22 January 2018
RSS Facebook Twitter   

තරුණ පරපුරේ කෝපය සහ වෛරය

strike slපූර්විකාව

අද අප ඉදිරිපත් කරන්නේ රාවය සඟරාවෙන් උපුටාගත් සංස්කාරක සටහනේ සිව්වැනි පියවර යි. මෙම ලිපිය පළවී දැන් වසර 25 ක් ද ඉක්ම ගොස් අවසාන ය. එහෙත් යථාර්ථය නම් ලාංකේය දෙරණ මත වෙසෙන තරුණ පරපුර පවතින පාලනය කෙරෙහි වුව ද සුබවාදි ආකල්පයක නොසිටින බව යි. වර්තමාන පරපුර තවමත් අවි ආයුදවලින් සිය විමුක්තිය උදා කරගන්නට මෙතෙක් නොපෙළඹුණ ද තමන්ට සහ අනාගත පරපුර වෙනුවෙන් පවතින ක්‍රමය වෙනස් කළ යුතු ය යන මතයේ එල්බ සිටිති.

එදා මරණය අත්විය හැකි බව දැන දැන ම අවි ආයුද අතට ගත් පිරිස මෙන් ම වර්තමානයේ ද සුදු වෑන් පැමිණ පැහැරගෙන යන බව දැන දැන ම තරුණ පිරිස් නව තාක්ෂණය ඔස්සේ විකල්ප අදහස්, නව අදහස් ඉදිරිපත් කරති. ඒ අතීතයේ මෙන් ම වර්තමානයේ ද ඔවුන්ට හිමි විය යුතු සාධාරණ අයිතිවාසිකම් ඔවුන්ට නොලැබීම හේතුවෙනි; තිබූණු අයිතිවාසිකම් ද කෙමෙන් කෙමෙන් අහෝසි වන බැවිනි.

එදා මෙන්න ම වර්තමානයේ ද අධ්‍යාපනය වෙනුවෙන් ආණ්ඩුවේ අයවැයෙන් වෙන්කරන ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් පහත හෙළන අතර මේ වන විට පහ වසර ශිෂ්‍යත්වය ඉවත් කිරීම සඳහා ද පිඹුරුපත් සකසමින් තිබේ. එය එක්තරා ආකාරයක පන්තිමය ස්ථාවරයන් රැකගැනීමේ ආරම්භක අවස්ථාවක් ලෙස ද සැලකිය හැකි ය. සමස්ත රටේ ම අධ්‍යාපනය වෙනුවෙන් වෙහෙසෙනවා වෙනුවට බලධාරීන් වුව ද වැඩි සැලකිල්ලක් දක්වන්නේ අග නගරයේ සහ රටේ පිහිටි ප්‍රධාන නගරයන්හි පාසල් සංවර්ධනය කිරිම වෙනුවෙනි. කොළඹ පිහිටි එක්තරා පාසලක පිහිනුම් තටාකයක් ඉදිකිරිම සඳහා රටේ ප්‍රධාන පුරවැසියා පැය දෙකක් හෝ තුනක් ඇතුළත කෝටි තුනක මුදලක් සොයා දුන් බව පසුගිය දිනවල වාර්තා වී තිබුණි. එහෙත්ඈත දුෂ්කර පාසල්වල පොල් අතු වහල අලුත්වැඩියා කරගැනීමට නොහැකි, දරුවන්ගේ සනීපාරක්ෂක පහසුකම් සපුරාගත නොහැකි පාසල් බහුල ය.

පෙර පරිදි ම රැකියා ලබාගැනීමේ දී දේශපාලන ගැතිභාවය පළමු සුදුසුකම ලෙස සැලකේ. යම් රාජ්‍යය ආයතනයක රැකියා ඇබෑර්තු පවතී නම් පළමුව දේශපාලන සබඳකම් මත පුද්ගලයන් බඳවාගෙන පසුව නීත්‍යානුකූල බව ප්‍රදර්ශනය කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණ කැඳවයි. ඒ වන විටත් අවශ්‍යය පුද්ගලයන් තෝරාගෙන හමාර ය. මැතිවරණයක් ආසන්නයේ දී තම හෙන්චයියන් සියලු රාජ්‍ය ආයතන වෙත රිංගවාගන්නා අතර මැතිවරණයෙන් අනතුරුව හිටපු මහඇමති පරාජය වී නව මහඇමතිවරයෙක් පත්වන විට පළාත් සභාවේ සියලු රැකියා ඇබෑර්තු සැපිරී ඇති බැවින් ඔහුගේ අතවැසියන්ට ලබාදීම සඳහා රැකියා උත්පාදනය කිරිමට සිදු වී ඇත. ආසන්නත ම උදාහරණය නම් වයඹ පළාත්සභාව යි. එහි හිටපු මහඇමති මැතිවරණයට පෙර රාජ්‍යය ආයතන වෙත තම තමන්ගේ අතවැසියන් බඳවාගත් අතර මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා අභිනවයෙන් මහඇමති ධූරයට පත්වූ පුද්ගලයාට තමන්ගේ අතවැසියන් වෙනුවෙන් සපයන්නට රැකියා අවස්ථා ඉතිරිව නැත.

රටේ අනාගතය බාරගන්නට සිටින දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙද්දී ප්‍රධාන පුරවැසියාගේ දරුවන්ගේ මනදොළ සපුරාලනු වස් කෝටි ගණන් වැය ෙකොට මෝටර් රථ ධාවන තරඟ පවත්වති. ඒ වෙනුවෙන් රජයට අය විය යුතු ආදායම් බදු ද අය කරගැනීම වළක්වාලති.

පොලිසිය, අධිකරණය, රෝහල, පාසල මතු නොව පන්සල ද දේශපාලනිකරණය වී එම ආයතන වෙතින් මහජනයාට ලැබිමට නියමිත සේවාව එක්තරා පන්තියක, පිරිසක අවශ්‍යතාව මත පමණක් ක්‍රියාත්මක වන තත්ත්වයට පත්ව ඇත.

මේ සියල්ල මෙසේ සිදුවෙමින් පවතිද්දී රටේ තරුණ පරපුර රවටනු වස් විවිධ ව්‍යාපෘති ආරම්භ කරමින් රටේ සම්පත් විනාශ මුඛයට ඇද දමන අතර අනාගත පරම්පරාව තව තවත් ණයකරුවන් බවට පත්වෙමින් සිටිති. මේ සියල්ල දෙස නිහලඬව බලාසිටන වත්මන් පරපුර නිශ්චිත මොහොතක තමන්නේ විරෝධය ප්‍රකාශ කරනු නියත ය. එය අළු යට සැඟවි ඇති ගිනි පුපුරු මෙනි. ඒ ගිනි පුපුරු කිසියම් නිශ්චිත මොහොතක පුපුරා ඇවිල මහා ගිනිජාලාවක් බවට පත්වන බව පාලකයන් සිහිතබාගත යුතු ය.      

අපේ රටේ තරුණ පරපුර කෝපයෙන් සහ වෛරයෙන් සිටින බව පෙනේ. කලක් හුදු විරෝධතා ව්‍යාපාරයක මුහුණුවරකින් ක්‍රියාත්මක වු එය කැරලි ගැසීමක් දක්වා වර්ධනය වෙමින් තිබෙන බව පෙනේ. කැරලි ගැසීමක් සඳහා අවශ්‍ය කෙරෙන අවි ආයුද ලබාගැනීම සඳහා දරන උත්සාහයන් කීපයක් ම වාර්තා වන අතර දැනට ම ඒ වෙනුවෙන් තරුණයන් කීප දෙනෙකු හා එක් හමුදා භටයකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

මරණය අත්විය හැකි බව දැන දැන තරුණ තරුණියන් කැරලිකාර මඟක් වෙත යොමු වී සිටින්නේ ඇයි? ඊට හේතුව ඔවුන්ට හිමි හා හිමි වියයුතු සාධාරණ අයිතිවාසිකම් ඔවුන්ගෙන් උදුරාගෙන තිබීම නොවේ ද?

සියලු දෙනාගේ ම යහපත පිණිස විය යුතු අධ්‍යාපනය ඔවුන්ගෙන් 99% ක් හප කර දමන දුෂ්ඨ යන්ත්‍රයක් ලෙස ක්‍රියාත්මක වේ. ඉංග්‍රීසියට දී තිබෙන අනවශ්‍ය වැදගත්කම විසින් ඉංග්‍රීසි ඉගෙනගැනීමට පහසුකම් නැති ගම්බද පෙදෙස්වල තරුණ තරුණියන්ට රැකියා ලබාගැනීමට තිබෙන ඉඩ ප්‍රස්ථා බරපතල ලෙස සීමා කර තිබේ. විධිමත් අංශවල රැකියා ලබාගැනීමේ දී මන්ත්‍රී නිර්දේශයට ලබා දි තිබෙන වැදගත්කම විසින් සුදුසුකම් අනුව රැකියා ලබාගැනීමට තිබෙන ඉඩ ප්‍රස්තා බරපතල ලෙස සීමා කිරීමෙන්නොනැවතී තරුණ පරපුරේ ආත්ම ගෞරවය ද විනාශ කරන සාධකයක් ලෙස ක්‍රියාත්මක වේ. ස්වයං රැකියා මාර්ග තුළ ඔවුන්ට නිපදවිය හැකි හැම දේමත් ආනයනය කිරිම හේතුකොට ගෙන විධිමත් නොවන අංශවල ස්වයං රැකියා තුළින් ජීවත් වීමට ඔවුන්ට තිබෙන අයිතිය ද උදුරාගෙන ඇත්තේ ය. මේ පසුබිම තුළ තරුණ පරපුර කෝපයෙන් හා වෛරයෙන් පුපුරමින් සිටීම පුදුමයට හේතු වන්නේ නැත. අද තරුණ පරපුරට බණ දේශනා කළ යුතු අවස්ථාවක් නොවේ. වගකිව යුත්තන් බණ පිළිපදිමින් ඔවුන්ගේ ප්‍රශ්න කඩිනමින් විසඳිය යුතු අවස්ථාවකි. ප්‍රථම කොට ඔවුන්ට ‘‘කිනිමිනිකම්’’ කිරීමෙන් වැළකිය යුතු ය. දෙවනු කොට ඔවුන් රැටීමට දරණ උත්සාහයන්ගෙන් වැළකිය යුතු ය.තුන්වැනි කොට ඔවුන්ට තමන්ගේ දුක්ගැනවිලි ඉදිරිපත් කිරිමට හා ඒවාට සාධාරණ ලෙස විසඳා ගැනීමට තිබෙන මාර්ග අවහිර නොකළ යුතු ය.

ඔවුන් කෙරෙහි ගෞරවයකින් හා ඉවසීමකින් ක්‍රියා කළ හැකි නම්, ඔවුන් රැවටීම පිණිස විනාශ කරන මහා ධනස්කන්ධය ඔවුන්ගේ අභිවෘද්ධිය පිණිස යෙදවිය හැකි නම් හා ඔවුන්ට තම ප්‍රශ්න ඉදිරිපත් කිරිමට හා ඒවා විසඳා ගැනිමට තිබෙන මාර්ග පුළුල් කළ හැකි නම් කොපයෙන් හා වෛරයෙන් පුපුරන තරුණ පරපුර සන්සුන් කළ හැකි වනු ඇත.

ඔවුන් තෝරාගෙන ඇති මාර්ග වැරදි මුත් පොදු අභිවෘද්ධිය ඉදිරියේ තමන්ගේ ජිවිත පවා පරදුවට තබා ක්‍රියා කිරිම ගැන අප ඔවුන්ට ගෞරව කළ යුතු ය. අද රටට අවශ්‍ය වී ඇත්තේ ඔවුන්ගේ ශක්තිය රටේ පොදු අභිවෘධිය පිණිස යොදා ගැනෙන ක්‍රම මිස ඔවුන් දංගෙඩියට යවන ක්‍රම නොවේ. මේ අභියෝගය ජයගත නොහැකි වේ නමි මේ රට ලේ විලක් බවට පත්වීම නොවැළැක්විය හැකි ය.

රාවය සඟරාව 1987 ජූලි  12 වන කලාපය

 

 

 

එදා කී කතා