23 July 2018
RSS Facebook Twitter   

කළුතර වස්කඩුව ප්‍රදේශයේ ඝාතනයන් 01

 

darga 0පූර්විකාව

අද ඉදිරිපත් කරන්නේ 87- 89 භීෂණ සමයේ 25 වන වසර සමරනු වස් අප විසින් ඉදිරිපත් කරන, එකල භීෂණයට ගොදුරු වුවන්ගේ විස්තර ඇතුළත් තෙවන අදියර යි. අද සිට සති තුනක් හෝ හතරක් පමණ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ කළුතර දිස්ත්‍රික්කයේ වස්කඩුව ප්‍රදේශයේ සිදු වූ පැහැරගැනීම්, අතුරුදන් කිරිම් සහ ඝාතනය කිරිම් සම්බන්ධව ය.



මෙම ලිපි පෙළ ඉදිරිපත් කිරිමේ දී (මෙම ලිපිය ද ඇතුළුව) දක්නට ලැබෙන විශේෂත්වයක් වන්නේ භීෂණයට ගොදුරු වු ඇතැම් පුද්ගලයෝ කිසිඳු දේශපාලන ව්‍යාපාරයකට සම්බන්ධ නොමැති පුද්ගලයෝ බවයි. බොහෝ විට ඔවුන් එබඳු ඛේදවාචකයට ගොදුරුව ඇත්තේ හුදෙක් පුද්ගලික කෝන්තර හේතු කොට ගෙන ය. එකී කාරණය කෙසේ වෙතත් මිය ගියේ මේ රටේ පුරවැසියෝ ය; අපේ දූ පුතුන් ය. එදා භීෂණයට වගකිව යුත්තෝ ම නැවතත් මේ රට පාලනය කරන්නට ඉඩ ඇත. එහෙයින් අප මෙසේ ඉදිරිපත් කරන තොරතුරු ඔවුන්ගේ පාලන සමයේ දී සිදු වූ ම්ලේච්ඡ ක්‍රියා පිළිබඳ යළි සිහිකැඳවීමකි. මන්ද අනාගතයේ දී මෙවන් ව්‍යසනයක් මෙරට තරුණ පරපුරටඅත් නොවන්නට ඔවුන් වගබලා ගත යුතු බැවිනි.

කළුතර වස්කඩුව ප්‍රදේශයේ සිදු වූ මෙම භීෂණ ක්‍රියාවන් සදහා වගකිව යුත්තෝ නොහඳුනන අය නොවේ. අදාළ පුද්ගලයෝ මෙන් ම භීෂණය සඳහා යොදාගත් වාහන පිළිබඳව ද තොරතුරු නිවැරදිව සපයා තිබිය දීත් ඒ අපරාධකරුවන්ට එරෙහි කිසිඳු නීතිමය පියවරක් ගත් බවට මේ වනතුරු තොරතුරු නොමැත. ඊට හේතුව ලෙස දැකිය හැක්කේ පාලකයෝ තමන්ට එරෙහිවන බලවේග සියල්ල දූරින්භූත කරන්නට පෙලඹෙන බව නොවේ ද? එය නිල්, කොළ, රතු හෝ වෙනත් වර්ණයකට යනුවෙන් වෙනසක් නොමැත. අනාගතයේ මෙරට පාලනය බාරගන්නට කැසකවන නිල්, කොළ, රතු හෝ වෙනත් වර්ණයකට අයත් කුමන හෝදේශපාලන පක්ෂයක් යළි මෙරට මෙවන් ව්‍යසනයකට ඉඩ විවර නොකරන බවට වගබලාගත යුතු ය. එමෙන් ම එය පොරාන්දුවකට පමණක් සීමා නොවිය යුතු ය. එසේ නොවන්නට රටේ අනාගතය පිළිබඳ කිසිඳු විශ්වාසයක් තැබිය නොහැකි ය. මන්ද මේ සියලු පාර්ශවයන්ගේ අතිත ක්‍රියා පිළිබඳ මේ වන විට රටවැසියා දැනුවත් බැවිනි.

අප මේ ඉටු කරමින් සිටින්නේ මෙවන් භීෂණයකට වගකිව යුතු සියලු පාර්ශවයන් යළි යළිත් දැනුවත් කිරීම ය. ඒ අප මේ රටට, රටේ මිනිසුන්ට (ජාති, ආගම්, කුල හෝ පක්ෂ බේදයකින් තොරව) ආදරය කරන බැවිනි; ඔවුන් සැවොම මේ රටේ සම්පත් වන බැවිනි; රට සංවර්ධනය කිරිමට මේ මිනිස් සම්පත් අත්‍යඅවශ්‍ය බැවිනි.

භීෂණයේ භයංකාර හස්තයන්ට ගොදුරු වූ මෙම ගම පිහිටා තිබෙන්නේ කළුතර ප්‍රදේශයේ ය. එය වස්කඩුව නම් වේ. ගාලු පාරේ සිට ඇතුළට පියමං කරන සෑම මාවතක ම එදා ලේ පැල්ලම් සටහන්ව තිබුණි. මෙම පැහැරගෙන යාම්වලට සහඝාතනයන්ට ලක් වූ පුද්ගලයන්ගේ ඥාතීහු ඕනෑම අවස්ථාවක තම සාක්ෂි දීමට සූදානමින් සිටිති. ඔවුන්ට වන්දි මුදල් අවශ්‍යය නැත. මූලික ම අවශ්‍යතාවය නිදහසේ හැසිරෙන ඝාතකයන්ට ඉතා ඉක්මණින් දඬුවම් ලබාදීම යි; අසරණ වූ පවුල් තව දුරටත් අසරණ නොකිරීම යි.

මෙහි විශේෂත්වය වන්නේ අළුගෝසුවෝ තම ප්‍රථම බිල්ල මෙම ප්‍රදේශයෙන් ලබාගැනීම ය. එම සිද්ධිය වාර්ථා වීමත් සමග සෑම කොටසකට ම අයත් ජනතාව තුළ හද සසල කිරීමක්, කම්පාවට පත්වීමක්, දැඩි බියට පත්වීමක් ඇතිවීම කිසිසේත් ම නොවැළැක්විය හැකි විය. එවන් වේදනාවෙන් කම්පිත නිරන්තර කඳුළට මුල්තැන දෙන්නා වූ එම දෑස් සොයා හිරු සමුගන්නට සූදානම් වූ තවත් එක් සවස්යාමයක අපි එම ගම් පියස බලා පියනැගුවෙමු.

අතීතයට ගොස් මතකයන් රැගෙනවිත් අප ඉදිරියේ තබන අම්මාවරුන්ගේ, බිරින්දෑවරුන්ගේ, සහෝදර සහෝදරියන්ගේ කතා කොළ අතර මහත් ආයාසයෙන් සටහන් කරගත්තේ ඔවුන් දෑස් කඳුළින් සේදෙන, ඉකිබිඳින, කුරිරු ඝාතකයන්ට සාප දෙන එම තත්පරය තුළ සිටිමිනුයි.

... එම දුක්බර සිද්ධිවල දුක්බර මතකයන් අවදි කළේ කළුතර ප්‍රදේශයේ පළමු ඝාතනයේ හිමිකරු වූ වස්කඩුව, මහවස්කඩුව, සිරිල් මාවතේ පදිංචිව සිටි අගම්පොඩි බර්නාඩ් ආරියරත්න සිල්වාගේ පුත්, නලින් රංගජීව සිල්වා...

පැහැරගත්තෙ මගේ තාත්ත. තාත්ත ඉපදුණේ 1948 ජනවාරි 04 වන දින. පැහැරගෙන ගියේ 88 නොවැම්බර් 03 වන දින. ඒ වෙනකොට තාත්තගෙ වයස අවුරුදු 40 යි.

සිද්ධිය වෙකොට ගෙදර හිටියෙ අම්ම යි, තාත්ත යි, වයස අවුරුදු 04 පමණ නංගි යි මම යි විතරයි. ඔය දවසෙ රෑ 10 ට විතර කවුද දොරට ගහන සද්දයක් ඇහුණා. තාත්ත ඇහුව ‘කවුද’ කියල. එතකොට එළියෙ ඉඳන් එක්කෙනෙක් කිව්ව ‘මම ලෙස්ලි’ කියල. ඒත් තාත්ත දොර ඇරියෙ නෑ. රැ දහයෙ ඉඳල ආණ්ඩුවෙන් ඇඳිරි නීතිය දාල තිබුණෙ. දොර ඇරපු නැති නිසා ආපහු කිව්ව ‘බර්නාඩ් අයියෙ දොර අරින්න මම ලෙස්ලි. අපට මළ ගෙදරක යන්න තියෙනව’ කියල. ඊට පස්සෙ තාත්ත කිව්ව ‘දැන් ඇඳිරි නීතිය නේද මම උදේට එන්නම්’කියල. එතකොට උන් කිව ‘දොර ඇරපන්. අපි පොලිසියෙන්. නැත්තනම් දොර කඩනව’ කියල. ඒත් තාත්ත දොර ඇරියෙ නැති නිසා උන් දොර කඩාගෙන ඇතුළට ඇවිත් තාත්ත අල්ගත්ත. ඒ වෙලාවෙ ගේ ඇතුළෙ කුප්පි ලාම්පුව පත්තුවෙවි තිබුණෙ. තුන්දෙනා ම ගේ ඇතුළට ආවෙ තුවක්කුත් එක්කම යි. අපි කැගැහුව ‘අපේ තාත්ත අරගෙන යන්න එපා’ කියල. එතකොට අම්මගෙ කටට තුවක්කුවක් දාල එකෙක් කිව්ව ‘කෑගැහුවොත් මරනව’ කියල.

කුප්පි ලාම්පු එළියෙන් මම ආපු අය අඳරගත්තා. ඒ ලක්ෂ්මන් විජේමාන්නගෙ (බස්නාහිර පළාතේ පළාත් සභා මන්ත්‍රී) බොඩිගාර්ඩ්ල දෙන්නෙක්. එකෙක් ප්‍රැන්සිස්. අනෙකා පුෂ්පකුමාර. තාත්ත අරගෙන ගියාට පස්සෙ මං කැලේ පාරෙන් හන්දියට දුවගෙන ඇවිත් උන් ආපු ජීප් දෙක බලාගත්ත. එකක් ජේ ආර්ගෙ ආණ්ඩුවෙ හිටපු කෙනෙකුගෙ.(වී. ඇල්. විජේමාන්න) අනික ලක්ෂ්මන් විජේමාන්නගෙ.

ඇඳිරි නීතිය නිසා පොලිසියට යන්නවත් විදියක් නෑ. ඇඳිරි නීතිය ඉවර වුණ ගමන් පොලිසියට ගියා. සිද්ධිය කිව්වට පස්සෙ නන්දසේන කියල සාජන්ට් කෙනෙකුයි කිර්තිපාල කියලරාලහාමි කෙනෙකුයි අපිට කිව්ව ‘ඔය කියන විදියෙ කෙනෙක් කළුතර හොරණ පාරෙ තිස්ස විද්‍යාලය පිටිපස්සෙ මරලදාල තිබිල මිනිය නාගොඩ ඉස්පිරිතාලෙට ගිහිං දැම්ම’ කියල. අපි ගිහිං බලනකොට ඒ මිනිය තාත්තගෙ...

මිනිය ගෙනවිත් ගෙදර තැබුවාට පසු සැකකරුවන් ලෙස නම් කොට ඇති ලක්ෂ්මන් විජේමාන්න, ප්‍රැන්සිස් සහ පුෂ්පකුමාර යනතිදෙනා මිනිය බැලීමට පැමිණිය ද එම ගමේ කිසිවකු ඔවුන්ට ඒ අසලටවත් ඒමට ඉඩ දී නැත. බර්නාඩ්ගේ අවසන් කටයුතු කළ දිනයේ විශාල පෙළපාලියක් ගොස් ඇති අතර ශෝකයට පත් පිරිස් ‘විජේමාන්න කොළ කොටියා, විජේමාන්න මිනීමරුවා, විජේමාන්න මරණයට වගකිව යුතුයි’ ආදි සටන් පාඨ කියමින් ගොස් ඇත. පසු කලක දී ප්‍රැන්සිස් ඝාතනයට ලක්වු අතර පසුගිය දකුණු පළාත් සභා මැතිවරණයට ටික දිනකට පසු පුෂ්පකුමාර ද වස පානය කොට දිවි හානි කරගත්තේ ය.

මේ වන විට දරුවන් හතරදෙනකු ජිවත් කරවීම උදෙසා බර්නාඩ්ගේ බිරිඳ මැදපෙරදිග නොවිඳිනා දුක් විඳී. එහෙත් ඝාතකයෝ නිදැල්ලේ සැරිසරති.

මී ළඟ සිදුවීම සදහන් වන්නේ ගාලුපාර, මහවස්කඩුව, ප්‍රදේශයෙනි. ඔහු නමින් විරක්කොඩි සත්‍යජිත් සමුද්‍රගුප්ත ය. ඔහු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම පිළිබඳ තොරතුරු හෙළි කළේ ඔහුගේ මව වන එස්. ටියුලින් නෝනා මහත්මිය යි.

...මේ සිද්ධිය වුණේ හරියට ම 89 ජූලි 12 වන දින. එදා පුතා කොණ්ඩෙ කපාගෙන එන්න පිටත්වෙලා ගිහින් ටික වෙලාවකට පස්සෙ ගෙදර ආවෙ ‘බාබර් සාප්පුව වහල’ කියාගෙන. ගාලුපාර අයිනෙ ගෙදර ඉස්සරහ ම බයිසිකලේ නවත්තල අක්කගෙ පුතාවත් වඩාගෙන හුරතල් කර කර බයිසිකලේ උඩ තියාගෙන පද්ද පද්ද හිටිය. ඒ වෙලාවෙ තමයි එතනට සුදු පාට හයිඒස් වාහනයක් ආවෙ. ඒකෙ නිල්පාට ඇඳුම් ඇඳගත්තු කිපදෙනෙක් ම හිටියා. මගේ හිතේ ඒ ‘නේවි’ එකේ අය. උං බැහැල ඇවිත් පුතාට කතා කරල ‘ඔයාගෙ නම මොකක් ද’ කියල ඇහුව. පුතා කිව්ව ‘සත්‍යජිත් සමුද්‍රගුප්ත’ කියල. එතකොට උං කිව්ව ‘අපි හොයන්නෙ පාලිත කියල කෙනෙක්. එයා ඉන්න තැන දන්නවද?’ කියල. පුතාකිව්ව ‘එහෙම කෙනෙක් ගැන මම දන්නෙ නැහැ’ කියල. ‘එහෙනම් මැරුම් නොකා දුවපං’ කියල උන් කිව්ව. එතකොට ම පුතා කිව්ව ‘ඉතිං සර් දුවන්න මම වැරදි කරල නැහැනෙ’ කියල. ඉන් පස්සෙ තමයි උං මගේ පුතා ඇදල වාහනේට දාගෙන ගියේ. ‘අනේ අපේ පුතා ගෙනියන්න එපා’ කිය කිය අපි වැන් එක පස්සෙන් දුවනකොට ඒකෙ හිටපු එකෙක් කිව්ව ‘බයවෙන්න එපා. අපි පුතාගෙන් කටඋත්තරයක් අරගෙන එවනව’ කියල. පුතත් කිව්ව ‘අම්මල බය වෙන්න එපා. මම වරදක් කරල නහැ. ගිහින් එන්නම්’ කියල. ඊට පස්සෙ වාහනේ කළුතර පැත්තට ගියා. කොච්චර වුනත් අපිට හිත වාවන්නෙ නැති හින්ද අපිත් ගියා බෝඹුවල කැම්ප් එකට. ඒ යනකොටත් පුතා ගෙනියපු වාහනේ එතන තිබුණ. ඒකෙ නොම්මරේ මට හොඳට මතකයි. 38 ශ්‍රී 3825...

ඒවන විට බෝඹුවල නාවික හමුදා කඳවුර භාරව සිටියේ කර්නල් කරුණාතිලක ය.

යළිත් සමුද්‍රගුප්තගේ මව වේදනාව අතරින් තම වචන අප වෙත යොමු කළා ය.

...අපි කඳවුරට ගිහින් පුතා ගැන ඇහුවට පස්සෙත් කිව්වෙ ‘බය වෙන්න එපා. කටඋත්තරයක් අරගෙන එවනව’ කියල. ඒත් උං පුතා එව්වෙ නහැ. ඊට පස්සෙ අපි පුතාව බලන්න කීපවතාවක් ම ගියා. ඒත් එක ම එක දවසක්වත් උං මට මගේ රත්තරංපුතාව බලන්න ඉඩ දුන්නෙ නැහැ. ඉතිං සුමානයක් විතර ගියාට පස්සෙ උංකිව්වෙ එහෙම කෙනෙක් මෙහෙ ගෙනාවෙ නැහැ කියල. අපි බලන්න තියෙන හැම තැකන ම බැලුව. කියන්න ඉන්න හැම කෙනෙකුට ම කිව්ව. ඒත් අද වෙන තුරු ආරංචියක් නැහැ...

ඇය ඉකිබිඳින්නට විය. සාප කරන්නට විය. අද වන තුරු මොවුන් තුළ අවිශ්වාසයක් ලෙස සටහන්ව ඇතිතේ බෝඹුවල නාවික හමුදා කඳවුරේ ප්‍රධානියා වු කර්නල් කරුණාතිලක ය.

මින් පසුව සිදු වුණ සිද්ධියේ සඳහන් වන්නේ වස්කඩුවේ සිරිල් මාවතේ ධර්මසිරි වීරක්කොඩි පිළිබඳව ය. 89 වසරේ ජුලි මස ඔහු පැහැරගෙන යන විට ධර්මසිරිගේ වයස අවුරුදු 29 කි. ඊට අදාළ තොරතුරු අප හා පැවසුවේ ධර්මසිරිගේ මව වන ඇස් සිසිලින් සිල්වා මහත්මිය යි.

... මුං සදහට ම මගෙන් ඈත් කළේ මගේ පුතාව. මගේ පුතා කසාද බැදල උන්නෙ නන්දනී කියල ගැනු ළමයෙක්. ඒ ළමය අපේ පුතා බඳින්න කලින් ඉඳල ම අජිත් සෙනවිරත්න කියල රාලහාමි කෙනෙක් ඒ ළමයත් එක්ක සම්බන්ධකමක් ඇතිකරගන්න හදල තියෙනව. නමුත් කාරණාව ඉෂ්ට කරගන්න බැරිවුණ එකටයි, මගේ පුතා නන්දනී බැන්ද එකෙන් උගේ තත්ත්වයට හානියක් වුණ එකටයි ලොකු වෛරයකින් තමයි ඉඳල තියෙන්නෙ...

ධර්මසිරි රැකියාව වශයෙන් කර ඇත්තේ කුරුඳු තැලීම ය. එවකට පැවති රාජ්‍යය භීෂණය හේතුවෙන් ඔහු මට්ටක්කුලියේ පිහිටි සිය අක්කාගේ නිවසේ තාවකාලිකව පදිංචිව සිට ඇත.

... කොහොම හරි පුතා ඉන්න තැන දැනගෙන අජිත් සෙනෙවිරත්න පානදුරේ පොලිසියත් එක්ක මට්ටක්කුලියට ම ගිහින් අල්ලගෙන පොලිසියෙ තියාගෙන දවසක් ම ගහල තියෙනව. ඊට පස්සෙ බණ්ඩාරගම පොලිසියට බාර දිල. එතනදි දවස් නමයක් තිස්සෙම හොඳට ම ගහල. ගහල විතරක් නම් කමක් නැහැ මහත්තයො හොඳට ම වද දීල. පස්සෙ චෝදනා නැ කියල ගෙදර එව්ව. ඒ වුණාට මහත්තයො ගෙදර ඇවිත් පැයක්වත් ඉන්න හම්බවුණේ නැහැ කළුතර උතුර පොලිසියෙන් ආව. ඒ ආවෙ අප්පුහාමි රාලහාමියි, සුගතදාස කියල සාජන්ට් කෙනෙකුයි, තව හතර දෙනෙකුයි. ඇවිත් ‘උඹද ධර්මසිරි කියන්නෙ’ කියල ඇහුව. පුතා ‘ඔව්’ කිව්වම ‘තෝ ජේවිපී කරනව කියල ආරංචියි. වර යන්න අපිත් එක්ක’ කියල උන් කිව්ව. පස්සෙ පුතා කිව්ව ‘අනේ නෑ රාලහාමි මම කවදාවත්ඒව කරන කෙනෙක් නෙවෙයි මේ බලන්න මගෙ ඇඟිලි දිහා මට එල්ලල ගැහුව’කියල. පුතා එහෙම කිව්වම ‘ආ.. ඒකට කමක් නැහැ. දැන් යමන් අපිත් එක්ක’ කියල කියනකොටම ‘අනේ බුදු රාලහාමි අපේ අයිය ගෙනියන්න එපා’කියල අනිත් දූ ඉස්සසරහට පැනල බදාගත්ත. එතකොටම සුගතදාස කියන සාජන්ට් ‘පල වේසි යන්න’ කියල දුවට පාරවල් කිපයක් ගැහුව. මම ජිප් එක ළඟට ගියාම මට ගහන්න තුවක්කුව උලුක් කරා.

ඊට පස්සෙන්ද කළුතර උතුර පොලීසියට යනකොට හොඳටම ගහල ගහල දම්වැල්වලින් බැඳල පොලිසිය පිටුපස්සෙ ටයර්ගොඩක් ගාව දාල තිබුණ. අක්කල දෙන්නටත් පොලිසියෙ එවුන් හොඳටම කුණුහරුපෙන් බැනල එළවගෙන. තුන්වෙනි දවසෙ ගියා ම ‘දැන් ඌ ඉවරයි. තොපි තවත් එන්න ඕන නෑ ඌ බලන්න’ කියල බැනල මගේ දරුවන්ව එළවගෙන තියෙනව...

ධර්මසිරිගේ මව මේ සම්බන්ධයෙන් රතුකුරුසයට ද ලිපි ලීවා ය. ඒ වෙනුවෙන් ඔවුන්ට පෝරම කොළයක් ලැබී ඇත. මෙම සිද්ධියට අදාළව මවටත්, අක්කාටත්, බිරිඳටත් සැකයක් පවතින්නේ පානදුර පොලිසියේ වැඩ කළ අජිත් සෙනෙවිරත්න නැමැත්තා ය. ධර්මසිරිගේ රැකියාවෙන් ජීවත් වූ අම්මා, බිරිඳ සහ දරුවාගේ ජීවිත අද වන විට ක්‍රියා විරහිත තත්ත්වයකට ඇදවැටී ඇත.

ඊළඟ කතාව කිව්වෙ වස්කඩුවෙ වැල්ලබඩ පදිංචිවෙලා ඉන්න අසුරුමුනි ලසලින්:

... උන් අරන් ගියේ මගෙ පුතාව. පුතාගෙ නම දිනයාදුර සුනිල් සිල්වා. ඒ වෙනකොට පුතාගෙ වයස අවුරුදු 35 ක් විතර ඇති. හරියටම 89 සැප්තැම්බර් 15 වෙනිද හරියට ම හයට විතර ඇති. පුතා ගස් මදින්න ගේ ආඳද්දි තමයි කළුතර උතුර පොලිසියෙන් ඇවිත් තියෙන්නෙ. සුගතදාස කියල සාජන් කෙනෙකුයි, අප්පුහාමි කියල රාලහාමි කෙනෙකුයි, සිල්ව කියල කෙනෙකුයි තවත් රාලහාමිල වගේකුයි තමයි එහෙම ආවෙ.

සුනිල් එක්කම හිටිය සිරිපාල කියල හමුදාවෙ ඉඳල නිවාඩුවට ගෙදර ආපු කෙනෙකුත්. වෙඩි තියන්න හදනකොට පුතා අත් දෙක අස්සල තියෙනව ‘වෙඩි තියන්න එපා’කියල. ඒත් උං වෙඩි තියල. සිරිපාල බයවෙලා දුවන්න හදනකොට එයාටත් වෙඩි තියල. දෙන්න ම එක තැන මැරිල. පස්සෙ මිනී දෙක ජිප් එකේ දාගෙන ගිහින් පලාතොට හැමිදිරියාව සොහොනෙ එදා ම පුච්චල දාල...

මරණයට පත්වු සුනිල් සමග අප්පුහාමි රාලහාමිගේ තිබු අමනාපය මෙම මරණයට බොහෝ දුරට තුඩු දී ඇතැයි එම පවුලේ සියලු දෙනා ම දරන මතය යි. දරුවන් පස්දෙනෙක් ජිවත් කරවීමට සුනිල්ගේ බිරිඳ මැදපෙරදිග ගොස් සිටිය ද ඇය අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් එම ළමයින් පස් දෙනා ද ජීවත් කරවීමේ කාර්යයට උර දී ඇත්තේ සුනිල්ගේ මව ය.

... මගේ පුතත් එක්ක අපේ පවුලෙ ළඟ නෑයො වෙච්ච සුනිල්ගෙ ම සහෝදරයො තුන්දෙනෙක්වත් මේ විදියට ම මරල දාපු එක තමයි අපිට ඉවසන්න ම බැරි දුක වුණේ...

කතාවේ අවසානය දෙනෙතින් ඇද හැළුණු කඳුළුවලට මුසු කොට කම්මුල් දිගේ ගලාගෙන යාමට ඇය ඉඩ හැරියා ය.

මහවස්කඩුව, වස්කඩුව පදිංචිව සිටි සුනිල් ඩයස් පද්මසිරි පැහැරගෙන යන විට වයස අවුරුදු 25 කි. ඔහු ඉපදී ඇත්තේ 1964 ඔක්තෝබර් මස 01වන දින යි. කඳුළු පිරි දෙනෙතික් යුතුව අප සමඟ කතාවට එක්වූයේ ඔහුගේ මව වන මාග්‍රට් වීරක්කොඩි මහත්මිය යි.

...මගේ පුතා වැඩ කරේ හමුදාවෙ. එදා ගෙදර ආවෙ ආච්චිගේ මළ ගෙදර යන්න. කුමාරසිංහ කියන පොලිසියේ ලොකු මහත්තය යි, අප්පුහාමි රාලහාමියි එක්ක අට දෙනෙක් ආව. එතකොට වෙලාව දවල් 12.45 ට විතර ඇති. අප්පුහාමි මගෙන් වතුර විදුරුවක් ඉල්ලගෙන බීලයි ‘පත්මසිරි කෝ’ කියල ඇහුවෙ. එතකොට ම පුතා ගේ ඇතුළ ඉඳන් එළියට ආව. ඒ ආපු ගමන් අපිට බලාගෙන ඉන්න බැරි විදියට පුතාට ගැහුව. ගහල ගහල ඊට පස්සෙ පොලිසියට අරගෙන ගියා.

ඒ වෙලාවෙම මමයි පුතාගෙ තාත්තයි කළුතර උතුර පොලිසියට ගියා. එතකොට අප්පුහාමි පොලිසියෙ හිටිය. එතකොට අප්පුහාමි කිව්ව ‘මෙහේ ගෙනාපු එකෙක් නැ යකෝ. ගිහින් ගෙනාපු තැනකින් බලාගනින්’ කියල අපිව එළවල දැම්මා. ඉන් පස්සෙ තමයි ඒ. එස්. පී. මහත්තයව හම්බවෙන්න ගියේ.

ඊට පස්සෙ අපිට ආරංචි වුණා කළුතර මතුගම පාරෙ දොඩම්ගොඩ කොස්වත්ත හන්දියෙ මරල දාල තියෙනව කියල. ඒ මරල දාල තිබුණෙත් ජිප් එකේ ම ගොඩක් දුර ඇදගෙන ගිහින් ඊට පස්සෙ වෙඩි තියල. පස්සෙ බලන කොට පැට්‍රල් දාල ගිනි තියල. අනේ!!! කිසි වරදක් නැති මගේ රත්තරං පුතා...

මව කතාව අවසන් කරන විට පියාගේ දෙනෙත් ද කඳුළුවලින් වැසි තිබුණි. රතුකුරුස සංවිධානයට මෙන්ම ජනාධිපතිනි චන්ද්‍රිකාටත් ඔවුන් ලිපි යැවී ය.එහෙත් මහත් හිස් තැනක් තවමත් එහි අරක්ගෙන ඇත..
මතුසම්බන්ධයි...

 

හේමන්ත ජයසේකර - 1995 ජනවාරි 29 හිරු

 

 

 

මානව හිමිකම්