21 July 2018
RSS Facebook Twitter   

ප‍්‍රධාන පක්ෂ දෙක එකට සිටිය යුතුයි - අමාත්‍ය කිරිඇල්ල

lakshman kiriමැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමට 20 වැනි සංශෝධනයක් ගෙන ඒම සඳහා යෝජනාවක් තිබුණත් ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවන්න ඕනෑ කියලා එජාපය ප‍්‍රතිපත්තිමය තීන්දුවක් අරන්. ඒ මොකද?

කොහොමත් ඊළඟ මහ මැතිවරණය අලූත් ක‍්‍රමයකට තියෙනවා කියලා අපි කොහේවත් කියලා නැහැ. අපි කියලා තියෙන්නේ නව මැතිවරණ ක‍්‍රමයක් හඳුන්වා දෙනවා කියලා. අනිත් එක මැතිවරණ සංශෝධනයක් සඳහා මන්ත‍්‍රීවරුන්ට විතරද අයිතියක් තියෙන්නේ. ඡුන්දදායක ප‍්‍රජාවට අයිතියක් නැද්ද එයාලාගේ අදහස් ඉදිරිපත් කරන්න? පුරවැසියන් සහ ජනතා නියෝජිතයන් එක්ව එය කළ යුතුයි. කොට්ඨාස කැඞීමේදී විවිධ ජාතීන් නියෝජනය වන ආකාරයට කළ යුතුයි. කොට්ඨාස කඩලා තියෙන්නේ විවිධ පදනම් මත. ඒ පදනම් ආරක්ෂා වෙන්න ඕනෑ. සිවිල් සංවිධාන, ආගමික සංවිධානවල අදහස් විමසන්න ඕනෑ. අනිවාර්යයෙන්ම මැතිවරණ ක‍්‍රමය වෙනස් කළ යුතුයැ’යි අපි මතයක ඉන්නවා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා තමයි මිශ‍්‍ර ක‍්‍රමයක් යෝජනා කරපු ඔය දිනේෂ් ගුණවර්ධන කමිටුව පත් කළේ. 2001දී ඔය මැතිවරණ ප‍්‍රතිසංස්කරණ කමිටුව පත් කළේ අපි. ඊට පස්සේ අපට ඒක ක‍්‍රියාත්මක කරන්න ලැබුණේ නැහැ, බලය අහිමි වුණා. ඉන්පස්සේ අවුරුදු 14ක් බලයේ ඉඳලා ඒගොල්ලන්ට බැරිවුණා මේක වෙනස් කරන්න. සුළු පක්ෂ සහ සුළු ජාතික පක්ෂ රාජපක්ෂ රෙජීමය ඉවත් කරන්නත් ලොකු සහයෝගයක් දුන්නා. ඔවුන්ගේ අදහස විමසන්නත් ඕනෑ. ශ‍්‍රීලනිපය නෙවෙයි මෛත‍්‍රීපාලව දිනෙව්වේ.

ඒ කොහොම වුණත් සංයුක්ත මැතිවරණ ක‍්‍රමයක් සඳහා මූලික යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. ඔබලාට අදහසක් ඇති ඒ අතරින් වඩාත් සුදුසු ක‍්‍රමය මොකක්ද කියලා.

කැබිනට් මණ්ඩලයට පත‍්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒත් ඒ ගැන ප‍්‍රායෝගික පැහැදිලි කිරීමක් කවුරුත් කරලා නැහැ. අවිනිශ්චිත කරුණු ගණනාවක් තියෙනවා. අපට කියවලා තේරුම් ගන්න කිව්වා. අපි මැතිවරණ ක‍්‍රමය වෙනස් කරනවාට විරුද්ධ නැහැ.

නූතන ඉතිහාසයේ හැදුණු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සහ සංශෝධන සියල්ලම පාහේ කිහිපදෙනකුගේ අදහස් මත ගොඩනැගුණු ඒවා. හැම එකක්ම වගේ පසුව වෙනස් කළ යුතු විවිධාකාර අඩුපාඩු සහිත වුණා. ඊළඟ අභියෝගය පුළුල් එකඟත්වයක් සහිත නව ව්‍යවස්ථාවක් සකසා ගැනීම නේද?

ඔව්, මේ සැරේ සංශෝධන වගයක් ගෙනාවා. ලබන මැතිවරණයෙන් පසු මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් හැටියට වාඩිවෙලා මහජනතාවගේ කරුණු විමසලා සම්පූර්ණ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදන්න බලාපොරොත්තු වෙනවා.

ඔබලාගේ බලාපොරොත්තුව දකුණු අප‍්‍රිකානු ආදර්ශය අරගෙන නූතන ඉතිහාසයේ වෙච්ච ප‍්‍රශ්නවලටත් විසඳුම් ලැබෙන ආකාරයේ තිරසාර ආණ්ඩුක‍්‍රමයක් ගැනද?
පැහැදිලිවම. ඒක තමයි විය යුත්තේ. එතැනදී මැතිවරණ ක‍්‍රමයේ වෙනසකුත් තියෙනවා. ජනවාර්ගික ගැටලූවට විසඳුම් හොයනවා. සංහිඳියාව ගැන හිතනවා. පුරවැසියන්ගෙන් ව්‍යවස්ථාවක් ගෙන එන්න ඕනෑ.

සම්මත වුණු දහනවවෙනි සංශෝධනය සහ එය සම්මත වුණු ආකාරය පිළිබඳව එජාපයට තිබෙන අදහස මොකක්ද?

එක්සත් ජාතික පක්ෂය සුළුතර ආණ්ඩුවක්. අපට අවශ්‍ය දේ ම කරන්න ඉඩක් නැහැ. කොහොම වුණත් එජාපයේ මෙහෙයුම නිසා 19 වැනි සංශෝධනය කි‍්‍රයාත්මක වුණා. අඩුපාඩු සහිතව වුණත්. ඔය වෙලාවේ පාර්ලිමේන්තුවේ කාමර ගාණේ තිබුණ සාකච්ඡුාවලට ගිහින් මමත් කිව්වේ අපි මේක දානවා. ඕනෑ නම් පරද්දන්න. හැබැයි පරද්දලා ජනතාව ඉදිරියට යන්න හිතන්න එපා කියලා. ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, සෝභිත හිමියනුත් කිව්වේ ඒක. අන්තිමට ඡුන්දය නොදී ඉන්න බැරි තත්ත්වයක් උදාවුණා.

පාර්ලිමේන්තුවේ බහුතරය වුණ සන්ධානයේ නායකයා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 19ට අනුමැතිය ලබාගැනීමේදී ඔහුගේ කාර්යභාරය ගැන එජාපයේ තක්සේරුව මොකක්ද?

ඇත්තටම ශ‍්‍රීලනිපය විශාල කාර්යභාරයක් කළා. මෛත‍්‍රීපාල ජනාධිපතිතුමා උදේ ඉඳන් ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායම එක්ක ඉඳලා ඒ අයගේ හිත හැදුවා. ශ‍්‍රීලනිපයේ මහින්ද රාජපක්ෂගේ අංශය තමයි මේක කඩාකප්පල් කරන්න හැදුවේ. ඒකට පාවිච්චි කළේ ශ‍්‍රීලනිපය නෙවෙයි වෙනත් පක්ෂවල අය. විමල්, වාසු, දිනේෂ් තමයි පාවිච්චි වුණේ. සංශෝධන ගෙනාවේත් ශ‍්‍රීලනිපයේ අය නෙවෙයිනේ.

මහින්ද රාජපක්ෂලාගේ කණ්ඩායම ගැන ඔබලාට තිබෙන කියවීම මොකක්ද?

මැදිහත්ව කල්පනා කළොත් මේ තියෙන දේශපාලන තත්ත්වය උඩ කවුරු ආවත් එජාපයට ජයග‍්‍රහණය කරන්න පුළුවන්. අපේ ඡුන්ද පදනම ශක්තිමත්. අපි ඉන්නේ මැතිවරණයක් එනතුරු නොඉවසිල්ලෙන්. මේ පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂගේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරන්න ආපු පාර්ලිමේන්තුවක්. පාර්ලිමේන්තුව වාහනයක් වගේ අවුරුදු පහකට සැරයක් තෙල් මාරු කරන්න ඕනෑ කියලා කතාවක් තියෙනවනේ.

මහින්ද කණ්ඩායමේ දෘෂ්ටිවාදය පරාජය කළ යුතුයි නේද?

පැහැදිලිවම. එජාපය බලයට පත්වෙලා පසුගිය මාස කිහිපය ගත්තාම ඔවුන්ගේ දේශපාලන දර්ශනය බවට ජාතිවාදයට පසුබැහැලා තියෙනවා. අපි ජාතිවාදය පිටු දකින්න ඕනෑ. ලෝක ප‍්‍රජාවගේ සහයෝගය ලැබෙන්නේ එතකොට. මොන ආණ්ඩුවක් පාලනය කෙරුවත් ජාතිවාදයෙන් ඈත්වෙන තරමට රටේ අනාගතයට හොඳයි.

ශ‍්‍රීලනිපයෙන් මහින්දට නාමයෝජනා ලබාදෙන්න තියෙන උත්සාහය ගැන අදහස මොකක්ද?

මැතිවරණයට කවුරු ඉදිරිපත් වුණත් අපට ප‍්‍රශ්නයක් නැහැ. අපි මහින්දව පරාජය කළා. අපි ඔහුට බය නැහැ. ඒත් මෛත‍්‍රීපාල සිරිසේන මහත්මයාව ජනාධිපති කළේ එජාපයත් සුළු පක්ෂ සහ සුළු ජාතික පක්ෂත් එකතුවෙලා. අපට විශ්වාසයක් තියෙනවා ආසන සීයකට වැඩියෙන් ලබාගන්න පුළුවන් කියලා. මහින්දට නාමයෝජනා දෙනවා කියලා සාකච්ඡුාවක් විතරයි තියෙන්නේ. අපට පැහැදිලි නැහැ වෙන්නේ මොකක්ද කියලා. කොහොම වුණත් අපට ප‍්‍රශ්නයක් නැහැ.

මහින්ද ඉල්ලූවත් නැතත් ඔබලාගේ ඡන්දයෙන් බලයට ආපු ජනාධිපතිවරයා ප‍්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ මැතිවරණ වේදිකාවට ගොඩවීම ගැන අදහසක් තියෙනවාද?

පක්ෂ නායකයන් අතර මුලින් තිබුණු එකඟතාව තමයි මෛත‍්‍රී ජනාධිපති වූ පසුව ඔහු දේශපාලනයෙන් තොර ජනාධිපතිවරයෙක් හැටියට කටයුතු කළ යුතුයි කියලා. ව්‍යවස්ථා සංශෝධනවලින් පසුව පක්ෂ නායකත්වය වෙන කෙනෙක්ට දීලා නිර්දේශපාලනිකව ඉඳියි කියන විශ්වාසය තිබුණේ. පොඩි ප‍්‍රමාදයක් තියෙනවා. ඒත් ඒ විශ්වාසය තාමත් තියෙනවා. ජනාධිපතිතුමා දන්නවා ඔහු බලයට ආවේ අපේ ඡන්දයෙන් කියලා. ඔහු ඒ බව නිතර කියනවා. කොහොම වුණත් මෛත‍්‍රී මහින්දට අපේක්ෂකත්වය දීලා අයින් වෙයි කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. මහින්ද කියන්නේ පරාජිතයෙක්. ඔහුට දේශපාලන ශක්තිය ආවේ රාජ්‍ය බලයෙන්. ගිය පාර මහින්දට දීපු අයගෙන් බහුතරය දැන් මහින්දව අත්හැරලා තියෙන්නේ.

මේ දේශපාලන පක්ෂ දෙක ප‍්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් ලෙස මැතිවරණයට ආවත් ඉන්පසුව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම කොයිතරම් ප‍්‍රායෝගිකද?

අපි ජාතික ආණ්ඩුවක් හදන්න උත්සාහ කරනවා. රටට ඉදිරියේ මුහුණ දෙන්න තියෙන ප‍්‍රශ්නවලට ප‍්‍රධාන පක්ෂ දෙක එකට නොහිටියොත් මුහුණ දෙන්න අමාරුයි. විශේෂයෙන් ජාත්‍යන්තර ප‍්‍රශ්න. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විදියට මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාත් ජාතික ආණ්ඩුවකට කැමතියි. මහින්දගේ බලපෑම නිසා තමයි මේ ප‍්‍රශ්න ඇති කරන්නේ. ඒක ජනාධිපතිතුමා හොඳට තේරුම් අරන් තියෙන්නේ.

ඉදිරි මැතිවරණයේදී එජාපය වඩාත් අවධානය යොමු කරන්නේ ආර්ථිකමය ප‍්‍රතිපත්ති දෙසටද? ව්‍යවස්ථාමය කරුණුවලටද?

නව ව්‍යවස්ථාවක් ගැන අපි පැහැදිලිව කියලා තියෙනවා. ඒ වගේම ආර්ථික ප‍්‍රතිසංස්කරණ ගැනත් කතා කරනවා. රැකියා දස ලක්ෂයක් ඇති කරන බව අගමැතිතුමා කිව්වා. මේවා ක‍්‍රියාත්මක කරන්න අපට ශක්තිය තියෙනවා. විශේෂයෙන් බටහිර රටවල්වලින් ආයෝජන ගෙන්නා ගන්න පුළුවන් වෙයි. මහින්ද රාජපක්ෂ යුගයේ ආයෝජන නෙවෙයි ණය තමයි ගත්තේ. උදාහරණයක් විදියට කටුනායක නිදහස් වෙළෙඳ කලාපය ගන්න පුළුවන්. රැුකියා ඇති වෙනවා. ව්‍යවස්ථා සංශෝධන ඇති කරලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කරන එකේ තවත් වාසියක් තමයි මේ ආයෝජන ගලාගෙන එන එක. ස්වාධීන අධිකරණයක් තියෙන රටවල්වලට තමයි ආයෝජන එන්නේ.

ව්‍යවස්ථාවක් සම්මත වුණු පළියට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතිවෙන්නේ නැහැ. ඒ සඳහා දේශපාලනඥයන් පෙරමුණ අරන් යායුතු ක‍්‍රියාවලියක් තියෙනවා. ඔබේ පක්ෂයට ඒ වගේ සූදානමක් තියෙනවාද?

ලංකාවට විශාල අභියෝගයක් තියෙනවා. මේ ව්‍යවස්ථා රාමුවට හුරුවෙන්න. දශක ගාණක් තිස්සේ ලංකාව හුරුවෙලා තියෙන්නේ අවනීතියට. තමන්ගේ අභිප‍්‍රාය අවනීතියෙන් හරි ඉෂ්ට කරගන්න තමයි බහුතරයක් බලාගෙන ඉන්නේ. උදාහරණයක් විදියට දූෂිතයන් අත්අඩංගුවට ගන්න කියලා කරන ඉල්ලීම්. අපේ මතය විධිමත් පරීක්ෂණ කරලා සාක්ෂි සහිතව අත්අඩංගුවට ගන්න අදාළ ආයතනවලට ඉඩදෙන්න ඕනෑ කියලා. අපට කාවවත් ගස් බඳින්න බැහැ. අපේ පක්ෂයේම අයත් බලාපොරොත්තු වෙනවා ගිය ආණ්ඩුව කළා වගේ බලය පාවිච්චි කරන්න. ඒත් අපේ උත්සාහය සුදු වෑන්වලට පුරුදු වෙච්ච සමාජය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ක‍්‍රියාත්මක කරන්න.

මහානායක හිමිනමක් ජනාධිපතිවරයාටත් කියලා තිබුණා නායකයෝ කිහිපදෙනෙක් ඉන්න බැහැ. එක නායකයෙක් පමණක් ඉන්න ඕනෑ කියලා.

ඔව්, ලංකාව හුරුවෙලා ඉන්නේ ඒකට. දින සීයේ ආණ්ඩුව මන්දගාමීයි කියලා සමහරු කියන්නෙත් මේ නීතියට පිටින් අධිවේගයෙන් ගිය ගමනට හුරුවෙලා නිසා. ඒත් අපි දින සීය සඳහා ලබා දුන්නු පොරොන්දුවලින් සීයට අසූවට වඩා ඉටුකරලා තියෙන්නේ. භාණ්ඩ මිල අඩු කළා, වැටුප් වැඩි කළා. ඊට අමතරව සහන රැුසක් දුන්නා. මම සරල උදාහරණයක් විදියට පෙන්වන්නම් මේ අලූත් අවුරුද්ද. ඉතිහාසයේ කවදාවත් නොතිබුණු විදියේ තදබදයක් ප‍්‍රධාන නගරවල තිබුණේ. මිනිස්සු බඩු භාණ්ඩ අරගෙන සතුටින් අවුරුද්ද සැමරුවා. ඊට අමතරව අපි වසර ගාණක් හිරවෙලා තිබුණු ව්‍යවස්ථා සංශෝධන ගෙනාවා. ඖෂධ පනත සම්මත කළා. මැතිවරණ ක‍්‍රමය වෙනස් කරන්න, විගණන පනත සහ තොරතුරු දැනගැනීමේ පනතට අපි සූදානම්. අවනීතියට වඩා නීතියෙන් වැඩ කරන කොට ප‍්‍රමාදයක් මතුපිටින් පේනවා. ඒත් මිනිස්සු තේරුම් ගන්න ඕනෑ අවනීතිය කියන්නේ ආපස්සට යෑමක්. ජනතාව දැනුවත් කිරීම සඳහා මාධ්‍යවලටත් වගකීමක් තියෙනවා. ඒත් ලංකාවේ ජනමාධ්‍ය තියෙන්නේ අයිතිකාරයාගේ සතුරන්ට පහර දෙන්නත් අවනත වෙන අයව උඩින් තියන්නත් විතරයි. මේවා වෙනස් වෙන්න ඕනෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් වෙන්න නම්.

තරිඳු උඩුවරගෙදර
http://www.sinhala.srilankamirror.com

 

 

 

සාකච්ඡා

සිව් මංසල - කලා සංග්‍රහය (2)

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

ශ්‍රී ලාංකීය නවකතාව වෙනුවෙන් නව සාහිත්‍ය සම්මාන උළෙලක් ඇරඹේ. සිංහල, දෙමළ...

මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

 මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

ගාල්ල කොටුව කොමර්ෂල් බැංකු ඉපැරණි ගොඩනැගිල්ල උදය කාලය අසූව දශකය මුල් භාගය...

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’ (රාජපක්ෂ චෞර රාජ්‍යයේ වගතුග) 29...

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

නවකතාවක නැත්නම් ප‍්‍රබන්ධ කෘතියක වැදගත්ම දේ තමයි, යම් අච්චුවක දමා...

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

ජනප්‍රිය ගායිකා අයිරින් ද අල්විස් ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයකු ප්‍රවීණ...

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ඇය ජිවිතය සොයා ගියාය. අනේක විධ පාවාදීම් මැද ඇය ජිවිතය...