20 February 2018
RSS Facebook Twitter   

දෙබිඩි අහස

 

sky දියලුමේ වතුරයි
ලැයිමෙ දහදිය බිඳුයි කඳුළුයි
මහ දවාලෙම ඉහල ඇදගෙන
අඳුරු වැහිකළු තර වුනා
බදුලු අහසම බර වුනා


ලපැටි තේ දලු යාය අතරේ
රිදී උල්පත් ඉපැදුනා
එයින් කුස සතපන සියොත් කැල
ඉරට ඉහළින් ඉගිලුනා
උණුහුමට ඝන වළා සළුපිළි
උන්ගෙ උරමත දැවටුනා


විසල් වැහි පිරි වලා සළුවක්
ශිඛර මුදුනක ඇමිණුනා
දියලුමේ දිය සමග මුහුවුන
කඳුලු මිහිමත විසිරුණා
අහස් වත අතගාන කඳු හිස
කඳුළු ගඟ දැක හෙල්ලුනා
කන්ද පාමුල පුංචි බිම්මල්
පස් ගොඩක් යට වැළලුනා


ලැයිමෙ මල්වල සෝ විලාපය
හෙමින් ඇහුනා නෑහුනා
අමුතු කම්පාවක් මවාගෙන
සිඟිති සිරිපොද ඉහිරුනා
හාංකවිසියකුත් නොදන්නා
සියොත් මධු ගී ගයමිනා
තව රිදී උල්පතක් සොයමින්
ඉරට ඉහළින් ඉගිලුනා

උපුටා ගැනීම - http://bassigenawathana.blogspot.co.uk

 

 

සයිබර් පවුර