22 January 2018
RSS Facebook Twitter   

‘වැව් දහයක් වගේද එයාපෝට් එකක් කථානායක තුමෝ?'

 

siyage blogeka 1පියදාස මුදලාලිගේ දේශපාලන විග්‍රහය

පහුගිය සෙනසුරාදා පළාත් සභා ඡන්දෙ කාරිය දාලා අහවර වෙලා මමයි අපේ ගෙදර එක්කෙනයි අපේ ගම්පලාත වන වීරකැටියට ගියා මහගෙදර ඉදන් ඡන්ද ප්‍රතිඵල අහන්ඩ හිතාගෙන. ඉස්සරනම් බත්මුල් බැදගෙන වතුර බෝතල් අරගෙන තුන් සරණේ කවි කිය කිය පැය 8 ක් 10 ක් ගිය ගමනට මෙදා ගතවුනේ පැය දෙක හමාරයි පර්සි මලයගෙ අධිවේගෙට පිං සිද්ධ වෙන්ඩ. තුන් සරණේ කවි දෙක කියද්දි ගාල්ලෙ. අම්මපා රත්නෙ මස්සිනාවත් දාන් එන්ඩ තිබුනා නම් කියල හිතුණා මේ සංවර්ධනේ පෙන්නන්ඩ. මං යමු කියල කථා කලත් මිනිහ එන්ඩ අදිමදි කලේ මේ තියෙන සංවර්ධනේ ඇහැ ගැහෙනවට තියෙන අකමැත්ත නිසා වෙන්ඩැති මයෙ හිතේ. කුහක ඈයො.

මේ සා විසාල සංවර්ධනයක් මන්දැක්කෙ ප්‍රේමදාස මහත්තයගෙ කාලෙ විතරයි. 87 කතරගම ගම්උදාව වෙලාවෙ පාර්ලිමේන්තුව, සුප්‍රීම් උසාවිය, රුවන්වැලි සෑය, තව එක එක ගොඩනැගිලි ප්‍රේමදාස උන්නැහෙ කතරගම ගම්උදා භූමියේ ඉදිකෙරුවා. ඒ කාලෙ හැටියට ඒව විශ්වකර්ම වැඩ. මට හොදට මතකයි අපි ඒ ගම්උදාව බලන්ඩ ගිය වෙලාවෙ රත්නපාල මස්සිනා කිව්වෙ ‘මොන බූරු වැඩද මේ? සල්ලිකන නාස්තිකාර වැඩ. මීටවඩා හොද නැද්ද කතරගම මිනිස්සුන්ට කක්කුස්සි ටිකක් හදලා දුන්නානම්' කියල. ලොකු නගාගෙ මිනිහ හින්ද ඉවසන් හිටිය මිසක්ක නැත්තන් දන්නව කරන්ඩ ඕන දේ. හැබැයි ඊට අවුරුද්දකට දෙකකට පස්සෙ අපි ආයිත් ගම්උදා භූමියට ගියාම පාර්ලිමේන්තුවෙ හිටියෙ අයාලෙ යන හරක්. සුප්‍රීම් උසාවිය වඳුරන්ගෙ රජ දහනක් වෙලා තිබ්බා. හොඳ වෙලාවට රත්නපාල මස්සිනා අපිත් එක්ක ආවෙ නෑ. නැත්තන් ඉතිං වෙන්නෙ අපේ කන්වල ඇබ ගහ ගන්ඩ තමයි.

ඒකත් එහෙමයි කියමුකො. අම්මප හම්බන්තොට කියන්නෙ දැන් ‘සුරපුරයක්'. ඉස්සර වෑර්ලස් එකේ කිව්වෙ ‘කොළඹ නගරෙ රෑට සුරපුරයක ප්‍රීති සාර වේ' කියල. දැන් කියන්ඩ ඕනෙ ‘හම්බ නගරෙ රෑට සුරපුරයක ප්‍රීති සාරවේ' කියල. හාමිනෙයි මායි පණපිටින් දිවියලෝකෙ ගියාවගේ. අම්මපා අපි දෙන්නටම ඇඬුණා. මේ කව්රු නිසාද මං අහන්නෙ? රාජපක්ෂවරු නිසා නේද? ඉලැක්සන් ප්‍රතිඵල අහන්ඩ දෙයක් නෑ. හම්බන්තොට 90% ක ඡන්ද ප්‍රතිශතයකින් මෙදා දිනනවට මෙන්න කැට කියල තමයි මම එදා රෑ කිව්වෙ. මට ඩලස් මලයත් එක්ක තරහකුත් ආවා. මිනිහ ඊට දවස් කීපයකට කලින් ප්‍රවෘත්ති සාකච්ඡාවකදි කිව්වෙ ආණ්ඩුව 65% කින් විතර හම්බන්තොට දිනනව කියල. මෙච්චර සංවර්ධනයක් වෙන්නැතුව 2009 දි 69% කින් දින්නනම් මෙදා ගමන 90%කින් දිනනව කියන එක ‘බඩේ බත් වගේ' තමයි.

නමුත් පහුවෙනිදා ප්‍රතිඵල බලද්දි අපි දෙන්නම වැරදියි. ප්‍රතිශතේ පනස් ගණන්වලට බැහැලා. මහ කාලකණ්නි ජනතාවක්. මෙච්චර කොරපු දෙවිවරුන්ට මේ යක්කු සලකන්නෙ මෙහෙමද? මට තුං නොදකින් කියල හිතුනා. ඒ වෙනුවට යූඇන්පී ඡන්ද ප්‍රතිශතේ 5% කින් ඉහළ ගිහිල්ලා. එකත් එකටම මං දන්නවා රහස. සජිත් කියන ‘හොර නාථා' තමයි ඕක කරල තියෙන්නෙ. ‘වෙහෙරක් ගිල්ල සජිතයට අග්ගලාවත් කජ්ජක්ද?' ඌ නංගිගෙ බිස්නස් හවුල්කාරයාට කියල හොර ඡන්ද පත්‍රිකා ගහලා පෙට්ටි පුරවන්ඩ ඇති. හොර සල්ලි ගහපු එවුන්ට ඕවත් වැඩද? නැත්තං ගිරුවා පත්තුවේ ජනතාව කළගුණ දන්න ජනතාවක්. නාමල් බේබිට කෙසේ වෙතත් පර්සි මලයට(ජනාධිපති), හිච්චි මලයට (ගෝඨා), අපේ ඉනිස්පැක්ටර් මහත්තයට (චමල්) සලකන උදවිය.

රාජපක්ෂවරු කියන්නෙ ගිරුවා පත්තුවෙ රූස්ස ගස් ගල් වගේ ඈයො. ඔය කතාව මම වතාවක් රත්නෙ මස්සිනාට ඇහෙන්ඩ කිව්ව වෙලාවෙ ඒකා කියනව ‘ඔව් මුදලාලි මස්සිනා ගස් ගල්වලට ''මොල'' නෑනෙ' කියල. මට දමල අනින්න හිතුණා. ඒත් කරබාගෙන හිටියා.

ඇයි අපේ රාජ්‍ය මාධ්‍යයන්ට බැරි මේ හම්බන්තොට ප්‍රතිශතේ අඩුවීම පිටුපස ‘අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්' එහෙමත් නැත්තන් ‘කොටි හස්තයක්' තියෙනවා කියල පල කරන්ඩ? හැම එකටම කියන එකේ ඕකටත් කිව්වහම මක්ක වෙනවද? මොනව හරි කියල රාජපක්ෂවරු රැකගන්න එක අපේ යුතුකම නෙමෙයිද? ඇයි වීරවංශ ඇමතිතුමාට බැරි මේකට ‘පිල්ලෙ නෝනට' චෝදනා කරන්ඩ. ඇමරිකන් තානාපති කාර්යාලය ඉස්සරහ උපවාසයක් කරන්ඩ? මේ හැම එකාම උන්ගෙ වාසියට විතරයි වැඩ කරන්නෙ. හම්බන්තොටට කෙල වෙනව කියන්නෙ රටටම කෙල වෙනව කියන එක. රණවක ඇමතිතුමාට බොදු බලේට තිබ්බනෙ මේ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරල නැවත ඡන්ද ගනින්ට කියල යෝජනා කරන්ඩ.

මං ඔය යෝජනාවත් ඔලුවෙ තියාගෙන අපේ ‘ඉනිස්පැක්ටර් මහත්තයා' හම්බවෙන්ඩ ඡන්දෙට පහුවෙනිදා තිස්සමහාරාමෙ ගෙදරට ගියා. එතුමායි මමයි එකම අවුරුද්දෙ උපන්නෙ. මම මැයි මාසෙ. එතුමා ඔක්තෝම්බරේ. උන්නැහෙයි මායි උපන්ගෙයි ඉදලම හොඳ යාළු මිත්තරයො. අපේ ගෙවල්වල ඕන මගුලක්, මරණයක්, දානයක්, බණක්, කොටහළුවකට පවා එනවා. උන්නැහේ එකදාස් නමසිය හැටතුනේ තමයි පොලිස්සියට බැඳුණෙ ඉනිස්පැක්ටර් කෙනෙක් විදිහට. ඒ සන්දියෙ ඉදල තමයි අපි උන්නැහෙට 'ඉනිස්පැක්ටර් මහත්තයා' කියන්නෙ. ඔය කියන කාලෙ මම කොළඹ සුළුවෙන් ව්‍යාපාර කරගෙන බිස්නස් අල්ලගෙන එන කාලෙ. මට තාම මතකයි උන්නැහේ හැටහතරෙ බණ්ඩාරවෙල පොලීසියට මුල්ම පත්වීම හම්බෙච්චි කාලෙ මට ඔය නිවාඩුවක් ලැබුනහම තුන් හතර වතාවක් ගියා බලල කියල එන්ඩ. උන්නැහෙ මට කියන්නෙ ‘මුදලාලි මස්සිනා' කියල. ඒ ලෙංගතුකම අදටත් එහෙමයි. එතුමන් දේශපාලනෙන් ඉහළ ගියා. මම බිස්නස්වලින් ඉහළට ගියා.

ගෙදරට යන එන ඕන කෙනෙකුට ‘ඉනිස්පැක්ටර් මහත්තයා' තේ වෙනුවට දෙන්නෙ බෙලිමල් වතුර, රණවරා වගේ අවුසද පාන. කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු කාලෙ ඉදන් එතුමා මට මාසෙකට සැරයක් මේ අවුසද වර්ග අඩංගු පාර්සලයක් එවනවා. ඉතිං මෙදා ගමන හම්බවෙලා කිතුල් හකුරු හප හප රණවරා බොන ගමන් එතුමා මට කියනවා ‘පියදාස මුදලාලි අපේ පවුලෙ කෙනෙක් වගේ නිසයි මම මේ කියන්නෙ. මේපාර නම් එනපොට හොඳ නෑ. පේනව නේ ඡන්ද ප්‍රතිශතේ පල්ලම් බැහැලා තියෙන අපූරුව. කොහේද ජනාධිපතිතුමා මම, බැසිල් මල්ලි කියන කිසිම දෙයක් කණකට ගන්නෑනෙ පියදාස' කියල.

ඒ සන්දියේ මම කිව්වෙ ‘කෙලෙහිගුණයක් නොදන්න එකාල කථානායකතුමා දැන් මේවයෙ ඉන්නෙ. නැත්තන් අම්මපා වරායවල් හදල, ගුවන්තොටුපොළවල් හදල, ක්‍රිකට් පිට්ටනි හදල, සම්මන්ත්‍රණ ශාලා හදල, අධිවේග හදල අවුරුදු සීයකින්වත් කරන්ඩ බැරි සංවර්ධනයක් අවුරුදු පහකින් කරපු මේ ආණ්ඩුවට මුන් මෙහෙමද අප්පා සලකන්ඩ ඕනෙ? මුන්ට බූවල්ලට හුලිජ්ජ කරලා ඒකෙන් තැලුවත් හිත් දෙන්නෑ මටනම්' කියා.

‘ඔව් පියදාස මුදලාලි කියනව වගේ දැන්නම් මේවයෙ වැඩි හරියක් ඉන්නෙ අපේ මිනිස්සු නෙමෙයි චීන්නු. උන් ඉතිං රාජපක්ෂලාව දන්නෑනෙ. අපේ මිනිස්සුත් දැන් චීන්නුන්ගෙ ආරෙට ගිහින්. ඒ වුනත් මුදලාලි මස්සිනා ඔය එයාපෝට් එක හදන්ඩ වියදම් කරපු සල්ලි කන්දරාවෙන් දිස්ත්‍රික්කෙ පුරා එක වැව් දහයක් හැදුවනම් මේ මිනිස්සු ‘‘මින්නේරියේ දෙයියන්ට'' වගේ අපිටත් සලකනව තව අවුරුදු සීයකට හමාරකටවත් අඩුගානෙ' කියල කථානායකතුමා කිව්වෙ බොහොම විස්සෝපයෙන්.

‘ඒක තමයි කථානායකතුමා මේවයෙ අමුඩගහන් හේන් ගොවිතැන් කරන කුඹුරු කොටන එවුන්ට ‘‘එයාපෝට් එකක'' තියෙන වැදගත්කම වටිනාකම තේරුම් ගන්ඩ තව අවුරුදු සීයක්වත් යයි. ඔය නාමල් බේබිලා වගේ ඒරොප්පෙ ගිහින් සිල්ප සාස්තරේ හදාරලා ඒ දැණුමෙන් මේ රට සංවර්ධනය කරන උදවියගෙ වටිනාකම මේවයෙ ඉන්න මඩකරින් හරියට තේරුම් ගත්තනම් අඩුම ගානෙ 90% ක ඡන්ද ප්‍රතිශතේකින් තමයි හම්බන්තොට දිනන්න ඕනෙ. ඔය යූඇන්පී එකේ සජිත් කොලුවත් අංකූරා. ඒකාලෙ ‘‘නිධන් වදුල '' කියෝ කියෝ හිටියා. දැන් නගායි එයාගෙ හවුල්කාරයයි එක්ක එක්කහුවෙලා යටිකූට්ටු වැඩක් කරාද කව්ද දන්නෙ? හොර සල්ලි ගහන්ඩ බය නැති උන්ට හොර ඡන්ද පත්‍රිකා කජ්ජක්ද?' කියල මම කථානායකතුමාගෙ හිත සනසන්ඩ කිව්වා.

‘ඔහේට මම කියන එක තේරෙන්නෑ මුදලාලි මස්සිනා. මම ඉන්තේරුවෙන් කියන්නෙ මේ අපි හම්බන්තොටට කරලා තියෙන සංවර්ධන සෙප්පඩ විජ්ජාව මෙහේ මිනිස්සු පිලිගන්නෑ කියන එකට හොඳම සාක්කිය තමයි මේ ඡන්ද ප්‍රතිඵල. හම්බන්තොට චීන්නු හිටියට කොණ්ඩෙ බැදපු චීන්නු නෑ කියන එක දැන් අපි තේරුම් ගන්ඩ ඕනෙ. ඔහේවත් මේක ජනාධිපතිතුමාට කියල බලනව. එතුමාට ආදරයක් තියෙනවනම් මේව කියල දීලා හදාගන්ඩ බලනව. අනික් එවුන් වගේ ලනුදෙන්නැතුව' කථානායකතුමාට මා එක්කත් තදවෙලා වගේ කියෝගන ගියා.


‘ඔව් මට ජනාධිපතිතුමා නිතරම මඟුල් ගෙවල්, මළ ගෙවල්, බණ ගෙවල් වල අඩුගානෙ දවසකට දෙතුන් සැරයක් හම්බවෙනවා. මොන වැඩ තිබ්බත් මඟුලක් මරණයක් අතාරින්නෑ. ජිනීවා ඡන්දෙ දවසෙත් මට මඟුල් ගෙදරකදි හම්බවුනා. ඒක තමයි නියම දකුණෙ ගතිය. මමත් හෙමිහිට කියල බලන්නන්කො' කියමින් මම හෙමිහිට යන්නම් කියල කථානායකතුමාගෙන් සමුඅරගෙන ආවා. ඔය පැහිච්ච කතා කියන්ඩ ගිහිල්ලා මට ජනාධිපතිතුමා එක්ක තියෙන ඇයි හොදැයිය නවත්ත ගන්ඩ ඕන්නෑ. ඇරත් අම්මපා ‘‘වැව් දහයක් වගේද එයාපෝට් එකක් කියන්නෙ?'' අනික ලෝකයේ වනාන්තරයක් මැද්දෙ හදපු පලවෙනි එක. හම්බන්තොට ඈයින්ට විතරක් නෙමෙයි ඒක පවුලෙ ඇයින්ටවත් තේරුම්ගන්ඩ බැරිහැටි අම්මපා.

 සබැඳි සටහන්

මානව හිමිකම් මක්කටෙයි?