23 April 2018
RSS Facebook Twitter   

ජනමාධ්‍යය: දොරගුළු වසා තිබේ

gate closedඅප මෙතෙක් ඔබ වෙත ඉදිරිපත් කළ ‘‘එදා කී කතා’’ සියල්ලට පූර්විකාවක් සැපයු බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ. මතු දැක්වෙන ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ මීට විසි වසරකට පෙර මෙරට පැවති මාධ්‍යය වාරණයේ එක් පැතිකඩකි. පුදුමය වන්නේ එම ලිපියේ අඩංගු කරුණුවලින් 95% ආසන්න ප්‍රමාණයක් වර්තමානයේ ද ඒ ආකාරයෙන් ම වලංගුව පවතින බව යි. එහෙයින් මෙම ලිපියට විශේෂිත වූ පූර්විකාවක් අනවැසි යැයි අපට සිතුණි. එහෙත් පූර්වාපර සන්ධි ගලපනු වස් සහ එකී කරුණු වඩාත් පැහැදිලිවනු පිණිස අදාළ තොරතුර හා සබැඳි වර්තමාන කතාව කෙටියෙන් අදාළ ස්ථානයන්හි සටහන් කිරීමට අදහස් කළෙමු.
එබැවින් මෙම ලිපිය කියවාගෙන යාමේ දී පෙර අපර කතාව වෙන්කොට ගෙන කරුණු වටහා ගනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.
රටක් තුළ සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමට එරට පුරවැසියන්ට ඇත්තේ අනුලංඝනීය වූ අයිතියකි. එහෙත් අද ලෝකය පුරා ම අසන්නට ලැබෙන්නේ ජනතාව සතු එම අයිතිය පාලකයින් විසින් උදුරාගෙන ඇති බවයි. මෙය වාරණය වශයෙන් හඳුන්වනු ලැබේ. මෙහි ද ආකාර කිහිපයක් ක්‍රියාවට නැගෙනු දක්නට ඇත. නිලවශයෙන් රජය විසින් පුවත් පාලනයක් පවත්වාගෙන යාම, නිල නොවන ආකාරයෙන්බලපෑම්, තර්ජන, මගින් පුවත්පත් පාලනය කිරීම, මාධ්‍යයවේදීන් සහ මාධ්‍යය ආයතන විසින් ස්වකීය පැවැත්ම අරභයා පවත්වාගෙන යනු ලබන ස්වයං වාරණය ප්‍රධාන වාරණයන් ලෙස හැඳින්වීමට පුළුවන. මීට අමතරව අසත්‍යය පුවත් ජනතාව අතර පතුරවා හරින රාජ්‍යය මාධ්‍යය ප්‍රතිපත්තිය ද සත්‍යය දැනගැනීමේ අයිතියට බාධා පමුණුවනු ලැබේ.
මෙම ඡේදයට යටත්වන්නේ මීට විසි වසරකට ඉහත කාල පරිච්ඡේදයක් වුව ද එය වර්තමානයට 100% ම නොගැලපෙන්නේ ද? එහි අන්තර්ගත කරුණුවලින් අංශු මාත්‍රයක් හෝ ඉවත දැමිය නොහැකි බව යථාර්ථය නොවන්නේ ද?

රජය විසින් පුවත්පත් පිළිබඳව නිසිබලධාරියකු පත්කර ඔහුගේ අධීක්ෂණයට පුවත්පත් ඇතුළු මාධ්‍යය යටත්කරගෙන යන පුවත්පත් පාලනය පිළිබඳ වගකීම කෙලින් මආණ්ඩුවට පැවරේ. පුවත් පාලනය ආණ්ඩුව විසින් දිගින්දිගට ම පවත්වාගෙන යාම හේතුවෙන් මූලික අයිතීන් උදුරාගැනීම පිළිබඳ ගැටලු මතුකරනු ලැබේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් විට මේ වන විට මෙම නිල පුවත් පාලනය එජාප ආණ්ඩුව විසින් යල් පැන ගිය ක්‍රමයක් ලෙස අතහැර දමා ඇති බව දැකිය හැක.

වර්තමානයේ කිසිඳු මාධ්‍යය ආයතනයක නිසිබලධාරියකු නොසිටිය ද පිටු සංස්කාරකවරයාගේ සිට ආයතන හිමියා දක්වා වූ පුද්ගලයන් තමන් විසින් ම තමන්ට මුඛවාඩම් බැඳ නොසිටින්නේ ද? තමන් විසින් ම තමන්ගේ දෑස් කාල වර්ණ රෙදිපටකින් ගැටගසාගෙන නොසිටින්නේ ද? තමන් විසින් ම තමාගේ පෑන තමන්ට අවශ්‍ය ආකාරයෙන් මෙහෙය වීම නවතා නොමැති ද?

ශ්‍රී ලංකාවේ මෙන්ම බොහෝ රටවල අද දවසේ ක්‍රියාවට නැගෙන්නේ නොනිල වාරණය යි. පුවත්පත් ආයතනවලට දුරකතනයෙන් කෙරෙන දැන්වීම්, අනතුරු හැඟවීම්, පුවත්පත් කලාවේදීන්ගේ නිවෙස්වලට මල්වඩම් යැවීම්, මරණ තර්ජන හරහා ක්‍රියාවට නැගෙන්නේ මෙම නොනිල වාරණය යි. මෙවැනි බියගැන්වීම්වලදී බොහෝ විට එහි වගකීම් යම් නිශ්චිත පුද්ගලයකුට හෝ ආණ්ඩුවට දැරීමට සිදුනොවෙතත් මේ සියල්ල පිටුපසින් සිටින්නේ ආණ්ඩුවට සම්බන්ධ ඉහළ පෙළේ පුද්ගලයින් බව හා ඔවුන්ගේ හිතවතුන් වන බවප්‍රසිද්ධ රහසකි. සමහර අවස්ථාවල දී මෙම නොනිල වාරණය පවත්වාගෙන යන්නන් ආණ්ඩුවේ ඉහළ නායකයින් බව හෙළිදරව් වී තිබේ.

මෙම ඡේදයේ අඩංගු කාරණා ප්‍රත්‍යක්ෂ කරගැනීම සඳහා අප වෙබ් අඩවියෙන් ම හෙළිදරව් කළ, ආණ්ඩුවේ ඉහළම පුද්ගලයකුගේ අණින් ඇමතිවරයකුට එරෙහිව තවත් ඇමතිවරයකු ජාතික පුවත්පතකට සම්මුඛ සාකඡච්ඡාවක් ලබා දීම සහ එම සම්මුඛ සාකච්චාවට පිළිතුරු වශයෙන් පහරකෑමට ලක් වූ අමාත්‍යවරයා ලවා නැවත සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුව ද එය අප වෙබ් අඩවියෙන් හෙළිදරව් කිරිම හේතුවෙන් ආණ්ඩුවේ ඉහළ අණින් අදාළ ඇමතිවරයාගේ සම්මුඛ සාකච්ඡාව පළ වීම වළකාලීය. අවසානයේ අදාළ අමාත්‍යවරයාට සිදු වූයේ තමන් කළ සම්මුඛ සාකච්ඡාවේ අඩංගු අදහස් තම අමාත්‍යංශ නිවේදනයක් ලෙස එම පුවත්පතේ ම පළකිරිම ය. පුවත්පත් කලාව මෙතරම් බාල්දු වූ යුගයක් ලාංකීය පුවත්පත් ඉතිහාසයේ කවර කලකවත් අප අසා නැත.

ඉතාමත් භයානක ඝනයේ වාරණයක් හැටියට ස්වයං වාරණය හැඳින්වීමට පිළිවන. ස්වයං වාරනයක් පවත්වාගෙන යාම මගින් පෙන්නුම් කෙරෙන එක් දෙයක් වන්නේ එම කටයුත්තේ යෙදෙන මාධ්‍යයවේදීන් මෙන්ම මාධ්‍යය ආයතනය නොනිල වාරණයේ ඉතාමත් පහසු ගොදුරු බවට පත්වෙන බවයි. මෙම තත්ත්වය හමුවේ සිය වගකීම් නිසි ලෙස ඉටුකරන මාධ්‍යයවේදීන් එවන් මාධ්‍යය ආයතනවලින් ඉවත් කිරීම පිළිබඳ උදාහරණ පසුගිය කාලයේ දක්නට ලැබිණ. සමහර විකල්ප පුවත්පත් පවා මෙම වාරණයට ගොදුරු වූ අවස්ථා පසුගිය කාලයේ දක්නට විය.

සැබැවින් ම ස්වයං වාරණය යනු තමන්ගේ ගෙල තමන් විසින් ම හිර කරගැනීමකි. අප ඉහත සඳහන් කළ ආකාරයට කිසියම් රාජ්‍ය පාලකයකුගේ හෝ ඔවුන්ගේ ඥාතියකු, හිතවතකුගේ අකටයුත්තක් පිළිබඳ පුවතක් ලද සැණින් පළමුව පිටු සංස්කාරකවරයාට ද දෙවනුව පුවත්පත් කතුවරයාට ද ඇඳ සිටිනඇඳුමේ ම මුත්‍රා පහවන්නට පටන්ගනී. එවිට ඔවුන් හැල්මේ දිව යන්නේ ආයතන හිමියා වෙත ය. තම ව්‍යාපාරය පවත්වාගෙන යාමේ වුවමනාව හේතුකොට ගෙන ම ආයතන හිමියා ද ආණ්ඩුවේ ඉහළම දේශපාලනඥයා අමතා ‘‘සර් අපට මෙහෙම නිව්ස් එකක් ලැබිල තියෙනව. ඒක පළ කරාට කමක්නැද්ද කියල කර්තෘ තුමා අහනවා’’යැයි විමසයි. වර්තමානයේ පවතින්නේ මෙවැනි මාධ්‍යය නිදහසකි.

රාජපාක්ෂික පුවත්පත් මගින් සත්‍යය විකෘති කරමින් ජනතාව නොමඟ යැවීමට දරණ උත්සාහය ද වාරණයේ නිවුන් සොහොයුරකු ලෙස හැඳින්වීමට පුළුවන.මෙම කටයුත්තේ යෙදෙන රාජපාක්ෂික පුවත්පත් ආයතන හා ඒවායේ සිටින කුලියට ලියන ‘තිලකසිරිලා’ ද නොනිල වාරණයත් ඒ ඇසුරෙන් ගොඩනැගෙන මැරවර ක්‍රියාත් ආවරණය කිරිම සඳහා එළිපිට ම කටයුතු කරති.

වර්තමානයේ මෙම රාජපාක්ෂික භාවය රාජ්‍ය මාධ්‍යය ආයතන තුළ මතු නොව පුද්ගලික මාධ්‍යය ආයතන තුළ ද වෛරස් රෝගයක් සේ පැතිර ගොස් ඇත. එමෙන් ම මෙය මුද්‍රිත මාධ්‍යය පමණක් නොව විද්‍යුත් මාධ්‍යය වන ගුවන්විදුලි නාලිකා සහ රූපවාහිනී නාලිකා දක්වා වැලඳී ඇති රෝගයකි.

අද වනවිට ඉතාමත් භයානක මට්ටමට පෙරට ගෙනවිත් ඇති නොනිල වාරණයේ ඉතිහාසය එජාප ආණ්ඩුවේ ඉහළ නායකයකුගේ ‘ආර්යාවක’ ගේ චර්යාවන් විදහාපාන ඡායා රූප ගැනීම හේතුවෙන් ශිල්පියෙක් මරා දමන ලද බවට චෝදනා නැගින.ඔහුගේ මයතුරු පැදි අනතුරකින් සිදු වූබවට සාක්ශි ඉදිරිපත් කිරීමට මිනීමැරුම සැලසුම් කළ වුන් සමත් වුව ද එය එසේ නොවන බවට ද සාක්ෂි ඉදිරිපත් විය. යතුරු පැදි අනතුරින් මිය ගියා යැයි කියූ ඔහුගේ යතුරුපැදිය කිසිම අනතුරකින්, සීරීමකින් පවා තොරව ප්‍රධාන රඳවනයේ නතර කර තිබුණු අතර ඔහුගේ ආරක්ෂක හිස්වැස්ම අසල වූ දේශපාලනඥයකුගේ නිවසේ මේසය උඩ තිබිණ. මුලින් කී දේශපාලකයාගේ දරුවන් පිළිබඳ වාර්තා පළ කිරීම නිසා ද පුවත්පත් කලාවේදියකුට පිහියෙන් ඇන මරා දමනු ලැබිණ.එය මිනී මැරුමක් ලෙස තීන්දු වුව ද මිනීමරුවා නීතිය හමුවට පැමිණවීමට පොලිසිය අසමත් විය.

ජාතික රූපවාහිනී ආයතනයට බලෙන් ඇතුලු වී එහි සේවක සේවිකාවන් සමඟ ගැටුමක් ඇතිකරගත් ඇමතිවරයෙක් අනතුරුව එම ආයතනයේ මාධ්‍යයවේදීන් කිහිම දෙනෙක් ම දරුණු ප්‍රහාරයන්ට ලක්කළේ ය. ඇතැම් මාධ්‍යයවේදින් මෙය හේතුකොට ගෙන ම රටින් පළා ගියෝ ය. පෝද්දල ජයන්ත මාධ්‍යයවේදියාගේ කකුල් කඩා දැමීමට උත්සාහ දැරුවේ ද මෙම ලිපියේ සඳහන් කරුණුවලට ම සාපේක්ෂ සංසිද්ධීන් මත නොවන්නේ ද?

එච්. ඊ. දයානන්ද මරා දැමීම, රිචඩ් ද සොයිසා මරා දැමීම, ජෙෆ්රි යූනුස්ට පහර දීම ආදිය මෑත කාලීන සිදුවිම් ලෙස දැක්වීමට පුළුවන. ආණ්ඩු විරෝධී ක්‍රියාකාරිත්වයන් වාර්තා කිරිමට ගිය මාධ්‍යයවේදීන් පැලවත්තේදීත්, කණ්ලමේදීත්, ඉරනවිලදීත් මැර තර්ජනයන්ට ගොදුරු විය.කොළඹ කොටුවේදී මාධ්‍යයවේදින්ට පහර දුන් පිරිස් එජාපයේ සමහර නායකයන්ගේ මැරයින් ලෙස හඳුනාගෙන ඒ ගැන පැමිණිළ කර තිබිය දී පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයකට පිළිතුරුදෙමින් එවකට අගමැති හා රාජ්‍ය ආරක්ෂඛ රාජ්‍ය ඇමති ඩී. බී. විජේතුංග කියා සිටියේ එම ක්‍රියාව ප්‍රකෝප වූ දුම්රිය මගීන්ගේ ක්‍රියාවක් බවයි.මෙම ප්‍රකාශය මගින් ඔප්පු වූයේ නොනිල වාරණය හා බියවැද්දීම් ඉහළ ම තැන්වල ආශිර්වාදය හා අනුදැනුම ඇතිව සිදුවුණු හා සිදුවන බව යි.

හිටපු අගවිනිසුරුවරියට එරෙහිව රාජ්‍යය පාලකයන් ගෙන ගිය නින්දිත ක්‍රියාදාමය හමුවේ ඊට එරෙහි වූ මහජනතාවට පාලකයන්ගේ බත්බැලයන් වූ මැරවරයෝ උද්ඝෝෂකයන්ට පහර දුන්නේ ශ්‍රී ලංකා පොලීසිය බලා සිටිය දී ම ය. එහි දී ද පාලකයන් පවසා සිටියේ තමන්ගේ අධිකරණකටයුතු ප්‍රමාද වීම හේතුවෙන් ප්‍රකෝප වූ පිරිස් නීතිඥයන්ට පහර දුන් බවයි. බස් වර්ජනය මොහොතේ ද මෙම බත්බැල මැරයෝ බස් හිමියන්ට, රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට පහර දුන් අතරඇතැම් බස්රථවලට ද පහර දුන්හ. එහි දීදපැවසුවේ තම තමන්ගේ ප්‍රවාහනය අඩාල වීම හේතුවෙන් බස් මගීන් පහර දුන් බව යි.

ජනමාධ්‍යය ක්ෂේත්‍රයට බලපෑම් මගින් සත්‍යය වසන් කිරීම, ජනතාව නොමඟ යැවීම සහ ආණ්ඩුවේ මැරවර ක්‍රියා ආරක්ෂා කිරීම පිළිබඳ මෑත ම උදාහරණය වන්නේ ඇඹිලිපිටිය සූරියකන්ද මිනි වළවල් පිළිබඳ සිද්ධිය යි.මෙහි දී පුවත්පත් ආයතනවලට (ජාතික පුවත්පත් දෙකකට) බලපෑම් කරන ලදැයි ඍජුව ලෙස චෝදනා එල්ල වූයේ අගමැති හා එජාප නියෝජ්‍ය නායකයා ලෙස තේරි පත්වී සිටින රනිල් වික්‍රමසිංහට යි.
සූරිය කන්ද සිද්ධිය පිළිබඳ වාර්තා බලපෑමක් නැතිවන ආකාරයට සකස් කර අප්‍රධාන පුවතක් ලෙස පල කිරිමටත්, ඒ පිළිබඳව විස්තර හා ඡායාරූප ඇතුළත් පිටු ඉවත් කිරිමටත් රනිල් වික්‍රමසිංහ අගමැති ඍජුවම සම්බන්ධ වීඇතැයි විපක්ෂ නායිකාව පුවත්පත්වලට ප්‍රකාශ කළා ය. සූරියකන්ද පිළිබඳ සවිස්තරාත්මකව කරුණු ජනතාව හමුවේ තබන ලද්දේ සති අන්ත විකල්ප පුවත්පත් මගිනි.

පෞද්ගලික හේතුන් මත පැහැරගෙන ගොස් මරා දමන ලද ඇඹිලිපිටියේ සිසුන් 31දෙනාගේ මළ සිරුරු වළලා දමා ඇතැයි සැලකෙන සූරිය කන්ද මිනි වලවල් පිළිබඳව සිද්ධිය ආණ්ඩු විරෝධීන් රජය අපහසුතාවට පත්කිරිමට සිදු කළ දෙයක් බවට මතයක් රාජපාක්ෂික ජනමාධ්‍යය මගින් ප්‍රචාරය කර හරිනු ලැබේ. මේ පළ මිනි ජවිපෙ විසින් මරා දමන ලද අයගේ ඒවා බවටද මතයක් ඉහතපකි පුවත්පත් මගින් ප්‍රචාරය කරන ලදි. මීට අමතරව පරීක්ෂණ අවුල් කර නොමඟ යැවීම සඳහා මිනී වළවල්වලට ඇටකටු, හිස් හා අටකටු, රෙදිකැබලි දැමීමත් එය කටයුතුවලට පොලීසියේ සම්බන්ධයක් ඇතැයි චෝදනා ඉදිරිපත් වීම ආවරණය කිරිමටත්, සිද්ධියට අදාළ මැරබලය යෙදවීම, මරණීය තර්ජන හා මිනි මැරිම තැත්කිරිම වසන් කිරිමටත් රාජ්‍ය ජනමාධ්‍යය ගණිකා වෘත්තියේ යොදවා තිබෙනු පෙනේ.මෙම කරුණු අද වන විට බෙහෙවින් ප්‍රචලිත හා ජනතාව අතර කතාබහට ලක් , හෙළිදරව් වූ ඒවා වන නමුත් ‘නූතන මාධ්‍යය නිදහස’ ගැන කතාකිරීමේ දී එය පෙරවදනක් ලෙස ගැනීමට සිදුවේ.

මාතලේ රෝහල ඉදිකිරීමට පොළොව හාරන මොහොතේ හමු වූ දේහයන් සමූහ මිනී මැරුමක ප්‍රතිඵල බවත්, මෙය සාපරාධී ඝාතනයක් බවත් අධිකරණ වෛද්‍යවරුන් සිය පරීක්ෂණ මගින් හෙළි කර තිබිය දී පවා එය නිෂ්ප්‍රභ කිරීම සඳහා විවිධ උපක්‍රමයන් යෙදු බව මෑත උදාහරණයකි.

87-89 භීෂණ යුගයේ දී මාතලේ පලුටාව නම් ගම්මානයේ විසූ සියලු පිරිමින් ඝාතනයට ලක්වූහ. මෙම සමූහ මිනිවළ තුළ තැන්පත්ව තිබුණේ ඒ අහිංසකයන්ගේ මිනී බවට සැක කළ ද පාලකයන් සිය සුපුරුදු මාධ්‍යය වාරණ ප්‍රතිපත්තිය හරහා ඒ සියල්ල වසා දැමීමට දැඩි උත්සාහයක් දැරූහ.

නිදහස් මාධ්‍යයක් ගැන එහෙටත් නැති මෙහෙටත් නැති දේශපාලනයට හා ජනතාවට ඉහළින් සිටින නිදහස් මාධ්‍යයන් ගැන කතාකරන්නේ මෙවැනි වාතාවරණයක් පවතිද්දී ය. මධ්‍යම පංතික උගතුන් ද, මාක්ස්වාදීන් ලෙස, සමාජසෝදකයින් ලෙස ක්‍රියා කරන පිරිස් නිදහස් මාධ්‍යයක් පිළිබඳ ගෙන යන ප්‍රචාරයත් ‘සමාජය යළි ප්‍රජාතන්ත්‍රවාදී කිරිම’, ‘විප්ලවවාදී ප්‍රතිසංස්කරණ’ වෙනුවෙන් පෙනි සිටින අයත් මේ නිදහස් මාධ්‍යය පිළිවෙත පින්තාරු කිරීමට සායම් පිළියෙල කරමින් සිටිනු දක්නට ලැබේ. එහෙත් ධනේශ්වර පීඩනය තුළ පුවත්පත් නිදහසේ ස්වරූපය ගැන ලෙනින්ගේ පැහැදිලිකිරිම් මගින් එහි නියම තත්ත්වය හෙළි කර තිබෙන්නේ මෙම ‘මාක්ස්වාදීන්’ නිරුත්තර කරමිනි.

‘‘පුවත්පත් නිදහස පිරිසිදු ප්‍රජාතන්තුවාදයේ සටන් පාඨවලින් තවත් එකකි.හොඳ ම මුද්‍රණාල හා ලොකු ම කඩදාසි තොග ධනපතියන් සතුව තියෙන තාක්කල් දනිදසුනක් ලෙසට ඇමරිකාවේ තරම්, ප්‍රජාතන්ත්‍රවාදය හා සමූහ ආණ්ඩු ක්‍රමය සංවර්ධනය වූ තරමටම වඩාත් සිත් කාවදින ලෙස තියුණු ලෙස හා දුර්දාන්ත ලෙස, ලෝකය මුළුල්ලේ ම දක්නට ලැබෙන පාලනයක් වන හෙයින් ධනපති පාලනයට පුවත්පත් යටත්ව තිබෙන තාක්කල් දමෙම නිදහස රැවටිල්ලක් මබව කම්කරුවන් දනිති.... වැඩකරන ජනතාවට, කම්නරුවන්ට හා ගොවි ජනතාවට නියම සමානත්වය හා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම සඳහා කළ යුත් ප්‍රථමදෙය නම් ලේකකයින් කුලියට ගැනීමේ, ප්‍රකාශන ආයතනමිලට ගැනීමේ සහ පුවත්පත්වලට අල්ලස් දීමේ හැකියාව ධනපතීන්ට අහිමි කිරිම යි.එය කිරිමට නම් ධනපතියන් හා සූරා කන්නන් බලයෙන් නෙරපා දමා ඔවුන්ගේ ප්‍රතිරෝධය මර්දනය කළ යුතුය.’’

(කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ පළමු වන සම්මේලනයට ධපති ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නිර්ධන පංති ආඥාදායකත්වය ගැන ප්‍රවාද ලිපියෙනි.)
1919 මාර්තුවේ දී ධනපති පුවත්පත් නිදහස ගැන ලෙනින් ඉදිරිපත් කළ තත්ත්වය අද වන විට තවත් ඉදිරියට ගෙන ගොස් ඇති ධනපති පංතිය මරණීය තර්ජන හා මරා දැමීම් එයට අලුතින් එකතු කොට තිබෙනු දක්නට ලැබේ. අද මාධ්‍යය නිදහස දිනාගැනීමේ පූර්ව කොන්දේසියක්ව ඇත්තේ මෙම ධනේශ්වර පාලනය පෙරළා දැමිම ය. ඒ සමඟධනේශ්වර නොව පාලනයක් ගොඩනගා ගැනීම ද අවශ්‍ය වෙයි. එවිට සාධාරණව ගෙන යන අරගලයෙන් මාධ්‍යය නිදහස දිනාගැනීමේ අරගලය වෙන් කිරිමට නුපුළුවන. ඒ මාධයය නිදහස හුදෙකලාව පවතින හෝ ලබාගත හැකි දෙයක් නොවන නිසා ය.
අද ලංකාවේ විපක්ෂය හා ජනතා ව්‍යාපාරය දුබල තත්ත්වයක පැවතීමත්, වැඩි ම බලපෑමක් කළ හැකි පෙරමුණු බලඇණිය වන කම්කරු පංතිය කැඩී බිඳී විසිරි තිබෙන තත්ත්වය හමුවේත්, සමාජ අසාධාරණයට අයුක්තියට එරෙහිව වහා ඉදිරිපත්වන බලවේග අතර මාධ්‍යය ව්‍යාපාරයට විශේෂ තැනක් හිමිවේ. අද දවසේ ජාතික දේශපාලනයේ ගිනි අවුළුවනු ලබන්නේ මාධ්‍යය ව්‍යාපාරය, ශිෂ්‍ය ව්‍යාපාර වැනි බලවේග ඔස්සේ මගින් වන නිසා මාධ්‍යය ක්ෂේත්‍රෙය් ආණ්ඩුවේ බලහත්කාරය පිටුදැකීම සඳහා වන අරගලයේ දී මාධ්‍යයවේදින්ට සහ මාධ්‍යය ව්‍යාපාරයට විශාල වගකීමක් පැවරේ.

අවශේෂ සියලු ප්‍රශ්න සමඟ බැඳුණු ඒකාබද්ධ අරගලයක කොටසක් ලෙස පැවතිය යුත් මෙම අරගලයේ දී මාධ්‍යයවේදීන්ට සහ මාධ්‍යය අංශයන්හි අනෙකුත් සේවකයින්ට ප්‍රධාන පෙරමුණු දෙකක අරගලයක් දියත් කිරීමට සිදුවේ.

එක පැත්තකින් මාධ්‍යය කෙරෙහි බලපෑම් කිරිමේ ඒකාධිකාරිය අත්පත් කරගෙන තිබෙන ආණ්ඩුව ඒ සඳහා තොරතුරු සපයා ගැනීමටත්, මාධ්‍යය ව්‍යාපාරය බිඳ දැමීමටත් ක්ෂේත්‍රය තුළ බැලයින් සහ ජටිලයින් පිරිසක් ද ඇතිකරගෙන ඒවායේ වාර්තා හා ඡායා රූප ආණ්ඩුවේ ඉහළ තැන්වලට හා ලියනප්පුලාගේ හා අනෙකුත් ඔත්තුකරුවන්ගේ මාර්ගයෙනි. මෙවැනි පුද්ගලයින් කවුද යන්න මෙන්ම ඔවුන් සම්බන්ධකම් පවත්වන්නේ කවර දේශපාලකයින් සමඟ ද යනාදී වූ සියලු විස්තර මාධ්‍යය ආයතනවල සේවය කරන අය දනිති. එවැනි ඔත්තුකාරයන් හෙළිදරව් කර ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය අහෝසි කිරිමට හැකියාව ඇත්තේ ද මාධ්‍යය ක්ෂේත්‍රෙය් නියැළි අයට මය. මෙම කටයුත්ත කිසිම බාධාවකින් තොරව ක්‍රියාවට නැගිය හැකි සරල දේ නොවන බව පැහැදිලි ය.

එක් පැත්තකින් ආණ්ඩුවේ බලහත්කාරයට එරෙහිව උද්ඝෝෂණය කිරිමට ජනතාවට හැකි අතර අනික් පැත්තෙන් රාජපාක්ෂික මාධ්‍යයන් හා රජයට අවනත ම්‍යයන් වර්ජනය කිරිමට ජනතාව මෙහෙය විය හැකි ය.අද මාධ්‍යය ව්‍යාපාරය හමුවේ ඇති අරගලයේ ස්වරූපය මෙය යි.

ඊනියා නිදහස් මාධ්‍යය මායාව වෙනුවට, කම්කරු පංතිය ප්‍රමුඛ පීඩිත ජනතාවගේ පුවත් දැනගැනීමේ අයිතිය වෙනුවෙන්, ආණ්ඩුවේ මාධ්‍යය ත්‍රස්තවාදයට එරෙහිව එවැනි ආයතනවල වර්ජන දියත්කිරිමට, පුවත්පත් වර්ජනය කිරිමට ජනතාව දැනුවත් කිරිමට හා මාධ්‍යයක්ෂේත්‍රෙය් ආණ්ඩුව සමඟ කල්ලි ගැසී සිටින අවස්ථාවාදීන් හෙළි කිරිමට මාධ්‍යය ව්‍යාපාරය පෙරට පැමිණිය යුතු බව එය ක්ෂේත්‍රෙය් විවිධ සංවිධාන හමුවේ අද දවසේ ඇති අභියෝගය බව අපි අවධාරණය කරමු. එම සංවිධාන සැබෑ ලෙස ම ජනතාවගේ පුවත් දැනගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නේ ද, ඔවුන් කොතෙක් දුරට ආණ්ඩුවේ මාධ්‍යය ත්‍රස්තවාදයට එරෙහි වන්නේ ද, ඔවුන් කොතෙක් දුරට මෙරට පීඩිත ජනතාවගේ යහපත වෙනුවෙන් පෙනී සිටින්නේ ද යන්න විනිශ්චය කරන උරගල වනු ඇත්තේ එම ක්‍රියාකාරිත්වය යි. අප විශ්වාසය තබන්නේ ඒ පිළිබඳව පමණි.
පද්මසිරි අගලකුඹුර - හිරු 1994 ජනවාරි 30 වන ඉරිදා

 

 

එදා කී කතා