20 April 2018
RSS Facebook Twitter   

පියදාස මුදලාලි ජිනීවා යවමුද?

 

siyage blogekaපියදාස මුදලාලිගේ දේශපාලන විග්‍රහය හෙවත් සීයාගේ බ්ලොග් එක

මගෙ නම ඇම් ඒ පියදාස. ඒ කියන්නෙ මාතර ආරච්චිගේ පියදාස. ලබන පොසොන් මාසෙට වයස හැත්තෑ දෙක අහවරයි. උපන්නෙ තංගල්ලෙ වීරකැටියෙ. දැනට පදිංචිය කිරිල්ලපොනේ. කොළඹට ආවෙ බණ්ඩාරනායක අගමැතිතුමාට වෙඩි තිබ්බ අවුරුද්දෙ. ඒ කියන්නෙ නමසිය පනස් නමේ බිනර මාසෙ. පිටකොටුවෙ ‘මාතර ස්ටෝර්ස්' කියන්නෙ මගේ ව්‍යාපාරය. දැන් ඒක පුතාලයි බෑනලයි තමයි කරගෙන යන්නෙ. ව්‍යාපාර රාශියක් නිසා දැන් ඒකට කියන්නෙ ‘‘මාතර ගෘෘප්'' කියල.

 

මම දැන් ඉන්නෙ විශ්‍රාමික සුවෙන්. හැට ගණන්වල මුලදි වගේ තමයි මම ඔය සුළුවෙන් වේල්ල වීදියෙ මගේ ව්‍යාපාරය ඇරඹුවෙ. දැනට අවුරුදු පනහක ඉතිහාසයක් තියෙනව. මම ගමෙන් එද්දි අරන් ආවෙ අමුඩ ලේන්සුවයි ඒකෙ කොණක ගැටගහගෙන ශත තිස්පහකුයි විතරයි. දකුණෙන් කොළඹ ආපු නව ලෝක මුදලාලි, මැලිබන් මුදලාලි, දාස මුදලාලි, ගුණරත්න මුදලාලි අපි හැමෝම බොහොම දුක් මහන්සියෙන් තමයි අපි අපේ ව්‍යාපාර මේ තත්වෙට ගෙනාවෙ. අද මේ සියලුම දේවල් මගෙ දාඩිය මාන්සියෙන් අපේ ගෙදර කෙනාගෙ සහයෝගෙන් උපයා කියා ගත්ත දේවල්. ළඟදි දවසක් අපේ එකවුන්ටන් මහත්තයා වත්කම් වගකීම් ලැයිස්තුවක් හදන්න මගෙන් ප්‍රශ්න අහපු වෙලාවෙ මම කිව්වෙ මේ තියෙන සේරම වත්කම්වල වටිනාකමෙන් අමුඩ ලේන්සුවයි ඒකෙ ගැටගහන් ආපු ශත තිස්පහයි අඩු කරන්න කියල. ඉතුරු හැම වත්කමකම මගේ දාඩියත් හාමිනේගෙ අරපිරිමැස්මත් තියෙනව.

අපිට ලමයි පස්දෙනයි. පුතාල දෙන්නයි දූරු තුන්දෙනයි. හැමෝම කරකාර බන්දලා දීලා මායි අපෙ හාමිනෙයි දැන් ඉතිං නිවි හැනහිල්ලෙ පිනක් දහමක් කරගෙන ඉන්නවා. අපෙ තනි නොතනියට ඉන්නෙ ‘රත්නපාල මස්සිනා'. එයැයි මට කතා කරන්නෙ 'මුදලාලි මස්සිනා' කියල. රත්නෙ මස්සිනා කියන්නෙ අපෙ ලොකු නගාගෙ මනුස්සය. මිනිහ රේල්ලුවෙන් පැන්සන් ගිහින් හම්බ වෙච්ච පන්ට් එකයි ග්‍රැටිවිටියි සේරම කොතලාවල උන්නැහෙගෙ කොම්පැණියක තැන්පත් කරල පොල්ල වැටිල ඉන්නෙ. ඉතිං මම මිනිහට ආදායමක් නැති නිසා මගේ ලියුං කියුං වැඩ කරවගන්න එක්කහු කර ගත්තා. රත්නෙ මස්සිනා ඇවිදින් යූනියන් කාරයා. පරණ සමසමාජ පාටියෙ. මගේ දේශපාලනේ මිනිහට දිරවන්නෑ. මිනිහගෙ දේශපාලනේ මට අරහං. හැබැයි ඉතිං මිනිහ ඉන්න තැන කාන්සියක් නැතුව ඉන්නපුළුවන් නිසා මායි හාමිනෙයි දෙන්නම කැමතියි දවල් දවසට මිනිහ අපෙ අහා එනවට. ආවහම ඉතිං ‘දිවයින', 'ලංකාදීප' පත්තරකාරිය එහෙම කියවල දෙන්නත් එක්ක වාද විවාද කර ගන්නව. හැන්දෑවට ඉතිං හීනි අඩියක් කාරියත් ගන්නව ඉදල හිටල.

රත්නෙ මස්සිනාගෙයි මගෙයි හොඳම යාළුවා තමයි ‘නිපුණ මුණපුරා'. ඒ කිව්වෙ මගෙ මද්දුම දූගෙ ලොකු පුතා. මිනිහ දැන් උසස්පෙළ කරලා ප්‍රතිඵල බලාපොරොත්තුව ඉන්නෙ. වැඩිපුර ඉන්නෙ අපේ ගෙදර තමයි. දවස තිස්සෙම කොම්පියුටරේ මූණු පොතේ තමයි ගත කරන්නෙ. නිපුණ ඉලන්දාරිය තමයි මටයි මස්සිනාටයි ඔය පිටරට ඉදල කරන වෙබ් සයිට්වල තියෙන දේවල් කොම්පියුටරේ දාල පෙන්වන්නෙ. කොල්ලම තමයි දවසක් කිව්වෙ ‘සීයෙ සීයත් ලියන්ඩකො බ්ලොග් එකක් කියල' මම දන්නෑ ආයිබොවන්ඩ ඔය බ්ලොග් කියන දේවල්. මම දන්නෙ බ්ලොග් ගල් විතරයි. පස්සෙ රත්නෙ මස්සිනා තමයි යෝජනා කරේ අපි දෙන්න කතාවෙන දේවල් නිපුණ පුතාට ‘සීයගෙ බ්ලොග් එක ' කියල එකක් හදල ඒකෙ දාන්ඩ කියල. එතකොට අඩුම තරමෙ අලුත් පරම්පරාවෙ උදවිය අපි හිතන පතන හැටි හරි දැන ගනීවිනෙ.

ඕං ඔහොම තමයි පියදාස මුදලාලි වන මම සයිබර් අවකාශෙට සේන්දු වුනේ. අම්මපා බලපුවාම ඒකත් නරක නෑ. හැබැයි මම අපේ ‘බෙලිඅත්තෙ පර්සි මලයට' මේ ගැන කියන්න ගියෙ නෑ. මිනිහ හිතාවි මමත් එයැයිට අරියාදු කරනවා කියල. මිනිහ මගෙ පරණම හිතවතෙක් නොවැ. මම මේ කියන්නෙ අපේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ උන්නැහේ ගැන. බෙලිඅත්ත වීරකැටිය කියන්නෙ කිට්ටුව පාත ගම් දෙකක්නෙ. ගමේ හිතවත්කම තමා ඉතිං. ඒ වුනාට මම නම් යූඇන්පී කාරයා. ඉස්ඉස්සර වෙලාම කතිරෙ ගැහුවෙත් ඩඩ්ලි මහත්තයට. ඒ කිව්වෙ හැට ගණන්වල ඉදල. මට නම් හිතෙන්නෙම මැතිණි රට කෑවා කියල. ඒකාලෙ අපෙ ව්‍යාපාර පවා හරිම අඩාල වෙලා තිබ්බෙ. රටපුරා මිරිස් පොලු හාල් පොලු වෙළඳාමක් කර ගන්ඩ නෑ. ඒ වුනාට රත්නෙ මස්සිනා කියන්නෙ නං මෑත ඉතිහාසෙ ස්වර්ණමය යුගය හැත්තෑව-හැත්තැහත කාලෙ කියල. ඇන්ඇම් උන්නැහෙව හැත්තැපහේ මැතිණි ආණ්ඩුවෙන් පැන්නුවෙ නැත්නං උන්නැහෙ රට ගොඩ ගන්නව කියල මම නම් විස්වාස කරන්නෑ. මට නං මැතිණිගෙ ආණ්ඩුව තිත්තවෙලා තිබ්බෙ.

හැත්තැ හතේ ජේ ආර් උන්නැහෙගෙ කාලෙන් පස්සෙ තමයි ඔන්න අපි ඔළුව ඉස්සුවෙ. අපට තරඟෙට හිටපු දෙමළ නාඩාර්ල ටික අසූතුනේ ජූලි කලබල වෙලාවෙ පුච්චලා දැම්මයින් පස්සෙ අපේ ව්‍යාපාර තව තවත් සරු වුණා. සිංහල බෞද්ධ අපිට සෑහෙන ඒකාධිකාරයක් ගොඩනගා ගන්ඩ පුළුවන් වුනා. ඒත් කොහොද මේ තම්බි නානලාගෙන් බේරෙන්ඩ බෑනෙ. උන් නොහිටින්න අපි මෙලහට ඉන්දියාවෙත් ව්‍යාපාර ආරම්භ කරල. මේක සිංහල බෞද්ධ රට. මේ රටේ සිංහල බෞද්ධයට වැඩි සැලකිල්ලක් දැක්කුවට කාටවත් දොස් කියන්ඩ බෑ. කොහොම වුනත් කොටි කරදරේ ඉවර කරල බෙලි අත්තෙ පර්සි මලය ඔය බොදු බල සේනා වගෙ සංවිධාන හරහා සිංහල බෞද්ධයට කරන සේවය හරි ඉහළයි. ඔන්න ඔය හේතුව නිසා තමයි පර්සි මලයට විරුද්ධව පිටරටවල ඈයො කුමන්ත්‍රණය කරන්නෙ. ඒ කුමන්ත්‍රණ වලට විරුද්ධව අපිත් හඬක් නගන්න හිතල තමයි මම නිපුණ මුණුපුරා හරහා මගේ අදහස් සයිබර් අවකාශ ගත කරන්නෙ. මම අනුන්ගෙ අදහස්වලට ඉඩ හරින මිනිහා නිසා අපෙ රත්නෙ මස්සිනාගෙ අදහසුත් මගෙ ලියවිල්ලෙ සඳහන් කරනව.

ඇත්තම කියනවනම් මම නමෝ විත්තියෙන් පෙරමුණේ ආණ්ඩුවට කතිරෙ ගැහුවෙ 2010 දි. හප්පච්චියේ...... අර වසවර්තියාට කොහොම කතිරෙ ගහන්ඩද? ඒ මූණ බලාගෙන. කළුපාට ඇඳම් ඇඳගෙන පදක්කම් ගහගෙන. යුද්දෙට යන්ඩ වගේ. මිනිහ දිනුව නම් අපෙ රටත් අර පකිස්තානෙ වගෙ වේවි. රනිල් උන්නැහෙ ආවනම් පොඩ්ඩක් හිතල බලන්ඩවත් තිබ්බ. 2005 දි මමයි හාමිනෙයි දෙන්නම කතිරෙ ගැහුවෙ රනිල් උන්නැහෙට. හැබැයි ඉතිං දැන්නම් යූඇන්පී එකට යන කල දවසක් නෑ. ඒක රනිල් උන්නැහෙගෙ වරදක් නෙමෙයි. අපේ බෙලිඅත්තෙ පර්සි මලයගෙ දස්සකම. බලන්ඩෙපෑ අර වශී බෝලෙ ඇගිලි දෙක අස්සෙ ගහගෙන දෑතම උස්සලා ආචාර කරන අපූරුව. හරියට ගමට හඳ පෑව්ව වගේ තමයි. ඔය පොඩි පොඩි අඩුපාඩුකම් තියනව තමයි. සල්ලිවලට කව්ද අකමැති. ඒත් ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙන් පස්සෙ ලංකාවට බිහි වෙච්ච ජන දුක හඳුනන ජන නායකයා තමයි අපේ අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා. මම ඉතිං ඔය කට වචනෙට බෙලිඅත්තෙ පර්සි මලය කිව්වට මේක කියෝන උදවිය අමනාප එහෙම වෙනවා නෙමෙයි. මං එහෙම කියන්නෙ මගේ ලෙංගතුකමට මිසක්ක ඒ උත්තමයට නිග්ගරහයක් කරන්ඩ එහෙම නෙමෙයි.

ළඟදි දවසක අපේ ගෙදර වාර්ෂික පිරිත් පිංකමට ආරාධනා කරල ආපු වෙලාවෙ මම එතුමාව අපෙ බුදු කාමරේට එක්ක ගිහින් පෙන්නුව. උඩම ඉන්නෙ බුදු හාමුදුරුවො. දෙවනියට ඉන්නෙ කතරගම දෙයියො. තුන්වෙනුවට ඉන්නෙ සායිබාබා තුමා. හතරවෙනියට තියෙන්නෙ එතුමාගෙ ෆොටෝ එක. බුදුන්ට දුම් අල්ලන කබලෙන්ම තමයි මම එතුමගෙ ෆොටෝ එකටත් දුම් අල්ලන්නෙ. අපේ නුගේගොඩ ඩෙකා මුදලාලි නම් මිනිහගෙ ෆොටෝ එකට මිනිහම දුම් අල්ලගන්නව. ඒ වුනාට මටනම් පළමුව බුදුන්. සිව්වෙනුව මිහින් තමයි. කොටි හැතිකරේගෙන් මේ ධර්මද්වීපය මුදා ගත්ත පිනම ඇති එතුමටයි එතුමගෙ හත්මුතු පරම්පරාවටයි නිවන් දකින්න. බෞද්ධ අපේ මුදුන් මල්කඩ දළදා මාළිගාවට බෝම්බ ගහපු සිරිමහ බෝධිය ලෙයින් තෙත් කරපු අරන්තලාවෙ බුද්ධපුත්‍රයින් වහන්සෙලාව කැති ගාල මරපු තිරිසන් කොටින්ට පටිසන් දුන්නෙ උන් ඒ කරපු මහ පොළොව නූහුලන අපරාධ. ඕකට තමයි බුදුබණේ දිට්ඨ ධම්මවේදනීය කරුම කියන්නෙ. අපෙ ජීවිත කාලය තුලදිම අපෙ දෑස්වලට දැක ගන්ඩ පුළුවන් වුනා ඒ අදමිටුවන්ට ඒ කරුම පටිසන් දුන්න හැටි.

ඉතිං මෙහෙව් සේවයක් කරපු උත්තමයින්ව නේද අම්මපා... ජිනීවා වල විදුලි පුටුවේ ගහන්ඩ ඇමරිකන් කාරයො දත කන්නෙ? ඒ උත්තමයගෙ මයිල් ගහකට හරි අතුරු අන්තරාවක් කරොත් ඇමරිකන් කාරයටත් පීනන්ඩ ඇමරිකාවෙ නන්දිකඩාල් කලපුවක් හොයල තියා ගත්තොත් හොඳයි. රත්නෙ මස්සිනානන් කියන්නෙ විදුලි පුටුවල ගහන කතා අමු කෙබර කියල. චන්ද්‍රිකා නෝනා ළඟදි එහෙම කිව්වලු. ඒවා ඡන්දෙ ගන්ඩ කියන කතා කියල තමයි රත්නෙ මස්සිනා හැම වෙලේම කියන්නෙ. ඒ වුනාට කව්ද දන්නෙ ජිනීවාවල තියෙන පුටුගැන. මොකෝ මං ගිහින් තියෙනවද? රත්නෙ මස්සිනා ගිහින් තියෙනවද? 

ලියවිල්ල වැඩිය දික්කොරන්ඩ ඕනි නෑ. සිංහල බෞද්ධ අපේ පරම යුතුකම තමයි මහින්ද මහත්තය ගෝඨාභය මහත්තය බේර ගන්න එක. ඒ වෙනුවෙන් ආපහු ළඟදි ලියන්නම්. එහෙම එක එකාට ඕන විදිහට අපේ රටේ වැඩ වලට ඇඟිලි ගහන්ඩ දෙන්ඩ පුළුවන්ද? අපි සුද්දගෙන් නිදහස් වුනේ මීට අවුරුදු හැට හයකට කලින්. තාමන් උන් හිතන් ඉන්නෙ අපි උන්ගෙ කොලනියක් කියල. දකුණේ අල බතල කුරහං කාල හැදිච්ච දුප්පත් මිනිස්සුන්ගෙ දාඩිය පුසුඹ දන්න අපේ ජනනායකයින්ව එහෙම ඇමරිකන් කාරයින්ට විදුලි පුටුවල ගහන්ඩ පුළුවන්ද අපි ජීවත්වෙලා ඉන්නකන්. මේ ටික කියා ගන්ඩ මට ජිනීවා යන්ඩ තියෙනවනම්. එහෙම නොගියත් මේ ලියවිල්ල ජිනීවා වල ලොකු ලොක්කන්ගෙ ඇස් මුලිච්චි වෙයි කියල හිතෙනවා. ආපහු සයිබර් ලියමනකින් හම්බ වෙනකම් ආවඩා ආයිබෝ වේවා!