19 January 2018
RSS Facebook Twitter   

කළුතර වස්කඩුව ඝාතන 03

police dogදෙවන තරුණ නැගිටීම මර්දනය කොට වසර 25 ක් පිරීම නිමිත්තෙන් ඉදිරිපත් කරන ඝාතන ලැයිස්තුවට අද ඉදිරිපත් කරන්නේ ‘කළුතර වස්කඩුව ඝාතන’ රැල්ලේ 03 වන කොටස ය. මෙම ඝාතන ලැයිස්තුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ විශේෂ සටහනක් තබන්නට අප බලාපොරොත්තුවන අතර ඒ හරහා මතු දිනක දි හෝ එවන් ඝාතන රැල්ලක් සිදුවීමට ඇති ඉඩ-කඩ අහුරාලීම අපේ ඒකායන අරමුණ යි. මන් ද එදාට සාපේක්ෂව වර්තමාන තත්ත්වය කිසිසේත් ම යහපත් නොවන බැවිනි. අනාගතය ද යහපත් යැයි විශ්වාස කළ නොහැකි බැවිනි.

කළුතර අතුරේ ආබෘෘ පාරේ 32/49 අංකය දරන නිවසේ පදිංචිව සිටි අසුරුමුනි නිශාන්ත තිලකරත්න සිල්වා සහ අසුරුමුනි පාලිත තිලකරත්න සිල්වා 1989 ජූලි 07 වන දින රාත්‍රී පැහැරගැනීමට ලක්වන විට හත් දෙනකුගෙන් සමන්විත තම පවුල රැකගැනීම සඳහා විදේශිකයන්ට මාර්ග පෙන්වන්නන් ලෙස සේවය කරමින් සිටියහ.

එම පැහැරගැනීම සම්බන්ධව ඔවුන්ගේ මව වන දියගො ආරච්චිගේ කමලාවතී ද සිල්වා මහත්මිය තම අත්දැකීම අප සමග මෙසේ පැවසුවා ය.

මගේ ලොකු පුතා ඉපදුණේ 67 ඔක්තෝබර් 03 වෙනිදා. පොඩි පුතා ඉපදුණේ 69 ජූලි 27 වෙනිදා. එදා හරියට ම පාන්නර දෙකට කිට්ටු කරල ඇති. එකපාරට ම කවුද කට්ටියක් ඇවිත් දොරට ගහගෙන ගහගෙන ගිහින් ‘දොර ඇරපන්’ කියල කිව්ව. මම ඇහුව ‘කවුද’ කියල. ‘දොර කඩන්න ඉස්සෙල්ල දොර ඇරපන්’ කිව්ව ම මම දොර ඇරිය. අපිට තිබුණෙ කටුමැටි ගහපු පොඩි ගෙයක්. දරුවො දෙන්න ම මැද කෑල්ලෙ බිම එකට නිදාගෙන හිටියෙ. උන් පැනපු ගන් ‘එකෙක් කෑගහනව තියා හුම් කියන්නවත් එපා’ කියල දරුවො දෙන්න අල්ලගත්ත ගමන් ම අරගෙන ගියා. මට එහෙම ම සිහිය නැති වුණා.

සිහින් ඉකි බිඳුමකුත් සමග ඇගේ දෙනෙත්වලට පිරෙමින් තිබුණු කඳුළු දෙකොපුල් සිපගැනීමට ආසන්න වෙමින් තිබුණා ය. ඒ අසල ම සිටි පැහැරගැනීමට ලක් වූ දෙසොයුරන්ගේ නැගණිය ද අම්මාගේ කඳුළ සමග අත්වැල් බැඳගෙන තිබුණි. ඇය නැවතත් කට හඬ අවදි කළා ය.

ඒ වෙලාවෙ ම මේ අහල පහල ගෙවල්වලිනුත් ඒ වගේ ම තවත් දරුවො අට දෙනෙක් උන් අරගෙන ගිහින් ටැන්ජරින් හෝටලය ගාව නවත්තගෙන. මේ දවස්වල දරුවන්ගෙ තාත්තත් පපුවෙ අමාරුව හැදිල ඔපරේෂන් එකකට වැලිසර ඉස්පිරිතාලෙ නවත්තලයි තිබුණෙ. කොහොමහරි තාත්තටත් කිසිම අඩපාඩුවක් කරන්නෙ නැතුව හොයල බලල මටයි ගෙදර අනිත් දරුවන්ටයි කන්න දුන්න. මේ අහිංසකයො දෙන්න කොච්චර සුද්දන්ගෙ පස්සෙ ගියත් අරක්කු ටිකක් සිගරට් එකක් කටේ තිබ්බෙ නැහැ. ඒවට ඇබ්බැහි නොවි කරේ පවුල ගැන හොයල බලන එක.


මම පාන්දරම පැමිණිල්ලක් දාන්න කළුතර උතුර පොලිසියට ගියා. ඒ ගියාට පස්සෙ එතන හිටපු රාලහාමිල වගයක් මට බැනල එළවගත්ත. මම එවෙලෙ ම බෝම්බුවල නේවි කෑම්ප් එකට ගියේ හිතේ තිබිච්ච සැකේට. එතන නිල් පාට ඇඳුම් ඇඳගත්තු අය හිටියත් මම ආපු කාරණේ කිව්වම ‘එහෙම කෙනෙක් මෙහෙ ගෙනාවෙ නැහැ. එස්ටීඑෆ් එකට ගිහින් බලන්න’ කිව්ව. මොකද එදා ආවෙ පුල්ලි පුල්ලි ඇඳුම් ඇඳගත්තු කට්ටියක්...

ඉතින් මං ගියා එස්ටිඑෆ් එකට. එහෙම ගියාම එතන හිටපු කෙනෙක් කිව්ව ‘ඔහොම වැඩ අපි කරන්නෙ නැහැ. අපේ ඇඳුම් ඇඳගෙන හමුදාවෙ අයත් ඔය වැඩ කරනව. ඒ හින්ද ආපහු බෝම්බුවල කෑම්ප් එකටම යන්න’ කියල.

ඉතිං මං ආපහු බෝම්බුවල කෑම්ප් එකට ආව. මම ගිහින් නැවතත් විස්තරේ කිව්ව ම එතන හිටපු කෙනෙක් ලිස්ට් එකක් අරං බලල කිව්ව ‘හරි... දෙන්න ම ඉන්නව. හැබැයි පරීක්ෂණ කරල මිසක් ආපහු දෙන්නෙ නැ’ කියල.

පස්සෙ මං ගියා ප්‍රියංගනී නෝනව හම්බ වෙන්න. සම්පූර්ණ විස්තරේ කිව්වට පස්සෙ නෝන බෝම්බුවල කෑම්ප් එකට ටෙලිපෝන් කරාම එතන ලොක්ක කියල තියෙනව ‘පරීක්ෂණ පවත්වගෙන යනව. ඊට පස්සෙ තමයි දෙන්න වෙන්නෙ’ කියල.

දවසක් රසල් සොයිස කියල හමුදාවෙ කෙනෙක් ආව අපේ ගෙදරට. ඇවිත් දරුවො දෙන්න ගැන විස්තර කරල කිව්ව ‘දැන් දෙන්න ම ඉන්නෙ බූස්සෙ කඳවුරේ. බේරගන්න නම් පුළුවන්. හැබැයි මහත්තයට රුපියල් 2000/= ක් ඕන කියල. ඒ වෙනකොට පුතාලගෙ තාත්තත් ඉස්පිරිතාලෙ ඉඳල ඇවිත් හිටිය. ඒ වෙනකං ම පුතාල ගැන විස්තරයක් එයාට කියල තිබුණෙ නැහැ. එයාට මේක ඇහුණ ගමන් කැගහල, අඬල අඬල සිහිය නැති වුණා. ඒ වෙලාවෙ මගේ ළඟ සතයක්වත් නැහැ. මම ගියා මල්ලිලාගෙ ගෙදෙට්ට. එයාලටත් බොහොම හිඟයි. ඒ දවසවල කාටවත් සාරයක් නැහැ. පස්සෙ කාසි කැටේ කඩල එකතු කරල හරි කරපු සල්ලිවලින් තමයි 200/= ක් දුන්නෙ.

මිනිහ තවත් දවසක් ආව තවත් රුපියල් 3000/= ක් ඉල්ලගෙන. ඒකත් කොහොම හරි, හරිගස්සල දුන්න. කොහෙද... සල්ලි අරගෙන ඒක අපි අරය ගාවට මෙයා ගාවට එක්කරගෙන ගිහින් රස්තියාදු කරා විතරයි. අනේ!!! මට ඕන වුණේ කීයක් ගියත් කමක් නැහැ දරුවො දෙන්නව බේරගන්න. අන්තිමේ මට සල්ලිත් නැති වුණා. දරුවො දෙන්නත් නැති වුණා.

රසල් සොයිසා හමුදා සේවයේ නියුතුව ඇති අතර කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එම වංචාව සම්බන්ධයෙන් නිශාන්තගේ සහ පාලිතගේ මව විසින් පැමිණිලි කර අතර ඒ සම්බන්ධව කළුතර උතුර පොලීසිය විසින් විභාගයක් පවත්වා තිබුණි.

පස්සෙ මගෙ දරුවො දෙන්න අරගත්තු දවසෙ අවට ගෙවල්වලින් ගත්තු ළමයි නිදහස් වෙලා ඇවිත් කිව්ව දෙන්නම බෝම්බුවල කෑම්ප් එකේ හිටිය යි කියල.

ප්‍රියංගනි නෝන හම්බවුණාම කිව්වෙත් ‘නඩුවක් දාන්න. ඕන වෙලාවක මමත් සාක්ෂි දෙන්නම්’ කියල. එච්චරයි. ඊට පස්සෙ බලපු නෝනෙක් නැහැ.

මම අන්තිමට නොගියපු තැනක් නැහැ. හම්බුණ හැම ලොකු ලොක්කෙකුට ම කිව්ව. අනේ උන් ඒවට ඇහුංකන් දුන්නෙ නැහැ! නොගිහිපු රැස්වීමක් නැහැ. අන්තිමේ හෝකන්දර වළ ළඟටත් ගියා. අනේ මගේ අහිංසක දරුවො දෙන්නා...! මේ අපරාදෙ කරපු එවුන්ට හොඳක් නම් සිද්ධ වෙන්න එපා.

ඇය ඉකි බින්ඳා ය. අවුරුදු ගණනකින් අතීතයට ගොස් ඇති එම සිදුවීම ඇයට තවමත් වර්තමානයේ ම සිදුවිමකි. මේ සම්බන්ධව ඔත්තු සපයා ඇත්තේ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතාගේ දේහ ආරක්ෂක නිලධාරියකුව සිටි පුෂ්පකුමාර නමැත්තෙකු බව ඇය සැක කරන්නී ය. ඔහු පසුගිය දිනක වස පානය කොට දිවි හානි කොට ගෙන ඇත.

ඇය විසින් 141 වන වගන්ති ප්‍රකාර ‘හබයාස් කෝපූස්’ ආඥාවක් පතා බෝම්බුවල නාවික හමුදා කඳවුර බාරව සිටි කර්නල් කරුණාතිලක, හමුදාපති සිසිල් වෛද්‍යරත්න සහ තවත් අය වගඋත්තරකරුවන් කරමින් 94 ජූලි 27 වන දින ඉල්ලීමක් කර ඇති අතර එම ඉල්ලිමට අනුව 94 දෙසැම්බර් 15 වන දින කොළඹ 12 ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ අංක 01 ශාලාවේ පෙනී සිටින ලෙස අධිකරණය නියෝග කොට තිබේ.

එහෙත් එයට විසඳුම...?

එසේ ම ඇය, පුද්ගලයන් ඔවුන්ගේ කැමැත්ත නොමැතිව ඉවත් කොට ගෙන යාම පරීක්ෂා කිරීම සඳහා ජනාධිපති කොමිෂන් සභාව වෙත 91 සැප්තැම්බර් 24 දාතමින් ලිපියක් යොමු කොට ඇත. ඇයට දන්වා එවා ඇත්තේ පැමිණිල්ල බාර නොගත් බව ය.



මීළඟ සිදුවීම වාර්තා වන්නේ නොම්මර 05, ගංකන්දගොඩ වත්තේ උග්ගල්බඩිනි. එහි පදිංචිව සිටි අකාඩ කංකානම්ගේ ප්‍රසන්න කුමාර පිළිබඳව ය. පැහැරගෙන යන විට ඔහුගේ වයස අවුරුදු 17 කි. ඉගෙනුම ලැබූයේ උග්ගල්බඩ මහා විද්‍යාලයේ ය.

ඔහුගේ මව වූ එච්. ඒ. ලිලාවතී ඒ පිළිබඳ පුවත හෙළිදරව් කරමින්...

පුතා ඉපදුණේ 73 ජුනි 03 වෙනිද. අනූවෙ සැප්තැම්බර් 10 වෙනිද රෑ දෙගොඩ හරියෙ දොරට ගහගෙන ගහගෙන ගියා. ඒ වෙලාවෙ ගෙදර හිටියෙ මමයි, දරුවයි, දරුවගෙ තාත්තයි විතරයි. මම ඇහුව ‘කව්ද’ කියල. මම කිව්ව ‘දොර අරින්න නම් බැහැ. දොර අරින්නම් අයිඩෙන්ටිය දෙන්න’ කියල. ඒ එක්කම කළු ඇඳුම් ඇඳගත්තු කට්ටියක් පිටිපස්සෙ දොර කඩාගෙන ඇතුළට ආව. මම ‘මෙන්න හොරු පැන්නා’ කියල කෑගැහුව. වටේ හිටපු මිනිස්සු අපේ ගේ පැත්තට එනකොට එළියෙ හිටපු අනෙක් වුන් ඒ මිනිස්සුන්ට ගල් ගහල තියෙනව. පස්සෙ ඒ මිනිස්සුත් බයට ම ගෙවල්වලට දුවල.

ගෙට ආවට පස්සෙ ලයිට් එළියෙන් මං අඳුනගත්ත ඒ ආවෙ උග්ගල්බඩ ජංගම පොලිස් මුරපළේ උපුල් කියන සාජන්ට්වයි, කීර්තිපාල සහ ටෙනිසන් කියන කට්ටිය බව. ඒක බාරව හිටියෙ කළුතර පොලීසියෙ වාස් ගුණවර්ධන. (අද වන විට සහකාර පොලිස් අධිකාරිවරයකු වශයෙන් සේවය කරයි)

පැන්න ගමන් මගේ කෙස්වැටියෙන් අල්ල කරකවල බිත්තියෙ මුල්ලට ඇදගෙන ගිහින් හොඳට ම ගැහුව. පුතාගෙ තාත්තටත් හොඳට ම ගැහුව. ඊට පස්සෙ තමයි මම දැක්කෙ උන්ගෙන් එකෙක් නිදාගෙන හිටපු පුතාව අතින් කට තද කරගෙන ඇදගෙන යනව. ‘අනේ මගෙ පුතාව අරගෙන යන්න එපා’ කියල මං වැඳ වැඳ උන්ගෙ පස්සෙ එල්ලුණා. ඊට පස්සෙ උන් ආයෙමත් මට ගැහුව. මං දන්නෙ එච්චරයි. ඊට පස්සෙ මට සිහි නැතිවෙළා.

එම සිද්ධිය යළිත් සිහිපත් වීමෙන්දෝ බලාගත් අත බලා සිටි ඈ එක්වර ම මහ හයියෙන් හඩමින් කඳුළු සැලුවා ය. අවුරුදු හතරකටත් වඩා වැඩි කාලයක් තිස්සේ පිරුණු කඳුළින් සේදුණ දෙනෙත් ඇතිව ඇය නැවතත් කටහඬ අවදි කළා ය.

... ඊට පස්සෙ මම උදෙන් ම කළුතර උතුර පොලිසියට ගියා. උන් කිව්වෙ ‘එහෙම එකෙක් මෙහෙ ගෙනනාවෙ නැහැ’ කියල. බෝම්බුවල, තෙබුවන, වාද්දුව තිබිච්ච හමුදා කඳවුරුවලට විතරක් නෙවෙයි ඒවයි තිබිච්ච පොලීසිවලටත් ගියා. එත් එදා රාත්තිරියෙන් පස්සෙ මට මගේ පුතා කවදාවත් ම දකින්න ලැබුණෙ නැහැ. පස්සෙ මම ආයෙත් ඇවිදින් කළුතර උතුර පොලීසියෙ පැමිණිල්ලක් දැම්මා. කොයි විදියට ලියාගත්ත ද දන්නෙ නැහැ.

මෙම සිදුවීම සිදු වී දින කිහිපයකට පසුව කළුතර උතුර පොලිසියේ සේවය කළ සරත් නමැති රාලහාමි කෙනෙකු ප්‍රසන්නගේ මවගේ ගම වන කළුතර උක්වත්ත ප්‍රදේශයේ පදිංචි ඇගේ ඥාතියකු සමග පවසා ඇත්තේ ‘උදේ ආවනම් ගන්න තිබුණා. දැන් පරක්කු උනා වැඩියි. දැන් කළුතර උතුර පොලිසියට බාර දුන්නා’ යනුවෙනි.

... මේ අලුත් ආණ්ඩුව ආවට පස්සෙ කලුතර උතුර පොලිසියට අලුතෙන් ආපු ලොකු මහත්තය කිව්ව ‘දැන් පරණ පැමිණිලි පුච්චල දාල. අලුතින් පැමිණිලි ලියා ගත්තත් දැන් ඕවට නඩු කියල වැඩක් නැහැනෙ. දැන් ඔයාලට ඕවට නඩු කියන්න ශක්තියකුත් නැහැනෙ. දානයක් දිල පිං පමුනුවන්න’ කියල...

අවුරුදු ගණනාවක් තිස්සේ හෙම්බත් වූ ඇය ඒ සෑම දෙයක් දෙස ම අරමුණකින් තොරව බලා සිටියා ය. ඒ වික්ෂිප්ත වූ දෑස්, බලාපොරොත්තුවලින් ඈත් වුණ දෑස් කියාපාන්නේ තමන් බලාපොරාත්තු වුණු පොදු පෙරමුණු ආණ්ඩුව ද මේ අපරාදකාරයන් ආරක්ෂා කිරීමට තැත් කරන බව නොවේ ද? ඔවුන් බලාපොරොත්ත වු සාධාරණය පෙනෙන තෙක් මානයක නැති බව නොවේ ද...?

මට ඕන මගේ දරුව වෙනුවෙන් වන්දි නෙවෙයි... මම දරුවො වැදුවෙ, හැදුවෙ උන්ට ඕන විදියට මරල දැම්මට පසසෙ ඒ වෙනුවෙන් සල්ලි ටිකක් අරගෙන මට ජිවත් වෙන්න නෙවෙයි. උන් අපේ ජීවිත ඒ තරමට ම බාල්දු කරල...

එදා තාවකාලිකව පිහිටා තිබුණ උග්ගල්බඩ ජංගම පොලිස් මුරපළේ සේවය කළ සියලු ම පොලිස් නිලධාරීන් සහ එය භාරව කටයුතු කළ කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපති වාස් ගුණවර්ධන යන සියල්ලන් ම මෙම අතුරුදන් වීමට වගඋත්තරකරුවන් බව ඇය කියා සිටින්නී ය.

මතු සම්බන්ධයි...

හේමන්ත ජයසේකර
1995පෙබරවාරි 12 හිරු

කළුතර වස්කඩුව ඝාතනය - 02 

 

 

මානව හිමිකම්