22 January 2018
RSS Facebook Twitter   

තවමත් ලංකාවේ වෘත්තීයමය ‍ලේඛකයකු නිර්මාණය කරන පසුබිම සකස් වෙලා නැහැ..-අනුරසිරි හෙට්ටිගේ

srir hettigeඅප අතර පවත්නා සියලු මිතුරුදම් පසෙකළා මම ඔහු සමඟ සාහිත්‍යමය ගැටුමකට මං පෙත් විවරකර ගනිමි. නමුත් ඔහුගේ මිත්‍රශීලී සිනාව යළි යළිත් සියල්ල අවුල් කරවයි. ඉඩ දෙන්න ඔබට පෙන්වන්න අනුරසිරි හෙට්ටිගේ නම්  වූ ඒ සොඳුරු හදවත්ලාභියා සමඟ හැම්මෙන්න.
අනුරසිරි  හෙට්ටිගේට මිනිසුන් අතර තිබෙන අනන්‍යතාව කුමක්ද?

සාහිත්‍යකරුවකු ලෙස ගොඩනැගුණ අනන්‍යතාවක් ඇතැයි කියා මම හිතනවා. මේ වනවිට එම අනන්‍යතාව සහතික කරමින් මගේ නිර්මාණ වටා එකතු වුණ පාඨක පිරිසකුත් සිටින බව මට ලැබෙන ලිපි සහ ඇමතුම් වලින් පෙනෙනවා. ඔවුන් එම නිර්මාණ තුළින් අන් සාහිත්‍යකරුවන් වෙතින් වෙනස් අනන්‍යතාවක් දකින බව මගේ විශ්වාසය යි.ඒ හැරුණු කොට මම මේ සමාජයේ කොටස්කරුවෙක්.. මම මෙහි සිදුවන සියලු කාරණා සම්බන්ධයෙන් සංවේදී වන සාමාජිකයෙක්.. පුරවැසි සංවිධානවල ක්‍රියාකාරිකයෙක්.. දේශපාලන සත්ත්වයයෙක්.. මේ හැම භූමිකාවකින් ම ඒ ඒ තැන්හි මගේ අනන්‍යතාව මිනිසුන් විසින් තහවුරු කර ගන්නා බව මට විශ්වාසයි..

ඔබේ කුළුදුල්ම නිර්මාණයේ සිට මෙතෙක්කර ඇති අවසානම නිර්මාණය දක්වා සියළු නිර්මාණ අතරින් ඔබ වඩාත්ම තෘප්තිමත් නිර්මාණය කුමක්ද? ඒ වගේම ඒ ඇයි?

තමන්ගෙ නිර්මාණ අතරින් වඩාත් කැමති ම නිර්මාණය මෙයයි නම් කිරීම නිර්මාණකරුවකු ට අපහසුයි කියලයි මම හිතන්නෙ. මට අනුව ඒක තවත් දුෂ්කරයි. මන්ද මම තවම ‍නිර්මාණ කාර්යය අවසන් කර නැති නිසා. තෘප්තිය සාපේක්ෂ දෙයක්.. ඒ අනුව උත්තරයක් දුන්නොත් මම මගේ මුල්ම නිර්මාණය වන ගණදුරෙහි දිලෙන එළි කියන නවකතාවෙන් තරම් තාප්තියක් මෙතෙක් පළ වු කිසිම කෘතියකින් විද නැහැ.. මන්ද ඒ මා අතට පත් වූ මගේ මුල්ම මුද්‍රිත කෘතිය නිසා.. ඒ අවස්ථාව මට අමතක කරන්න බැරි ආරම්භයක්..

පිටපත් රචකයෙක් විඳියට ඔබේ අදහස අද වන විට පෘශ්ඨීය වියමන අභිබවා රූපය ප්‍රමුඛතාවයට පත් වෙලා තියෙනවා කියන එකද?

සාහිත්‍යය කියන්නෙම පෘෂ්ඨීය වියමනක්. ඒක අබිබවා යන්න අනෙකකට බැහැ. ඒත් භාෂා සමග කරන පර්යේෂණ අවස්ථාවලදී රූපමය සන්දර්භයක් සමග ගණුදෙණු කරන බව ඇත්ත.. පිටපත් රචනය කියන්නේ සාහිත්‍යයම කාරණයකට මදක් එහාට යන නිර්මාණාත්මක වෑයමක්.. එහිදී රූපය සම්බන්ධයෙන් අවධානයක්  යොමු කරන්න වෙනවා.. මේ අවස්ථා දෙකෙහි දි මම නිර්මාණාත්මක භාවිතාව ‍අදාළ කාරණයට අනුගත ව යි ඉෂ්ට සිද්ධ කර ගන්නෙ.. සාහිත්‍යයේදි රූපය ප්‍රමුඛ කාර්යයක් කර ගන්නේ පාඨකයා මිස ලේඛකයා නෙමෙයි.. ලේඛකයා ඒ බව හදුනා ගෙනයි සිය නිර්මාණය සකස් කළ යුත්තෙ..  සාහිත්‍යයේදී අප කරන්නෙ පාඨකයාට සිය රූපමය අවකාශය තෘප්තිමත් කර ගත හැකි සීමාව දක්වා පෘෂ්ඨීය වියමන ගොඩ නැගීමයි.. සාහිත්‍යයේදී මෙය කාරණා දෙකක්..

සාහිත්‍ය යනු සැබැවින්ම මිනිසාගේ ආත්මීයත්වය පෝෂණය කරන්නනක්ද? නැතිනම් හුදු ධනේශ්වර වෙළඳ ව්‍යාපෘතියක් ද?

සාහිත්‍යය සමග මිනිසා පවත්නා ගණුදෙණුව හුදු වෙළද ව්‍යාපෘතියක් ලෙස සලකා අවමන් කිරීම වැරදියි.. සාහිත්‍යය ආත්මීය කාරණයක්... අද වනවිට සාහිත්‍යය අත්පත් කගෙන ඇති ජනප්‍රියතාව නිසා වෙළද අපේක්ෂාවන් සමග බද්ධ වි ඇතත් සාහිත්‍යයේ ඇති සමාජමය ගණුදෙණුව බාල වෙන්නෙ නැහැ.. එදා පන්සලට ගිහින් මිනිස්සු බණ කතා ලෙස ශ්‍රවණය කරමින් ආත්මීය වින්දනයක් ලබා ගත්තෙත් සාහිත්‍යය ඔස්සේ තමා..  ඒ අතීතය.. වර්තමානය අතීතයට වඩා ගව්ගණනක් ඉදිරියට ගිහින්..

අනික නූතන සාහිත්‍යය බිහි වන්නේ ධනවාදයේ ප්‍රතිඵලයක් ලෙස.. එනිසා නූතන සාහිත්‍යය එහි ස්වභාවයෙන් ම යම් තරමක වෙළද ග්‍රහණයකට නතු වෙනවා.. මන්ද මුද්‍රිත ව එළි දකින සාහිත්‍යය තවත් කර්මාන්තයක් හා බද්ධ වි තිබෙන්නක්.. ඒ තමා මුද්‍රණ කර්මාන්තය.. එය ප්‍රාග්ධනයේ මෙවලමක්..  ඒ නිසා ම ප්‍රාග්ධනයේ කොන්දේසිවලට යටත්.. ඒ ප්‍රතික්ෂේප කළ නොහැකි ඇත්තක්.. අද සාහිත්‍යකරුවා පවා ජිවත් වන්නේ බරපතල ලෙස වාණිජ ආධිපත්‍යයකට යටත් වූ පරිසරයක.. කුටුම්භ සංරක්ෂණය ඉදිරියේ ඔහුටත් මේ වාණිජ සමාජයේ කොන්දේසිවලට යටත් වෙන්න වෙනවා..  තමන්ගේ නිර්මාණ ඔස්සේ මේ අභියෝග ජය ගැනීමේ උත්සාහයක් ගන්න යම් තරමේ දායකත්වයක්  ඔහුට අපේක්ෂා කරන්නත් වෙනවා.... එහෙමයි කියලා ඔහු වාණිජ අපේක්ෂා පෙරදැරිව සාහිත්‍යය පවත්වා ගත යුතු නැහැ.. සාහිත්‍යයේ පරම කාර්යය ඔහු අමතක කළ යුතු නැහැ.. තවමත් ලංකාවේ වෘත්තීයමය ‍ලේඛකයකු නිර්මාණය කරන පසුබිම සකස් වෙලා නැහැ.. . ඒ නිසා සමහර විටක සාහිත්‍ය භාවිතාව තුළ ධනේෂ්වර වෙළද ව්‍යාපෘතියක ලක්ෂණ පෙනෙන්න පුළුවන්.. ඔහොම කිව්වත් යුරෝපයේ  ධනවාදී සමාජ පසුබිමක ලේඛකයන් හිමි කරගන්නා ජයග්‍රහණය අමතක කළත් අඩුම තරමේ අපිට ඉන්දියාවේ ලේඛකයන් අත්පත් කර ගන්නා ජයග්‍රහණ අසලකට වත් ළං වෙන්න බැරි වෙලා තියෙනවා..

ලංකාව තවම යථාර්ථවාදයෙයි ඉන්ද්‍රජාලිකත්වයෙයි හිර වෙලා තියෙන බවක් පේනවා නේද?

ඔය භේද අදාළ වන්නේ විචාරකයාට මිස ලේඛකයාට නෙමෙයි.. මං නම් දන්නෙනෑ යථාර්ථවාදයේ හෝ ඉන්ද්‍රජාලිකයේ හෝ හිර ‍වෙලා ලේඛකයාට සිය නිර්මාණය ගොඩ නගන්න පුළුවන්ද කියලා.. මට අනුව මම මගේ ප්‍රස්තුත අත්දැකීමට උචිත ආඛ්‍යානය ඉබේ ගොඩ නැගෙන්න ඉඩ හරිනවා.. ඒකට විචාරකයාට අර්ථ සැපයිය හැකියි.. ඔවැනි කාරණා පස්සෙ ගියාම බිහි වන්නේ අක්මුල් නැති ව්‍යාජ නිර්මාණ.. යථාර්ථය නිර්මාණයක් තුළට එන්නෙ යම් වෙනසක් සහිතව.. එය සාහිත්‍යකරුවා විසින් සිදු කරන නිර්මාණාත්මක වෙනස් කිරීමක්..

එය ඔය කියන ඉන්ද්‍රජාලය වෙන්න පුළුවන්.. එහෙම නැත්නම් මායාමය තත්ත්වයක් වෙන්නත් පුළුවන්.. අද වනවිට මම යථාර්ථවාදයේ යම් ඉන්ද්‍රජාලික ස්වභාවයක් හදුනා ගනිමින් ඉන්නෙ.. ඒ කැමැත්ත නිසා මා‍ අතින් නිර්මාණය වන සමහර චරිත යථාර්ථවාදී කෝදුවට හසු නොවන අවස්ථා තියෙනවා.. මගේ අලුත්ම නවකතාව වන බැද මාරිය තුළ එවැනි චරිත කිහිපයක් ම ඔබට හදුනා ගත හැකියි.. මගේ කෙටිකතා සංග්‍රහ දෙකෙහිදි ම මම මේ තත්ත්වය නිරීක්ෂණය කරමින් ඉදිරිපත් කළ නිර්මාණ දකින්න පුළුවන්..

ඔබ වඩාත් තෘප්තිමත් වන්නෙ කවර මාධ්‍යයක්(කවිය,කෙටි කතාව,නව කතාව, ටෙලිපිටපත් රචනය) භාවිතා කිරීම තුළින්ද?

මම වඩාත් කැමති නවකතාවට.. ඒත් මට ඉක්මනින් මගේ භාව ප්‍රකාශනයට අවස්ථා ලැබෙන්නෙ කෙටිකතා රචනය තුළින්.. කෙටිකතාව තුළ විදාරණය කර මට සමාජ කාරණා විසින් ඇති කරනු ලබන පීඩනය සමනය කර ගන්න පුළුවන්.. කවිය මට අලුත්.. මගේ මුල්ම කවි පොත පිට වෙන්නෙ තව මාසයකින් පමණ.. ටෙලි පිටපත් රචනයට මගේ කැමැත්තක් නැහැ.. මට ඒ සදහා පෙළඹීමක් ඇති කළේ මගේ  නවකතාවක් ටෙලි නාට්‍යයකට තෝරා ගත් නිසා.. දැනටත් ආරාධනා ලැබනවා.. එත් මගේ සාහිත්‍යයට ඉන් වන බලපෑම ගැන මට හිතන්න වෙලා තියෙනවා..

ඉදිරියට එන්න තියෙන ඔබේ අලුත් නිර්මාණ මොනවාද?

පසුගිය වසරේ මගේ නවකතා පොත් දෙකක් වන ස්මරණ සහ බැද මාරිය පිට වුණා.. ඒ සම්බන්ධයෙන් මම ප්‍රචාරණ ව්‍යාපෘතියක් ආරම්භ නොකළ නිසා ඒ ගැන ප්‍රසිද්ධිය අඩුයි.. මග් ප්‍රකාශකයන් දෙදෙනාත් ප්‍රචාරණය පස්සෙ යන අයත් නෙමෙයි..ඒත් නවකතා හොයා එන පාඨකයන් අත ඒ පොත් සැරිසරන බව මම දන්නවා..

මගේ ප්‍රථම කාව්‍ය නිර්මාණ ග්‍රන්ථය ලබන මාසෙ විතර පාඨකයා අතට පත් වේවි.. මේ කවි මා අතින් ලියවෙන්නෙ නවකතාවක් තුළ විසුරුවා හැරිය නොහැකි සහ කෙටිකතාවක් තුළ හකුලුවාලිය නොහැක ජීවිත අත්දැකිම්වලින් නිදහස් වීමේ උවමනාව නිසා.. ඒක වෙනස් කවි පොතක්.. දීර්ඝ ආඛ්‍යානයක් නොවුණත් මේ කවි හුයක් වගේ එකකට එකක් බැදී තියෙන්න.. පොතේ නම සන්තබස්තියම් වීදිය.. කෙටිකතා සංග්‍රහයකට කතා කිහිපයක් ලියා අවසන් කර තියෙන්නෙ.. ඒකත් නිම කරන්න අදහසක් තියෙනවා.. මේ සේරම අතරෙ නවකතාවකට අවශ්‍ය අත්දැකීම් ගොනු කරමින් ඉන්නෙ.. මට නොලියා ඉන්න බැහැ.. ඒ නිසා තව නිර්මාණ කිහිපයක් මගෙන් ඉදිරියෙදි බිහි වේවි..

සාකච්ඡා කළේ
බාසුරු ජයවර්ධන
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

සාකච්ඡා

සිව් මංසල - කලා සංග්‍රහය (2)

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

ශ්‍රී ලාංකීය නවකතාව වෙනුවෙන් නව සාහිත්‍ය සම්මාන උළෙලක් ඇරඹේ. සිංහල, දෙමළ...

මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

 මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

ගාල්ල කොටුව කොමර්ෂල් බැංකු ඉපැරණි ගොඩනැගිල්ල උදය කාලය අසූව දශකය මුල් භාගය...

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’ (රාජපක්ෂ චෞර රාජ්‍යයේ වගතුග) 29...

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

නවකතාවක නැත්නම් ප‍්‍රබන්ධ කෘතියක වැදගත්ම දේ තමයි, යම් අච්චුවක දමා...

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

ජනප්‍රිය ගායිකා අයිරින් ද අල්විස් ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයකු ප්‍රවීණ...

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ඇය ජිවිතය සොයා ගියාය. අනේක විධ පාවාදීම් මැද ඇය ජිවිතය...