20 April 2018
RSS Facebook Twitter   

ඉන්දියාව මිනීමරා මහින්දව හිරේ යැවීම

 

london pub largeලන්ඩන් පබ් - 04 London Pub - 04

ළඟදී ‘ලන්ඩන් පබ්' එකට ආපු සහන් මල්ලී නියම කතාවක් කිව්වා. සහන්ගෙ සීයට තිබ්බලු මාතර කතරගම පාරේ කිරි හට්ටි කඩයක්. දවසක් සුද්දෙක් ඇවිත් කිරි හට්ටි කීපයක් අරගෙන සල්ලි ගෙවලා බඩුටික කැෂියර් කූඩුව ගාව බිමින් තියලා වෙන වැඩකට එලියට ගිහින්. ඒ අතරතුර දඩාවතේ යන බල්ලෙක් ඇවිල්ලා කැෂියර් කූඩුව ගාව බිම තිබුනු කිරි හට්ටි ටික පෙරළගෙන කාලා. සීය ඒක දකින කොට බල්ල කිරි හට්ටි ටිකට වැඩේ දීලා ඉවරලු. පස්සෙ සුද්දා කිරි හට්ටි ටික අරන් යන්ඩ ආවහම වෙලා තියෙන දේ දැකලා සීයගෙ බෙල්ලෙන් අල්ලගත්තලු. සුද්ද හිතල තියෙන්නෙ සීයයි මේ වැඩේ කරේ කියල. වෙච්ච දේ සුද්දට පැහැදිලි කරල කියන්ඩ සීයට ඉංග්‍රීසි බෑ. සුද්ද කෑ ගගහ සීයගේ බෙල්ලෙන් අල්ලගෙන සීයට බණිනවලු. අන්තිමට බැරිම තැන සීයා කෑගහල හතරවටේ හිටපු අයට කිව්වලු ‘යකෝ දන්න එකෙක් කියපල්ලා මේ කිරි හට්ටි මං කෑවෙ නෑ. අර බල්ලා කෑවෙ කියල'නමුත් ඒටික සුද්දට පහදල දෙන්න එකෙක්වත් ඉදිරිපත්වෙලා නෑ. ඒ වෙනුවට අහල පහල කට්ටිය එක්කහුවෙලා සුද්දගෙ බෙල්ලෙන් අල්ලලා කඩෙන් එලියට තල්ලු කරල දැම්මලු. අන්තිමට සුද්දා කිරි හට්ටි ටිකත් දාලා ගුටිත් කාලා සීයට බැණ බැණ යන්න ගියාලු.

 

ඉතිං සහන් මල්ලි කියන්නෙ අපේ සීයට වෙච්ච දේම තමයි අයියෙ මහින්ද රාජපක්ෂ මහත්තයටත් වෙලා තියෙන්නෙ කියල. මෙතන සීය තමයි මහින්ද රාජපක්ෂ. බල්ලා කවුද? සුද්දා කවුද ? කිරි හට්ටිය මොකක්ද? සුද්දට ගැහුවෙ කවුද? කියල තෝරා බේරා ගන්න එක තම තමන්ගේ කාරියක් කියල. සහන් මල්ලි පබ් එකට එන්නෙ එයාගෙ සහ පිරිවර එක්ක. ගොඩක් අය ලංකාවෙ. උගත් බුද්ධිමත් තරුණ කොල්ලො. රටේ තොටේ සිද්දවෙන දේ ගැන අවදියෙන් ඉන්න උදවිය. ස්මාට් ෆෝන්, අයිපෑඩ් වලින් සන්නද්ධ වෙච්ච 'ඩිජිටල් පරම්පරාව' තමයි ඒ අය නියෝජනය කරන්නෙ. එදා සහන් ඔය කතාව කියන වෙලාවෙ ගාල්ලෙ අමරෙ අයියත් යාළුවො දෙන්නෙක් එක්ක පබ් එකට ඇවිදින් උන්නා. රාජපක්ෂ වාදියෙක් වෙන අමරෙ අයියට සහන්ගෙ කතාව එච්චර රුස්සන්නෑ.

'ඔව් ඉතිං උඹලා අපේ ලංකාව එක් සේසත් කරපු ජන නායකයට කාඩ් ගහන එකමනෙ කරන්නෙ. කාටවත් කරන්ඩ බැරි වෙච්ච දෙයක් තමයි රාජපක්ෂ ජනාධිපති තුමා කරේ. ඔය අවුරුදු තිහටම අපේ නායක නායිකාවො කී දෙනෙක් ට්‍රයි කරාද යුද්දෙ නවත්වන්ඩ. එක් කෙනෙක්ටවත් පුළුවන් වුනාද? ඇයි අපි මේ වගේ නායකයෙක්ව පිටරටවල් එක්ක එක්කහුවෙලා දඬුකදේ ගහන්ඩ හදන්නෙ. අපි මේ වගේ වෙලාවට අපේ නායකයව තනි කරන එක යුතු කමක් නෙමෙයි නේද? අමරෙ අයියත් ලංකාවෙ සිංහල පත්තරයක් වගේ හැමදාම අහන්නෙ කියන්නෙ එකම කතාව.

‘ඉතිං අමරේ උතුරේ යුද්දෙ දිනපු ජනාධිපති තුමාට ඇයි ජිනීවා යුද්දෙ දිනන්න අමාරු? එතුමා වැටිලා ඉන්නෙ එතුමා විසින්ම කපා ගත්ත වලක නේද? එහෙම ප්‍රශ්න කලේ සහන් මල්ලිගෙ පිරිවරේ හිටපු තවත් ලංකාවෙ මල්ලි කෙනෙක්.

‘එහෙම කියන්න එපා මල්ලි. උතුරේ හිටියෙ එක ප්‍රභාකරන් කෙනෙක් විතරයි. ජිනීවා වල ප්‍රභාකරන්ල එකසිය ගාණක් ඉන්නව. අපේ තනි මිනිහ. අපි මේ වෙලාවෙ පක්ෂ පාට භේදයකින් තොරව අපේ ජනාධිපති තුමාව ආරක්ෂා කරගෙන රට රැක ගන්න ඕනි. ඒක තමයි හැම ශ්‍රී ලාංකිකයෙකුගෙම වගකීම'

'හැබැයි අමරෙ අයියෙ රට රැක ගැනීමයි ජනාධිපති තුමා රැක ගැනීමයි කියන්නෙ එකක් නෙමෙයි දෙකක්' කියමින් බාර් මෑනුත් කතාවට සම්බන්ධ වුනා.

' එහෙම කියල හරියන්නෑනෙ මල්ලි. ජනාධිපති තුමා කරදරේ වැටුනෙ රට රැක ගන්න ගිය නිසානෙ. ඉතිං එතුමාව රැක ගන්නවා කියන්නෙ රට රැක ගන්නවා කියන එක' අමරෙ අයියා බියර් උගුරකින් උගුර තෙමා ගනිමින් කියා හිටියා.

‘කෙලපිය තාප්පෙට. එතකොට රූකාන්තට දැන් කියන්ඩ වෙන්නෙ ‘‘මට මුළු රටම ඔබයි'' කියල.' එහෙම කිව්වෙ සහන්.

' නැතුව මල්ලි. රත්න ශ්‍රීට අලුතෙන් ලියන්ඩ වෙන්නෙ ‘‘ ඔබ නැතුව ගියේ රටටයි....... හම්බන්තොටට නොවේ '' කියල' බාර් මෑනුත් සිංදුවක කෑල්ලක් මතක් කරල දුන්නා.

‘හරි හරි උඹලට ඔය සිංදු ගහන්ඩ තාම එතුමාව විදුලි පුටුවෙ ගැහුවෙ නෑනෙ' අමරෙ අයියට තේරුණා එයාව බයිට් වේගෙන එන බව.

‘එතුමා අපේ ගම් පැත්තෙ වේදිකාවලදි පපුවට ගහගෙන කාරිය කියන්නෙ ‘‘මම එක විදුලි පුටුවකට නෙමෙයි විදුලි පුටු දහයකට වුනත් රට ජාතිය වෙනුවෙන් යන්ඩ කැමතියි'' කියල. එහෙම කියනකොට අපේ ගමේ මිනිස්සු විසිල් ගහලා ඔල්වරසන් දෙනව'

‘ඒ කියන්නෙ අනේ යන්ඩකෝ කියලද? '

' නෑ. මිනිස්සු හිතන්නෙ ඒක නිකං මියුසිකල් චෙයාර්ස් වගේ වැඩක් කියල. නැත්තං ඉතිං පුටු දහයකට යන්නෙ කොහොමද? සමහර වෙලාවට විදුලි පුටු තියන රටේ නියගයක් නිසා පවර් කට් එකක්ද දන්නෑ.'

කට්ටිය එක එක කැපිලි දානකොට අමරෙ අයියා නෑහුනා වගේ බිම බලාගෙන තවත් බියර් වීදුරුවක් ඕඩර් කලා.

‘නෑ මල්ලිලා මේක කොලොප්පමකට ගන්ඩ එපා. ෆුල් සීරියස් සිටුවේෂන් එකක්. උඹලාට අපට හැබහින්ම අඩන්න වෙන්නෙ එතුමට මොනව හරි වුනොත්' අමරෙ අයියා කිව්වෙ බොහොම සීරියස් පිට.

‘එදාටත් ඉතිං ප්‍රේමදාස මහත්තය මැරිච්ච දා වගේ කට්ටිය රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කයි'

‘ඔව් ඉතිං ඒකෙ වරදක් නෑනෙ. ප්‍රභාකරන් මරපු දවසෙ උනෙත් ඒකමනෙ. අමරෙ අයියත් මෙහේ ඉදල ගිහින් කිරිබත් කෑවනෙ' බාර් මෑන් අමරෙ අයියට අතීතය මතක් කරා.

‘මං හිතන්නෙ මළබත් වෙනුවට කිරිබත් කෑම දැන් අපේ ජාතික ලක්ෂණයක් වෙලා වගේ'

‘ඔය විහිලු නවත්තල වැදගත් දෙයක් කතා කරපල්ල. අපි මේ සුමානෙකට දෙකකට සැරයක් මෙතෙන්ට එන්නෙ තුට්ටු දෙකේ විහිලු අහන්න නෙමෙයි' අමරෙ අයියා එහෙම කිව්වෙ නෝක්කඩු ස්වරයෙන්.

‘ නෑ ඉතිං අමරෙ අයියෙ මේව හරයක් ගැඹුරක් තියෙන විහිලු මිසක් ‘‘ පාර්ලිමන්ට් ජෝක්ස්'' නෙමෙයිනෙ' කියමින් බාර් මෑන් අමරෙ අයියව අස්වැසුවා.

‘හරි හරි දැන් උඹලා කියන්නෙ අපේ රටට විරුද්ධව කිසිම කුමන්ත්‍රණයක් නෑ කියලද?' අමරෙ අයියා පොදුවේ ප්‍රශ්නයක් නැගුවා.

‘ නෑ. ලංකාවට විරුද්ධව මොකක්ද තියෙන කුමන්ත්‍රණය? ජිනීවා වල මේ මිනිස්සු කියන්නෙ අපිම හදාගත්ත උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ නිර්දේශ ටිකවත් අඩුම ගණනේ ක්‍රියාත්මක කරලා පෙන්නපන් කියලා නේ. ඒක කොහොමද අමරෙ අයියෙ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්නෙ?'

අමරෙ අයියත් නිකං විමල් වීරවංශ වගේම තමයි. ඇස් පනාපිට පෙනෙන දෙයක්වත් පිලිගන්ඩ කැමති නෑ.

‘ නෑ නෑ.. මේ යක්කු කැමති නෑ අපි ත්‍රස්තවාදය නැති කලාට. කොටින්ම ප්‍රභාකරන්ව මැරුව එක ගැන මේ ඇමරිකන් කාරයො යුරෝපියන් කාරයො මනාප නෑ. මුන් සේරම කොටින්ට සපෝට්. මතක නැද්ද මෙහේ ඩේවිඩ් මිලිබෑන්ඩුයි ප්‍රංශෙ බර්නාඩ් ක්රූෂ්නරුයි ලංකාවට ගිහිල්ලා අපිට තර්ජනය කරපු හැටි. රනිල්ලා චන්ද්‍රිකාල වගේ පතෝල නායකයො උන්න නම් ඒ වෙලාවෙම යුද්දෙ අකුල ගන්නව. අපේ ජනාධිපති තුමා උන්ව සතේකට ගණන් ගත්තෙ නෑ. ඒකයි උන්ට මේ තරහ. ඕව ජාත්‍යන්තර කුමන්ත්‍රණ නෙමේද?'

‘අමරෙ අයියෙ බ්‍රිතාන්‍යයෙයි ප්‍රංශෙයි විදේශ ඇමතිවරු ලංකාවට ගියේ උන්ගෙ රටවල් වල දෙමළ මිනිස්සුන්ව රවට්ටන්ඩ මිසක් යුද්දෙ නවත්වන්ඩ කියන්ඩ නෙමෙයි. රටවල් දෙකේම මැතිවරණ කාලෙ. උන්ට ඕන උනේ දෙමළ ඡන්ද ටික ෂේප් කර ගන්ඩ පොඩි රඟපෑමක් කරන්ඩ. යුද්දෙ නවත්වන්ඩ සැබෑ අවශ්‍යතාවයක් තිබ්බ නම් කරන්ඩ කොච්චර දේවල් තිබ්බද? මේව සේරම ජාත්‍යන්තර විහිලු' සහන් ආයිත් කතාව පටන් ගත්තා.

‘ අපි ප්‍රභාකරන්ව මරපු එක ඇත්ත. එහෙම මරපන් කියල ආයුධ දීලා මරන්න ඕන ක්‍රම සහ විධි කියල දුන්නෙ ඇමරිකාව බ්‍රිතාන්‍ය විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටවල් නේද? '

‘අන්න මස්සිනා උඹ නියම පොයින්ට් එකට ආවා. මුන් අපි ලව්වා ඒ බලුවැඩේ කරවලා දැන් අපිටම ගේම දෙන්ඩ හදනව. වැඩේ කැතයි නේද මස්සිනා' අමරෙ අයියා එහෙම කිව්වෙ බොහොම උද්දාමයෙන්.

‘ඉතිං ඕකමනෙ අමරෙ අයියෙ ඔයාගෙ ජනාධිපති තුමාට කට ඇරල ලෝකෙට කියන්ඩ තියෙන්නෙ. උඹලා කිව්ව නිසා උඹලගෙ ආයුධවලින් තමයි මම කොටින්ව මැරුවෙ කියල. එතකොට ඔය රටවල් හැම එකක්ම යුධ අපරාධ චෝදනාවලට සම විත්තිකාරයො. එහෙම නැතුව අපේ සීය වගේ ගමේ කට්ටිය දාල සුද්දට ගහල පන්නන එක නෙමෙයිනෙ රටක නායකයෙක් කරන්ඩ ඕනෙ' සහන් හිනාවෙවී කියා හිටියා.

‘බෑනෙ මල්ලිලා එතුමට එහෙම කියන්ඩත්. එතකොට එතුමගෙ ඡන්දවලට කෙල වෙනවනෙ. ඕකනෙ මල්ලි ඔතන තියෙන ප්‍රශ්නෙ. ''මග සිටියොත් තෝ නහී. ගෙදර ගියොත් අඹු නහී'' වගේ තත්වයක්' අමරෙ අයියා බැරෑරුම් ස්වරූපයක් මවාගෙන කිව්වා.

''මග සිටියොත් තෝ නහී. ගෙදර ගියොත් අඹු නහී'' වගේ තත්වයක් ඇති වුනානම් අපේ ජනාධිපති තුමා හෙලිකොප්ටරයක් අරන් ගෙදර යන්නෙ' සහන්ගෙ පිරිවරේ එකෙක්ගෙන් කට කැඩිච්ච කතාවක්. කට්ටියටම හිනා.

‘එහෙම ඇත්ත තත්වය ලෝකයට කියන්ඩ අකමැති නම් මහින්ද රාජපක්ෂට වෙන්නෙ ඇමරිකාවයි ඉන්දියාවයි කරපු මිනී මැරුමකට එයාට හිරේ යන්ඩ. යුද්දෙ දිනපු අලුතම ජනාධිපති තුමා කිය කිය හිටියෙ ‘‘ මම කරේ ප්‍රොක්සි යුද්ධයක්'' කියල. හැබැයි ඒක එක පාරටම නැවතුනා. කවුරුහරි උපදේශකයෙක් කියන්ඩ ඇති එහෙම කියන්ඩ එපා සර්. එතකොට තේරෙනවා සර් මොකුත් කරේ නෑ කියල'

‘ ඒ කතාවෙත් වෙනම තේරුමක් තියනවා සහන් මල්ලි' අමරෙ අයියා කිව්වෙ ප්‍රශ්නාර්ථයක් රැඳුණු දෙනෙතින්.

‘තේරෙන්නෙ නැද්ද අමරෙ අයියෙ අපේ කට්ටියට වඩා ප්‍රභාකරන්ව මරා ගන්න ඕන වෙලා තිබ්බෙ ඉන්දියාවට. ඉන්දියාවට ඕන වුනේ ඒක අපේ නායකයෙක් ලව්වම කරව ගන්න. රජිව් ගාන්ධි මැරිච්චි දා ඒ කියන්නෙ 1991 ඉදන් 2009 වෙනකම්ම අවුරුදු 18 ක්ම ඉවස ඉවසා බලන් හිටියා. රනිල්ගෙන් චන්ද්‍රිකාගෙන් ඒක වුනේ නෑ. මහින්ද ඉන්දියාවෙ උගුලට අහුවුනා. ඉන්දියාව හොයමින් හිටපු බලේ තියෙන මොලේ නැති නායකයා තමයි මහින්ද රාජපක්ෂ කියන්නෙ' සහන් මල්ලි දිගටම කියාගෙන යනකොට කට්ටියම තම තමන්ගෙ වීදුරු පැත්තක තියල හූම් සද්දයක් නැතුව අහන් හිටියා.

‘මහින්ද බලේට එනකොට 2005 වෙද්දි කොටි සංවිධානය ඇතුලෙන් කඩා වැටිලා හිටියෙ. එහෙම වුනේ 2002 සාම ගිවිසුම නිසා. ඒක අපේ ගොඩක් අය පිලිගන්නෑ. ඒ අය කියන්නෙ මහින්ද බලේට ආවෙ නැත්තන් 2007 වෙද්දි කොටි සංවිධානය මුළු ලංකාවම යටත් කර ගන්න තරම් ශක්තිමත් තත්වෙකට පත්වෙලා තිබුනෙ කියල. නමුත් සිද්දවෙච්ච දේ හරියට විග්‍රහ කරල බලන්න. රනිල්ගෙ සාම ගිවිසුමට අත්සන් කරපු දා තමයි කොටි සංවිධානය තමන්ගෙ මරණ වරෙන්තුවට අත්සන් කර ගත්තෙ. සාම ගිවිසුම යටතෙ කොටි සංවිධානය දුර්වල වුනා කියල බැලූ බැල්මට පේන්නෑ'

‘ මොන බයිලා කතා කරනවද සහන් මල්ලි. සාම ගිවිසුම නිසා තමයි කොටින්ට ගුවන්යානා පවා ලංකාවෙ කස්ටම් එක හරහා ගෙන්න ගන්න පුළුවන් වුනේ. මතකනෙ උන් උන්ගෙ ගුවන් හමුදාවෙන් කොළඹට බෝම්බ දාපු හැටි. ඉතිං මොන බූරුවද කියන්නෙ සාම ගිවිසුම යටතෙ කොටි දුර්වල වුනා කියල' අමරෙ අයියා සහන්ට අභියෝග කරමින් කතා කලා.

‘මතක නැද්ද සාම ගිවිසුම මුවාවෙන් කොටි බංකර් හදපු හැටි. ආයුධ කන්ටේනර් ගණන් හතර පැත්තෙන් ගෙන්න ගත්ත හැටි. අපේ බුද්ධී සේවා අංශවල දක්ෂ නිලධාරීන් මරපු හැටි. 2005 මහින්ද රාජපක්ෂ මහත්තය බලයට පත්වෙලා සාම ගිවිසුම ඉරා නොදමන්න මෙලහට ලංකාවක් නෑ' එහෙම කිව්වෙ මෙතෙක් වෙලා නිහඬව කතාවට සවන් දීගෙන ඉදපු අමරෙ අයියගෙ යාළුවෙක්.

සහන් කලබල නැතුව බියර් වීදුරුවෙන් උගුරක් කාරිය බීලා නැවතත් තමන්ගෙ කතාව පටන් ගත්තා.

‘සාම ගිවිසුම යටතෙ කොටි කරේ ආයුධ කන්ටේනර් ගණන් ගෙනල්ලා ගොඩ ගහගත්ත එක විතරයි. ඒවා පාවිච්චි කරන්නෙ කවුද කියල හොයල බැලුවෙ නෑ. සාම ගිවිසුම නිසා කොටි සංවිධානය තමන්ගෙ කාඩර්වරුන්ට නිවාඩු දුන්නා. පිටරටවල්වලට යන්ඩ අවසර දුන්නා. බිස්නස් කරන්ඩ උනන්දු කරා. කසාද බදින්න කැමැත්ත දුන්නා. එහෙම කරන ගමන් කාඩර්වරුන්ගෙ මොරාල් එක තියා ගන්ඩ පිස්තෝල කල්ලියක් දාලා හමුදා බුද්ධී අංශයේ අයව තමන්ගෙ ප්‍රතිවාදීන්ව මරල දැම්මා. කුරුම්බැට්ටි ගුවන් යානා කොළඹ එවලා බොරු ෂෝ දැම්මා. සාම ගිවිසුම යටතෙ හමුදාව මොනවද කලේ? බඳවා ගැනීම් දෙගුණ තෙගුණ කලා. නවීන අවි ආයුධ තොග පිටින් ගෙන්නුවා. සියුම් විදිහට කොටි සංවිධානය භේද භින්න කලා. 2004 මාර්තු මාසෙ නැගෙනහිර සන්නද්ධ නායක කරුණා අම්මාන් කොටි සංවිධානයෙන් වෙන්කරපු එක විශාල හමුදා උපක්‍රමයක්. එහෙම කලේ කරුණලව ලෝකය පුරා සාම සාකච්ඡාවට කියල ඇවිදින්න එක්ක ගිහිල්ලා. කරුණාලගෙ යුධ ශක්තිය විස්කි ඉදිරියෙයි ගෑණු ඉදිරියෙයි දිය කරල දැම්මා. රනිල්ගෙ මාස්ටර් ප්ලෑන් එක ඒ වෙනකනුත් කොටින්ට තේරුම් ගන්ඩ බැරි වුනා. කොටි හිතන් හිටියෙ රනිල් කියන්නෙ පඹයෙක් කියල. නමුත් රනිල් කියන්නෙ කපටි හිවලෙක් කියල කොටි සංවිධානය තේරුම් ගන්න කොට ඒ ගොල්ලො පමාවෙලා වැඩියි. රනිල් ඒක ක්‍රියාත්මක කලේ අතරමැදි නෝර්වේ රාජ්‍ය හරහා. ඒක නිසා කාටවත් රනිල්ට බණින්න බෑ. රනිල්ගෙ අත්වල ලේත් නෑ. ඒකත් හරියට ඉන්දියාව තමන්ගෙ අත්වල ලේ ගාගන්නෙ නැතුව මහින්ද ලවා ප්‍රභාකරන් මැරෙව්වා වගේ'

‘ නූතන ලෝකයේ දේශපාලන ගතිකත්වය' ගැන ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය සඳහා පර්යේෂණ කරමින් සිටින සහන් මල්ලිගේ විග්‍රහය හැමෝම වගේ එදා පිලිගත්තා. අමරෙ අයියව නිකං ඒ කතාවෙන් පස්සෙ කරකෝල අතෑරල වගේ.

‘අම්මප මල්ලි උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා තමයි. රනිලය නම් හිවලෙක්ම තමයි' තත්වය පිලිගනිමින් අමරෙ අයියා කියා හිටියා.

‘ඇත්තටම මහින්ද කරේ ‘‘ ප්‍රොක්සි යුද්ධයක්'' ඉන්දියාව කරපු මිනී මැරුමකට මහින්දව හිරේ යවන්ඩයි ඉන්දියාව හදන්නෙ' බාර් මෑන් සහන්ගේ කතාව අනුමත කරමින් කියා හිටියා.

‘ එහෙම කියල අපි මහින්දව බේරන්ඩද හදන්නෙ? දැඩි මහින්ද විරෝධියෙකු වන ලන්ඩන් එජාප ක්‍රියාකාරී නන්දලාල් විමසා සිටියේ තමන්ගෙ මහින්ද විරෝධී බව හැමෝටම ප්‍රදර්ශනය කරමින්.

සහන් නැවතත් කතාව පටන් ගත්තා.

‘මහින්ද බේරා ගැනීමේ හැබෑ අවශ්‍යතාවය තියෙන්නේ ඉන්දියාවට. ඒකයි ඉන්දීය ආණ්ඩුව මහින්ද ගැන බොහෝම අල්මැරුණු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නෙ. ඉන්දියාවට මෙච්චර උදව්වක් කරපු නායකයෙක්ව බලයෙන් පහ කිරීමට ඒ ගොල්ලන්ට අවශ්‍ය නෑ. ඉන්දියාව බලන්නෙ මහින්ද ලවා 13 වෙනි සංශෝධනය වගේ අවම දෙයක් දීලා හරි දෙමළ ජනතාව සතුටු කරවන්ඩ. ඉන්දියාව කියන්නෙ කවදාවත් දෙමළ මිනිස්සුන්ගෙ සැබෑ මිතුරෙක් නෙමෙයි. ඉන්දියාව බයයි මහින්දගෙ ගොන්කම නිසා ලංකාවෙ වෙනමම ඊලාම් රාජ්‍යයක් බිහිවෙයි කියල. එහෙම වුනොත් තමිල්නාඩුව වෙන්වෙන එක අනිවාර්යයි. හැබැයි ඇමරිකාවට ඕනෙ එහෙම වෙන්ඩ. ඒක තමයි සුපිරි රටවල්වල බලඅරගලය. ඉන්දියාව ඇමරිකාව කියන හැම එකටම නටන්නැත්තෙ ඒකයි. ඇමරිකාවට ඕනෙ මහින්ද ලවා ඊලමක් හදල දෙන්ඩ. ඉන්දියාවට ඕනෙ ඊට ඉස්සරවෙලා මහින්ද ලව්වා දෙමළ ජනතාවට මොනවහරි දීලා පැත්තකට කරල තියන්ඩ. එහෙම නැතුව දෙමළ ජනතාවගෙ සුභ සිද්ධිය වෙනුවෙන් ඉන්දියාවවත් ඇමරිකාවවත් කරන ඇති මලඉලව්වක් නෑ. ඒ දෙගොල්ලන්ටම මහින්ද රාජපක්ෂ බලේ තබාගැනීම වැදගත්.

හැබැයි මැයි මාසෙන් පස්සෙ BJP එක බලයට ආවොත් මහින්ද ලේසි වෙන්නෑ. දස වසරක පාලන කාලය තුල ‘‘ඉතාලි වැන්ඳඹුව'' තමන්ගෙ සැමිය මරපු එකේ පලිය අපේ එකෙක් ලව්වාම ගත්තා. එතනදි එයාටයි එයාගෙ රජයටයි සදාචාරාත්මක වගකීමක් තියෙනව ඒක කරපු කෙනාව ආරක්ෂා කරන එක. නමුත් එහෙම කිසිම බැදීමක් BJP එකට මහින්ද ගැන නෑ. ඒක නිසා අපේ ජනාධිපති තුමා BJP එකට බම්බු ගහගන්න කියලා චීනෙට ලං වෙන්න ගියොත් ඒක තමයි අවසානෙ. සමහරවිට ආණ්ඩුවෙ විතරක් නෙමෙයි' සහන් මල්ලි කතාව හැමෝගෙම හිත්වලට අලුත් මානයක් එකතු කළ බවක් හැමෝගෙම මුහුණු නිරීක්ෂණය කිරීමෙන් බාර් මෑන්ට පෙනී ගියා.

ඒ වගත් මෙසේමයි!

ලන්ඩන් පබ් එකේ කතාබහ අන්තර්ජාලයට වාර්තා කලේ

බාර් මෑන් වන මා විසිනි.

මීවිතක් පුරන්නට - අප හා දොඩන්නට
ඔබටත් ලන්ඩන් පබ් වෙත ගොඩවිය හැකියි.

පහත විද්‍යුත් තැපෑල ඔස්සේ අප හා සම්බන්ධ වන්න
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

පසුගිය කලාප 

ලන්ඩන් පබ් - 03