21 July 2018
RSS Facebook Twitter   

මෛත්‍රී-මහින්ද හමුව: ‘යහපාලනය’ ඔලූවෙන් සිටුවීමක්? - ගාමිණී වියන්ගොඩ

mr msහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව හමු වීම ගැන පැහැදිළි කිරීමක් කරන ජනාධිපති මාධ්‍ය අංශය, වර්තමාන ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේද සභාපතිවරයා වන බැවින් මෙවැනි හමුවක් ‘‘විශේෂ’’ දෙයක් නොවන බව කියා සිටී. ඒ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශකයෙකු වන ඩිලාන් පෙරේරා කියන්නේ, එම සාකච්ඡුාව රනිල්ව එලවා දැමීම සඳහා පවත්වන බවයි. මේ කතා දෙකෙන්ම කියැවෙන්නේ එකම දෙයකි. වෙනස ඇත්තේ, එකක් ‘‘රාජ්‍ය තාන්ත‍්‍රික’’ වීමත්, අනික ‘‘අයි.ආර්.සී.’’ වීමත් පමණි. ‘යහපාලනයේ’ ඉඳුරා ප‍්‍රතිපක්ෂය මහින්ද රාජපක්ෂ වන තත්වය තුළ, ඔහු සමග ‘යහපාලන’ ජනාධිපතිවරයෙකු කරන කිසි සාකච්ඡාවක් ‘‘විශේෂ’’ දෙයක් නොවීමට ඉඩක් නැත. අනිත් අතට, තමාගේ අරමුණ වන්නේ, ඉදිරි මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනත් කියමින් සිටින තත්වය තුළ, ඔහුගේ අපේක්ෂාව වන්නේද එක්සත් ජාතික පක්ෂය පරාජය කැරැවීම බව අදහස් වෙයි.

දැන් අපි ඉතිහාසය ටිකක් මතක් කරගමු. අද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කෙනෙකු ලංකාවේ සිටින්නේ, ඔහු සමග සාකච්ඡුා සඳහා අද පැමිණි කිසිවෙකුගේ හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මවිලක හෝ ආධාරයකින් නොවේ. ඒ සියලූ දෙනා පෙනී සිටියේ, සිරිසේන ජනාධිපතිවරයාම කියන පරිදි, ඔහුව අඩි හයක් පොළොව යට බෑවීමටයි. ඒ නිසා, මෛත‍්‍රීපාල සිරිසේනගේ පැත්තෙන් කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂගේ පැත්තෙන් මේ සාකච්ඡුාව පැවැත්වෙන්නේ, 63 ලක්ෂයකට ආසන්න ජනතාවක් විසින් පරාජය කළ මහින්දව, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ලවා නැවත ජයග‍්‍රහණය කැරැවීමට ගන්නා ප‍්‍රයත්නයක් වෙනුවෙන් බවට සැකයක් නැත.

පිළිවෙලට එතූ නූල් බෝලයක් ලිහා ගැනීම අපහසු නැත. ජනවාරි 8 වැනි දා සිට ලිහා ගන්ට තිබුණේ පිළිවෙලට එතූ නූල් බෝලයක් නොව. හතර කොණෙන් පැටැලී කැරලි ගැසුණු ජංජාලයකි. එසේ තිබියදී, ජනාධිපතිවරණය ජයගත් සැණින්, සමහර විට ඇතැමුන්ගේ පටු දේශපාලනික අරමුණු පෙරදැරිව දෙන්නට ඇතැ යි සිතිය හැකි එක්තරා දේශපාලනික උපදේශයක් මත, මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වයත් භාර ගත්තේය. ඒ හේතුවෙන් මේ ජංජාලය තවත් පැටළුණි. එය, යහපාලන ව්‍යාපෘතිය වක‍්‍රාකාරයෙන් ආපසු හැරවීමේ ආරම්භක ලක්ෂ්‍යය වී යැයි අද කීම අතිශයෝක්තියක් සේ බොහෝ දෙනාට පෙනී යා හැකි වෙතත්, අනාගතේ දවසක දිග හැරෙන දේශපාලන ක‍්‍රියාවලිය තුළ එය සත්‍යයක් වෙතොත් අප පුදුම විය යුතු නැත. එසේ නොවේවාය යන්න අපේ පරම පැතුම වෙතත්, දැන් තියාම ඒ ගැන හැෙඟන සහ දැනෙන සැකමුසු තැන් හඳුනා ගැනීම, අපතේ යන අභ්‍යාසයක් නොවේ.
19 වැනි සංශෝධනය සම්මත කර ගැනීමේ විවාදයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සන්ධාන කොටස්කරුවන් හැසිරුණු ආකාරය නොකියා කියාපෑවේ, සංඛ්‍යාත්මක බහුතරයක් වීම නිසාම යම් නිල ‘අයිතියක්’ තමන්ට හිමිවන බවත්, ඒ ‘අයිතිය’ පාවිච්චි කිරීමේදී වැදගත් වන්නේ, සත්‍යය සහ නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටීමට වඩා, එම සංඛ්‍යාත්මක අයිතිය සතු බලය අභ්‍යාස කිරීම සහ එය ප‍්‍රදර්ශනය කිරීම වන බවත් ය. නිමල් සිරිපාල ද සිල්වාගේ වචනවලින්ම කියන්නේ නම්, (ඬේලි මිරර් පුවත්පත) ‘සුළුතරයක් විසින් බහුතරයක් පාලනය කිරීමට ඉඩ දිය නොහැකි’ බවකි.

වැදගත් වන්නේ, සුළුතරයක් විසින් බහුතරයක් පාලනය කරනු ලබන්නේද, බහුතරයක් විසින් සුළුතරයක් පාලනය කරනු ලබන්නේද යන්න නොව, ‘පාලනය කරනු ලැබීම’ තුළ සත්තකින් සිදුවන්නේ, රටට යහපතක්ද අයහපතක්ද යන්නයි. එසේ නොමැතිව, සත්‍යය සහ යහපත දරන්නා, අනිවාර්යයෙන් බහුතරයම විය යුතු යැයි සිතීම මුග්ධ කමකි. උදාහරණයක් වශයෙන්, පරම සත්‍යය අඩංගු එකම ධර්මය වශයෙන් බුද්ධාගම අදහන පිරිස, ලෝක ජනගහනයෙන් ඉතා සුළුතරයකි. ලෝකයේ අතිබහුතරයක් ජනතාව අදහන්නේ බුද්ධාගම නොවන වෙනත් ආගමක් වීම නිසා, බුද්ධ ධර්මය සතුව ඇතැයි බෞද්ධයන් විශ්වාස කරන පරම සත්‍යය බොරුවක් බවට ඔප්පු වේයැයි පිළිගැනීමට බෞද්ධයන් ලැහැස්තිද? නැත.

එසේ නම් වැදගත් වන්නේ, හරි දේ වෙනුවෙන් පෙනී සිටීම මිස, බහුතරයේ හයිය ඔලූවට ගැනීම නොවේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සන්ධානය, ජනවාරි 8 වැනි දා දක්වා, වැරැද්ද වෙනුවෙන් සෘජුව පෙනී සිටියේය. ජනවාරි 9 වැනි දා සිට ඔවුන් කරන්නේ, වැරැුද්ද වෙනුවෙන් ව්‍යංගයෙන් පෙනී සිටීමයි. මෙය, අවාසනාවට කාරණයක් වෙතත්, පුදුමයට කාරණයක් නොවේ. මන්ද යත්, ජනවාරි 8 වැනි දා වන තෙක් එම එම වැරැුද්ද තුළ සිටි පිරිසෙන් ජනවාරි 9 වැනි දා වන විට හැලූණේ එක පුද්ගලයෙකු පමණක් වන බැවිනි. ඒ මහින්ද රාජපක්ෂ ය. ඉතිරි වැරදිකරුවන් සියල්ලන් තවමත් නිරුපද්‍රිතයි.

දින 100 වැඩපිළිවෙල තුළ, කෙනෙකු කැමති වෙතත් නැතත්, නිසගයෙන් ජයගත යුතු බාධකයක් තිබුණි. එනම්, එම වැඩ පිළිවෙලේ තිබූ ප‍්‍රතිසංස්කරණ සම්මත කර ගැනීම සඳහා අර පිරිසේ ඡුන්දය ලබාගන්නේ කෙසේද යන්නයි. යහපත් මිනිසෙකුගෙන් සහායක් ඉල්ලන විට, ඊට ප‍්‍රතිඋපකාරයක් වශයෙන් ඔහු ඉල්ලා සිටිය හැක්කේ තවත් යහපත් දෙයකි. උදාහරණයක් වශයෙන්, දනකට හෝ බණකට වඩින භික්ෂූන් වහන්සේලාගේ පුණ්‍ය සේවාව වෙනුවෙන් සැදැහැතියන් පිරිනමන්නේ අටපිරිකරකි. අනිත් අතට, බේබද්දෙකුගෙන් යම් සේවාවක් ලබාගතහොත් ඔහු පෙරලා බලාපොරොත්තු වනු ඇත්තේ, අරක්කු බෝතලයකි. ජනවාරි 9 වැනි දා සිට අළුත් ආණ්ඩුවේ ප‍්‍රතිසංස්කරණ සඳහා විපක්ෂයේ සහයෝගය ලබා ගැනීම, මේ දෙවැනුව කී අවස්ථාවට සමාන විය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වයට පත්වීමෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කෙළේ ඒ සඳහා මුල් පියවර තැබීමයි. එවිට, ඇත්තෙන්ම ඔහු සිතන්ට ඇත්තේ, අරක්කු නොදී වැඬේ කරගත හැකි වෙතැ යි වීමට පුලූවන. මගුලක් තුලාවක් වැනි විශේෂ අවස්ථාවකදී මත්පැන් ගන්නා පුද්ගලයා හා බේබද්දා අතර ඇති වෙනස වන්නේ, බේබද්දා බීමට දෛනිකව ඇබ්බැහි වී සිටීමයි. මහින්ද රාජපක්ෂගේ අවුරුදු 10 ක පාලන කාලය තුළ, පාලක පක්ෂයෙන් අතිබහුතරයක් යම් ක‍්‍රමයකට ඇබ්බැහි වුණි. බලය යනු, මහජන යහපත සඳහා නොව, තම පුද්ගල අභිවෘද්ධිය සඳහා පාවිච්චි කළ හැකි දෙයක් සේ ගැනීම, එම ඇබ්බැහියේ එක් ලක්ෂණයකි. මානව හිමිකම් සහ මූලික අයිතීන් ප‍්‍රදානය කිරීමෙන් ජනතාව බලගැන්වීම වෙනුවට පාලකයන් බලගැන්වීම, රටක සංවර්ධනයට අත්‍යාවශ්‍ය අංගයකැයි ගැනීම තවත් ලක්ෂණයකි. අධිකරණය, නීතිය, පොලීසිය සහ රාජ්‍ය සේවය, දේශපාලකයන්ගේ අතකොළු වශයෙන් පැවතිය යුතු යැයි ගැනීම තවත් ලක්ෂණයකි. විසම්මුතිය හෙවත් අනෙකා වෙනත් අදහසක් දැරීම නොඉවසිය යුතු බව තවත් ලක්ෂණයකි. යෝධ ව්‍යපෘතිවලදී විනිවිද භාවය වෙනුවට රහස්‍ය භාවය ආරක්ෂා කිරීම තවත් ලක්ෂණයකි. කොටින්ම, සාටෝප ‘ක‍්‍රියාවලියක්’ හරහා ශිරානී බණ්ඩාරනායක සහ ජෙනරාල් සරත් ෆොන්සේකාගෙන් ‘වැදගත්’ ආකාරයන් පළිගැනීම සහ ලසන්ත වික‍්‍රමතුංගගෙන් ‘අමු අමුවේ’ පළිගැනීම දක්වා වූ මර්දනීය ක‍්‍රියාවලිය එම ඇබ්බැහියේ තවත් ලක්ෂණයකි.

දැන් මේ සියල්ල එකට ගත් විට, එය අප හඳුනාගත යුත්තේ, හුදෙකලා සිදුවීම් කිහිපයක් වශයෙන් නොව, සංයුක්ත ‘දේශපාලනික සංස්කෘතියක්’ වශයෙනි. එවැනි ‘සංස්කෘතියක්’ තුළ අවුරුදු දහයක් තිස්සේ හැදුණු වැඩුණු සහ පුරුදු පුහුණු කරවන ලද කෙනෙකු එයින් නිදහස් වීමට නම්, මුලින්ම ඒ සඳහා වන කැමැත්තක් ඔහු/ඇය තුළ තිබිය යුතුය. දෙවැනුව, ඒ දෙස ආපහු හැරී බැලීමේ අවංක දිරියක් සහ බුද්ධිමය හැකියාවක් තිබිය යුතුය. මෛත‍්‍රීපාල සිරිසේනට එය තිබුණි. මේ ක‍්‍රියාවලිය ආපසු හැරවීමේ අවම අවකාශය විවර වූ ප‍්‍රථම අවස්ථාවේම මහින්ද රාජපක්ෂ පවුල්වාදයෙන් ඔහු කැඩුණේත්, 19 වැනි සංශෝධනය දියාරුවට හෝ මෙසේ සම්මත කර ගැනීමට ඔහු සමත් වුණේත් එබැවිනි. එහෙත් 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනා අවස්ථාවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිරි සියලූ දෙනා හැසිරුණේ, මහින්ද රාජපක්ෂ නියෝජනය කළ අර කී ‘සංස්කෘතිය’ වෙනුවෙන්ම බව අපි දුටුවෙමු.

මේ තත්වය තුළ එක් දේශපාලනික ගණනයක් එක දිගටම සිරිසේන ජනාධිපතිවරයාගෙන් ගිලිහෙන බවක් දැන් පෙනෙන්ට තිබේ.

මුලින්ම, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා මැතිණියව මහ පාරේ නිරුවතින් ඇවිද්දවිය යුතුව ඇතැයි කී පිරිස් පවා, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේ නාමයෙන් නව ආණ්ඩුවට ඇතුළත් කර ගැනීම සඳහා හිත් හදා ගැනීමට ‘යහපාලනයට’ සිදුවිය. එසේ වීත්, අවසානයේදී, කන්දක් විළි ලා වදන්ට දෙන්නේ කෙන්දක් පමණක් වන බවට ඔවුහූ වගබලා ගත්හ. ඉතිං, ‘යහපාලනය’ අඩියක් දෙකක් පස්සට ගියේය.

තමා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වුණේ, ඊළඟ මැතිවරණයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රහණය කැරැුවීම සඳහා බව සිරිසේන ජනාධිපතිවරයා දැන් කියයි. එතකොට, අප ජනවාරි 8 වැනි දා වන තෙක් ‘යහපාලනයක්’ ඉල්ලා සිටියේ, කවර අයහපත් පාලනයක් ඉදිරියේද? ඒ අයහපත් පාලනය ගෙන ගිය එකම ගාමක බලවේගය වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අද තිබෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති එකම වෙනස, එහි සභාපතිවරයා වෙනත් පුද්ගලයෙකු වීම පමණක් නම්, අප ඉහතින් කී ‘දේශපාලනික සංස්කෘතිය’ නව ජනාධිපතිවරයා යටතේ මූලික වෙනසකට භාජනය වෙතැයි විශ්වාස කරන්නේ කෙසේද?

සිරිසේන ජනාධිපතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව මුණගැසෙන්නේ මේ පසුබිම තුළයි. ‘යහපාලනය’ නැමැති පරමාදර්ශය ප‍්‍රධාන සටන් පාඨය වුණේම, දේශපාලනික සංස්කෘතියේ ව්‍යුහාත්මක වෙනසක් වෙනුවෙනි. එය ආයතන පද්ධතිය (ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා ආදී) නවීකරණයෙන් පමණක් කළ හැක්කක් නොවේ. ඉදිරියටත් මේ රට පාලනය කළ යුත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින්ම යැයි සිරිසේන ජනාධිපතිවරයා විශ්වාස කරන්නේ නම් එහි වරදක් නැත. එහෙත්, ඒ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද රාජපක්ෂ සංස්කෘතියෙන් මුළුමණින් වෙනස් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයක් විය යුතුව තිබේ. විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන ජනවාරි 8 වැනි දාට කලින් මේ රටට කී ‘යහපාලනයේ’ මූලික ප‍්‍රතිපත්ති පිළිගන්නා සහ ඒ අනුව කටයුතු කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයක් විය යුතුව තිබේ. කොටින්ම, ඇටමස් මිදුලූවලින් පවා පුනරුත්ථාපනය වූ සහ රාජපක්ෂ හැව ඇරිය, නූතන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයක් විය යුතුව තිබේ. එසේ තිබියදී, නිරුපද්‍රිත හොරු හතළිහක් සමග දීග කෑමට අමතරව, අලි බබාව හෝ ඔහුගේ ඉල්ලීම් හෝ නැවතත් භාරගන්නේ නම්, ගරු ජනාධිපති තුමනි, අප අවසන් වනු ඇත්තේ පටන් ගත් තැනින්මයි.
- රාවය -
සබැඳි පුවත්
ශිෂ්ටත්වයට පයින් ගැසීමට තැතනූ දේශපාලුවෝ කපන්න බැරි අතර සිඹිති

 

 

විශේෂාංග