල්ලා සියයකට වැඩි විපක්ෂ මන්ත්‍රිවරුන් ඉල්ලා අස් වීමෙන් ප්‍රබල දේශපාලන රැල්ලක් රට පුරා ගියේ ය. තායිලන්තයේ මන්ත්‍රීධුරයක් නොමැති සෙන්තියකු අගමැති ලෙස පත්කිරීමට විරුද්ධව තායි විපක්ෂයේ ඉතාම ජනප්‍රිය සහ අදූෂිත නායකයා මාරාන්තික උපවාසයක් කරයි.

මේ සෑම අවස්ථාවක් ම එක් වැදගත් සිද්ධාන්තයක් පැහැදිලි කරයි. ප්‍රජාතන්ත්‍රවාදි නිදහස් සහ නීත්‍යානුකුල නොවන බවට විපක්ෂය චෝදනා කරන සියලු ම පාර්ලිමේන්තු සහ ආණ්ඩුවලින් ඉවත් වී, සහභාගි නොවී, ඒවායින් ඉල්ලා අස් වී විපක්ෂයේ ස්ථාවරය සක් සුදක් සේ පැහැදිලි කිරීම ය.එසේ පැහැදිලි කිරීමෙන් විපක්ෂය විසින් චෝදනා කරනු ලබන එවැනි රජයනට හා පාර්ලිමේන්තුවලට නීත්‍යානුකූලභාවය සහ දේශපාලන වලංගු භාවය ලැබිම වැළක්වීම සඳහා විපක්ෂය පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම සිදුකෙරිණි. මේ පණිවිඩය රට පුරාත්, ලොව පුරාත් ගියේ ය.

ලංකාවේ විපක්ෂය ද 1989 සිට මෙවැනිචෝදනාකරති.තමන් කරන චෝදනා පපුවෙන් එන අදහස බවජනතාවට සහ රජයට ඒත්තු ගැන්වීම සඳහා විපක්ෂයපැවතීමගැන විපක්ෂයේ පැවැත්ම ගැන ජනතාව කලකිරිමට පත්ව ඇත.
ලංකාවේ ප්‍රථම වතාවට එක්සත් ජාතික පක්ෂයේ පංතිය හා පක්ෂය යන දෙකම එක වර දෙදරා කැඩි යමින් ඇත්තේ ලලිත් ගාමිණී කණ්ඩායම රජයෙන් ඉවත් වූ අවස්ථාවේ බව සිහිපත් කළ යුතු වේ.

ධනපති පංතිය සහ ධනපති පංතියේ පක්ෂය යන දෙක ම එකවර භේද වීමෙන් රජය මතුපිටින් පෙනෙනවාට වඩා දුර්වල වී ඇත. මේ කණ්ඩායම් රජයෙන් ඉවත් නොවන්නට උඩුගම්පොළ සිද්ධිය විකාශනය වි නොයනවා සිකුරු ය. පාලක පක්ෂයට සහ පාලක පංතියට තව දුරටත් පෙර සේ ම පාලනය ගෙන යා නොහැකි බව එම පෙළැන්තියට ම වැටහී යාම රජයක් වෙනස් වීමේ පෙර ම ලකුණු වේ. එවැනි විපර්යාසයක් සිදු නොවේ යැයි මධ්‍යස්ථ බුද්ධිමත් අයට දැන් පිළිගත හැකි ද? මෙතැන් සිට සිදු කරන මර්දන ක්‍රියා කලාපයන්, වලහා උණු කේතලය තව දුරටත් මිරිකාලිමක් වැනි විය හැකි ය.එවැනි ප්‍රවණතාවක් කරා කුලී ලේඛකයන් පිරිසක් රජය විසින් මෙහෙයවන බවක් ද පෙනේ.

1977 සිට උග්‍ර වෙමින් පැවති ලංකා ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයකට පෙරළෙමින් ඇති බැව් පෙනේ. තේ වතු නඩත්තුව සහා රජය මසකට රුපියල් කෝටි 40 ක්එනම් දිනකට එක් කෝටි 33 ලක්ෂයක් බැගින් වී, හාල්, පාන්, කිරි, පැට්‍රෝල් ආදියට බදු පනවා තේවත්කරයට පොම්ප කරන බැව් රජය ම කියයි. එසේ කරන්නේ අනිත් අතට තොණ්ඩමන් මහතා ආණ්ඩුව තුළ තබාගැනීම සඳහා ය. එතැන දී තේඩාව අගට ම රජයත් තොණ්ඩමනුත් පැමිණ ඇත. වතු සමාගම් කිරීම, මසකට කෝටි 40 ක් වත්කරයට පොම්ප කිරීම, තොණ්ඩමන් තබාගැනීම යනාදිය එකට පැටලි ඇති ආර්ථික සහ දේශපාලන අර්බුදය පෙන්නුම් කරයි. අධ්‍යාපනයේ සහ ජනසවියේ ද ආර්ථික සහ 1989 සිට ම පාර්ලිමේන්තුව වර්ජනය කිරීම හෝ ඉන් ඉල්ලා අස්වීම කළ යුතුව තිබිණි. අඩු තරමින් මැතිවරණ කොමසාරිස් වරතාව නිකුත් කළ දවසේ සිය ආසනවලින් ඉල්ලා අස් වි ජනතාවට සිය පරිත්‍යාගය මගින් සිය චෝදනාවල බරපතල බව ඒත්තුගැන්විය හැකිව තිබිණි.

එහෙත් ලංකා විපක්ෂය පාර්ලිමේන්තු කඩුල්ලේ පොල්ලත් අල්ලා අමුඩය ගසාගෙන ‘ඉදිරියට යාමට අතහැරපල්ලා’ යැයි මොර දෙති. රටේ ඉතාම තීරණාත්මක බල තුලනයේ වාසිය විපක්ෂයට ලැබී ඇති අවස්ථාවක දී පවා විපක්ෂයට සිය දෙනා ජනතා සන්තානයට කාවැද්දිය හැකි තත්ත්වයකින් දේශපාලනිකව ක්‍රියා කළ නොහැකි අර්බුද තත්ත්වයකට කිට්ටු වෙමින් ඇත. මේ අතර රජය සිය බටහිර ස්වාමි පක්ෂය සහ බටහිර තානාපති අංශ සහ ආයතනසමග ද නිබඳව ගැටෙති.ඉන්දියාව සමග වරෙක ප්‍රේමය වරෙක වෛරය මතු වේ. ජෝන් කීල්ස් මස් බෝල සමාගම සහ එයාර් ලංකා ගැටීම ද යූඑන්පී පිඟානේ ම කුඩ මිටි හරස් කර ගැනීමකි.

මෙයින් පැහැදිලි වනුයේ ආර්ථික අර්බුදය වේගයෙන් දේශපාලන අර්බුදයකට පත්වෙමින් තිබීම ය.

නොබෝදා ග්‍රහචාර ප්‍රචාරය කරන්නවුන් ග්‍රහ පිහිටිම අනුව ජේ. ආර්. යළි නායකත්වයට එතැයි කටින් කට ප්‍රචාරයක් ගෙන යති. මෙය සත්‍යය නොවන්නට පුළුවන. එහෙත් ග්‍රහචාරය, දේවාලය රටේ ව්‍යවස්ථාවටත් ඉහළින් සලකන සහ මුදන නායකයන් ඇති රටක ග්‍රහ ඇදුරන් දේශාලන පක්ෂ තරම් ම බලවත් වේ. ග්‍රහයා කොතැන පිහිටිය ද විශ්‍රාමික ජේ. ආර්. විශ්‍රාමිකව සිටින බවක්, ගොඩ සිට ඔරු පෙරළීමට ක්‍රියා කිරීමෙන් පෙනෙන්නේ නැත. පරණ කැප්ටන් ‘‘බී ටීම්’’ එකට නායකත්වයක් දෙතැයි සමහර අය අනුමාන රති. මැතක දි පැවති පන්සල් උත්සවයක දී ජේ. ආර්. විපක්ෂයට තදබල පහරක් ගසා තමා සහ විපක්ෂයේ දේශ සීමාව යළි පැහැදිලි කර ඇති බව පෙනේ. ජේ. ආර්. ජයවර්ධන යටතේ ජාතික ආණ්ඩුවක් තැනීම බටහිර රටවල සහ මෙරට ධනපති කොම්පැණිවල න්‍යායපත්‍රෙය් නැතුවා නොවේ.

මේ සියල්ල ම යටපත් කරමින් රට පුරා ඇතිකමේ සහ නැතිකමේ වෙනස පැතිර යන වේගය මෙවර මැයි දින අත්සවයෙන් පැහැදිලි විය.යුඇන්පිය තුල තව දුරටත් පැවතිය නොහැකි තරමේ අවදානමක් ලලිත් - ගාමිණී කණ්ඩායමට උදා වී ඇත්නම්මෙවර මැයි දිනය කියා පෑවේ මධ්‍යම පංතියටත් ඉහළ කොටස්වල දුර්මුඛ වීම නොවේ ද?

විපක්ෂය, ව්‍යවස්ථාදායකයේ කතා පෙට්ටියකැයි ජනතාව චෝදනා කරති. විපක්ෂය දෙපා නො ලද්දෙකැයි ද කියති. විපක්ෂය රජයට විපක්ෂයක් වෙනවා වෙනුවට ජනතාවට විපක්ෂයක් වෙමින් ඇතැයි ද කියති. දැන් විපක්ෂයේ ප්‍රථම ප්‍රමුඛතාව වී ඇත්තේ සෞඛ්‍ය වාර්තා, තිරිහන්කම් ගැන ජනතාවට ව්‍යාජ නිල වාර්තාපෙන්විම දැයි ප්‍රසිද්ධියේ ම ප්‍රශ්න කරති. පවුල් අරගල රටේ දේශපාලන ආර්ථික සහ සමාජ අරගලවලටත් ඉහළ තැනක් දෙමින් ජනතාව නොමග යවතැයි ද කියති.

විපක්ෂය කෙරේ ඇති ජනතා සැකය සහ ජනතා අවිශ්වාසය පහ කිරිමට තවමත් ක්‍රියා කර නැත. 1978 ව්‍යවස්ථාවේ චිට් මන්ත්‍රීන් ගැන උග්‍ර විරෝධයක් පෑ විපක්ෂය ම චිට් මන්ත්‍රීවරුන් පත්කර දැන් ඒ වචනය පවා අමතක කර ඇත. 1978 ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තු කැබිනට් ක්‍රමය පිළිබඳ ව එක දිගට ම සටන් කර නැත. පළාත් සභා හෙළා දුටු නමුත් පළාත් සභා ඡන්දය ගැන නිවැරදි මතයක් ප්‍රකාශ කොට නැත. අතුරු සහ නැගෙනහිර ප්‍රශ්නය ගැන ව්‍යංගයෙන් තොර ව ප්‍රතිපත්ති හෙළි කර නොමැත. තොණ්ඩමන් යෝජනා ගැනස්ථාවරය දක්වා නැත.අධ්‍යාපනයේ අනාගතය ගැන පැහැදිලි ස්ථාවරයක් නැත.

රුපියල් 300 ක් ඉල්ලා 1980 වැඩවර්ජනය කළ අවස්ථාවේ දී දිනකට රුපියල් දෙසීය බැගින් ලබන මන්ත්‍රී දිමනාව වර්ජනය කරන ලෙස කම්කරුවන් කළ ඉල්ලිමට කන් දී නැත. අන්තිමේ ද් විපක්ෂය මෙසේ නපුංසක දේශපාලනයක් ගෙන යමින් අන්තිම හුස්ම ටික හෙළනුයේ පැජරෝ ජීප් රියක ඩිකියේ බැව් ඩිමෙල් පිටියේ කම්කරු රැස්වීමක දී කළ ප්‍රකාශය සැලකිය යුතු වේ.

ලේක්හවුස් ආයතනය මේ රජයත් විනාශ කළ බැව් කලෙක දී මේ රජය ම කියනවා නිසැක ය. ඒ තරමට ම රජයේ ජනමාධ්‍යය කෙරේ කලකිරිමක් තහවුරු කිරිමට ඔවුන් සමත් වී ඇත.ජනතාව ද පරිවර්තනයක් සෑම තැනක දි ම අපේක්ෂා කරති. පිටරටවල්වල ද ලංකාවේ ප්‍රජාතන්‍ත්‍රවාදී ගුණාත්මක වෙනසක් පශ්චාත් භීෂණ සමයේ අපේක්ෂා කරයි. මෙතැන් සිට රටේ විශාල වෙනසක් සිදු කිරිම භාර විපක්ෂයට ය. ඒ වගකීමෙන් විපක්ෂයට මිදිය නො හැකි ය. විපක්ෂයේ අවංක භාවය, පරිත්‍යාගශීලී භාවය සහ විපක්ෂ පොදුජන යහපත යනාදී සිල්ල ඔප්පු කිරිම සඳහා විපක්ෂය ජනතාවට සිය ඇප-කැප වීම ප්‍රදර්ශනය කළ යුතු ය.

රටේ දේශපාලන වෙනසක් කිරිමට විපක්ෂය සමත්වේද යන්නට පිළිතුර ‘‘ඔව්’’ යනු වේ. ඒ සඳහා ආසියාවේ රටවල දලෝකය පුරාම ද සාර්ථක ලෙස ඔප්පු කර ඇති පරිදි විපක්ෂයට ඉතිරි වි ඇති අන්තිම තුරුම්පුව සහ නො වරදින තුරුම්පුව ලෙස ඇති ක්‍රියා මාර්ගයක් ගැනීමට ජනතාව විපක්ෂයට බල කළ යුතු කාලය වේගයෙන් අදා වෙමින් ඇත.

විපක්ෂය විසින් ම දේශපාලන වලංගු භාවයක් නැතැයි කියන්නා වූ ද මැතිවරණ කොමසාරිස් වාර්තාව හරඹ රමින් විපක්ෂය කියන්නා වූ ද වර්තමාන පාර්ලිමේන්තුවෙන් ස්ව කැමැත්ත අනුව මුළු මහත් විපක්ෂය ම වහාම ඉල්ලා අස් වී ජනතාව අතරට ඇවිත් රටේ දේශපාලනයේ ගුණාත්මක වෙනසක් ඇති කළ යුත් වේ.

දේශ ප්‍රේමියා සහ සහ පෙජරෝ ප්‍රේමියා අතර වෙනස ජනතාවට ප්‍රදර්ශනය කළ යුතු වේ. එසේ අස් වි මහජනතාව අතරට එක්වන්නා වූ ඕනෑම අයකුට මහජන වේදිකාව සැපයිය යුත්තේ ය. පාද යාත්‍රාව මෙහෙයවා ජනතාව සමග එක්වීමට ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදීව ආරාධනා කළ යුත්තේ ය.

මේ උතුම් පියවර මේ අවස්ථාවේ මගහැර දැමුව හොත් ලංකාවේ විපක්ෂය පැජරෝ ජීප් රියක ඩිකියේ අපවත් වු බැව් ඉතිහාසයේ සටහන් වනු ඇත.

ඝෝෂක - 1992 මැයි 17 ලක්දිව

 

 

එදා කී කතා