20 April 2018
RSS Facebook Twitter   

රජය සහ ප්‍රජාතන්ත්‍රවාදය

army jaffnaඅද අප ඔබට ඉදිරිපත් කරන්නේ ‘‘රාවය’’ සඟරාවේ සකසු සටහනේ තුන්වන අදියර ය. මෙම සටහන තුළින් එදා රාවය සංස්කාරකවරයා ඉදිරිපත් කොට තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම සහ එය පිටුදැක හිතුවක්කාර ලෙස රටක් පාලනය කරන්නා වූ පාලකයන් පිළිබඳ දළ සටහනකි. මිට විසි පස්වසරකට පෙර තැබූ ඒ සංස්කාරක සටහන අද රාවය සංස්කාරකවරයා යළිත් නොතබන බව ඒකාන්තය. එහෙත් ඔහු විසින් අද නොකරන එදා කළ ඒ ජනතා මෙහෙවර අගය කරනු වස් හෝ මෙය නැවතත් පළ කිරීම අගනේ යැයි හැඟුණු බැවින් මෙසේ ඉදිරිපත් කරමු.

යථාර්ථය නම් මෙම සටහනට පූර්විකාවක් සැපයීම ද අනවශ්‍යය බවයි. එහෙත් වර්තමානයේ මෙන් ම රාවය සංස්කාරකවරයා ඔහු තබන සටහන් තුළ එකිනෙකට පරස්පර අදහස් ගැබ්ව ඇති බව තහවුරු කළ යුතු ය.

මෙම සටහන අවසානයේ ඔහු මෙසේ පවසයි.

‘‘ප්‍රථම කොට රටේ බහුතර ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදි මැතිවරණයක් අවශ්‍ය වී තිබෙන බව තේරුම් ගනිමින් ඊට හිතුවක්කාරි ලෙස බාධා කිරීමේ පිළිවෙළක් අනුගමනය කිරීමෙන් වැළකී සිටීමට ආණ්ඩු කරවන අය වග බලාගත යුතු ය. ආණ්ඩුව ආරක්ෂාව සඳහා දැඩි පිළිවෙතකට තල්ලු කිරීමෙන් වැළකීමට වග බලාගැනීම විරුද්ධ පක්ෂවල යුතුකම වන්නේ ය.’’

මෙහි පළමු වාක්‍යයෙහි අඩංගු වන්නේ සැබවින් ම පිළිගත හැකි සත්‍යය යි; යථාර්ථය යි. එහෙත් එකී සත්‍යය මෙන් ම යථාර්ථය ඔහුගේ දෙවන වාක්‍යය තුළින් අවතක්සේරුවට ලක්කර ඇත. එනම්, ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට දමා රටක් පාලනය කරන්නා වු පාලකයන්ට එරෙහි ව නැගිසිටිම කතුවරයා සලකන්නේ ආණ්ඩුව ආරක්ෂාව සඳහා දැඩි පිළිවෙතකට තල්ලු කිරීමක් ලෙස ය.

ඔහුට අනුව රටේ ජනතාව තමන් වෙත එල්ල කරන සියලු මර්දන ඉදිරියේ දැඩි පිළිවෙතක් අනුගමනය නොකළ යුතු ය. ජනතාව එසේ කළහොත් ආණ්ඩුව ආරක්ෂාව සඳහා දැඩි පිළිවෙතකට අවතීර්ණ වනු ඇත. මෙවැනි නපුන්සක සටහනක් නොතැබුවේ නම් මෙම සංස්කාරක සටහන වෙනුවෙන් පූර්විකාවක් නොසපයා ම ඉදිරිපත් කරන්නට තිබිණ. එහෙත් ඔහු ඒ සඳහා ඉඩ-කඩ නොතබා ඇතිබැවින් අගය කළ යුතු තැන් අගය කරමින් විවේචනයට ලක් කළ යුතු තැන් විවේචනයට ලක් කරමින් නැවතත් මෙබඳු සටහනක් ඔබ වෙත ඉදිරිපත් කරන්නට අවකාශ තබන්නෙමු.

කවර ශිෂ්ට සම්පන්න සමාජයක්වත් රජයක් අවශ්‍ය නොවන තරමට ශිෂ්ට සම්පන්න නොවන නිසා ම සෑමශිෂ්ට සමාජයකට ම රජයක් ද අවශ්‍ය වන්නේ ය. ප්‍රජාතන්ත්‍රවාදි නොවන රටක රජය යනු සන්නද්ධ හමුදාවන්ගේ බලය මත පදනම් වූ ආයතන විශේෂයකි. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී රජයක් යනු සන්නද්ධ හමුදාවල බලය හා මහජන බලය නමැති පරස්පර අංග දෙකේ ඒකත්වයෙන් පවත්වාගෙන යනු ලබන ආයතන විශේෂයකි. එහි දී මෙම ඒකත්වයේ එක් පාර්ශවයක් සඳහා අවශ්‍ය කරන බලය ලබාදෙන උල්පත ලෙස ක්‍රියාකරන්නෝ මහජනයා ය. එහි දී රජය මහජනයාගේ ප්‍රසාදයෙන් ඈත් වෙන ප්‍රමාණයට සමානුපාතික ප්‍රමාණයකින් රජයට මහජන බලය ලබා දෙන දිය උල්පත් සිඳී යන්නේ ය. එවිට රජය තුළ පවත්නා සන්නද්ධ බලය හා මහජන බලය අතර පවත්නා පරස්පරයන්ගේ ඒකත්වය බිඳ වැටී රජය සන්නද්ධ බලය මත පමණක් ක්‍රියාත්මක වන ආයතන විශේෂයක් බවට පත්වේ.
ලංකාව සිය මෑත කාලීන ඉතිහාසය තුළ පැමිණිය හැකි වඩාත්ම තීරණාත්මක අවස්ථාව වෙත එළඹ සිටීදේශපාලන පක්ෂ මේ තීරණාත්මක මොහොතේ දී තමන්ගේ පක්ෂවල පටු අභිවෘද්ධිය ගැන පමණක් සලකා රටේ පොදු අභිවෘද්ධිය සලකා ක්‍රියා නොකරයි නම් රටට ලැබිය හැකි ප්‍රතිඵල ද ඉතාමත් අවාසනාවන්ත හා විනාශකාරී විය හැකි ය. දැනටමත් මේ ගැටුම වෙනුවෙන් රට වගුරවා තිබෙන ලේ ප්‍රමාණය ඉතා විශාල ය. තව තවත් රටට ඒ වෙනුවෙන් ලේ වැගිරිමට සිදුවේ නම් රටේ ජාතික දේහය දීර්ඝ කාලයකට ආපසු ගොඩගත නොහැකි තරමට අබල දුබල වීම ද නොවැළැක්විය හැකි ය.
රටට ශක්තිමත් රජයක් අවශ්‍ය වි තිබෙන බවට සැකයක් නැත. එහෙත් ඒ ප්‍රසූතිය ශල්‍යකර්මයක් ඔසුසේ සිදු කළ නොහැකි තරමට ජාතියේ මව අබල දුබල තත්ත්වයකට ඇදවැටී ඇති බැවින් මව සිටින තත්ත්වයට ගැලපෙන ආකාරයෙන් ප්‍රසූතිය සිදු විමට වගබලා ගැනීම ඒ ගැන උනන්දුවක් දක්වන කාගේත් යුතුකම වන්නේ ය. අවධානය යොමුවිය යුතු ව තිබෙනුයේ උපදින්නට නියමිතව සිටින දරුවා ගැන පමණක් නොවේ. අබල දුබල තත්ත්වයට ඇද වැටි සිටින මවගේ ආරක්ෂාව ගැන ද අවධානය යොමුවිය යුතු ය. මෙහි දී ආණ්ඩු කරන අය සේ ම ආණ්ඩු කිරිමට බලාපොරොත්තු වන අය ද රටේ පොදු ජනතා අභිවෘද්ධිය වෙනුවෙන් මහත් ඉවසිමකින් ක්‍රියා කිරිමට වග බලා ගැනීම ඉතා වැදගත් ය. ප්‍රථම කොට රටේ බහුතර ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදි මැතිවරණයක් අවශ්‍ය වී තිබෙන බව තේරුම් ගනිමින් ඊට හිතුවක්කාරි ලෙස බාධා කිරීමේ පිළිවෙළක් අනුගමනය කිරීමෙන් වැළකී සිටීමට ආණ්ඩු කරවන අය වග බලාගත යුතු ය. ආණ්ඩුව ආරක්ෂාව සඳහා දැඩි පිළිවෙතකට තල්ලු කිරිමෙන් වැළකීමට වග බලාගැනීම විරුද්ධ පක්ෂවල යුතුකම වන්නේ ය. ලංකාව දීර්ඝ කාලීන වශයෙන් ලෙබනනයක් බවට පත්වීම මේ කවර පක්ෂයකටවත් වාසිදායක වන්නේ නැත.
රාවය සඟරාව 1988 නොවැම්බර් 3 වෙළුම 4 කලාපය

 

 

එදා කී කතා