22 January 2018
RSS Facebook Twitter   

රෝගාතුර වන්නේ ප‍්‍රභූ සැකකරුවන් පමණද?

 

prisonersමෑත ඉතිහාසය පුරාම අපට අසන්නට දකින්නට ලැබුණේ බන්ධනාගාර ගතවන ප‍්‍රබලයන් ඒ සමඟම අසනීප වීමය. අසාධ්‍ය වීමය. රෝහල්ගත කිරීමය. තිස්ස අත්තනායක, බැසිල් රාජපක්ෂ වැනි ප‍්‍රබලයන් බන්ධනාගාර ගතවීමත් සමඟම ඒ තත්ත්වය ප‍්‍රබල ලෙස ඉස්මතු වන්නට විය. මේ සිදුවීම් ඇස ගැටෙන මොහොතක් පාසා මිනිසුන්ගේ සිත් තුළ මහත් ආන්දෝලනයක් මතු වන්නට වූහ. ‘මොකක්ද මේ බන්ධනාගාර රෝහල’ යන්න ඒ කුකුසයි. මන්ද බන්ධනාගාර රෝහල සියැසින් දැක බලා ගැනීමට අවස්ථාව උදාවන්නේ එහි ඇතුළු වන පුද්ගලයන්ට පමණි. ඒ වාසනාව ලබන්නට අවාසනාවට සිරගතව රෝගියකු විය යුතුය.

 

එබැවින් මේ බන්ධනාගාර රෝහල යනු කුමක්දැයි සොයා බැලීමට අපි සිතුවෙමු. මෙරට තුළ පවතින සෑම බන්ධනාගාරයක් ආශ‍්‍රිතවම බන්ධනාගාර රෝහල් ස්ථාපිත කර ඇත. මෙම රෝහල්වල ආරම්භයද බන්ධනාගාර ආරම්භ කළ කාල පරිච්ජේදය දක්වා විහිද යන්නේය. හදිසියේ රෝගාතුර වන රැඳවියන් වෙනුවෙන් අවශ්‍ය ප‍්‍රතිකාර ලබාදීම උදෙසා මෙම රෝහල් ඉදිකෙරිණි. අද වනවිට එම රෝහල් ඉතාමත් හොඳ තත්ත්වයේ පවතී. ගැහැනු හා පිරිමි වශයෙන් වෙන් වෙන්ව රෝහල් වාට්ටු වෙන්කර තිබීමද සුවිශේෂී ලක්ෂණයකි.

මේවායේ සේවය සඳහා යොදා ඇත්තේ සුදුසුකම් ලත් වෛද්‍යවරුන්ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු සිය කැමැත්තෙන් ස්වේච්ඡා සේවයේ යෙදෙන්නො වෙති. මෙම රෝහල තුළ වෛද්‍යවරුන්ට අමතරව හෙද හෙදියන් හෝ රෝහල් කාර්ය මණ්ඩලයක් නොමැත. ඒ සඳහා දායකත්වය ලබා දෙන්නේ දීර්ඝකාලීන සිර දඬුවමකට යටත්ව බන්ධනාගාර ගතව සිටින, ඉතා හොඳ කල්කිරියාවෙන් පසුවන සිරකරුවන්ය. බන්ධනාගාර භාෂාවෙන් ඔවුන් හඳුන්වන්නේ රෝහල් පාටිය ලෙසය. ඔවුන්ගේ සහයෝගය ඇතිව හදිසි අවශ්‍යතාවලදී කඩිනම් ප‍්‍රතිකාර ලබාදීමට ජේලර්වරු සහ වෛද්‍යවරු සූදානම්ව සිටිති.

මේ රෝහල් පද්ධතිය දෙස බැලීමේදී ඉතා හොඳ සනීපාරක්ෂක තත්ත්වයක් පවතින අයුරු පැහැදිලි වේ. අංග සම්පූර්ණ නිමාවෙන් යුතු ඇඳන්, මදුරු දැල් ඇතුළු පහසුකම් සහිත රෝහල් වාට්ටු මෙම රෝහල් තුළදී දැකගත හැකිය. විශේෂිත රෝගීන් සඳහා වෙන්කරන ලද කාමරද දැකගත හැකිය. බෝවන රෝගවලට ගොදුරු වන අය රඳවා තබා ගැනීමට වෙන් කරන ලද ස්ථානද මෙහි පිහිටුවා තිබෙන හෙයින් වසංගත තත්ත්ව පැතිර යාමේ අවදානම අඩුය. මේ පහසුකම් කොතෙක් තිබුණද දැඩි අවදානමක් දැරීමට සිදුවන කර්තව්‍යයන් වෙනුවෙන් මේ රෝහල් පද්ධතිය තුළ ඉඩකඩ වෙන් නොකිරීමට වග බලා ගනී. ඒ සිරකරුවන්ගේ ජීවිත ආරක්ෂාව ගැන සිතමිනි. දරු ප‍්‍රසූතියක් වැනි කටයුතුවලට මෙම රෝහල් පද්ධතිය කිසිසේත් භාවිත නොකරන අතර එවන් තත්ත්වයකට පත්වූවන් රජයේ රෝහලක් වෙත මාරුකර යැවීමට කටයුතු කරයි. මෙම සෑම කර්තව්‍යයන් පිළිබඳ සොයා බලා කටයුතු කරනුයේ බන්ධනාගාර අධිකාරියයි. එබැවින් හදිසියේ රෝගාතුර වන්නන් මෙලෙස බන්ධනාගාර රෝහලට යොමු කිරීම බන්ධනාගාර ක‍්‍රියාපටිපාටියේ කොටසකි.

මේ යුගයේ හැම කාරණයක්ම තීරණය වන්නේ බලය සාධණය මත - නීතිඥ සාලිය පීරිස්
බන්ධනාගාර ගත වන රැඳවියකු බන්ධනාගාර රෝහලට ඇතුළත් කරනවාද යන්න තීරණය කරන්නෙ බන්ධනාගාර ආඥා පනත යටතේ. එම තීරණය ගන්නෙ බන්ධනාගාර අධිකාරියෙන්. එසේම බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට මාරු කරනවාද, පෞද්ගලික රෝහලකට මාරු කරනවාද කියන දේත් තීරණය කරන්නෙ යම් යම් නීති රෙගුලාසිවලට අනුව. අදාළ රැඳවියා රෝහලට මාරුකර යවන ලෙස බන්ධනාගාරය ආශ‍්‍රිත වෛද්‍යවරයා, නැත්නම් අධිකරණ වෛද්‍යවරයා නිර්දේශ කළ යුතුයි. මේ සම්බන්ධව කතා කිරීමේදී වර්තමාන තත්ත්වය බොහොම වෙනස්. නිවැරැදි නිර්දේශයක් නොමැති නිසා අද වන විට නිසි ප‍්‍රතිකාරයක් ලබාගත නොහැකි වූ රැඳවියන් බොහෝ ප‍්‍රමාණයක් ඉන්නවා. ඛේදවාචකය තියෙන්නේ එතැනයි. බලය හා ධනය එක්ක හැමදේම තීරණය වන යුගයක නීතිය හරියට ක‍්‍රියාත්මක වන පසුබිමක් නැහැ.මේ සඳහා විධිමත් ක‍්‍රමවේදයක් තිබිය යුතුයි. එදා ඒ දේ තිබුණත් අද වෙද්දී යම් යම් හිදැස් පේන්නට තියෙනවා. ඒ දේ නැති වෙලා සියල්ලන්ටම සමාන අයිතිවාසිකම් හිමිවන අන්දමේ පසුබිමක් සකස් විය යුතුයි. එහෙම නොවුණොත් මේ හැමදේම විහිළුවට ලක්වෙනවා වගේම නීතියත් හෑල් ̈වට ලක්වේවි.

නීතියේ සමානාත්මතාව බිඳවැටීම
මෙවන් පහසුකම් යටතේ ලංකාව පුරා ක‍්‍රියාත්මක වන බන්ධනාගාර රෝහල්වල තත්ත්වය එසේ වෙද්දී, ප‍්‍රබලයන්ට පමණක්ම මේ රෝහල්වල රැකවරණය හිමිවීම පිළිබඳ සාමාන්‍ය පොදු ජනතාව තුළ පවතිනුයේ දැඩි අප‍්‍රසාදයකි. රටක නීතිය කාටත් පොදු වෙද්දී එම නීතිය ඇති හැකි පුද්ගලයන් වෙනුවෙන් පමණක්ම මෙලෙසින් ක‍්‍රියාත්මක වෙද්දී මතුවන්නේ ගැටළුවකි, අප‍්‍රසාදයකි, කලකිරීමකි. සැබැවින්ම යම් රටක ජීවත්වන සෑම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකම් හා වරප‍්‍රසාද හිමිවිය යුතුය. එසේ වුවද මෙරට බලපැවැත්වෙන නීතිය ක‍්‍රියාත්මක වන්නේ වෙනත් ආකාරයකටය. ඒ දෙස බැලීමේදී අපිට දක්නට ලැබෙන්නේ මෙම වරප‍්‍රසාද හා අයිතිවාසිකම් ප‍්‍රබලයන්ට පමණක්ම උරුම වන බව නොවේද? එබැවින් මෙය කතා කළ යුතුම කාලීන මාතෘකාවක් ලෙස අපට හැඟිණි.

බන්ධනාගාර රෝහලේ ප‍්‍රකාශිකාවක් සඳහන් කළ අන්දමට රෝහල තුළ ක‍්‍රියාත්මක වනුයේ මෙවැනි තත්ත්වයකි. ඕනෑම පුද්ගලයකුට බන්ධනාගාර ගතවීම යනු දරාගත නොහැකි පීඩනයකි. යම් රෝහල් බලධාරීන්ගේ පුද්ගලයකුට එම පීඩාව අවබෝධ වීමට නම් ඔහු/ ඇය එහි සැබෑ අත්දැකීමට මුහුණ දිය යුතුමය. මෙවන් තත්ත්වයකදී රටේ වැදගත් යැයි සම්මත පුද්ගලයන් ප‍්‍රබල ලෙස පීඩනයට පත්වීම ඉස්මතු වේ. ඒ මෙතුවක් කල් තමන් ජීවත් වූ සමාජ පසුබිම යටතේ ඔහුට මෙවැනි හදිසි දුෂ්කරතාවයක් දරාගත නොහැකි වීමය. මෙවන් හදිසි අවස්ථාවකදී අධි රුධිර පීඩනය, හෘදයාබාධ වැනි රෝගයන්ගෙන් පීඩා විඳින පුද්ගලයන් හදිසියේ රෝගාතුර විය හැකිය. බන්ධනාගාරය තුළ රඳවා ගැනීමෙන් ඇතිවන සංකුලතාවන්ට මුහුණදීම ඇතැමුන්ට අසීරු වනු ඇත. එබැවින් මෙවන් අසීරුතාවකට පත්වේ යැයි අනුමාන කරන රැඳවියන් වෙනුවෙන් වෛද්‍ය පරීක්ෂණයක් පවත්වා අධිකරණ වාර්තාවට අනුව ඔවුන් බන්ධනාගාර රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරේ. එතුළින් බලාපොරොත්තු වන්නේ රැඳවියන්ගේ ජීවිතයට ඇතිවිය හැකි අවදානමෙන් ඔවුන් මුදවා ගැනීමය.

පුද්ගලයා අංකයක් බවට පත්වෙයි
මෙලෙස බන්ධනාගාර රෝහලට යොමුකරන රැඳවියන්ට සුවිශේෂී සත්කාරයන් හිමිවේ යැයි බොහෝ දෙනෙක් අර්ථකථනය කරති. ඔවුන්ට දුරකතන පහසුකම් ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය දේ ලබාදෙනු ඇතැයි චෝදනා කරති. ප‍්‍රභූ පන්තියේ ගරු සැලකිලි ලබාදෙන බව ප‍්‍රකාශ කරති. නමුත් ප‍්‍රකාශයට අනුව රටක නායකයා බන්ධනාගාර ගත වුවද, ඔහු රෝහලට ඇතුළත් කෙරුණද ඔහු/ ඇය නම් කරන්නේ එකම ආකාරයටය.ඕනෑම රැඳවියකු බන්ධනාගාර ගත වීමේදී ඔහුට හිමි අංකයක් ලැබේ. මේ සෑම රැඳවියෙකුටම කවර තරාතිරමේ පසුවුවද එහිදී කතා කරන්නේ එම අංකයට අනුවය. ඔවුන්ට ලබාදෙන පහසුකම් හා සැලකිලිවල කිසිම අන්දමේ විශේෂයක් ලබාදීමේ හැකියාවක් බන්ධනාගාර නිලධාරියාට නොමැත. නමුත් රැඳවියෙකු බන්ධනාගාර රෝහලට ඇතුළු කිරීමේදී ඔහුට විශේෂිත වූ ආහාරපාන ගත යුතු බව වෛද්‍යවරු පවසන්නේ නම් එය ලබාදීම සිදුවේ. ඉන් එහාට ගිය කිසිදු අන්දමේ විශේෂිත බවක් එම රැඳවියාට හිමි නොවේ. රෝහලේ පසුවුවද ඔවුන් පසුවන්නේ දැඩි ආරක්ෂිත රැකවල් මධ්‍යයේය. මෙලෙස රෝහල් ගතවූවන්ගේ තත්ත්වය අයහපත් යැයි හැගුණහොත් බන්ධනාගාර රෝහල් වෛද්‍යවරයාගේ නිර්දේශය මත ඔවුන් ජාතික රෝහලට මාරුකර යැවීම සිදුවේ. එසේ නොමැතිව මොනම අන්දමක හෝ හිතවත්කමකට, හැඳුනුම්කමකට මේ රෝහලට ඇතුළු විය නොහැකි බව වැඩිදුරටත් එම ප‍්‍රකාශිකාව සඳහන් කළාය.

රෝහල් පද්ධතිය තුළින් තොරතුරු එසේ වාර්තා වුවද පිටතින් සිට මේ ප‍්‍රශ්නය දෙස බලන්නන් මෙහි පසුබිම දකින්නේ වෙනස්ම කෝණයකිනි. ඇති හැකි පුද්ගලයන්ට එක ආකාරයකටත්, පොඩි මිනිසුන්ට තව ආකාරයකටත් සලකන ප‍්‍රතිපත්තියක් ලෙස මෙම සිදුවීම් පෙළ අප නෙත ගැටෙන්නේ කාලයක සිටය. මෙවැනි පීඩනයන්ට පත්වන්නේ ප‍්‍රබලයන්ම පමණක්ද? හිතන්නට හදවතක් ඇත්තේ ඔවුන්ට පමණක්මද? පොඩි මිනිසාට, නැති බැරිකමින් පීඩිත වූවන්ට මෙවැනි පීඩනයක් නොදැනෙන්නේද? දඬුවමේ ස්වභාවය ඇසූ සැණින් රෝගී වන්නට ඔවුන්ට හදවතක් නොමැතිද? යන ප‍්‍රශ්න නිරතුරුවම අප සිතට නැගේ.

ඇත්තෝ රෝහලේ නැත්තෝ සිරකුටියේ
දුක සැමට උරුමය, කායික සහ මානසික පීඩනය උරුමය, හැම මිනිසකුගේ පමණක් නොව සතකුගේ ශරීරය වුවද රෝගී තත්ත්වයට පත්වේ. නමුත් මෙරට තාමත් ක‍්‍රියාත්මක වන්නේ ප‍්‍රබල චරිතයන් පිළිබඳ විශේෂයෙන් හිතන්නට පෙලඹුණ සමාජ ක‍්‍රමයකි, දේශපාලන පසුතලයකි. මේ සියල්ල වෙනස් විය යුතුය. රටක ජීවත්වන පුද්ගලයන් කවුරුන් වුවද වරදක් කළේ නම් වරද වරදමය. හැබෑ මුල්‍ය වංචාවලට ලක්වූවෝ බන්ධනාගාර රෝහලටත් එතැනින් ජාතික රෝහලටත් මාරුවෙති. නමුත් හැබෑවටම රෝගී වූවෝ, අත පය පවා අහිමි වූවෝ ඒ වෙනුවෙන් නිසි ප‍්‍රතිකාරයක් ලබාගත නොහැකිව බන්ධනාගාරය තුළ ළතවෙති. බොහෝ දුරට වැලිකඩ බන්ධනාගාරය ආශ‍්‍රිත රැඳවියන්ට සාපේක්ෂව ගත් කල රට පුරා පවතින අනෙකුත් බන්ධනාගාර ආශ‍්‍රිතව රඳවා ඇති රැඳවියන් දැඩි ලෙස පීඩාවට ලක්වන්නේය. මෙම තත්ත්වය වෙනස් විය යුතුය. රැඳවියන් කවුරුන් වුවද සියල්ලන්ටම හිමිවිය යුත්තේ එක සමාන වූ අයිතිවාසිකමකි.

පසුගිය වසර කිහිපය පුරාම ඇතිවූ මෙවැනි සිදුවීම් පිලිබඳ ඇතිවූ කලකිරීම් මත ජනතාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුවකදී මේ සම්බන්ධව ගත යුතු යම් යම් මාර්ගෝපදේශන ලබා දුන්නද, අද වන විට ඒ උපදේශන කොතෙක් දුරට ක‍්‍රියාත්මක වේදැයි යන්න සැක සහිතය. සමාජය හමුවේ වෙස්මුහුණු බැඳගෙන ජීවත් වූ දූෂිතයන්ට චෝදනා එල්ල වන විට මෙලෙස හදිසියේ රෝගාතුර වීමෙන් බලාපොරොත්තු වන්නේ ජනතා අනුකම්පාවය. නීතිය කාටත් පොදු ධර්මතාවක් බව අවබෝධ කරගත යුතුය. ලොකු පොඩි ඇති හැකි භේදයකින් තොරව රටේ ජීවත් වන සැමට නීතිය සමසේ ක‍්‍රියාත්මක වන හෙටක් නිර්මාණය කරගත යුතුම බව පසක් කර දීමට කැමැත්තෙමු.

(රන්දිව - තමාරා පතිරණ)

 

 

 

විශේෂාංග