20 April 2018
RSS Facebook Twitter   

කළුතර වස්කඩුව ඝාතන 04

police tortureදෙවන තරුණ නැගිටීම මර්දනය කොට වසර 25 ක් පිරීම නිමිත්තෙන් ඉදිරිපත් කරන ඝාතන ලැයිස්තුවට අද ඉදිරිපත් කරන්නේ ‘කළුතර වස්කඩුව ඝාතන’ රැල්ලේ 04 වන කොටස ය. මෙම ඝාතන පෙළ සිදු කොට ඇත්තේ අප්‍රසිද්ධියේ නොව ප්‍රසිද්ධියේ ය. එයට වගකිව යුතු පුද්ගලයෝ වර්තමානයේ ද ජිවතුන් අතර සිටින්නට පිළිවන...

මහවස්කඩුව සිරිල් මාවතෙහි සිවු දරු පියකු වූ මාදම්පගේ ඊටින් සිල්වා ඉපදුණේ 1946 මැයි දෙවන දින යි. ඔහු පැහැර ගැනීමට ලක් වූයේ 1989 ඔක්තෝබර් 07 වන දින යි. එවිට ඔහුගේ වයස අවුරුදු 43 කි.


සීමාහේවගේ සෝමවතී සිල්වා වූ ඔහුගේ බිරිඳ තම මතක සටහන අප වෙත ඉදිරිපත් කළේ මෙසේ ය.

මේ සිද්ධිය වෙන්න මාස කීපයකට ඉස්සෙල්ලා අපි කවුරුත් නැති වෙලාවක අපේ ගෙදෙට්ට පොලිසියෙන් ද කොළ කොටි ද කියන්න මම දන්නෙ නැහැ. නමුත් කට්ටියක් ඇවිත් තියෙනව. ඒ ආපු එවුං වහලෙ හෙවිල්ලන්න තිබුණ උළුකැට ටික සේරම පොඩි කරල, දොර කඩල ඇතුළට ගිහින්, ගෙයි බඩු සේරම පොඩි කරල තිබුණ. කබඩ් එක කඩල ඒකෙ තිබුණ ඇඳුම් මිදුල පුරා ම වීසි කරල තිබුණ. එහෙම කරල ඉස්සරහ ගෙදර මිනිස්සුන්ට කියල තියෙනව ‘අපි හවස හය වෙනකොට එනව. ඒ එනකොට ඉන්න කියාපන්’ කියල.

මම ඒ වෙලාවෙ හිටියෙ නංගි කෙනෙක්ගෙ මගුල් ගෙදරක. ඇඳුම් අරගෙන යන්න එනකොට මගට ම ආරංචි වුණා පොලීසියෙන් ගේ කඩල කියල. අනේ!!! ගෙදරට එනකොට බඩුවලින් ගන්න දෙයක් නැහැ. ඉන් පස්සෙ තමයි ඉස්සරහ ගෙදරින් පණිවිඩේ කිව්වෙ. ඒ හින්ද මම ගෙදර හිටිය. හවස හයහමාරට විතර නොම්මර නැති වාහනයකින් ආපු සාමාන්‍ය ඇඳුම් ඇඳගත්තු දෙන්නෙක් ගෙදර ගාවින් වාහනයේ වේගය අඩු කරගෙන ගියා. නමුත් ආවෙ නෑ. මම නම් හිතුවෙ එදා මගේ ජීවිතේ ඉවරයි කියල.

ඊට පස්සෙ ඔක්තෝබර් පහ තමයි ඊටින්ව හොයාගෙන ගෙදෙට්ට ආවෙ. කවුද ඔත්තුවක් දීල ඊටින් වෙලේ ඉන්නව කියල. ඊටින් නැති නිසා බීටින් කියල කෙනෙක් අල්ලගෙන. නමුත් පස්සෙ දැනගෙන තියනව මේ ඊටින් නෙවෙයි කියල. ඊට පස්සෙ තමයි දවල් එකොළහට විතර අපේ ගෙදෙට්ට ආවෙ...

ඒ ඇවිත් ඇහුව ‘කෝ තොගෙ මිනිහ...?’ කියල. මම කිව්ව ‘එයා කුරුඳු තලන රස්සාව කරන්නෙ එන්නෙ මාසෙකට සැරයයි’ කියල. පස්සෙ ඇහුව ‘කොහෙද ඉන්නෙ...?’ කියල. එයා එක තැනක වැඩ කරන්නෙ නැති නිසා මම කිව්ව ‘හරියට ම කියන්න දන්නෙ නැහැ’ කියල. ඊට පස්සෙ මගේ කෙස්වැටියෙන් කරකවල අල්ල්ල මට හොඳටම ගැහුව. ඒ ගහල ඉවර වෙලා. ‘එහෙනම් ඌ එනකං තෝ යමං කියල කෙස් වැටියෙන් ඇදගෙන ජීප් එක ළඟට ගියා. ඒ වෙලාවෙ මගේ බාල පුතා පොළොවෙ පස් කකා ඇඬුව ‘අම්ම ගෙනියන්න එපා’ කියල. එතකොට පුතාගෙ වයස අවුරුදු තුනක් විතර ඇති. පස්සෙ උන් කිව්ව ‘තව දවස් දෙකක් ඇතුළත තොගෙ මිනිහ ඕන. නැත්නම් තෝවයි ළමයිවයි ගෙට දාල ගිනිතියනව’ කියල.

ඉන් පස්සෙ මම බොහොම අමාරුවෙන් ඊටින්ව හොයාගෙන ප්‍රියංගනී නෝනට (කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රිවරියක හා පොදු පෙරමුණේ ඇමතිවරියකි) බාර දුන්න. පස්සෙ ඒ නෝන කිව්වෙ ‘මෙයා වැරදිකාරයෙක් නෙවෙයිනෙ... බය නැතුව පොලීසියට එක්කරගෙන යන්න’ කියල. මාත් එක්ක ගිය තව එක්කෙනක් නෝනට වැඳල කිවුව ‘අපිට නෝනගෙන් ලියුමක් දෙන්න’ කියල. නෝන කිවුව ‘ලියුම් ඕන නෑ. කොහොමටත් මම ලියුං දෙන්නෙත් නැහැ. බය නැතුව අරගෙන යන්න පොලිසිටයට’ කියල. එහෙම කියපු නෝන පොතක මොන මොනවද ලියාගත්ත.

ඉන් පස්සෙ අපිට ඊටින්ව අරගෙන වැඩි දුරක් යන්න හම්බ වුණේ නැහැ ප්‍රියංගනී නෝනගෙ ගේ ළඟම තියන ගංගාරාම පන්සල ගාවදි නොම්මර තහඩු නැති වාහනයකින් සිවිල් ඇඳුම් ඇඳගත්තු හයදෙනෙක් විතර ඇවිත් අපි ගාව ම වාහනේ නවත්තල ‘ඒයි ඔහොම නැවතියන්’ කිව්ව. මම ඊටින්ව අල්ල ගත්ත. එතකොට ම එකෙක් ‘ඒයි අතඇරපන්’ කියල මාව පැත්තකට ඇදල දාල ඊටින්ගෙ ෂර්ට් එකෙන් ඇදල ඇතුළට දාගත්ත... මට මතක එච්චරයි.

තම සැමියා පැහැරගෙන යාම බලා සිටිය නොහැකි වූ ඇය ඒ මොහොතේ සිහිසුන්ව ගොස් ඇත.

ඉන්පස්සෙ මම උදෙන් ම කළුතර උතුර පොලීසියට ගියේ පැමිණිල්ලක් දාන්න. පැමිණිල්ල බාරගන්නත් ඉස්සර වෙලා ... ‘තෝ මොකටද මෙහේ ආවෙ...?’ කියල එකෙක් මාව එළවගත්ත. ඊට පස්සෙ තමයි අශෝකාරාමයෙ ලොකු හාමුදුරුවො හම්බ වෙන්න ගියේ. මම බුලත් අතක් දීල වැඳල සිද්ධිය කිව්ව. හාමුදුරුවො ඇහුව ‘තමාගෙ ස්වාමිපුරුෂයගෙ නම ඒ. ඊටින් සිල්ව නේද?’ කියල. මම ‘ඔව්’ කියල කිව්වම ‘පොලීසියෙන් ගියාම එයා වෙලේ දුවල තියෙනව නේද? දැන්නම් ඉන්නෙ කළුතර උතුර පොලිසියෙ. හැබැයි මම මෙහෙම කී බවක් කා එක්කවත් කියන්න එපා. මට නම් දැන් කරන්න දෙයක් නැහැ. වැඩේ ඒ තරමට බරපතලයි’ කිව්ව. කරන්න දෙයක් නොතිබුණ මම අඬාගෙන පන්සලෙන් ආව. ඊට පස්සෙ පුළුවන් තරම් බෝධි පූජා තිබ්බ. සෙත් කවි කිව්ව. ඒත් වැඩක්වුණේ නැහැ. අනික හාමුදුරුවො පොලිසියෙ දේවල් පොලිසියටත් වඩා හොඳට දන්නෙ කොහොම ද? මේ වගේ දේවලදි පොලීසියට ළං වුණේ මොකට ද?

ඊටින් සිල්ලවාගේ ලොකු අක්කාගේ දුව බැඳපු සෝමසිරි, දුව ඇතහැර යාම නිසාඋරණ වී ඊටින් සිල්වා ඔහුට පහර කිහිපයක් ගසා ඇත. මේ නිසා වෛර බැඳගත් සෝමසිරි දුන් ඔත්තුව මත පොලීසිය ඊටින්ව අත්අඩංගුවට ගත්තේ යැයි පවුලේ අය තුළ සැකයක් පවතී. සෝමසිරි පස්සෙ කිව්ව ‘උතුර පොලීසියෙ සුගතදාස සාජන්ට් මහත්තයට රුපියල් දාහක් දීපු ගමන් ඊටින් මාමාව බේරගන්න පුළුවං’ කියල. අනේ මාත් ණයට රුපියල් දාහක් හොයල ඒ මිනිහට දුන්න. එච්චරයි... අන්තිමට සල්ලිත් නැහැ ඊටිනුත් නැහැ, සාජට්නුත් නැහැ, සෝමසිරිත් නැහැ. මම ස්ථීර වශයෙන් ම සැක කරනව සරණංකර හාමුදුරුවො මේක දැනගෙන හිටපු විත්තිය.

එවකට කළුතර අතුර පොලිස් ස්ථනාධිපතිව සිටි වෛද්‍යාලංකාර ද මෙම අතුරුදන් වීම් පිළිබඳ සැක කටයුතු පුද්ගලයකි.

වස්කඩුව දෙදියවල සම්මත නිවෙසේ දී 1964 දෙසැම්ර් 25 වන දින උපන් සමරවීර මුදලිගේ දොන් පියතිස්ස වන ඔහු රැකියාව වශයෙන් කළේ පරිගනක ආයතනයක කාර්යාල කාර්ය සහයක තනතුරකි. එම තනතුරෙන් උසස්වීමක් ලැබ දින තුනක් ගත වූ 1989 සැප්තැම්බර් 04 වන දින ඔහු පැහැර ගැනීමට ලක් විය. එවිට ඔහුගේ වයස අවුරුදු 25 කි.

හත් දෙනකුගෙන් සමන්විත පවුලේ පස්වෙනියා වූ ඔහු පැහැරගෙන ගිය ආකාරය පැහැදිලි කළේ සිය පියා වූ සමරවීර මුදලිගේ දොන් රොබියස් අප්පුහාමි විසිනි.

එදා උදේ 06.10 ට විතර අපේ ගෙවල් කිට්ටුව ම බෝම්බයක්පත්තු වුණා. නමුත් ඒක කවුරු කරපු වැඩක් ද කියන්න අපි අදවත් දන්නෙ නැහැ. පුතා හිටියෙ වැඩට යන්න ලැස්ති වෙලා. රස්සාවෙන් උසස්වීමක් ලබපු සතුට අපි එක්ක කතා කර කර හරි සතුටෙන් හිටියෙ. ඔහොම ඉන්න අතරෙ තමයි හමුදාවෙනුයි පොලිසියෙනුයි මුළු ගම ම වට කරා. බෝම්බෙ පත්තු කරපු වයර් එක වැටිල තියෙන්නෙ අපේ වත්ත පැත්තට. අපි ඒ වගක් දැනගෙන හිටියෙ නැහැ. ඒ ගැන සැකේට හමුදාවයි පොලිසිය යි අපේ ගේ වටකරා. කළුතර උතුර පොලිසියෙ අප්පුහාමි රාලහාමි ආපු ගමන් මට ගහගෙන ගහගෙන ගියා. ඒ ගහන ගමන් ‘අකුලපිය වයර් එක. ගනින් කරට’ කිය කියා ජිප් එක ගාවට ම ඇදගෙන ගියා. එතනදි අප්පුහාමි රාලහාමි මට ගහපු පාරට මගේ දත් දෙකක් කඩල ගියා. එතකොට එස් අයි මහත්තයෙක් ඉඳගෙන අප්පුහාමිට කිව්ව ‘ඔය නාකි මනුස්සයට ගහන්න එපා’ කියල. එතකොටයි මට ගහන එක නැවැත්තුවෙ.

උන් මගේ අහිංසකයව අල්ල ගත්තු ගමන් මේ ලෝකෙ කිසිම කෙනෙකුට නොගහන විදියට ගැහුව. පියතිස්සගෙ අවුරුදු තුනක් වුණ දරුව උස්සල පොළොවෙ ගැහුව. ඊට පස්සෙ දරුව බැඳල හිටපු ගෑනු දරුවට ගහපු පාර ඒ කෙල්ලට එතනම සිහිය නැති වුණා.

දරුව අරගෙන ගියාට පස්සෙ මාත් එක්ක පුතාගෙ පවුලයි නංගියි කට්ටිය ම වාද්දුව පොලිසියට ගියා. එතනින් අපිව එළව ගත්තා. කළුතර උතුර පොලිසියට විතරක් නෙවෙයි, බණ්ඩාරගම සහ තෙබුවන පොලිසිවලටත් ගියා. ඒ හැම තැනකින් ම කිව්වෙ ‘එහෙම කෙනෙක් ගෙනාවෙ නැහැ’ කියල.

ඔය අතරෙ අඳුරන කෙනෙක් කියල තියෙනව පියතිස්සට හොඳට ම ගහල කළුතර පොලිසියෙ පිටිපස්සෙ දාල තියෙනව කියල. ඒ ආරංචියත් එක්ක තමයි මම පයාගල සුදුමහත්තය (බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකි) හම්බ වෙන්න ගියේ. සුදුමහත්තයට විස්තරේ කිව්ව ම එයා ආව. මම හිතන්නෙ ඒ නිසා වෙන්නැති බූස්සෙ, බෝම්බුවල, බණ්ඩාරගම, වාද්දුව හමුදා කදවුරුවලින් ලියුං ආවෙ ‘එහෙම කෙනෙක් මෙහෙ ගෙනාවෙ නැහැ’ කියල.

ඒ වයසක පියා ඉකි බිඳිමින් හඩන්නට පටන් ගත්තේ ය. ඔහුගේ කදුළු සමග පියතිස්සගේ නංගි ද එකතු වූවා ය. රූරා ඇද හැළෙන කඳුළු ද සමග නැවත හිස එසවූ ඔහු...

මගේ හිතට අමාරු මගේ කිතුලෙන් හැමදාම රා බීල යන අප්පුහාමි රාලහාමි මේ කිසිම දෙයක් නොදන්න මටත් ගහල මගේ දරුවගෙ දරුවව පොළොවෙත් ගහල මගේ අහින්සකයව මගෙන් සදහට ම ඈත් කළ එකටයි.

සමරවීර මුදලිගේ පියතිස්ස පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම පිළිබඳ එවකට කළුතර උතුර පොලීසිය ස්ථානාධිපතිව සිටි වෛද්‍යාලංකාර සහ එම පොලීසියේ ම සිටි අප්පුහාමි රාලහාමි ඔවුන්ගේ සැකයට භාජනය වී තිබුණි.

ඔහු නමින් ගුණසීල ජයවර්ධන විදානපතිරණලාගේ රූපචන්ද්‍ර ප්‍රනාන්දු (සුනිල්) නම් විය. 1967 දෙසැම්බර් මස 17 වන දින උපත ලද ඔහු පැහැර ගැනීමට ලක්වූයේ 1989 ඔක්තෝබර් 22 වන දිනයි. එවකට ඔහුගේ වයස 22 කි. ඔහු පදිංචිව සිටියේ උග්ගල්බොඩ අංක 39 දරන නිවසේ ය.

මේ සම්බන්ධව අප හා තොරතුරු පැසුවේ ඔහුගේ බිරිඳ වු තුසිතා ප්‍රියන්ති රණසිංහ ය.

එයා පැහැරගෙන යන්න මාසෙකට විතර කලින් දවසක් අපේ ගෙදරට කළුතර උතුර පොලිසියෙ සුගතදාස කියල සාජන්ට් කෙනෙකුයි සිල්ව කියල රාලහාමි කෙනෙකුයි එක්ක තවත් රාලහාමිල හයදෙනෙක් විතර ඇවිත් ‘සුනිල් කෝ’ කියල ඇහුව. මම කිව්ව ‘මම දන්නෙ නැහැ. මම දැන් ටික කාලෙක ඉඳල එයැයිගෙන් ඈත් වෙලා ඉන්නෙ’ කියල. එතකොට ඒ අය කිව්ව ‘එහෙම කියල හරියන්නෙ නැහැ. අපි දවසයි දෙන්නෙ. සුනිල් පොලිසියට බාර කරන්න ඕන. නැත්නම් අපි ආයෙත් එනව’ කියල.

ඊට පහුවෙනිද උදේ හය වෙනකොට සුගතදාස සාජන්ට්, සිල්ව සහ කීර්තිපාල රාලහාමිත් එක්ක තවත් හත් දෙනෙක් ආව. (පොලිස් ස්ථානාධිපති වෛද්‍යාලංකාරට හත් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සිටි බව ප්‍රදේශය පුරා රාවයක් පැතිර තිබිණ.)

එහෙම ඇවිත් මට කිව්ව ‘තමුසෙගෙන් කටඋත්තරයක් ගන්න තියෙනව දැන් පොලීසියට යන්න ලේස්ති වෙනව’ කියල. ඒ එක්ක ම තාත්තටත් ලෑස්ති වෙන්න කිව්ව. එතකොට මගේ දරුවට අවුරුදු එකහමාරයි. මම දරුවත් අරන් තාත්තත් එක්ක පොලිසියට ගියාම කිව්ව ‘සුනිල්ව දෙනකං මෙයාව ආපහු දෙන්නෙ නැහැ’කියල. තාත්තට ගෙදර යන්න කිව්ව.

සුනිල් බය වැඩිකම නිසා ම පොලිසියට බාර නොවී සිටි අතර දරුවාත් බිරිඳත් හේතු කොට ගෙන ම කළුතර උතුර අශෝකාරාම විහාරයේ සරණංකර හාමුදුරුවන්ට බාරවිය. එහි දී ඔහු දින තුනක් පන්සලේම සිට ඇති අතර ඔහු තමන් වෙත බාර වී ඇති බව හාමුදුරුවෝ පොලිසියට පවසා ඇත. ‘හාමුදුරුවන්ට නෙවෙයි ජනාධිපතිට බාර වුණත් කමක් නැහැ අපි ඕකව මරනවා’ යැයි රාලහාමිලා පිරිසක් පවසා ඇති බව පොලිසියේ රඳවාගෙන සිටි සුනිල්ගේ බිරිඳත් සොයුරාත් පවසා ඇත. රඳවා තබාගත් සොයුරාගේ වයස අවුරුදු 14 කි. මේ අතර කාලයේ සුනිල් සෙවීම සඳහා වෙහෙසෙන පොලිසිය කළුතර හොරණ පාරේ පැළුණගල ප්‍රදේශයේ ද සෝදිසිකරන අතර පොලිසිය සොයන්නේ තමන් යැයි සැක කරන එම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සුනිල් නමැත්තෙක් ද බයට ම සරණංකර හාමුදුරුවන්ට බාර වී ඇත. මෙසේ මොවුන් දෙදෙනා ම පන්සලේ සිටිය දී හදිසියේ කඩාවදින පොලිසිය දෙදෙනා ම පැහැරගෙන ගොස් ඇත. මොවුන් දෙදෙනා පැහැරගන්නා දවසේ පොලිසිය හැසුරුණු ආකාරය පිළිබඳ සුනිල්ගේ බිරිඳටත් සොයුරාටත් අත්දැකීම් තිබේ.

සුනිල් පැහැරගත් දිනයේ ඔහුගේ සොයුරිය හඬා වැලපෙමින් පොලිසියට පැමිණි අතර සුනිල්ගේ බිරිඳත් සොයුරාත් කරුණු විමසීමේ දී සිල්වා නමැති රාලහාමි කෙනෙකු පවසන්නේ සුනිල් හමුදාවෙන් රැගෙන ගොස් ඇති බව යි.

ඉන් පස්සෙ මගේ තාත්තට පොලිසියෙන් පණිවිඩයක් යවල ගෙන්නගෙන කියල තියෙනව ‘සුනිල් හමුදාවෙන් අරං ගිහින්. දැන් අපේ වැඩේ හරි. මෙයාව අරගෙන ගෙදර යන්න’ කියල. එතකොට මාව පොලිසියෙ තියාගෙන මාසෙකටත් වැඩියි.

මම ගෙදර ඇවිත් අක්කයි, තාත්තයි එක්ක ගියා සරණංකර හාමුදුරුවො මුණගැහෙන්න. එතනදි හාමුදුරුවො කිව්වෙ... ‘මම දන්නෙත් නැහැ. කවුද කට්ටියක් ඇවිත් අරගෙන ගිහින්’ කියල. ඊට පස්සෙ ආයෙ හාමුදුරුවො කියනව ‘මේක හොයන්න යන්න එපා. ඒව මහ කරදර වැඩ. සමහර විට තවත් කරදර වෙන්න පුළුන්’ කියල. ඒ නිසා බය වැඩිකමට ම අපි ආයෙ හොයන්න ගියේ නැහැ.

හමුදාවෙන් සුනිල් අත්අඩංගුවට ගත්තා යැයි පවසන වෛද්‍යාලංකාර ම ඔහු නොයෙක් තැන්වල සිටින බව පවසා බැලීමට පැමිණෙන ලෙස කිහිප අවස්ථාවක දී ම සුනිල්ගේ බිරිඳට බලකොට ඇත. හමුදාවෙන් අත්අඩංගුවට ගන්නා සැකකරුවකු සෙවීම තවදුරටත් අවශ්‍ය නැති නිසාත් එසේ නම් එය සෙවිය යුත්තේ පොලිසිය බව පවසන ඇය එම ගමන්වලට සහභාගි නොවු අතර පොලිස් ස්ථානාධිපතිවරයාට අවශ්‍යව තිබුණේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට බව තමාට වැටහුණැයි ඇය පැවසුවා ය.

මතුසම්බන්ධයි...

1995 පෙබරවාරි 19 හිරු
හේමන්ත ජයසේකර

කළුතර වස්කඩුව ඝාතන 03

 

 

මානව හිමිකම්