20 April 2018
RSS Facebook Twitter   

සකල කොලම - මෝඩයින්ට නොපෙනෙන සෙලුව

 

padithumaපූර්විකාව

රට ගමන් කරමින් සිටින්නේ ආපස්සට ය; මතුපිට දක්නට ලැබෙන්නේ සරුවපිත්තල සැරසිලි ය. මේ සැරසිල්ලට යටින් පවතින්නේ හොරකම, වංචාව, දූෂණය, අවනීතිය සහ බලහත්කාරය යි. රටක යහපැවැත්මට වුවමනා නොවන්නේ කුමක් ද ඒ සියල්ල රට තුළ ක්‍රියාත්මක ය.
සංවර්ධනය නාමයෙන් කෙරෙන්නේ නැව් නොපැමිණෙන වරායවල් සහ ගුවන් යානා ගොඩ නො බස්සවන ගුවන් තොටුපළවල් නිර්මාණය වීමය. ආගමික සහජීවනය මුවාවෙන් සිදුවන්නේ ප්‍රධාන ආගමේ නායකකාරාදීන් ගේ බලහත්කාරයට අන්‍යාගමික නායකයන් සහ අන්‍යාගමිකයෝ යටපත් කර ලීම ය. ජාතිවාදය දුරලීමේ මුවාවෙන් කෙරෙන්නේ සුළු ජාතීන් යැයි හඳුන්වන ලබන ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් පවා දූරින්භූත කිරීම ය.

 

සාමාන්‍යය ජනයා මතු නොව උගතුන්, බුද්ධිමතුන් සහ සිවිල් බලැතියෝ ද විටෙක සිය කැමැත්තෙන් ද, විටෙක මුදලට ද විටෙක සිය ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ද රටේ සිදුවන සියලු නොපනත්කම් නො ඇසුණා සේ නො දුටුවා සේ කල් හරිති. මහ සඟ ගණ ද තමන් වෙත පිරිකර රැගෙන පැමිණෙන සියල්ලෝ වෙත (රට අගාධයට ඇද දමන වුන්ට ම රට බේරා ගන්නැයි වදාරති. එය නරින්ට කුකුල්ලු බාර දීමට දෙවෙනි නොවන්නේ ය.) තම ආශිර්වාදය පිරිනමති. එම ආශිර්වාදය හොරාට ද, වංචාකරුවාට ද, ස්ත්‍රී දූෂකයාට ද, ළමා අපචාරකයාට ද, සංඝභේද කරන්නාට ද කියා වෙනසක් නැත. දුකට පත්වූවෝ ද, දුක පතුරවන්නෝ ද එකම සෙවණේ පිහිට පතති.

වත්මනෙහි පවතින මෙම ඛේදවාචකය මීට විසි දෙවසරකට පෙර ද එලෙස ම පැවති බව පහත කොලම මතුපිට නොව අභ්‍යන්තරයේ සැඟව ඇත. වෙනසකට පවතින්නේ එකී ව්‍යසනය මෙයහෙයවන්නෝ සහ එයට මුහුණ පාන්නෝ නම් වශයෙන් හෝ පුද්ගලයෝ වශයෙන් වෙනස් වීම පමණි.

පඬිතුමාව කාලෙකින් දැක්කෙ නෑ! මිලින්දයා කීවේ තමන් කියවමින් සිටි පුවත්පත පසෙකින් තබමින් දිග ඈනුමක් ද හරිමිනි.

පඬිවරු දැන් මේ ලෝකෙ වඳවෙලා යන සත්ව කොට්ඨාසයක් වගෙයි මිලින්දෙ...! කොහෙද ඉතිං කබරගොයි තලගොයි රකින්ඩ සමිති සංවිධාන බුරුතු පිටිං තිබුණත් පඬිවරුන්ව රකින්ඩ කවුරුත් ඉන්නව යැ...! අන්දරේ පිළිතුරු වශයෙන් කීය.

අසේවනාච බාලානං... පණ්ඩිතානංච සේවනා... කිවුවට ඉතිං අපි මොනව කරන්ඩ ද එහෙං...! අපි අපි ම සේවනය කරගන්නව මිසක් වෙන කරන්න දෙයක් තියනවද...? ස්පීකරයා ඒ පිළිබඳව තම මතය පළ කළේ එසේ ය.
පඬිතුමා මාත් එක්ක පොඩි අමනාපයක් ඇති කර ගත්ත නෙව ළමයිනේ! ටික දොහකින් කඩේ පැත්තෙ නාවෙ ඒකහන්දා වෙන්ඩැති! මොනවා කියමින් කරමින් සිටියත් කොලු නඩයේ කතාබහට ද දෙකින් එක කනක් හෝ යොමා සිටින ඇඩ්මොන් කාරයා පැවසී ය.

කවුරු කොහොම කිවුවත් පඬිතුමා තරහක් මරහක් හිත තබාගෙන වැඩි කලක් ඉන්නා තාලයේ මිනිසෙක් නොවේ. ඔහුට ඇත්තේ පැසවමින් කුණුවන මනසක් නොව බැහැරින් වැටෙන කුණක් පවා එතරම් වේලාවක් නොරඳනා මනසකි. ඔහු ලොව දෙස බලන්නේ හාස්‍යයෙන් හා උපහාසයෙන් පිරී ගිය ඇසකිනි. එහෙයින් ඔහුට ඇඩ්මොන්කාරයා තවත් පෘතහ්ජන බාලයෙක් පමණි.
කියනකොට ම ඔය එන්නෙ...! පඬිතුමාට ආයුෂෙන් නම් අඩුවක් නැති හැඩයි...! මිලින්දයා පාර දෙස බැල්ම හෙළමින් නැවත කෑගැසුවේ ඒ මොහොතේ ය. අන් අයට කලින් උගේ මීටරයට බොහෝ දේ හසුවන්නේ කෙසේ ද යන්න මට තවමත් ප්‍රහේළිකාවකි.

කොහොමද ළමයිනේ ඉතිං...? දැක්කෙත් ටික කාලෙකට පස්සෙ නෙව...! අන්දරේ හීන් සීරුවේ ම ඉවත්වීම නිසා හිස් වූ ලෑලි පුටුවේ වාඩි වූ පඬිතුමා තම අත වූ කුඩය එහි වතෙහි එල්ලන අතර අපේ දුක් සැප විමසී ය.

පඩිතුමා කඩේ පැත්තෙ ආවෙ සුමාන ගාණකින් නෙවැ...!ඇඩ්මොං මුදලාලිව සේවනය කර කර ඉන්ඩයි ඒකෙන් අපට සිද්ධ වුණේ! ස්පීකරයා කීවේ ය.

හෝහ්... හොහ්... හොහ්... කොහොමද ළමයිනේ එන්නේ...! ගංවතුරට බෝක්කුව කැඩිලා ගිය තැන දැන් දාලා තියෙන්නේ ඒදණ්ඩක් නෙවැ! මේ ආවෙත් ඇළට බැහැලා බොහොම කරදර විඳගෙන තමයි... හො... හොහ්...! පඬිතුමා විහිළුවට විහිළුවකින් ම පිළිතුරු දුන්නේ ය.

සම්මානයක් ගන්ඩ කොළඹවත් ගියාද කියලයි අපි හිත හිතා හිටියෙ...! අන්දරයා කීවේ පඩිතුමාගේ කට අවුස්සන රිසියෙන් බව කාටත් පැහැදිලිව ම පෙනිණි.

බාග වෙලාවට එහෙමත් හිතෙන්න ඇති තමයි... අමුඩ ලේන්සුවක් ගන්නත් කොළඹ ගිය මිනිස්සු ඉස්සර හිටිය කියනවා නොව!

ඒ කියන්නෙත් ඔය සම්මානෙත් අමුඩ ලේන්සුවක් වගේ දෙයක් කියල ද? පොටක් පාදාගත් අන්දරයා එය ටිකින් ටික අදින්නට විය.

අපොයි නෑ අන්දරේ ළමයො...! අමුඩ ලේන්සුවක් කොච්චර වටිනව ද? වෙන මොනව නැතත් ඒකෙන් විලි වහගන්ඩ හරි පුළුවන් නෙව! ඔය දෙන ජාතියෙ සම්මානෙකින් හැංගිච්ච විලියත් එළියට එනවා මිසක අංශු මාත්‍රයකින්වත් වැහෙනවද? ඕක අර මෝඩ රජා ඇඳගෙන ගිය ශ්වේතාම්බර පටසළුව වගේ එකක් නෙව!

බැලුවම ඒකත් හැබෑව නේන්නං...!

ඒක තමයි ළමයෝ මාත් කියන්නේ...! දැන් අපි ඔය ප්‍රශ්නෙ දිහා මෙන්න මේ විදියටත් බලමු! තඹයක් අතේ නැති එකා තවත් මිනිහෙකුට රුපියල් සීයක් පිරිනමන්නෙ කොහොම ද?

මොකද බැරි පඬිතුමෝ... ණයට ගන්නවා... දෙනවා...!ඇඩ්මොංකාරයා එසේ තම මතය පළ කළේ උණු උණුවේ දුම් දමන තේ කෝප්පයක් පඬිතුමාට පිළිගන්වන අතරේ ය...මේක මගෙ ගණනෙ පඬිතුමෝ... සල්ලි ඕනෑ නෑ!

පිං සිද්ධ වෙච්චාවෙ! ඒවුනත් මුදලාලි... මිනිහෙක්ගෙ වටිනාකම... ගරුනම්බුව... කීර්තිය වගේ දේවල් ණයට ගන්ඩ බැහැ. ඒක තමන් ළඟ තියනවා නම් තියනවා... නැත්නම් නෑ... පදක්කමක් වගේ අනුන්ගෙන් අරගෙන පලඳින්න පුළුවන් දෙයක් නෙවෙයි! විදුලි පන්දම කියලා කිව්වට ඒක එළිය නැත්නම් විදුලි පන්දම තියා පන්දමක්වත් වෙනව ද? ආන්න ඒ වගේ තමයි ශූරි කිව්වට ශූරි වෙන්නෙත් නෑ... කීර්ති කිව්වට කීර්ති වෙන්නෙත් නෑ...!

අබිමානා කිව්වට අබිමානා වෙන්නෙත් නෑ...! එහෙම ද පඬිතුමෝ...?

ආන්න හරි අන්දරේ ළමයෝ...! උඹ අද හිටං පක්ෂියෙක්! දැන් ඉතිං උඹට පියාඹන්න පුළුවන් කියලා කිව්ව පමණින් පියාඹන්න පුළුවන් ද? ඒ නැතත් තමංගෙ හයියෙන් පියාඹන්න පුළුවන්නං වෙන මොකෙක්ගෙවත් වරමක් ඕනෑ ද?

ඒ කියන්නෙ පඬිතුමෝ ඔය ඔක්කොම පුස්සො ද?

නෑ ළමයො... නෑ! ඒක තමයිමේකෙ තියන ලොකු ම මගඩිය... වංචාව... ප්‍රෝඩාව...!

ඒ ටික නම් තේරුම් ගැනීම තරමක් දුෂ්කරයි පඩිතුමෝ! ශබ්දකෝෂයා දවසේ මුල් වරට කට දැම්මේ ය.

හොඳයි... අපි ඒ ගැටලුව ගැන මෙන්න මෙහෙම කල්පනා කරලා බලමු. බොල් මුතු මාලෙකට හොඳ මුතු දෙක තුනක් ඇමිණුවොත් මොකද වෙන්නෙ?
ඒවත් බොල් කියල මිනිස්සු හිතයි.

හම්... ඒකත් වෙන්න පුළුවන්! ඒ වුනාට මාලෙ විකුණන වෙන්දේසිකාරයා කියන්නෙ ඒකෙ අනික් පැත්ත. හොඳ මුතු දෙක තුන පෙන්නලා බොල් මුතු ටිකත් හොඳ කරන එක තමයි මිනිහගෙ මගඩිය! ලොකු ලොකු මුතුටික ඔක්කොම බොල්... හොඳ මුතු ඇට දෙක තුනට තියෙන්නෙ අබ ඇට ගම්මිරිසු ඇට තරම් තැන්...! ඔන්න ඕකයි සෙල්ලම... මාලෙ දකින කවුරුත් හිතන්නෙ: ෂහ්...! කොච්චර වටිනා මාලයක් ද? කියලයි...!

හැබෑව ම නේන්නං... ස්පීකරයාට කියවුණේ ඉබේට ම වාගේ ය. ඇඩ්මොංකාරයාට පමණක් ඒ කිසිවක් තේරුණවගක් පෙනෙන්ට නොවී ය. ඒ කියන්නෙ අනාගත ලැයිස්තුවක ඔහුගේ නමත් තිබිය හැකි බව නොවේ ද?

1992-මැයි-31-ලක්දිව

 

 

 

එදා කී කතා