19 January 2018
RSS Facebook Twitter   

ජාතික පුවත්පත් කීකරු වෙලා - සොලමන් රණසිංහ

freedom pressපූර්විකාව

වර්තමානයේ මෙරට දේශපාලනය සහ දේශපාලකයා යනු නිරන්තරයෙන් භ්‍රමණය වන්නකි; එය පාථිවිය තමා වටා භ්‍රමණය වනවාටත් වඩා වේගයෙන් සිදු වේ. දේශපාලකයන්ගේ අතවැසියන් ද එසේ ම ය. ඔවුන් ද අදාළ දේශපාලකයා සමඟ ම භ්‍රමණය වෙති.

1992 වසරේ මෙම සම්මුඛ සාකච්ඡාව කළ මාධ්‍යයවේදියා ද භ්‍රමණය වන දේශපාලනය සමඟ ම භ්‍රමණය වූවෙකි. ඔහු කලක් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයකු වු අතර ඒ වෙනුවෙන් ඔහුට හිමි වු දායාදය වූයේ ඇවිද යාමට උපකාරි වන සැරටියක් පමණි. එහෙත් ඔහු නොසැලි තම අරමුණ වෙනුවෙන් ඇප කැප විය. හේ දිගින් දිගට ම තම දේශපාලන කටයුතුවල නියැළිණි. ලක්දිව පුවත්පත තුළ ඇති වූ යම් අර්බුදකාරී තත්ත්වයක් හේතුවෙන් ඉන් ඉවත් වූ බොහෝ පිරිස් අතරට මෙකී මාධ්‍යයවේදියා ද අයත් විය. අනතුරු ව ඔවහු ඇතුළු ලක්දිවෙන් ඉවත් වු පිරිස මහත් වෙර වීරියෙන් ‘‘හිරු’’ පුවත්පත ඇරඹී ය. එය ද වාමාංශික ජාතිවාදින්ගේ ගිලටිනයට හසුවිය.

පසු කළෙක ඇරඹි ලංකා පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ ධූරය ද ඉසිලු මෙම මාධ්‍යයවේදියා පුවත්පතේ තිබූ යම් යම් දුර්වලතා පෙන්වා දෙන්නට දැරු උත්සාහයේ ප්‍රතිඵලය වූයේ: ඔහු සහ ඔහුගේ මතයට පක්ෂ වූ පිරිසක් ඉවත් කිරිම වෙනුවෙන් ම පුවත්පත වසා දැමී ය. (මෙකී යථා තත්ත්වය බහුතරයක් දෙනා නොදන්නවා වන්නට පිළිවන. එහෙත් මෙරට ජනතාව මේ කරුණු දැනගතයුතු ව ඇත.)

කාලයක් විවිධ රැකියාවන්හි නියුක්ත වු මොහු අවසානයේ අසුන් ගත්තේ දේශපාලන භූමියේ දවැන්ත පොලාපැනීමකට ලක් වූ වාමාවාදියකු විසින් මෙහෙයවනු ලැබු පුවත්පතක ප්‍රධාන අසුනේ ය. ඉන් නොනැවතුණ මොහු වර්තමානයේ එකී දේශපාලකයාගේ අමාත්‍යංශයේ ඉහළ නිලයක් දරමින් සිටී.
මෙම සටහන තැබීමෙන් බලාපොරොත්තු වුයේ මෙකී ලේඛකයා සමඟ පුද්ගලික අමනාපයක් පිරිමසාගැනීමට නොව, ඔහු එදා යෙදි සිටි දේශපාලන කර්තවයේ අවශ්‍යතාව එදාටත් වඩා දස දහස් ගුණයකින් මේ මොහොත වන විට අවශ්‍යව ඇති බැවිනි. ඔහු එදා සොලමන් රණසිංහ මහතාගෙන් විමසූ බොහෝ පැන වර්තමානයේ නැවත නැවතත් විමසීමට සිදුව ඇති හෙයිනි. එහෙත් අද ඔහුට එවැනි ප්‍රශ්න විමසන්නට හැකියාවක් තිබේ ද....? නැත.... කිසිසේත් ම නැත. මන්ද අද ඔහු ද ඔහුගේ ප්‍රධානියා මෙන් ම අංශක 180ක් භ්‍රමණය වී ඇති බැවිනි.

වර්තමානයේ ඔහු මාධ්‍යෙව්දියකු ලෙස පෙනී නොසිටිය ද ඔහුගෙන් යම් මාධ්‍යයවේදියෙක් ඔහු එදා සොලමන් මහතාගෙන් විමසූ ඇතැම් ප්‍රශ්න අද ඔහුගෙන් විමසුවහොත් කුමනාකාරයේ පිළිතුරක් ලැබෙනු ඇද්ද....? එදා ඔහු එරෙහි වු පාලන තන්ත්‍රයේ ම ඉත්තකු වන්නට වර්තමානයේ ඔහුට සිදුව ඇත්තේ කුමන හේතුවක් මතද....? මේ සියල්ල දෛවයට බාර දී නිහඬව සිටින්නට ඔහුට හැකියාවක් තිබිය හැකි ද....? හාද සාක්ෂියට එකඟව නම් එසේ කළ නොහැකි බව අපගේ හැඟීම ය. එහෙත් තමන් මහත් ගෞරවයෙන්, භක්තියෙන් මෙන්ම දැඩි ලෙන්ගතු බවින් සැලකූ වාමවාදියා භ්‍රමණය වු විට ඔහු වැනි පුද්ගලයෙක් එකී ක්‍රියාවලිය ම අනුගමනය කිරිම අරුමයක් නෙවේ. එහෙත් තවදුරටත් මෙය මේ ආකාරයෙන් ම සිදුවිය යුතු ද....? එලෙස සිදුවුව හොත් මතුපරපුරේ පැවැත්ම කෙසේ විය හැකිද....?

මේ සියල්ලට පිළිතුරු සැපයිය යුත්තේ මෙරට ජනතාව ම ය. තවදුරටත් ඉඟුරු දී මිරිස් ගන්නවාද....? කැහි ගැහනිය වෙනුවට හොටු ගැහැනියක් සරණපාවා ගන්නවාද...? එසේත් නැතිනම් අනාගත දරු පරපුර වෙනුවෙන් වෙනත් විවාහයක් කරගන්නවාද යන්න තීරණය කළ යුත්තේ මෙරට ජනතාව ය.


අද පටන් ‘‘ඉරිදා තිරමිණ’’ නමින් අලුත් පුවත්පතක් ඇරඹෙනවා. මේ එහි ප්‍රධාන කර්තෘ සොලමන් රණසිංහ මහතාගේ වදන්.

‘‘.... මම 1954 දි ‘දිනමිණ’ට බැඳුණා. කලක් එහි විශේෂාංග අංශයේ උපකතුවරයෙක් විදියට වැඩ කළා. ඉන් පසුව ‘ජනතා’වෙ විශේෂාග කර්තෘ සහ ‘සිළුමිණ’ පුවත්පතේ කලා පිටුව සංස්කාරක වශයෙනුත් කටයුතු කළා. 1987 දි අවාසනාවන්ත විදියට රැකියාව අහිමි වුණා. එහෙම ඉන්නකොට තමයි මේ පත්තරේ පටන් ගන්න මට ආරාධනාවක් ලැබුණෙ....’’

අප ඔහු සමඟ පිළිසඳරක යෙදෙන්න අදහස් කළේ පුවත්පත් ක්ෂේත්‍රයට එක්වන අලුත් සාමාජිකයාගේ හැඩරුව පිළිබඳ ව අපගේ පාඨකයන්ට අවබෝධයක් ලබා දීමේ අදහසින්. ඉඳින් මේ ඒ පිළිසඳර යි.

ලක්දිව:- විවිධාකාරයේ පුවත්පත් විශාල සංඛ්‍යාවක් මෙරට පළ කෙරෙන මෙවැනි අවස්ථාවක අලුතින් පුවත්පතක අරඹන්නට අදහස් කළේ කුමක් නිසාද යන්න මුලින් ම දැනගන්න අපි කැමතියි.

ඔහු:- අද අපේ රටේ ජාතික පුවත්පත් කිහිපයක් තියෙනවා. ඒ අතරට විකල්ප පත්තරත් ඇවිත් තියෙනවා. ඒත් ජාතික පුවත්පත්වලට සෑහෙන බලවේගවලට යටවෙලා කීකරු වෙන්න වෙලා. ඉතින් අපි කල්පනා කළා පත්‍රකලාවේදීන් කණ්ඩායමක් හැටිය, අපට පත්තරයක් කළ හැකියි කියලා විශ්වාසයක් ඇති වුණා. අපේ බෙදාහැරීමේ කළමනාකරු අපට වාර්තා කළා ජාතික පුවත්පතකට ඉඩ තියෙනව කියල.ඒ අනුව ජාතික පුවත්පතක් ආරම්භ කරන්න අපි තීරණය කළා.

ලක්දිව:- ජාතික පුවත්පතක්.... එය දැනට පළ කෙරෙන ජාතික යැයි කියන පුවත්පත්වලට වඩා වෙනස් වන්නේකුමන අයුරින් ද? ඔබේ පුවත්පතේ අන්තර්ගය කෙබඳුද කියා කියන්නට ඔබ කැමති ද?

ඔහු:- අපේ පත්තරේ සාමාන්‍ය ජාතික පුවත්පත්වලට පොදු දේවල් පළකෙරෙනවා. හැබැයි අපේ විවේචන, අපේ ලිපි අනෙක් ඒවාට වඩා වේගවත් විය හැකියි. අනික් ජාතික පුවත්පත්වල පළ කරන්න බැරි දේවල් අපට පළ කරන්න පුළුවන් වේවි. ඕන ම කෙනෙක් විවේචනය කරන්න අපි අයිතිය තියාගන්නවා. පහර ගහන්නේ නැහැ. වරදක් දැක්කම වරද කියනවා.

ලක්දිව:- පුවත්පතක පෞරුෂය ගොඩනැගෙන්නේ එහි දර්ශනය අනුව යි. ඔබේ පුවත්පතේ දර්ශනය පිළිබඳ යමක් කිව හැකි ද?

ඔහු:- පොදු ජනතාවගේ අවශ්‍යතාව ඉස්මතු කර පෙන්විමයි අපේ පරමාර්ථය. අපට ඒකට නිදහස තියෙනවා. ප්‍රතිපත්ති සකස් කරන්නෙ අපි. ඒවා ක්‍රියාත්මක කරන්නෙත් අපි. අහවල් නායකයා අපේ, අහවල් නායකයා අපේ නෙවෙයි කියල දෙයක් අපට නැහැ. මහජනයාගේ අවශ්‍යතාවයටයි අපි මුල් තැන දෙන්නෙ. කරන පුද්ගලයන් පිළිබඳ ව විවේචනය කිරීමේ දී පුද්ගලයාගේ තරාතිරම අපට ප්‍රශ්නයක් නෙවෙයි.

ලක්දිව:- විවේචනය සම්බන්ධයෙන් බොහෝ පුවත්පත් එක්තරා සීමාවක් තුළ සිරගත වී සිටින බවක් දක්නට ලැබෙනවා. උදාහරණයක් වශයෙන් කියනවානම්, ආණ්ඩුවේ වැරදි එළිදක්වනවා යැයි කියන ඇතැම් පුවත්පත් ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරිත්වය හෝ කටයුතු විවේචනය නො කිරීමට ප්‍රවේශම් වෙනවා. ඔබේ පුවත්පත එම සීමාව ඉක්මවා ක්‍රියා කරන්න සූදානම් ද?

ඔහු:- පුද්ගලයා නොවෙයි, කරන දේ වැරදි නම් ඒක කියනවා. ජනතාවට හානියක් වෙනවා නම් කියනවා.විරුද්ධ පක්ෂයටත් ඒක ම යි.

ලක්දිව:- ඔබ සඳහන් කරන ආකාරයට කටයුතු කිරිම සඳහා නිදහස් වාතාවරණයක් ඔබ සතුව ඇතැයි ඔබ විශ්වාස කරනවද? බලපෑම්වලින් තොර නිදහස් වාතාවරණයක්?

ඔහු:- කිසිම බලපෑමක් අපට නැහැ. ආයෝජකයාගේ බලපෑමක් නැහැ. මොකද මමත් මේකෙ කොටස්කාරයෙක්. මෙකෙ කොටස්කාරයො මායි තිලක් මාපටුන මහතා යි. ඒ නිසා එවැනි බලපෑමක් මේ පත්තරේට නැහැ. පත්තරේට මුලින් සම්බන්ධ වුණු අයත් මේ ව්‍යාපාරයෙ කොටස්කරුවන් කරගන්න අපේ බලාපොරොත්තුවක් තියෙනවා. බලපෑම් එන්න පුළුවන් ලක්ෂණ කිහිපයක් මුලින් ම දකින්න ලැබුණා. සමහරු ආවා මේකට ලක්ෂ ගණනින් කොටස් මුදල් යොදවන්න. ඒ අය ආවෙ වෙනත් අරමුණුවලින්. ඒත් අපි ඒ අය සම්බන්ධ කර ගත්තෙ නැහැ. කර්තෘ මණ්ඩලයට අවශ්‍යය ආකාරයට කටයුතු කරන්න මාපටුන මහත්මයා සම්පූර්ණ ඉඩ දිලයි තියෙන්නෙ. ඔහු කර්තෘ මණ්ඩලයෙ තීරණවලට ඇගිලි ගහන්නෙ නනැහැ. අපට දේශපාලන බලපෑමක් නැහැ. දේශපාලන බලවතෙක් මට බලපෑම් කළා. අපේ පත්තරේට ලියන එක්තරා අයකුගෙ ලිපි පළකරන්න එපා කියල. මම එකඟ වුණේ නැහැ.

ලක්දිව:- අද මෙරට පුවත්පත් නිදහස බරපතල ලෙස ප්‍රශ්න කිරිමට ලක්ව තිබෙනවා.පසුගිය කාලවකවානුව තුළ පුවත්පත්වලට පොදුවේ මෙන් ම පුවත්පත් කලාවේදින්ට පුද්ගලික ව පවා තරජනවලට, නඩු-හබවලට, මැර ප්‍රහාරවලට මුහුණ දෙන්න සිදු වුණා. මේ පිළිබඳ ව ඔබ ඉදිරිපත් කරන්නේ කෙබඳු විග්‍රහයක් ද?

ඔහු:- පුවත්පත්වලට වැටකඩුලු වැටිලා තියෙනවා කියන එක ඇත්තක්. පසුගිය දා ඇතිවුණු යූනුස් සිද්ධිය පුවත්පත් නිදහස් සටනේ වැදගත් අවස්ථාවක්. අද මාධ්‍යයවේදීන් එක්සත් වීමකට යොමු වෙලා. මාධ්‍යයවේදීන් එකමුතු කර ගැනීමෙන් තියෙන බාධක මැඩපවත්වා ගැනීමට පුළුවන්. සමහරවිට වෙඩි තියන්න ඉඩ තියෙන අවස්ථාවල දී මාධ්‍යයවේදීන් ඒවාට බිය නොවී ඉදිරියට ඇවිත් තිබෙනවා. පත්තරකාරයන්ගේ හොඳ කාලයක ආරම්භයක් හාටියට මෙය හඳුන්වන්න පිළිවන්.

ලක්දිව:- දැනට වසර දහයක කාලයක් මුළුල්ලේ නොවිසදී පවතින උතුරේ යුද්ධය පිළිබඳ ව මෙරට ජාතික යැයි කියන පුවත්පත් ජාතිබේද වාදි ප්‍රතිපත්තියක සිට කටයුතු කරන බවට චෝදනාවක් තියෙනවා.උතුරේප්‍රශ්නයපිළිබඳ ව ඔබේ ස්ථාවරයකුමක් ද?

ඔහු:- යුද්ධමය පියවරක් ගැන සමහරු කියනවා. දැන් අපට මේ ප්‍රශ්නයෙන් පැනල යන්න බෑ. විසඳුමක් අවශ්‍යය යි. ජාතින් තුනට ම එකට ජීවත් විය හැකි, එවැනි වාතිවරණයක් කෙදිනක ඇති වේවිද කියන්න බැහැ. විසඳුමක් හිතන්න අමාරුයි. මේ තියෙන යුද්ධය කොයි පැත්තේ වුණත් නායකයන්ගේ වැරදි මඟ පෙන්වීම නිසා ඇතිවුණු එකක්. ආණ්ඩුවට විරුද්ධ ව කැරලි ගහනකොට ආණ්ඩුවට නිකං ඉන්න කියල අපිට කියන්න බැහැ. කෙසේ හෝ අපේ ප්‍රාර්ථනාව ජාතීන් තුනට ම සාමකාමී ව ජීවත් විය හැකි වාතාවරණයක් ඇති වේවා කියන එක යි.

ලක්දිව:- අද මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ පවතින තත්ත්වය පිළිබඳ ව විවිධ මති මතාන්තර පුවත්පත් මගින් පළ කෙරෙනවා.ජාතික පුවත්පතක කතුවරයකු ලෙස කටයුතු කරන්නට සූදානම් වන ඔබ මෙරට වර්තමාන දේශපාලන ක්ෂේත්‍රය දකින්නේ කුමන ආකාරයකට ද?

ඔහු:- අද තියෙන්නේ දේශපාලනයේ කනගාටුදායක තත්ත්වයක්.සෙනඟඅතරමං වෙලා. නියම නායකත්වයක් ලැබෙන්නෙ නැහැ. මං හිතන්නෙ ආණ්ඩුවට වඩා ලංකාවට දැන් අවශයය ශක්තිමත් විපක්ෂයක්. ජේ. ආර්. ට පින් සිදුවෙන්න ලොකු විපක්ෂයක් තියෙනවා. ඒත් මහජනයගෙ බලාපොරොත්තු ඉටු වෙන්නෙ නැහැ. අද තියෙන අවශ්‍යතාව ශක්තිමත් විපක්ෂයක් ඇති කිරීම යි.

ලක්දිව:- මෙරට දේශපාලනය පිළිඳ කතිකරන විට ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ ව ද අවශ්‍යෙයන් ම කතා කළ යුතු වෙනවා. ජවිපෙ පිළිබඳ ඔබේ අර්ථකතථනය කෙබඳු ද?

ඔහු:- ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ දී තිබුණ තත්ත්වය අනුව ආයුද සන්නද්ධ නොවී පෙරට ආවා නම්, ඔවුන්ගේ කැපවීමේ හැටියට සෑහෙන සේවයක් රටට කරන්න තිබුණා. ආයුද නිසා කැපවුණු ජීවිත රාශියක් ජාතියට අහිමි වුණා. කෙසේ හෝ ජේ. ආර්. ගේ කාලයේ ඇති වුණු භීෂණ සමයට පාලකයන් වගකිව යුතු යි. ඔවුන් ගෙන ගිය පිළිවෙත නිසයි එවැනි තත්ත්වයකට මඟ පෑදුණේ.

ලක්දිව:- ඔබ එයින් අදහස් කළේ ප්‍රේමදාස යුගයේ සිදු වූ භීෂණයට පාලකයන් වගකිව යුතු නැති බව ද?

ඔහු:- එහෙම කියන්නෙ නැහැ. ජේ. ආර්. ගෙ කාලෙ ඇතිවුණු රාජ්‍යය භීෂණය තරුණයන්ගෙ ක්‍රියාවලට වඩා භයානකයි.

ලක්දිව:- එහෙත් ටයර් සැය, මහ මඟ මළ සිරුරු කඳු ආදිය ජේ. ආර්. යුගයේ දී දුටුවාට වඩා දකින්නට ලැබුණේ වත්මන් පාලනය යටතේ යි.

ඔහු:- ඔව්. අතනින් පටන්ගත්ත එක දිගට ම ආවා. ආරම්භ වුණේ ජේ. ආර්. ගෙන්.

ලක්දිව:- අලුතින් ඇරඹෙන ඔබේ පුවත්පත ප්‍රේමදාස පාලනයේ අනුග්‍රහය ලබමින් ඔවුන්ගේ අවශ්‍යතාව ඉටු කරන්නක් බවට පුවත් පත් ක්ෂේත්‍රය තුළ කතාබහට ලක් වී තිබෙනවා. ඔබ ඒ පුවත ප්‍රතික්ෂේප කරනවද?

ඔහු: - ඔය ගැන කතා කිපයක් තියෙනවා. ගාමිණී දිසානායක අපිට බැක් කරනවා කියල කතාවක් ගිහින් තියෙනවා. අපේ පිටිපස්සෙන් ඔසී ඉන්නව කියල කතාවක් ගිහින් තියෙනවා. නෑ. අපේ පිටිපස්සෙ කිසි කෙනෙක් නැ.

ලක්දිව 1992 නොවැම්බර් 01
පිළිසඳර ධර්ම ශ්‍රී කාරියවසම්

 

 

එදා කී කතා