21 July 2018
RSS Facebook Twitter   

ආසියානු සියවස හා එහි ශ්‍රී ලාංකීය භූමිකාව

john-maangala-9උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් මෙහි සපැමිණි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මැතිනියගෙන් ද, බණ්ඩාරණායක රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ, කීගල් මහතාගෙන් ද අවසරයි. අද දින මෙම විශේෂ  අවස්ථාව සඳහා ඔබ සමඟ එක්වීමට ලැබීම මම මහත් භාග්‍යයක් කොට සලකමි.
 
බණ්ඩාරණායක රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය වනාහි අපගේ අනාගත රාජ්‍යදූතයන් පුහුණුව ලබන ස්ථානයයි.. මෙයට වසර 21 කට පෙර ආරම්භ කරන ලද මෙම ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන පාඨමාලා මගින් අපගේ තානාපති සේවයේ වෘත්තීයමය තරඟකාරීත්වය ඉහල නැංවීම කෙරේ නිරන්තර අවධානය යොමුකෙරෙන අතර තානාපති සේවය සඳහා අවශ්‍ය වන සාකච්ඡා පැවැත්වීම, ප්‍රසිද්ධ කථනය, ආර්ථිකමය රාජ්‍යතාන්ත්‍රික සබදතා පැවැත්වීම, ප්‍රතිපත්ති විශ්ලේෂණය ආදී විෂයයන් පිළිබඳ පුහුණුව ලබා දේ. මේවා වනාහි සෑම රාජ්‍ය තාන්ත්‍රිකයෙක් විසින්ම පුහුණු කල යුතු ඉතා වැදගත් විෂයයන් වේ . මෙම කරුණු ද සිහිතබාගනිමින් ඔබ විසින් මෙම පුහුණුව තුලින් ලබාගත් කුසලතා භාවිතා කිරීමේ දී පිටුවහලක් වනු වස් අද දින මවිසින් “ආසියානු සියවස හා එහි ශ්‍රී ලාංකීය භූමිකාව” යන තේමාව යටතේ කරුණු කිහිපයක් සැකෙවින් ගෙන හැර පෑමට බලාපොරොත්තු වෙමි. 
 
 
ප්‍රතිපත්තිමය කරුණු කෙරේ අවධානය යොමු කිරීමට පෙරාතුව, මෙම මාතෘකාව සම්බන්ධයෙන් ප්‍රවේශයක් ලබාගැනීම සඳහා මෙම කාල වකවානුවේ ඉතා වැදගත් සංසිද්ධියක් වන ආසියාවේ නැගිටීම ගැන සිහි කරනු කැමැත්තෙමි. ආසියානු සියවස උදාකරමින්, ලෝකයේ සියළු ක්ෂේත්‍රයන්හි කේන්ද්‍රස්ථානය බවට ආසියාව පත්වෙමින් සිටින අතර 2030 වනවිට ලෝකයේ විශාලතම ආර්ථික කලාපය බවට පත්වීමේ ලකුණු පහල කරමින් 2013 දී නූතන ඉතිහාසයේ ප්‍රථම වතාවට ආරක්ෂක වියදම අතින් ආසියාව යුරෝපය අතික්‍රමණය කරන ලදි. 
 
ඕනෑම වෙනසක් තුලින් නව අවස්ථා මෙන්ම නව අවදානම් ද ජනනය කරයි. මෙවන් ඓතිහාසික මාරුවීමක දී අප විසින් සිහි තබා ගත යුතු කරුණක් වනුයේ අප අවට මෙන්ම අප රට තුල ද වෙනසකම් රැසක් ඇති වුවත් අපගේ විදේශ ප්‍රතිපත්තීන් හි මුලික හරය එමගින් වෙනස් නොවන බවයි. විදේශ ප්‍රතිපත්ති විෂය තුල සැම විටම රජයේ මූලික වගකීම වනුයේ  සියළු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් ඔවුන් හට සංවර්ධනය සාක්ෂාත් කර ලීමයි. 
 
පසුගිය වසර කිහිපය තුල ශ්‍රී ලාංකේය විදේශ ප්‍රතිපත්තිය රටේ අවශ්‍යතාවය මත පදනම් නොවූ එහෙත් සුළුතරයකගේ අවශ්‍යතාවයන් සපුරමින් බහුතරයේ අවශ්‍යතාවයන් කෙරේ අවධානය යොමු නොකලක් බවට පත්වී තිබිණි. ඒ අනුව අපගේ විදේශ පුතිපත්ති ප්‍රතිසංවිධානය කිරීමේ දී ආසියනු ශතකය මගින් උදාවන අවස්ථා ලකහාගැනීම සඳහාත්, ආසියාවේ නැගිටීම සඳහා උපකාරී වන පරිදි අවදානම් තත්වයන් වලක්වාලීමටත් අවශය පියවර ගත යුතුය. මෙය සිදු කරන ආකාරය පිළිබඳ පුළුල් කතිකාවක් නිර්මාණය කරනු වස් පලමුව අවදානම් තත්වයන් පිළිබඳව ද අනතුරුව මූලික ප්‍රතිපත්ති 3ක් කෙරේ ද අවධානය යොමුකරමින් මෙහිලා කරුණු කිහිපයක් මවිසින් ගෙන හැර පෑමට නියමිතය. 
 
පශ්චාත් ශීත යුධ ඒකධ්‍රැවීය ලෝක රටාව අවසන් කරමින් ආසියාව සිය නැගී සිටීම සනිටුහන් කලේය. එසේ වුවද අනාගත ලෝක බලවතා වශයෙන් තවදුරටත් එක්සත් ජනපදය සැලකුණ ද ලෝක බල තුලනය කෙමෙන් ආසියාව කෙරේ වාසිදායකව නැඹුරු වීමක් දැකිය හැක. චීනය හා ඉන්දියාව ලෝක බලවතුන් වශයෙන් සිය නැගිටීම අරඹා ඇති අතර අතර ජපානය වැදගත් බලවතකු වශයෙන් තම ස්ථාවරය තහවුරු කරගෙන සිටී. සවිස්තරාත්මකව පවසන්නේ නම් ලෝක ජනගහනයෙන් 1/3 ක් මෙම කලාපය තුල ජීවත් වන අතර ලෝක නිෂ්පාදනයෙන් 26% ක් නිෂ්පාදනය කෙරෙන්නේ ද මෙම කලාපය තුල වේ. ආරක්ෂාව සඳහා කරන වියදම අතින් ලොක්යේ පළමු දස දෙනා අතරට ආසියාව පැමිණ සිටී. කෙසේ වුවත් නව බලවතුන් නැගී සිටීමේ දී අස්ථීර තත්වයක් හටගැනීම සාමාන්‍ය තත්වයක් වේ. මෙම අස්ථීර තත්වය හමුවේ ශ්‍රී ලංකාව තම ගෝලීය පිහිටීම සම්බන්ධයෙන් වැදගත්වන මූලෝපායික තේරීම් සිදුකල යුතුව පවතී. 
 
ඓතිහාසික හා සමකාලීන අත්දැකීම් තුලින් පිලිඹිඹු වන කරුණක් නම් ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය රඳාපවතිනුයේ ඉන්දියාව සමඟ පවත්වාගෙන යනු ලබන මිත්‍රශීලී හා කුළුපග සබඳතාවය තුල බවයි. ඉන්දියාව අපගේ සමීපතම අසල්වැසියා ද, ලෝකයේ විශාලතම හා සීඝුයෙන්ම දියුණු වන ආර්ථිකයන්ගෙන් එකක් ද, ලොකයේ ජනගහනයෙන් වැඩිම ප්‍රජාතාන්ත්‍රික රට ද, අප රටට වැඩිම සංචාරක පිරිසක් පැමිණෙන රට ද, අප රට සමඟ ඓතිහාසික හා සමකාලීන ශිෂ්ඨාචාරමය සබඳතා රැසක්ම පවතින රට ද වේ. ‍ඒ අනුව ආර්ථිකමය හා ආරක්ෂකමය වශයෙන් ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමේ දී අපගේ හිටපු විදේශ අමාත්‍යවරයකු වන ලක්ෂ්මන් කදිර්ගාමර මහතා අනුගමනය කල ප්‍රතිපත්තිය වන ඉන්දු ශ්‍රී ලංකා සබඳතා ආපසු හැරවිය නොහැකි පරිදි වශිෂ්ඨ මට්ටමකින් පවත්වා ගෙන යාම අත්‍යවශ්‍ය වේ.
 
ඉන්දියාව මෙන්ම චීනය ද සීග්‍රයෙන් ලෝක ආර්ථික බලවතකු බවට පත්වෙමින් සිටී. පසුගිය දශක කිහිපය තුල විවිධ ක්ෂේත්‍රයන් හි වේගවත් වර්ධනයක් අත්කරගනිමින් වර්තමානය වනවිට චීනය ලෝකයේ විශාලතම ආර්ථිකය බවට පත්ව සිටී. අපනයන කේන්ද්‍රීය වර්ධනය හරහා චීනය විශාල ප්‍රාග්ධන අතිරික්තයකට හිමිකම් කියන අතර ඒ අනුව, චීනයට විදේශයන් හි ආයෝජනය කිරීමට අවස්ථාව සැලසී ඇත. එමගින් ගෝලීය ප්‍රාග්ධන විභජනය කෙරේ වැදගත් බලපෑමක් කිරීමට චීනයට හැකියාව ලැබී ඇත. චීනය දැනට ලෝකයේ වැඩිම සංචාරක පිරිසක් සිටින රට බවටද පත්ව සීටී. ඒ අනුව චීනය සමඟ ශ්‍රී ලංකාවේ සබඳතාවය චීන සෘජු විදේශ ආයෝජන සුරක්ෂිත කරගැනීම, චීන වෙළඳපලට ප්‍රවිශ්ඨ වීමේ මාර්ගය තනා ගැනීම, හා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම ආදී ක්ෂේත්‍ර ඔස්සේ වර්ධනය විය යුතුය.
 
එමෙන්ම බහුධ්‍රැවීය ලෝක රටාවක් තුල ජාත්‍යන්තර නීති හා නියමයන් ආරක්ෂා කරගැනිම හා වර්ධනය කරගැනීම ද ඉතා වැදගත් වන්නේය. මෙය කුඩා දිවයින් රාජ්‍යයකට විශේෂයෙන්ම වැදගත් වන්නේය. කුඩා රාජ්‍යයක් වශයෙන්, ජාත්‍යන්තර නීති හා බහුපාර්ශ්වීය ආයතන පද්ධතිය මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය හා ආරක්ෂාව තහවුරු කරගැනීමට හැකි වන අතර ජාත්‍යන්තර කටයුතු වලදී හඬක් නැගීමට ද එමගින් හැකිවේ. එමෙන්ම, බාහිර වෙළදාම මත දැඩිව පදනම් වූ දූපත් රාජ්‍යයක් වශයෙන්, පර්යේෂණ හා බලශක්තිය, විවෘත මුහුදු මාර්ග, නිදහස් මූල්‍ය ප්‍රවාහ සහ ස්ථාවර බලශක්ති සැපයුම් අප රටට ඉතා වැදගත් වේ. ඉංදියාව මෙම කලාපයේ ආරක්ෂක ජාලය පවත්වාගෙන යන්නා වුවත් ගෝලීය සාමය පිළිබඳ නීති සම්පාදනයේ ප්‍රාථමික නිර්මාණ ශිල්පියා, ප්‍රතිරක්ෂකයා සහ පෝෂකයා වන්නේ එක්සත් ජනපදයයි. 
 
අවදානම් තත්වයන් හා ඒවා සඳහා වන පුළුල් ප්‍රතිචාරාත්මක උපායමාර්ග පිළිබඳ සඳහන් කිරීමෙන් අනතුරුව, ආසියානු ශතකයේ හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගන්නේ කෙසේ ද යන පැනයට පිළිතුරු සෙවීම අවශ්‍ය වේ. මෙහි ලා පුධාන කරුණු 3ක් කෙරේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. පළමුවැන්න නම් ඉන්දියන් සාගරයේ රටක් වශයෙන් ශ්‍රී ලංකා ප්‍රතිඅර්ථකථනය කිරීමයි. දෙවැන්න වනුයේ පරිපූරක තානාපති සේවයේ භාවිතය පිළිබඳ ගවේෂණය කිරීම වන අතර තෙවැන්න වශයෙන් ශ්‍රී ලාංකික ඩයස්පෝරාවෙන් ප්‍රයෝජන ලබාගැනීම පිළිබඳ ඔබේ අවධානය යොමු කරවමි. 
 
සමස්ත ඉතිහාසය පුරාවටම ශ්‍රී ලංකාව විසින් අප්‍රිකා‍වේ සිට, ආරාබිය, පර්සියාව, දකුණු ආසියාව, හරහා ඔස්ට්‍රේලියාව දක්වා වූ සමස්ත ඉංදියන් සාගරයම ආවරණය වන පරිදි සබඳතා ගොඩනගා ගෙන තිබෙනු දැකිය හැක. භූ විද්‍යාත්මක වශයෙන් ඉංදියන් සාගරයේ කේන්ද්‍රයේ සහ නැගෙනහිර-බටහිර හා උතුරු-දකුණු වෙළඳ මාර්ගය මධ්‍යයේ පිහිටා ඇති ශ්‍රී ලංකාව ඉන්දියන් සාගර ලොකයේ වැදගත් සංධිස්ථානයක් විය. කෙසේ වුවද කෙමෙන් කෙමෙන් අප දකුණු ආසියානු රටක් වශයෙන් වර්ගීකරණය විමට ලක්විය. මධ්‍ය ආදායම් ලබන රටක් වශයෙන් රැකියා උත්පාදනය, සංවර්ධනය ලඟාකරගැනීම හා ජීවන තත්වය ඉහල නැංවීම යනාදි කාරණා වලදී ශ්‍රී ලංකාවට තවදුරටත් ආධාර මත රඳා පැවතිය නොහැකි බැවින් ඉන්දියන් සාගරය තුල අපගේ අනන්‍යතාවය නැවත තහවුරු කරගැනිම වැදගත් වේ. එමගින් අපට මෙන්ම අන් අයටත් විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කරගැනිමේ අවස්ථා රැසක් උදාවන අතර වෙළඳපළට ප්‍රවේශ වීම හා සංචාරක කර්මාන්තයේ දියුණුව ද සාක්ෂාත් කර ගත හැකි වේ. එබැවින් නූතන ශ්‍රි ලාංකේය රාජ්‍යදූතයන් හට දේශපාලනය මෙන් වෙළදාම ද එකසේ වැදගත් වේ. ඒ අනුව, විදේශ ආයෝජන ලබාගැනීම, අපනයනය දිරිගැන්වීම, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සහ විදේශ සබඳතාවන්හි විශේෂඥභාවය ලබාගැනීම ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රධාන භූමිකාව වනු ඇත. (පෙර පරිපාලනය යටතේ තානාපති කාර්යාල පුද්ගලික තේ අලෙවි මධ්‍යස්ථාන බවට පත්කිරීමේ ප්‍රතිපත්තිය මෙමගින් කිසිසේත් ගම්‍ය නොවේ. )
 
අධ්‍යනයන්ගෙන් පෙන්වා දෙන පරිදි ඉන්දීය සැපයුම් දාමයට හා ඉන්දීය ආර්ථිකය සමඟ ඒකාබද්ධ වීමට නොහැකි වීම නිසා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පසුබෑමට ලක්ව ඇත. මෙම ප්‍රවනතාවය වෙනස් කිරීම සඳහා ඉංදියාවේ හා චීනයේ ආර්ථිකය සම්බන්ධ තීරණ කෙරේ දැඩිබලපෑමක් සිදුකල හැකි  ප්‍රාන්ත රාජ්‍ය සමඟ සබඳතා වර්ධනය කරගැනීම සඳහා කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. අනෙකුත් රටවල පරිපුරක තානාපති සේවා උත්සාහයන් මගින් ද මෙම අවශ්‍යතාවය පිළිඹිඹු කර ඇත. උදාහරණයක් ලෙස පසුගිය අවුරුදු දෙකේ පමණක් සිංගප්පූරු ඇමති වරුන් විසින් ඉංදීය ප්‍රාන්ත රාජ්‍යයන් වෙත දස වතාවකට වඩා සංචාරය කිරීම දැක්විය හැක. 
 
තෙවන අදහස නව අදහසක් නොවේ. ශ්‍රී ලංකාව සතුව ලෝකයේ විශාලතම මෙන්ම කීර්තිමත් ඩයස්පොරාවක් පවතී. අභාවප්‍රාප්ත ලී ක්වාන් යූ මහතා වරක් පැවසූ පරිදි,
 
“ප්‍රමාණය අතින් ගත්කල ශ්‍රී ලාංකික ජනගහනය ස්වල්පයක් වුවත් ඔවුන විසින් අත්කරගන ඇති ජයග්‍රහණ හා නූතන සිංගප්පූරුව හා මැලේසියාව ගොඩනැගීමේ දී ලබාදුන් දායකත්වය අතින් ඔවුන්ගේ හැකියාව ප්‍රමාණය අභිභවා ගොස් ඇත. ”
 
එනමුත් අපගේ අභාග්‍යයට විදේශ ප්‍රතිපත්ති සැකසීමේ දී ඩයස්පෝරාවේ දායකත්වය ප්‍රමාණවත් පරිදි ලබාගෙන නැති අතර රටේ සංවර්ධනයට ඔවුන්ගේ ප්‍රාග්ධනය, සබඳතා හා දැනුම උකහාගෙන ද නැත. නමුත් ‍අනෙකුත් රටවල තත්වය මීට හාත්පසින් වෙනස් වේ. ඉන්දිය විදේශ කටයුතු සඳහා වෙනම අමාත්‍යංශයක් ඇති අතර, රටවල් අටක දැනට ඩයස්පෝරා කටයුතු සම්බන්ධ අමාත්‍ය ධූර ද පවතී. ශ්‍රී ලංකාවට ද තම ඩ‍යස්පෝරාව සමඟ සබඳතා වර්ධනය කරගැනීම උදෙසා ක්‍රමානුකූල ප්‍රවේශයක් හා යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කල හැකි නම් එමගින් ආසියානු සියවස කෙරේ ඔවුන්ගේ දායකත්වය ලබාගත හැකි වනු ඇත. 
 
අවසාන වශයෙන් අපගේ විදේශ ප්‍රතිපත්තිය සියළු ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා හා සුභසාධනය සඳහා අරමුණු විය යුතු බව අවධාරණය කරනු කැමැත්තෙමි. මෙමගින් අදහස් කෙරෙනුයේ නැගී එන බහුධ්‍රැවීය කලාපීය රටාව ප්‍රවේශමෙන් අනුගමනය කරමින් ආසියානු ශතකය මගින් ලබාදෙන අවස්ථා ග්‍රහණය කරගැනීම සඳහා කටයුතු කල යුතු බවයි. මෙම බණ්ඩාරණායක රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනයේ ඔබගේ පුහුණුව නව චින්තන හා වෘත්තීය ප්‍රජාවක් වෙත් ඔබ අවතීරණය කරන ප්‍රවේශයක් වශයෙනුත් ශ්‍රී ලංකා විදේශ කටයුතු සඳහා යාවජීව වශයෙන් දායක වීමට පදනමක් වශයෙනුත් සලකනු ඇතැයි සිතමි. ඔබගේ දායකත්වයෙන් යම් දිනක නැවතත් ශ්‍රී ලංකාව ඉංදීය සාගර ලෝකයේ කේන්ද්‍රය හා ආසියාවේ ප්‍රධාන සංදිස්ථානය බවට පත්වනු ඇතැයි සිතමි. 
 
ස්තූතියි.

 

 

විශේෂාංග