21 July 2018
RSS Facebook Twitter   

හෙනහුරාගේ කොලම - වන්ධ්‍යාධිකරණය

law symbolපූර්විකාව

ලොව නීතියක් ස්ථාපිත වූයේ පෘතග්ජන මානවයාගේ නොහික්මුණු ගති සොබා යම් පමණකට හෝ හික්මවා ගැනීම සඳහා ය. ආගම දහම තුළින් පෘතග්ජනයා හික්මෙනවා යැයි නන් දෙඩවුව ද කිසිඳු ආගමක් තුළින් මානවයා හික්මී නැත. බුදුන් ධරමාන යුගයේ වුව ද එකල විසු පෘතග්ජනයා හික්මුණේ බුදුන්ගේ දර්ශනය නිවැරදිව වටහාගැනීමෙන් මිස එය ඇදහීමෙන් නොවේ. එකල ද මෙකල ද නීතිය යනුවෙන් යමක් පවතින්නේ මිනිසා හික්මවිය හැක්කේ නීතියෙන් ම පමණක් වන බැවිනි.

එසේ නම් වර්තමානයේ වෙසෙන මිනිසා මතු නොවමිනිස් සමුහයා නො හික්මුණු ලෙස හැසිරෙන්නේ ඇයි ද යන පැනය යමෙකුගේ මනසට ඇතුළු වන්නට පිළිවන. වරද ඇත්තේ නීතියේ නොව නීතිය සාධාරණ නොවීම, නිවැරදිව ක්‍රියාත්මක නොවීම සහ ක්‍රියාත්මක වන අවස්ථාවද පක්ෂපාතී වීම ය.
නීතිය අසාධරණ යැයි කියන්නේ පවතින ක්‍රමය තුළ පාලකයන්ගේ වාසිය උදෙසා නීති සම්පාදනය කිරීම ය. උදාහරණයක් ලෙස ඩෙංගු මර්දන නීතිය හැඳින්විය හැකිය. ඩෙංගු මර්දනය කිරීම සදහා කළ යුත්තේ ඊනියා නීති පනවා එකී නීති ප්‍රකාරව පුද්ගලයකුට හෝ කණ්ඩායමකට මූල්‍යමය දඩයක් නියම කිරිමෙන් නොව ඩෙංගු මදුරුවා වඳ කිරිම සදහා අවශ්‍යය විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කිරීම ය. එහෙත් පාලකයන් තම භාණ්ඩාගාරයේ හිස්බව අවම කර ගැනීමට රටවැසියාගේ මුදල් කොල්ලකෑම සඳහා ඩෙංගු මර්දන වැනි නීති අන පනත් පනවති.

නීතිය ක්‍රියාත්මක වීමේ දී එය කෙතරම් වැරදි සහගතදැයි වටහා ගැනීම සදහා පසුගිය දා දුලාංජලි ජයකොඩිගේ හොර නෝට්ටු සිද්ධිය කදිම නිදසුනකි. එතරම් විශාල හොර නෝට්ටු ප්‍රමාණයක් භාවිතා කළ ඇය මේ වන විට දැහැමෙන් සෙමෙන් දිවි ගෙවන්නී ය. ඒ ආසන්න ම දිනක දි රුපියල් දෙදහසේ හොර නෝට්ටුවක් භාවිතා කළ වතු කම්කරු කාන්තාවක් මේ වන විට බන්ධනාගාර ගතව දිවි ගෙවන්නී ය. සැබැවින් ම ඇය එය හොර නෝට්ටුවක් බව නොදැන සිටියා ය.

නීතිය අපක්ෂපාති බවට නම් ඕනැතරම් නිදසුන් ගෙනහැර දැක්විය හැකි ය. ආසන්නතම සිදුවීම නම් ග්‍රාම නිලධාරියෙක් සහ නිලධාරිවරියක් බාලවයස්කාර දරුවකු ලිංගික අපයෝජනයට ලක් කිරීම ය. සැබැවින් ම මෙය අපයෝජනයට ලක් කිරීමක් නොව දූෂණයට ලක් කිරීමකි. අදාළ සැකකරුවා සහ සැකකාරිය මේ වන විට බන්ධනාගාර ගතව සිටිය ද දූෂණයට ලක් වු දරුවා විසින් පොලිසියට ලබා දෙන ලද කටඋත්තරය සහ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ කටඋත්තරය එකක් නොව දෙකක් බවට සැක පවතී. දූෂණයට ලක් වූ දරුවාට ලක්ෂ පහළොවක් ගෙවා මෙය සමතයකට පත්කරන්නැයි ඇතැම් පොලිස් නිලධාරින් පැමිණිළි පාර්ශවයට බලපෑම් කරන්නේ නීතිය පක්ෂපාති වන බැවිනි.

මේ වන විට සැබැවින් ම සිදුව ඇත්තේ සැබැ නීති දෙවඟණ දූෂණය කොට මරා දමා ඒ වෙනුවට ඊනියා නීතියේ දෙවඟනක් අධිකරණ කටයුතු මෙහෙය වීම ය. පහත ලිපියෙන් කියැවෙන්නේ ද එදා නීතියට සිදු වු ඇබැද්දිය සහ එසේ නීතියට හදිකළ වුන් අද මුහුණ පා ඇති ඇබැද්දිය යි. මෙය කළ කර්මය පළ දීමකි. එහි වැරැද්ද ඇත්තේ කර්මය පළ දීම නොව කර්මය කළවුන් වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ රටවැසියාට වීම ය.

නීතිය පූජා භාණ්ඩක් නොවන්නා සේ ම ක්‍රීඩා භාණ්ඩයක් ද නොවේ. එය පාරිභෝගික භාණ්ඩයකි. ‘‘පාරිභෝගික’’ යන වදන මෙහි දී යොදන්නේ කෑම හෝ වැළඳීම යන අරුතින් නොව පරිහරණය කිරීම යන අරුතිනි.
නීතිය අවශ්‍ය වන්නේ විනය රැක්ම සඳහා ය. එසේ නම් විනය අවශ්‍යය වන්නේ කුමක් සඳහා ද?

මිනිස් සමාජය ගොඩනඟන විවිධ මූල සාධක ලිහී විසිරී යා නොදී එකට බැඳ තබන බදාමය විනය යි. මෙසේ විනය විසින් සමාජය රකින්නා සේ නීතිය විසින් විනය සමාජය රකිනු ලබයි. නීතිය සහ විනය අතර ඥාති සම්බන්ධය එය වේ.
මිනිසාට සිය පැවැත්ම සඳහා සමාජය අවශ්‍යය යි. බොහෝ මිනිසුන් ඒ ගැන මෙනෙහි නොකරතත් එම අවශ්‍යතාව අවිඥානිකව හෝ ඔහු තුළ වෙයි. එහෙත් ඔහු ස්වභාවයෙන් ම විනය නො රුස්සන්නෙකි. මේ නිසා ඔහුගේ ම යහපත උදෙසා ඔහු තුළ විනය ඇති කළ යුතු වේ. නීතිය අවශ්‍යය වන්නේ ඒ සඳහා යි.
මහ වනයේ සැරිසරන කුළුහරක් රංචුවක වුව ද එක්තරා විනයක් වේ. නො එසේ නම් උන්ට පැවතිය නොහැකි ය. ඊට සරල උදාහරණයක් ලෙස උන් රාත්‍රියට ලගින අන්දම සැලකිය හැකි ය. ඒ මණ්ඩලාකාර හෙවත්රවුමට ය. එවිට උන් හැමගේ ආරක්ෂාව සැලසයි.

එසේ මුත් හීලෑ කර ගන්නා ලද හරකාට ඊට වඩා විනයක් අවශ්‍යය වේ. ඌ හුදෙක් නිදැල්ලේ සැරිසරන්නකු පමණක් නොව රිය ඇදීම, කමත් ගැසීම සහ සී සෑම වැනි කටයුතුවල ද යෙදෙන්නෙකු බැවිනි. මෙහි දී උගේ ආරක්ෂාව සඳහා ඇති අල්පමාත්‍රික සහජ විනයට අතිරේකව ආරෝපිත විනයක් ද අවශ්‍යය ය. එහෙත් මිනිසා ස්වභාවයෙන් ම විනය නො රුස්සනා සේ ඌ ද විනය නො ඉවසයි. කෙවිටෙන් සංකේතවත් වෙන දණ්ඩනය හෙවත් දඬුවම අවශ්‍යය වන්නේ එනිසා ය.මිනිසුන් අතර ද මිනිස් නාමයෙන් පෙනී සිටින කුළු හරකුන් බොහෝ වන හෙයින් දණ්ඩනය අවශ්‍යය වේ. මෙම දණ්ඩනය දඩයෙහි හෝ කස පහරේ සිට පෝරකය දක්වා බරලපතලකමින් වැඩි වී යයි.

ඇසට ඇස හෝ දතට දත වන්දියට ගැනීම අද ශිෂ්ට සම්පන්න සමාජයෙහි නො පවතී. මන්දයත් එය පළිගැනීමක් විනා දණ්ඩනයක් නොවන බැවිනි. පෝරකය ද එසේ ම ය. එය වැරදිකරු අහෝසි කර දමන්නක් විනා නිවැරදි මඟට යොමු කරවන්නක් නොවන බැවිනි.

පෝරණුව විදුලි පෝරණුවක් හෝ ටයර් පෝරණුවක් හෝ වේවා ඉන් කෙරෙන්නේ එක ම දෙයකි. එනම් පළි ගැනීම යි. එහෙත් සැබෑ දණ්ඩනයේ අරමුණ පළි ගැනීම නොව වැරදි නිවැරදි කර ගැනීමට මං සැලසී ම යි.

අතීතයේ නීතිය පසිඳ ලූ අධිකරණය නම් දෙකකින් හැඳින්විනි. ඉන් එකක් නම් දණ්ඩාධිකරණය යි. අනෙක ධර්මාධිකරණයක් හෝ නූල් ගැලවි ගැලවී යන රාජ්‍ය තාන්ත්‍රික වැරහැල්ලකට අණ්ඩ දැමූ අණ්ඩාධිකරණයක් හෝ උණ්ඩය ම නීතිය බවට සම්මත කළ උණ්ඩාධිකරණයක් හෝ නොවීය.

දණ්ඩාධිකරණය යන නම දණ්ඩනය හෙවත් දඬුවම් පැමිණ වීම මුල් කොට ගත්තකි. යම් වරදකට දඬුවම් පැමිණවීම මුල් කොට ගත්තකි. යම් වරදකට දඬුවම් පැමිණවීමේ බලය පැවරී තිබුණේ රජුට, මැති ඇමතිවරුණ්ට, පුරෝහිතයන්ට, අග බිසවට හෝ අන්ත:පුර ස්ත්‍රීන්ට රාජපුරුෂයන්ටහෝ හමුදාවට නොව එම අධිකරණයට ය. එහෙයින් නීතිය අනුව යුක්තිය පසිඳලමින්, අවශ්‍ය පරිදි දඬුවම් පැමිණ වූ සැබෑ දණ්ඩාධිකරණයක් මිස ‘‘ද’’ යන්නට වෙනත් අකුරක් ආදේශ කොට ද්‍රවිඩ අරුතක් ගත් අධිකරණයක් නොවී ය.
ධර්මාධිකරණය යන්නෙන් හැඟවෙන්නේ නීතියේ පරිසමාප්ත, උත්තරීතර ස්වභාවය යි. ධර්මය යනු නීතිය නොව නීතිය අභිබවා සිටින්නකි. එහි කැටි වී ඇත්තේ නීතියේ අකුර නොව නීතියේ හරය යි. උසාවියේ දී කළු කබාකාර නීතිඥයන් වාද විවාද කරන්නේ නීතියේ අකුර ගැන ය. මුඛරියකුට එය ඕනෑ අතකට හැරවිය හැකි ය. කපටියකුට එහි ඉස්පිලි, පාපිලි සහ ඇලපිලි අතරින් රිංගා යා හැකි ය.එහෙත් නීතියේ හරය වෙනස් කළ නොහැකි ය. ඒ අතට මේ අතට හැරවිය නොහැකි ය. නීතිය හුදු නීතිය පමණක් ම නොවී යුක්තිය බවට පත්වන්නේ නීතියේ අකුර නොව හරය ක්‍රියාත්මක වන විට දී ය. යුක්තිය යුක්ති ධර්මය ලෙසත්, යුක්තිය පසිඳලමින්, එම ධර්මය ක්‍රියාවට නංවන තැන ධර්මාධිකරණය ලෙසත් හැඳින්වෙන්නේ එබැවිනි.

සොලමන් රජතුමා ඒක පුද්ගල අධිකරණයක් වූ අයුරු බයිබලයේ ද, මහෞෂධ පඬිතුමා එබඳු ම ධර්මාධිකරණයක්වු බව උමංදාවේ ද සඳහන් වේ. මේ හැර ජනප්‍රවාදයෙහි ද කැකිල්ලේගේ අධර්මාධිකරණය ගැන රසවත් මෙන් ම බුද්ධි ගෝචර කතන්දර රාශියක් ම වෙයි. කුරුල්ලකුට සිතාසි යැවූ අක්බාර් නඩුකාරයා පිළිබඳ කතා පුවත ඉන් එකකි. ඔහු එසේ කළේ අහිංසක අසරණයකුට සාපරාධී ලෙස පහර දුන් දාමරිකයකුට විරුද්ධව විභාග වූ නඩුවක දී ය. චූදිතයා වැරදිකරු බව නිසැකව ම පෙනී ගිය ද ඇසින් දුටු සාක්ෂි නොවූයෙන් නීතිය අනුව සැකයේ වාසිය ඔහුට දී නිදහස් කර යැවිය යුතුව තිබිණි. එහෙත් එසේ කිරීම නඩුකාරයාට ඉවසුම් නොදෙන්නක් විය. එහෙයින් ඔහු සිය ප්‍රඥාව මෙහෙයවා දාමරිකයාට දඬුවම් කිරිමට අවශ්‍යය සාක්ෂි ඔහුගේ මුවින් ම ඇදගත්තේ ය. පුළුන් ගබඩාවක් ගින්නෙන් දැවී යාමට හේතු වූ බළලකුගේ අඩු හතරට ම දඩ ගැසූ නඩුකාරයාගේ කතාව ජනප්‍රවාදයේ සඳහන් තවත් එබඳු ම කතාවකි. වංගෙඩිය මිනී මරන්නේ ද, ඡන්ද පෙට්ටිය ඡන්ද කොල්ලයෙහි යෙදෙන්නේ ද, තුවක්කුකරුවන් නන්නාඳුනන්නකු බවට පත්වන්නේ ද, නීතියේ හරය බුරන සතාට ගොස් අකුර රජවන විට දී ය.

නීතියේ හරය නැති වී ගිය යුගයක අකුරවත් ඉතිරි වී තිබෙනු මදිදැයි අසන උදවිය ද සිටිනු හැකි ය. එහෙත් අද වී ඇත්තේ අකුර ද ලොප් වී යාම යි. ඒ අතින් ගිය හකුරට හඩනු විනා රැකගන්නට ‘‘තියෙන හකුර’’ක් නැත.

නුතන නීතිය සංකේතවත් වක්නේ ගැහැනු පිළිරුවකිනි. ඇගේ දෑස් බැඳී ඇත. එක් අතක තරාදියක් ඇති අතර අනෙක් අතෙහි කඩුවකි. මෙහි අර්ථය කුමක් ද?
කරුණාව, දයාව, උපේක්ෂාව සහ මුදු මොළොක් බව ද ගැහැනියගෙන් නිරූපණය වෙතැයි සිතිය හැකි ය. ලොකු පුංචිකම් හෝ උස් මිටිකම් හෝ අන් බේදයක් නොදක්නා බව ආවරණය වු දෑසින් දැක්වේ. දෙපස සම වූ තරාදියෙන් හඟවනු ලබන්නේ සාධාරණත්වය හා සමානාත්මතාවය යි. කඩුව ඇත්තේ දණ්ඩනය හුවා දක්වනු සඳහා ය.

එහෙත් මෙය තවත් ආකාරයකින් අර්ථ නිරූපණය කළ නොහැකි ද?

අපට නීතිය බලපාන ආකාරයට නම් එසේ කිරීමෙහි දොසක් නැත.

ගැහැනියගේ නුවණ ඇත්තේ හැදි මිටේ දිගට පමණකි; ඇය ස්ථීරසාර නැත; චපල ය; වස්තු සම්පත්වලට සහ බලයට හිස නවන සුලු ය; තර්ජනයෙන් බිය ගැන්විය හැකි ය. බැඳී ගිය දෑස යුක්තිය හෝ අයුක්තිය නොදකී. සාධාරණය හෝ අසාධාරණය ද නොදකී. එහෙයින් ඈ දකින්නේ ඇයට ළංවිමට වරම් ඇති අයකු ඇගේ කනට කර කියන දේ පමණකි. ඇගේ අතෙහි ඇති තරාදිය ෂයිලොක්ගේ ය. ඒ, ජනතාවගේ හදවතින් මස් රාත්තල කපාගැනීම සඳහා ය. කඩුව ඇත්තේ වැරදිකරුවන්ට දඬුවම් කිරිමට නොව යුක්තිය සහ සාධාරණත්වය උදෙසා අරගල කරනවුන් මර්දනය කිරීම සඳහා ය.

නිදහස ලැබූ දින සිට අපේ පාලකයන් විසින් නීතියට කරන ලද සාපරාධී අඩන්තේට්ටම් සහ බලහත්කාරකම් නිසා අද නීතියත් අධිකරණයත් පත්වී ඇත්තේ එම තත්ත්වයට ම නොවේ ද? සමාජයට අයත් ජනසමූහයා රකින්නට ඇති නීතිය පුද්ගලයන් අතළොස්සක් රැකීමට යෙදවිණ. ඒ අනුව හිතූ හිතූ අයුරු නීති පද්ධතියට වෑද්දුම් පිරිද්දුම් කෙරිණි.අධිකරණය දාම් පෙත්තක් බවට පත් කෙරිණි. මොහොතක දේශපාලන වාසි සඳහා ද, බලවතුන් රැක්මට සහ ඔවුන්ගේ විරුද්ධවාදීන්ගෙන් පළි ගැනිමට ද නීතිය සංශෝධනය විය. එසේ නැත්නම් නව නීති සම්මත විය. ආපස්සට බලපාන නීති පමණක් නොව ඉස්සරහට සහ පැත්තෙන් පැත්තට බලපාන නීති ද ක්‍රියාත්මක විය. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර තිබිය යුතු පැහැදිලි, නිශ්චිත මායිම් රේඛා බොඳ වී අපහැදිලි වී ගියේ ය. ඇතැම් විට පාර්ලිමේන්තු ආසනවලින් විසි වී ගිය පුද්ගලයෝ අධිකරණ පද්ධතියේ ඉහළ ම ආසනවල අසුන් ගත්හ. අධිකරණයේ උත්රිතර භාවය සහ සම්භාවනියත්වය කෙළෙසුණේ ඒ අන්දමින් නොවේ ද?

එසේ මුත් මේ මහා පරිහාණියට නොමසුරුව දායක වු අයගෙන් සමහරෙක්, අධිකරණයට වූ විපත ගැන අද හඬා වැළපෙති. එහෙත් ඔවුන් අද අත්විඳින්නේ ඔවුන් කළ කර්මයන්ගේ ම විපාක නොවේ ද? එය ඔවුන් කළ වරදට කළ දඩුවමකි. එසේ වෙතත් ජනතාවට එපමණකින් සැනසිය නොහැකි ය. මේ සියල්ල නිසා ඔවුන්ට වී ඇත්තේ නඩුවක් පැරදීමට වඩා දරුණු විපතකි. එනම් නිදහස් මිනිසුන් ලෙස ජිවත්වීමේ අයිතිය ඔවුන්ටත්, ඔවුන්ගේ අනාගත පරපුරුවලටත් අහිමි වී යාම ය.

1992 සැප්තැප්බර් 13 ලක්දිව

 

 

එදා කී කතා