21 July 2018
RSS Facebook Twitter   

පරපුරක් නැති ජාතියක්

war celebrationපූර්විකාව

‘‘මට රකින්නට කුමරෙක්, කුමාරියක් හෝ පරපුරක් නැත’’ යනුවෙන් එදා පැවසුවේ මෙරට ප්‍රථම විධායක ජනාධිපති වූ ජේ. ආර්. ජයවර්ධන ය. ඔහුගේ එම ප්‍රකාශය හුදු පුද්ගලික අර්ථයකින් වියුක්ත කළ විට නිගමනය කළ හැකිවන්නේ එය පරම සත්‍යයක් බව ය. මන්ද අනාගත පරපුර දැවැන්ත ණය බරකට යට කරමින් ඔහුගේ පාලන සමයේ ඇරඹි විවෘත ආර්ථික රටාවේ ආදිනව අද අප අත්වඳිමින් සිටින බැවිනි.

ඔහුගේ ප්‍රකාශය සැබැ කරමින් රටේ අනාගත පරපුර විවෘත ආර්ථිකය සමඟ පැමිණි සැඩ සුළඟට ගසාගෙන ගියෝ ය. මේ වන විටත් ගසාගෙන යති. ජේ. ආර්. ජයවර්ධනගේ විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් ලබාදෙන බවට පොරොන්දු වු පාලකවරියට ද සිදුවුයේ ජේ. ආර්. ජයවර්ධන ආර්. ප්‍රේමදාස අත තැබු යෂ්ටිය ඔහුගෙන් රැගෙන අත මිටි මොළවා නොගත්ත ද එය ආරක්ෂා කළ ඩී. බී. විජේතුංගගෙන් රැගෙන එතැන්සිට බිම නොහෙළා රැගෙන යාම ය. එය අත්හැරීමට හෝ ඉන් සිදුවන හානිය වළක්වාලීමට අලුත් ලංකාවක් බිහිකිරිමට පුරසාරම් දෙඩූ, සුබ අනාගතයක බලාපොරොත්තු ජනතාවගේ හිස මත පැටවූ වත්මන් පාලකයන්ට ද නොහැකි විය.මේ සියල්ලට වගකිව යුත්තේ ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අර්බුදය යැයි බෙරිහන් දුන්, එකී ලෝක බැංකුවේ ඇබය ගැලවීමට තමන්ට බලය දෙන්නැයි කටමැත දෙඩවූ ඊනියා වම්මු ද මේ මොහොතේ තමන්ගේ දෙමුඛයේ ම ඇබ ගසාගෙන සිටිති. අනාගත පරපුරේ යහපත වෙනුවෙන් යැයි සංධාන ගතවූවන් කැසිනෝ ව්‍යාපාරය වුදෙසා මිලියන ගණනින් මුදල් ආයෝජනය කරති.

මේ සියල්ල මෙසේ සිදුවෙමින් පවතිද්දි රටේ තාරුණ්‍යට හෙටක් වෙනුවෙන් රාජ්‍ය නායකයෝ මත් ද්‍රව්‍යය ගුදම් පිටින් මෙරටට ආනයනය කරති. ඒ පිළිබඳ ලිඛිත සාක්ෂි සමඟ මාධ්‍යයට ඉදිරිපත් කළ පසු ඔප්පු කළ හොත් ඉල්ලා අස්වන බවට ද වහසි බස් දොඩවති.යහපත් මාධ්‍ය සදාචාරයක් බිහි කළ යුතු යැයි මාධ්‍යය ඉදිරියේ පවසමින් ම අල්ලස් ලෙස කාන්තා ශරීර පහස විඳිමින් එකී අයහපත් නිර්මාණ ම අනුමත කරති. මිනිසුන්ට වඩා යහතින් බල්ලන් ජිවත්විය යුතු යැයි අදහස් කරමින් බලු කෑම මිල පහත හෙළති.

ජනමාධ්‍යය නමින් පවත්නා ජඩමාධ්‍යය මෙකී සියලු උසුළු විසුළු ද, සෝපාහාස ද, කටමැත දෙඩවීම් ද තවත් වෙළෙඳ භාණ්ඩක් බවට පමණක් පත්කරගනී. ඔවුන් එම ප්‍රකාශයන්හි ගැබ්ව ඇති ජුගුප්සා ජනක මෙන් ම භයංකාරත්වය ජනතාවට පැහැදිලි කර දෙනවා වෙනුවට තම මාධ්‍යය මගින් ජනතාවට මෝඩ චූන් ලබා දෙයි. ජනතාව ද මෙම හැකර කටවල්වලින් පිටවන වදන් අසා සිනාසෙනවා මිස මේ කපටියන්ගේ කපටිකම් හඳුනා ගන්නට හෝ ඒ සඳහා නිසි පිළිතුරු සපයන්නට උත්සුක නොවෙති.

මෙවන් තත්ත්වක් තුළ එදා රාවය සඟරාවේ සකසු සටහනේ සටහන් කළ ආකාරයට ඉදිරියේදිත් මෙරට බිහිවන්නේ පරපුරක් නැති ජාතියක් බව මේ ජාතිමාමකයෝ වටහා නොගනිති. මෙරට සිටින ජාතිමාමකයෝ සිතන්නේ ජාතිය යනු සිංහල පමණක් කියා ය. ලාංකීය ජාතිය යන්න මේ මූලධර්මවාදී අපතයන්ට අරහං ය. සියල්ල කළ හැක්කේ රටේ සමස්ථ ජනතාව ම සිංහල බෞද්ධ වුවහොත් පමණක්යැයි මේ තකතීරුවෝ අදහති. අන් ජාතින්ගේ පැවැත්මට, අන් ආගමිකයන්ගේ ඇදහිමට බාධා පමුණවති.

එක් අතකින් විවිධ බලසේනා පෝෂණය කරමින්, අනෙක් අතින් මිය ගිය එල්. ටී. ටී. ඊ. සංවිධානය යළි උපද්දවන්නට ඔක්සිජන් සපයති.
ලක් වැසියනි! මේ සියල්ල හමුවේ තවදුරටත් නිහඩව සිටීමෙන් ඔබ දායකත්වය සපයන්නේ මෙරට අනාගත පරපුරේ යහපත උදෙසා නොව එක් හෝ තවත් පරම්පරාවක යහපත උදෙසා මග හෙළිපෙහෙලි කිරිම සඳහා පමණි. එනිසා සිදුවෙමින් පවත්නා ව්‍යසනයන් හඳුනාගනිමින් ‘‘පරපුරක් ඇති’’ ලාංකිය ජාතියක් බිහිකිරීම උදෙසා පෙරට එන්න! පෙළ ගැසෙන්න!! ක්‍රියාත්මක වන්න!!!

අපි වේගයෙන් පරපුරක් නැති ජාතියක් බවට පත්වෙමින් සිටිමු. තරුණ පරපුර කඳන් මිස හිස් නැති පුස්සන් පිරිසක් බවට පත්කිරිමේ විනාශකාරි වෑයමක් දැන් කලක පටන් රටතුළ ක්‍රියාත්මක වෙමින් පවතී. ජනසන්නිවේදන මාධ්‍යයන් ද දැන හෝ නොදැන ඔවුන්ගේ අතකොලු ලෙස ක්‍රියා කරමින් සිටී.
හෙරොයින් ඇබ්බැහියට එරෙහි ව කතා කරන ජාතික පුවත්පත් විසින් ම ‘‘හෙරොයින් සංස්කෘතික විලාසිතා’’ රස කර කර රටට හඳුන්වා දීමේ තේරුම කුමක් ද? ‘‘පන්ක් විලාසිතා’’ විලාසිතා රටට හදුන්වා දීම වෙනුවෙන් ඔවුන් එකිනෙකාට එරෙහි වබරපතල තරඟයක යෙදි සිටින බවක් පෙනේ. ඒ සඳහා ඔවුහු විශේෂ අතිරේක ද නිකුත් කරති. පන්ක් සංස්කෘතිය යනු හෙරොයින්වලට ඇබ්බැහි වූ ‘‘පන්කින්ගේ ම’’ සංස්කෘතික ප්‍රවණතාවයකි. ඒ ගැන කිසිවක් නොකියා ම ‘‘පන්ක් විලාසිතා’’ රස කර කර රටට කියා දීමෙන් මොවුන් කරනු ලබන්නේ අනියම් ලෙස ජාතිය හෙරොයින්වලට නැඹුරු කිරිම නොවේ ද?
කාම ප්‍රකාශන සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කරමින් සිටින ප්‍රතිපත්තිය ද ඊට දෙවෙනි නැත. ඒවාට විරුද්ධ බව කියමින් ම ඒ සඳහා වන වෙළෙඳ දැන්වීම්වලින් තම පිටු පුරවා ගනී. කාම ප්‍රකාශන ගැන ඔවුන් කරන විවරණ ද භයානක ය. ඔවුහු ඉතා සියුම් ලෙස ප්‍රශ්නය සාමාන්‍යකරණයට ලක් කිරීමෙන් නොනැවතී ඇඟට පතට නොදැනී සාමුහික ලිංගිකත්වය වැනි රටට නොගැලපෙන බටහිර සංකල්ප ද රසබර ලෙස හඳුන්වා දෙමින් සිටිති.
දැනටමත් රටේ තරුණපරපුරෙන් වැඩි කොටසක් විනාශ කොට හමාර ය. හෙරොයින්වලට ඇබ්බැහි වූ, ඇඟ විකිණීම වෘත්තියක් කොටගත් හා සමාජ රෝගවලට ගොදුරු වූ තරුණ තරුණියන්ගේ ගණන කතා කිරිමට සිදු වී ඇත්තේ සිය ගණනින් නොව දහස් ගණනින් හා දස දහස් ගණනිනි. ඉතිරි වී සිටින නොදරුවන් ද ඒමඟට ම යොමු කිරීමේ වග කීම ජාතිය විසින් කාම ප්‍රකාශන පළ කරන කාම මහාචාර්යවරුන්ට පවරා දී තිබේ.

රටේ නීතියක් තිබේ. එහෙත් මේ විනාශයට එරෙහි ව එය ක්‍රියා කරන බවක් නොපෙනේ. ඊට හේතුව ජාතිය මේ විනාශය කැමැත්තෙන් ම අපේක්ෂා කරන නිසා විය හැකි ය. අපි අනාගතයක් ගැන නොසිතන ‘‘රකින්නට පරපුරක් නැති’’ තකතීරු ජාතියක් වෙමු ද?
රාවය සඟරාව 1987 සැප්තැම්බර් 2 වන කලාපය

 

 

එදා කී කතා