15 August 2018
RSS Facebook Twitter   

ඔය අත ගන්න එළියට - මංජුල වෙඩිවර්ධන

 

manjula poem ආදර දවස‘ ඉවරයි
දැන් ඉතින් ඔබට ඒ
කවිය ලිවුවැකි නේද?

ආදරෙන් හැඩිවුණු හදවතෙහි
කසල හිමකඳු දියවෙන
පෙබරවාරිය අතරමැද
මේ අසිරිමත් සැමරුම
මොන තරම් කරදරද?

එය දැනෙනවා පපුවට
ඔබ කියන එක ඇත්ත.

ඒත් දැන් ඒ දවස ඉවරයි
ඉතින් වෙවුලන අත
ගත්තැකි නේද එළියට.

හිම දියව ගිය පසු ගස් යට
ඉකුත් සිසිරයෙ ගිලිහුණු
කොළපත්‍ර මළමිනි
මතුවෙන්න පුළුවනි
සම් මස් රුහිරු දියවුණු
නහර ඇටකටු මතුවුණු.

ගෙවුණු අවුරුද්දෙත්
මං බයවුණා හොඳටම
කසල හිම දියවෙන සද්දෙට
ගස් මත සුළඟෙ යුද්දෙට.

මට හරි කේන්තියි
නාහෙට නාහන සුළඟෙහි
ආදරය ගැන තියෙන
පුහු ආඩම්බරෙට
අතු ඉති බදාගෙන
අතීතය සොළවන.

ඒත් ගස් මුදුන් මත
ජීවය තවම දිදුළයි
ඇසට නොපෙනෙනමුදු
එය නොවෙද ප්‍රේමය.

ළදල්ලක්වත් දක්නට
තවම කල් වැඩි බව සිහිවී
කම්පා වෙන්නෙ මොකටද
ඔය අත ගන්න එළියට
ඉඩදෙන්න කවියට.

පෙබරවාරියෙ ඉස්සර
රබර කොළ හැලි හැලි
ජීවිතය හිස් වුණු බව ඇත්ත
ඒ ‘නවම‘ ඉන්පසු
රබර බඳුවම ඇදි ඇදි
ඇලලී ගියෙන් සීතෙන්
ආදරෙට මක්විද?

එවන් අනදර ගැන
‘ආදර දවස‘ විනිවිද යන
කවිය ලිව්වැකි නේද
හිත හිස්ව ගිය පසු
ඔය අත දෙන්න මට
සිපගනු පිණිස හිමිහිට.

- 2015 පෙබරවාරි 14
© JDS

 

 

සයිබර් පවුර