21 July 2018
RSS Facebook Twitter   

සකල කොලම - ගැඩවිල් වර්ගයා ද නැගී සිටි වගයි!!!

 

 

soil wormපූර්විකාව

ගම් කුකුලාගේ ඉරණමට වඩා බ්‍රොයිලර් කුකුලාගේ ඉරණම බෙහෙවින් වෙනස් ය. මන් ද ගම් කුකුළා මසට ම ඇති නොකරන හෙයිනි. කුස පිරෙන්නට අහර නොලැබුණ ද උගේ ජීවිතයේ පැවැත්ම බ්‍රොයිලර් කුකුලාට වඩා යහපත් ය. හොඳින් කුස පිරෙන්නට අහර දී ඇති-දැඩි කරන බ්‍රොයිලර් කුකුළා නිසි කල වයස පැමිණි මොහොතේ මසට මරන්නේ ම ය. අපේ දේශපාලන ක්ෂේත්‍රයේ ද මේ කුකුළු වර්ග දෙක ම සිටිති. එහෙත් මේ කිසිඳු කුකුළෙකුට වැඩි දුරක් පියඹා යාමට නොහැකි වීම ජනතාවගේ ජයග්‍රහණයකි. මන් ද කෙදිනක හෝ උන් මරා මසට ගත හැකි හෙයිනි. මේ කුකුළු නඩය අතරේ ඌරන් ද හරකුන් ද නැතුවා නොවේ. එවුන් නොසිතූ නොපැතූ මොහොතක දඩයක්කාරයාට ගොදුරු වන්නේ එබැවිනි.

මේ කරුණු කාරණා මෙසේ වුව ද දැන් දැන් ජනතාවගේ හිසටත් උඩින් පියාඹන කුකුළෝ ද සිටිති. නමුත් මේ කුකුළෝ ගැන සැබෑ තතු ලියන්න කියන්නට පෑන අතැතියෝ මැළි වෙති. මන්ද මේ බහුතරයක් පෑන් අතැත්තෝ පෑණ වෙනුවට මැතක සිට ලැප් ටොපයට හිමිකම් කියූවෝ වෙති. ඔවුන් පෑනෙන් ලියද්දි ලියුවේ තමන්ට රිසි පරිදි වුව ද දැන් සිදුව ඇත්තේ ලැප්ටොපය ලබාදුන් ඇත්තාට රිසි පරිදි ඔහු රිසි දෙයක් පමණක් ලිවීමට ය. නමුත් ඉඳ හිට හෝමේ පෑන් තුඩ මෙහෙයවමින් ප්‍රශස්ති ඕප-දූපාදිය නම් ඇති තරම් ලියති. ඔවුන්ගේ පරණ පෑන භාවිතා කරන්නේ මේ ආකාරයේ ඕප-දුප, ප්‍රශස්ති සහ චූර්ණිකා ලිවීමට පමණි.

දියවන්නාවේ මෙන් ම පත්තර කන්තොරුවල ද කෙලින් සිටගෙන සිටිය නොහැකි ගැඩවිලුන් මෙන් කොටසක් සිටිති. මේ මෑතක සිට ඒ ගැඩවිලුන් ද කෙලින් සිටගන්නා බවක් දක්නට ඇත. මේ පිළිබඳ සොයා බැලීමේ දි දැනගන්නට ලැබුණේ ඒ ගැඩවිලුන්ගේ බඳ මැදින් කම්බියක් යවා ඇති බවයි. බඳ මැදින් යැවු කම්බිය තිබෙන තෙක් මේ ගැඩවිලුන් කිසිඳු පුද්ගලයකුට නො නැමිය හැකි ශක්තිවන්තයෝ ම වෙති. එහෙත් නිශ්චිත මොහොතක මේ ගැඩවිලුන්ගේ බඳ මැදින් යවා ඇති කම්බිය ඉවත් කරන බව ඔවුන්ට අමතක ය. මන් ද ඔවුන්ගේ බඳ මැදින් කම්බිය යවා ඍජු බවක් ලබා දුන්නේ කවුද යන්න ඔවුන් නොදන්නවාට ජනතාව හොඳින් දනිති. ඒ කම්බිය අතදරා සිටින්නේ ද කම්බිය බඳ මැදින් යැවූ වුන් ම ය. එය ඉවත් කරනා මොහොත තින්දු කරන්නේ ද උන් ම ය. එදාට මේ ගැඩවිලුන්ට නැවතත් පොළොවේ පස් අනුභව කරන්නට සිදුවන බව සිහිපත් කළ යුතු ය. එහෙයින් මේ පිළිබඳව ජනතාව අවදියෙන් සිටිය යුතු ය. මන්ද මේ මොහොතේ කෙලින් සිටිනවා සේ පෙනෙන ගැඩවිලුන්ගේ බඳ මැදින් කම්බිය යවා කෙලින් කළේ ලියකගේ මැඳුරක සිටින පිරිසක් හෙයිනි. උන් කළේ බඩගාමින් සිටි වුන්ට ණයට කිහිලිකරු සැපයීම ය. ණය හිමියා කැමති මොහොතක පොලිය ද සමඟ මේ කිහිලිකරු නැවත ලබාගනු ඇත.

පසුගිය සති අන්තයේ කොලු නඩය කඩයට ගොඩ වදින විට ඇඩ්මොංකාරයා තම කුකුළු මස් කරිය ගැන මහා කයියක් ගසමින් උන්නේ ය.

‘‘... උඹ දැන ගනිං සේතං ගොයියෝ ... ඔය කැලේට කොළේට හැදෙන නිකම්ම නිකං කුකුළු නට්ටො නෙවෙයි...නියම බොයිලරයෝ... හොඳට කාලා බීලා බොහොම සනීපෙට හැදිච්ච එවුං... ගාණනං ටිකක් සැර තමයි...’’

‘‘බොයිලර්ස්...? නොට් බොයිලර්ස්... යූ ඉඩියට්...’’ කඩ්ඩා ගත් කටට ම කීය.
එවර ඇඩ්මොංකාරයා තම චූර්ණිකාව මොහොතකට නතර කර කඩ්ඩාගේ මුහුණ දෙස බැලුවේ ඌ කී දෙය හරි හැටි නොතේරුණත් ‘‘ඉඩියට්’’ යන්නෙහි ශබ්දය එතරම් හිතට නෑල්ලූ නිසා ය.

නියම වචනෙ බ්‍රොයිලර් මිසක් බොයිලර් නෙවෙයි ලු. ඒකයි කඩ්ඩා ඔය කිව්වෙ. අන්දරේ ඇඩ්මොංකාරයාගේ පිහිටට එමින් කී ය. කවුද ළමයෝ ඔය ඉංගිරිස් දන්නෙ... මස් ගේන කොල්ලා කියන වචනෙ තමයි මාත් අල්ල ගත්තෙ...

ඒකෙ ඇති දෙයක් නෑ මුදලාලි. නම මොක වුණත් සතා එකම නෙව... ඒ වුණත් කුකුළට යාර දෙක තුනකට වැඩිය දුර පියාඹන්න බැරි මොකද කියල මුදලාලි දන්නව ද...?

පුදුම ප්‍රශ්න නෙව මේ ළමය අහන්නෙ...ඇයි හත්ඉලව්වෙ ඌත් පියාඹන්න ගියොත් අපි කොහොම ද කුකුළු මස් කෑල්ලක් කන්නෙ...? ඒ ගැනත් නිකමට හිතලා බලමු...ඇයි පිළිගන්න බැරි ද...? ඌරො... හරක්... හෙම අපේ ඔළුවට ඉහළින් පියාඹන්න ගියොත් කොහොමට හිටිද...?

ඔය ඕනෑ තරං පියාඹන්නෙ...

හහ්... හහ්... මේ ළමය ඔය කියන්නෙ වෙන කතාවක්... ඕව මට දැන් හොඳට හුරුයි ළමයො... මාව තම්බන්න බෑ... ඒ මොකද දන්නවද...? මම දැනටමත් තෙම්පරාදු වෙලා නෙව... හොහ්... හේ... ඒ මොක වුණත් කුකුළ හැදිල තියෙන්නෙ අපිට කන්න මිසක් වෙන අහවල් එකකට ද? ඌට වෑංජන් ගෙඩිය කියල කියන්නෙ නිකං ද...?

නෑ මුදලාලි... කුකුළට පියාඹන්න බැරි හේතුව ඒක නෙවෙයි....

එහෙනං අහවල් හේතුවක් හන්ද ද...? දෙවියන් වහන්සෙ ඌට අත්තටු දුන්නට ඌ ඒවගෙන් ප්‍රයෝජනයක් ගත්තෙ නෑ... ඔහේ පොළොව හාර හාරා... කුණු කකා... ‘කොක් කොක්’ ගගා හිටියා... ආන්න ඒකයි...

ඇත්තට ම හේතුව ඒක ද අන්දරේ...?

ඒ ප්‍රශ්නය නැඟුවේ කුතුහලය ඇවිස්සී ගිය ස්පීකරයා යි. උගේ ශබ්දයට පාරේ ගිය කීප දෙනෙකු ම තිගැස්සී කඩය දෙස බලනු පෙනිණි.

හේතුව ඒක තමයි ස්පිකරේ... උඹ පරිනාමවාදෙ ගැන කියවල නැද්ද...? වැඩකට නොගන්නා දේවල් හැළිල යන ගතියක් තියෙන බව දන්නෙ නැද්ද...?

‘‘ඕ...ඉයර්ස්... ද මන්කීස් ටේල්’’ කඩ්ඩා කී ය.

ආන්න හරි... වානරයගෙ වල්ගෙට වුණෙත් ඒකයි... ඇයි පැස්බරා...? ඌත් දෙයියො දුන්නු අත්තටු පාවිච්චිනොකරපු තවත් පක්ෂියෙක්...

තොප ඔය යන්න සූදානම් වන්නේ කුමන දිශාවකට ද අන්දරේ...? මෙතෙක් වේලා නිහඩව උන් ශබ්දකෝෂයා ඇසුවේ අන්දරයාගේ වෘත්තාකාර ගමන් විලාසය ගැන හොඳින් දන්නා බැවිනි.

හෙහ්... හේ... හොහොහ්... මේ යන්න හදන්නෙ නීල මණ්ඩලේ පැත්තට...
යූ මීන් බ්ලූ මැන්ඩල්...? කඩ්ඩා ප්‍රශ්නයක් නැඟුව ද තම තර්කය ඉදිරිපත් කළ යුතු අන්දම ගැන හිත හිතා සිටි අන්දරේට එය නෑසිණි.

දැන්බලපන්කො... ශබ්දකෝෂේ... මොළෙන් වැඩක් නොගත්තොත් මොකද වෙන්නෙ...? ඒක ගුඩු වෙලා යන්නෙ නැද්ද...? පිටි කොන්දෙන් වැඩක් නොගත්තොත් ඒක් කොම්බුව වගේ නැවිල යන්නෙ නැද්ද...? ඒ විතරක් නෙවෙයි... පෑනට වෙන්නෙත් ඒ ටික ම යි... පැන අතට ගත්තු එකා පෑනෙන් කරන්නෙ හොර පෙත්සම් ගහන එකයි ආණ්ඩුවෙන් එක එක දේ ඉල්ලලා පීචං ලියුම් ලියන එකයි... පඩි කොළයට අත්සන් කරන එකයි විතරක් නං ඒ පෑන හැළිල යන්නැද්ද...?

එහෙම කියන එකනම් වැරදියි අන්දරේ... මම කීවෙමි.

ඒ මොකද ඒරාෂ්ටකේ...?

ඉඳලහිටල හරි ඔය පෑනෙන් ඕප-දූප ලියන්නෙ නැද්ද...? පුංචි පුංචි ප්‍රශස්ති කෑලි ලියන්නෙ නැද්ද...? පිළිකනු දිගේ ගිහිල්ල ඉල්ලගත්තු සල්ලිවලට හරියන්න චූර්ණිකා ලියන්නෙ නැද්ද...?

පෑනටත් ලැජ්ජ හිතෙන්නෙ අන්න එතකොට තමයි ඒරාෂ්ටකේ... පෑන හැළෙනකොට තවත් ඒ වගේ එකක් වන්දියත් අරගෙන හැළෙන්නෙ ඒකට පළිගන්නත් එක්ක තමයි...

මොකක්ද බං ඒ වන්දිය...?

ඒක අසභ්‍යය යි මල්ලි... ඉතිං කියන්නෙ කොහොම ද? ඒ වුණාට මේළඟදි එක හඬින් නැඟී හිටල පෙළපාලි ගිහින්..., උද්ඝෝෂණ කරල... අයිතිවාසිකම්වලට ලොකු සටනක් කළේ...? යූනියන් එකකුත් පිහිටවා ගත්තෙ... ඔය උඹ කියපු දේවල් නැති අයට ඒ වගේ දේවල් කරන්න පුළුවන් ද...? ස්පීකරයා නැවත ඇසුවේ අන්දරයාගේ කට ඇවිස්සීමට යැයි මට සිතිණි.
ඊට කලින් උඹ මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර දීපං... ගැඩවිලුන්ට පුළුවන් ද සිරස් අතට නැගිටල ඉන්න...?
බැහැ...

ඇයි බැරි ඒරාෂ්ටකේ... පුළුවන්...

ඒ කොහොමද...?

බඳ මැද්දෙන් කම්බියක් යැව්වම ගැඩවිලා වුණත් හිටවල තියන්න පුළුවන්.හැබැයි... කම්බිය තියෙනකම් විතරයි... කම්බිය කාගෙද කියන එකයි අනික් ප්‍රශ්නෙ...මේක තමන්ගෙ ශක්තියෙන් නැඟිටපු නැඟිටීමක් නෙවෙයි එහෙනං...?

ආන්න හරි... ඔය තේරෙන්නෙ... හැබැයි කම්බිය ආවෙ කොතක (මන්දිරයක) මුදුනෙන් කියන එක ගැන නොදැන නැගිටපු අයත් ඉන්නව... ආන්න ඒ උදවිය ගැනයි මට දුක.

එතකොට මේ කතාවෙ ආදර්ශය මොකක් ද...? ශබ්දකෝෂයා ඇසුවේ තවත් ඥානකතාවක් බර බර ගා හපන අතරේ ය.

ණයට ගත් කිහිලිකරුවලින් නැඟි සිටිම සුපුරුදු බඩගෑමටත් වඩා භයානක ය කියමින් අන්දරයා සතියේ සංවාදය සමාප්ත කළේ ග්‍රැමපෝනයාගේ තැටියටවත් ඉඩක් නො තබමිනි.

ඒරාෂ්ටක

1992 මැයි 17 ලක්දිව

 

 

 

එදා කී කතා