20 April 2018
RSS Facebook Twitter   

සිංහල බෞද්ධ සමාජය හැදුවේ මහින්ද නෙමෙයි ප්‍රභාකරන්!

 

london pub large

ලන්ඩන් පබ් - 05 London - 05

පසුගිය බ්‍රහස්පතින්දා ලන්ඩන් පබ් එකට කට්ටිය සෙට් වුනේ ශ්‍රී ලංකා - එංගලන්ත ක්‍රිකට් මැච් එක බලන්න වගේම එදා දවල් ජිනීවා මානව හිමිකම් සමුළුවේ තොරතුරු කතා කරන්න. එංගලන්තෙ හිටියත් අපේ කට්ටිය සපෝට් කරන්නෙ ලංකාවට මිසක් එංගලන්තේට නෙමෙයි. පුරුදු පරිදිම ක්‍රිකට් මැච් එක ගැනත් ජිනීවා මැච් එක ගැනත් අපේ කට්ටිය විවිධ දේවල් කිව්වා. පමණක් කතාබහ විහිළුවගේ පෙනුනට ඊට වඩා ගැඹුරක් ඒව තුල තිබ්බා. හැමදාම වගේ පබ් එකට යන එන චරිත තමයි එදත් ඇවිත් හිටියෙ. එංගලන්තෙ වැඩිපුරම ක්‍රිකට් මැච් බලන්නෙ ආසියාතිකයො වන අපි. සුද්දො කියන්නෙ ක්‍රිකට් හරිම ‘බෝරිං ගේම් ' එකක් කියල. ෆුට් බෝල් කිව්වොත් පණ වුනත් දෙයි. බාර් මෑන්ට හිතෙන විදිහට T - 20 ක්‍රිකට් තරඟ නිර්මාණය කරල තියෙන්නෙ ක්‍රිකට් වලින් ඈත් වෙන ෆුට්බෝල් රසිකයන් වෙනුවෙන් කියල. හැබැයි ඒකෙන් වෙන්නෙ ක්‍රිකට්වල තියෙන ‘මහත්මා ගුණය' විනාශ කිරීමක්. කොහොම වුනත් ක්‍රිකට්වල අනාගතය රැදිල තියෙන්නෙ ක්‍රිකට් ඉපදුන එංගලන්තෙ නෙමෙයි. අපේ වගේ ආසියාතික රටවල. ඉන්දියාවෙ IPL මැච් එකකුයි ලන්ඩන් වෙම්බ්ලි වල ෆුට් බෝල් මැච් එකකුයි අතර කිසිම වෙනසක් නෑ. සුද්දන්ට ෆුට් බෝල් අපිට ක්‍රිකට්. අර කවුද කිව්ව වගේ ලංකාවෙ තියෙන්නෙ ආගම් තුනයි. ඒ තමයි යූඑන්පී, ශ්‍රී ලංකා සහ ක්‍රිකට්. බාර් මෑන්ට තාම මතකයි ලංකාවෙ ඉන්දැද්දි කියෝපු ක්‍රිකට් ගැන පුංචි කවියක්.

 

කන්ඩ බොන්ඩ
දෙයක් නැතුව
අඹුදරුවෝ කොහෙද ගිහින්
ජීවත් වී පලක් නොමැත
මහානාම දැවිල ගිහින්..........

මේකෙන් තේරෙනවා ක්‍රිකට් කියන එක කොච්චර අපේ අධ්‍යත්මයට කාවැදිලද කියල. ඒකට ගිහි - පැවිදි භේදයක් නෑ. සැරයක් මතක බණක් සඳහා හාමුදුරුවො වඩම්මන්න ගිය දායකයෙක්ට හාමුදුරුවො කිව්වලු ‘දායක මහත්තය පොඩ්ඩක් ඉන්න ජයසූරිය අවුට් වෙච්ච ගමන් මම වඩින්නම්' කියල. ලන්ඩන්වලත් තත්වය වෙනසක් නෑ. ලංකාවෙ බෞද්ධ විහාරයක් ළඟ පදිංචි වෙලා ඉන්න ප්‍රියන්තලගෙ ගෙදරට දවසක් පන්සලෙන් දුරකතන ඇමතුමක් ලැබිල. පන්සලේ හාමුදුරුවො අහනවලු ‘ඔය ඇත්තන්ගෙ ගෙදර ටී වී එකෙන් ක්‍රිකට් මැච් චැනල් එක තියෙනවද ? කියල' ප්‍රියන්තගෙ අම්ම ඇහුවලු ‘ඇයි හාමුදුරුවනේ? කියල' හාමුදුරුවො කියනවලු ‘නෑ උපාසකම්මෙ මැච් එක තියෙන දවසට අපට අවශ්‍ය වෙලා තියෙනව අපේ ක්‍රීඩකයන්ට සෙත් පතන්න. අපිට පන්සලේ ටීවී එකේ ස්පෝට්ස් චැනල් එක නෑ. ඒක නිසා මැච් එක යන වෙලාවට සෙත් පිරිත් කියන්න විදිහක් නෑ. උපාසකම්මලගෙ ගෙදර ඒ පහසුකම තියෙනවනම් අපි තුන් නමක් වැඩම කරන්නම් සෙත් පිරිත් සජ්ජායනා කරන්න. දානෙ මුකුත් ඕන් නෑ. ඔය ගිලන්පස ටිකක් තිබ්බහම ඇති ' කියල.

ප්‍රියන්තගෙ අම්මත් බොහොම සැදැහැ සිතින් අපේ හාමුදුරුවරු ‘රට වෙනුවෙන්' මේ කරන මහා පුණ්‍ය කර්මයට දායකවෙන්න හිතාගෙන ප්‍රියන්තගෙ අක්කට කියල මැච් තියෙන කාලයට විතරක් ස්පෝට්ස් චැනල් එක ටීවී කොම්පැණියට කතා කරල අරගෙන දානෙ ගිලන්පස එහෙම සූදානම් කරල හාමුදුරුවරුන්ට ආරාධනා කලාලු. හාමුදුරුවොත් හරියටම වෙලාවට ඇවිල්ලා ‘ටොස්ට් එක' වෙලාවෙදිම සෙත් පිරිත් කියන්න පටන් ගත්තලු. සෙත් පිරිත් බලෙන් ලංකාව ටොස්ට් එක දින්නලු. ප්‍රියන්තගෙ අම්මට හරිම සතුටුලු. පස්සෙ සෙත් පිරිත් හඬ හෙමින් හෙමින් අඩුවෙලා හාමුදුරුවරු කට්ටියම සෙල් පිලිම වගේ මැච් එක බලනවලු. ප්‍රියන්තගෙ අම්මත් ළඟ ඉන්න නිසා හතරෙ පාරක් එහෙම ගහනකොට සෙත් පිරිත් කියනවලු. හිටපු ගමන් හයේ පාරක් එහෙම ගහපුවහම හාමුදුරුවරුන්ට ඉබේම අත්පුඩි ගැහෙනවලු. එදා මැච් එක ලංකාව දිනල. ප්‍රියන්තගෙ අම්මා තාම හිතන් ඉන්නෙ වැඩේ සිද්ධ වුනේ හාමුදුරුවරුන්ගෙ පිරිත් බලෙන් කියල. නමුත් ප්‍රියන්තගෙ අක්කට වැඩේ තේරිලා කිව්වලු ‘අපි පන්සලට ස්පෝට්ස් චැනල් එක ගෙවල අරන් දෙමු. එතකොට හාමුදුරුවරුන්ට පන්සලේ ඉදන්ම සෙත් පිරිත් කියන්න පුළුවන්නෙ' කියල.

මේ කතාව මෙහෙම ලියන්න හිතුවෙ එදා මැච් එක වෙලාවෙ ග්‍රවුන්ඩ් එකේ දැකපු සිද්ධියක් නිසා. ලංකාව පැරදීගෙන යනකොට අවුරුදු විස්සක විසි දෙකක යුවතියක් දෑස් වසාගෙන අත් දෙක එකතු කරගෙන යාඥා කරන්න පටන් ගත්තා. හැබැයි බෞද්ධයො නම් යාඥා කරන්නෑ. නමුත් මේ ළමයනම් බැලූ බැල්මට බෞද්ධ වගේ. පස්සෙ ක්‍රමක්‍රමයෙන් මේ දැරිවිගෙ වටේ හිටපු අනෙත් දැරිවියොත් ඒ විදිහට යාඥා කරන්න පටන් ගත්තා. පබ් එකේ ඉදන් මැච් එක බලපු එවුන්ට මැච් එකට වඩා ආතල් ඒ සීන් එක. ටීවී කැමරා කාරයත් එන්ගලන්තෙ හයේ එකක් ගහපුවහම පෙන්නන්නෙ හයේ එක නෙමෙයි. අර තරුණියන් යාඥා කරන හැටි. පබ්එකේ අපේ කට්ටිය ඒකට විවිධ දෙබස් එකතු කරනව. ‘දෙවියනි ඔබ කොහිද?' ඒකට තව එකෙක් උත්තර දෙනව. ‘ මම ටොයිලට් එකේ' ‘වහාම චිතගොන්වලට වඩිනු මැනවි' ‘හපෝ දරුවා...... ඒක අල්ලාහ් දෙවියන්ගෙ රටක්. අපිට වීසා නෑ' ඔය වගේ එක එක බහුබූත.

හැබැයි කොච්චර වුනත් අපේ අමරෙ අයියට එහෙම ඒ දැරිවි දැක්කම සන්තෝසයි. ‘බලන්න මල්ලි නියම සිංහල බෞද්ධ දැරිවියක්' අමරෙ අයියා සතුටෙන් කියනව. එදා මැච් එක බලන්න ජර්මනියේ රංජන් අයියත් ඇවිත් හිටියා.

‘කොහොමද අමරෙ දැන ගත්තෙ ඒ ගෑණු ළමය සිංහල බෞද්ධ කියල'

‘තොල් මතුරන විදිහෙන් කියන්න බැරිද ඉතිපිසෝ ගාථාව කියනවා කියල'

‘දෙවිපිහිට ඉල්ලන්න ඉතිපිසෝ ගාථාව කියල හරියනවද? දෙයියන්ටනෙ කන්නලව් කරන්න ඕනැ'

‘හරි හරි කොහොම හරි ඔය දැරිවි මැච් එක ගොඩදායි කාටහරි කියල' අමරෙ අයියා නොයිවසිල්ලෙන් කියනව.

‘මීට පස්සෙ ප්ලේයින් කෝච්ලා වගේම ප්‍රේයින් කෝච් කෙනෙකුත් අපේ ටීම් එකට ගත්තනම් ඕන මැච් එකක් ගොඩ දාගන්න පුළුවන්' එහෙම කියමින් කතාව ට එකතු වුනේ සහන්.

‘උඹලට ඉතිං දෙයියෙක් බුදුවරයෙක් ගැන විශ්වාසයක් භක්තියක් තියෙන එකක්යැ' අමරෙ අයිය කිව්වෙ ටීවී එකෙන් දෑස් මෑත් නොකරගෙන.

‘අනේ අම්මපා මේ 21 වෙනි සියවසේ ඩිජිටල් යුගයේ පරම්පරාව නේද? මේ විදිහට මුලාවෙලා බැදිවල යන්නෙ' රංජන් අයියා කිව්වෙ ඇත්තටම කලකිරීමෙන්.

‘ඇයි රංජන් මක්කාවෙනවද? ඒ ළමයි ඒගොල්ලො අදහන දෙයින් මේ වගේ අසීරු අවස්ථාවක ප්‍රයෝජනයට ගත්තාම. රටට හොඳක් වෙනවනම්'

‘ නෑ අමරෙ මේකයි. ආගම ඔලුව උඩ තියන් ඉන්න පකිස්ථානෙවත් මේවගේ බූරු වැඩ කරන්නෑ. මේ ළමයින්ව අන්ධ කිරීම ගැන ඔය ප්‍රදර්ශනාත්මක බෞද්ධයො හැම එකාම වග කියන්න ඕනැ. මුළු රටම මුලාවෙන් අන්ධ වෙලා'

‘මොකක්ද මුලාව?' ඒ ගමන අමරෙ අයියා ටිවී එකෙන් දෑස් මෑත් කර ගත්තා.

‘මේක මුලාවක් කියල උඹට තේරෙන්නැත්තන් අමරෙ උඹටත් දෙයියන්ගෙම පිහිට තමයි. අම්මපා උඹ මොන මගුලක්ද ලන්ඩන්වල කරන්නෙ. පලයන් ආයිත් ගාල්ලට ගිහිල්ලා මේ උන් එක්ක එකතුවෙලා යාඥා කරපන් මැච් දිනන්න නෙමෙයි රට ගොඩ යන්න කියල'

‘උ‍ඹේ දැනුම මට්ටම නෙමෙයි රංජන් ඒ ළමයින්ට තියෙන්නෙ. ඒ ළමයිනුත් හැම එකටම සාදුකාර දෙන වයසක උපාසකම්මල වගේ. උඹ බටහිර කණ්නාඩි දාගෙන ඒ ළමයි දිහා බලන්ඩ එපා. ඕක තමයි සෝම හාමුදුරුවො දිවි පුදල අපේ රටේ ඇති කරපු ප්‍රාතිහාර්ය. මිනිස්සු ඉස්සරට වඩා දැන් පන්සල් පල්ලි ඇසුරු කරනව. ආගම දහමට ගොඩක් නැඹුරුයි. මොකා මොනව කිව්වත් කොටින්ට පිං සිද්ධ වෙන්න බුද්ධාගමෙත් පුනර්ජීවයක් තියෙනව. ඉතිං මේ වගේ අසීරු අවස්ථාවකදි ආගමෙන් දහමෙන් ප්‍රයෝජනයක් ගන්න එක වැරදිද මං අහන්නෙ? '

‘ඔව් අමරෙ උඹ කියන එකෙත් ඇත්තක් තියෙනව. අර උඹලගෙ ගමේ සුමනදාස අබේගුණවර්ධනට කැප්ටන්කම දීලා සාස්තර කාරයො සෙට් එකක් මැච්වලට යැව්වනම් මෙච්චර වියදමක් යන්නෑ'

‘බලාගෙන ගියහම බෞද්ධාගමේ පුනර්ජීවනේ ඇති කරල තියෙන්නෙ අනගාරික ධර්මපාලතුමා නෙමේ කොටි නායක ප්‍රභාකරන්' සහන් කියා හිටියා.

‘දෙමෙල්ලු මරන එකයි තම්බින්ගෙ පල්ලිවලට ගිනි තියෙන එකයි තමයි උඹ කියන ඔය බෞද්ධ පුනර්ජීවනේ. මට නම් බෞද්ධයෙක් කියන්නත් ලැජ්ජයි' රංජන් ආසනයේ පසුපසට වෙමින් තෙපලුවා.

‘කොහොමත් අද අපිට එච්චර සුභ දවසක් නෙමෙයි. දවල් ජිනීවා මැච්එක පැරදුනා. හවස ක්‍රිකට් මැච්එක පැරදුනා. දවස තිස්සෙම සුද්දො අපට කෙලියා. වීරවංශට රණවකට එහෙම එකසිය ගානට තදවෙලා ඇති මගෙ හිතේ' එහෙම කිව්වෙ සහන්.

‘අපේ නායකය නම් සුද්දන්ට පරද්දන්න බෑ. ඇමරිකන් කාරයා අපිට වගේම කාෂ්මීර්වලටත් යුධ අපරාධ චෝදනා ගෙනෙයි කියල ඉන්දියාව බය වුනා. එහෙම වුනොත් අපිට වෙච්ච දේම තමයි ඒ අයට වෙන්නෙ කියල ඉන්දියන් කාරයා හිතුව. ඒක තමයි අන්තිම මොහොතෙ ඡන්දෙ නොදී හිටියෙ' කියමින් අපේ කට්ටියේ ඉන්දියානු විශේෂඥයා වන සහන්ට අමරෙ අයියා කිව්වා. ඉන්දියාව ගැන මතක් කරපුවහම සහන්ටත් ඉබ්බා දියේ දැම්මා වගේ.

‘ඒ ඇත්ත ඉන්දියාව භය වුනා. ඉන්දියාව කොහොමටත් රාජපක්ෂලාට ආදරෙයි. රාජපක්ෂලා තරම් ඉන්දියාවට සේවය කරපු එක නාකයයෙක්වත් ලංකාවෙ ඉන්නවද? ඉන්දියාවට තමිල්නාඩුවෙ ජයලලිතාට වඩා ලංකාවෙ රාජපක්ෂව වටිනව. මොකද ජයලලිතා මේ වෙනකොට මෝඩිට බහ දීලා ඉවරයිනෙ. ඉතිං කොංග්‍රස් කට්ටිය කල්පනා කරා අන්තිම මාස දෙකේ හරි රාජපක්ෂ උන්නැහෙව බේර ගන්න එක හොඳයි කියල' සහන් එයාගෙ ඉන්දියානු තියරිය විස්තර කරනව.

‘ඇත්ත ඉන්දියාව කැමතියි රාජපක්ෂලා දිගටම බලේ ඉන්න එකට. ඒත් රාජපක්ෂලා මොනවත්ම දෙන්නෑනෙ දෙමළ අයට. අඩුගානෙ 13 වන සංශෝධනය හරි දෙනවනම් ඉන්දියාව අතින් වියදම් කරලා හරි රාජපක්ෂව තියන් ඉන්නව. මේ වගේ මොලයක් නැති නායකයෙක් තමයි ඉන්දියාව හොය හොයා හිටියෙ' රංජන් අයියත් සහන්ට සපෝට් එක දුන්නා.

‘ඔව් ඉතිං උඹලා කියන විදිහට මොලේ තියෙන්නෙ රනිල්ටයි චන්ද්‍රිකාටයි විතරයි. ඒත් අපේ රජතුමා කරපු දේවල්වලින් භාගයක්වත් කරන්ඩ පුළුවන් වුනාද උන්ට? උඹල වගේ කුහක යක්කුන්ට කවදාක්වත් මහින්ද රාජපක්ෂගේ වටිනාකම තේරෙන්නෑ' අමරෙ අයියා සුපුරුදු පරිදි තමන්ගෙ නායකයව ආරක්ෂා කරනව.

‘අර මැච්එක වෙලාවෙ ''ඉතිපිසෝ ගාථාව'' කියපු දැරිවිගෙ ''ආඩම්බරකාර තාත්තා'' තමයි අමරෙ අයියගෙ ජනාධිපතිතුමා. එයාගෙ සීයා තමයි බණ්ඩාරනායක අගමැතිතුමා. බාප්පා තමයි වීරවංශ ඇමතිතුමා' රංජන් අයියා පෙළපත විස්තර කරන්ඩ පටන් ගත්තා.

'ඒ දැරිවිත් අඩම්බරකාර දැරිවියක්. පිටරටක විශේෂයෙන්ම බංගලිදේශය වගේ මුස්ලිම්රටකට ඇවිල්ලා භය නැතුව වැඳගෙන ඉතිපිසෝ ගාථාව කියල ශ්‍රී ලංකා කණ්ඩායමට සෙත් පතන්න තරම් ඒ දැරිවි එඩිතරයි. අනිත් ළමයිනුත් එහෙමයි'

‘ ඒ තමයි අමරෙ අයියෙ අපි ඉස්සර ටීම් එකට චියර් කරන්න පර්සිව ඇරිය වගේ මේ ගෑල්ලමයවයි එයාගෙ යාළුවො සෙට් එකයි සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන්ට කියල ස්පොන්සර් කරල හැම ටුවර් එකටම යවමු. එල අයිඩියා එක'

‘ෂිහ් මේ ගෑල්ලමයි සෙට් එක ජිනීවාවලටත් එවන්ඩ තිබුනෙ. කොහොමටත් ජිනීවාවලදි ඇමරිකානු මතය පරාදයි. ඇමරිකාවට විරුද්ධව ඡන්ද 24 යි. අපිට විරුද්ධව ඡන්ද 23 යි. මං හිතන්නෙ ලලිත් වීරතුංගයි සජින් වාසුයි රවීනාථගෙ පිටිපස්සෙ ඉදන් ඉතිපිසෝ ගාථාව කියන්නැති'

‘ලලිත් වීරතුංග ලේකම්තුමා නම් කියන්ඩ ඇති. මං හිතන්නෑ අපේ ගමේ වාස් මහත්තයා ඉතිපිසෝ ගාථාව හරියකට දන්නවා කියල' අමරෙ අයියා එහෙම කිව්වෙ අනිත් අයත් හිනස්සමින්.

‘හරි දැන් මෙතන කට්ටිය කියන්නෙ සිංහල බෞද්ධ අපිට ජීවිතේ බැරෑරුම් අවස්ථාවකදි ඉතිපිසෝ ගාථාව හරි රතන සූත්‍තරේ හරි කරණීය මෙත්ත සූත්තරේ හරි කියන එක වරදක්ද?' අමරෙ අයියා සියලු දෙනා දිහා බලමින් ප්‍රශ්න කරා.

‘කොහොමද අමරෙ අයියා බෞද්ධයා සිංහලයෙක් වෙන්නෙ?' ප්‍රශ්නය සහන්ගෙන්. ප්‍රශ්නෙට උත්තරේ දුන්නෙත් සහන්මයි.

‘බෞද්ධයා සිංහලයෙක් වෙනකොට එයාට ඉස්සෙල්ලාම මගෑරෙන්නෙ බුදු හාමුදුරුවො කියල ගාමිණී වියන්ගොඩ ලියල තිබුනා'

'මෑත කාලයේ මම කියවපු හොඳම කියමනක් ඒක' බාර් මෑන් සහන්ගෙ කතාව අනුමත කරා.

‘යකාගෙ කතාවක්නෙ. බෞද්ධ අපට සිංහල වෙන්ඩ බැරි ඇයි? බුදු හාමුදුරුවො තමන්ගෙ බුද්ධඥානයෙන් දැක්කා කවදහරි තමන්ගෙ ආගම රැකෙන්නෙ සිංහලයන්ගෙ අතින් කියල. ඒකයි තකහනියක් ලංකාවට වැඩම කරේ.

‘රැකෙන්නෙද? නැසෙන්නෙද? අනික බුදු හාමුදුරුවො ලංකාවට එන්ඩ ඇත්තෙ මිහින් එයාර් එකේ වෙන්ඩ ඇති නේද අමරෙ අයියෙ?

‘උඹල නම් පුදුම මිත්‍යා දෘෂ්ඨිකයො. උන්වහන්සේ එක වතාවට තුන්වතාවක්ම වැඩියා. මහාවංශෙ ලියල තියෙන දේවල් උඹලා පිලිගන්නෑනෙ. උඹලා හැම එකාම හරියන්නෙ ලන්ඩන්වලටම තමයි. මොකද මේකෙ ඉන්න හැම එකාම හරි හමන් ජාතියක් ජම්මයක් නැති එවුංනෙ' අමරෙ අයියගෙ දේශප්‍රේමෙ ඉහවහා ගිහින්.

‘ඒකනෙ අමරෙ අයියෙ ලන්ඩන්වලට කියන්නෙ ‘‘දේශප්‍රේමයේ හිරගෙදර'' කියල. සැමුවෙල් ජොන්සන් කියපු විදිහට දේශප්‍රේමී බංකරවල හැංගෙන එක තක්කඩියෙක්වත් ලන්ඩන්වල නෑ'

‘මොකද නැත්තෙ? පහුගිය මාර්තු 08 වෙනිදා අපි සිංහ කොඩි අරගෙන ඩවුනින් ස්ට්‍රීට් එක වටකරා. කැමරන් දැන ගත්තා කොටි විතරක් නෙමෙයි ලංකාවෙ සිංහයොත් ඉන්නවා කියල' අමරෙ අයියා බොහොම ජයග්‍රාහීව කිව්වා.

‘අම්මපා අමරෙ අයියෙ ලන්ඩන්වල ඉන්න ජාතියක් ජන්මයක් නැති එවුන් හිතනව ඇති ලංකාවෙ ඉන්නෙ කොටියි සිංහයොයි විතරයි. මනුස්සයො නෑ කියල'

‘ඒ සිංහයො තමයි කොටින්ට බය නැතුව මූණ දීලා ලංකාව බේරගත්තෙ කියල මෙහෙ උන් දන්නව. ඒකයි සුද්දො අපට සලකන්නෙ'

‘ඔව් අමරෙ අයියෙ ඒ සැලකීමේ ප්‍රතිඵල තමයි අද ජිනීවාවල දැක ගන්ඩ පුළුවන් වුනේ නේද? බුදු හාමුදුරුවන්ට ඔය කියන බුද්ධඥාණයෙන් පෙනුනානම් උන් වහන්සෙගෙ ධර්මය 21 වෙනි ශතවර්ෂයේ බුරුමයේ විරතු ලංකාවෙ ඥානසාර අක්මීමණ දයාරතන වගේ හාමුදුරු වේෂයෙන් පෙනී හිටින දාමරිකයො කෙලෙසන හැටි උන් වහන්සෙ ධර්මය දේශනා කරන එකක් නෑ. ඔන්න ඕක තමයි අමරෙ අයියෙ බෞද්ධයා සිංහලයෙක් වුනම සිද්ධවෙන්නෙ'

‘බුදු හාමුදුරුවො කිව්වෙ එකම ජාතියක් ගැන. ඒ මනුස්ස ජාතිය. මිනිහා වසලයෙක්ද බ්‍රාහ්මනයෙක්ද කියල තීරණය වෙන්නෙ ඔහු කරන ක්‍රියාවෙන් මිසක් උප්පත්තියෙන් නෙමෙයි කියල බුදු හාමුදුරුවො දේශනා කලේ අවුරුදු දාස් ගාණකට ඉස්සර. අද ඒ ශ්‍රී සද්ධර්මය යට ගිහිල්ලා හාමුදුරුවරුන්ගෙ බයිලා උඩ ඇවිල්ලා' කට්ටියම සහන්ට සවන් දීගෙන උන්නෙ ‘බුදු බණ' අහනව වගේ.

‘ඔය සිංහල බෞද්ධකම කියන එක තනිකරම මිත්‍යාවක්. සැබෑ බෞද්ධය කියන්නෙ ජාතිවාද කුලවාද ගෝත්‍රවාද අතික්‍රමණය කරපු කෙනෙක්. සිංහල බෞද්ධකම අපිට එන්නත් කලේ අනාගාරික ධර්මපාල තුමා. ඒක දේශපාලනේට ගෙනාවෙ බණ්ඩාරනායක මහත්තය. ඒකෙ තවත් පුරුකක් තමයි ප්‍රේමදාස මහත්තය. නමුත් එයා එක්සත් ජාතික පක්ෂෙ හිටපු නිසා පිස්සු කෙලින්ඩ බැරි වුනා. සිංහල බෞද්ධකමේ කූඨප්‍රාප්තිය තමයි මහින්ද රාජපක්ෂ' සහන් දිගටම කියාගෙන යනව.

‘නමුත් සහන් සිංහල බෞද්ධ හෙජමනියට මෙච්චර වැඩ කිඩ දාන්ඩ පුළුවන් වෙන්නෑ ප්‍රභාකරන් නොහිටින්ඩ' රංජන් සහන්ගෙ කතාවට අලුත් මානයක් එකතු කරා. හැමෝම ඔහු දිහාවට හැරුණා.

‘හැම වෙලාවෙම අධිපති මතවාදයක් සමාජය තුල ජයග්‍රහණය කරන්නෙ සතුරෙක් විනාශ කිරීම තුලින් ලබන ජයග්‍රහණය. එල්ලෙන්න වැල් නැතුව තිබ්බ සිංහල බෞද්ධ මතවාදයට ශක්තිමත් පදනමක් හදල දුන්නෙ ප්‍රභාකරන්. ඒක අවිඥාණිකව සිද්ධ වෙච්ච දෙයක්. එයාගෙ පටු දේශපාලන දැක්ම තුල දෙමළ ජාතිවාදය උත්කර්ශයට නංවන්න ගිහින් අන්තිමට උනේ ඊට වඩා ප්‍රතිගාමී සිංහල බෞද්ධ හෙජමනිය ලාංකීය සමාජය තුල ස්ථාපිත වීම. ඉතිං අර ඉතිපිසෝ ගාථාව කියපු පුංචි නංගිට ප්‍රභාකරන් මාමාගෙ නෑකමකුත් තියෙනවා කියන එක මතක තියා ගන්ඩ' රංජන් අයියාගෙ කතාව නැවත නැවත සිතා බැලිය යුතු දෙයක් කියල බාර් මෑන්ට හිතෙනව.

ඒවගත් මෙසේමයි
'ලන්ඩන් පබ්' එකේ සිදුවූ කතාබහ
අන්තර්ජාලයට වාර්තා කලේ
බාර් මෑන් වන
මා විසිනි.

මීවිතක් පුරන්නට - අප හා දොඩන්නට
ඔබටත් ලන්ඩන් පබ් වෙත ගොඩවිය හැකියි.

පහත විද්‍යුත් තැපෑල ඔස්සේ අප හා සම්බන්ධ වන්න
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

පෙර පුවත් 

ලන්ඩන් පබ් - 04