20 April 2018
RSS Facebook Twitter   

කූට බුද්ධිමතුන්ගේ යුගයක් - මහාචාර්ය ජේ. බී. දිසානායක

 

jb-dissanayakeපූර්විකාව

මහාචාර්ය ජේ. බී දිසානායක මහතා ඉහත ප්‍රකාශය කර තිබෙන්නේ මීට විසි දෙවසරකට පෙර දී ය. එම ප්‍රකාශය එදාට සාපේක්ෂව සත්‍යය ම ය. මහාචාර්යවරයාගේ අදහස ප්‍රකාරව එදා පැවති ආණ්ඩුව සහ එවකට සිටි බුද්ධිමතුන්ගේ ක්‍රියාකලාපය එසේ වූ හෙයින් ඉන් දෙවසරක් ඇවෑමෙන් එකී දුර්ධාන්ත පාලනය පලවා හරිමින් නව පාලකවරියක් පත්කරගත්තේ ද මහාචාර්ය ජේ. බී. දිසානායක සහ තවත් එවැනි ම වියත්, උගත්, බුද්ධිමත් පිරිසකගේ අනුග්‍රහය සහ ආශිර්වාද මධ්‍යයේ ය. ඉක්බිතිව සිදු වූයේ කුමක් ද? ජේ. බී දිසානායක මහතා ඇතුළු බොහෝ පිරිස් දුටු දිවා සිහින සඵල වූවා ද...?


ඔව්... සඵල විය!!! එහෙත් ඒ රටේ පොදු ජනයාගේ සිහින නොව නව පාලකයන්ගේ සිහින ය; උන්ගේ අන්තේවාසිකයන්ගේ සිහින ය; යුදවාදීන්ගේ සිහින ය; ධනපතියන්ගේ සහ ධනේශ්වර පාලකයන්ගේ සිහින ය.

 

1977 ජේ. ආර්. ජයවර්ධන දිගහැරීම ඇරඹූ විවෘත ආර්ථිකය නමැති ලණු පැදුර ආර්. ප්‍රේමදාස තව තවත් දිගහැරි අතර ඔහුගේ පාලන ක්‍රමය විවේචනය කරමින්, එයට ගරහමින්, එවකට ලාංකීය භූමියේ උතුරේ සහ දකුණේ ද පැවති ජන ඝාතනයට එරෙහි වෙමින්, ඉතාමත් අසීරුවෙන් ජනතාව පෙළ ගස්වමින් ඊනියා වම්මුන්ගේ ද නොමසුරු සහයෝගයෙන් වාමවාදි යැයි කියාගන්නා ආණ්ඩුවක්රටේ පාලනය බාර ගත්තේ ය. එකී ආණ්ඩුවේ පාලකයෝ ද කළේ ආර්. ප්‍රේමදාස නැවතු තැන සිට විවෘත ආර්ථිකය නමැති ලණු පැදුර තව දුරටත් දිගහැරීම ය; මහජන දේපළ යට කරමින් එකී ලණු පැදුර දිගහැරීම ය. යට කර දමන සැම මහජන දේපළක් වෙනුවෙන් ම පාලකයන්ගේ ස්විස් බැංකු ගිණුම් තර විය. සුප්‍රසිද්ධ තවක්කාල් ගිවිසුම, ෂෙල් ගෑස් ගිවිසුම රටේ ජනයාගේ මුවින් මුව රැව් දෙන්නට විය.

මිනි මරුවන් පළවා හරිමින් බලයට පැමිණි නායිකාවගේ අණින් ඇන්සල් ලංකා සේවකයෙක් මරු වැලඳ ගත්තේ ය. එය පොදු ජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ පළමු බිල්ල විය. එතැනින් ඇරඹි ඝාතන රැල්ල මේ දක්වා කිසිඳු හිරිකිතයකින් තොරව ක්‍රියාත්මකව පවතී. කලින් කලට පාලකයෝ තමන්ට එරෙහි (ධනේශ්වර පාලනයෙන් බැටකන ජනතාවගේ) බලවේග අකා මකා දමන්නට විවිධ ක්‍රම අනුගමණය කළහ. මේ සියල්ල සිදුවෙද් දී 1994 ට පෙර පැවති ආණ්ඩුව දැඩි දෝෂ දර්ශනයට ලක් කළ උගතුන් බුද්ධිමතුන් විවිධ වරදාන වරප්‍රසාද (ආණ්ඩුවේ ආයතනවල සභාපති තනතුරේ සිට තානාපති තනතුර දක්වා) භුක්ති විඳිමින් අඳ, ගොළු, බිහිරන් සේ කල් ගෙවූහ; වර්තමානයේ ද ඒ ආකාරයෙන් ම කල් ගෙවති.

පහත පළ වන සම්මුඛ සාකච්ඡාවට සහභාගි වන මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා ද මේ අතුරින් එක් පුද්ගලයෙක් පමණි. ඔහු එදා පැවසූ කරුණු අදට ද ඒ ආකාරයෙන් ම වලංගු ය. අප ‘‘එදා කී කතා’’ විශේෂාංගය සඳහා එබඳු සම්මුඛ සාකච්ඡාවක් තෝරා ගත්තේ ද එබැවිනි.

පාඨකයනි,මෙම සම්මුඛ සාකච්ඡාව නිවී සැනසිල්ලේ කියවන්න; වටහා ගන්න. අනතුරුව එදා සම්මුඛ සාකච්ඡාව සඳහා යොමු කළ ප්‍රශ්න වර්තමානයේ මහාචාර්ය ජේ. බී. දිසානායක මහතාට යොමු කළ හොත් එතුමා කුමනාකාරයේ පිළිතුරක් සපයනු ඇද්දැයි උපකල්පනය කරන්න.

මහාචාර්ය ජේ. බී. දිසානායක මහතාණනි,

හැකි නම් මෙම සාකච්ඡාවේ නගා තිබෙන ප්‍රශ්න සඳහා අද ඔබගේ පිළිතුරු කෙසේ ද යන්න දන්වන්න. ඒ සඳහා ඔබට ඉඩ-කඩ විවර කරන්නට අප සූදානම්.

හේ විද්වතෙකි; භාෂා ප්‍රවීණයෙකි. මහාචාර්ය ජේ. බී. දිසානායකයන් පිළිබඳව ලාංකීය බුද්ධිමය මණ්ඩපයන්හි සටහන් වූ අනන්‍යතා සහතිකයන් එසේ වුවද නග්න වර්ගවාදී සහ අවස්ථාවාදී බලවේගයන් සමඟින් සමාන්තර ගමනක යෙදීගත් ‘‘බුද්ධිමතුන්’’ සිටින දේශයක ඔහු විසින් ඉටු කරන කාර්යයට එකතුවිය යුතු නව අගයන් බොහෝ වේ යැයි අපි සිතමු.

සමකාලීන සමාජ අර්බුදයන් පිළිබඳ ලාංකීය ‘‘බුද්ධිමතකු’’ වෙනුවෙන් මහැදුරු ජේ. බී. දිසානායකයන් හා පිළිසඳරේ යෙදුණේ ඔහු සතු විවෘත සහ පුළුල් සමාජ දැක්ම මෙරට ‘‘නිදිගත් බුද්ධිමය ක්ෂේත්‍රයන්ගේ නිරුවත’’ නිරාවරණය කරන්නට තරම් ප්‍රබල යැයි අප විශ්වාස කරන නිසාවෙනි.

ලක්දිව :- බුද්ධිමතා යනු කවරෙක් ද? බුද්ධිමතකුගේ ක්‍රියා කලාපය සමාජ අභිවෘද්ධියට බලපාන්නේ කෙසේ ද?
ජේ. බී. :- කිසියම් නිගමනයකට එළඹීම පිණිස ස්වකීය දැනුම තර්කානුකූලව සහ ප්‍රායෝගිකව භාවිතා කරන පුද්ගලයා බුද්ධිමතෙක් ලෙස හඳුන්වන්න පුළුවන්. එහෙත් එසේ එළඹෙන නිගමන හොඳ ද නරක ද යන්න වෙනම ප්‍රශ්නයක්. ලොව පහළ වූ බුද්ධිමතුන් ස්වකීය බුද්ධිය මෙහෙයවීමෙන් මානව වර්ගයාගේ ප්‍රගමනයට රුකුල් වන දේවලුත් බාධා වන දේවලුත් කර තිබෙනවා. බුද්ධිය පාවිච්චි කරන ක්‍රමය මෙහි දී වැදගත් වෙනවා. මෙය තීරණය කරන්නේ ප්‍රඥාව විසින්. බුද්ධිමතකුට ස්වකීය බුද්ධිය නිවැරදිව පාවිච්චි කිරීමට කියා දෙන්නේ ප්‍රඥාව විසින්. මෙවැනි බුද්ධිමතුන් හිඟයි. අද සමාජයේ බහුලව දක්නට ලැබෙන්නේ කූට බුද්ධිමතුන්. උගත්කමක් තිබූ පළියට කෙනකු බුද්ධිමතකු වෙන්නේ නැහැ. අද සමහර උගත් අය මොනතරම් සමාජයට අහිතකර දේවල් කරනව ද? නුගතුන් අතරත් බුද්ධිමතුන් සහ ප්‍රඥාවන්තයන් සිටින්න පුළුවන්.

ප්‍රඥාව පහළ වන්නේ උගත්කමින් නොවේ. මිනිසා තුළ හොඳ නරක පිළිබඳ දැකීමක් ඇති කරන්නෙත්, ඔහු තුළ උත්තර මානවීය ගුණාංග වගා කරන්නෙත් ආගම සහ සාහිත්‍යය විසින්. ප්‍රඥාවන්තයන් බිහිවන්නේ ඒ විදියට යි.
සමාජයක් විනාශ මුඛය කරා සීඝ්‍රෙයන් ඇදී යන විට එම සමාජය ප්‍රපාතයට වැටීමෙන් ගලවා ගත හැක්කේ උගතුන්ට හෝ බුද්ධිමතුන්ට නොව ප්‍රඥාවන්තයන්ට යි. සැබෑ බුද්ධිමතා ප්‍රඥාවන්ත යි. ඔහුගේ තීරණ සමාජයේ අභිවෘද්ධියට බලපායි.

ලක්දිව :- මෙම යුගය බුද්ධිමතුන් අවතක්සේරුවට ලක්වී ඇති යුගයක් බව බොහෝ අයගේ අදහස යි. එය සත්‍යයක් ද?
ජේ. බී. :- ඉහත දැක්වූ අර්ථකතනයට අනුව ම කියනවා නම් මේ යුගයේ නිසි තක්සේරුවට ලක් වන්නේ කුට බුද්ධිමතුන්. රටේ යහපත වෙනුවෙන් යමක් කළ හැකි සැබෑ බුද්ධිමතුන් අවතක්සේරුවට ලක් වී ඇති බව ඇත්ත

ලක්දිව :- නූතන අවධිය පරිහානි අවධියක් ලෙස ප්‍රබුද්ධ පර්ෂදය විසින් විවිධ පැතිවලින් නිර්වචනය කරනු පෙනෙනවා. සකල වාර්ගිකයන්ගේ ම ඉරණම ශෝචනීය එකක් බවට පත්කළ මෙම පරිහානිය පසුබිමෙහි දේශපාලකයන් ආගමික සංස්ථාවන් සහ ස්වකීය වගකීම ඉටු නො කළ බුද්ධිමතුන් සිටින බව ඔවුන්ගේ අදහස යි. මේ පිළිබඳ ඔබ කියන්නේ කුමක් ද?
ජේ. බී. :- ඒ අදහස නිවැරදියි. අපි උතුරේ ප්‍රශ්නය අරගෙන බලමු. ඒකෙ පසුබිමේ ඉන්නෙ කපටි දේශපාලකයන්. දෙමළ සහ සිංහල ජනතාව බෙදා වෙන් කරන්නට ඔවුන් අවංකවම කැමතියි. දෙමළ ජනතාවගේ පාලනය ස්වාධීන කළා ම එතැන වෙනම බල ව්‍යුහයක් ගොඩනගන්න පුළුවනි. ඒ නිසා ඒක දේශපාලන බලය තහවුරු කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්. සිංහල සහ දෙමළ ජනතාව අතරේ ගැටුමක් නැහැ. ඔවුන් සමඟි වෙන්න කැමතියි. ඉතිහාසයේ එහෙම ඉඳල තියෙනවා. නමුත් දේශපාලකයන් විසින් මොවුන් බේද-බින්න කරනවා.

එහෙම කරමින් ඔවුන් ජාතික සමගියක් ගැන කතා කරනවා.මෙම ව්‍යසනය සහ ඊට හේතු වුණු දේවල් ගැන කතා කළ හැකි බුද්ධිමතුන් නිහඬව සිටින්නේ ඔවුන්ට රජයෙන් සහ වෙනත් තැන්වලින් ලැබෙන වාසි අහිමි වේ යැයි තිබෙන බිය නිසා.

ආගමික සංස්ථාව ගැන අමුතතුවෙන් කතා කළ යුතු නැහැ. පසුගිය දින කිපය තුළ සිදු වු දේවල් දෙකතුනකින් වුවත් ඔවුන්ගේ ක්‍රියා කලාපය මැනගන්න පුළුවන්. වල්පොළ රාහුල හාමුදුරුවෝ පසුගිය දිනවල කළ ප්‍රකාශය වැදගත් එකක්. ඒත් එය තනි පුද්ගලයකුගේ හඩක් පමණයි. මිහිඳු ජයන්ති උත්සවය කියන්නේ ප්‍රෝඩාවක්. ලංකාවට බුද්ධාගම ගෙනවිත් වසර 2300 ක් සම්පූර්ණ වේ යැයි කීම තරම් මුසාවක් තවත් නැහැ. එහෙම කියන අයට එය නිවැරදියි කියල ඔප්පු කරන ලෙස මම මතක් කරනවා. මෙහෙම අවස්ථාවක මෙහි ඇත්ත් නැත්ත හෙළි කළ යුතු ඉතිහාසඥයනුත් උගත් හාමුරුවරුත් නිහඩව ඉන්නේ ඇයි? රජයෙන් අවාසි සිදුවෙන නිසා නොවේ ද?

ලක්දිව :- ජාතික ගැටලුව මේ සා ව්‍යසනයක් දක්වා වර්ධනය වීම කෙරෙහි සිංහල සහ ද්‍රවිඩ බුද්ධිමතුන්ගේ ක්‍රියා කලාපය ද හේතු වී නැද්ද?
ජේ. බී. :- ඇයි නැත්තේ...? හේතු වෙලා තියෙනවා... නිජබිම් සංකල්පය අරගෙන බලන්න. මුල් පදිංචිකරුවෝ කවුද කියලා දෙගොල්ල ම කරුණු ඉදිරිපත් කරනවා. නමුත් වර්ග කීපයක් ජිවත් වන දුපතක මුල් පදිංචිය කාගෙද කියල හොයන එක ඒගොල්ල හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. වංශකතාවලින් හරි නටබුන්වලින් හරි සාධක අරගෙන කෙනෙකුට ඔප්පු කරන්න පුළුවන් වෙයි. ඒත් ඒකෙ තියෙන වැදගත්කම මොකක් ද?කවුරු කලින් පදිංචි වුණා ද නැද්ද කියන එක මේ මොහොතෙ වැදගත් වෙන්නෙ නැහැ. අපි හිතමු දෙමළ අය මුලින් පදිංචි වුනයි කියල. ඇත්තට ම පිළිගත හැකි සාක්ෂි ලැබෙන්නෙ ඒ පැත්තට යි. ඉතින් එහෙම වුණා කියල ඒගොල්ලන්ට සිංහල අය එළවලා මේ රටේ ජීවත් වෙන්න පුළුවන් ද? සිංහලයන්ගෙ පැත්තෙනුත් ඒක එහෙම යි.

මේ වෙලාවෙ බුද්ධිමතුන්කරන්න ඕන නිජබිම හොයන එක නෙවෙයි. ප්‍රශ්නය විසඳා ගන්න නිවැරදි මාර්ග පෙන්වලා දෙන එක. රණ ගී ලියන හාමුදුරුවරු කරන්නෙ මොකක් ද? අප දන්න බුද්ධ ධර්මයෙ හැටියට නම් මිනි මරන්න අනුබල දීම නිවන් දකින්න මාර්ගයක් නෙමේ. භෂා ප්‍රශ්නය විසඳන්න දෙගොල්ලන්ට ම ඉංග්‍රිසි භාෂාව උගන්වන්න හදන එකත් කපටි වැඩක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න එකේ වැරැද්දක් නෑ. නමුත් ඒක භාෂා ප්‍රශ්නයට විසඳුමක් නොවේ. සිංහල දෙමළ දෙවර්ගය ම කැමති තමන්ගේ භාෂාමය අනන්‍යතාවත් සංස්කෘතිමය අනනතාවත් රැක ගන්න. ඔවුන් මෙම අනන්‍යතාවන් රැකගෙන ජීවත් විය යුත්තේ එකම රටක් තුළ. සිංහල ජනයා තම මවු භාෂාව වගේ ම දෙමළ භාෂාවත් සාහිත්‍යයත් ළැදිව රැක ගත යුතු යි. දෙමළ ජනයාත් එසේ කළ යුතු යි.දෙමළ සහ සිංහල සින්දු කළවම් කර රුපවාහිනියෙන් ප්‍රචාරය කිරීමෙන් සමගිය ඇති වන්නේ නැහැ.

ලක්දිව :- පසුගිය ආසන්න සමයෙහි දකුණෙහි සිදුවූ තරුණ නැගිටීම සහ එය ව්‍යසනයකින් කෙළවර දුටු අන්දම පිළිබඳ දැන් නොයෙක් දෙනා පශ්චාත් මරණ පරීක්ෂණ ඉදිරිපත් කරන බව පෙනෙනවා. එම තරුණ නැගිටීමට යම් යම් දායකත්වයක් එකතු කළ තරුණයෝත් ප්‍රබුද්ධ භාවයක් නිසා පැසුණ භාවයක් ආරූඪ කර ගැනීම පිණිස එම කැරැල්ලේ ප්‍රති විපාක විමර්ශනය කරනුද පෙනිණ. කැරැල්ලට ආශිර්වාද කළ ඇතැම් වයෝවෘද්ධ බුදුධීමතුනුත් දැන් හැසිරෙන්නේ උගත් උපාසකයන් ලෙසින්.
01. මෙම තරුණ නැගිටීමට හේතු මොනවාද?

02. බුද්ධිමතුන්ගේ නිවැරදි මඟ පෙන්වීමක් මේ තරුණයන්ට නො ලැබුණේ ඇයි?

ජේ. බී. :- මේ තරුණ නැගිටීමට හේතු කිපයක් තියෙනවා. ඉන් එකක් තමයි කුල පීඩනය. බැලු බැල්මට නොපෙනුනත් එය මේ රටේ ප්‍රශ්න කෙරෙහි දැඩිව බලපෑම් කරන්නක්. කුල පීඩනයට එරෙහිව නිවැරදි මග පෙන්වීමක් කළ යුතුව ඇති සංඝ සමාජය අද මේ ප්‍රශ්නයේ ප්‍රධාන වගඋත්තරකරුවා. ඔවුන් සංඝ සමාජය බෙදාගෙන සිටින්නෙත්, දරුවන් මහණ කරන්නෙත් කුළය අනුව. කුල පීඩනය වැඩියෙන් ම තියෙන්නේ දකුණෙ.

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය තවත් එකක්. අපේ මිනිස්සු වරප්‍රසාදවලට විරුද්ධ නැහැ. වරප්‍රසාද තමන්ට නො ලැබෙන එකටයි විරුද්ධ. මේ රටේ පැරණි වාමාංශික පක්ෂ කටයුතු කරල තියෙන හැටි දැක්කම ඒක තහවුරු වෙනවා. දකුණ වම දෙක ම ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ එක ම විදියට. මේගොල්ලන්ගෙ අරගලය තමන්ට වරප්‍රසාද ලැබෙන තුරු පමණයි. තරුණයන් මෙය දකිනවා. ඔවුන් ඊට එරෙහිව සටන් කිරිමට පෙලඹීම පුදුමයක් නොවේ.
මේ රටේ තරුණයන්ට බුද්ධිමතුන්ගෙන් නිවැරදි මග පෙන්වීමක්ලැබුණා යැයි හිතන්න අමාරුයි. යම් යම් අවස්ථාවල ආවේගාත්මකව කතා කළ අය බුද්ධිමතුන් ද කියන එකත් ප්‍රශ්නයක්. බුද්ධිමතුන්ට කළ හැකි දේත් සිමා වෙලා. යම් යම් භෞතික ප්‍රශ්න ආදිය නිසා ඔවුන් නිහඩව ඉන්නවා. ආණ්ඩුවත් ජනමාධ්‍යයනුත් ඔක්කොම එක පැත්තක. විකල්ප මාධ්‍යය දෙක තුනක් නැතුවා නොවෙයි. නමුත් බුද්ධිමතුන්ගේ ජිවිත අවදානම මේ නිසා නැති වී ගොස් නැහැ. සමහරු මේ නිසා ම ස්වයං වාරණයක් පනවාගෙන. ඉතින්මේ සිමාවන් පුපුරුවාගෙන ඉදිරියට එන බුද්ධිමතුන් අඩුයි.

ලක්දිව :- සීඝ්‍ර ආර්ථික සංවර්ධනයෙහිත් සමාජ සහ සංස්කෘතික විපර්යාසයෙහිත් ප්‍රතිඵල ලෙස ඓතිහාසික වශයෙන් අද අප ගත කරන්නේ සංක්‍රාන්ති අවධියක් ලෙස සැලකුවහොත් මෙබඳු අවධියක දී අපගේ පාරම්පරික හර පද්ධතිය අභියෝගයට ලක් වීම අනිවාර්ය යි. එහි දී අප විසින් අලුත් හර පද්ධතියක් වගා කර ගත යුතු ද? එහි ප්‍රතිඵල කෙබඳු ද?
ජේ. බී. :- පාරම්පරික හර පද්ධතියෙන් උරුම වන වටිනා දෙයක් තමයි සාර ධර්ම. ඒවා සදාතනික යි. ඒවා නවින පාරම්පරික ලෙස බෙදා වෙන් කරන්න බැහැ. සාරධර්ම වෙනස් නොවුණාට සිරිත් විරිත් වෙනස් වෙනවා. දෙමාපියන්ට සැලකීම අපේ හොඳ සාරධර්මයක්. නමුත් ඒ සඳහා අපි භාවිතා කරන සිරිත් විරිත් අද වෙනස් වෙලා. එම සාරධර්ම වුනත් අනාගතයේ දී අපෙන් නැති වන්නට පුළුවනි. එහි ප්‍රතිඵල ශෝචනිය යි. නමුත් එය ඉක්මණින් පහසුවෙන් සිදුවන දෙයක් නොවේ. සිංහල අවුරුද්ද ගැන හිතන්න. මොන මොන ප්‍රශ්න මිනිසුන්ට තිබුණත් එදාට මුළු කොළඹ ම හිස්. හැමෝ ම තමන්ගෙ ගම්වලට ගිහින්.

ලක්දිව :- මේ රටේ තරුණ කැරලි දෙකක් සිදුවුණා. ඒ දෙකෙහි ම තිඹිරි ගෙය වුණේ සරසවිය. එමෙන් ම ජාතික දේශපාලනයේ සක්‍රීය අංග බවට පත්ව සිටි කම්කරුවන් සහ විවිධ වෘත්තිකයන් අභිබවා පෙරට ආ ශිෂ්‍ය බලවේගය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීම වැනි ඓතිහාසික ජයග්‍රහණයන්ට උර දුන්නා. ශිෂ්‍ය පරපුරෙහි මෙම මතුවීම ඔබ දකින්නේ කුමන අයුරින් ද?
ජේ. බී. :- සරසවිය යනු ශාස්ත්‍ර ගවේෂණයට පමණක් ම වෙන් විය යුතු තැනක් නොවේ. සරසවියට පිවිසෙන අය තුළ අරමුණු කිහිපයක් තිබෙනවා. ඔවුන් මෙම අලුත් පරිසරයේ දී විශාල වශයෙන් අත්දැකීම් ලබනවා. දේශපාලන විද්‍යාව ආර්ථික විද්‍යාව වැනි විවිධ විෂයයන් තරමක් ගැඹුරින් හැදෑරීමේ අවස්ථාවත් ලබනවා. මේ නිසා රටේ සාමාන්‍යය අය නොදකින දේවල් ඔවුන් දකිනවා. ඉතින් ඔවුන් ඉදිරියට පැමිණිය යුතු අවස්ථාවල දී නො පැකිළ ඉදිරියට එන එක වළක්වන්න බැහැ.

පිළිසඳර - තිඹිරියාගම බණ්ඩාර
1992 අප්‍රියෙල් 19 ලක්දිව

 

 

 

එදා කී කතා