22 January 2018
RSS Facebook Twitter   

මම ගැණුන්ට කියන්නේ සටන් කරන්න කියලා - සුරේඛා සමරසේන

sureka samarasena 07 10 201මාධ්‍යවේදිනියක් සහ කිවිඳියක් ලෙස අපට නිතරම සයිබර් අවකාශයෙදි මුණ ගැහෙන සුරේඛා සමරසේන, සිය කුළුඳුල් නවකතාව ජුලි 09 වෙනිදා එළිදැක්වීමට නියමිතය. මේ සාකච්ඡාව, එකී සුරේඛාගේ "මේ කතාව" ගැන මෙන් ම බොහෝ තැන්වල නොකියවෙන බොහෝ ගැහැණුන්ට කීමට ඇති සහ බොහෝ ගැහැණුන්ට කිව යුතු කතා පිළිබඳව ය.

සුරේඛා අපි මෙහෙම පටන් ගත්තොත් ඔයා "මේ කතාව" හදුන්වන්නේ කොහොමද?

මම මේ කතාව හදුන්වන්නේ මේ කතාව ලෙස. මේ නවකතාවේ නම මේ කතාව. මට මේ කතාවෙන් කියන්න ඕන උනා ගැහැණුන් ගැන කතාවක්,දේශපාලන කතාවක්. නව වමේ දේශපාලනය සමග ඇයි හොදයි කම් කියන පරම්පරා දෙකක ගැහැණුන් පිළිබද කතාවක්. පරම්පරාවෙන් පරම්පරාවට දේශපාලන සත්වයෙක් හැටියට ගැහැණිය වමේ දේශපාලනයට අනුගතවන විට ජීවන අත්දැකීම පිළිබද කතාවක්. මෙයට මගේ අත්දැකිම් හා මම ඇසුරුකළ ගැහැණුන් ගේ අත්දැකීම් පිලීබද කතාවක්.

මොනම හෝ කෘතියක් ඇතුළෙ සංස්කෘතිය කියන එක ප්‍රශ්න කෙරුණු පමණින් පොලු මුගුරු අරන් උත්තර දෙන්න එන තත්වයක් දැන් ලංකාවෙ තියෙන්නෙ. 'මේ කතාවෙ' ඉරණම කොහොම වේවිද ?

සුනේත්‍රා පොදු පුරුෂයා කතාව ලිව්වම ඒක සමහර විචාරකයෙකුට කාම කතාවක් උනා. හැබැයි ස්ත්‍රියක් සමහර දේ කියන විට ඇති වන තැති ගැන්ම තමයි ඒ විචාරකයින් එමගින් පෙන්නුම් කළේ. නමුත් අවස්ථාවට අනුව ලිංගිකත්වය කතා කිරීම අවශ්‍ය දෙයක්. නිරුවත කියන දෙය සාමාන්‍ය සරල හා ස්වභාවික දෙයක්. ලෝක ප්‍රකට නිරුවත් සිතුවම් ,නිරුවත් ප්‍රතිමා කළා කෘති විනා හෙළුවැල්ලක් නොවේ. ඒවා දියුණු සමාජ ලක්ෂණ. නමුත් කෘතියක සදාචාරය පිළිබද ප්‍රශ්න කිරීම නිසා ලංකාවේ නොදියුණු බව අසංස්කෘතික කම ප්‍රකාශ වෙනවා. මගේ කෘතිය තුළ මම නිරුවත විකුණනවා කියන්නෑ.

නමුත් අවශ්‍ය තැන්වලදී ලිංගිකත්වය ගැන ප්‍රකාශ කරනවා. එයට බාහිර සමාජයෙන් තර්ජන එල්ලවුවහොත් මම එය වටහා ගන්නේ සංස්කෘතික දුප්පත්කම හැටියටයි. ඒක ඒ ආකාරයෙන් ගත්තත් මට ප්‍රශ්නයක් නෑ. මගේ පැත්තේ වැඩ කොටස ඉවරයි. විචාරය කර ගැනීම ඒ අයට බාරයි. නමුත් මම හිතන ආකාරයට සංස්කෘතික වශයෙන් නොතකා හැරීමකට වඩා දේශපාලනමය බරක් ලෙස ගන්නා ලෙස ඉල්ලීමක් කරන්න කැමතියි. නමුත් ඒ කාරණයට මම මැදිහත් වෙන්නෙ නෑ.

පොතට නමක් තෝරද්දි මොන වගේ දේවල්ද හිතුවෙ ?

මේ පොතට නමක් තිබුනෙ නෑ. චරිත තිබුණා. පොත චරිතයක නමකින් හැදින්වූවහොත් එය චරිතයේ කතාවක් වෙනවා. නමුත් මේක චරිත ගොඩක කතාවක් නිසා එබදු තැනකට ගෙන යාමට ඕන වූයේ නෑ. ඒ නිසා පොදු අර්ථයක් ලබා දී 'මේ කතාව' කියන අවිනිශ්චිත නම ලබා දුන්නා . බොහෝ දෙනා කිව්වා මේ නම හිට් වෙන එකක් නෑ කියලා. ඒත් හැමපැත්තම හිතලා මම මේ නම තෝරා ගත්තා.

ලිවීම ඔබට දැනෙන්නේ කොහොමද ?

ලියනවා කියන එක පළමුවෙන්ම මා සදහා සිදු වන්නක්. දෙවනුව එය අනෙකා සමග සිදු කරන සංවාදයක්,තෙවනි වතාවට එය මගේ දේශපාලනය බව කියන්න කැමතියි. එය මං මේ මොහොතේදී ප්‍රකාශ කරනවා. මගේ දේශපාලනය වෙන විදියකට ප්‍රකට නොවන නිසා මං ලියනවා.

සයිබර් අවකාශයෙදි ඔබ ජනප්‍රිය කිවිඳියක්. ඇයි කවි පොතක් නොකර නවකතාවක් ලියන්න හිතුවෙ ?

මම පළමුවෙන්ම පුවත්පත් කළා ක්ෂේත්‍රයේත් පසුව සිවිල් ක්‍රියාකාරිනියක් ලෙසත් වැඩ කළ අයෙක් . පසුව ඒ ක්ෂේත්‍ර වලින් ඉවත්වී පාර්ලිමේන්තු කටයුතු නිරීක්ෂණය පිළිබද වෘත්තියකට අවතීර්ණ වූවා. මේ සමග මට මගේ ලිවීම මග හැරෙනවා.මට ලියන්නැතුව ඉන්න අමාරුයි. මම කවිලියනවා. ලියන කවි බෙදා ගන්න ඕන මට. කවිය ‍මුහුණු පොතේ බෙදා ගත හැකි වුවත් නවකතාව එසේ බෙදා ගත නොහැකියි. මේ නිසා මේ ගැන සිතමින් ඉන්න කාලෙදී මට පොත් ප්‍රකාශකයෙක් මුණගැහුණා. ඒ අනුව තමයි මේ නවකතාව එළි දකින්නේ.

ලියපු නවකතාවක් මුද්‍රණය කරලා ජනගත කරලා වෙළඳපොලට ගේන කාර්යභාරය විශාල එකක්. අලෙවිකරණය කියන එක ඊටත් වඩා ලොකු වැඩක්.

ඇත්තටම පොත එළිදැක්වීමකට මම එකඟවුනේ නෑ. නමුත් පොත් ප්‍රකාශකයා මේ වෙනුවෙන් මුදලක් වැය කරනවා. ඔහු ඉල්ලීමක් කළා නවකතා ලියන්නියක් ලෙස මාව සමාජය නොදන්නා නිසා එළි දැක්වීමක් අවශ්‍ය බව. එය සැබවින්ම ප්‍රායෝගික කාරණයක්. ඒ නිසා මම එයට අනුකුලතාවයක් දැක්වූවා. සයිමන් නවගත්තේගම වැන්නෙක් කිසිදා පොත් එළිදැක්වීමක් සිදු කර නැහැ. නමුත් ප්‍රකාශකයාගේ සහ මුල් පිටපත් කියවූ අයගෙන්ද ඉල්ලීමක් ලෙස මම එයට එකගවූවා. සමහරුන් මට කිව්වා දේශනයක් සිදු කර පොත ජනගත කිරීම වටින බවත් කතිකාවක් සිදු කිරීමට වැදගත්දෙයක් බවත්. ඒ නිසා මම තනිව නෙවෙයි පිරිසක් එක්ව මෙය ජනගත කිරීමට සූදානම්

මේ කතාව ලියවෙන්නේ ගැහැණුන් කේන්ද්‍රකරගෙන. සුරේඛා ඔබ ස්ත්‍රීවාදය දකින්නේ කොහොමද?

මම මාව ස්ත්‍රීවාදිනියක් ලෙස හදුන්වා ගන්නවා. නමුත් ස්ත්‍රීවාදය ලංකාවේ ප්‍රභූ කතිකාව තුළ සිරවී ඇති දෙයක්. ඒක ඇතුලෙ ස්ත්‍රිය හරියට ‍තේරුම් ගත්නේ නෑ වගේම ඉන් පරිබාහිර ස්ත්‍රීන් ස්ත්‍රීවාදී වෙන්නෙත් නෑ . ස්ත්‍රීන් බොහෝ විට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ සවිඥානිකව හෝ අවිඥානිව සමාජයට අනුගතවී ජීවත් වෙනවා හැර තමන්ගේ සුවිශේෂී වූ ප්‍රශ්න වෙනුවෙන් කතා කරන සවිඥානිකව අරගලකරන තැනකට ගියේ නෑ. එය කුණුහරුපයක් නෙවේ අවශ්‍යදෙයක්. ඒත් ලංකාවේ ස්ත්‍රීවාදී කතිකාව තුළ සෑහෙන්න දෝෂ තියෙනවා. ලංකාවේ ස්ත්‍රිවාදී කතිකාව ස්ත්‍රියගේ සැබෑ ප්‍රශ්න කතා කරනවා කියා නියෝජනය කරනවා කියා කිව නොහැකියි. එය පුංචි තැනක සිරවී ඇති ඇති කතිකාවක්. ඒ ස්ත්‍රීවාදී කතිකාවේ ඉදල මම ස්ත්‍රීවාදිනියක් කියල කියන්නෙ නෑ. නමුත් මම ස්ත්‍රීවාදිනියක්.

ලංකාව ඇතුලේ ගැහැණියක් වීම සුරේඛාට දැනෙන්නේ මොන විදිහටද?

ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ උනත් සුළුතරයකට හැර ගැහැණියක් වීම යනු සංකීර්ණ අත්දැකීමක්. ගැහැණියකට සුන්දර අවස්ථා ,අසුන්දර අවස්ථා,ඛේදවාචක සහ අභියෝගාත්මක අවස්ථා තියෙනවා.ඒ සංකීර්ණ අත්දැකීමට මම පත්වුණා. නමුත් පිරිමියෙක් නොවී ගැහැණියක් වීම ගැන මම සතුටු වෙනවා. ගලක් බාධක වලට හසුවී ඔපමට්ටම් වෙනවා සේම ගැහැණියද සමාජය නිසා පිරිමියාට වඩා ඔපමට්ටම් වෙනවා. එය ගැහැණිය ලබන වරප්‍රසාදයක්. ගැහැණියට ප්‍රශ්න තිබුණත් ඒවා අභියෝග ලෙස ගෙන කතිකාවතක් ඇති කළයුතුයි. ඒවගේම මම ගැහැණියක් නොවුනානම් මට ගැහැණු ගැන දැනෙන්නේ නැහැ. මම දැකලා තියෙනවා ස්ත්‍රීවාදී පිරිමින් හිටියාට ඒ අය ගැහැණුන්ගේ සංකීර්ණත්වය වටහා ගෙන නැහැ. ඒ නිසා පිරිමි ගැහැණු ගැන ලියන වාට වඩා වෙනස් ආකාරයකට මම ඒ ගැන දකිනවා.

ගැහැණියක් හැටියට ගැහැණුන් වෙනුවෙන් ඔබ කරන්න බලාපොරොත්තු වෙන්නෙ මොනවගේ දෙයක්ද ?

ඇත්තටම ගැහැණියක් හැටියට මම ලබා ඇති අත්දැකීම්,මගේ ඇතුලේ තියෙන විරෝධාකල්ප,මගේ ඇතුලේ තියෙන සංවේදීතාව ප්‍රකාශ කරනවා කවියක් තුළින්. නමුත් තව දෙයක් කළ යුතුයි මම තවම ඒක ලොකුවට කරනවා කියා මම හිතන්නේ නෑ. ගැහැණුන් බල ගැන්වීම වගේ දෙයක්. සාහිත්‍ය තුළින් එවැනි දෙයක් කළ හැකියි. සමහරුන් සාහිත්‍ය කෘති සිනමා නිර්මාණය සිදු කරන්නේම යම්කිසි දෙයක් කීමටයි. නමුත් ලංකාව වැනි රටක මෙය සාර්ථක වීම අඩුයි. විශ්ව සාහිත්‍යයේ හා විශ්ව සිනමාවේ මෙය සාර්ථක වී තියෙනවා. කාලයකදී මම එබදු දෙයක් කළ යුතුයි කියා මම හිතනවා.දැනට ඇති තත්වය සමග මම යථාර්ථවදී විදියට ෆැන්ටසියක් විදියට එහෙම නැත්තම් අධි යථාර්ථවාදී ලෙස මෙම කොටස් ටික කාල් ගාමින් සිටියාට මීට වඩා වෙනස් මානයකින් විග්‍රහ කරල බලගැන්වීම වැනි තැනකට යාමට කැමතියි. අපේ දූදරුවන්ගේ පරම්පරාව ඒ ඉදරියට යනවානම් මම කැමතියි.

මම බාලිකා පාසලක ඉගෙන ගත්තේ ඒ අවධියේදී මම දැක්කා කෞතුකාගාරයේ ඉදල යන ජර්මන් ගැහැණු ළමයෙක්. ඇය පපුව ඉදිරියට දාල බෑග් එක පිටුපසට දාලා ඇවිදිනවා. අපේ බාලිකා පාසල්වල දැරියන් පපුව හංගනවා. ඔවුන් ස්ත්‍රීභාවය හංගනවා. ලැජ්ජාවක් කියා හිතනවා. එවැනි සමාජ වට පිටාවකයි අපි ඉන්නේ. අපේ ජීවන විලාසයෙන් පවා යමක් කියන්න තියෙනවා නම් හොදයි.මම මේ තේමාව ගැන කතාකරන්න කැමතියි වගේම උනන්දුයි.

පොදුවේ ලංකාවෙ ගැහැණුන්ගෙන් ඉල්ලීමක් කරන්න අවස්ථාවක් ලැබෙනවා නම් ඔබ මොනවාගේ දෙයක්ද ඉල්ලන්නෙ ?

අපේ රටේ ගැණුන්ගෙන් යමක් ඉල්ලා සිටීමේ අවස්ථාවක් ලැබුණොත් මම ඔවුන්ගෙන් ඉල්ලන්නේ සටන් කරන්න කියලයි.ගැහැණුන් ගැහැණුන් ලෙස ඇති ප්‍රශ්න මෙන්ම පුරවැසියන් ගේ ප්‍රශ්න ගැනත් සටන් කරන්න කියා.ලංකාවේ කාන්තාව තරමක් පසුගාමීයි.තමන්ගේ සමස්ත ප්‍රශ්න ගැන සටන් කළ යුතුයි.
පිරිමින් කැමති ලාලසාව නඩත්තුකරමින් සිටින එකමද ලංකාවේ ගැහැණිය කරන්නේ ඊට වඩා එහා දෙයක් නැද්ද කියා මට හැමදාම හිතුනා. ඒ වෙනුවෙන් සටන් කරන්න බලගැන්වෙන්න කියා කියන්න ඕන.

කාන්තාව පසුගාමියි. මේ පසුගාමිකමට හේතුව ඔබ දකින්නේ කොහොමද?

ඒකට හේතු ගොඩක් තියෙන්න පුළුවන්. ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ගණන 13යි. මෙය දකුණු ආසියාවේ ඉතා අඩුම කාන්තා ප්‍රතිශතය වනවා. ඡන්ද අයිතිය පළමුවරට ලැබු සහ ප්‍රථම අගමැතිනිය සිටින රට ලෙස ලංකාව ප්‍රසිද්ධ වුනැත් ඉන් ලංකාවේ ගැහැණිය දේශපාලනික උනා කියල අදහස් වෙන්නෙ නෑ. ලංකාවේ ගැහැණිය දේශපාලනිකව වර්ධනය නොවෙන්න සංස්කෘතික සමාජ කාරණා වගේම පෞද්ගලික කාරණාද හේතුවූවා.

ලංකාවේ සංස්කෘතිය හැඩගැසී ඇත්තේ ගැහැණුන් වසංකර තැබීමේ වටපිටාවකින්. ඒ සංස්කෘතික දෝෂය බලපානවා කාන්තාව ආකල්පමය ලෙස ඉදිරියට යාම වළක්වන්න. ඒ සියල්ල කඩාගෙන ඉදිරියට පැමිණියද ඇයට පෞද්ගලිකව අත්විදීමට ලැබෙන දේ හොද දේවල් නොවේ.ඇයට දරාගත නොහැකි දේ සිදුවෙනවා. පවුල කැඩෙනවා. එයාගෙ ප්‍රතිරූපය විනාස වෙනවා. සහෝදර සහෝදරියන් අහිමි වෙනවා. අනිත් කරණය වමේ දේශපාලනය තුල පවා ගැහැණියක් ඉදිරියට අවොතින් එයාට දෙන තැන මොකක්ද? එයට දෙන තැන තේ හදන්නද? බත් උයන්නද? නැත්තම් සංවිධානය කරන්නද? එයට කවද හරි එතන තීන්දු තීරණ ගන්න කමිටුවට පත්වෙනවද? මාක්ස්වාදී ව්‍යාපාර ඇතුලෙ ගැහැණිය වගකීම් දෙන්න බැරිද? නමුත් එල්ටීටී සංවිධානයේ හිටිය ගැහැණු නායිකාවන් පිළිබඳ නාම මාත්‍රිකව හෝ අපිට මතකයි. ලංකවේ නව වමේ බවිතාව තුල ගැහැණු හිටියද දැන් ඒ ගැහැණු කොහෙද ඉන්නෙ සහ එහෙම මතක තියෙන නම් මතක් කරන්න පුළුවන්ද. එහෙම සංසන්ධත්මකව බැලුවොත් මේ ප්‍රශ්නෙ තියෙනවා. මේ සියලු කාරනා විසින් කාන්තාව දේශපාලනික වීමේ විභවය අඩු කරලා තියෙනවා. කවදාවත් රෝසි සේනානායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක, අනර්කලී කියන්නෙ ලංකාවේ කාන්තාවගේ නියෝජනය නෙමේ. ඒවා වෙනස් වූ පැමිණීම්. ඇයට හිමි වන්නේ එබදු තත්වයක් වීම නිසා කාන්තාව පසුගාමීව සිටිනවා.


සමස්තයක් හැටියට පාටකයින්ගෙ රසවින්දන මොට වෙලාය කියන කාරණය ගැන මොකද හිතන්නෙ

අපි ළමයි විදිහට, තරුණයො විදිහට වැඩිහිටියො විදිහට විඳීම කියන එක අහිමි කර ගත්ත සමාජයක් තමයි ලංකාවේ සමාජය. marketing වලින් අපිට දෙන දෙයක් විඳිනවා ඇරෙන්න විඳින්න දේවල් තියෙනවද? විඳීම සඳහා උසස් කලා කෘති නිර්මාණය වෙනවද නැද්ද? මම අතීත වාදියෙක් වෙනවා නෙමේ නමුත් යම්කිසි කාලයකදී ලංකාවෙ කලාව රසවිඳීම යම්කිසි තැනක තිබුණා. දැන් මිනිස්සු නිතරම තමන්ගෙ ජීවත්වීම උදෙසා අරගල කරනව මිසක් තමන්ගෙ කුඩා දරුවන් පවා හොඳ රැකියාවක් ලබාගැනීමට පොළඹවනවා මිසක් විඳීම කියන එකට රසාස්වාදනය කියන එකට කාලයක් ශ්‍රමයක් මුදලක් යොදවනවා අඩුයි.

විනෝදාස්වාද කර්මාන්තය උනත් ලොකුවට ක්‍රියාත්මක වෙන්නෙ නැති රටක් බවට ලංකාව පත්වෙලා. උදාහරණයක් විදිහට සිනමා කර්මාන්තය කඩා වැටිලා තියෙනවා, පොත් පත් කර්මාන්තය කඩා වැටිලා තියෙනවා. වේදිකා නාට්‍ය කර්මාන්තය කඩාවැටිලා තියෙනවා. වින්දනය කියන එක බිඳ වැටිලා එදිනෙදා ජීවිතය වෙනුවෙන් වැඩකරන පුදුමාකාර කාර්යබහුල, අවිවේකී සහ වෙහෙසකර සමාජයක් බිහිවෙලා තියෙනවා. එතකොට රස වින්දනය අඩු වෙලා තියෙනවා. උසස් කලා කෘති හැදෙන්නෙත් නෑ. ඉල්ලුමට සැපයුම න්‍යායෙන් ඉතා සරල හාස්‍ය මුසු නිරමාණ හැදෙනවා. සමාජයක් හැටියට අපි පසුබාලා තියෙනවා. එක සියලු කලා මාධ්‍යන් වෙනුවෙන් ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඒක එකිනෙකට සහ සම්බන්ධ ප්‍රතිපක්ෂයක් ලෙස කලාව සහ මනුස්සයා තුල ඒ ප්‍රශ්නය තියෙනවා.

නවකතාව ලියන්න ගත් කාලය ගැන කතා කරමු.

මේ නවකතාව ලියන්න මාස 03 ක් ගතවුණා. මගේ රැකියාව අහිමිවීම සමග මට අපහසුතාවන්ට ලක්වන්නට සිදුවුණා. මේ කාලෙදි මගේ යාළුවෙක්ගෙන් මට යැපෙන්නට සිදුවුණා. ඇයටත් එක්ක මම උයනවා . ඇය මට සියල්ල සපයනවා. මේ කාලය තුළ තමයි මම මේ පොත ලියන්නේ. නැවත මාස 03 පසු මට රැකියාවක් ලැබෙනවා. ඒ සංක්‍රාන්ති සමය තුළ තමයි මම මේ පොත ලියන්නේ. අවුරුදු 03 පසුව තමයි ප්‍රකාශකයෙකුට දෙන්නේ.
- http://lankadaily.com/

 

 

සාකච්ඡා

සිව් මංසල - කලා සංග්‍රහය (2)

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

ශ්‍රී ලාංකීය නවකතාව වෙනුවෙන් නව සාහිත්‍ය සම්මාන උළෙලක් ඇරඹේ. සිංහල, දෙමළ...

මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

 මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

ගාල්ල කොටුව කොමර්ෂල් බැංකු ඉපැරණි ගොඩනැගිල්ල උදය කාලය අසූව දශකය මුල් භාගය...

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’ (රාජපක්ෂ චෞර රාජ්‍යයේ වගතුග) 29...

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

නවකතාවක නැත්නම් ප‍්‍රබන්ධ කෘතියක වැදගත්ම දේ තමයි, යම් අච්චුවක දමා...

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

ජනප්‍රිය ගායිකා අයිරින් ද අල්විස් ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයකු ප්‍රවීණ...

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ඇය ජිවිතය සොයා ගියාය. අනේක විධ පාවාදීම් මැද ඇය ජිවිතය...