20 April 2018
RSS Facebook Twitter   

කළුතර වස්කඩුව ඝාතන 02

catchඅද අප ඉදිරිපත් කරන්නේ කළුතර වස්කඩුව ඝාතන රැල්ලේ දෙවන කොටස යි. මෙම ලිපි පෙළ සාවධානව කියවද්දී හැඟී යන්නේ එදා හිට්ලර්ගේ පන්නයේ භීෂණයක් ක්‍රියාත්මක වු බව යි. අනෙක් කරුණ නම් මේ ඝාතන සියල්ල සිදු කොට ඇත්තේ ‘හඳුනාගත නොහැකි තුවක්කුකරුවන්’ නොව හොඳින් හඳුනන තුවක්කුකරුවන්’ වීම ය. තුවක්කුකරුවන් හඳුනා ගත්ත ද දා ඔවුන්ට එරෙහිව කිසිඳු නිතිමය පියවරක් ගන්නට එවකට සිටි පාලකයේ උත්සාහ කොට නොමැත.

වර්තමානයේ ද සිදු වෙමින් පවතින්නේ මෙහි වඩාත් වර්ධනකාරි තත්ත්වයකි. ‘කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නනෙ නෑ’ යන කියමන දැන් ‘පුද්ගලයා මාරු වුණාට වැඩ නම් වෙනසක් නෑ’ යනුවෙන් පවසන්නට සිදුව ඇත. මන් ද එදා මිය ගිය බහුතරය සිංහල බෞද්ධ වූ අතර පසුගිය වකවානුවේ පැහැරගෙන ගිය, අතුරුදන් කළ, ඝාතනය කළ බහුතරයක් පිරිස දෙමළ ජාතිකයෝ වුහ. අනතුරුව එය සිංහල බෞද්ධයන්ට ද ඒ ආකාරයෙන් ම බලපෑවේ ය. ඉදිරියට ද මෙය මෙසේ නොවේ යැයි විශ්වාස කරන්නට තරම් හේතු සාධක පේන තෙක් මානයකවත් නොමැත.

මේ හඬ අවදි කළේ ඩබ්ලියු. ජයන්ති ආරියවතී
... මගේ ස්වාමිපුරුෂයගෙ නම වීරසිංහ ලිල්ටන් සිල්වා. උන් එයාව පැහැරගෙන යනකොට වයස අවුරුදු 35 ක් විතර ඇති. හරියට ම දිනය 89 සැප්තැබ්බර් පළවෙනිදා. එදා උදේ පාන්දර පහට විතර දොරට ගහන සද්දයක් ඇහිල මං ඇහුව ‘කවුද’ කියල. ‘අපි පොලිසියෙන්. දොර කඩන්න ඉස්සල්ල ඇරපන්’ කිව්වම මං දොර ඇරියා. ගේ දොරකඩ පොලිස්කාරයො සෑහෙන්න හිටියා. එතකොට ම වීරසිංහත් දොර ඇරගෙන එළියට ආවා. එතකොට ම කවුද රාලහාමි කෙනෙක් ඇහුවා ‘තෝ ද ලීල්ටා කියන්නෙ’ කියල. ඉතිං එයත් කිව්ව ‘මම යි’ කියල. ‘එහෙනම් නැගපන් යකෝ අපිත් එක්ක යන්න’ කියල එතනදි ම පාරවල් කිපයක් ගහල බෙල්ලෙන් ඇදල වෑන් එකට දාගත්ත. මම ඒ වෙලාවෙ කැගහල ඇහුව ‘ඇයි එයාව අරගෙන යන්නෙ?’ කියල. එතකොට ම මට රාලහාමි කෙනෙක් පයින් ගහපු පාරට ඇදගෙන වැටුනට පස්සෙ බෙල්ලෙන් අල්ලල ගෙට ඇදල දාල ‘කෑ නොගහ දොර වහගනිං බැල්ලි’ කියල උං වීරසිංහවත් අරගෙන යන්න ගියා...

වෙලේ පන්සල පාර, කුඩා වස්කඩුව ලිපිනයේ පදිංචිව සිටි ලිල්ටන් සිල්වා වෘත්තියෙන් මේෂන් බාස් කෙනෙකි. ඔහුට දරුවන් සිවු දෙනෙක් සිටි අතර පියා යැපුනේ ද ඔහුගෙනි. පැහැරගෙන ගොස් දින නවයකට පසු ඔහු වාද්දුව පොලීසියේ රඳවාගෙන සිටින බව ඔවුන් දැනගෙන ඇත. එවකට පොලිස් ස්ථානාධිපති වූයේ සුමිත් එදිරිසිංහ ය.

නැවතත් ඇය ඉකිබිඳුම අතරින් තම කට හඬ අවදි කළා ය.

... ඉන් පස්සෙ අපි හැම පොලීසියක ම කෑම්ප් එකක ම හොයල බලල තමයි වාද්දුව පොලිසියෙ ඉන්න බව දැනගෙන මගේ අයියව ඇරියෙ එයා බලන්න. ඒ ගියපු වෙලාවෙ එක රාලහාමි කෙනෙක් ‘ආ... තෝත් ආවෙ ලිල්ට බලන්න ද?’ කියල තර්ජනය කරලා. ඊට පස්සෙ ටික වෙලාවක් එයත් එක්ක කතා කර කර ඉන්න දිලා ‘මීට පස්සෙ ආවොත් තෝවත් රිමන්ඩ් කරනව’ කියල බැනල එළවලා.

පස්සෙ විරසිංහ බලන්න ගියපු එක්කෙනෙක් අත සුමිත් එදිරිසිංහ පණිවිඩයක් එවල තිබුණ ‘ලීල්ටගෙ ගෑනිට එන්න කියපන්’ කියල. මට මතක විදියට ඒ සැප්තැම්බර් 14 වෙන්න ඕන. එතකන් මට බලන්න යන්න දුන්නෙ නැහැ. ඒ, මට යන්න නොදිපු දවස්වල දරුණු විදියට ම ගහල තිබුණ. මං වීරසිංහ බලන්න ගිය හැම දවසක ම සුමිත් එදිරිසිංහ මගේ ආත්ම ගෞරවය කෙලෙසෙන විදියට කුණුහරුපෙන් බැන්න. 14 වෙනිද ටික වෙලාවක් බලන්න දුන්න. එදා ඉන් ම විරසිංහව දෙන්නම් දෙන්නම් කියල රස්තියාදු කරවල කරවල අන්තිමේ දි 19 වෙනිද ඇප දෙන්නම් කියල 04 ට විත එන්න කිව්ව. ඉතිං මම මගේ අයිය යි,දුවයි එක්ක පොලිසියට ගියා ම ‘තෝ මොකටද මෙහේ ආවෙ? තොටත් කූඩුවට යන්න ආසනම් හිටපන්කියල අයියව එළෙව්ව. පස්සෙ මායි දුවයි රෑ නමය විතර වෙනකං පොලිසියෙ හිටිය.

රෑ නවයට විතර ලොකු මහත්තය කතාකරල කිව්ව ‘ලීල්ටා නිදහස් කර බවට මේකෙ අත්සන් කරපන්’ කියල. මම ඒකෙ අත්සන් කරල වීරසිංහවත් නිදහස් කරගෙන එළියට ආව විතරයි අපි හිටපු තැනට ම ජීප් එකක් ඇවිත් නතර කරා. ඒකෙ ඇතුළෙ පොලිස් ඇඳුම් ඇගත්තු කට්ටිය යි සාමාන්‍ය ඇඳුම් ඇඳපු කට්ටිය යි ගොඩක් හිටිය. ඒ කට්ටිය ජීප් එකෙන් බැහැල ඇහුව ‘මොනවද යකෝ තෝ අපි ගැන කිව්වෙ?’ කියල. එතකොට වීරසිංහ කිව්ව ‘අනේ බුදු මහත්තයො මම කිසි දෙයක් කිව්වෙ නැහැ මට ඇප දුන්නෙ දැනුයි මාව ගෙනියන්න එපා මට දරැවො හතරදෙනෙක් ඉන්නව’ කියල. උං ඒව ඇහුවෙ නෑ මහත්තයො... එතනදි හොඳට ම ගහල ගහල මායි දූයි විලාප දෙද්දිත් අපිට බැන බැන මහ හයියෙන් හිනා වෙවී ආයෙත් ජීප් එකේ දාගෙන ගියා.

මම ඒ වෙලාවෙ ම පොලිසියට ගිහින් ඒ ගැන කිව්වම මට නොසෑහෙන්න බැනල බැනල ‘අපිට කරන්න දෙයක් නැහැ. තෝ අත්සන් කරල නේද තොගෙ මිනිහව අරන් ගියේ. දැන්ම බැහැපන් දොට්ට. නැත්නං තෝවත් කූඩුවට දානව’ කියල එකෙක් කිව්ව. මම කිව්ව මේ ගැන පැමිණිල්ලක් ලියාගන්න කියල. එතකොට තව එකෙක් ‘උඹ වහාම මෙතනින් පලයන්’ කියල තර්ජනය කරා. ඊට පස්සෙ මම දුවත් එක්ක ගෙදර ආවා. එදා ඉඳන් බලන්න තිබුණහැම තැනක ම බැලුවා. ඒත් අද වෙන තුරු කිසිම තොරතුරක් නෑ මහත්තයො.

ඉන් වසරකට පසු 1990 ඔක්තෝබර් 25 වන දින දවල් 01 පැයට ඉහත සිද්ධිය සම්බන්ධව පැමිණිල්ලක් පිටු අංක 338 412 ඡේදය යටතේ සැරයන් අබේරත්න විසින් සටහන් කරගන්නා ලදී. අදාළසිද්ධිය වන අවස්ථාවේදී ද මොහු එම පොලිස්ස්ථානයේ සේවය කොට ඇත.

විරසිංහගේ අතුරුදන් වීමත් සමග ම ඒ දුක වාවාගනු නොහැකි වූ පියා වස පානය කොට දිවි නසාගත්තේ ය. ඒ සිද්වීම් ජාලය හරහා මව ද අසනිපව සිට මිය ගොස් ඇත.

ජයන්ති දරුවන් සිවු දෙනකු සමග මේ වන විට අන්ත දුකට පත්ව සිටින්නි ය. පොලිස් පොතේ පැමිණිල්ල මගින් ඔවුන්ට තාවකාලික සැනසිමක් ලබා දිමට උත්සාහ කර ඇතත් විඳින්නට සිදුව ඇති දුක, වේදනාව කෙසේවත් මකාලිය නොහැක.

කරනායකනේ සිරිපාල පෙරේරා ඉපදුණේ 1963 පෙබරවාරි 20 වන දින යි. රාජ්‍ය භීෂණයේ දී ඔහු පැහැරගැනීම සහ ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ වන උග්ගල්බඩ, විද්‍යාල මාවතේ, කල්‍යාණි විරසිංහ අප සමග මෙසේ පැවසුවා ය.

... උන් අරගෙන ගියේ මගේ ස්වාමි පුරුෂයා.මේ අපරාදය කරන්න ඉස්සෙල්ල 1988 නොවැම්බර් මාසෙ තිස්වෙනිද හමුදාවෙනු යි, නාවික හමුදාවෙනු යි, පොලීසියෙනු යි එක්කහුවෙලා ගම වටලද්දි සිරිපාලත් අරං ගියා. ඒ අරගෙන ගිහිං සැකපිට බූස්සෙ තියාගෙන ඉඳල තියෙනව. එහේදි හොඳට ම ගහල තිබුණ. පස්සෙ බූස්සෙන් බෝඹුවල කෑම්ප් එකට බාර දීල තිබුණ. එහෙදිත් හොඳට ම ගහල වද දිල තිබුණ. ඊට මාසෙකට පස්සෙ හරියට ම දෙසැම්බර් තිස්වෙනිද නිදහස් කරල සතියකට සැරයක් පොලීසියෙ අත්සන් කරන්න කියල නියෝග කරලත් තිබුණ. ඉතින් එයා වරද්දන්නෙ නැතුව සතියකට සැරයක් පොලීසියට ගිහින් අත්සන් කරා. මෙහෙම ගියපු එක ඉරිද දවසක තමයි පොලිසියෙ ලොකු මහත්තය නැහැ කියල නතරකරගෙන තිනේනෙ.

පස්සෙ මෙයා පරක්කු නිසා මමයි තාත්ත යි ගියා පොලීසියට. පොලීසියෙන් කිව්ව ‘එයා ගියා’ කියල. ඒත් අපි දැක්ක මෙයා පොලිසියෙ ඉන්නව. ඉන් පස්සෙත් අපි දවස් දෙකක් ම පොලිසියට ගියා. ඒ දවස් දෙකේමත් අපි දක්ක එයා පොලීසියෙ ඉන්නව. පස්සෙ අගෝස්තු 28 වෙනිද අපි පොලිසියට ගියාම උන් කිව්ව ‘ඌ පැනල ගිහින්.ඒ කිට්ටුව තියෙන කැලැවල්වල ගිහින් හොයල බලපන්. ආයිත් මෙහෙ එන්න එපා’ කියල. පස්සෙ පගේ තාත්ත දැකල තියෙනව පොතුපිටියෙ වාළුකාරාමෙ ඉස්සරහ පිච්චෙනව...

විනාඩි දෙක තුනක කාලයක් ගෙවි ගියේ ඇගේ ඉකිබිඳුම අවට පරිසරයට මුසු වෙමින්.

... මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කෙරුවත් එයාල කටඋත්තරය ලියාගත්තෙ එයාලට වාසි වෙන විදියට. අපි එයා දැකපු මුල්ම දවස්වල එයාට පොලීසියෙන් ගහල තිබුණ බව අපි හොඳට ම දැක්ක. එයත් එක්ක ම පොලිසියෙ හිර කරගෙන හිටපු කෙනෙක්අපිත් එක්ක කිව්ව ‘එයාට හොඳට ම ගැහුව, වද දුන්න’ කියල. අපිට ඒක විශ්වාස කරන්න පුළුවන් වුණේ එයා ඇඳන් හිටපු ඇඳුම්වල විස්තර පවා කියපු නිසා. සතියකට පස්සෙ මේ කියපු කෙනා දැකල තියෙනව සිරිපාල වමනෙ දානව. ඊට පස්සෙ තමයි පොලිසියෙ එවුන් කියල තියෙන්නෙ ‘මූව මරල ටයර් සෑයක දාන් ලේස්ති කරන්න කියල. මේ සිද්දධිය අපිට කියපු කෙනා කිව්ව එයා මේ ගැන කියපු බව කාටවත් කියන්න එපා කියල. ඒ වුණාට පස්සෙ දවසක එයාවත් මරල දාල තිබුණ...

මේ පැහැරගෙන යාම වාර්තා වෙන්නෙ වැල්ලබඩ පාරෙ, මහවස්කඩුව, වස්කඩුව ලිපිනයෙන්. ඔහු නමින් කරුණාමුනි විමලසිරි සිල්වා. ඉපදිලා තියෙන්නෙ 68 අප්‍රියෙල් දාහත් වෙනිද. ඔහු පිළිබඳ විස්තර කිව්වෙ එයාගෙ අම්ම. ඒ අම්මගෙ නම වීරක්කොඩි ඇඩ්ලින් නෝනා.

... උන්අරගෙන ගියපු මගේ පුතා එදා මගුල් ගෙදරක යන්න ලෑස්ති වෙලා මට කිව්ව ‘අම්මෙ බඩගිනියි. බත් ටිකක් බෙදන්න කන්න’ කියල. එහෙම කියල දූ බැඳපු පුතා ආපු මෝටර් බයිසිකලෙත් අරගෙන පාර පැත්තට ගියා. එයා මේ පැත්තෙ ගෑනු ළමයෙකුත් එක්ක යාළු වෙලා හිටිය. මම හිතන්නෙ ඒ යන්න ඇත්තෙ ඒ ළමය බලන්න. කොහොම හරි බත් බෙදනකං පාරේ එහා මෙහා යනකොට නොම්මර නැති හයිඒස් වෑන් එකකින් නේවිකාරයො වගයක් ඇවිත් තියෙනව. ඇවිත් බයිසිකලේට ම වාහනේ හේත්තු කරල බැහැපු ගමන් ගහගෙන ගහගෙන ගිහින්. ඊට පස්සෙ ඇස් දෙක බඳින්න හදනකොට ම එතන හිටපු එයාගෙ පුංචි අම්මට (දිසිලින් නෝන) පුතාගෙ කරේ තිබුණ මාලෙ දෙන්න හදල.එතකොට ම ‘මේව හොඳ තොපිට නෙවෙයි යකෝ අපිට’ කියල නේවි කාරයෙක් ඒක උදුරගෙන.

පස්සෙ අපි ගියා ප්‍රියංගනි නෝනව හම්බවෙන්න. එතනදි නෝන ටෙලිපෝන් කරල ඇහුවට පස්සෙ උන් කියල තියෙනව පුතා නිදහස් කරල ඇරිය කියල. ඒත් ආපු පුතෙක් නෑ. මගේ පුතත් එක්කම මෝටර් බයිසිකලෙත් උන් අරගෙන ගිහින්. පුතා ආවෙ නැතිහින්ද අපි බෝඹුවල කෑම්ප් එකට ගියා. එතකොට මෝටර් බයිසිකලේ එතන තිබුණ. ඒත් අපි එතනිනුත් පුතාව ඇහුව.උන් කිව්වෙ පුතා නිදහස් කරා කියල.පස්සෙ අපි දැනගත්ත දැන් ඉතිං වැඩක් නැහැ කියල. අපි එතනින් කළුතර උතුර පොලිසියට ආව පැමිණිලි කරන්න. විද්‍යාලංකාර කියන ලොකු මහත්තය අපිට බැනල එළවගත්ත.

පුතා අරගෙන ගියපු ජූලි මාසෙ අටවෙනිදයින් පස්සෙ කවදාවත් දකින්න හම්බුවුණේ නැහැ. මඟුල් ගෙදර යන්න ලෑස්තිවෙලා හිටපු මගේ පුතා මළ ගෙදර ගියා...

මීළඟ සිදුවීම වාර්තා වන්නේ වස්කඩුව, මහවසකඩුවේ සිරිල් මාවතෙනි. එහි ජිවත් වු විසි හතර හැවිරිදි අනිල් කුලසිංහ මහතුන් නමැති තරුණයා පැහැරගෙන ගොස් ඇත්තේ 89 ජූලි මාසයේ හත් වන දින යි. සිද්ධිය අප වෙත පවසන ලද්දේ ඔහුගේ බිරිඳ වූ ධම්මිකා ප්‍රිකාන්ති විසිනි.

... පැහැරගත්තෙ මගේ මහත්තය. අපි කසාද බැඳල හරියට ම මාස එකහමාර යි. එදා එයයි, මමයි, අම්මයි තුන් දෙනා ම පුංචි අම්මලගෙ ගෙදර ගියා. ඒ යනකොට එකපාරට ම ආපු කහපාට හයිඒස් වෑන් එකක් අපිට ඉස්සර කරල නැවැත්තුව. ඒකෙ තුන් දෙනෙක් හිටිය මට හොඳට මතකයි. ඒ එක්ක ම එකෙක් තුවක්කුවකුත් අරගෙන බැහැල ඉස්සරහට ආවා. තුවක්කුව අපි දිහාට එල්ල කරල ‘යටත් වෙයන්’ කියල කිව්ව. බය වැඩිකමට අනිල් අත් දෙක උස්සනවත් එක්කම එකෙක් ඇතුළෙ ඉඳගෙන ‘හරි අප්, හරි අප්’ කියල කිව්ව. එතකොට එළියෙ හිටපු එකා වෙඩි තිබ්බ. ඒත් වැදුණෙ නෑ. ඒ එක්ක ම අනිල් වේගෙන් ඉස්සරහට දිව්ව. අපිත් දිව්ව. ඒ දුවද්දි මටයි අම්මටයිත් උන් වෙඩි තිබ්බ. ඒත් වැදුණෙ නෑ. මේ සිද්දධියට හරියට ම පැය තුන්කාලක් විතර ගියා. කොහොමහරි හැංගිලා හිටපු අනිල් වැටකින්එහා පැත්තට පනින කොට උන් දැක්ක ගමන් කකුල පටලැවිල වැට ළඟ වැටුණ. ඒ එක්ක ම ළඟට ආපු උන් සෑහෙන වෙලාවක් වෙඩි තියාගෙන තියාගෙන ගියා. මං දන්නෙ එච්චරයි. එතකොට ම මාව සිහි නැතුව ඇදගෙන වැටුණා...

ඇය තම හිස පුටුවට බර කළා ය. ඉන් මඳ වේලාවකට පසු ඇය යළිත් තම හඩඅවදි කළ ද ඒ වචන ගලා ආවේ පැටලිලි සහගතව ය. ඒ, එදා සිදු වූ භයංකර සිදුවීම ඇගේ මුළු ජීවිතයම වෙනත් ඉමකට ගලා යාමට ඉවහල් වී ඇති බවට කදිම සාක්ෂියකි.

... පස්සෙ එයාගෙ අක්ක කළුතර උතුර පොලිසියට ගියා. ඊට පස්සෙ තමයි පොලිසියෙන් ඇවිත් මිනියඅරගෙන ගිහින් තියෙන්නෙ. ඉතින් අක්ක ඒ එක්ක ම වගේ පොලිසියට ගිහින් තියෙනව මිනිය ගන්න. අක්ක රෑ දොළහ වෙනකං පොලිසියට වෙලා අඩ අඬා ඉඳල තියෙනව. ඒත් මිනිය දුන්නෙ නැහැ. ඊට පස්සෙ පොලිසියෙන් කියල තියෙනව ‘තමුසෙට මිනිය දෙන්න බැහැ. දැන් යනව, ගිහින් හෙට තාත්තව එවනව’ කියල. නමුත් තාත්තට ආරංචි වෙලා තිබුණ අනිල්ගෙ මිනිය පලාතොට හැමිදිරියාව සොහොනෙ පිච්චෙනව කියල. ආරංචිය ලැබිල යනකොටත් ගොඩක් පිච්චිලා. ඉතුරු උනු කකුල අරගෙන ඇවිත් විදුරු පෙට්ටක දාල තවමත් ගෙදර තියාගෙන ඉන්නව...

ඇයට ජිවත්වීමට වාතාවරණයක් නැති බැවින් ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් සලසා දෙන ලෙස කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෙජිනෝල්ඩ් කුරේ මහතා මගින් කළුතර දිස්ත්‍රික් ලේකම්වරයාට දන්වා ඇත.

1994 – 11 – 01 දාතමින් අංක 1645 පිටු අංක 75 20 ඡේදය යටතේ අතුරුදන් වීමක් යනුවෙන් සඳහන් කොට නාඳුනන තුවක්කුකරුවන් තිදෙනෙක් පැමින ඝාතනය කොට ඇති බවත්, කළුතර උතුර පොලීසිය දේහය මෘත ශරීරාගාරයට රැගෙන ආ බවත් සදහන් කොට ඇත.

සියලු පරික්ෂණ මේ වන විට පොලිස් පොතට පමණක් සීමා කොට ඇත.

මතුසම්බන්ධයි...
හේමන්ත ජයසේකර                         
1995 පෙබරවාරි 05 හිරු 

 

 

මානව හිමිකම්