21 July 2018
RSS Facebook Twitter   

ශ්‍රීලනිපය හා එජාපය එකතුවීම භයානකයි - ආචාර්ය සුමනසිරි ලියනගේ

sumanasri liyanageඅපේ රට තුළ මේ වන විට ගොඩනැඟී ඇති දේශපාලන අස්‌ථාවරත්වය නිසා නුදුරු අනාගතයේදී රටේ ආර්ථිකය කඩාවැටීමේ අවදානමක්‌ මතුවිය හැකි බව ආර්ථික විශේෂඥයන්ගේ මතයයි. මේ දේශපාලන අස්‌ථාවරත්වයට බලපෑ හේතු පිළිබඳවත් ශ්‍රීලනිපයේ හා එජාපයේ එකමුතුවෙන් ඉදිරියට යැමට සූදානම් වන රටේ අනාගතය පිළිබඳවත් ආචාර්ය සුමනසිරි ලියනගේ සමග "දිවයින ඉරිදා සංග්‍රහය" පැවැත්වූ සාකච්ඡාවකි මේ.

ආචාර්ය සුමනසිරි ලියනගේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකි. මෙරට දේශපාලන හා ආර්ථික ක්‍ෂේත්‍රයන්හි ප්‍රාමාණික විද්වතෙකි.

අපේ රට තුළ නිර්මාණය වෙමින් පවතින දේශපාලන හා ආර්ථික අස්‌ථාවරත්වයක්‌ පිළිබඳ විපක්‌ෂය මෙන්ම ආණ්‌ඩු පක්‌ෂයේ සමහරුත් පසුගිය සතියේ නොයෙක්‌ ප්‍රකාශ නිකුත් කර තිබෙනවා. රටේ පවතින මේ අස්‌ථාවරත්වය ඔබ දකින්නේ කොහොමද?

පසුගිය ජනවාරි 8 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් පසු බලාපොරොත්තු වූ පරිදිම බිහිවුණේ පාර්ලිමේන්තුවේ වැඩි බහුතරය නැති ආණ්‌ඩුවක්‌. එයම අස්‌ථාවර තත්ත්වයක්‌. පාර්ලිමේන්තුවේ බහුතරයක්‌ නැති පක්‌ෂයක්‌ බලයට පත්වූ පසු එසේ බලයට පත්වූ දා සිටම ඔවුන් උත්සාහ කරන්නේ ඊළඟ ඡන්දයේදී වැඩි බලයක්‌ ලබාගැනීම සඳහා කටයුතු කිරීමටයි. මේ ආණ්‌ඩුවේ දින 100 වැඩසටහනේ අරමුණත් එයයි. එය ජනවාරි 8 ඇති වූ ජයග්‍රහණය තමන් වෙත රඳවා ගැනීමේ දේශපාලන වැඩසටහනක්‌.

ජනවාරි 8 සිදුවූ වෙනස හුදු එක්‌සත් ජාතික පක්‌ෂයේ වෙනසක්‌ නෙමෙයි. එය එක්‌සත් ජාතික පක්‌ෂයත් ඇතුළු පුළුල් බලවේග ගණනාවක එකතුවක්‌ තුළින් ඇති වූ වෙනසක්‌. නමුත් ජනවාරි 8 ජයග්‍රහණය සඳහා එකතු වූ බලවේග සම ජාතියේ බලවේග නෙමෙයි. ඉතාමත් විෂම ජාතියේ බලවේග. අද රට තුළ ඇතිවී තිබෙන අස්‌ථාවරත්වයට දෙවැනි හේතුව එයයි. ජනවාරි 8 ජයග්‍රහණයට පාදක වූ ඒ බලවේග සියල්ල ගත්විට එය තාවකාලික ජයග්‍රහණයක්‌ වෙනුවෙන් ඇනූ කාඩ් පැක්‌ එකක්‌. ඒ අරමුණ ඉටු වූ පසු මේ කාඩ් පැක්‌ එක නැවත අනන්නෙ නැතිව එකට තියාගන්න බෑ. එසේ නොකොට තබා ගැනීමට උත්සාහ දැරීම නිසයි, මේ අස්‌ථාවරත්වය ඇතිවී තිබෙන්නෙ.

මේ අස්‌ථාවරත්වයට බලපාන තුන්වැනි කාරණය අද රට තුළ ඇතිවී තිබෙන විශාල ආර්ථික අස්‌ථාවරත්වය. මේ ආණ්‌ඩුව පසුගිය මාස 6 ක කාලය තුළ ස්‌ථාවර ආර්ථික ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන බවක්‌ පෙන්නුම් කළේ නෑ. මීට කලින් තිබුණු ආණ්‌ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ගැන විවේචන තිබෙන්න පුළුවන්. නමුත් ඒ ආණ්‌ඩුවට තිබුණා ඔවුන් කරන වැඩ පිළිබඳ ඉදිරි දර්ශනයක්‌. ඒ ඉදිරි දර්ශනය මවිසින් නොයෙක්‌ අවස්‌ථාවල සිදුකළ ප්‍රකාශ මත විවේචනය කරන්න පුළුවන්. නමුත් මේ ආණ්‌ඩුවට එහෙමවත් ඉදිරි දර්ශනයක්‌ නෑ. මේ ගමන් කරන විදිහට නම් ස්‌ථාවර තත්ත්වයක්‌ ඇති නොකළොත් ආර්ථිකය බරපතළ කඩාවැටීමකට ලක්‌වෙනවා. මෙන්න මේ හේතූන් නිසා අද අපේ රටේ තියෙන දේශපාලන ආර්ථික හා සමාජ තත්ත්වය හැමදෙනාගෙම සිත් තුළ අවිනිශ්චිතතාවක්‌ ඇති කර තිබෙනවා.

මේ ආණ්‌ඩුවේ දින සියයේ පොරොන්දුවක්‌ ලෙස ඉදිරිපත් වූ අලුත් මැතිවරණ ක්‍රමය අද වනවිට ආණ්‌ඩුව තවදුරටත් පවත්වාගෙන යැමේ උපක්‍රමයක්‌ බවට පත්වී තිබෙන බව ඇතැමුන් දරන මතයක්‌?

මේ මැතිවරණ ක්‍රමය වෙනස්‌ කළ යුතුයි කියන අදහස මා හිතන්නෙ 1978 ව්‍යවස්‌ථාව සම්මත කළ දා සිටම වැදගත් කොට සැලකූ කාරණයක්‌. ඡන්ද ක්‍රමය වෙනස්‌ කිරීම ප්‍රධාන කාරණයක්‌ ලෙස දින සියයේ වැඩපිළිවෙළටත් ඇතුළත් වුණේ එය ජනතා අවශ්‍යතාවක්‌ ලෙස දිගු කලක්‌ තිස්‌සේ පැවතීම නිසයි. ඒ සම්බන්ධයෙන් අද මතුවෙලා තිබෙන ප්‍රශ්නය නම් මෙය සිදුකරන්නේ කෙසේද යන්නයි. ඒ ප්‍රශ්නය හමුවේ මතුවෙන මූලික කාරණයක්‌ නම් මැතිවරණ ක්‍රමය වෙනස්‌ කොට ඒ මැතිවරණ ක්‍රමයට අලුතින් ඡන්දයක්‌ පවත්වනවා නම් මේ පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කරන්න වෙනවා. එසේ නැතිව මෙය කරන්න අමාරුයි. නමුත් එක්‌සත් ජාතික පක්‌ෂයට එසේ කල් ගැනීමට බැහැ, එයට හේතුව ඔවුන් කල්පනා කරන්නේ ජනවාරි 8 සිදුවූ වෙනස තමන්ගේ පැත්තට හරවා ගැනීමට නම් කෙටි කාලයක්‌ තුළදී ජනතාවට සහන ලබාදී වහා මැතිවරණයකට යා යුතු බව. එමනිසා මේ සිදුකිරීමට සූදානම් වන මැතිවරණ ප්‍රතිසංස්‌කරණයන්ට බාධා කරන ප්‍රධාන දේශපාලන ධාරාව එක්‌සත් ජාතික පක්‌ෂයයි. මේ මැතිවරණ ප්‍රතිසංස්‌කරණය සඳහා ඔවුන් කිසිසේත්ම ප්‍රායෝගික නොවන ගණන් හිලව් ඉදිරිපත් කරන්නේ ඒ නිසයි. 20 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට මොනව වෙයිද කියල නක්‌ෂත්‍ර කාරයෙක්‌ වගේ මට අදහසක්‌ ප්‍රකාශ කරන්න බෑ. එක්‌සත් ජාතික පක්‌ෂය විරුද්ධ වුණත් මේ පාර්ලිමේන්තුව තුළදී එය සම්මත වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. කෙසේවෙතත් මේ 20 වැනි සංශෝධනය ඇත්තවශයෙන්ම පෙන්නුම් කරන්නේ ජනවාරි 8 වැනිදා එකතුවූ බලවේගයන්ට තවදුරටත් එකට සිටිය නොහැකි අස්‌ථාවර ස්‌වභාවයයි.

මේ අස්‌ථාවරත්වයට විසඳුම ආණ්‌ඩුව විසුරුවාහැරීමද?

මේ අස්‌ථාවරත්වය හරහා මතුවෙන ප්‍රධාන අභියෝගය ආර්ථිකය කඩාවැටීම. මහ මැතිවරණයකට මුහුණ දෙන විට සෑම පක්‌ෂයකටම තමන්ගේ ආර්ථික වැඩපිළිවෙළ ලැයිස්‌තු ගත කරන්න සිදුවෙනවා. එය ගෑස්‌ මිල අඩු කිරීම්, තෙල් මිල අඩුකිරීම්, දූෂණ නැතිකිරීම් වැනි බොහොම ව්‍යqක්‌ත ප්‍රකාශවලට සීමාකරල හරියන්නේ නෑ. අපේ රටේ ආර්ථිකය කුමන සංවර්ධන මාවතක්‌ ඔස්‌සේ රැගෙන යනවාද? එයින් ජනතාවට ඇතිවන සෙත කුමක්‌ද යන්න ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන්නට මහ මැතිවරණයකට ඉදිරිපත් වෙන පක්‌ෂවලට සිදුවෙනවා. මම දකින විදිහට නම් මේ වන විට එක්‌සත් ජාතික පක්‌ෂයට එහෙම වැඩපිළිවෙළක්‌ නෑ. ශ්‍රීලනිපයටත් පරණ වැඩපිළිවෙළ නොව වෙනත් වැඩපිළිවෙළක්‌ තිබෙන්නට ඕන. වර්තමාන දේශපාලන තත්ත්වය තුළ මතුව ඇති බලපොරය තුළ ප්‍රධාන පක්‌ෂ දෙකම ආර්ථිකයේ ප්‍රශ්නය සෑහෙන දුරට පැකට්‌ කරලයි තියෙන්නෙ. එය වැඩි සැලකිල්ලකට ගන්නේ නෑ. වර්තමාන දේශපාලන බලපොරය තුළ රටේ තීරණාත්මක ප්‍රශ්න ඉදිරියට නොගන්නා තත්ත්වයක්‌ පෙනෙන්නට තිබෙනවා.

මේ වර්තමාන දේශපාලන බලපොරය නිමාකිරීම සඳහා ශ්‍රීලනිපය හා එජාපය එකමුතුව රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක්‌ තමා සතුව තිබෙන බව ජනාධිපතිතුමා පසුගියදා ප්‍රකාශ කළා. ඇත්තවශයෙන්ම මෙය අපේ රටේ යථාර්ථයක්‌ බවට පත්කළ හැකිද?

1952 සිට අපේ රටේ දේශපාලන ඉතිහාසය දෙස බලන විට දේශපාලන බලය සඳහා පොරවැදුණු ප්‍රධාන පක්‌ෂ දෙක එජාපය හා ශ්‍රීලනිපයයි. මේ දෙක එකතුවීම අනතුරුදායකයි. එසේ එකතුවීමට තිබෙන ඉඩකඩත් ඉතාම අස්‌වාභාවිකයි. ඔක්‌කොම එකතුවෙලා රට ගොඩනඟමු කියල කියන්න පුළුවන්. බැලූ බැල්මටමත් එය ඉතාමත් හොඳ අදහසක්‌. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්‌ ඇතුළෙ දේශපාලන පක්‌ෂ බිහිවෙන්නේ බලය අල්ලා ගැනීමට සහ රට පිළිබඳ වෙනත් අදහස්‌ ක්‍රියාත්මක කිරීමටයි. ඒ අරමුණින් බිහිවෙන පක්‌ෂ දෙකක්‌ එකට එකතුවෙනවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට බරපතළ හානියක්‌.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ කිහිපදෙනෙක්‌ එක්‌සත් ජාතික පක්‌ෂයට ඇතුල් වී හෝ එක්‌සත් ජාතික පක්‌ෂයේ කිහිප දෙනෙක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට ඇතුල් වී ආණ්‌ඩු පිහිටුවිය නොහැකි බව මා කියන්නේ නෑ. එහෙම පිහිටුවාගත් ආණ්‌ඩු මේ රටේ තිබුණා. නමුත් මේ පක්‌ෂ දෙකට එකතු වී ආණ්‌ඩුවක්‌ හදනවා කියන එක නම් ඉතාම බැරෑරුම් කාර්යයක්‌. එය නොවිය යුත්තක්‌. දේශපාලන බලපොරය කියන්නෙ මහ විශාල පරාසයක පැතිරුණු තරගයක්‌. ඒකෙ ඇමැතිකම් තියෙනවා, උප ඇමැතිකම් තියෙනවා, නියෝජ්‍ය ඇමැතිකම් තියෙනවා, රාජ්‍ය සංස්‌ථා සභාපතිකම්, තානාපතිකම් තියෙනවා. මේ සියල්ලම දේශපාලන බලපොරයේ අංශ. දේශපාලන බලය නැතිවෙනවා කියන්නෙ මේ ඔක්‌කොම නැතිවෙනවා. මේ පක්‌ෂ දෙකම හැදිල තියෙන්නෙ මේ දේශපාලන බලය අල්ලගන්න. රට පිළිබඳ මේ දෙපක්‌ෂයටම කැක්‌කුමක්‌ තියෙන්න පුළුවන්. නමුත් මේ පක්‌ෂ දෙකේම ව්‍යාපෘති හැදිල තියෙන්නෙ දේශපාලන බල ධාරාව තමන් වසඟයට ගන්නේ කෙසේද යන්න මතයි. එමනිසා මේ ප්‍රධාන පක්‌ෂ දෙක එකතුවීම ප්‍රායෝගික වෙන්නෙත් නෑ. දීර්ඝකාලීන වශයෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගත්තත් මේ වගේ සාමාන්‍ය තත්ත්වයක්‌ තුළ එය යහපත් දෙයක්‌ ලෙස හිතන්න බෑ.

සාකච්ඡා කළේ පාලිත සේනානායක
උපුටා ගැනීම - http://www.divaina.com/

 

 

සාකච්ඡා

සිව් මංසල - කලා සංග්‍රහය (2)

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

ශ්‍රී ලාංකීය නවකතාව වෙනුවෙන් නව සාහිත්‍ය සම්මාන උළෙලක් ඇරඹේ. සිංහල, දෙමළ...

මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

 මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

ගාල්ල කොටුව කොමර්ෂල් බැංකු ඉපැරණි ගොඩනැගිල්ල උදය කාලය අසූව දශකය මුල් භාගය...

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’ (රාජපක්ෂ චෞර රාජ්‍යයේ වගතුග) 29...

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

නවකතාවක නැත්නම් ප‍්‍රබන්ධ කෘතියක වැදගත්ම දේ තමයි, යම් අච්චුවක දමා...

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

ජනප්‍රිය ගායිකා අයිරින් ද අල්විස් ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයකු ප්‍රවීණ...

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ඇය ජිවිතය සොයා ගියාය. අනේක විධ පාවාදීම් මැද ඇය ජිවිතය...