21 September 2018
RSS Facebook Twitter   

මම ජීවත් වෙන සමාජයේ නොපෙනෙන දේ තමයි මම පෙන්වන්න හඳන්නෙ - ජයතිලක කම්මැල්ලවීර

jayathilaka kammallaweeraදසත විසිරුණ සුදු කෙහෙරැල්ල කුමක්කදෝ පරිණතභාවයක අපරිණත දෘශ්‍යමානයක් සිහි ගන්වයි. මම ඔහු අසළින්ම වාඩි ගෙන මගේ රෙකෝඩරය ඔන් කරමි. මෑත කාලයේ පාසල් පෙළ පොතකට අඩංගු කිරීමට තරම් කෙටි කතාවක් ලියූ ඔහු (මට සාපේක්ෂකව එය ඉතා ගතානුගතිකය) සැබෙවින් විශිෂ්ඨයෙකු බව අවිවාදිතය. දැන් මට ඉඩ දෙන්න ජයතිලක කම්මැල්ලවීරයන් සමග පැවැත්වූ සංවාදය ඔබ අභියසින් තබන්නට.

කෙටි කතාව යනු හුදෙක්ම පෘෂ්ඨීය වියමන හරහා ගද්‍ය කාව්‍යයක් නිර්මාණය කිරීම පමණක්ද?

 ඔව්! කෙටි කතාව ඇත්ත වශයෙන්ම මම දකින්නෙ සමාජයේ සහ මිනිස් අභ්‍යන්තරයේ සාමාන්‍යය ඉන්ද්‍රියන්ට අසු නොවන දේ සොයා පාදා ගෙන ඉතාම සියුම්ව නිර්මාණය කරන දෙයක් හැටියටයි.

සැබෑව සහ පරිකල්පනය එකිනෙක සන්කලනය වෙමින් නිර්මාණයක් බිහි වන විට සැබැවින්ම එය සත්‍යයයේ විකෘතියක් නේද?

 සාමාන්‍යයයෙන් සාහිත්‍යය කියන්නෙම එක්තරා ආකාරයකට අතිශෝක්තියක්. පවතින දේම ඉදිරිපත් කිරීම නෙමේ සාහිත්‍යය කියන්නෙ. වඩා හොඳ සාහිත්‍යය තුළ කරන්නෙ ඇත්තටම පවතින දේ නිරීක්ෂණය කරමින් එහි මතුපිටට නො පෙනෙන දේවල් විදාරණය කිරීමයි. ඉතිං පරිකල්පනය කියන දේ මම අර්ථ දක්වන්නෙ එය එසේ නොවෙයි මෙසේ සිදු වූවොත් කෙසේ වේ දැයි කියන දැක්මටයි, මම පරිකල්පනය කියන්නෙ. යම් දෙයක් සිද්ද වෙනවා. ඒක සාමාන්‍යයයෙන් යථාව නමුත් එය එසේ නොවේ මෙසේ වුණා නම් කෙසේ දැයි කියා ලේඛකයා විසින් පරිකල්පනය කොට වඩා අපූරු අදහසක් නිර්මාණය කරනු ලබනවා

ඔබ ඉතා දක්ෂ කෙටි කතා කරුවෙක් බව අවිවාදිතයි. නමුත් ඔබේ බොහොමයක් කෙටි කතා එකිනෙකට සමගාමීව ගලා යන බවක් පෙනී යනවා. ඒ කියන්නෙ ඔබ වස්තු විෂයට විවිධ හැඩතල ලබා දෙමින් විවිධ කතා රචනා කරනවා. මේ පිළිබඳව ඔබ සවිඤ්ඤාණිකද?

 ඔව්! මම දැන් ඇත්තටම එකම අදහසක් හෝ සංවේදනාවක් පාදක කරගෙන ලියපු කෙටි කතා දෙක තුනක් තියෙනවා. දැන් නිදර්ශනයක් හැටියට එක කාන්තාවක් මූණ දෙන තත්වයන් විදාරණය කිරීම සඳහා මම කෙටි කතා ගණනාවක් ලියලා තියෙනවා. දැන් ලේ වගේ කෙටිකතාවක් ගත්තොත්, ඒවගේම රැකවරණය කියන කතාව ගත්තත් එකම කාරණයක් වගේ පේන්න පුළුවන්. නමුත් එකම කතාවක විවිධ පැතිකඩ තමයි එකම කතාවෙන් නිර්මාණය කරලා තියෙන්නෙ.

 නවකතාව සහ කෙටි කතාව යන ද්වි මාධ්‍යයන් තුළින් ඔබට සාපේක්ෂව වඩාත්ම බලසම්පන්න මාධ්‍යය කුමක්ද?

 මම තාමත් වඩා කැමති කෙටි කතාවටයි. නමුත් කෙටි කතාවකින් නිරූපණය කළ නොහැකි වස්තු බීජයක් මගේ සිත තුළ පහළ වෙනවා නම්, මං ඒකෙන් නවකතාවක් ලියනවා. කවියකින් කියන්න පුළුවන් දෙයක් කෙටිකතාවකින් කියන්න අමාරුයි, ඒ වගේම නවකතාවකින් කියන්න පුළුවන් දේ කෙටි කතාවකින් කියන්නත් බෑ කෙටි කතාවකින් කියන්න පුළුවන් දෙයක් නවකතාවකින් කියන්නත් බෑ. මම මේ කෙෂත්‍ර තුන තුනක් හැටියට සළකනවා. ඒ යම් අදහසක් සංවේදනයක් ප්‍රකාශ කළ හැකි වඩාම හොඳ ආකාරය අදාළ වස්තු බීජය සමඟ මත තමයි රදා පවතින්නෙ.

ඔබ එක් තැනක ලියා තිබුනා මට මතකයි ඔබට සැබෑ ජීවිතයේ මුණ ගැසෙන චරිත කෙටි කතාව තුළට රැගෙන එන බවක්. ඒ අනුව ඔබ සහමුලින්ම යථාර්ථවාදියෙක්ද?

 නෑ! සැබෑ ජීවිතය ආශ්‍රයෙන් නිර්මාණය කරනවා කියන එක සහමුලින්ම යථාර්ථවාදී කියන එක නෙමේ. මම යථාර්ථවාදියෙක් තමයි . ඒක තමයි මගේ ප්‍රධාන භාවිතාව. නමුත් යථාර්ථවාදය කියන එක අපේ රටේ සාහිත්‍යය කේෂත්‍රය තුළ හඳුනාගෙන තියෙන්නෙ ඉතා පටු සීමාවකින්. යථාර්ථවාදයට බොහෝ දුරක් ගමන් කරන්න පුළුවන්. ඉතිං මම බලන්නෙ යථාර්ථවාදයේ සීමාවෙ ඉම දක්වාම ගමන් කරන්නයි. ඒත් සමහර වෙලාවට යථාර්ථවාදී නෙමේ කියන තරම් දුරට ගමන් කරන්නත් පුළුවන්. මම සාමාන්‍යයයෙන් යථාර්ථවාදය අධියථාර්ථවාදය ඉන්ද්‍රජාලික යථාර්ථවාදය යනුවෙන් විචාරකයන් විසින් බෙදන ලද දේවල් අතර චීන මහා ප්‍රාකාර වගේ ලොකු වෙනස්කම් තියෙනවා කියලා හිතන් නෑ.

නමුත් දැන් ගොතික් වගේ කලාවක් ගත්තම ඒක සහමුලින්ම යථාර්ථවාදයට පටහැනියි. එම නිසා මේ අයුරින් ජෝරයන් අතර තිබෙන්නා වූ විභේදන ලක්ෂණය තීරණාත්මක එකක් නේද?

 දැන් ඉන්ද්‍රජාලිත යථාර්ථවාදයේ පියා ලෙස ගැනෙන මාකේස් වරෙක සඳහන් කරනවා ඔහු යථාර්ථවාදියෙක් කියලා. මම ජීවත් වෙන සමාජයේ නොපෙනෙන  දේ තමයි මම පෙන්වන්න හඳන්නෙ. ඉතිං ඒක වෙනත් රටක වෙනත් කෙනෙකුට පේන්න පුළුවන් අධීයථාර්ථවාදී අයුරින්. දැන් අපි කැලෑවකට ගියොත් ඒකෙ උණුවතුර ගංගාවක් තියෙන්න පුළුවන්. හැබැයි ඒක වෙන රටක මිනිහෙක්ට අධියථාර්ථවාදී හෝ මැජිකල් රියලිසම් වෙන්න පුළුවන්.

අද්‍යයතන ලාංකේය සාහිත්‍යය පිළිබඳව ඔබේ පුද්ගලික හැඟීම කුමක්ද?

අද සිංහල සාහිත්‍යයයේ වඩාම දියුණුවට පත් වෙලා තියෙන කේෂ්ත්‍රය තමා කවිය. අපිට ඉතාම ඉහළ කවීන් කීප දෙනෙක් ඉන්නවා. ඊළඟට මං හිතන්නෙ කෙටි කතාව. නවකතාව තියෙන්නෙ තුන්වෙනි තැන කියලා තමයි මං හිතන්නෙ. ඒ වගේම අද ලියවෙන නවකතා ගත්තොත් කව්රුහරි ඇහුවොත් කියවන්න කෘති පහක් නම් කරන්න කියලා මට ඒක කරන්න අමාරුයි. හැබැයි මට කවි නම් පනහක් විතර වගේම කෙටි කතා විසි පහක් විතරක් කියන්නත් පුළුවන්.

ප්‍රින්ස්ගෙන පසුව ඉදිරියේදී ඒමට නියමිත ඔබේ අළුත් නිර්මාණ මොනවාද?

 ප්‍රින්ස්ගෙන් පසුව තමා මගේ ප්‍රථම කාව්‍ය  සංග්‍රහයවන කාගෙද වසන්තය කියන එක ආවේ. ඒකත් එක්කම නිකුත් වුණා පරිවර්තන කෘතියක්. ඉන්දියානු ආදර කතා කියලා.

සංවාද සටහන

බාසුරු ජයවර්ධන

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

සාකච්ඡා

සිව් මංසල - කලා සංග්‍රහය (2)

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

ශ්‍රී ලාංකීය නවකතාව වෙනුවෙන් නව සාහිත්‍ය සම්මාන උළෙලක් ඇරඹේ. සිංහල, දෙමළ...

මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

 මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

ගාල්ල කොටුව කොමර්ෂල් බැංකු ඉපැරණි ගොඩනැගිල්ල උදය කාලය අසූව දශකය මුල් භාගය...

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’ (රාජපක්ෂ චෞර රාජ්‍යයේ වගතුග) 29...

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

නවකතාවක නැත්නම් ප‍්‍රබන්ධ කෘතියක වැදගත්ම දේ තමයි, යම් අච්චුවක දමා...

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

ජනප්‍රිය ගායිකා අයිරින් ද අල්විස් ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයකු ප්‍රවීණ...

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ඇය ජිවිතය සොයා ගියාය. අනේක විධ පාවාදීම් මැද ඇය ජිවිතය...