21 July 2018
RSS Facebook Twitter   

රංගධරයකුගේ සිංහාවලෝකනය

tony ranasinheසිංහල සිනමාව බිහි කළ විශිෂ්ටතම නළුවන්ගෙන් කෙනකු වූ ටෝනි රණසිංහ ගේ සම්පූර්ණ රංග චාරිකාවම කැටි කොට ගත් සුවිශේෂී සංවාදයක්. මේ සංවාදයේ විශේෂත්වය නම් මෙම සංවාදය මෙරට නව පරපුරේ විශිෂ්ටතම සිනමාකරුවකු වූ ප්‍රසන්න විතානගේ විසින් සිදු කරනු ලැබීමය. ප්‍රසන්න නිර්මාණය කළ අවි නාටකයේ පරිවර්තකයා ද, පවුරු වළලු චිත්‍රපටයේ තිර කතා රචකයා ද වූ ටෝනි ඔහු අධ්‍යක්ෂණය කළ සිසිල ගිනි ගනී, අනන්ත රාත්‍රිය, පවුරු වළලු යන චිත්‍රපට ත්‍රිත්වයේම රඟපෑවේය.

ටෝනි අයියා මුලින්ම ඔබට මෙවැනි පැනයක් යොමු කරන්නට කැමැතියි.

ඔබේ රංගන ජිවිතයේ ලැබූ සුවිශේෂ ජයග්‍රහණය ගාමිණී ෆොන්සේකා සහ ජෝ අබේවික්‍රම සමඟ සිංහල සිනමාවේ රජතුන් කට්ටුව ලෙස සැලකුම් ලැබීමද?

ප්‍රසන්න, මට ඒ ප්‍රශ්නයට එහෙමත් නැත්නම් ඔබේ ඒ මතයට එකඟ වන්න අමාරුයි. යම් කිසි නිර්මාණයක් පදනම් කර ගනිමින් නළුවකුව හෝ නිළියකව බෙදා වෙන් කිරීම අපහසුයි. ගාමිණී, ජෝට වැඩියෙන් සිනමාරූපී රංගනයේ යෙදුණ ඔවුනට පෙර පැමිණි නළුවකු හිටියා. ඒ අශෝකමාලා සහ එදා රෑ චිත්‍රපටයේ රඟපෑ මයිකල් සන්නස් ලියනගේ.

ඒ චිත්‍රපට රූ ගැන් වුණේ දකුණු ඉන්දියාවේ. මයිකල් වැඩ කළෙත් දකුණු ඉන්දීය අධ්‍යක්ෂවරු යටතේ. මේ තත්ත්වයන් මත වුණත් ඔහුගේ රංගනය දකුණු ඉන්දීය සෙවනැල්ලට යට වුණේ නැහැ. ගාමිණී, ජෝ තරම් සිනමාවට සේවයක් මයිකල් විසින් සිදු නොකළත් ඔහු සිනමාරූපී රංගනයේ මනාව යෙදුන අයෙක්.

මේ මොහොතේ මට තවත් දෙදෙනෙකුව මතක් වනවා. ඒ ඩොමී ජයවර්ධන සහ ඩේවිඩ් ධර්මකීර්ති. ඔවුන් දෙපොළ සුජාතා චිත්‍රපටයේ ස්වාභාවික එහෙමත් නැතිනම් තාත්ත්වික රංගනයක යෙදුනා. එහෙම බලද්දී අපට වැඩිය සුවිශේෂ ගුණාංගයන්ගෙන් යුතු බොහෝ අය හිටියා. ඩී. ආර්. නානායක්කාරත් එවැනි කෙනෙක්.

මං ඔය පැනයට තවත් උදාහරණයක් පාවිච්චි කරමින් පැහැදිලි කරන්නම්. ඔබ අනිවාර්යෙන්ම අහලා ඇති මාලන් බ්‍රැන්ඩෝ සහ ජෝර්ජ් ස්කොට් යන නළුවන්ව. විචාරකයන් හා රසිකයන් පැවසූ පරිදි ඔවුන් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම නළුවන් දෙපොළක්. සමහරෙක් මාලන් විසිවැනි සියවසෙහි බිහි වූ හොඳම නළුවා යැයි ලේබල් ඇලෙව්වා. ඒත් ඔවුන්ව එලෙස කොටු කිරීමට මං විරුද්ධයි. අපි තිදෙනාවත් එහෙම එක් මාතෘකාවක් යටතේ හඳුන්වා දීම නුසුදුසු බවයි මගේ මතය.

හොඳයි, ටෝනි රණසිංහ නම් වූ රංගන ශිල්පියා, තිර කතා රචකයා, නවකතාකරුවා, පරිවර්තකයා සහ අධ්‍යක්ෂවරයා බිහිවීමට බලපෑ පසුබිම කුමක්ද?

ඒකට දෙන උත්තරය බොහොම දිග එකක් වේවි, කමක් නෑ නේද ප්‍රසන්න .

මං ඉපදුනේ කොළඹ ද සොයිසා රෝහලේ. එහි ඉපදිලා අවුරුදු හැත්තෑ හතරකට පසු ඊට හැතැප්ම භාගයක පමණ දුරක සිටයි මේ කතාව මං කියන්නට හදන්නේ. කොළඹ මෝදර ප්‍රදේශයෙයි මා හැදී වැඩුණේ. එය ඉතාම උග්‍ර කතෝලික පරිසරයක්.

අපි පල්ලියත් එක්ක නිතරම සම්බන්ධකම් පවත්වාගෙන ගියා. පූජාවට උදව් වන්න පුංචි මං ඉදිරිපත් වුණේ නොපැකිළවමයි. ඒ දවස්වල පූජාව තියද්දී බලන් ඉන්න ආසයි. කන් දෙදරවන තරමට ගීතිකාවල සද්දේ. ඒවාත් මගේ හිතේ තැන්පත් වෙලා තිබුණා.

පූජාව පවත්වන ස්වාමිලා සිංහල අය නොවෙයි. ප්‍රංශ, බෙල්ජියම් වැනි ජාතිකයින්. ඔවුන්ගේ මුහුණේ රැවුලක් තිබීම අනිවාර්ය අංගයක්.

ඇන්දෙත් විවිධ අලංකාර ලියකම්වලින් සමන්විත වර්ණවත් ඇඳුම්. මා මේවා දිහා බලා සිටියේ ඕනෑකමින්. මං පාසල් ගියේ මෝදර ද -ලාසාල් විදුහලට. බ්‍රදර් සීසර් තමයි එවකට එහි ප්‍රධානියා.

අපේ ගමේ හිටියා ටවර් හෝල් නාට්‍ය නිෂ්පාදනය කරපු දෙන්නෙක්. එක් අයෙක් ස්ටීවන් ද සිල්වා. ඔහුගේ නාට්‍යවල ආභාෂයෙන් තමයි බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න මතබේදය, පෙරකදෝරු බෑණා වැනි චිත්‍රපට හැදුවේ.

ඔහු එවකට මර්කස් සහ මර්සියා කියලා නාට්‍යයක් නිෂ්පාදනය කරමිනුයි හිටියේ. අනෙක් කෙනා තමයි ලුවිනියස් පෙරේරා. ඔහුව ගොඩක් දෙනෙකු හැඳිනුවේ බර්නාඩ් පෙරේරා යන නමින්. බණ්ඩා නගරයට පැමිණීම චිත්‍රපටයේ බණ්ඩාට රඟපෑවේ ඔහුයි. ඔවුන් අපේ ගමේ නාට්‍යය කරද්දී පෙර පුහුණුවීම් නැරැඹීමට අපි ගියා.

ඒ කාලයේ නාට්‍යයක් බලද්දී සිතට විශ්මයක් ගෙන දුන්නා. ඒ මන්ද යත් දේව දූතයන් අහසින් යෑම තවත් නාට්‍යයක ස්නාවක ජුවාම්තුමාගේ හිස කඳෙන් වෙන් කිරීම වැනි දර්ශන තිබූ නිසා. හිස ගසා දමද්දී ඇත්තටම වගේ හිස කදෙන් වෙන් වෙලා යනවා. ඒවා දකිද්දී මසිතටත් නළුවකු වන්න තිබුණා නම් කියන චමත්කාරජනක සිතුවිල්ල ඇති වුණා.

පසුකාලීනව මං දැනගත්තා ඉහත දර්ශනවලදී සිදු වුණේ ඇස් බැන්දුමක් පමණයි කියලා.

මගේ පියා පල්ලියේ කන්තාරු කණ්ඩායමේ හිටියා.

ඔහු දක්ෂ වයලින් වාදකයෙක්. නිවාඩු දිනවල අඩියක් පුඩියක් එහෙම ගහලා ඔහු පෘතුගීසි සිංදු කියනවා. අහන් ඉන්න ආසයි. තව දෙයක්, මගේ අයියා රැලෙක්ස් රණසිංහ ඡායාරූප ශිල්පියෙක්. නළුවකු වන්න මට ඔහුගේ වෘත්තියත් බලපෑවා. මා ඉහත සඳහන් කළ කරුණු කාරණාවලට පිං සිද්ධ වෙන්න කලාව කෙරෙහි ඇදී ගිය මා ඒ ඔස්සේම ඉදිරියට යන්න හිතුවා. ඒත් වෘත්තියක් වශයෙන් නම් නෙවෙයි.

1959 දී සිනමා නළුවකු වීමේ බලාපොරොත්තුවෙන් ඔබ සිරිසේන විමලවීරයන්ව හමු වුණා. අතරමග නැවතුන පුංචි අම්මා චිත්‍රපටය සහ විමලවීර මාස්ටර් පිළිබඳ ඔබේ මතකය අවදි කරනන්යි මා දැන් සැරසෙන්නේ?

විමලවීර මහතාව මං මතක් කරන්නේ බොහොම කෘතවේදිත්වයෙන්. එතුමාණන් වැනි මිනිසුන් ඉතාම විරලයි. මාව විමලවීර මාස්ටර් ගාවට රැගෙන යන්නේ ආතර් යූ. අමරසේන මහත්මයා.

එතුමා මා දෙස බලලා ඔහු එවකට නිර්මාණය කරන්නට බලාපොරොත්තුවෙන් සිටි පුංචි අම්මා චිත්‍රපටයට මාව තෝරා ගත්තා. චිත්‍රපටයේ හැටියට මං නාට්‍යා ංගනාවකට ආදරය කරනවා. එම චරිතය නිරූපණය කළේ විමලවීරගෙම චිත්‍රපට කිහිපයක සිටි රාණි රණතුංග.

මට කියන්න තිබුණේ මුල්ම දෙබස් පේලිය ‘නටලා නටලා හරියට මහන්සි ඇති’ කියන ටික. මං නාට්‍ය අංගනාව දෙසට හැරිලා ඒ දෙබස් ටක් ගාලා කියලා දැම්මා. විමලවීර මාස්ටර් දර්ශනය නවත්වලා මට පැත්තකට කතා කරලා ඔහුගේ හිල්මන් වර්ගයට අයත් කාරය ළඟට රැගෙන ගියා. විමලවීර මාස්ටර් උපැස් යුවළක් පළඳිනවා. නළල පළල්. කොණ්ඩය පිටුපසට පීරලයි ඉන්නේ.

අත් කොට බැනියමට සුදු සරමක් ඇඳලා පටියක් පළඳිනවා. මට ඔහුගේ ස්වරූපය අද වගේ මතකයි.

ඔහු මට චිත්‍රපටයක දෙබස් කියන ආකාරය පැහැදිලි කර දුන්නා. මං ජවනිකාවෙ දෙබස් කිව්වේ ඉතාම ඉක්මනින්. එහෙම කියන්න එපා කියලා ඔහු මට කිව්වා. එතකොට හරියට රෙකෝඩ් කරන්න බැරි වෙනවලු. මං ඔය පටිගත කරන යන්ත්‍ර සූත්‍ර පිළිබඳ ඒ කාලයේ දැනන් හිටියේ නැහැ. එතුමා මට ඒ තාක්ෂණය පිළිබඳත් කියා දුන්නා.

විමලවීර මාස්ටර්ගේ චිත්‍රපටයක් මෑතකදී රූපවාහිනී නාලිකාවකින් විකාශය වුණා. තාක්ෂණිත දුර්වලතා ඉවත් කළාම එම නිර්මාණයත් ඉතාම ඉහළ මට්ටමක තියනවා. එවැනි මිනිස්සු අද නැති වීම මහත් පාඩුවක්.

ටෝනි අයියා එවකට තිබුණු නාට්‍යමය ශෛලියෙන් ඉවත් වී , සිනමාවට උචිත තාත්ත්වික රංගන ශෛලියක් වෙත යොමු වීමට බලපෑ කරුණු මොනවාද?

මගේ ඥාති වන අයියා කෙනෙක් ඔහුගේ පඩි දවසට අපව හින්දි චිත්‍රපටයක් බලන්න එක්කන් යනවා. අපි වැඩිපුරම ගියේ මරදාන ක්‍රවුන් සිනමාහලට. මං බොහොම කැමැති නළුවකු වන දිලිප් කුමාර් පෙනී සිටි චිත්‍රපටයි වැඩිපුරම මට නරඹන්න ලැබුණේ.

මං ඔහු රඟපෑ චිත්‍රපට අතරින් මුලින්ම බැලුවේ ‘හල්චල් ‘ . එහි ඔහු කළ රංගනයට මා සිත වසඟ කර ගන්නට සමත් වුණා. එහි එක දර්ශනයක් තියනවා රැකියාවක් සොයා දිලිප් කුමාර් බොම්බායේ වීදියක ඇවිදනවා. ඔහු ටේස් කඩල විකුණන තැනක් දැකලා ඔහුගේ කටට කෙළ උණනවා. එතැන දිලිප් කළ රංගනය හරිම ස්වාභාවිකයි. දිලිප්ගේ චිත්‍රපට වැඩිපුර පරිශීලනය කරපු නිසා ඔහුගේ ආභාෂය මට වැඩිපුර ලැබෙන්න ඇති. හින්දි චිත්‍රපටවලට සමාන්තරව මාලන් බ්‍රැන්ඩෝ, ලෝරන්ස් ඔලිවියර් නැමැති රංගනවේදීන්ගේ චිත්‍රපටත් බැලුවා.

ඒත් මාලන්ට ලැබුණු චරිතවල සිටියෙත් මාලන් බ්‍රැන්ඩෝමයි. උදාහරණයක් විදිහට ඔහුට ටැක්සි ඩ්‍රයිවර් කෙනෙකුගේ චරිතයක් ලැබුණොත් ඔහු කරන්නේ ටැක්සි ඩ්‍රයිවර්ව ඉස්මතු කරන එක නෙවෙයි, මාලන්ව කැපී පෙන්වන එක. මේ මේ අත්දැකීම් මගේ ජීවිතයට එක් කර ගත්තා.

අද කාලේ වගේ ඩී වී ඩී තාක්ෂණය නොතිබුණු යුගයක එක චිත්‍රපටය දෙතුන් වතාවක් බැලුවා. ඒ අධ්‍යයනය සඳහා සහ එහි තිබුණු යම් යම් සුවිශේෂීතාවයන් මත. මේ කරුණු කාරණා නිසා මගේ රංගනයත් තාත්ත්වික වන්නට ඇති.

සිනමා නළුවකු ලෙස ප්‍රේක්ෂකයන් ඔබ මුල් වරට හමු වන්නේ ලෙස්ටර් ජේම්ස් පීර්ස්ගේ ගම්පෙරළිය චිත්‍රපටයෙන්. ඔහු ඔබට මුල් වරට හමු වූයේ කොහොමද? ඒ වන විට ලෙස්ටර් මහතා නිපදවා තිබුණේ රේඛාව සහ සන්දේශය පමණයි?

මං ඒ කාලයේ වැඩ කළේ විදුලි බල දෙපාර්තමේන්තුවේ. දැන් නම් එය විදුලි බල මණ්ඩලය. මාව ඒ වන විට එහි සිටි පිරිසට ජෝක් එකක් බවට පත් වෙලා තිබුණේ.

ඒකට හේතුව නම්, අතරමග නතර වූ පුංචි අම්මා චිත්‍රපටයේ ඡායාරූප පත්තරවල පළ වෙලා තිබුණා. එහෙයින් මගේ චිත්‍රපටයක් එන්නේ කවදාද? මග තොටදී හමුවන විට, ටෝනි ප්‍රධාන චරිතයක් කරන චිත්‍රපටයක් ළඟදී එන්නේ නැද්ද? යනාදී වූ ප්‍රශ්න කන්තෝරුවේ අය ඔලොක්කුවට මෙන් ඇහුවා. මේ වගේ දේවල් ඉවසා ගන්න බැරි වූ තැන මං ආයෙත් ආතර් යූ. අමරසේනට දැඩි පෙරැත්ත කොට ලෙස්ටර් මහතාව හමු වන්නට ගියා.

එතකොට ලෙස්ටර් මහත්තයා ගම්පෙරළිය නවකතාව චිත්‍රපටයට නගනවා කියලා පුවත්පත්වල සඳහන් වෙලා තිබුණා. ආතර් මාව හඳුන්වා දීමෙන් අනතුරුව ලෙස්ටර් මහත්තයා මගේ පාදන්තයේ සිට ශීර්ෂාන්තය දක්වා තියුණු බැල්මක් හෙළා චිත්‍රපටයට නළු නිළියන්ව තෝර ගෙන ඉවරයි. වුවමනාවක් වුණොත් පසුව දන්වන්නම් කිව්ව. ‘අනේ ලෙස්ටර් මහත්තයෝ මහළු චරිතයක්වත් තියෙනවා නම් දෙන්න’ මට ඉබේටම එහෙම කිය වුණා.

මහළු චරිත කරන්න පුළුවන්යැ තමුසෙ වගේ කොල්ලෙකුට. ඔහු එහෙම පැවසුවේ මගේ හිත රිදෙන අන්දමින් නෙවෙයි. කෙසේ වෙතත් ගම්පෙරළියෙහි මං සුළු චරිතයක් කළා. ගම්පෙරළිය මං රඟපෑ පළමු චිත්‍රපටය නොවෙන්න තිබුණා. මං ඒ ඇයි ද කියන වගත් කියන්නම්කෝ.

මගේ පුරුද්දක් තිබුණා දිනපතා ඩේලිනිවුස් පුවත්පත කියවීම.

එක්තරා දිනයකදී චිත්‍රපටයකට නළු නිළියන් බඳවා ගැනීම සම්බන්ධ දැන්වීමක් ටී. සෝමසේකරන් නම් වූ මහත්මයෙක් පළ කරලා තිබුණා. එහි සම්මුඛ පරීක්ෂණය තිබුණේ කොළඹ බ්‍රිස්ටල් ගොඩනැගිල්ලේ. මං එදා නියමිත වේලාවට එතැනට ගියා. වෙනදාට ඔවැනි තැනකට මං අඳින්නේ සුදු දිග කලිසමක් සහ සුදු ෂර්ට් එකක්. මෙදින මං ඊට ටයි පටියකුත් එකතු කළා. ඒත් එතැන පුදුම සෙනඟ ගොඩක්. මට ඉන්ටර්වීව් එක එපා වුණා. හිතේ මොරාල් එකත් බැස්සා. මං කෙළින්ම ඕල්කට් මාවතේ අවන්හලකට ගිහින් පුංචි මධු විතකින් සප්පායම් වෙලා ආපහු එතැනට ආවා.

එතකොට පිරිස නැති තරම්. මං කෙළින්ම ඇතුළට යන්න අඩිය ඔසවනවාත් එක්කකම මහත්තයෙක් ඉදිරියට ආව. ඔහු තමයි සෝමසේකරන්. මං ගැන විස්තර අහලා ඔහු මාව කිංස්ලි රාජපක්ෂ මහත්තයා ගාවට එක්කගෙන ගියා.

කිංස්ලි මට දෙබස් වගයක් දුන්නා. මං කිව්වා මට තනිවම දෙබස් කියන්න බැහැ, සහයට කෙනෙක්ව ඉල්ලුවා. මගේ වදනට ඔවුන්ගේ මුහුණවල් ඇද වුණා. කොහොම හරි සහයට කෙනෙකුත් සමඟ ඒ දෙබස් කියලා මං එතැනින් පිටව ගියා. මේ සිදුවීම වුණේ ගම්පෙරළිය පටන් ගන්ට පෙර. ගම්පෙරළිය පසුකාලීනව තිරගත වෙද්දී කිංස්ලි මහත්තයා මට හමු වෙලා පුදුම කතාවක් කිව්වා. එදා ඔවුන් නිෂ්පාදනය කරන්නට සිටි චිත්‍රපටයට තෝර ගෙන හිටියේ මාවලු.

ඒත් මගේ ටිකක් කට වැඩියි කියලලු ඉන් මාව අයින් කරලා තියෙන්නේ. ඒ චිත්‍රපටය තමයි දීපශිකා. හදිසියේවත් මාව ඊට තෝර ගත්තා නම් මගේ පළමු චිත්‍රපටය ගම්පෙරළිය නොවන්නට තිබුණා.

ටෝනි අයියා ඇයි නළුවකු වන්නට හිතුවේ?

පාසලෙන් අවුට් වෙලා රැකියාවක් ලැබෙන තුරු මං කාලයක් හිටියා. අපේ ඉස්සරහ ගෙදර හිටියේ මගේ තාත්තගෙ අක්කා. ඒ නිවසෙයි මං හැද, වැඩුණේ, නිතරම කාලය ගත කළේ. ඔවුන් කවදාවත් බල කළේ නැහැ මට රැකියාවක් කරන්න. මට තරුණ ගැහැණු ළමයින්ගෙන් දැඩි ආකර්ෂණයක් තිබුණා ඒ දවස්වල. මේක මං ගැනම පංපෝරි ගැසීමක් නෙවෙයි. මං හිතුවා එයින් ප්‍රයෝජනයක් ගන්න. ඉඩ ඇති පරිදි කොළඹ මැකලම් පොත්හලට ගොස් පොතක් දෙකක් කියෙව්වා. ඒවායින් දැනුම ආභාෂය ලබා ගත්තා. රැලෙක්ස් අයියා මගේ පිංතූර නිතරම ගත්තා. ඒවායේ හොඳ කලාත්මක බවක් තිබුණා. මං හිතනවා ඉහත කරුණු ටෝනි රණසිංහ නම් වූ නළුවාව බිහි කරන්නට ඇති.

අපි දැන් යමු තවත් මානයකට. සුගතපාල ද සිල්වා බෝඩිංකාරයෝ, තට්ටු ගෙවල් හරහා සිංහල වේදිකාවේ වස්තු විෂයේ සහ ආකෘතියේ වෙනසක් කරද්දී ඔබ ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර සමඟ වේදිකා රංගනයේ වෙනසකට දායක වනවා. ඒ ගැන විග්‍රහයක් කළොත්?

මං කලින් සඳහන් කළා මතකයිනේ ලෙස්ටර් මහත්තයා හමුවන්නට ගිය බවක්. ඒ නිවසෙන් එළියට බහිද්දිමයි සුගතපාල ද සිල්වා මට හමු වන්නේ. ඔහු මාව හඳුනන්නේ නැති වුණත් මගේ අයියාව දන්නවා. මාත් සමඟ සිටි ආතර් මාව ඔහුට හඳුන්වා දෙන්නේ රැලෙක්ස් අයියාගේ මල්ලී වශයෙන්. ඔහු මා පිළිබඳ තොරතුරු විමසා බලා මට ඔහු නිපදවන අලුත්ම නාට්‍යයට ඇරැයුම් කළා. ඒ කාලයේ අපි පුහුණුවීම් කළේ විපුල ධර්මවර්ධන මහතාගේ නිවසේ.

මා දැන් ඔබ අහපු පැනයට එන්නම්. ටෝනි රණසිංහ නම් වූ වේදිකාව පිළිබඳ කිසිත් නොදන්නා මා වැනි අයකුට යමක් කළ හැකි චරිතයක් භාර දීම පිළිබඳ මා නැවත නැවතත් සුගතපාල ද සිල්වාට ස්තුතිවන්ත වනවා. ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර කියන්නේ අකැමැත්තෙන් නළුවකු වුණ කෙනෙක්. ඔහුයි දවස පත්තරේ උප කර්තෘවරයකු විදිහට සේවය කළේ. එසේ වුණත් ඔහු සමඟ මා මේ නාට්‍යයට සුගතපාල යොදා ගන්න ඇත්තේ සුදුසු නිසා වෙන්න ඇති.

ඔබ පැවසූ පරිදි වේදිකාවේ යම් වෙනසක් එම නාට්‍යයන් ඇති කෙරුවා නම් එහි ගෞරවය සම්පූර්ණයෙන්ම හිමි විය යුත්තේ සුගතපාලයන්ට.

එමෙන්ම ඔහු නිසා මා සිරිල් බී. පෙරේරා, ඔගස්ටස් විනයාගරත්නම් ඇතුළු ක්ෂේත්‍රයේ දැවැන්තයන් කිහිප පොළක් හඳුනා ගන්නවා. සැබැවින්ම සුගත් මට හමු වීම මගේ රංගන ජීවිතයට වාසනාවක් වුණා.

සංවාද සහාය සහ සටහන – මනුබන්දු විද්‍යාපති – ප්‍රසාද් සමරතුංග

- http://www.lankadaily.com/ -

 

 

සාකච්ඡා

සිව් මංසල - කලා සංග්‍රහය (2)

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

ශ්‍රී ලාංකීය නවකතාව වෙනුවෙන් නව සාහිත්‍ය සම්මාන උළෙලක් ඇරඹේ. සිංහල, දෙමළ...

මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

 මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

ගාල්ල කොටුව කොමර්ෂල් බැංකු ඉපැරණි ගොඩනැගිල්ල උදය කාලය අසූව දශකය මුල් භාගය...

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’ (රාජපක්ෂ චෞර රාජ්‍යයේ වගතුග) 29...

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

නවකතාවක නැත්නම් ප‍්‍රබන්ධ කෘතියක වැදගත්ම දේ තමයි, යම් අච්චුවක දමා...

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

ජනප්‍රිය ගායිකා අයිරින් ද අල්විස් ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයකු ප්‍රවීණ...

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ඇය ජිවිතය සොයා ගියාය. අනේක විධ පාවාදීම් මැද ඇය ජිවිතය...