23 October 2017
RSS Facebook Twitter   

සයිබර් සහෝදරත්වය පොළවට ගේද්දි අවුල් උනාද ?

ThalawakaleMainනෙළුම් යායෙන් තලවාකැලේට නෑගම් යන ගමන ගිහින් ආවාට පස්සෙත් තිබුණු බොහොමයක් රාජකාරි එක්ක ඒ ගැන සටහනක් තියන්න ඉඩක් ලැබුණේ නෑ. එහෙත් අපිත් එක්ක ඒ ගමනට එකතු වුණු කිහිප දෙනෙක් තම තන්ගේ අත්දැකීම් සහ කම්පනය අකුරු කරලා තිබුණා.
ඒ අයට බොහොම ස්තූතියි. මේ සටහන ලියවෙන්නෙ ගමනින් පස්සෙ මතු වෙච්චි ප්‍රශ්නෙකුත් එක්ක. සයිබර් සහෝදරත්වය මහපොළවට ගේන එක කොයිතරම් අමාරු වැඩක්ද කියලා මෑත කාලීන අත්දැකීම් කිහිපයක් ඇසුරෙන් ම පැහැදිලි වුණ නිසා මේ ගමන ආශ්‍රයෙන් ඒ ගැන යමක් ලියන්න හිතුවා.

නෙළුම්යාය දෙමළ භාෂාවෙන් පළ කෙරෙන වෙබ් අඩවිය, "තාමරි කුලම්" ජනගත කරන්න දෙමළා මතක් කළ සැණින් ජනප්‍රිය ප්‍රදේශය වෙන යාපනය හරි, අපට ළඟම ලේසිම වැල්ලවත්ත හරි තෝරානොගෙන වතුකරය අපි තෝරාගත්තෙ ඒ අය ගැන බොහෝ පිරිස් අතර තියෙන සංවේදීතාවය අඩු නිසා. තිස්වසරක යුද්ධයෙන් පීඩා විඳපු දෙමළා යම් පමණකින් හරි අඳුනන අය පවා සියවසකට අධික කාලයක් තිස්සෙ අඩු වැටුප්, අඩු පහසුකම්, සංස්කෘතික පසුගාමීත්වය වගෙම අධික ශීතල දේශගුණයෙනුත් පීඩා විඳින වතුකරයේ දෙමළා ව අඳුනනවා අඩුයි.

නැත්නම් අඳුනා ගැනීමේ වුවමනාවක් හෝ එයාලට නැහැ. අන්න ඒ අඩුව පිරවෙන එක පුංචි පියවරක් හැටියටයි සයිබර් සහෝදරත්වයත් අරගෙන තලවාකැලේට නෑගම් යන්න තීරණය වුණේ. මේක වෙබ් අඩවිය ජනගත කිරීමක් හෝ පාසැල් වලට ආධාර රැගෙන යාමක් විතරක් ම වෙන වැඩක් හැටියට සංවිධානය කරන වුවමනාවක් නෙවෙයි අපට තිබුණේ.

සංචාරක පිරිසක් හැටියට ගිහින් ඒ දරුවන්ගෙ තාරුකා එළි වගේ දිලිසෙන බලාපොරොත්තු සහගත ඇස් දිහා බලන් අනුකම්පා කරලා යමක් මිට මොළවලා එනවා වෙනුවට ඒ දෑස් වල තාරුකා එළි අතරින් ඒ අහිංසක ආත්මයන් එක්ක දවසකට හරි ආත්මීයව බැඳී ඉන්න, සියවසක් තිස්සෙ ඈත් කර තියපු, අපිටත් ළං වෙන්න අමතක වුණු සංස්කෘති දෙකක් අතර වෙනසක් එක දවසකට හරි එක්ව රසවිඳින්න,

මිනිස් දුක කියන දේ යුනිකෝඩ් අකුරු අතරින් සාහිත්‍යානුසාරීව මවලා අපිත් අඬලා තව එකෙක් අඬවනවා විතරක් වෙනුවට හැබෑවට ඒ මිනිස්සු විඳින දුක ඔවුනුත් එක්ක එක දවසකට හරි සහෝදරාත්මකව විඳගන්න ... මෙන්න මේ පියවර මතින් ගමනට එකතු වුණු කිහිප දෙනා එක්ක අකුරු විජ්ජා වලින් මවා පාන මානුශීයත්වයක් වෙනුවට හදවතට දැනෙන, හදවත රිද්දන, සීතල මැද්දෙන් හදවත උණුසුම් කෙරෙන ඇත්තම මහපොළවෙ සහෝදරත්වයක පුංචි බීජයක් හෝ පැළ කරන්නයි වුවමනා වුණේ.

කහට කෝප්පයට රතුපාට ගේන ඒ අපේම මිනිස්සුන්ගෙ ජීවිතවල හැබෑ අඳුර අතගාලා බලන්න එක රැයක් ලැයිමක ගත කරන වුවමනාව අපිට තිබුණා. එහෙත් දුර බැහැරින් ආව අපි වෙනුවෙන් ඒ අය තනි ගෙයක් ලෑස්ති කෙරුවා. ඒ කළෙත් ඒ ගෙදර උදවිය වෙනත් වෙනත් ගෙවල් වල නතර වෙලා. මිනිස්කමක එළිය තලවාකැලේ රෑ අඳුර කපාගෙන විහිදුනේ ඒ විදියට.

තිබුණු සීමිත සම්පත් අත්‍යාවශ්‍ය දේවල් වෙනුවෙන්ම විතරක් වැය කරන්න වෙලා තිබුණු තත්වයක උණත් අපි පිටින් තැනක නවාතැන් සූදානම් කරගෙන 'උත්සවය ලොකුවට ගත්තා නම්' වෙන්න තිබුණේ මූලික අරමුණට විරුද්ධ අපරාදයක් නෙවෙයිද ? ඒ මිනිස්කම, ඒ සහෝදරත්වය විඳින්න නෙවෙයිද අපිට ඕනි වුණේ ?

මොහොතට අදාලව සංවිධාන කටයුතු වල දුර්වල කම් නොතිබුණා නෙවෙයි. අපි පාසැල් තුනකට කතා කරලා ඒ අය ඉල්ලපු දේවලුයි අරගෙන ගියේ. එතන මහා ලොකු දෙයක් තිබුණෙ නැතිවග පිළිගන්නවා. ඒත් අපි ගියෙ තෑගි ගොඩාක් අරගෙන එක දවසකට ඒ දරුවන්ගෙ මූණු වල හිනාවක් මවන ගමනක් නෙවෙයි.

ආදරේ මහ ගොඩාක් අරගෙන වතුකරය තරම්ම උස එයාලගෙ ආදරෙත් එක්ක බෙදාගන්න බලාපොරොත්තුවෙන් ගිය ගමනක්. ඒ දරුවො අපි එනකල් ගොඩාක් වෙලා මඟ බලන් ඉඳලා තිබුණා. ඒගැන ඇත්තටම කණගාටුයි. ඒත් බිංදුවක් අඩුනොවෙන්න අපි ආදරේ බෙදාගත්තා කියලයි මට නම් හිතෙන්නෙ ... ඒ පැය කීපයට හදවත් කොයිතරම් නම් උණුසුම් වුණාද ?

වෙබ් අඩවිය ජනගත කරන වැඩේ අවුල් වුණේ තාක්ෂණික ප්‍රශ්නයක් නිසා. ඒත් ක්‍රිකට් තරඟාවලිය ඇතුළෙ භාෂා ප්‍රශ්න පැත්තක තියෙද්දි කොයි තරම් නම් සහෝදරත්වයක් සෙනෙහෙසක් ඇවිළුණාද ?

සයිබර් අවකාශයේ හැසිරෙන බොහෝ උදවිය ඉන්නෙ එතැනට අදාලව මවා ගත්තු යම් ප්‍රතිරූපයක් එක්ක. කෙටියෙම්ම කිව්වොත් එතැනදි හැමෝම වගෙ පොරවල්. මොකද ඒ කවුරු වුණත් එයාලගෙ අකුරු අස්සට කවන පොම්ප කරන මිනිස්කම් හැරුණාම ඇත්තටම හදවත් වල තියෙන මිනිස්කමේ ප්‍රමාණය වෙන කෙනෙක්ට මැණගන්න බැරි නිසා ඒ අවකාශය යුනිකෝඩ් අකුරු අතරෙ ඇකීලිස් වගෙ වීරයො මවනවා.

ඒත් අපෙ උවමනාව උනේ අන්න ඒ සයිබර් සඳළුතලාවෙන් බිමට ඇවිත් ඇත්ත පීඩිත මිනිස් ජීවිත වල තිත්ත රස එක දවසකට හරි විඳගන්න. මොකද මං හිතන තරමින් එදා ආපහු එද්දි අරගෙන ආපු හිතේ බර මේ සවේදී ලියන්නන් කවදාවත් බිමින් තියන එකක් නෑ ..

හෙටත් තලවාකැලේ වතුපාරවල් වල මල්පිපේවි. තේ දළු ඉරත් එක්ක හිනාවෙවී මිනිස් දාඩියෙන් පෝශණය වේවි, අර පුංචි දරුවො තරු ඇස් දල්වාගෙන අකුරු උගනීවි. අර තරුණ තරුණියන් අනාගතය ගැන තේ ෆැක්ටරියෙ වහළට උඩින් හීන මවාවි. අපිත් හදවතින් ඒ හැමතැනම ඉඳහිට හරි ගැවසේවි. මිනිස් සිතුවිල්ලකට වැඩි වේගෙන් 4G තාක්ෂණේට ඉගිලෙන්න බෑනෙ ..

http://hithuwakkaree.blogspot.co.uk/2015/07/blog-post_22.html

 

 

 

නෙළුම් යාය සහෘද සමුහය