21 September 2018
RSS Facebook Twitter   

අපි අපේ යෝධයා ඇහැරවා ගනිමු!

giantපූර්විකාව

මතු දැක්වෙන්නේ මීට විසි වසරකට ඉහත ලියැවුණ ලිපියකි. මෙම ලිපියට ප්‍රස්තුථ වූ නාට්‍යය ද නාට්‍යය නිර්මාකයා ද අද අප අතර නැත. එහෙත් මෙම නාට්‍යය හා සබැඳි කතා වස්තුව වර්තමානයේ ද පාලකයෝ ද පාලිතයෝ ද යෙහෙන් රඟ දක්වමින් සිටිති. නාට්‍යයක් නොවූව ද එය ලාංකේය භූමිය පුරා විසිර පවත්නා රංග කාර්යයක් බවට පත්ව ඇත. එදා මේ නාට්‍යය රස විඳ, එවන් නාට්‍යය අපේ රටේ ජනතාව වෙත රැගෙන යා යුතු යැයි පාරම් බෑ වාම දේශපාළුවෝ අද පවතින රෙජීමයේ අධෝ වාතයත් සුගන්ධවත් යැයි පවසති. ‘‘නැත! එය දුර්ගන්ධය’’ යැයි පැවසුවහොත් ‘‘හොඳයි එහෙනම් අපි ආග්‍රහණය කර බලමුනේ’’ දැයි අභියෝග කරති. අවසන එය සුගන්ධවත් ම යැයි පවසමින් මහ පෙළොවේ පස් කති.

අද දකුණේ හෝ උතුරේ ඔලිව් අතුවලින් සරසන ලද සන්නා සන්නද්ධ රථ නොතිබුණ ද එමඟින් කළ කාර්යයන් කිසිඳු අවහිරයකින් තොරව ම සිදුකරමින් සිටිති. අදාළ රථවල නොම්මර තහඩු පමණක් නොව සුදුපරෙවියන් ද නැත. එහෙත් රටැසි දනන්ගේ මුවගුළු දමා වසා ඇත. දෙපා ගැටගසා නැති වුව ද සැම මිනිසෙක් පසුපසම රහස් පරීක්ෂකයෙක් යොදා ඇත. වෙඩි බෙහෙත් දුමාරය නොමැති වුව ද මිනිසුන් තැන තැන මරා දමා ඇත. එහෙත් දනෝ ‘‘චෝගම්’’ නරඹති.

මේ වන විට වේල් පෙරහැරවලට මතු නොව ප්‍රභූ ලේකම්වරු ගමන්ගන්නා මාර්ග ද ෂැම්පො යොදා පිරිසුදු කරති. මග දෙපස ඇති ගල්කැබලි ඉවත් කරන්නට මාර්ගය දෙපස පදිංචි කරුවන්ට පොලිසිය ලවා බලපෑම් කරවති. ඇව්රෝ ගුවන්යානා ප්‍රහාර එල්ල නොවූව ද, බැරල් බෝම්බ නොහෙළුව ද උතුරේත් දකුණේත් සමාජ ක්‍රියාකාරිකයන්, මාධ්‍යවේදින් සහ රෙජීමයට අපක්ෂපාති වුවන් යෙහෙන් දඩයම් කරති. රටෙන් කොටසක් උදුරා ගන්නට තැත් කරා යැයි පවසා උතුරේ දස දහස් ගනනක් මිනිස් ජිවිත අළු දූලි බවට පත්කළ රණවිරුවන් මූලික මිනිස් අවශ්‍යතාවක් වන ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ දකුණේ ජනතාවට ද තුවක්කුවෙන් ම පිළිතුරුසපයති.

ජනතාවට ඉලක්ක පෙන්වා ඇත, ඔවුන්ගේ පලාපොරොත්තු හිසටත් උඩින් දල්වා ඇත, ප්‍රබෝධමත් ජිවිතයක් අනාගතයේ උරුම කර දෙන බවට වහසි බස් දොඩවති. එහෙත් යුද්ධයෙන් අනාත වුවන් ගාල් කළ අනාථ කඳවුරු ඔවුන්ගේ ඉහ මත කඩා පාත්වෙමින් තිබේ.... තව දුරටත් උතුරේ මෙන් ම දකුණේ ද නිහඬ භීෂණයක් දියත් වෙමින් පවතී. ඒ පිළිබඳ නිහඩ කථාකාවතක් ද පවතී. එහෙත් නිහඬව ම සියලු දූෂණ, භීෂණ මැර ක්‍රියා සිදුවෙමින් පවතී.

‘‘මේ ගෞතම බුදුන්ගේ දේශයයි’’ යනුවෙන් ඇලවු ස්ටිකරයට යටින් ‘‘කැසිනෝ අපිට හොදායි!!!’’ යනුවෙන් තවත් සුටිකරයක් අලවාගෙන යමර වේගයෙන් පියඹා යන ත්‍රීරෝද රථ රියදුරෝ ම ජේම්ස් පැකර්ගේ රුවට උඩින් බෞද්ධ කොඩි ඔසවති; සිංහ කොඩි ඔසවති. කැසිනේ එපා යැයි පවසන පැරණි වම්මු සිය බිරිඳගේ මෙහෙයවීමෙන් පවත්වාගෙන ගිය, සුදු පොළවල් වැටලු පොලිස් නිලධාරින්ට විසිහතර පැයක් යන්නට මත්තෙන් ස්ථාන මාරු ලබා දේ. එතෙකින් නොනැවති ‘‘අනේ මගේ ගෑනි මේ චෝදනාවෙන් නිදහස් කර දෙන්නැයි රෙජිමය ඉදිරියේ වැඳ වැටේ.

ඉතින් සබඳ අප කුමක් කළ යුතු ද....? සැබැවින් ම අප කළ යුත්තේ අප තුළ සැඟව සිටිනා යෝදයා ඇහැරවා සටනට යොමු කරවිම ය; ජයග්‍රහණය තෙක් යෝධයා සමඟ ම සටන් බිමෙහි සටන් කිරිම ය.

සුගතපාල ද සිල්වා විසින් පරිවර්තනය කර ලාංකීය වේදිකාව මත විකසිත කරන ලද ‘මරාසාද්’ නාට්‍යයේ සත්වන වර්ෂ පූර්ණය මෙම මස 14 වැනි දා මරදාන ඒෆීන්ස්ටන් රහලේ දී දිගහැරේ. ලාංකීය වේදිකාව වෙත හිමි නාට්‍යමය අත් දැකීම් අතර ‘මරාසාද්’ යනු කාලයට ඉදිරියෙන් වූ නිර්මාණයකි.

ඊට අදාළ වටිනාකම වසර හතකටත් අනතුරු ව අප අවධාරණය කරන්නේ, මෙරට වේදිකාව තවමත් පසුවන්නේ ‘මරාසාද්’ට පසුපසින් වන බැවිනි. ‘මරාසාද්’ යනු කාලයට ඉදිරියෙන් වූ නිර්මාණයකි.

ඔලිව් අතුවලින් සරසන ලද සන්නාහ සන්නද්ධ රථ පළාත් 07 ක ගමන් අරඹා ඇත. සන්නාහ සන්නද්ධ රථවල ගලවා තිබූ නොම්මර තහඩු වෙනුවට සුදු පරෙවියන් තබා ඇත.(සැබෑව නම් ඔවුන්ගේ දෙපා කම්බිවලින් ගැටගසා ඇති වගයි.) වෙඩි බෙහෙත් දුමාරය.... දැවි පිලිස්සී ගිය යෞවන සිරුරුවල පුළුටු දුමාරය ‘තුනී වෙමින්’ පවතින මොහොතේ මේ ඉන්ද්‍රජාලික පෙළහැර ම දෙස ජනතාවෝ විශ්මිත ව බලා හිඳිති.
සමහරු මෙය මෙසේ අර්ථ දක්වති. ‘තිරසාර සාමය මෙය යි.... ප්‍රජාතන්ත්‍රවාදයේ විවරය පළල් වි ඇත’

වෙනත් අරුමා කුමට.... අගනුවර වීදි පුරා වේල් පෙරහැර පවා කාලයකට පසු ගමන් අරඹා ඇත. බැතිමත් ද්‍රවිඩ ජනතාවෝ ‘හරෝ හරා’ කියමින් කහදියරින් වීදි දෝවනය කරමින් ගමන් ගනිති. ද්‍රවිඩ ජනතාවන්ට අගනුවර තම සංස්කෘතික අනන්‍යතාව විහිදා දැක්වීමට තරම් මේ දේශය ජාතික, සාමයික සමඟිය දෝරේ ගලා යයි. කෝවිල් තුළ ඉඳහිට බෝම්බයක් පුපුරා ගියත් එය පුද්ගලික එදිරිවාදිකමකට ය.මේ ඉන්ද්‍රජාලික පෙළහර අතරතුර යාල්දේවී දුම්රිය කාලතුවක්කු වෙඩිමුර තබමින් උතුර බලා ගමන් ගනී. ඇව්රෝ ගුවන් යානා අඩි 4000 ට වඩා ඉහළින් පියාසර කරමින් ‘නිසි ඉලක්කයට ම’ බැරල් බෝම්බ අතහරිමින් සිටී....

දකුණේ කාලතුවක්කු පත්තුවන දිනවල, උතුරේ සන්නද්ධ රථ ඔලිව් අතු ආවරණිත ව ගමන්ගත් බව දැන් සිතන්නේ කවුරු....? ජනතාවගේ සියලු ආරක්ෂිත බංකර් ධවල කාලතුවක්කු ප්‍රහාරවලින් පුපුරා ගියේ දස දහස් සංඛ්‍යාත එඩිතර හා අවංක යෞවන සටන්කාමීන් යටපත් කරමිනි. පීඩිතයන්ගේ බලවේගය යටපත් කරමිනි.

ජනතාව ජීවිතයෙන්, ඉලක්කවලින් ඈත් වී සිටිති; බලාපොරොත්තුවලින් ඈත් වී සිටිති; ප්‍රබෝධයෙන් තොර ව සිටිති. යුද්ධයේ දී ඔවුන් රිංගාගත් ‘අනාථ කඳවුරු’ ඉහ මත කඩා පාත්වෙමින් තිබේ.... උතුරු දකුණු ජනතාවෝ වෙනසක් නොමැතිව ම කඳුළත්, සුසුමත්, සිතල මරණයත් දායාද කොට ගත්තෝ වී වෛරය ඉලක්ක්යකින් තොරව ම විසුරුවමින් හිඳති.

මේ නාට්‍යය ඇරඹී බොහෝ කල් ය. නමුත් අප තේරුම් නොගත්තේත් නොගන්නේත් මේ නාටකය ම ය. මේ නාටකයට අත්වැල් ගායනා සපයන්නේ ‘අපේ අසාථාගාර හිමියෝ ය. මේ ගැන තේරුම් ගන්නට අපි මරාසාද් නාට්‍යය සහ එක්වෙමු.

පීටර් වයිස්ගේ මරාසාද් නාට්‍යය ගැන පිටර් බෘෘක් මෙසේ කියයි.... ‘‘හොඳ නාට්‍යයකින් නිරන්තරයෙන් ම එකිනෙක හැප්පෙමින්, ගැටෙමින්, තෙරපෙමින් පැනනගින පණිවිඩ රැසක් ඉස්මතු වේ. බුද්ධිය, හැඟීම්, සිහිය, පරිකල්පනයයන මේ සියල්ල උත්තේජනය කෙරේ. එනේ ම දුර්වල නාට්‍යක දී මේ වේදිත හැඟීම් දනවනුයේ කඩින් කඩ ය.
මේ අතර කාලයේ දී සිත දෛනික අප්‍රසන්නතාවන් ගැන, රාත්‍රී භෝජනය ගැව මංමුලා වෙද්දී හදවතට නිදාගත හැක. ‘‘මරාසාද්’’ අප හදවතට නිදාගන්නට නොදෙයි. අපේ බෙල්ලෙන් අල්වා පහර කිහිපයක් මුහුණට අනී.... අයිස් වතුර බාල්දියකින් දමා ගසයි.

සැබැවින් ම අපේ දේශයේ ව්‍යසනයත්, අරාජිකත්වයත් ඉවසුම් නොදෙන මේ පැය.... ජනතාව ව්‍යාකූලත්වයෙන් අසරණතාවයෙන් බලා හිඳින මේ පැය.... පීටර් බෘෘක් දකින ‘‘මරාසාද්’’ හා ප්‍රේක්ෂක අන්තර් සම්බන්ධය අපට දෙකෙන් ගුණ කර ඉල්ලා සිටී. අපේ බෙල්ලෙන් අල්ලා මුහුණට පහර කිහිපයක්, දණහිස නවා බඩට හා පසුපසට ද පහරක්.... අයිස් වතුර බාල්දි දෙකක්.... අවශ්‍යය නම්, වෘෂණ කෝෂයටත් පහරවල් දෙකක්.... අපේ දේශය එතරම් ම ව්‍යසනකාරී වටපිටාවක සිටී. මුලාවක සිටී.

මිනිසා සහ මිනිසකු අතර නග්න ස්වාර්ථකාමය හැර අනුකම්පා විරහිත ලෙස ‘මුදල් සෙවීම’ හැර වෙනත් කිසිඳු සබඳකමක් ඉතිරි නොකොට ඇති වටපිටාව අපි ප්‍රශ්න නොකළ යුතු ද? සංඛ්‍යා විරහිත උදුරාගත නොහැකි වර සහිත නිදහස් අයිතීන් වෙනුවට හෘද සාක්ෂියට කොහෙත් ම එකඟ නොවන එක ම නිදහස වන නිදහසේ වෙළෙඳාම් කිරීමේ නිදහස අපි ප්‍රශ්න නොකල යුතු ද? සැබෑව නම් එයයි, ප්‍රශ්න කළ යුතු....
‘‘මරාසාද්’’ මේ ප්‍රශ්න කිරිම හා වෙලී පවතින්නේ කෙසේ ද?

කලාව ගැන නොයෙක් අර්ථකථන තිබේ. නොයෙක් පැතිමාන සහිත වින්දනයන් තිබේ. සැබෑ ය. කලාව සංවර්ධනය විය යුතුව ඇත. නමුත් එය අවසානයේ අතිබහුතරයේ මානසික තත්ත්වය උසස් මට්ටමකට නංවා උදාරතර ප්‍රභාමත් උත්තුංග මිනිස් ගුණයෙන් ඔසවා තැබිය යුතු ය. මෙන්න මේ කාර්යයේ දී ‘‘මරාසාද්’’ පෙරමුණේ සිටී. ‘‘මරාසාද්’’ නාට්‍යය දේශපාලනමය ද? එය මාක්ස්වාදි යැයි ‘‘මරාසාද්’’ නාට්‍යය නිෂ්පාදක පීටර් වයිස් කියයි. මේ පවතින ව්‍යසනකාරි වටපිටාව වෙනස් කිරිමට ඉතිහාසය තීන්දු කොට ඇති බලවේගය ඇරවා ගතයුතු ය. තම ශ්‍රමය පමණක් ජීවත්වීමේ මාධ්‍යය ලෙස ලබාගන්නේ කවුද? සැපත හා දුක ද, ජීවිතය හා මරණය ද, ශ්‍රම ඉල්ලුම මත පදනම් ව ඇත්තේ කාගේ ද? තමා විසින් ම තමා ව දිනපතා පැයක් පාසත් විකුණා ගත යුතුව ඇත්තේ කවුරුන් ද? සැබැවින් ම අති බහුතරය සමන්විත වී ඇත්තේ මේ ‘‘බඩගිනි හමුදාවෙනි.’’ ඉතිහාසයේ තීරක ලීවර කරකැවීම භාරව ඇති මේ ‘‘බඩගිනි සොල්දාදුවන්ට’’ බඩක් හා කටක් පමණක් උරුම ව නැති අතර දෑත් හා ඔළු ගෙඩි ද හිමි ව තිබේ.

මේ ඔළුගෙඩි අනවබෝධයෙන් තබන්නට, දැනුවත් වීමෙන් වළකාලන්නට කාර්යයේ නියැළෙන සකලවිධ මහා ඇත්තන්ට ද, මේ ඔළුගෙඩි ව්‍යාකූල කරන්නට, අසරණ කරන්නට, සදා වැටුප් වහලුන් කරන්නට මහා ඇත්තන්ගේ පා සිඹින පුංචි මහා ඇත්තන්ට ද එරෙහි ව පීටර් වයිස්ගේ ‘‘මරාසාද්’’ලාංකීය වේදිකාව මත ප්‍රේක්ෂකයන් හා සංවාද ගතවේ. අනවබෝධයට පහර දී අවබෝධය තිළිණ කරමින් සිටී.
අති බහුතරයේ ඔළුගෙඩි ඔවුන්ගේ වුවමනාවන් ගැන දැනුවත්ව සිතත් නම්, අති බහුතරයේ දෑත් ඔවුන් සඳහා ම ක්‍රියාත්මක වීම අනිවාර්ණීය යි. දුක් විඳින්නාගේ සුසුම ද.... හදවත් නැති ලෝකයෙහි හදවත වී ඇත්තේ ද.... ප්‍රබෝධ රහිත තත්ත්වයන්ගේ ප්‍රබෝධය වී ඇත්තේ ද.... සුවිසල් මායාවන් ය.

සුවිසල් මායාවන් අති බහුතරයේ මායා සතුට වශයෙන් අහෝසි කිරිම යනු ඔවුන්ගේ සැබෑ සතුට ඉල්ලා සිටිම යි. පවත්නා වූ තත්ත්වය පිළිබඳ මායාවන් අත්හැරීමට ඉල්ලා සිටිම මායාවන් අවශ්‍යය තත්ත්වයන් අත්හැර දැමිමට ඉල්ලා සිටීමයි. එහෙයින් මේ සුවිසල් මායාවන්, ආධ්‍යාත්මික එක් හෝ වෙනත් හිරිවැට්ටවීම් විවේචනය කලල රූපයෙන් ගත් කල කඳුළු නිම්නයේ විවේචනය යි.

‘‘විවේචන දම්වැලෙන් පරිකල්පිත මල් කඩා දමා ඇත්තේ මිනිසාට විසිතුරු සේ නොසරසන ලද දුර්වර්ණ දම්වැලක් පළඳින පිණිස නොව, ඔහුට දම්වැලෙන් නිදහස් වී සජීවී පුෂ්පය නෙළාගනු පිණිස ය.
‘‘හිරු’’ 1993 නොවැම්බර් 14

 

 

එදා කී කතා