20 April 2018
RSS Facebook Twitter   

කළුතර වස්කඩුව ඝාතන 05

 

murderපූර්විකාව
අද අප ඔබට ඉදිරිපත් කරන්නේ කළුතර වස්කඩුව ඝාතන රැල්ලේ 05 වන කොටස ය. එය එම ඝාතන රැල්ලේ අවසාන කොටස ද වේ.

මෙම ඝාතන රැල්ල හොර රහසේ සිදු කළ ඝාතනයන් නොව: ප්‍රසිද්ධියේ ම පැමිණ, ප්‍රසිද්ධියේ ම පහර දී ප්‍රසිද්ධියේ ම පැහරගෙන ගොස්, ප්‍රසිද්ධියේ ම වද බන්ධනයට ලක්කොට, ප්‍රසිද්ධියේ ම ඝාතනය කොට, ප්‍රසිද්ධියේ ම සිරුරු පුළුස්සා දැමීමකි.



එපමණක් නොව මෙම ඝාතන රැල්ලට සම්බන්ධ වූවේ ද නාදුනන තුවක්කු කරුවන් නොව හොඳින් හඳුනන, පසුව වුව ද හඳුනාගත හැකි, නිශ්චිත ස්ථානයක ආරක්ෂක කටයුතුවල නියුතු පිරිසකි.

මෙම ඝාතන රැල්ලට සම්බන්ධ වුවන් අතර පළාත් සභා මන්ත්‍රීවරු, ඔවුන්ගේ ශරීර ආරක්ෂකයෝ, ස්වාමීන් වහන්සේලා පමණක් නොව පොදු පෙමුණේ මන්ත්‍රීවරියක් ද වෙති.

ඍජුව ම නම් සඳහන් අය අතර පළාත් සභා මන්ත්‍රි ලක්ෂ්මන් විජේමාන්න, ඔහුගේ සොයුරු වී. ඇල්. විජේමාන්න, පළාත් සභා මන්ත්‍රි ලක්ෂ්මන් විජේමාන්න ශරීරාරක්ෂකවරු දෙදෙනා වන ෆ්‍රැන්සිස් සහ පුෂ්පකුමාර යන අය සහ උතුරු කළුතර පොලිසියේ සාජන්ට් සුගතදාස, කොස්තාපල් අජිත් සෙනෙවි රත්න, අප්පුහාමි, සුනිල්, උග්ගල්බඩ පොලිසියේ සාජන්ට් උපුල්, කීර්තිපාල, ටෙනිසන් යන අය මෙන් ම බොම්බුවල නාවික හමුදා කඳවුර බාරව සිටි කර්නල් කරුණාතිලක. කළුතර පොලිසියේ පොලිස් ස්ථානාධිපති සුමිත් එදරිසිංහ, වෙද්‍යාලංකාර, කොස්තාපල් මුනසිංහ, අතුල සහ එවකට පොලිස් ස්තානාධිපතිධුරය දැරූ වාස් ගුණවර්ධන (මේ වන විට මිනිමැරුම්, පැහැරගෙන යාම් සහ කප්පම්ගැනීම් ඇතුළු චෝදනා රැසක සැකකරුවකු ලෙස රක්ෂිත බන්ධනාගාර ගතව සිටී) යන අය වෙති.

මීට අමතරව එම ඝාතන රැල්ල සඳහා යුද, නාවික හමුදා මෙන්ම පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ද ඍජුවම සම්බන්ධ වී ඇත. මේ සියලු පැහැරගෙන යාම්, වද බන්ධනයට ලක් කිරීම්, ඝාතනය කොට පුළුස්සා දැමීම් ඇසින් දුටු සාක්ෂි ද අපමණ ය. එමතු නොව ඇතැම් හමුදා නිලධාරින් පැහැරගැනීමට ලක්වූවන්ගේ ඥාතින්ගෙන් කප්පම් ගැනීම් ද සිදුව ඇත. අදාළ පුද්ගලයන්ගේ නම් ද ප්‍රසිද්ධ කර ඇත.

එහෙත් සිදුව ඇත්තේ කුමක් ද...?

එවකට රට පාලනය කළ එක්සත් ජාතික පක්ෂයේ නායකකාරාදීන් ද ඉක්බිති බලයට පැමිණි පොදු පෙරමුණේ නායකකාරාදින් ද මේ සියලු සිදුවීම් පිළිබඳ වගේ වගක් නොමැතිව සිටීම ය. එදා බලයේ සිටියවුන්ට මෙන් ම පසුව බලයට පැමිණි වුන්ට ද ඔවුනොවුන්ගේ පැවැත්මට තර්ජනයක් යැයි සිතුණ පුද්ගලයන් හෝ කණ්ඩායම් මර්දනය කිරීමට මේ දෙපිරිසම පසුබට නොවන බව මින් පැහැදිලි ය. එය ලාංකිය ප්‍රජාව මේ වන විට අත්දකිමින් සිටිති. 71 මිනී මරුවන් 77 බලයට පත්වු පාලකයන්ගේ සුරතලුන් බවට පත් වු අතර 87-89 මිනීමරුවන් වර්තමාන පාලකයන්ගේ සුරතලුන් බවට පත්ව ඇත.

වත්මන් පාලනය පෙරළා දමා බලය ලබාගන්නට යත්න දරනා දේශපාලනඥයන්ගෙන් විමසිය යුතුව ඇත්තේ: මෙය චක්‍රයක්සේ ඉදිරියටත් සිදුවීමට ඉඩ හරිනවා ද එසේත් නැත්නම් ජනතාවගේ දැවෙන ප්‍රශ්න සඳහා නිසි පිළිතුරු සපයා නැවතත් ශ්‍රි ලංකා දෙරණ මත මෙවැනි ව්‍යසනයන් සිදු නොවීමට වග බලා ගන්නවා ද යන්න ය.

පිළිතුරු සැපයීමට ඉඩ-කඩ විවරව ඇත.


උග්ගල්බඩ විද්‍යාල මාවතේ නොම්මර 84 දරන ලිපිනයේ පදිංචි අගම්පොඩි පියරත්නද සිල්වා උපත ලැබූයේ 1961 අගෝස්තු 09 වන දින යි. ඔහු ඝාතනයට ලක් වූයේ 1989 දෙසැම්බර් 28 වන දින යි. එවිට ඔහුගේ වයස අවුරුදු 28 කි.

කතාව ආරම්භ කළේ ඔහුගේ මව වූ ඇල්. ලුයි නෝනා ය.

සිද්ධිය වෙන දවසෙ පුතා කිට්ටුව නැ ගෙදරක ගිහින් හිටියෙ. මගේ දරුවට ඔය අපරාධය වුණේ එතනදි.

මෙසේ පවසමින් ඇය අප කැඳවාගෙන ඇගේ නිවස වෙත පිය නගද්දි ඇගේ දෑසින් කඳුළු බේරෙනු පෙනුනි. නිවසට ගිය ඇය එහි සිටි ඇස්. ඩී. චන්ද්‍රානි සිල්වා මහත්මිය වෙත අප යොමු කළා.

එතැන් සිට අප හා කතා කළේ ඇය යි. මෙහේ ආවොත් පියරත්න අපිත් එක්ක නිතරම ඉන්නෙ විහිළුවෙන් තමයි. ඒ හින්ද ම මම කිව්ව ‘නිතරම ගම වටලන නිසයි බොරු ඔත්තුකාරයො නිසයි කොයි වෙලාවෙ ගම වටලයිද දන්නෙ නැහැ. ගමේ ඉන්න එපා’ කියල. එතකොට එයා කිව්වෙ ‘අපි වැරදි කරල තියෙනවනම් අරගෙන යාවි. නමුත් මම වැරදි කරල නැහැ’ කියල. එයා අපේ ගෙදර ආවෙ අපේ අයියගෙ තුන් මාසෙ දානෙට උදව් කරන්න.

එසේ පැවසු ඇය මඳක් නිහඩවූවා ය. ඒ, ඇගේ දෑසින් ගලා එන කඳුළු බිඳු පිසදැමීම සඳහා ය. ඒ ඇගේ ම අයියා වු එස්. ඩී. චන්ද්‍රසිරි සිල්වා ද මීට තෙමසකට පෙර එම ඝාතකයන් රැල විසින් ම පැහැරගෙනගොස් ඝාතනය කිරිම සහ හිතවතකුගේ වියෝව හේතුකොට ගෙන හදවතේ නැගි වේදනාවෙනි. එදා පියරත්න ඇගේ නිවසට පැමිණියේ ද චන්ද්‍රසිරි සොයුරාගේ තුන්මස් දානයේ වැඩකටයුතු සදහා සහයෝගය දැක්වීමට ය.

අනේ ඒ වෙනකොට හමුදාවෙනුයි පොලිසියෙනුයි 200 ට වැඩිපිරිසක් ගෙදර වටකරලයි තිබුණෙ. එතකොට මයෙ හිතේ හවස දෙකහමාරට තුනට විතර ඇති. ඒ වෙලාවෙ ඔත්තුවක් ගිහින් පියරත්න අයිය අරක්කු විකුණන තැනක ඉන්නව කියල. ඒ ඔත්තුවට තමයි අපියි කියල හිතාගෙන මෙහේ ආවෙ.

මුනසිංහයි අතුලයි කියන රාලහාමිල දෙන්න ඇවිත් ඇහුව ‘උඹ අරක්කු විකුණනව නේද...?’ කියල. මම කිව්ව ‘අනේ රාලහාමි ජිවිතේට එහෙම වැඩ කරල නැහැ’ කියල. ඒ පාර අරක්කු විකුණන තැන මගෙන් ඇහුව. මම තැන පෙන්නුව. ආපහු උන් ම ටික වෙලාවකින් අපේ ගෙදෙට්ට ආව. ඇවිත් පියරත්නව ඇහුව. මම කිව්ව ‘මම දන්නෙ නැහැ’ කියල. මොකද ගෙදරට ආපු මිනිහ කිසිම වරදක් නැතුව පාවල දෙන්න පුළුවන්ද? පස්සෙ ඔය විදියට හත් අට වතාවක් ආව. එවෙලෙ පියරත්න අයිය කිව්ව ‘නංගි උඹ බේරියන්. මැරුණත් මම විතරයිනෙ’ කියල. පස්සෙ උන් යන්න ගියා. හැබැයි පියරත්න අපේ ගෙදර ඉන්නව කියල කවුරු හරි ඔත්තුවක් දිල තියෙනව. කොහොම හරි මම එතනින් මගඇරල වෙන දිහාවකට ගියා. ඇයි ඉතිං මුන් මාරයො වගේනෙ. ඊළග පාර ඇවිත් පැනපු ගමන් පියරත්න අයියව අල්ලගෙන හොඳට ම ගහල තියෙනව. ඒත් පොර බදල කෙහොම හරි පැනල දුවල. ඒ පාර තමයි වෙඩි තියල තියෙන්නෙ. පියරත්න අයිය වෙඩි පාරත් කාගෙන ම දිගට ම දුවල. ඒ පාර තමයි දිගට ම වෙඩි තියන්න ගත්තෙ. ඒ වෙඩිපාරවල් වැදිල පියරත්න අයිය වැටිල.

පස්සෙ මුන් ගිහින් පියරත්න අයියව අල්ලගෙන ඇඳුම් ගලවල ලන්කට් එක පිටින් ම ජිප් එක ළඟට ගෙනල්ල කකුල් දෙකයි අත් දෙකයි ගැටගහල ජිප් එකේ බැඳගෙන උග්ගල්බඩ හන්දියට වෙනකං පාර දිගේ ඇදගෙන ගියා. හන්දියට මෙතන ඉඳල හැතැප්ම කාලකට වැඩිය දුරයි. කොහොමටත් එතනට යනකොටත් මැරිල. පාර දිගට ම ලේයි මස් කැලියි තිබුණ.

පියරත්න අල්ලා ගත් පසු ඝාතකයන් විසින් ‘තොපේ වීරයා අපි අල්ලගත්තා. කෝ ඉන්න ජේවීපිකාරයො දැන් වරෙව්. තොපි සේරම කනවා’ යැයි කැගසමින් පියරත්න ගැටගසා තිබූ ජීප් රථය පිටුපසින් ගමන් කර ඇත.

මේ සම්බන්ධව ඇය විසින් වැඩි දුරටත් පැහැදිලි කරමින් කියා සිටියේ...

කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපති වෛද්‍යාලංකාර හෙවත් වලස්මුල්ලෙ මහත්තයා, මුණසිංහ, අතුල, කීර්තිපාල, ටෙනිසන් ආදි පොලිසියේ පිරිස ද පැමිණි බව යි.

අනතුරුව උග්ගල්බඩ හන්දියට ගෙන ගිය පියරත්නගේ මළකඳ ටයර් දමාපිළිස්සු අතර මළකඳ බාගෙට පිළිස්සුණ බැවින් ඒ අසල පදිංචිකරුවකු වූ පුංචිසිංඥෝ නමැත්තෙකු ටයරයක් දමා ඉතිරි කොටස ද පුළුස්සා ඇත.

හේමන්ත ජයසේකර
1995 පෙබරවාරි 26 හිරු

 

කළුතර වස්කඩුව ඝාතන 04

 

 

 

මානව හිමිකම්