22 January 2018
RSS Facebook Twitter   

ස්වෛරීත්වය, වරාය නගරය සහ දලයි ලාමා - ගනනාථ ඔබේසේකර

dalailamaසති කිහිපයකට පෙර විශ්ව විද්‍යාල සගයන් සංවිධානය කොට දිල්ලි විශ්ව විද්‍යාලයේ පවත්වන්ට යෙදුණු සම්ම්න්ත‍්‍රණයකට සහභාගී වීමේ භාග්‍යය මට ලැබුණි. එම සම්මන්ත‍්‍රණයේ මුලසුන හෙබැවූයේ, 14 වැනි දලයිලාමා තුමා වන අති උතුම් ටෙන්සින් ග්යැට්සෝ ය. සමකාලීන අධ්‍යාපනික ආකෘතීන් තුළ බෙහෙවින් විරල, කරුණාව සහ දයාව පිළිබඳ පුරුෂාර්ථ අන්තර්ගත කරගත හැකි වන අයුරින් ළමුන්ගේ ලෞකික අධ්‍යාපනය සංවර්ධනය කරගත හැක්කේ කෙසේද යන්න සම්මන්ත‍්‍රණයේ තේමාව විය. සාමාන්‍ය බෞද්ධයන්ගේ හෘද සාක්ෂිය හැඩගැන්වීමෙහිලා ජාතක කතාවල ඇති වැදගත්කම ගැන ආරම්භක දේශනයේදී මා කතා කළ අතර, අනිත් දේශක සගයන් බි‍්‍රතාන්‍ය කොලොම්බියාව, භූතානය, මොංගෝලියාව සහ වියට්නාමය වැනි තෝරාගත් ස්ථාන කිහිපයක සාර්ථක අධ්‍යාපනික ආකෘතීන් ගැන කරුණාවේ කේන්ද්‍රීයත්වය හරහා කරුණු දැක්වූහ. තවත් අය, මොළය පිළිබඳ පර්යේෂණාත්මක අධ්‍යයනයන් හා විපස්සනා භාවනාවේ සාධනීය ගුණාංග ගැන කතා කළහ. ඉදිරිපත් වූ දේශන ගැන සම්මන්ත‍්‍රණය මුළුල්ලේ සිය අදහස් දැක්වූ දලයි ලාමා තුමා, බෞද්ධ දයාව සහ අපේ කාලයට එහි ඇති අදාළත්වය පිළිබඳ ස්වකීය ගැඹුරු ප‍්‍රඥාව සමග මුසු කරමින්, සභාවේ ප‍්‍රශ්නවලට ප‍්‍රතිචාර දැක්වූහ. කථිකයන් හෝ ඒ විශාල සභාවේ සිටි ශිෂ්‍යයන් හෝ සැදැහැවතුන් අතරින් කිසිවෙකු හෝ මේ සාකච්ඡාවට දේශපාලනය වැද්ද නොගත් බව මෙහිදී කිව යුතුව තිබේ. තවද, මා ඇතුළු එතුමා හමු වූ කවුරුත්, උන්වහන්සේ සතු අව්‍යාජත්වයත්, බුදුදහම සම්බන්ධයෙන් උන්වහන්සේ තුළ පැවති ගැඹුරු අවබෝධයත් ගැන සේම, එතුමාගෙන් නික්මෙන සෙයක් පෙනුණු නිහතමානී භාවයත්, පුද්ගල අනුහසත් ගැන උදක්ම පැහැදුණහ. බෞද්ධ දර්ශනය පිළිබඳ එතුමාගේ කෝෂ්ඨාගාර පාණ්ඩිත්‍යය ගැන අමුතුවෙන් කිව යුතු නැත. එම ඥානය, සාමාන්‍ය බෞද්ධයන් සඳහා ලියැවුණු එතුමාගේ ජනප‍්‍රිය ලේඛන තුළ සේම, ‘‘තනි අණුවක් තුළ පවතින සමස්ත විශ්වය’’ වැනි විද්වත් කෘති තුළත් අපට හමු වෙයි. බුදුන් වහන්සේ විසින්ම මුලින් සූත‍්‍රගත කළ පටිච්ච සමුප්පාදය හෙවත් ‘තත්වාරෝපිත සම්භවය’ පිළිබඳ සාරවත් සාකච්ඡුාවකට අමතරව, විද්‍යාව සහ ආධ්‍යාත්මිකත්වය එකට මුණගැසීම ගැන මේ කෘතිය තුළ උන්වහන්සේ සාකච්ඡුා කරති.

මා මෙය ලියන්නේ, එතුමා ශ‍්‍රී ලංකාවට සැපත්වීම කෙරෙහි අධානග‍්‍රාහී ආකාරයෙන් චීනය විරෝධය පෑම ගැන මා තුළ ඇති කණස්සල්ල හේතුවෙනි. එසේම, වඩාත් විවෘත සමාජයක් නිර්මාණය කිරීමෙහිලා කැප වී සිටින මෛත‍්‍රීපාල සිරිසේන ආණ්ඩුවත්, කලින් පැවති ආණ්ඩු සේම, එම විරෝධයට යට වේදැ යි පවතින බියද කරණකොටගෙනයි. බොහෝ උගත් ගිහියන් සහ පැවිද්දන් සේම මමත් දලයි ලාමාතුමාට කතා කෙළෙමි. ඔහුට අවශ්‍ය කරන එකම දෙය වන්නේ, වන්දනාකරුවෙකු වශයෙන් ශ‍්‍රී ලංකාවට සැපත් වීමයි. ඒ සියල්ලටමත් වඩා, බුදුන් වහන්සේව නියෝජනය කෙරෙන දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමයි. ඒ කර්තව්‍යය සඳහා බෞද්ධ වන්දනාකරුවෝ, කිසි බාධාවකින් තොරව කාලාන්තරයක් තිස්සේ මෙහි ඇවිත් තිබේ. ඉතිං, බුදුන්ගේ ස්පර්ශයෙන් පූජණීයත්වයට පත්ව ඇතැයි බොහෝ ශ‍්‍ර‍්‍රී ලාංකික බෞද්ධයන් අදහන මේ දේශයට පැමිණීම, දලයි ලාමා තුමාට පමණක් නොව, වෙනත් ඕනෑම බෞද්ධ වන්දනාකරුවෙකුට වුව වෙනත් රටක උවමනාව පරිදි තහනම් වීම, අපේ ස්වෛරීත්වය අප ජාතියක් වශයෙන් අහිමි කර ගැනීමක් සහ දේශපාලනික බලපෑමකට නතු වීමක් වශයෙන් අප විසින්ම භාර ගැනීමකි.

මේ ස්වෛරීත්වය අහිමි කර ගැනීම, ‘වරාය නගර’ ව්‍යාපෘතියෙන් මනාව විශද වෙයි. ඇතැම් විවේචකයන්ට අනුව, මේ ව්‍යපෘතිය භාර දී ඇත්තේ, අඩමාන කැරැට්ටුවක් ඇති චීන සමාගමකට බව කියැවේ. අවසානයේදී චීන ආණ්ඩුව හෝ එයින් බලය ලත් වෙනත් ඒජන්තයන් වෙත අපේ වරායේ, කුඩා මුත් වැදගත් ඉඩම් ප‍්‍රමාණයක අයිතිය පැවරෙනු ඇත. විසි වැනි සියවස තුළ අපේ රටේ යම් භූමි භාගයක ස්වෛරී අයිතිය අපේ කැමැත්තෙන් අත්හල ප‍්‍රථම අවස්ථාව මෙයයි. චීන නෞකා සහ අහස් යාත‍්‍රාවන්ට අපේ මුහුදේ හෝ ගුවනේ අබාධිතව සැරිසැරිය හැකි බවක් මෙයින් අදහස් වේද? මේ සම්බන්ධයෙන් එක දෙයක් පාඨකයාට මතක් කර දෙනු කැමැත්තෙමි. ඉතිහාසය පුරාම අපේ රජවරුන් රටක් වශයෙන් ලංකාවේ ඒකාග‍්‍රතාව සැළකිල්ලට ගෙන ඇත. විදේශ ආක‍්‍රමණිකයන් සිටියේ, අනාරාධිතවයි. ජාතියේ ඒකාග‍්‍රතාව පිළිබඳ ඒ හැඟීම, අප බි‍්‍රතාන්‍ය යටත්විජිතයක් බවට පත්වූ අවස්ථාවේ පවා බලවත්ව තිබුණි. එබැවින්, වරාය නගර ව්‍යාපෘතියට එකඟ වන අවස්ථාවේ, රටේ ජාතික ස්වෛරීත්වය කැප කිරීමට අපේ දේශපාලන නායකයන් එකඟ වීම මාව තුෂ්ණීම්භූත කරවයි. එසේ ජාතියේ ඒකාග‍්‍රතාව කැප කිරීමට ඔවුන් පෙළැඹුණේ නොදන්නා කමටද, නැතහොත් යම් රහස්‍ය අභිප‍්‍රායක් නිසාද යන්න සොයා බැලිය යුතුය.

මේ වරාය නගර ව්‍යාපෘතිය නිසා වෙරළබඩ පරිසරය බරපතල අහිතකර ප‍්‍රතිවිපාකවලට යට විය හැකි බවද විවේචකයන් පෙන්වා දී තිබේ. එමෙන්ම, ධීවරයන්ගේ ජීවිකාවත් අනතුරට ලක්විය හැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ. මුහුදුබඩ වාසීන්ගේ අනාගතයට අදාළ මේ ප‍්‍රශ්න ගැන කතෝලික පල්ලි ධූරාවලිය බොහෝ කොට නිශ්ශබ්දව සිටීම මට පුදුමයකි.

කෙසේ වෙතත්, මගේ ප‍්‍රශ්නය ඊට තරමක් වෙනස් ය. වෙනත් අයත් එය පෙන්වා දී තිබේ. එනම්, වරාය නගරය සාර්ථකව ගොඩනැගීම සඳහා මුහුද ගොඩ කිරීමට අවශ්‍ය කරන ගල්, වැලි සහ බොරළු සපයාගත යුත්තේ අපේ පොළොව හෑරීමෙනි. ඒ පස්, වෙන කොහෙන් නම් එන්නද? මේ කාලයේ ගොඩනැගෙනමින් පවතින මහා මාර්ග දෙසත්, සාමාන්‍ය වැසියන් සිය නිවාස සහ හෝටල් ආදිය ගොඩනැංවීම් දෙස බලද්දීත්, වෙනත් දැනුවත් පුරවැසියන් සේ මමද, පරිසරය ගැන වැඩි තැකීමකින් තොරව කෙරෙන යෝධ පරිමාණයේ පස් හෑරීම් ගැන කණස්සල්ලට පත්වෙමි. එසේ තිබියදී, වරාය නගර ව්‍යාපෘතිය සඳහා වන අසීමිත ඉල්ලූමක් සැපයීම වෙනුවෙන් තවත් මොන තරම් නම් පරිසර විනාශයක් සිදු කෙරෙයිද?

මීට අදාළව, අප පහසුවෙන් අමතක කරන එක් වැදගත් කාරණයක් සඳහන් කරනු කැමැත්තෙමි. ශ‍්‍රී ලංකාව, වර්ග කිලෝ මීටර් 24,000 කට පමණක් සීමා වන කුඩා දිවයිනකි. එය, විසි ලක්ෂයකට අඩු ජනගහනයක් වෙසෙන, වෙස්ට් වර්ජිනියා ප‍්‍රාන්තයේ විශාලත්වයට සමානයි. එහෙත්, අපේ ජනගහනය ඔස්ටේ‍්‍රලියාවේ මුළු ජනගහනයට සමීපයි. පරිමාණයෙන් ඒ සා කුඩා වන සහ ජනගහනයෙන් ඒ සා විශාල වන රටක සෑම බිම් අඟලක්ම සකසුරුවමෙන් ආරක්ෂා කරගත යුතු වන අතර, පස් සහ ගස් ගල් අහිමි කරවන, මහ පරිමාණ පරිසර විනාශයන්ට තුඩුදෙන යෝධ කැණීම් නොඉවසිය යුතුය. චීනය, රුසියාව සහ ඇමරිකාව වැනි රටවල්වලට ඊට ඔරොත්තු දීමේ හැකියාව තිබේ. එහෙත් ලංකාව වැනි රටක මෙවැනි ව්‍යාපෘති අරඹන විට, අවශ්‍ය කරන පස් වැලි ආදිය එම ව්‍යාපෘති යෝජනා කරන රටවල්වලින් ගෙන්වා ගැනීමේ ක‍්‍රමයක් තිබිය යුතුය.

අපේ රටේ වර්තමානය දෙස බලන විට, වරාය නගරය සහ වෙනත් එවැනි ප‍්‍රධාන පෙළේ සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි කිසි බලපෑමක් නොකරන ඇමරිකාව අපේ දේශපාලඥයන් විසින් භූතයෙකු සේ මවා පෙන්වීමත්, මාධ්‍ය විසින් එම මතය හුවාදැක්වීමත් එක්තරා ආකාරයක අපබ‍්‍රංසයකි. ඒ වනාහී, සැබෑ චූදිතයා නිදහස් කොට වෙනත් කෙනෙකුට වරද පටවන, කූටෝපායකි. කිසි නිදහස් මතධාරියෙකු, ඉරාකයේදී හෝ ඇෆ්ගනිස්ථානයේදී හෝ වෙනත් තැනකදී ඇමරිකාව කළ අළුකුත්තේරුකම් වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. එහෙත්, අදහස් පළ කිරීමේ පුළුල් නිදහසක් ඒ රටේ ඇති බව, අඩු වශයෙන් කෙනෙකු පිළිගත යුතුව තිබේ. මේ මොහොතේ පවා, පාර්ලිමේන්තුවේ ප‍්‍රබල පුද්ගලයෙකු දූෂණ චෝදනා සම්බන්ධයෙන් එම රටේ නීතිය ඉදිරියට පමුණුවා ඇත. ලංකාවේ දූෂණ අත්දැකීම් හා සසඳද්දී එරටෙන් වාර්තා වන ඇතැම් දූෂණ ඉතා නොවැදගත් වුවත්, එවැනි සිදුවීම් සම්බන්ධයෙන් පවා එරටේ නීතිය ක‍්‍රියාත්මක වෙයි.

ලෙඩ රෝග සඳහාත් ඇමරිකාවට යන, සිය ඇඹෙනියද සමග ඇමරිකානු ජනාධිපතිවරයාව විවිධ වතාවන්හි හමු වී ඔහුට හෘදයාංගමව සමාචාර කොට ඇති අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් මෙකී ඇමෙරිකානු-විරෝධී මතය අනුදැකීම පුදුමයකි. ඒ මදිවාට, ඔහුගේ සහෝදරයන් තිදෙනාත් ඇමරිකානු පුරුවැසියන් වන අතර, ඔවුන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන්නේද ඒ යක්ෂ භූමියේම යැයි මම සිතමි. මෙය, අපේ තවත් බොහෝ ඊනියා දේශප්‍රේමීන්ටත් අදාළ සත්‍යයකි. ඒ දේශපේ‍්‍රමීන්, මෙරටේ ප‍්‍රශ්නයක් ඇති වෙතොත් පැන ගැනීමට බලන්නේද, ඇමරිකාවට හෝ වෙනත් බටහිර රටකට ය. තම දරුවෙකු, හොඳ අධ්‍යාපන ක‍්‍රමයක් තිබෙන චීනයට යවා අධ්‍යාපනය ලබා දීමට සිහිනෙන්වත් ආශා කරන දිළින්දෙකු මිස අන් කවරෙකු නම් සිටිත්ද? ඇතැම් ධනපති චීනුන් පවා අද අධ්‍යාපනය සඳහා සිය දරුවන් යවන්නේ ඇමරිකාවටයි.

දේශපාලනික සහ මූල්‍යමය වියපැහැදම් කවරාකාර වෙතත්, වරාය නගර ව්‍යාපෘතිය හෝ වෙනත් එවැනි ඕනෑම ව්‍යාපෘතියකදී සැළකිල්ලට ගත යුතු ප‍්‍රධාන කාරණය වන්නේ, පාරිසරික විනාශයන්ට පහසුවෙන් ගොදුරු විය හැකි, සීමිත භූමි ප‍්‍රමාණයක් සහිත, ලංකාව වැනි කුඩා රටක ඒකාග‍්‍රතාව යැයි මම විශ්වාස කරමි. ඒ සම්බන්ධයෙන් ගත් විට, මේ ව්‍යාපෘතියේ අංගයක් වශයෙන් ගැනෙන සහ ශ‍්‍රී ලංකාවේ ජනතාවට වැඩදායක යැයි කියන, ගොඩනැගිලි, හෝටල් සහ කැසිනෝ ආදී යෝධ යටිතල පහසුකම් ගැන සළකා බැලීම වටී. මෙය, මන:කල්පිත විචිත‍්‍ර සිහිනයකි. එහි දේපොල හිමි කර ගැනීමේ වරම භුක්ති විඳිය හැක්කේ කීයෙන් කී දෙනාටද? හෝටල් සහ වෙනත් සේවාවන්හි රස බැලිය හැක්කේ කීයෙන් කී දෙනාටද? වේටර්වරුන්ට, කම්කරුවන්ට සහ ඇතැම් කළමනාකරුවන්ට එයින් සෙතක් විය හැකිය. එහෙත් අද උපරිම වශයෙන් රුපියල් විසිපන් දහසක සොච්චම් ආදායමක් උපයන වැඩ කරන ජනතාවගේ ජීවන තත්වය එයින් උසස් වේදැ යි යන්න සැකයෙකි.

එම ව්‍යාපෘති තුළ අධිකතර ආයෝජන යොදවා ඇති සහ මත්තටත් ආයෝජන කිරීමට බලාපොරොත්තු වන ජෝන් කීල්ස් වැනි වෙළඳ සමාගම් ලංකාවේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් අපේක්ෂා කරන වික‍්‍රමාන්විත නව ලෝකය එයද? කොටස් වෙළඳපොළේ වැදගත් කාර්ය භාරයට මා විරුද්ධ නැති බව මෙහිදී පැහැදිළිව කිව යුතුය. මගේ ප‍්‍රශ්නය ඇත්තේ, වරාය නගරය තුළ ජෝන් කීල්ස් සහ වෙනත් සමාගම් දරණ භූමිකාව ගැන පමණි. එහිදී පැනනැගෙන සරළ ප‍්‍රශ්නය මෙවැන්නකි: මෙවැනි සමාගම් යෝජනා කරන ව්‍යාපෘති ක‍්‍රියාත්මක වෙතොත්, එයින් උත්පාදනය කෙරෙන ධනයෙන් කොපමණ කොටසක්, කවර ආකාරයෙන්, ලාංකීය සාමාන්‍ය ජනතාවගෙන් බහුතරයක් වෙත ගලා යන්නේද? ඇමරිකාව වැනි ධනවත් රාජ්‍යයන් තුළ පවා, සමාගම්වල කොටස් හිමිකරුවන් වන්නේ, පුරවැසියන්ගෙන් සියයට 10 ක් පමණක් බව අපි දනිමු. එහෙත් ඒ ධන සංයුතිය බෙදී යන්නේ කෙසේද යන්න මම නොදනිමි. ඊනියා දියුණු ලෝකයේ හැම තැනකම ආදායම් විසමතා තිබේ. ඇමරිකානු ජනගහනයෙන් අඩු වශයෙන් අඩක්වත් ජීවත් වන්නේ, දරිද්‍රතා මට්ටමින් පහළ හෝ අඩු ආදායම් කාණ්ඩයේ ය. යෝජිත වරාය නගර ව්‍යාපෘතියෙන් අපේක්ෂිත ආදායම ශ‍්‍රී ලාංකිකයන්ට වැඩදායී වන්නේ කෙසේද යන්නත්, මේ ව්‍යාපෘතියේ ප‍්‍රධාන නියමුවන් සහ කොටස් හිමියන් වන විදේශිකයන් ඉන් කොපමණ ප‍්‍රතිලාභ ලබයිද යන්නත් ප‍්‍රශ්න කිරීම සාධාරණ වන්නේ එබැවිනි. වරාය නගර ව්‍යාපෘතියේ ආයෝජන හරහා සමස්තයක් වශයෙන් රටට සෙතක් වනු ඇතැයි යන විචිත‍්‍ර සිහිනය විමසා බැලිය යුත්තේ, ජාතියේ අවශ්‍යතාවන්ට ප‍්‍රමුඛත්වය දිය යුතුය යන කොන්දේසියට යටත්ව බව මෙහිදී අවධාරණය කළ යුතුව තිබේ.

ජාතියේ ප‍්‍රමුඛ අවශ්‍යතාවන් සම්බන්ධයෙන් වන ඒ අනවරත ප‍්‍රශ්නය, චීනය සමග ඇති කරගත් ගිවිසුමත්, එය වෙනස් කළ නොහැකිය යන අදහසත් වෙත අපේ අවධානය යොමු කරවයි. නූතන යුගයේ ඇති කරගන්නා ගිවිසුම්, කිසි විටෙක අචල පූජණීයත්වයක් භජනය කරන්නේ නැත. ඒවා නිරන්තරයෙන්, යළි යළිත් කෙරෙන සාකච්ඡුා හරහා ප‍්‍රමන්ත‍්‍රණය කෙරේ. සංශෝධනය කෙරේ. ඇතැම් විට, මුළුමණින් අවලංගු කෙරේ. නැතහොත්, නිකංම ඉවත දැමේ. චීන ඉතිහාසයෙන් මීට අනන්තවත් උදාහරණ ඇති බවට සැකයක් නැත. වරාය නගරය සම්බන්ධයෙන් වන කිසි ගිවිසුමක් ජනතාව සමග නිසියාකාරයේ සාකච්ඡුාවකට බඳුන් කොට නැත. ඇතැමුන් දැනටමත් පුවත්පත් හරහා පෙන්වා දී ඇති පරිදි, මේ සා විශාල ව්‍යාපෘතියක්, හැකි තාක් මහජන සංවාදයට ලක්කොට, ජනමත විචාරණයකටද බඳුන් කළ යුතුව තිබුණි. මේ ගිවිසුම ඉරා දැමිය යුතු යැයි මම යෝජනා නොකරමි. එහෙත්, එහි අඩංගු අමිහිරි කොන්දේසි, සාකච්ඡුා මාර්ගයෙන් වෙනස් කරගත යුතුව තිබේ. එය දීර්ඝ වූත්, දුෂ්කර වූත් ක‍්‍රියාවලියකි. එහි අවසානය කෙසේ වේදැ යි දැන් පුරෝකථනය කිරීම අමනෝඥ ය.

අවසාන වචනයක් කිව යුතුව තිබේ. මා හෝ මා දන්නා කියන වෙනත් අය හෝ චීන-විරෝධී ය යන අදහසක් මෙමගින් ඇති කරගත යුතු නැත. අපේ විවේචනය වන්නේ, නිසි උපදේශනය සහිත චීන දේශපාලනික සංස්ථාවේ කුඩා කොටසක්, කුඩා සහ දුර්වල ජාතියක පොදු උවමනාවන්ට පසමිතුරු නගරයක් නිර්මාණය කිරීම ගැන පමණි. බොහෝ කලකට පෙර මා චීනයට ගොස් තිබේ. දේශන පවත්වා තිබේ. ඒ සෑම තැනකදීම මා දැක්කේ, කරුණාවන්ත බව සහ ආචාරශීලීත්වයයි. ඇමරිකාවේදී මට මුණගැසී ඇති චීන විද්වතුන්ද එසේ ය. මා සහ මගේ බොහෝ ශ‍්‍රී ලාංකීය සගයන්ට ප‍්‍රශ්නය ඇත්තේ, අපේ යුගයේ චීනයේ චර්යාවට අදාළව මතුවන ඇතැම් දේශපාලනික ගැටළු ගැනයි. ඒ සම්බන්ධයෙන් අපේම බලධාරීන් සිය ක‍්‍රියාකලාපය තුළින් රටේ නිදහස සහ ඒකාග‍්‍රතාව පාවා දීම අපේ ගර්හාවට ලක්විය යුතුව තිබේ.

*2015 මැයි 3 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Sovereignty, Port City & The Dalai Lama නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

 

 

විශේෂාංග