23 April 2018
RSS Facebook Twitter   

ජනවාරි 08 විප්ලවයේ ප්‍රතිලාභ නිර්මාල්ගෙන් පසු සෝභිත හිමිට ? - සුනිල් ගාමිණී

 

nirmal 123ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට  අමානුෂික ප්‍රහාර එල්ල කළ මැරයන් කිසිවෙකුත් යහපාලන ආණ්ඩුව යටතේ කට උත්තරයක් ලබා ගැනීමටවත් පොලීසියකට කැඳවා ඇති බවට තොරතුරක් මේ සටහන ලියන මොහොත  දක්වා ලැබී නොමැත.

 

 නිර්මාල්ට ප්‍රහාර එල්ල කළ මැරයන් කෑගසා කියා ඇත්තේ  " තෝ තමයි මහින්ද රාජපක්ෂව පරාජය කරවපු......... ගේ පුතා "  කියාය.

මේ මැරයන් නිර්මාල්ට ප්‍රහාරය එල්ල කළේ, මහින්ද රාජපක්ෂව අගමැති අපේක්ෂකයා ලෙස නැවත බලයට ගෙන ආ යුතු බවට වාසුදේව  නානායක්කාර,  දිනේෂ් ගුණවර්ධන හා විමල් වීරවංශලා එක්ව සංවිධානය කළ මැයි දින රැස්වීමක් අතර තුරය.

වැඩවසම් පවුල්වදයත්, බලකාමයෙන් මඩින ලද ඒකාධිපති වියරුවත්, තම න්‍යාය ලෙස භාවිතා කළ පරාජයට පත් මහින්ද රාජපක්ෂව නැවත සිංහාසනාරූඩ කරවීමේ අභිප්‍රායෙන්, වැඩ කරන පංතියේ ජනයාට වෙන් වූ දිනය නිර්ලැජ්ජිතව යොදා ගන්නට තරම් වාසුදේව, දිනේෂ් හා විමල් වීරවංශලා පහලට රූරා වැටීම ගැන අපට නම්  පුදුමවීමට  කාරණයක් නොමැත.

වැඩවසම් පවුල්වාදය හා බලකාමී ඒකාධිපතිත්වය පරදවා සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය ජනතාවට පහදා දුන් සිවිල් සමාජයේ බුද්ධිමතුන්ට  ප්‍රහාර එල්ල කිරීමට මැරයන් කැඳවන තැනට වාසුදේවලා වැන්නවුන් පත්වී තිබීමෙන් ජනතාව අවබෝධ කර ගත යුතුව ඇත්තේ, මහින්ද යුගය තුළ සිදුවී ඇති සමාජ ශිෂ්ටාචරයේ කුණුවීම කෙතරම්ද? යන්න පිළිබඳව පමණි.

ජනවාරි 08 වැනිදා ශ්‍රී ලාංකික සමාජය තුළ දේශපාලන විප්ලවයක් සිදුවූ බව නිර්මාල් රංජිත් දේවසිරි මහතා ඇතුලු බොහෝ දෙනා ගේ මතය විය. විප්ලවයක් යනු සරල ලෙස කීවොත් පෙරළියකි. පෙරළියක් යනු පෙර තිබූ ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් වී අලුත් ස්වරූපයක් ඇතිවීමය. යම් පෙරලියක් ගුණාත්මක වෙනසක් ලෙසද හඳුන්වයි. එහෙත් එම ගුණාත්මක වෙනස,  එකී වෙනස සිදුවන්නට බොහෝ කලකට පෙර සිට සිදුවෙමින් පැවැති ප්‍රමාණාත්මක  වෙනස්කම්වල අවසාන පියවර බව සැබෑ සත්‍යය යයි.

මෙම සංසිද්ධිය 2005 රාජපක්ෂ බලයට පැමිණි අවථාවේ සිට 18 වන සංශෝධනය ගෙන එමින් ජිවිතාන්තය තෙක් බලයේ රැඳී සිටීමට ගත්තා වූ  උත්සාහය දක්වා සිදු වූ ගුණාත්මක වෙනස නොහොත් පෙරළිය මෙන්ම, එකී පාලනයට එරෙහිව සුළු වශයෙන් මතු වූ විරෝධයන්ගේ සිට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති බවට පත් වී අවසන් වූ ගුණාත්මක වෙනස නොහොත් පෙරළිය  යන දෙකටම එකසේ අදාලය.

ගුණාත්මක වෙනසක් ඇතිවූ විට ,එසේත් නොමැති නම් පෙරළියක් හෝ විප්ලවයක් ඇති වූ විට ඊට පෙර තිබු ක්‍රියාකාරකම් ඒ අයුරින්ම සමජය තුළ පැවැතිය නොහැක. උදාහරණයක් ලෙස සුදු වෑන් වලින් පැමිණ මිනිසුන් පැහැර ගෙන ගොස් මරා දැමීම,  උද්ඝෝෂණ වලට වෙඩි තබා උද්ඝෝෂකයන් මරා දැමීම,  වෙනත් දේශපාලන මත දරන්නන්ට ශරීරිකව පහරදීම හා අඩන්තේට්ටන් කිරීම යනාදී බොහෝ   දේ සිදුවිය නොහැක. කලාතුරකින් හෝ එසේ සිදු වුවහොත් ඊට සම්බන්ඳ වූ පිරිස් නීතිය හමුවට පමුණවා නීත්‍යානුකූලව දඬුවම් දීම කඩිනම් වීම යනාදීය ගුණාත්මක වෙනසකින් පසුව සිදුවිය යුත්තකි.

එහෙත් පසුගිය ජනවාරි 08 වැනිදා සිදු වූ දේශපාළන විප්ලවය උදෙසා ප්‍රමාණාත්මක වෙනස්කම් සිදුකිරීමට  පෙරමුණ ගෙන කර උර දුන් , ප්‍රමුඛ පෙලේ බුද්ධිමතකු වූ නිර්මාල් රංජිත් දේවසිරි ට සිදු කළ අමානුෂික පහරදීමට සහභාගි වූ  හෝ  ඊට අනුබල දුන් හෝ කිසිවෙකුට එරෙහිව  හෝ මේ දක්වා කිසිදු නීත්‍යානුකූල පියවරක් ගෙන නැත.

එසේ නම් පසුගිය ජනවාරි 08 වැනිදා සැසැබවින්ම දේශපාලන විප්ලවයක් සිදු වී ඇද්දැයි ඉතා හොඳින් නිරීක්ෂණය කිරීමට දැන් කල් යල් පැමිණ ඇත.

ජනවාරි 08 වැනිදා ලක්ෂ 62 කට අධික ජනතාවක් විසින් පරාජයට පත්කළ  මැර දේශපලනය,  ඒකාධිපති වියරුව,  පවුල්වාදය,  භීෂණය තුන් මසක් ඉකුත් වන්නටත් මත්තෙන් නැවත හිස ඔසවමින් තිබෙන බව දැන් ඉතා පැහැදිලිය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන ආ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් වලක්වා ගන්නට ගත් උත්සාහයත්, අවසානයේ එකී ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ඉතා තුච්ඡ ආකාරයට දුර්වල කළ අයුරුත් සැලකිල්ලට ගත් විට, ජනවාරි 08 වුණා යැයි කියන විප්ලවය පරාජයට පත් කිරීමේ ප්‍රතිවිප්ලවය ආරම්භ වී ඇති අයුරු ඉතා පැහැදිලිය.

වාසුදේව නානායක්කාර , දිනේෂ් ගුණවර්ධන  , විමල් වීරවංශ ඇතුලු බොහෝ අය පාර්ලිමේන්තුව තුළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය  සම්පූර්ණයෙන් කඩාකප්පල් කිරීමට දැරූ තුච්ඡ හා දීන උත්සාහයෙන් දින දෙකකට  පසු වාසුදේවලාම කැඳවූ මැරයන් නිර්මාල් රංජිත් දේවසිරිට ප්‍රහාර එල්ල කිරීම මේ අනුව අරුමයක් විය නොහැක.

ජනවාරි 08 විප්ලවයේ ජයග්‍රාහකයා වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. එසේ වුයේ ඔහු ජනාධිපති පදවියට පත්වීමෙන්ය. රනිල් වික්‍රමසිංහ මහතා ද අගමැති පදවියට පත්වීමෙන් ඔහුද  දින 100 කට හෝ ජයග්‍රහයකු වී ඇත. මහින්ද රාජපක්ෂ  වැනි සර්ව බලධාරී ඒකාධිපතියාට අභියෝග කරමින් මෛත්‍රීපාල මහතා සමග ප්‍රජාතන්ත්‍රවාදය  ආරක්ෂා කිරීම උදෙසා ජනතාව වෙත ආ දුමින්ද දිසානායක , කේ. ඩී. එස්. ගුණවර්ධන ,  රාජිත සේනාරත්න , හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා  සෝලංගාඅරච්චි වැනි අයට මෙන්ම ලිබරල් පක්ෂයේ රජීව් විජේසිංහ වැන්නවුන්ට ද එදා ඔවුන් ගත් මඟ නිසා මතු වූ ජීවිත තර්ජන කොපමණද යන්න කිසිවෙකුට මේ තරම් ඉක්මනට අමතක විය නොහැක.

එහෙත් ජනවාරි 08 විප්ලවයෙන්  පසු අද තත්ත්වය කුමක්ද?  ජනවාරි 08 මහින්ද රාජපක්ෂව නැවත ජනාධිපති කරවීම වෙනුවෙන්  සෑම තුප්පහි ක්‍රියාවක්ම සිදුකළ පිරිස , මහින්දව පරදවා ජයගත් මෛත්‍රීපාල මහතා සමඟ ඉදිරි පෙළය .  හිරුණිකා , සෝලංගාරච්චි වැනි පිරිස බොහෝ ඈතය.

ජනවාරි 08 වැනිදාට මාස තුනකට පෙර ජීවිත තර්ජන නොතකා යහපත් දේශපාලන පෙරළියක්  වෙනුවෙන් අභීත තීරණ ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම හිරුණිකාලාට මෙසේ නම් , ඊට දීර්ඝ කාලයකට පෙර සිට ජීවිත තර්ජන නොතකා ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ඒකාධිපති වියරුව පරාජය කිරීම වෙනුවෙන් කටයුතු කළ නිර්මාල් රංජිත් දේවසිරිලාට  පහර දෙන විට නෑසූ කන් ඇතිව බලා සිටීමට ජනවාරි 08 විප්ලවයේ ජයග්‍රාහකයන් ක්‍රියා කිරීම අරුමයක් විය නොහැක.

උඩුවේ ධම්මාලෝක , මුරුත්තෙට්ටුවේ ආනන්ද වැනි  රාජපක්ෂ ගැති හිමිවරුන් සනහා සංතර්පණය  කරවීම උදෙසා මෛත්‍රී - මහින්ද සාකච්ඡා තව තවත් ඉදිරියට යන විට , කම්බ හොරු රකිමින් මහින්ද අගමැති අපේක්ෂකයා කරවන තැනටම ජනවාරි 08 ' විප්ලවය ' ගමන් ගනු ඇත. එවිට නිර්මාල් ගෙන් නො නැවතී සාධාරණ සමාජයක් උදෙසා කෝට්ටේ නාගවිහාරයටම  ගොස් මාදුළුවාවේ සෝභිත හිමියන්ට    ‘යකඩ පොලු ’ දාන කර්මයක් සිදු කිරීමට  මහින්දවාදී මැරයන් විසින් යහපාලන ආණ්ඩු සමය තුලදීම කටයුතු සම්පාදනය කළ හොත්  ඒ ගැනද පුදුම විය යුතු නැත.

 

 

 

විශේෂාංග