19 January 2018
RSS Facebook Twitter   

මානව හිමිකම් මක්කටෙයි?

 

siyage blogeka 1පියදාස මුදලාලිගේ දේශපාලන විග්‍රහය

මට නම් හිතෙන විදිහට අපේ රටේ තියෙන්නෙ ප්‍රශ්න 2 යි. එකක් ත්‍රස්තවාදය. අනික මානව හිමිකම්. පලවෙනි ප්‍රශ්නෙ පර්සි මල්ලියි (ජනාධිපතිතුමා) හිච්චි මල්ලියි (ගෝඨාභය) එක්කහු වෙලා විසදුවා. දැන් තියෙන්නෙ එකක් විතරයි. ඒ තමයි මානව හිමිකම් ප්‍රශ්නෙ. ඇත්තටම ලංකාවෙ අපිට ‘මානව හිමිකම් මක්කටෙයි' එහෙම නැත්තන් මොකටද? කියල මේ ගමන මට ලියන්න හිතුනා. මම කියෝගෙන ගියපු දේ නිපුණ මුණුබුරා කොම්පියුටරේ ටයිප් කරා.

 

ඔය අනූවෙ මුල හරියෙ පර්සි මලයව ජිනීවා යන්න එයාර් පෝට් එක්ක ගියේ මම. අප්පද බොල...... එදා අර මීගමුවෙ ASP කාරයා කුඩාහෙට්ටියා පර්සි මලයට දාපු ගෙම්බර්. මලයත් ඇරියෙම නෑ. අතේ තිබ්බ බෑග් එක පොළොවෙ ගැහුවා. ඇතුලෙ තිබ්බ කඩදාසි ටික යන්තන් එකතු කර ගත්තෙ මම. ඒ වෙලාවෙ කුඩාහෙට්ටියා කිව්වෙ ‘ලංකාවට විරුද්ධව බොරු ලේඛණ හදාගෙන තමුන් ජිනීවා යන බවට අපට පැමිණිල්ලක් ලැබිල තියෙනව. ඒක නිසා අපිට තමුන් ගිනියන කඩදාසි පරීක්ෂා කරන්ඩ ඕනෙ. ලංකාවෙ මානව හිමිකම් කඩවන බවට බොරු ලියවිලි තියනවද කියල'. එහෙම කිව්වහම පර්සි මලයට අසූ හාරදාහට නැග්ගා. ‘මගේ බෑග් එකට අත තියන්න එපා' කියල කෑගැහුවා.

‘ බෑග් එක පරීක්ෂා කරන්ඩ දෙන්ඩ බැරිනම් අපිට වෙනව තමුන්නාන්සෙව අත්අඩංගුවට ගන්ඩ' ASP කාරයත් අතෑරියෙම නෑ. ‘කොහොමද ASP මහත්තයෝ මානව හිමකම් කඩවීම සම්බන්ධයෙන් තොරතුරු කියාපෑම ලංකාවට එරෙහිව කුමන්ත්‍රණයක් වෙන්නෙ? පර්සි මල්ලි හරියට වලස්මුල්ලෙ උසාවියෙ කෑගහනව වගේ අඩිය හප්පලා එදා එයාර්පෝට් එකේ කෑ ගැහුවෙ. හැබැයි ඉතිං අද පර්සි මල්ලිට තේරෙනව ඇති එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා කුඩාහෙට්ටි ASP මහත්තය ලව්වා කරපු බාධා කිරීම යුක්ති සහගතයි කියල. ඔය සිද්ධිය වෙලා දැන් අවුරුදු විස්සක් විසි පහක් වෙන නිසා කට්ටියට ඕක මතක නෑ. ඒක තමයි පර්සි මල්ලි දැන් ජිනීවා යන කට්ටියට කුමන්ත්‍රණකාරයො කියල බණින්නෙ. දේශපාලනේ කියන්නෙ ඕක තමයි ආයිබොවංඩ. හැබැයි මට අද වෙනකනුත් හිතා ගන්ඩ බෑ කැමැත්තෙන්ම බෑග් එක දාලා ජිනීවා ගියේ ඇයි ? කියල. ඒකත් දේශපාලනේ කොටසක් වෙන්ඩැ මයෙ හිතේ.

මටනම් හිතෙන්නෙ මානව හිමිකම් කියන්නෙ බලයට එන්ඩ තියෙන හොඳ තුරුම්පුවක්. හැබැයි ඉතිං බලයට ආපු ගමන් අතවහල ගහන්ඩ ඕනෙ. බලයට ආපුවහම තමයි තේරෙන්නෙ මානව හිමිකම් කියන්නෙ කොච්චර වහක්ද කියල. දැන් ඔය වීරවංශ ඇමතිතුමාලා ඩලස් ඇමතිතුමාලා චම්පික ඇමතිතුමාලට තේරෙනව ඇතිනේ මානව හිමිකම් කියන එක කොච්චර වාතයක්ද කියල. හැබැයි ඉතිං බලේ නැති කාලෙ ඒක පාවිච්චි කරාට කාටවත් දොසක් පරහක් කියන්ඩ බෑ. අපේ රත්නපාල මස්සිනානම් කියන්නෙ ‘ලංකාවෙ කන්ඩ ඕන වුනහම කබරයත් තලගොයා වෙනව. කන්ඩ ඕනෙ නැති වුනාම තලගොයත් කබරයෙක් වෙනව කියල'.අනේ උන්දැයි මායි දන්න මානව හිමිකම්.

අපේ රටට සුද්දො මානව හිමිකම් කියල දෙන්ඩ ඕනෙ නෑ. උන් කොලඅතු ඇදන් විලිවහ ගත්ත කාලෙ අපි කපු කැටලා කපු පිලි ඇඳපු ඈයො. සුද්දො සභ්‍යත්වය කියන එක ඉගෙන ගත්තෙ අපෙන්. හැදිච්ච කම, සභ්‍යත්වය අපි උපතින් පුරුදු පුහුණු කරපු ගුණාංග. ඒවා අපිට අපේ ආගමෙන් සම්්‍යයක් දෙවි දේවතාවුන්ගෙන් ලැබිච්ච දායාද. මොකා බොරුවට නෑ කිව්වත් මේක තථාගත අමා මෑණි තිලොවට තිලකයක් වූ බුදුරජාණන්වහන්සේගේ පාදස්පර්ශයෙන් තුන් වතාවක් පාරිශුද්ධ වූ පිං බිමක්. එහෙව් පිං බිමේ පිංකෙත හෙළ රන් දෙරණේ පූර්වේ පිනකට උපන් අපිට සුද්දො මානව හිමිකම් කියල දෙන්ඩ ඕනෙ නෑ. මං මේව කියනකොට අපේ හාමිනේ වැඳගෙන අහගෙන ඉන්නෙ. රත්නපාල මස්සිනා නම් කටකොණකින් කින්ඩි හිනාවක් දානවා. ඔය මොකුත්ම විශ්වාස කොරන්නැති මිත්‍යාදෘෂ්ඨිකයො. පේනවානෙ අද මං ඉන්නෙ කොහෙද? රත්නපාල මස්සිනා ඉන්නෙ කොහෙද? කියල. මං මේ හැම සතයක්ම ඉතා ධාර්මිකව දෙයියන්නෙ බුදුන්නෙ පිහිටාධාරයෙන් හම්බ කරන කොට අපි මිනිස්සුන්ව හූරන් කනව කියල අපිට හිනාවෙච්ච මිනිස්සු තමයි ඔය අපේ මස්සිනාලා. උන්දැලට ජීවිතේ අවසාන කාලෙ අපේ දෙපාමුල බල්ලො බළල්ලු වගේ වැටෙන්ඩ වුනේ දෛවයේ සරදමින්. ඒකත් හරියට පර්සි මල්ලි ළඟ පරණ සම සමාජ කාරයොයි කොමිනිස්ට් කාරයොයි ලොං හැලිච්ච සිංහයො වගේ වැටිල ඉන්න විදිහම තමයි. ඔය රැවුල් වවාගෙන ආයුධ අතට අරන් විප්ලව කොරන්ඩ මේ රටවල්වල බෑ. මේවා දෙයියන්නෙ රටවල්. දෙයියොත් සතුටු කරගෙන පිං දහම් කරගෙන තම තමන්ගෙ වියාපාර වැඩි දියුණු කරගන්න එක තමයි අපි කොරන්ඩ ඕනැ.

ඔය මොන පුරස්න තිබ්බත් යූඑන්පී කාරයො කවදාක්වත් මානව හිමිකම් ගැන එච්චර එළවන්නෑ. ඒකට හේතුවක් තියෙනව. මොකද උන්දැල දන්නව ඕක අල්ලගෙන කෑගහල කවදහරි බලේට ආපු දවසක ඒක භූමරංගයක් වෙනව කියල. පේනව නේ පර්සි මල්ලි මෙච්චර විඳවන්නෙ ඔය එක වතාවක් ජිනීවා ගියා කියලනෙ. ගිහින් ඇවිත් මටනම් කිව්වෙ හොඳ ජොලියක් දැම්ම කියල. රෑ බීලා දවල් වෙන්ඩ ඇහැරිලා දවාලට පොඩ්ඩක් ගිහින් සමුළුවට ඔලුව දාලා ඇවිල්ලා ආයෙ රෑ දෙගොඩ හරියක් වෙනකන් බොනව කියල. ඒ කාලෙ මානව හිමිකම් නිසා පර්සි මල්ලිට සෑහෙන්ඩ ජොලි කරන්ඩ පුළුවන් වුනා. දැන් තමයි ඒවට විඳවන්නෙ. වාසු උන්නැහේලාත් එක්ක එකතු වෙලා බරක්පතලක් නැතුව කරපු ගොං කම් අද තනියම විඳවනව. වාසු උන්නැහේ ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ පැත්තකට වෙලා බලන් ඉන්නව.

පේනවනෙ යූඑන්පී කාරයො මලාට ඔය ජිනීවා පැත්තෙ යනවද? මොකද රනිල් උන්නැහෙලා දන්නවනෙ ඕවයෙ පල විපාක. යූඇන්පී නායකයො කටක් ඇරල ඒ ගැන දොඩන්නැත්තෙ ඒකයි. රනිල් උන්නැහේ ඔය ‘හේග් සම්මුතිය' අත්සන් නොකරෙත් යූඇන්පී ඈයො බේරගන්ඩ මිසක් පර්සි මලයව බේරගන්ඩ නෙමෙයි. රනිල්ලා හිතුවෙ නෑ පර්සි මලය ජනාධිපති වෙයි කියල. ඒ බව රනිල් උන්නැහේ කලින් දැනගෙන හිටයනම් හේග් සම්මුතියට දෙපාරක් අත්සන් කරනව. මිනිහගෙන් වෙච්ච අතපසුවීම ගැන සෑහෙන දුකක් ඇති. ‘මම හේග් සම්මුතියට අත්සන් නොකරපු නිසා ජානාධිපතිතුමාව ජාත්‍යන්තර යුධ අධිකරණයට අරන් යන්න බෑ' කියල රනිල් උන්නැහෙ කිව්වත් අතීතයට බලපාන පරිදි අත්සන් කරන්නැයි කියල අද උන්නැහෙට කිව්වොත් උන්නැහේ ඇස්පියාගෙන අත්සන් කරන එක ඉරහඳ වගේ විශ්වාසයි.

අනික ඔය මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදය කියන දේවල් අපේ රටවල එදා ඉදල තිබ්ච්ච එව්වා. අපි සතා සිපාවටත් කරුණාව දක්වන ඈයො. යුද්දෙට ගියහමත් එහෙම තමයි. ගානක් මිම්මක් නෑ. පහුගිය කාලෙ දැක්කනෙ. ඉතිං සුද්දො කියල දෙන්ඩ වුවමනාවක් නෑ මනුස්ස අයිතිවාසිකම් කියන දේවල අපට අමුතුවෙන්. මොකද අපි නොදන්නවයැ සුද්දො ඇෆ්ගනිස්ථානෙ, ඉරාකෙ කරපු දේවල්. සුද්දා දන්නවා අපි ආසියාවෙ ආශ්චර්ය බවට පත්වෙන එක කිරිගහට ඇන්නා වගේ. ඉතිං මේ මානව හිමිකම් යුධ අපරාධ පෙන්නලා මේ හදන්නෙ ඒ ආශ්චර්ය නැති කරන්ඩ. හැබැයි මගේ පුද්ගලික අදහස නම් ඔය ප්‍රජාතන්ත්‍රවාදෙ මානව හිමිකම් අපි වගේ රටවලට දැම්මම ඕනෙ නෑ කියන එක. කොටින්ම කියනවනම් අපේ රටේ ජනතාවට සර්වජන ඡන්ද අයිතියත් බරපතල වැඩියි. නැත්තන් ආයිබොවං ඡන්දෙ එපා කියල ඡන්දෙ දේවිද? අසුදෙකේ ජනමත විචාර‍ණෙදි.

අනික් එක ඔය ලියන්නයි කියන්නයි නිදහස දුන්නම පේනව නේද වෙලා තියෙන දේවල්. ඒක හරිම වල්බූරු නිදහසක්. පේනව නේද අද මේ වෙබ්සයිට් කාරයො කරන දේවල්. බලන්ඩ මේ වෙබ්සයිට් වසංගතේ නිසා අපේ රටේ ජනනායකයෙක්ට රෑ පානක එළිබහින්නත් බැරි ගානයි. ඒ උත්තමය ඒක කරල ගෙට ගොඩවෙනකොට පිටරටවල ඉදන් වෙබ්සයිට් කරන ඈයො ඒකත් දාල ඉවරයි. ඉතිං මම බොරුද කියන්නෙ මේක වල්බූරු නිදහසක් කියල. පෑනක් කොලයක් අතට දෙන්ඩ ඕනෙ සංයමයක් දැන උගත්කමක් තියෙන එකෙක්ට. එහෙම නැතුව කොල්ලොයි බල්ලොයි සේරම ලියන්න කියන්න ගියහම වැඩේ ඇන්නෑවට යනව. නායකයෙක් උත්තමයෙක් උනහම තනිකරම සමාජ සේවෙට කැපවෙලාමත් බෑනෙ. පොඩ්ඩක් නිදහසක් කාරිය තියෙන්ඩ එපෑ. විනිවිදභාවය කියල උන්නාන්සෙලගෙ නිදන කාමරේ විස්තර ලියන එකත් හරිනෑනොවැ. එහෙම කරන එවුන්ව සුදු වෑන්ගත කිරීම වැරදියි කියන්නෙ කොහොමද? රත්නපාල මස්සිනානම් කියන්නෙ ඒවගේ අයට නීති ප්‍රකාරව දඬුවම් දිය යුතුයි කියල. එහෙම නැතුව ජන සම්මත රජයකට නීතියේ රාමුවෙන් පිට යන්ඩ බෑ කියල. ඕව ඉතිං මේ ආණ්ඩුවෙන් විතරක් වෙච්ච දේවල් නෙවෙයිනෙවැ. කව්රු බලේ හිටියත් කොරන්නෙ ඔය ටිකම තමයි. හැත්තැ හතෙන් පස්සෙ ආපු රැල්ල තමයි ඒ. ඒ වුනාට අද අපි මේ ඔලුව උස්සල ඉන්නෙ හැත්තැ හතේ සිද්දවෙච්ච පෙරළිය නිසානෙ. සුළු සුළු අඩුපාඩුකම් තිබ්බත් සිද්දවෙච්ච දියුණුව ඒ හැමටම වඩා බලවත්.

අපේ රටට ජාත්‍යන්තර වශයෙන් ඉන්න හිතවතුන් දෙන්නා තමයි චීනෙ සහ රුසියාව. රත්නපාල මස්සිනානම් කියන්නෙ ඒ රටවල්වලින් සමාජවාදය පලා ගිහිල්ල ගොඩක් කල් කියල. අන්න ඒකම තමයි මාත් කියන්නෙ. සමාජ වාදය තිබ්බනම් අද චීනෙට ඔය තත්වෙට එන්න පුළුවන් වෙයිද අම්මපා. චීනෙට කොකාකෝලා ආවත් හරි චීන ආර්ථිකේ දියුණු වුනේ රොකට් වේගෙන්. අද චීනා පැහැදිලිවම කියනවානෙ ප්‍රජාතන්ත්‍රවාදය යල් පැනපු පාලන ක්‍රමයක් කියල. රුසියාවෙ ජනාධිපතිතුමත් කියන්නෙ ‘මානව හිමිකම් ගැන කෑ ගහන්නෙ ත්‍රස්තවාදීන්' කියල. උන්නැහෙ කියන එකේ ඇත්ත ජිනීවා දිහා බලපුවහම තේරෙනවනෙ. කොටි සංවිධානෙ මූලස්ථානෙ දැන් තියෙන්නෙ ජිනීවා වල. අපි කිලිනොච්චිය අල්ලගත්ත නිසා කට්ටියම දැන් ජිනිවා වල ගිහිල්ලා.

අනික් හොඳ උදාහරණෙ තමයි ලෝකෙ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය වන ඉන්දියාවෙ දියුණුව මෙච්චර ප්‍රමාද ඇයි? හේතුව තමයි ප්‍රජාතන්ත්‍රවාදය. චීනෙ අද ලෝකෙ ලොකුම බලවතා වෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදයයි මානව හිමිකමුයි දෙකම නැති නිසා. අපේ ජනාධිපති තුමාට මේ ගැන හොඳ වැටහීමක් තියෙන නිසා තමයි එතුමා මෙතරම් චීනෙට ලැදිව කටයුතු කරන්නෙ. රත්නපාල මස්සිනාලනම් කියන්නෙ ඒකාධිපතියන්ට ඒකාධිපතියො එක්කහුවෙනව කියල. කොහොමහරි කම්ක්නෑ රට ගොඩයනව නම්. ජීවිතේ පුරාම වැරදි තීරණ ගත්ත රත්නපාලල වගේ මිනිස්සුන්ට මෙව්ව වටහගන්න බෑ.

රත්නපාල මස්සිනා කියන්නෙ පාරවල් හැදුවට ගුවන් පාලම් දැම්මට රටක් සංවර්ධනේ වෙන්නෙ නැහැ කියල. අනේ ඌයි මායි දන්න සංවර්ධනේ. මේ ළඟදි අපේ හාමිනේගෙ බාල මලය ඕස්ට්‍රේලියාවෙ ඉදල ආපු වෙලාවෙ කිව්වෙ ලංකාවෙ සංවර්ධන වේගෙ ගැන පිටරටවල් නිතරම කතාවෙනව කියල. මිනිහ එහෙ දොස්තර කෙනෙක්. ඔස්ට්‍රේලියාවට මේ තත්වෙට එන්න සෑහෙන කාලයක් ගියාලු. තනිකරම මේක දකුණෙ රාජපක්ෂවරුන්ගෙ දක්ෂකම කියල තමයි දොස්තර මහත්තය කියන්නෙ. රත්නපාල මස්සිනාල වගේ ලිං ගෙම්බො නෙමෙයි ඒ උදවිය. රට රටවල්වල කරක් ගහල සංවර්ධනේ කියන එක දැකපු හදපු මිනිස්සු.

මේ ළඟදි රත්නපාල මාත් එක්ක වාද විවාද කරේ රටක සැබෑ සංවර්ධනේ කියන්නෙ දුප්පත්කම තුරන් කිරීමලු. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනය, වගවීම, විනිවිදභාවය හා මානව හිමිකම් සුරැකීම සංවර්ධනේ අත්‍යවශ්‍ය අංගලු. මම නම් කියන්නෙ පාලම් හදල පාරවල් හදල රටක් දියුණු කලැයින් පස්සෙ ඒව දෙන්න පුළුවන් කියල. මිනිහ අහන්නෙ පාරවල් හැදීම පාලම් හැදීම යටිතල පහසුකම් සැපයීමක් විතරයි සැබෑ සංවර්ධනේ කියන්නෙ ඊටවඩා පුළුල් අර්ථයක් තියෙන දෙයක් කියලලු. මට නම් හිතෙන්නෙ මේ මිනිහගෙ තියෙන කුහකකම නිසා තමයි මේ ඇහැට පේන සංවර්ධනේ පිලිගන්නැත්තෙ. එක්කො රත්නපාල මස්සිනාට පිස්සු. එහෙම නැත්තන් මට පිස්සු. හා හොඳයි මේක කියවන ආයිබොවංලම තීරණය කරන්ඩකො අපි දෙන්නගෙන් කාටද පිස්සු කියල.

පෙර පුවත් 

පියදාස මුදලාලි ජිනීවා යවමුද?