22 January 2018
RSS Facebook Twitter   

'සමහරුන්ට රනිල් විරෝධය කියලා ලෙඩක් හැදිලා' - ගාමිණී වියන්ගොඩ

gamainiදේශපාලන කරුණු කාරණා පිළිබඳ නිරතුරුවම අවදියෙන් සිටින සජීව දේශපාලන ක්‍රියාකාරිකයකු වන ගාමිණි වියන්ගොඩ මහතා සමඟ 'සිළුමිණ' පුවත්පත පැවැත්වූ මේ කතාබහේදී කාලීන දේශපාලනයට අදාළ වැදගත් මාතෘකා කිහිපයක්ම සංවාදයට බඳුන් වි ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව පුළුල් සමාජ කතිකාවක් මේ වන විට නිර්මාණය වී තියෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව පිරිසක් කියත්දි තව කණ්ඩායමක් එසේ කිරිම අවශ්‍ය නොමැති බව කියනවා. ඔබ මේ සංවාදයට එකතු වෙන්නේ කොතැනින් ද?

මෙහෙමයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු නැහැ කියලා කියන අයගේ ප්‍රධාන තර්කයක් වෙන්නෙ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට දීපු පොරොන්දුව ඉෂ්ට කරන්න තව තියෙනවා කියන එකයි. මම ඒ තර්කයට විරුද්ධ නැහැ. ජනවාරි 08 දාට පෙර මේ රටේ ජනතාවට දීපු පොරොන්දු ඉෂ්ට කිරීමේ සදාචාරාත්මක බැඳීමක් මේ ජනාධිපතිවරයාට, ආණ්ඩුවට තියෙනවා ය කියලා මමත් කියනවා.

ඒ ගැන ගැටලුවක් නැහැ. නමුත් මෙතැනදි මම ප්‍රශ්න කරන්නෙ පාර්ලිමේන්තුව විසුරුවා නොහැරිය යුතු ය කියලා කියන්නෙ, ඒ කියන වගකීම ඉෂ්ට කිරීමට ද කියන කාරණයයි. මේ ඉල්ලන්නේ ඒක සඳහා නෙවෙයි කියන එක හරි පැහැදිලියි. 19 වන ව්‍යවස්ථා සංශෝධණය සම්මත කරගන්න යෑමේදී ඒක අපි හොඳටම දැක්කා. අද මේ ඇවිත් තියෙන්නේ අපි බලාපොරොත්තු වුණු 19 වන සංශෝධනය නොවෙයි. ඒ වෙනුවට සම්පූර්ණයෙන් ඈලි මෑලි වූ දියාරු වූ 19 ක් තමයි එළියට ආවේ. ඒකට තිබුණු හැම ඉඩක්ම අහුරලා කකුලෙන් ඇද්ද නිසයි එහෙම වුණේ. ඒකට හොඳම උදාහරණය ව්‍යවස්ථාදායක සභාව.

ඒක ගෙනාවේම නිර්දේශපාලනිකරණය වෙනුවෙන්. එහෙම තිබියදී ඒකට දේශපාලනඥයන්ව හත්දෙනෙක් දානවා. දේශපාලනඥයන් හත්දෙනෙක්ව දාලා රාජ්‍ය සේවය නිර්දේශපාලනීකරණය කරන්න කියලා අපි එයට දැන් කියනවා. මොකක්ද ඒ විහිළුව. විපක්ෂය හා යම් යම් ප්‍රතිගාමීන් එකට එක්ව ඒ විදිහට 19 පවා සම්පූර්ණ කණපිට හැරවීමක් කළා. මෑත කාලීන අතීත අත්දැකීම් එහෙමනම් 20 පිළිබඳ අලුත් බලාපොරොත්තුවක් තියාගන්න අපිට බැහැ. ඒ නිසා 20 පිළිබඳ ව්‍යාජ අපේක්ෂාවක් තියාගෙන වෙනත් දේශපාලන අභිමතාර්ථයකට අපි ඉඩ දිය යුතු නැහැ. ඒක යහපාලනයට පටහැනියි.

ඔය ඔබ කියන අභිමතාර්ථය මොකක්ද?

පුළුවන් තරම් මහ මැතිවරණය කල් දමා ගැනීම හා ඒ කල් දමා ගැනීමෙන් ලබාගන්නා ඉඩකඩ මහින්ද රාජපක්ෂ කඳවුරට ලබාදීම එම අභිමතාර්ථයයි. ඒක අපිට හොඳටම පෙනෙන්නට තියෙනවා. හැමදාම දැන් මහින්ද රාජපක්ෂ පන්සලකට යනවා. අද ලංකාවේ තියෙන පන්සල්වල වෙන්නේ ආගම ධර්මයට සම්බන්ධ කටයුතු නෙමෙයි. ඒ වෙනුවට මහින්ද රාජපක්ෂව ගෙනත් දේශපාලනය කරන දේශපාලන මධ්‍යස්ථාන බවට ඒවා පත්ව තිබෙනවා.

සිදුවෙමින් පවතින මේ විසූකදස්සන එක්ක පන්සලක කළ යුතු ‍කටයුතු මොනවද පන්සලක නොකළ යුතු දේවල් මොනවද කියලා ඒවායේ ඉන්න චීවරධාරින්ට නොතේරෙන ගතියක් අද පෙනෙන්නට තියෙනවා. උදාහරණයක් හැටියට අභයාරාමය වගේ තැනක් ගත්තට පස්සේ බණ පිරිත් වෙනුවට මහින්ද රාජපක්ෂගේ බණ පිරිත් තමයි එතැනින් වැඩිපුර ඇහෙන්නේ. මහින්ද රාජපක්ෂ බොහෝම නිර්ලජ්ජිත ආකාරයට පන්සල් පවා තම දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් අද පාවිච්චි කරමින් ඉන්නවා.

මහ මැතිවරණය ඉක්මනින් පැවැත්වීම අනවශ්‍යයි කියලා කියන්නේ මහින්ද හිතවාදීන් විතරක් නෙමෙයි. මේ ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කරුවකු වන ජාතික හෙළ උරුමයත් ඉන්නේ එතැන. වෙ‍ෙනකක් තියා 20 සම්මත කරගැනීමකින් තොරව පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැහැ කියලා ජනාධිපතිවරයත් කියනවා නේද?

අපි පහුගිය බ්‍රහස්පතින්දා ජනාධිපතිතුමා හා අගමැතිතුමා එක්ක මේ ගැන සාකච්ඡාවක් පැවැත්වූවා. එතැනදීත් ජනාධිපතිතුමා කිව්වේ දිනන්න හෝ පරදින්න විස්ස ගේන්න ඕනෑ ය කියලයි. එතුමාගේ තර්කය වුණේ මේක අපි ගේමු, පැරදුණොත් මෙන්න මේ අය නිසා පැරදුණා කියලා රටට කියන්න පුළුවන් ය කියන එකයි. ඒ තර්කයේ ඇත්තක් තියෙනවා. ඒත් ඒ සඳහා තව කොච්චර කල් යනව ද? ඒක ලබන සුමානේ කරනවානම් හොඳයි.

නමුත් එහෙම කෙරෙන්නෙ නැහැනේ. බලන්න ව්‍යවස්ථාදායක සභාව තාම පත්කරගන්න බැරි වුණා. අපි මේකෙන් අර අයට අවශ්‍ය කරන කාලය දෙනවා. එහෙමනම් අපේ පැත්තෙන් අපි කළ යුත්තේ ලබන සුමානේ අහවල් දවසේ අපි මේක දානවා, මේකට කැමති ද නැද්ද කියලා එදාට කියන්න, එතැනින් පස්සෙ අපිට ඉස්සරහට යන්න පුළුවන්. නමුත් එහෙම වෙන්නෙ නැහැ. මේක දිග්ගැස්සෙනවා. ඇදි ඇදි ඉදිරියට යනවා. ඔබ කියපු කථාව ඇත්ත.

මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම විතරක් නෙමෙයි මේකට අකමැති අය ආණ්ඩුව ඇතුළෙත් ඉන්නවා. අපිට එය පෙනෙනවා. 19 මේ තරම් දියාරු කරගන්න තල්ලුව දුන්නේ ආණ්ඩුව ඇතුළේ ඉන්න යම් යම් කොටස් තමයි. විශේෂයෙන්ම චම්පික රණවක, රතන හිමි වගේ අය ගත්තට පස්සේ ඒ අයට වෙන වෙන දේශපාලන උවමනාවන් තියෙනවා. ඒ එක්කම දැන් රනිල් විරෝධය කියලා ලෙඩක් හැදිලා තියෙනවා. හුඟක් අය ඒ රනිල් විරෝධය කියන ලෙඩින් පෙළෙනවා. ඒ අයගේ දේශපාලනය වෙන්නේම රනිල් විරෝධය කියන එකයි.

ඔය කියන රනිල් විරෝධය කියන ලෙඩේ තියෙන අය එක්ක ජනාධිපතිතුමාව මුණගැහෙන්න ඔබලා ගියේ ඇයි?

නැහැ. අපි ඒ අය එක්ක ගියේ නැහැ. පුරවැසි බලය විදිහට හා මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ජනාධිපතිවරණ සමයේදී අත්සන් කළ අවබෝධතා ගිවිසුමේ පාර්ශ්වකරුවෙක් හැටියට අපිට ඒ කථාබහ සඳහා ආරාධනාවක් ලැබී තිබුණා.

ඒ සියලු කණ්ඩායම් බ්‍රහස්පතින්දා පැවැති සාකච්ඡාවට ගියේ 20 වන සංශෝධනය සම්මත කිරීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියන ඉල්ලීම කරන්න ය කියලා අදහසක් සමාජගතව තිබුණා. එතකොට ඒ කථාව බොරුවක් ද?

නැහැ. එහෙම දෙයක් නෙවෙයි වුණේ. ප්‍රතිපත්තිමය වශයෙන් විසිවන සංශෝධනයට අපි එකඟයි, නමුත් අපි අවබෝධ කරගත යුත්තේ මෙතැන තියෙන සත්භාවය, අභිමතාර්ථය මොකක්ද කියන එකයි. ඒක 20 සම්මත කරගැනීම සඳහා නෙවෙයිනේ. ඒක අපි පැහැදිලිව එතැනදි කිව්වා.

මම කලින් කියපු අර අවබෝධතා ගිවිසුමට අස්සන් කළ පාර්ශ්වකරුවන් හතළිස් ගණනට ඒ සාකච්ඡාවට ආරාධනා කළා කියලා අපිට කිව්වට රතන හාමුදුරුවොත් එතැනට ඇවිත් හිටියා. රතන හාමුදුරුවෝ එතැනට ආවේ කොහොමද කියන එක අපිටත් තියෙන ප්‍රශ්නයක්. අර අවබෝධතා ගිවිසුම අස්සන් කරන දවසේ රතන හාමුදුරුවෝ ආවත් ඒකට අස්සන් කිරීම ප්‍රතික්ෂේප කළා. අස්සන් කළේ නැහැ. ඒ වෙද්දි කළ යුත්තේ කුමක් ද කියලා ජාතික හෙළ උරුමය තීරණයක් අරන් හිටියේ නැහැ.

ජාතික හෙළ උරුමයට සැඟවුණු න්‍යාය පත්‍රයක් තියෙනවා ය කියල ද ඔබ කියන්නෙ?

ඒක බොහෝම පැහැදිලියි. ඔවුන්ට සැඟවුණු න්‍යාය පත්‍රයක් තියෙනවා. ඉක්මනින් මැතිවරණයකට යෑම වළක්වා ගන්නා තරමට එක්සත් ජාතික පක්ෂය විසින් ලබාගත හැකි ජයග්‍රහණයක් වළක්වන්න පුළුවන් ය කියලා ඔවුන් කල්පනා කරන බවක් පෙනෙන්නට තියෙනවා.

එජාපයත් ඒකට ආයුධ සපයනවා. උදාහරණයක් විදිහට මහ බැංකුවේ සිද්ධිය ගන්න. ඒක සිදු නොවිය යුතුව තිබු දෙයක්. ඒකෙන් අර අයට ආයුධයක් ලැබුණා. දැන් ඒකෙන් ඔවුන් පහර දෙමින් ඉන්නවා. රේගුවේ ප්‍රධානියා ඉවත් කිරිම කියන්නෙත් එහෙම එකක්. එන්න එන්න එහෙම දේවල් වෙනවා ය කියන එක අර අය දන්නවා. ඒ නිසා ඡන්දේ පරක්කු වෙන තරමට එජාපය දුර්වල කළ හැකියි කියලා ගණනය කිරීමක් ජාතික හෙළ උරුමයට තියෙනවා.

යූඑන්පියට බහුතරය ලැබෙන බව ඒ අය දන්නවා. නමුත් ඒක අඩු කරමින් අනිත් පැත්තෙන් විපක්ෂයෙන් ද පිරිසක් එකතු කරගෙන බල තුලනයක් කරගැනීමටයි ඔවුන් උත්සාහ කරන්නේ. ඔවුන්ට ඩීල් කළ හැක්කේ, ලීවරය හැසිරවිය හැක්කේ එතකොටයි.

මේ අර්බුදකාරී තත්ත්වය තුළ ජනාධිපතිවරයාගේ භූමිකාව කුමක් විය යුතු ය කියල ද ඔබ කියන්නෙ?

ඇතිවෙමින් තියෙන මේ දේශපාලන පෙළගැසීම් පිටුපස ඇති සැබෑ දේශපාලනය අවබෝධ කරගැනීමට ජනාධිපතිවරයා සමත්විය යුතුයි.

ඒ සඳහා සාධාරණ කාලයක් ලබාදීම සුදුසු නැද්ද?

මෙහෙමයි. අපි මේ කථා කරන දේ දින 100 ට කලින්නේ දාගෙන තිබුණේ. දැන් දින 100 පැනලා දින 200 ට ළඟාවෙමින් තියෙනවා. ඒ නිසා සාධාරණ කාලයක් කියලා තව කොපමණ කාලයක් ලබාදිය යුතු ද? ඒ කාලය තුළ ප්‍රතිවිපාකය හැටියට එන්නේ අපි බලාපොරොත්තු වන දේශපාලනය නොවෙයිනම් මේ කාලය හැකිතරම් කෙටිකර ගත යුතුව තියෙනවා. ඇත්තටම ඒක ජනාධිපතිතුමා තේරුම් ගත යුතු දෙයක්. ඒ අවබෝධය එතුමට තියෙනවා.

නමුත් එතුමගේ තියෙන සද්භාවය නිසාම දීපු පොරොන්දුවලින් පුළුවන් තරම් වැඩි ප්‍රමාණයක් කොහොමහරි ඉෂ්ට කරගෙන යන්න ජනාධිපතිවරයාට අවශ්‍ය වී තියෙනවා. ඒත් ඔය කොහොමහරි ඉෂ්ට කරගෙන යනවා ය කියන එකටනම් මම එකඟ නැහැ. වැරැදි ක්‍රමයකින් අල්ලස් දීම් හරහා ඒක කරන්න හදනවානම් ඒකට මම එකඟ නැහැ. දැන් ඔය කරන ඇමැති ධුර ලබාදීම මමනම් දකින්නේ අල්ලසක් හැටියටයි.

අල්ලස් දීලා ගන්න පුළුවන් හොරුන් විතරයි. ප්‍රතිපත්තිගරුක මිනිස්සු අල්ලස්වලට ගන්න බැහැ. ඒ නිසා ඇමැතිකමක් දීලා ගන්න මිනිහා හොරෙක්ම තමයි. එහෙම ප්‍රතිසංස්කරණ අපිට අවශ්‍ය නැහැ. ඒ වගේ ප්‍රතිසංස්කරණ කොහොමටත් දියාරු වෙනවාමයි. ඒ විදිහට ගත්තත් විස්ස පිටිපස්සේ දුවන එක නිරර්ථක ව්‍යායාමයක් හැටියටයි මම දකින්නේ.

ඔබ, කතා කරන විදිහට කාලය ඔබට සෑහෙන වැදගත් ය කියලා මට හැ‍ඟෙනවා. නමුත් වඩා වැදගත් වෙන්නේ දින වකවානුවලට කොටු නොවී ජනාධිපතිවරණ සමයේදී වූ පොරොන්දු ඉටු කිරීම නෙමෙයි ද?

ඒවා ඉටුකළ යුතුයි. ඒත් අපි ඒ පොරොන්දු වුණු වැඩපිළිවෙළ, දින 100 කින් කරන්න පොරොන්දු වුණේ ඇයි කියන ප්‍රශ්නය එතැනදි මතු වෙනවා. දින 100 කින් මේවා කළ හැකියි කියලා ඇස්තමේන්තු කරලා තිබුණා. ඒක එක පැත්තකින් වැරැදි ඇස්තමේන්තුවක්. අනික් පැත්තෙන් සුජාතභාවය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. මොකක්ද ඒ සුජාතභාවය? ජනාධිපතිවරණයෙන් පත්වෙන මෛත්‍රීපාල සිරිසේන මම බලයට පත්වුණහම අගමැති කරන්නේ රනිල් වික්‍රමසිංහවයි කියලා මැතිවරණ වේදිකාවේදී කියනවා. රනිල් වික්‍රමසිංහ හා එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ 2010 මහා මැතිවරණයෙන් ප්‍රතික්ෂේප වූ නායකයෙක් හා පක්ෂයක්.

මෛත්‍රීපාල සිරිසේන මහත්තය පොරොන්දු වෙන්නෙ අරහම කෙනෙක්ව අගමැති කරන්නයි. එතකොට 2010 දී ලැබුණ ජනවරම වෙනස් වෙනවා. ඒ නිසා මේක සුජාත පාර්ලිමේන්තුවක් නෙවෙයි. අර කියන දේවල් ටික කරගන්න ඒක ඉතා කෙටි කාලයකින් පාවිච්චි කළ යුතුව තියෙනවා. එහෙම නැතුව ලබන අප්‍රේල් දක්වා යන්න මේ ආණ්ඩුවට අයිතියක් නැහැ. හොඳ දෙයක් කිරීම සඳහා කෙටි කාලයක් පාවිච්චි කිරීම ජනාධිපතිවරණයේදී ජනතාව ඕ. කේ. කරලා තියෙනවා. ඒත් දින සීයෙන් පසුවත්, අර විදිහට මේක පාවිච්චි කළ යුතුයි කියලා ජනතාව ඕ. කේ. කරලා නැහැ.

ඔබ අනාගත වාක්‍ය පවසන්නෙක් නොවන විත්තිය මම දන්නවා. නමුත් මේ ඇතිවෙමින් තියෙන අර්බුදයේ කෙළවර කුමක් කියල ද ඔබ හිතන්නෙ?

මහ මැතිවරණය පැවැත්වීම ලබන සැප්තැම්බරය වන තෙක් පහුවුණොත් ජනාධිපතිතුමා ඇතුළු යහපාලන කණ්ඩායමට ඉතාමත්ම නරක ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිද්ධ වෙනවා. ඒ නිසා සැප්තැම්බරයට පෙර මහා මැතිවරණය පැවැත්විය යුතුයි. අපේ රටේ දේශපාලනය, තුළ සම්පත් තියෙන අයට කළු සල්ලි තියෙන අයට බොහෝම පහසුවෙන් මිනිස්සුන්ගේ මතය වෙනස් කරන්න පුළුවන්. මහින්ද රාජපක්ෂලා අද කරමින් ඉන්නේ ඒක තමයි.

ඕනැතරම් සල්ලි ඒ අයට තියෙනවා. ඒවා යොදා ගනිමින් තව මාස තුන හතරකින්, ආපහු මිනිස්සු හරවන්න ජනතා මතය වෙනස් කරන්න ඒ අයට පුළුවන්. රුපියල් දහදාහකින් පඩි වැඩි වුණා ය කියන එක පෙට්ට්‍රල් ඩීසල් අඩු වුණා ය කියන එක දැන් මිනිස්සුන්ට අමතකයිනේ. නිදහසේ කථා කරන්න පුළුවන් කියන එක දැන් මිනිස්සුන්ට අමතකයි. ඒවායේ තිබුණු ආකර්ෂණය එන්න එන්න අඩු වෙනවා. මහින්ද රාජපක්ෂ ඒක දන්නවා. එයා හරි ශූර දේශපාලනඥයෙක්. එයාට අවශ්‍ය පැය විසිහතරෙන් විසිහතරට මේක වැඩි කරගන්නයි. ඒක පාවිච්චි කරන හැටි එයා හොඳට දන්නවා. ඒ ගැන අපි ඔහුට කියා දිය යුතු නැහැ.

ඒ නිසා මෙතැනදි අපි සැහැල්ලුවෙන් හුස්ම නොගත යුතුයි. ඉතා ප්‍රවේශම් විය යුතුයි. මම කියන්නේ ඒකයි. ප්‍රතිපත්තිමය වශයෙන් මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුයි කියන කාරණයට මම 100% ක් එකඟයි. නමුත් ඔය 225 හා 255 ගැන මට ප්‍රශ්න තියෙනවා. 255 ක් අවශ්‍ය නැහැ කියන තැනයි මම ඉන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය දියුණු වෙනවා ය කියලා කියන්නේ නියෝජිතයන්ගේ ප්‍රමාණය අඩු වෙනවා ය කියන එකයි. එදා ඇතැන්ස්වල මුළු නගරයම හිටියනේ. ඒක තමයි දියුණු වී මුළු නගරයම වෙනුවට නගරයෙන් ටික දෙනෙක්, ටික දෙනෙක් කියලා, ඉදිරියට ආවේ. අපේ රටේ මිලියන 22 කට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 ක් ඉන්නවා.

ඒත් ඉන්දියාවේ කෝටි 125 කට ලෝක් සභාවේ ඉන්නේ 545 යි. ඕස්ට්‍රේලියාවේ මිලියන 23 කට මන්ත්‍රීවරු ඉන්නේ 150 යි. ඉතිං ඒ අයට පුළුවන්නම් අපිට බැරි ඇයි? අනිත් පැත්තෙන් එදා 1987 දී 13 වන සංශෝධනය සම්මත කරගෙන මොකක්ද අපි කළේ? කාරණා 2 ක් ඉන් බලාපොරොත්තු වුණා. ජාතික ප්‍රශ්නයට විසඳුමක් වගේම රාජ්‍යය ප්‍රජාතන්ත්‍රියකරණය ඒ හරහා අපේක්ෂා කළා. ඒ සඳහා බලය විමධ්‍යගත කළා. පළාත් සභා ඇතිවුණේ ඒ නිසයි. බලය එහාට යද්දි මෙතැන මන්ත්‍රීවරු එන්න එන්න වැඩි වෙන්නේ කොහොම ද? 87 දී මේක සම්මත කරගෙන අවුරුද්දක් යන්න කලින් එකසිය ගණනක්ව තිබුණු මන්ත්‍රීවරු ගණන දෙසිය විසිපහකට ඉහළ නැංවූවා.

බලය විමධ්‍යගත කර ඇති නිසා හරිනම් කළ යුතුව තිබුණේ අඩු කිරීමයි. නමුත් එහෙම කළේ නැහැ. දේශපාලන සදාචාරය මැනවින් වර්ධනය වූ දියුණු රටක නම් නියෝජිතයන් වැඩිවන එක හොඳයි. නමුත් අපේ රටේ නියෝජිතයන් වැඩිකරගන්නවා ය කියලා කියන්නේ හොරු කසිප්පුකාරයන් ස්ත්‍රී දූෂකයන් වැඩිකර ගන්නවා ය කියන එකයි. එහෙම වැඩිකරගන්න පාර්ලිමේන්තුවකට මම එකඟ නැහැ.

(චාමර ලක්ෂාන් කුමාර)

- http://www.sinhala.srilankamirror.com/ -

 

 

සාකච්ඡා

සිව් මංසල - කලා සංග්‍රහය (2)

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

ශ්‍රී ලාංකීය නවකතාව වෙනුවෙන් නව සාහිත්‍ය සම්මාන උළෙලක් ඇරඹේ. සිංහල, දෙමළ...

මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

 මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

ගාල්ල කොටුව කොමර්ෂල් බැංකු ඉපැරණි ගොඩනැගිල්ල උදය කාලය අසූව දශකය මුල් භාගය...

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’ (රාජපක්ෂ චෞර රාජ්‍යයේ වගතුග) 29...

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

නවකතාවක නැත්නම් ප‍්‍රබන්ධ කෘතියක වැදගත්ම දේ තමයි, යම් අච්චුවක දමා...

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

ජනප්‍රිය ගායිකා අයිරින් ද අල්විස් ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයකු ප්‍රවීණ...

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ඇය ජිවිතය සොයා ගියාය. අනේක විධ පාවාදීම් මැද ඇය ජිවිතය...