20 April 2018
RSS Facebook Twitter   

ජීවන බර හෑල්ලු නොකළොත්....!

 

inflationපූර්විකාව
80 දශකයේ අප මහත් රුචිකත්වයෙන් කියැවූ, රාවය සඟරාවේ එකල පළ වූ සංස්කාරක සටහන් කිහිපයක් පසුගිය සතියේ සිට නැවතත් ඉදිරිපත් කිරීමට අප කටයුතු යෙදුවෙමු. අද පළවන්නේ එහි දෙවන සංස්කාරක සටහන යි.

 

එදා රාවය සංස්කාරකවරයා ලියූ මෙම සකසූ සටහන වසර 26ක් ඉක්ම ගිය අද දිනට ද වලංගු ය. ඒ එදිනටත් වඩා දස දහස් ගුණයකිනි. එදා රාවය සංස්කාරකවරයා සිය සටහනට පාදක කරගත් ‘‘ජූලි වර්ජකයෝ’’ අද මහලු වියේ පසුවන්නෝ වෙති. සිය දිවි නසාගත් වර්ජකයන්ට අමතර ව අකලට මිය පිරිස් ද බොහෝ වෙති. මේ වන විට ඔවුන්ගේ දරැවන් ද සියලා ආච්චිලා බවට පත්ව ඇත. සෑම වසරකට වරක් කොළඹ මහජන පුස්තකාලයට රැස්වෙන ‘‘ජූලි වර්ජකයන්ගේ සංගමය’’ ඔවුන්ගේ රැකියාව අහිමිකළ පාලකයන්ට ද, ඔවුන්ගේ කරමතින් පැමිණ ප්‍රාදේශීය සභාවේ සිට ආණ්ඩුකාරවරු දක්වා වු සියලු දේශපාලකයන්ට ද දෙස් දොවොල් තබති. එහෙත් එදා ඔවුන් සමඟ අත්වැල් බැඳගෙන සිටි වෘත්තිය සමිති නායකයෝ අද ඔවුන් දෙස නොබලති. ඒ වෙනුට ඔවුන් තමන්ගේ උපන්දින සාද පවත්වන්නට අරලියගහ මැඳුරට රිංගන්නේ පිළිකන්න පැත්තෙනි. එසේ පිළිකන්න පැත්තෙන් රිංගා මාධ්‍යයට පුරසාරම් දොඩවති. මේ නිර්ලජ්ජිත දේශපාලකයෝ අරලියහ මැදුරේ ජෝගි නටද්දී ජූලි වර්ජකයෝ බනිස් ගෙඩියකින් සහ කහට කෝප්පයකින් පාතරාසය නිමවා වර්ජිත දිනය සහ ඒ වෙනුවෙන් දිවි පුදූවෝ සමරති. ඇතැම් වර්ජකයන් පැමිණෙන්නේ රෝද පුටුවෙනි. තවකෙක් පැමිණෙන්නේ සිය මුනුබුරාගේ හෝ මිනිබිරියගේ ආධාරයෙනි. ඇතැම් වර්ජකයන් වැසිකිළියට පවා රැගෙන යන්නේ ඔවුන්ගේ දරුවන් හෝ මුනුබුරු මිනිබිරියන් ය. ඒ සියල්ල එසේ සිදු වෙද්දී ඔවුන්ගේ කරමතින් පැමිණ දේශපාලන බලය අත්පත් කරගත්තෝ නෑසූකන් ව සහ අඳවුවන් ලෙස කල් හරිති. අවම වශයෙන් ජූලිවර්ජකයන්ට උපහාර පිණිස ඔවුන්ගේ මුනුබුරු මිනිබිරියන්ට හෝ යම් රැකියා අවස්ථාවල් ලබා දෙන්නට උත්සාහ නොකරති. එවැනි වැඩපිළිවෙලක් හෝ නොසපයති.

එදා රාවය සකසු සටහන ලියන විට දී මෙන් ම මේ වන විට ද සරසවි ඇදුරෝ සිය වැටුප් වර්ධක පමණක් නොව අධ්‍යාපනයට 6% වෙන් කරන ලෙස ඉල්ලා වර්ජනයක ද නිරත වූහ. අවසානයේ අනෙක් රජයේ සේවකයෝ රැවටූ ආකාරයෙන් ම උගත් බුද්ධිමත් සරසවි ඇදුරෝ ද රවටන්නට පාලකයෝ සමත් වූහ. මෙහි දී අදාළ වෘත්තියට වගකිව යුතු ඇමතිවරයා (උසස් අධ්‍යාපන ඇමති) සිය වගකීම් පැහැර හරිමින් බල්ලාගේ වැඩේ බූරුවාට පැවරී ය. බූරුවා ඉතා උසස් අන්දමින් මේ උගත් බුද්ධිමතුන් මුලා කළේ ය.

මේ වන විට චෝගම් මංගල්‍යය වෙනුවෙන් කළ නාස්තිකාර වියදම පියවාගනු වස් ජනතාවට දරාගත නොහැකි ලෙස භාණ්ඩ මිල ඉහළ නංවා ඇත. එහෙත් මෙරට ජඩමාධ්‍යය විසින් කවදාවත් නොලැබෙන, එහෙත් නාමිකව ලබා දී ඇති සොච්චම් දීමනා පිළිබඳ දැවැන්ත දැන්වීම් පළ කරයි. ඒ කිසිඳු දැන්වීමක දැන්වීම යොමු කළේ කුමන ආයතනයකින් ද යන්න සඳහන් නොවන අතර අදාළ පුවත්පතේ ජනතාව මත පැට වු බදුබර පිළිබඳව සඳහන් නොවේ. අදාළ ජඩමාධ්‍යයකරුවන් ද දැන්වවීමට සරිලන ආකාරයේ ලිපි ලේඛනවලින් ම පුවත්පතේ පිටු පුරවති.

එහෙයින් රාවය සගරාවේ සංස්කාරකවරයා පවසන ආකාරයට ම දැන් කළ යුත්තේ ජනතාව නමැති යකදුරා විසින් මතුරා ජපකොට ගෙන්නාගන්නා ලද  යක්ෂයාගේ ගෙල සිඳීම සඳහා සුදුසු අවියක් සුදානම් කිරිම ය. ඒ හැර අන් විකල්පයක් නම් නැත්තේ ම ය.
 
          
වැටුප් උපයන්නන්ගේ ජිවන ගැටලුව පැසවන ගිනි කන්දකට සමාන ය. 80 ජූලිවල දී අනුකම්පා විරහිත ව තලා පොඩි කොට මරා වළලන ලද වැටුප් සඳහා වන ඉල්ලීම් ව්‍යාපාරය දැන් මළවුන්ගෙන් නැගිට තමා සාහසික ලෙස මරා වළලන ලද සාහසික බලවේගයන්ට එරෙහි ව ඔච්චම් කරන්නට පටන් ගෙන තිබේ. විටෙක වෛද්‍යවරුන් අතර ද, තවත් විටෙක වතු කම්කරුවන් සහ හෙදියන් අතර ද සැරිසරන එමඅවතාරය දැන් සරසවි ඇදුරන් අතර හොල්මන් කරමින් සිටී.

උගතුන් පිළිබඳ ප්‍රශන්යේ දී වැටුප් පිළිබඳ ප්‍රශ්නය ජීවත්වීම පිළිබඳ ප්‍රශ්නයෙන් නොනැවතී එය ඔවුන්ගේ ආත්මගෞරවයට අදාළ ප්‍රශ්නයක් බවට ද පත්ව තිබේ. මේ රටේ දේශපාලකයන් ලෝකයේ ඉහළ ම වැටුප් තත්ත්වයක සිටිමින් තමන් (විද්‍යාඥයන් සහ ආචාර්යවරුන්) ලෝකයේ පහළ ම වැටුප් ලබන්නන්ගේ තත්ත්වයට ඇද දමා තිබීම ගැන ඔවුහු කෝපයට පත්ව සිටිති.

වැටුප් වර්ධකයක් ලබාදීමට පුළුවන්කම තිබුණු බව මුදල් ඇමතිවරයා අය වැයේ පසුව නිර්ලෝභී ස්වරයකින් කීවේ එම දුෂ්කරතාව රටට ඒත්තුගැන්වීම සඳහා ය. විශේෂ ජාතික ආපදාවයක් බඳු අවස්ථාවක දී ඒ වෙනුවෙන් කොයි කවුරුත් දුෂ්කරතා විඳ දරාගත යුත් බවට සැකයක් නැත. එහෙත් එහි දි පළමු කොට ම ආදර්ශවත් විය යුත්තෝරටේ පාලකයෝ ය. එහෙත් ඔවුන් තවමත් අත්‍යවශ්‍ය නොවන සෝබන වුවමනාවන් වෙනුවෙන් කරන ධන විණාශය සුළු වශයෙන් හෝ අඩු කොට නැතිනම් වැටුප් උපයන්නන් පමණක් පරිත්‍යාගශීලී විය යුත්තේ ඇයි ?

අනෙක් අතට ජීවන වියදමට ඉහළ යාමට මූලික වී ඇති ජනතාවගේ ආදායම් තත්ත්වයන්ට නොගැලපෙන සුඛෝපභෝගි සහ විච්චූරණ සමාජ වටපිටාවක් ඇති කරන ලද්දේආණ්ඩුව විසින්ම ය. එම තත්ත්වය තුළ අත්‍යවශ්‍යය නොවන දේ ද, අත්‍යවශ්‍ය දේවල් බවට පත්වී තිබේ. ආණ්ඩුව සිය වුවමනාවන් සඳහා මතුරා ජපකොට කැඳවාගන්නා ලද යක්ෂයා දැන් යකදුරාගේ ම බොටුව අල්ලා සිටී නම් තොවිල්පළේ සිටින අයට කළ හැක්කේ සිදුවන්නට යන ඒ ත්‍රාස ජනක සිද්ධිය ද තොවිලේ ම කොටසක් ලෙස සලකා නැරඹීම පමණි.
රාවය සඟරාව 1987 පෙබරවාරි 7 වන කලාපය

 

 

 

එදා කී කතා